logo3.gif (702 bytes)

HOME


ඊඩිස්‌ ද? අපි ද?

කිසිදු විවාදයකින් තොර ව වත්මන් ශ්‍රී ලංකාවේ වැඩි ම මහජන අවධානයක්‌ දිනාගත් සෞඛ්‍ය ප්‍රශ්නය ලෙස ඩෙංගිs හඳුන්වා දිය හැකි ය. ඒ පිළිබඳ උනන්දුව රටපුරා උපරිමව ඇවිලී තිබුණ ද ඩෙංගි මාරයාට ගොදුරු ව අකාලයේ මිලින වන මිනිස්‌ ජීවිත පිළිබඳව දිනෙන් හද කකියවන පුවත් රටේ සිව් කොනින් අසන්නට ලැබේ. කෙතෙක්‌ කළත් මෙපමණකැයි කියා අත පිස දා ගත නොහැකි මේ බරපතළ අභියෝගයට මුහුණ දීමේ වගකීම අප සියලු දෙනා කරපිට පැටවී ඇත.

රජය, පෞද්ගලික අංශය හා සිවිල් සමාජය රොක්‌ වී දියත් කරන විවිධ ක්‍රියාන්විතයන් නිසා ඩෙංගි මාරයාට අප සාර්ථකව මුහුණ දෙමින් සිටින බව ඇතැම් පාර්ශ්ව පවසයි. එහෙත් රෝගීන් හා මරණ ඉලක්‌කම් පෙන්වන තවත් පාර්ශ්ව තර්ක කරන්නේ මර්දන කටයුතුවල හිඩැස්‌ ඇති බව ය. ඩෙංගි තර්ජනයට එරෙහි ව සියලු පාර්ශ්ව තුමන හෝ දායකත්වයක්‌ එක්‌ කරන බව නම් අපට අවිවාදිතව පිළිගැනීමට සිදු වේ. එසේ නම් තවමත් ඩෙංගි "නොකවුට්‌" කිරීමට අප අපොහොසත් වී ඇත්තේ ඇයි?

ඩෙංගි අප රට තුළ හිස එසවූ ආකාරය

මේ වන විට ලොව රටවල් 100ක්‌ පමණ ඩෙංගු ආක්‍රමණයට ගොදුරු ව ඇත. වසරකට ලොව පුරා ඩෙංගි රෝගීන් මිලියන 50ක්‌ පමණ වාර්තා වන බව ද මරණ 22000ක්‌ පමණ සිදු වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිගමනයයි. මේ අගයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව අප වටහා ගත යුතු ය.

අප රටේ පළමු වරට ඩෙංගි රෝගියකු වාර්තා වන්නේ 1962 වසරේ දී ය. එතැන් පටන් කෙමෙන් හිස එසවූ ඩෙංගි 2000 වසරේ පමණ බටන් ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්නයක්‌ ලෙස මතු විය. ඉනික්‌බිති සැම වසරක ම අවම වශයෙන් රෝගීන් 5000ක්‌ වත් වාර්තා වන්නට විය. 2002, 2004, 2006 හා 2009 බිහිසුණු ඩෙංගි වසංගත තත්ත්ව වාර්තා විය. ඒ ඒ වසරවල වාර්තා වූ ඩෙංගි රෝගීන් හා මරණ සංඛ්‍යාවන් පහත වගුවේ දැක්‌වේ. මෙයින් 2009 වසර ඉතිහාසගත වන්නේ ඩෙංගි නිසා වැඩි ම හානියක්‌ සිදු වන වර්ෂය ලෙසිනි. එම වසර තුළ දී 35000ක්‌ පමණ රෝaගයට ගොදුරු වෙද්දී වටිනා ජීවීත 346ක්‌ ඩෙංගි මාරයාට බිලි විය. 2011 වසරේ දී රෝගීන් 28000ක්‌ පමණ හා මරණ 185ක්‌ අසන්නට ලැබිණ.

