logo3.gif (702 bytes)

HOME


ජගත් පරිසර විමසුම - 130
(ධනේෂ් විසුම්පෙරුම)


දේශගුණ වෙනස්‌ වීම හා
දකුණු ආසියාතික මෝසම


දකුණු ආසියානු කලාපයේ රටවලට මෝසම් වර්ෂාවේ ඇති වැදගත්කම අමුතුවෙන් කිව යුතු නො වේ. මෝසම් වැස්‌ස මේ කලාපයේ පැරැණි ශිෂ්ටාචාරවල ඉරණම පවා තීරණය කිරීමට හේතු වී ඇති බවට සාධක ලැබී ඇත. එසේ ම වර්තමානයේ පවා මේ කලාපයේ රටවල ජනතාව ගේ බොහෝ අවශ්‍යතා සඳහා මෝසම් වර්ෂාපතනය තීරණාත්මක සාධකයකි. කෘෂිකර්මය සඳහා පමණක්‌ නො ව, ජල විදුලිය නිපදවීම සඳහාත්, කර්මාන්ත අංශයටත්, ජනතාව ගේ එ නෙදා අවශ්‍යතා සඳහාත් ජලය සැපයීම සඳහා මෝසම් වර්ෂාපතනය වැදගත් වේ.

මේ තත්ත්වයේ වැදගත්කම පෙන්වන මෝසම් වර්ෂාවේ අනාගතය පිළිබඳව සිදු කරන ලද සමාලෝචනයක්‌ පසුගිය දා ප්‍රකාශයට පත් ව තිබේ. එහි අරමුණ වූයේ මේ පිළිබඳව සිදු කර ඇති අධ්‍යයන ආශ්‍රයෙන් දේශගුණ වෙනස්‌ වීම නිසා මෝසම් වර්ෂාවට ඇති විය හැකි බලපෑම් අධ්‍යයනය කිරීම ය. කෙසේ වෙතත් මෝසම් වැසි සඳහා බලපාන වෙනත් සාධක ද තිබේ. එල් නිනෝ වැනි තත්ත්ව මේ සඳහා නිදසුන් ය. අපේ පාලනයෙන් බැහැර, ස්‌වාභාවික වූ වෙනත් හේතු සාධකවල බලපෑම නිසා සිදු වී ඇතත්, මේ මොහොත වන විට අප මුහුණ දෙමින් සිටින ජල අර්බුදය මෝසම් වර්ෂාව ප්‍රමාණවත් තරම් නො ලැබීම නිසා ඇති වූවක්‌ බව පැහැ ලි ය.

මෝසම් වර්ෂාපතනයේ වෙනස්‌වීම්

මේ අධ්‍යයනයේ දී අවධානයක්‌ යොමු වී ඇත්තේ 20 වැනි සියවසේ දෙවැනි භාගයේ දී මෝසම් වර්ෂාවේ ඇති වී තිබෙන හ සි වෙනස්‌වීම් හෙවත් විචල්‍යතා පිළිබඳව ය. මේ කාලය ලෝක දේශගුණ වෙනස්‌වීම්වල බරපතළ තත්ත්වයේ වෙනස්‌ වීම් ඇති වූ කාලයකි. මෙහි දී සිදු කර ඇත්තේ මේ පිළිබඳව පළ වී ඇති අධ්‍යයන සියයකට අධික ප්‍රමාණයක්‌ සමාලෝචනය කිරීමක්‌ වන අතර එහි දී වැඩි අවධානයක්‌ යොමු වී ඇත්තේ ඊසාන ග මෝසම් වැසි ලෙස අප හඳුන්වන ග්‍රීෂ්ම සෘතු මෝසම පිළිබඳව හා මහාද්වීපික දකුණු ආසියානු කලාපය සම්බන්ධව බව පෙනේ.

