logo3.gif (702 bytes)

HOME


සිසුන් ගේ පැත්තෙන් එදා මීට වඩා හිතන්න තිබුණා

නව හා පැරැණි නිර්දේශ දෙකේ අන්තර්ගතය සියයට 90ක්‌ ම එකිනෙක සමානයි. ඒ නිසා මේ දෙකට ම පොදු ප්‍රශ්න පත්‍රයක්‌ හැදීම වැඩි අපහසුවක්‌ නැති ව කළ හැකි ව තිබුණා. එහෙම නො කර, පැරැණි හා නව වශයෙන් රටා දෙකකට වෙන වෙන ම ප්‍රශ්න පත්‍ර හදන්නට උපදෙස්‌ ලැබීමයි මේ හැම ගැටලුවකට ම මුල. එතන දී සමාන ප්‍රශ්න සංඛ්‍යාවකට එක ප්‍රශ්න පත්‍රයකින් වැඩි ලකුණුත් අනෙකෙන් අඩු ලකුණුත් ලැබෙන ආකාරයේ විෂමතා තිබුණා.

එක ම සිසුන් සංඛ්‍යාවක්‌ ගන්න, එක ම විශ්ව විද්‍යාල ප්‍රවේශයකට, රටා 2කින් විභාගයක්‌ පැවැත්වීමේ අවුල ගැන සමාජ කතිකාවතක්‌ එදා විභාගයට පෙරත් ඇති වුණා. තතු දත් අය මේ කරුණු මතු කර දැක්‌වූ අවස්‌ථාවේ දී බලධාරින් එය බරපතළ කරුණක්‌ විදියට සැලකුවේ නැහැ. ප්‍රශ්න පත්‍ර දෙවිදියකට හැදූ මහාචාර්යවරුන්ට දොස්‌ කියලා වැඩක්‌ නැහැ. හදන්න උපදෙස්‌ දුන් අයයි වරද කළේ.

ඔය විදියට පළමු පියවර වරද්ද ගත්තා. දෙවනුව Z අගය තීරණය කිරීමත් වැරදුණා. ඊළ`ගට ගන්නා පියවරෙන් මේක අවුලෙන් වියවුලට පත් වුණොත් විශ්වවිද්‍යාල ප්‍රවේශය තවත් පමා වෙනවා. දැන් සිසුන්ට අනාගතයෙන් ලොකු වන්දියක්‌ ගෙවන්න වෙන තරමට කාරණය දුරදිග ගිහින්.

මේ වගේ අඥාන අත්තනෝමතික තීරණ ගන්නා අයත් නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් ම ඒ තැන්වලට ආ අය වීමයි හාස්‍යය.

අපේ රටේ විභාග ක්‍රමය ගැන සිසුන් දැන් ඉන්නේ අවිශ්වාසයකින්. කලකිරීමකින්. මේ ළමයි ඉගෙන ගන්නේ පුදුමාකාර දුකක්‌ විඳලයි. විශේෂයෙන් ම ගම්බද ළමයි. විද්‍යා අංශයෙන් ඉගෙන ගන්නා ළමයි දොස්‌තර කෙනෙක්‌ ඉංජිනේරුවෙක්‌ වෙන්නයි මහන්සි වෙන්නේ. වැලි ගොඩ දාලා ණය වෙලා මුදල් හොයාගෙන සමහර ළමයි ඉගෙන ගන්නවා. ඒ ළමයි අසරණයි, අහිංසකයි. ඒ ළමයින්ට ඉගෙන ගැනීමෙන් මිස ඉහළට එන්න වෙන ක්‍රමයක්‌ නැහැ. අත්තනෝමතික තීරණ ගත් බලධාරීන් මේ අහිංසකයන් ගෙ පැත්තෙන් හිතන්නට සමත් වුණේ නෑ.

විභාග රටාව ම හෑල්ලූ වෙලා. ලෝකෙ පළමු වතාවට තිබ්බ විභාගයක්‌ නෙමෙයි නේ මේක. අතීතයේ මොන තරම් ප්‍රමිතියක්‌ අපේ රටේ විභාග ක්‍රමයේ තිබුණ ද? මේක විදේශයන්වල අපේ විභාගවලට තිබෙන පිළිගැනීම පිරිහෙන්නත් හේතුවක්‌ වේ වි.

ඒ එක පැත්තක්‌. අනෙක්‌ අතට මේ අපේ රටේ සිසුවෙක්‌ සරසවි යන වයස්‌ සීමාව වෙන රටවලට වඩා ඉහළ පරාසයකයි තියෙන්නේ. සාමාන්‍ය පෙළ ඉවර වුණා ම මාස 8 -10ක්‌ නිකරුණේ කාලය ගත වනවා. උසස්‌ පෙළින් පස්‌සේ අවුරුද්දක්‌ වත් කාලය නාස්‌ති වෙනවා. ඒ අතරට Z ප්‍රශ්නය වගේ නැති ප්‍රශ්නත් අවා ම පමාව තවත් වැඩි වේ වි. මේකෙ අන්තිම ප්‍රතිඵලය තමයි ළමයෙක්‌ සරසවි අධ්‍යාපනය ලබා පිට වෙන්නේ වයස 30ටත් ආසන්න වෙලා. ඒ වෙනකොට ඔහුට නැත්නම් ඇයට රට ගැන නෙමෙයි තමන් ගැනයි පළමුව හිතෙන්නෙ. එහෙම පිරිසක ගෙන් රටට අපේක්‌ෂිත සේවය සැලසෙන්නෙ නැති එක ගැන පුදුම වෙන්න දෙයක්‌ නෑ.

ප්‍රසන්න බද්දෙවිතාන