ඩෙංගි රෝගය පසුගිය දශකය මුළුල්ලේ ක්‍රමයෙන් ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්නයක්‌ ලෙස අප රට තුළ ව්‍යාප්ත වී ඇති බව දැන් පැහැදිලි ය. වසර 2-3කට වරක්‌ වසංගත තත්ත්වයක්‌ ලෙස ඉස්‌මතු වූ ඩෙංගි ඒ අතරතුර කාලයේ ද නො නිදා සිටි බව වගුවෙන් පැහැදිලි වේ. 2012 දී යළිත් ඩෙංගි රකුසා බිහිසුණු ලෙස අවදි විය හැකි බවට පෙරනිමිති පහළ ව ඇත. මේ වන විට වසර තුළ රෝගීන් 12454ක්‌ ද, මරණ 75ක්‌ ද වාර්තා වී ඇත. පසුගිය වසර කිහිපය තුළ දක්‌නට ලැබුණු රෝග ව්‍යාප්ති රටාව අනුව දැනට තත්ත්වය මෙය නම් ඉදිරි මාස කිහිපය තුළ රෝගීන් ගේ විශාල ඉහළ යැමක්‌ අපේක්‌ෂා කළ හැකි ය. මැයි මාසය තුළ ඩෙංගි සතියක්‌ ප්‍රකාශයට පත් කළ බලධාරීහු යළිත් ඩෙංගි වෙනුවෙන් මාසයක්‌ ම කැප කිරීමට යති. සෞඛ්‍ය සේවය මත පමණක්‌ නො යෑපී සමාජයේ සියලු ස්‌තරයන් යුහුසුලුව ක්‍රියාත්මක නො වුණ හොත් 2009ටත් වඩා ශෝචනීය තත්ත්වයක්‌ උදා වීම වැළැක්‌විය නොහැකි වනු ඇත.

වෙස්‌ මාරු කළ ඩෙංගි රකුසා

ඩෙංගි පිළිබඳව අප මෙතෙක්‌ දැන සිටි බොහෝ දැ වෙනස්‌ වෙමින් යන බව ප්‍රත්‍යක්‌ෂ ය. ඩෙංගි රෝගයේ ව්‍යාප්තිය මෙන්ම වාහක මදුරුවා ගේ ගති ස්‌වභාවයන් ද පසුගිය වසර කිහිපය තුළ කැපී පෙනෙන වෙනස්‌කම්වලට ලක්‌ වූ බව වසංගත රෝග විද්‍යාඥයන් ගේ මතයයි.

භූගෝලීය ව්‍යාප්තිය

කොළඹ, ගම්පහ, කළුතර, නුවර යන දිස්‌ත්‍රික්‌ක දැනට ඩෙංගි ග්‍රහණයට තදින් ගොදුරු ව ඇත. එහෙත් මේ වන විට ඩෙංගි අවදානමෙන් තොර යෑයි දැක්‌විය හැකි ප්‍රදේශයක්‌ නැති තරම් ය. මෙතෙක්‌ ඩෙංගි පිළිබඳව අසන්නට නො ලැබුණු නුවරඑළිය, බදුල්ල, මාතලේ ආදී දිස්‌ත්‍රික්‌කවලින් පවා දැන් දැන් රෝගීන් වාර්තා වේ. 2004 වසංගත අවස්‌ථාවේ දී රෝගීන් 100කට වඩා වාර්තා වූ දිස්‌ත්‍රික්‌ක 7ක්‌ තිබූ අතර 2007 දී ලංකාවේ දිස්‌ත්‍රික්‌ක 21ක ම රෝගී ගණන 100 ඉක්‌මවී ය. මෑත කාලීන සීමා මායිම් බිඳ ලමින් මුළු ලංකාව ම ඩෙංගි මාරයා ගේ සෙවනැල්ලට ගොදුරු වූ ඇයුරු මෙයින් පැහැදිලි වේ. දැන් ලංකාවේ දිස්‌ත්‍රික්‌ක 26න් ම රෝගීන් වාර්තා වේ. ඩෙංගි යනු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වන රෝගයක්‌ ලෙස සිතා සිටිය ද ඈත ග්‍රාමීය ප්‍රදේශවලින් පවා දැන් දැන් රෝගීන් වාර්තා වේ. මදුරු ව්‍යාප්තිය පුළුල් වීමට දේශගුණික වෙනස්‌කම් හේතුවක්‌ වී ඇති බව ද පැහැදිලි ය. ගෝලීය උණුසුම් වීම කෙරෙහි මෙහි වගකීම පැටවීම සාධාරණ ය.