පසුගිය දශක හයක කාලය තුළ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය (පරිමාව අනුව) මිලියනයකට කොටස්‌ 70කින් පමණ ඉහළ ගොස්‌ තිබේ. එසේ ම සාමාන්‍ය උෂ්ණත්වය ද සෙල්සියස්‌ අංශක 0.5 කින් පමණ වැඩි වී ඇත. ඒ අනුව වායුගෝලයේ ඉහළ ගොස්‌ ඇති තෙතමනය නිසා සාමාන්‍යයෙන් වර්ෂාපතනයේ වර්ධනයක්‌ දැකිය හැකි විය යුතුය. එහෙත් එවැනි තත්ත්වයක්‌ යටතේ අපේක්‌ෂා කළ යුතු තරමේ වර්ෂාපතන වර්ධනයක්‌ සමස්‌ත ඉන්දීය වර්ෂාපතන දර්ශකයේ (All India Rainfall index) නො දැක්‌වේ. වෙනත් වචනවලින් පවසන්නේ නම් ඇති වී තිබෙන දේශගුණ වෙනස්‌ වීම්වලට සාපේක්‌ෂ වර්ෂාපතනයේ වර්ධනයක්‌ ඉන් යාවේ පැහැ ලි ව දැකගත නොහැකි ය. එසේ වීමට හේතු කිහිපයක්‌ ද මේ අධ්‍යයනය තුළින් පෙන්වා දී තිබේ. ඒ අතර වර්ෂාපතන නිරීක්‌ෂණ කිරීම ස්‌ථාවර තත්ත්වයක නො පැවතීම, මෝසම් වර්ෂාවේ ඇති වී තිබෙන දශකමය වෙනස්‌වීම්, කාර්මීකරණය නිසා ජනනය වී ඇති වාතිලන (aerosol) අංශු නිසා ඇති වී තිබෙන බලපෑම් හා භූමි භාවිතයේ වෙනස්‌ වීම් ආ ය වේ. (මේ අධ්‍යයනයේ දී වාතිලන අංශුවල සංකීර්ණ වූ බලපෑම් පිළිබඳව විශේෂයෙන් සලකා බැලිය යුතු බව පෙන්වා දී තිබේ.)

අනාගතය කෙබඳු ද?

දේශගුණ වෙනස්‌ වීම හමුවේ තාපගති විද්‍යාත්මක තත්ත්ව අනුව ආසියානු මෝසම් වර්ෂාපතනය ස්‌ථාවර ව පවතිනු ඇත. එහෙත් ඉන්දු-පැසිෆික්‌ කලාපය වැනි වෙනත් කලාප සමඟ මෙහි ඇති සම්බන්ධය පිළිබඳ ඇති අවබෝධය පුළුල් වන තුරු මේ බව නිශ්චිතව පැවසීම අසීරු බව මේ අධ්‍යයන වාර්තාවේ පෙන්වා දී තිබේ.

මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන තවත් වැදගත් කරුණක්‌ වන්නේ වර්තමාන දේශගුණ ආකෘති අනුව බරපතළ තත්ත්වයේ විනාශකාරී ආන්තික තත්ත්ව වන ගංවතුර හා නියඟ තත්ත්ව කලාපීය මට්‌ටමේ පුරෝකථන තවමත් සිදු කිරීම අපහසු බව ය. මෙවැනි පුරෝකථන මේ ප්‍රදේශයේ ජනතාවට ඉතා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නො වේ. (විශේෂයෙන් ආන්තික වර්ෂාපතන තත්ත්ව සුලබ වෙමින් ඇති බව වෙනත් අධ්‍යයනවලින් ද පෙන්වා දී ඇත.) එවැනි පුරෝකථන සඳහා සම්පූර්ණ විය යුතු අවශ්‍යතා කිහිපයක්‌ ද මේ අධ්‍යයනය මඟින් පෙන්වා දී තිබේ. ඒවා නම්, කෘෂිකාර්මික අස්‌වැන්න වැනි කරුණු ද ඇතුළත් වන ආකාරයෙන් වර්ෂාපතන දත්ත වඩා සංගත කිරීම, මෝසම් කලාපය හා එහි අන්තර් ක්‍රියාකාරිත්වය සම්බන්ධව ඇති දැනුම වර්ධනය කිරීම, භූමි භාවිතය, වාතිලන අංශු හා කාබඩන් ඩයොක්‌සයිඩ් වැනි ද්‍රව්‍ය පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කිරීම වැනි කරුණු වේ. සරලව පවසන්නේ නම් මේ කලාපයේ දේශගුණ දත්ත ලබා ගැනීම තවදුරටත් වර්ධනය විය යුතු ය.