රෝගයට ගොදුරු වන වයස්‌ සීමාව

ඩෙංගි කී පමණින් අපට සිහිපත් වන්නේ දරුවන් ය. එහෙත් මේ වන විට රෝගයට ගොදුරු විය හැකි අවදානම් වයස්‌ සීමාවන් වෙනස්‌ වී ඇත. 1996 වසරේ 60%ක්‌ රෝගීන් අවුරුදු 15ට වැඩි අය ලෙස වර්තා වුව ද 2007 වන විට තත්ත්වය වෙනස්‌ වූයේ 60%ක්‌ රෝගීන් අවුරුදු 16ට වැඩි අය ලෙස වාර්තා වූ බැවිනි. ලංකාවේ ඩෙංගි රෝගීන් දෙස බලන විට බහුතරයක්‌ අවුරුදු 5-9 අතර හා 20-24 අතර වයස්‌වල පසු වන අය බව පෙනේ. ඉතා කුඩා වයසේ දී, මහලු වියේ දී, ගර්භණී සමයේ දී, වෙනත් දීර්ඝකාලීන රෝගයකින් පෙළෙන විට රෝගයට ගොදුරු වීම, රක්‌තපාතය, කම්පනය වැනි බරපතළ තත්ත්වවලට යැමට වැඩි අවදානමක්‌ සහිත වේ.
රෝගය ව්‍යාප්ත වන කාල සීමාව

පසුගිය වසර කිහිපය පුරා ම ඩෙංගි හිස එසවූයේ මෝසම් වැසි සමයන් සමඟිනි. නිරිතදිග මෝසමත් සමග මැයි-ජූලි වකවානුවේ ඩෙංගි ප්‍රබල ලෙස මතු වන්නට පටන් ගනී. තව ද ඊසානදිග මෝසමත් සමග ඔක්‌තේබර්-දෙසැම්බර් සමය තුළ යළිත් හිස ඔසවන බව නිරීක්‌ෂණය කළ හැකි ය. අදාළ කාල සීමාවන් තුළ වැඩි අවධානයක්‌ යොමු කළ යුතු වුව ද මෙහි දී මේ ආකාරයෙන් වසරේ යම් යම් කාලවලට සීමා කර තැබීම නුවණට හුරු නැති බව වසංගත රෝග විද්‍යාඥයන් ගේ මතයයි. ඒ දැන් වසර පුරාවට ම ඩෙංගි රෝගෘSන් වාර්තා වන ස්‌වභාවයක්‌ දක්‌නට ලැබෙන බැවිනි. එයින් උගත යුතු පාඩම ඩෙංගි සතියට හෝ මාසයට හෝ සීමා නො වී රෝග මර්දන කටයුතු පිළිබඳව වසර මුළුල්ලේ ම අවදියෙන් සිටිය යුතු බවයි.

2011 දත්ත විමසන විට පෙනී යන්නේ ජනවාරී හැරුණු කල (933) වර්ෂයේ අනෙක්‌ සැම මාසයක ම ඩෙංගි රෝගීන් ගණන 1000 ඉක්‌මවා තිබූ බවයි. වැඩි ම රෝගීන් ගණනක්‌ වාර්තා වී තිබුණේ ජූලි (4817) හා දෙසැම්බර් (4463) මාසවලිනි.

ඩෙංගි වයිරසයේ ඇති වූ වෙනස්‌කම්

ඩෙංගි රෝගය සෑදීම, එය රක්‌තපාත තත්ත්වය (Dengue Haemmaragic fever) දක්‌වා උත්සන්න වීම, කම්පනයට (Shock) ලක්‌ වී මිය යැම සිදු වූ ස්‌වරූපය පසුගිය වසර කිහිපය තුළ දී විපර්යාසයන්ට ලක්‌ වූ බව පෙනෙන්නට තිබිණ. විශේෂයෙන් ම ඩෙංගි ආසාදනයන්ට ලක්‌ වූ රෝගීන් ඩෙංගි උණ තත්ත්වයේ සිට (පූර්ව ලකුණු නො පෙන්වා) එකවර ඩෙංගි රක්‌තපාත තත්ත්වයට හා ඩෙංගි කම්පනයට ගමන් කිරීම දැකගත හැකි ය. මෙබඳු අවස්‌ථාවල වෛද්‍ය කාර්ය මණ්‌ඩලය පවා අසරණ වූ අතර මරණ සංඛ්‍යාව ඉහළ යැමට ද එය හේතුවක්‌ විය. ඩෙංගි පිළිබඳව අප එතෙක්‌ දැන සිටි සායනික (Clinica) දැනුම වෙනස්‌ ව ඇති බව පැහැදිලි ය. ඩෙංගි වයිරසයේ ඇති වෙනස්‌කම් නම් මේ තත්ත්වයට වගකිය යුතු ව ඇතැයි වෛද්‍යවරු මත පළ කරති. වයිරසය ජානමය විපර්යාසයන්ට ලක්‌ වීම මීට ආසන්න ම හේතුව වශයෙන් දැක්‌විය හැකි ය.

වාහක මදුරුවා ගේ ඇති වූ වෙනස්‌කම්

ඩෙංගි වාහක මදුරුවා ගේ හැසිරීම හා ජීවන චක්‍රය ද කැපී පෙනෙන වෙනස්‌කම්වලට ලක්‌ වී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට රෝගයේ භූගෝලීය ව්‍යාප්තිය කෙරෙහි මෙය හේතු වී ඇත. මදුරු මර්දනය සඳහා අවිචාරවත් ලෙස රසායනික ක්‍රම භාවිතය නිසා අදාළ රසායනිකයන්ට මදුරුවන් අනුවර්තනය වෙමින් ඇත. බිත්තර හරහා ඊළඟ පරම්පරාවන්ට ඩෙංගි වයිරසය සම්ප්‍රේෂණය වන බව දැන් අනාවරණය වී ඇත.

ඩෙංගි රෝගයට සාර්ථකව මුහුණ දෙන්නේ කෙසේ ද යන්න අද කාගේත් මුවග රැඳී ඇති පැනයයි. සෞඛ්‍ය බලධාරීන් ගෙයින් ගෙට ගොස්‌ පරීක්‌ෂා කර මදුරු කීටයන් බෝ විය හැකි ස්‌ථාන සොයාගත් පමණින්, කාටත් පෙනෙන්නට දුම් ගැසූ පමණින් හෝ BTI ආශ්චර්ය භාවිත කළ පමණින් රට පුරා හිස ඔසවන ඩෙංගි උවදුර මැඬලිය හැකි ද? ඩෙංගි ක්‍රියාන්විතයේ මූලික විෂය පථය මෙසේ ලඝූ කොට දැක්‌විය හැකි ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ සාර්ථක ප්‍රතිඵල නෙළා ගැනීමට නම් ඉහත කී මර්දන ක්‍රම සියල්ල අවස්‌ථාවෝචිත ලෙස සංකලනයක්‌ ලෙස ක්‍රියා කළ යුතු බවයි. එසේ ම ප්‍රදේශයේ භූගෝලීය හා දේශගුණික තත්ත්වය, මදුරු ගහණය හා රෝගීන් සංඛ්‍යාව ආදී සාධක ද සලකා බැලිය යුතු වේ. එසේ ම ප්‍රායෝගික පහසුව හා වියදම ද සැලකිල්ලට ගත යුතු ය. කුමන ප්‍ර්‍රදේශවල කවර මර්දන ක්‍රම භාවිත කළ යුත්තේ ද යන්න නිර්ණය කිරීම සෞඛ්‍ය බලධාරීන් ගේ කාර්යයභාරයයි. මෙහි දී කීට විද්‍යාඥයන් ගේ සහාය ද ඉතා වැදගත් වේ. දේශපාලන නායකයන් ගේ හා සිවිල් සමාජයේ සහාය ද සැලකිල්ලට ගත යුතු ය. එහෙත් ඇතැම් විටක මේ පාර්ශවවලින් විද්‍යාත්මකව එතරම් ඵලදායි නැතැයි තහවුරු වූ මර්දන ක්‍රම (ධූමායනය වැනි) කෙරෙහි වැඩි ඉල්ලුමක්‌ ලැබේ. එවිට විද්‍යාත්මකව තහවුරු වී ඇති මර්දන ක්‍රම තෝරාගත යුතු ය.

ඩෙංගි මදුරුවා ගේ ජීවන චක්‍රය විමසන විට පැහැදිලි වන්නේ මදුරු කීටයන් බෝ වන ස්‌ථාන විනාශ කිරීම වඩාත් සාර්ථක මර්දන ක්‍රමය බව ය. එබැවින් ඩෙංගි මර්දනයේ දී මේ කරුණ සම්බන්ධයෙන් නිතිපතා නැවත නැවත අවධානය යොමු කළ යුතු ය.