විශේෂයෙන් අපදා කළමනාකරණය කිරීම සඳහා මෙන්ම දේශගුණ වෙනස්‌ වීම සඳහා අනුහුරු වීමට ද මෙවැනි පුරෝකථන වැදගත් බව අමුතුවෙන් කිව යුතු නො වේ. අනාගතය සම්බන්ධව මෙහි ඇති තවත් වැදගත්කමක්‌ වන්නේ මේ කලාපය අධික ජනගහනයකින් යුක්‌ත වීමත්, මේ ජනගහනය ක්‍රමයෙන් වර්ධනය වෙමින් තිබීමත් ය. (මූලාශ්‍රයNature
Climate Change, DOI: 10.1038/nclimate1495)


රියෝ+20 සමුළුවේ තවත් 'ප්‍රතිඵල'?

රියෝ සමුළුවේ ප්‍රතිඵල හා බලපෑම් පිළිබඳව තවමත් ජගත් මට්‌ටමේ දී සාකච්ඡාවට ලක්‌ වේ. කෙසේ වෙතත් විවිධ පාර්ශ්ව මේ සමුළුවේ ප්‍රතිඵල සාපේක්‌ෂව එක ම ආකාරයකින් බලන බවක්‌ දැකිය හැකි ය. මෙහි යම් සාධනීය ප්‍රතිඵලයක්‌ ඇති බව සත්‍යයක්‌ වන නමුත් ගැටලුවලට සරිලන ඉක්‌මන් විසඳුමක්‌ නො ලැබීම හා සමස්‌තයක්‌ ලෙස පාරිසරික කරුණු පිළිබඳව ලෝකයේ ඇති අවධානය අඩු බව යළිත් තහවුරු වීම මෙහි ඇති ගැටලුසහගත තත්ත්වයයි. එක්‌ පරිසර සංවිධාන නියෝජිතයකු සමුළුවේ ප්‍රකාශනය හඳුන්වා දී තිබුණේ 'ඉතිහාසයේ දීර්ඝතම සිය විනසාගැනීමේ සටහන' ලෙස ය.

කෙසේ වෙතත් රියෝ සමුළුවේ ප්‍රතිඵලය ගැන නව ආකාරයකින් සිතන්නට තුඩු දෙන අදහසක්‌ පසුගිය දා චීන පුවත්පතක පළ වී තිබිණි. ඊට අනුව, බ්‍රසීලය, චීනය හා ඉන් යාව ප්‍රමුඛ රටවල් ලෝකයේ අනාගතය තීරණය කරන්නට බලපාන ආකාරය පැහැ ලිව පෙනෙන්නට තිබිණි. සමුළුවේ කටයුතුවල දී මේ රටවල සහභාගිත්වය පැහැ ලිව දැකිය හැකි විය. එහෙත් ඔවුන් ලෝකයේ අනාගතය තීරණය කිරීමට හැකි ගාමක බලවේගයක්‌ බවට පත් වන්නේ ද යන්න ඇමෙරිකාව හා යුරෝපා රටවල පිළිවෙත් මත තීරණය වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් ඇමෙරිකාවේ සහභාගිත්වයක්‌ නොමැති ව ක්‍රියාත්මක වූ කියෝටෝ සන්ධානය මඟින් දේශගුණ වෙනස්‌ වීම සඳහා බලපාන කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන සැලකිය යුතු තරමින් අඩු කිරීමට හැකි වී නොමැත. එවැනි උත්සාහයක්‌ සඳහා චීනය, රුසියාව ඇතුළු නැඟී එන ආර්ථිකයක්‌ සහිත රටවල සහභාගිත්වය ද යම් ප්‍රමාණයකින් හෝ අවශ්‍ය ව තිබේ. සමස්‌ත ලෝකයේ ම රටවල් සියල්ල ම එකඟ වන ආකාරයේ විසඳුමක්‌ අපේ ලෝකයට අවශ්‍ය ව ඇත.