නාගරික ප්‍රදේශ හා ග්‍රාමීය ප්‍රදේශ සලකන විට සුලබ මදුරු කීටයන් බෝ වන ස්‌ථාන වෙනස්‌ වන බව හඳුනාගත හැකි ය. නාගරික ප්‍රදේශවල ප්ලාස්‌ටික්‌ කප්, ඉවත ලන ටින්, බෝතල් දක්‌නට ලැබේ. ග්‍රාමීය ප්‍රදේශවල පොල් කටු, ගස්‌ බෙන, ජලය රැඳෙන පත්‍ර සහිත ශාක (නාගරික නිවාසවල ද මෙබඳු විසිතුරු ශාක ඇත) හා ජලය එකතු විය හැකි බිම වැටුණු ශාක පත්‍ර ආදිය ඩෙංගි මදුරුවා බිජු ලන ස්‌ථාන විය හැකි ය. නාගරික ප්‍රදේශවල කසළ බැහැර කරන ස්‌ථාන, ගොඩනැ`ගිලි ඉදි කිරීම් පරිශ්‍රයන් හා සුසාන භූමි, (ජලය එක්‌ රැස්‌ වන ලෙස තනනු සොහොන් කොත්) ඩෙංගි මදුරුවන්ට බිජු දැමිය හැකි සරු ස්‌ථාන වේ. මේ ස්‌ථාන කෙරේ මහජනතාව ගේ පෞද්ගලික අවධානය යොමු විය යුතු ය. තව ද නිවාසවල ශීතකරණ පිටුපස, කාර්යාලවල වායුසමන යන්ත්‍ර පිටුපස, ජලය රැඳෙන ස්‌ථාන රැසක්‌ ඇසට සැ`ගවී තිබිය හැකි ස්‌ථාන වේ. එසේ ම නිවාසවල හා ගොඩනැඟිලිවල වැහි පීලී ද (බොහෝ විට ශාක පත්‍ර වැටී ඒවා සිර වූ විට) නිතර පිරිසිදු කළ යුතු ය.

BTI (Bacillus thuringiensis israelensis) බැක්‌ටීරීයාව භාවිත කර පහසුවෙන් ඩෙංගි මාරයා අතු ගා දැමිය හැකි ද යන්න ගැන පසුගිය දා විශාල මහජන අවධානයක්‌ යොමු ව තිබිණි. එය එක්‌ එක්‌ රටක සාර්ථක වූ පමණින් වෙනත් රටක සාර්ථක ප්‍රකිඵල පෙන්වනු ඇතැයි බලපාපොරොත්තු විය නොහැකි ය. ලංකාවේ මදුරු කීටයන් බෝ වන ස්‌ථාන කවරේ දැයි විමසන කල පෙනී යන්නේ ජලය එක්‌රැස්‌ විය හැකි ඉවත දැමූ භාජන ඉන් ප්‍රමුඛතාවක්‌ ගන්නා බවයි. ඉදින් මේ එකින් එකට BTI දැමීම ප්‍රායෝගිකව කළ නොහැක්‌කකි. පොල් කෝම්බ, යෝගට්‌ කෝප්ප එකින් එක ගෙන BTI (දියරය) වත් කිරීමට දරන මහන්සියෙන් ඉතා පහසුවෙන් ඒවා ඉවත් කළ හැකි නො වේ ද? එහෙත් ඉතා කාර්යක්‌ෂ්ම ජෛව විද්‍යාත්මක කීට මර්දන ක්‍රමවේදයක්‌ වන BTIවල සීමාවන් හා භාවිතයන් පිළිබඳ නිසි දැනුම මහජනතාවට ලබා දිය යුතු වේ.

අධි වසංගත තත්ත්ව මතු ව ඇති ප්‍රදේශවල ඒ වන විට සිටින වැඩිහිටි මදුරුවන් ගහණය පාලනය කිරීමට ධූමායනය (Fogging) ප්‍රයෝජනවත් වේ. එහෙත් එය දිගින් දිගට ම කිරීම උචිත නො වේ. දුම් ගැසීමෙන් එක්‌ වරක්‌ වැඩිහිටි මදුරු පරම්පරාවවිනාශ කළ ද කීටයන් ඉතිරි වන බැවින් සතියක්‌ ඇතුළත කීටයන් ගෙන් තවත් පරම්පරාවක්‌ බෝ වීම සිදු වේ. සීමීත වශයෙන් යොදාගත යුතු මර්දන ක්‍රමයක්‌ වූ ධූමායනය සිදු කළ ද මදුරු කීටයන් බෝ වන ස්‌ථාන වැනසීම දිගට ම ඉහළ ප්‍රමුඛතාවකින් සිදු විය යුතු ය. මේ නිසා දුම් ගැසූ පමණින් ඔක්‌කොම හරි යෑයි සිතා නිවාස අවට පිරිසිදු කිරීම අතපසු කළ හොත් තත්ත්වය නරක අතට හැරිය හැකි ය. (මීට අමතරව ඇදුම රෝගීන් ඇති පරිසරයක එම රෝගය උත්සන්න වීමට ද ධූමායනය බලපෑ හැකි ය).

මේ සියලු මර්දන කටයුතු සාර්ථක වීමට නම් රෝගය මතු වන ස්‌ථාන හා ව්‍යාප්ත වන රටාව හැකි තරම් ඉක්‌මනින් හඳුනාගැනීමට (Suveillance) ශක්‌තිමත් ක්‍රමවේදයක්‌ තිබීම වැදගත් වේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හා වංසගත රෝග විද්‍යා ඒකකය (pidemiology unit) මෙහෙයවීමෙන් පුළුල් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වේ. බෝ වන රෝග ව්‍යාප්තිය හඳුනාගැනීමට යොදා ඇති සාමාන්‍ය ක්‍රමයට අමතරව ඩෙංගි රෝගීන් රෝහල් වෙත වාර්තා වූ ක්‍ෂණයකින් ඔවුන් පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) වෙත හා වසංගත රෝග විද්‍යා අංශය වෙත දැනුම් දීමට විධිමත් ක්‍රමවේදයක්‌ ස්‌ථාපනය කර ඇත. එමඟින් අදාළ ප්‍රදේශවල මර්දන වැඩසටහන වහා ඇරඹීමට උපදෙස්‌ සැපයේ. එමඟින් යම් ස්‌ථානයකින් රෝගීන් වැඩිපුර වාර්තා වන්නට වූ විගස ඒ කෙරෙහි යොමු වී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අවකාශ සැලකේ.

එහෙත් පෞද්ගලික අංශයේ සෞඛ්‍ය ආයතනවලින් හා රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබාගන්නා ඩෙංගි රෝගීන් පිළිබඳ දත්ත මේ ක්‍රියාවලිය වෙත ලැබීමේ යම් ඌනතාවක්‌ පැවතීම රෝග මර්දන කටයුතු විධිමත් කිරීමට බාධාවක්‌ වී තිබේ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට මදුරු කීට ගහණ පිළිබඳ නිරීක්‍ෂණයක්‌ (Entemolgical Suveillance) කොට නොබෝ කලකින් එහි ඩෙංගි හිස ඔසවන බවට පූර්ව නිගමනයක්‌ කළ හැකි ය. සැබැවින් ම රෝගීන් වාර්තා වන තෙක්‌ කල් නො මරා මේ ආකාරයෙන් පෙරැයීම් කිරීමට හැකි නම් කල් තියා මර්දන කටයුතු ක්‍රියාත්මක කර එම ප්‍රදේශයේ රෝගය සාර්ථකව පාලනය කළ හැකි ය. (රෝගීන් වාර්තා වන්නට පටන් ගන්නේ යම් ප්‍රදේශයක ආසාදිත මදුරු ගහණය ස්‌ථාපිත වූ පසු ව ය.) එබැවින් මේ කීට දත්ත රෝග මර්දන කටයුතු කාර්යක්‌ෂ්ම කිරීම සඳහා ඵලදායි ලෙස භාවිතයට ගත යුතු ය. එහෙත් ඒ සඳහා අවැසි සම්පත් හා දැනුම හිඟකම දැනට ගැටලුවක්‌ ව පවතී.

ඩෙංගි මර්දන කටයුතු සාර්ථකව දියත් කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සපයා දී ඇත්තේ 2007 අංක 11 දරන මදුරු මර්දන පනතිනි. මදුරු කීටයන් බෝ විය හැකි පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහි ව ඉතා දැඩි පියවර ගත හැකි ශක්‌තිමත් නීතිමය පියවර එහි අඩංගු ය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මඟින් මේ විධිවිධාන ක්‍රියාත්මක වේ. දේශපාලන බලපෑම්වලින් තොර ව, තරාතිරම නො බලා මේ නීති බලාත්මක කිරීම ඩෙංගි මදුරුවාට එරෙහි සටන ශක්‌තිමත් කිරීමට විශාල පිටටිවහලක්‌ වනු ඇත.