මේ අතර රියෝ සමුළුව පැවැති සතියේ දී පවිත්‍ර බලශක්‌ති සමාගම්වල කොටස්‌ මිල අගය සියයට 3කින් අඩු වූ බව නිව්යෝක්‌ කොටස්‌ වෙළෙඳපොළ පවසන බව පුවත් වෙබ් අඩවිවල පළ වී තිබිණි. මෙය රියෝ සමුළුවේ ප්‍රතිඵලය හා Rජු ව ම සම්බන්ධයක්‌ නොමැති යෑයි අයකු පැවසිය හැකි වුවත් ඉන් පෙනෙන්නේ ද රියෝ සමුළුවේ දී ඇති වූ ගැටලුසහගත තත්ත්වය ම බව පෙනේ. තවදුරටත් ෆොසිල ඉන්ධන මත යෑපෙන්නේ නම් පිරිසිදු බලශක්‌තිය සඳහා ආයෝජනය කිරීමට ඇති උනන්දුව අඩු විය හැකි බව පැහැ ලි ය. එමෙන්ම දේශගුණ හා පරිසර සංශයවාදීන් අතර ද නැවත පිබිදීමක්‌ ඇති බව දැකිය හැකි ය - රියෝ සමුළුව 'බොර යේ මාළු බාන්නන්ට' තවත් අවස්‌ථාවක්‌ සපයා දී තිබේ.


තැලේට පිළිබඳ තවත් කරුණු


ළමයින් ගේ ක්‍රීඩා භාණ්‌ඩ මෙන්ම නිවාසවල භාවිත වන බොහෝ ප්ලාස්‌ටික්‌ වැනි භාණ්‌ඩවල ඇති තැලේට නිසා ඇති විය හැකි සෞඛය බලපෑම් පිළිබඳව අපි විටින් විට සාකච්ඡා කළෙමු. මෑත දී සිදු කර ඇති අධ්‍යයන ගණනාවකින් ද මේ හා සම්බන්ධ තවත් කරුණු රැසක්‌ අනාවරණය වී ඇත.

මින් එක්‌ අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ ළමයින් අතර දැකිය හැකි ස්‌ථූලතාව සඳහා එක්‌ තැලේට වර්ගයක්‌ හේතුවක්‌ වන බව ය. එසේ ම රුධිරයේ අඩංගු තැලේට ප්‍රමාණය සමඟ තරබාරු වීමේ අවදානම ද ඉහළ යන බව හෙළි වී තිබේ. එනම් අඩු සාන්ද්‍රණයක්‌ ඇති ළමයින් මෙන් පස්‌ ගුණයක්‌ පමණ අවදානමක්‌ වැඩි ම තැලේට සාන්ද්‍රණයක්‌ ඇති ළමයින්ට ඇත. පර්යේෂණ සමුළුවක දී හෙළි කෙරුණු මේ අධ්‍යයනය සඳහා පදනම් වී ඇත්තේ ඩයි-එතික්‌හෙක්‌සිල් තැලේට (DEHP) නම් සුලබ තැලේට වර්ගයයි.

පසුගිය දා ප්‍රකාශයට පත් වූ තවත් අධ්‍යයන වාර්තාවකට අනුව ගැබිනි සමයේ දී මවුවරුන් ගේ ශරීරගත වන බියුටයිල්බෙන්සිල් තැලේට (BB'P) නිසා ඔවුන්ට උප න ළමයින්ට පසු කාලයක දී එක්‌සීමා තත්ත්වය ඇති වීමේ ඇති හැකියාව අධික ය. කෘත්‍රිම සම්, විනයිල් ගෙබිම් ආවරණ ආ යේ හමු වන මේ සංයෝගය මඟින් ළමයින් අතර මේ රෝගය ඇති වීමට හේතු වන බව පළමුව හෙළි කරන ලද්දේ මේ අධ්‍යයනයයි. (මූලාශ්‍රයEnvironmental Health Perspectives,DOI: 10.1289/ehp.1104544)


ලැව් ගිනි මඟින් පවසන්නේ කුමක්‌ ද?


ඇමෙරිකාවේ කොලෙරාඩෝ ප්‍රාන්තයේ සති ගණනක්‌ පුරා පැවැති ලැව් ගිනි නිසා ලැව් ගිනි පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු වී තිබේ. සිසිර සෘතුවේ දී ඇති වන හිම ප්‍රමාණය අඩු වීමත්, එය ඉක්‌මනින් යෑවී යැමත් නිසා එරට ප්‍රාන්ත කිහිපයක ම ලැව් ගිනි සමය කලින් ආරම්භ වී ඇත. පවත්නා අධික උෂ්ණත්වය නිසා ලැව් ගිනි පැතිරීම ද වේගවත් වේ. මේ ගිනි මැඬපැවැත්වීම සඳහා ඇමෙරිකාවේ භාවිත වන ගිනි නිවීම සඳහා වූ ගුවන් උපකරණවලින් අඩක්‌ පමණ ම යෙදාගත් බව වාර්තා වන අතර ඉන් පෙනෙන්නේ ද මේ ගිනිවල තරම ය. මේ ලැව් ගිනි 2002 වර්ෂයේ ඇති වූ වාර්තාගත ලැව් ගිනිවලට ආසන්න බව පෙන්වා දී තිබේ.

බටහිර රටවල දැකිය හැකි මෙවැනි ලැව් ගිනි මඟින් පෙනෙන්නේ දේශගුණ වෙනස්‌ වීමෙහි බරපතළ තත්ත්වය බව විද්‍යාඥයන් කිහිප දෙනකු පෙන්වා දුනි. ගංවතුර, කුණාටු හා නියඟය ද දේශගුණ වෙනස්‌ වීමෙහි යම් බලපෑමක්‌ බව අපි දනිමු.


මත්ස්‍ය ගහන රැකගැනීම සඳහා නව ක්‍රමවේදයක්‌


ලෝකයේ මත්ස්‍ය ගහන හායනයට ලක්‌ වීම වැළැක්‌වීම සඳහා යොදාගත හැකි නව ක්‍රමවේදයක්‌ යුරෝපයෙන් වාර්තා වේ. මේ අනුව මත්ස්‍ය ගහනවල ජානමය දත්ත යොදාගනිමින් නීති විරෝධී ලෙස අල්ලාගෙන ඇති මත්ස්‍ය ගහන හඳුනාගැනීමට හැකියාව තිබේ. යුරෝපයේ ආහාරයට ගැනෙන කිසියම් මත්ස්‍යයකු ගේ ජානමය ලක්‌ෂණ මඟින් අදාළ මත්ස්‍යයා අල්ලා ගන්නා ලද්දේ කුමන කලාපයක කුමන ගහනයකින් ද යන්න දැනගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඊට අවශ්‍ය කරන ගහන අතර වෙනස්‌කම් දක්‌වන ජානමය ලක්‌ෂණ දැනටමත් හඳුනාගෙන තිබේ.

මෙය වැදගත් වන්නේ ලෝකයේ සමස්‌ත මත්ස්‍ය අස්‌වැන්නෙන් සියයට 25ක්‌ පමණ නීති විරෝධී ආකාරයෙන් අල්ලා ගන්නා ලද මත්ස්‍යයින් වන නිසා ය. එහෙත් මේ ක්‍රමවේදය අධි තාක්‌ෂණික එකක්‌ වීම එහි ඇති ගැටලුවයි. (මූලාශ්‍රයNature Communications, DOI: 10.1038/ ncomms1845)