එහෙත් කොළඹ, ගම්පහ, කළුතර දිස්‌ත්‍රික්‌වල තත්ත්වය මැඬලීම තවමත් උභකෝටිකයක්‌ ව ඇත. නාගරික ප්‍රදේශ ආශ්‍රිතව නිසි පරිදි කැළිකසළ කළමනාකරණය නො කිරීම, නාගරික ජීවන රටාව හා සබැඳි ප්ලාස්‌ටික්‌ බඳුන් හා ටින් මෙන්ම අදාළ ප්‍රදේශවල අධික ජන ඝනත්වය ද අභියෝගයක්‌ ව ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශය, රෝගීන් වාර්තා වූ ප්‍රදේශ අනුව ඩෙංගි සඳහා අධි අවදානම් දිස්‌ත්‍රික්‌ක හා ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ හඳුනාගෙන ඇත. එම ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානය ඉලක්‌කගත විය යුතු ය. 2012 වසර තුළ මේ දක්‌වා රෝගීන් ගෙන් ද, මරණවලින් ද බහුතරය වාර්තා වන්නේ බස්‌නාහිර පළාතෙන් බව අප සැලකිල්ලට ගත යුතු ය.

ඉහත පැහැදිලි කළ ආකාරයට ඩෙංගි රෝගය වඩා රුදුරු වෙස්‌ ගෙන තිබීම හා අනපේක්‍ෂිත ලෙස අසාධ්‍ය තත්ත්වයට පත් වීම ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරුන්ට අභියෝගයක්‌ ව ඇත. මේ තත්ත්වය තේරුම් ගෙන සෞඛ්‍ය අමාත්‍යංශය ඩෙංගි රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ මාර්ගෝපදේශන (Clinical Guidelines) මාලාවක්‌ ප්‍රකාශයට පත් කළේ ය. ඩෙංගි මරණ ගණනාවක්‌ විශේෂඥ මඬුල්ලක්‌ විසින් තොරතුරු එක්‌රැස්‌ කර ගැනීමෙන් අධ්‍යයනයට ලක්‌ කර පිළියෙල කෙරුණු මේ මාර්ගෝපදේශන මාලාව දැනට බොහොමයක්‌ රජයේ හා පෞද්ගලික රෝහල්වල ඩෙංගි රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ දී භාවිතයට ගන්නා අතර සියලු ම සෞඛ්‍ය ආයතන මීට අනුගත විය යුතු ය.

කලින් සිතා සිටි ආකාරයේ ඩෙංගි උණ සැදී, රක්‌තපාත තත්ත්වය ඇති වී අනුක්‍රමයෙන් කම්පනයට ලක්‌ වීම වෙනුවට ඩෙංගි උණ එකවර කම්පන අවස්‌ථාවට පත් විය හැකි ය යන්න ප්‍රතිකාර කිරීමේ දී සැලකිල්ලට ගත යුතු ය.

එසේ ම ඩෙංගි රෝගියකු අසාධ්‍ය තත්ත්වයට පත් වීම හඳුනාගත හැකි මූලික ලක්‍ෂණ, කළ යුතු පරීක්‍ෂා එහි අන්තර්ගත ය. ප්‍රතිකාර සම්බන්ධයෙන් සුවිශේෂී ම වෙනස්‌කම සිදු වූයේ රෝගීන්ට ශිරාගත දියර (IV fluids) හෙවත් පොදු වහරේ හැඳින්වෙන පරිදි සේලයින් ලබා දීම සම්බන්ධයෙන් ඉතා පැහැදිලි මාර්ගෝපදේශන හඳුන්වා දීම ය. අද වන විට ඩෙංගි රක්‌තපාත තත්ත්වය ඉක්‌මනින් හඳුනාගන්නා බවත්, ඔවුන් ඉක්‌මනින් රෝහල් ප්‍රතිකාර කරා යොමු වන බවත් නිරීක්‍ෂණය කළ හැකි ය. පසුගිය වසරවල ඇතැම් රෝගීන් රෝහල් කරා රැගෙන අවේ අශ්වයා පැන ගිය පසු ය. එනම් කම්පන තත්ත්වයට ලක්‌ වීමෙන් අනතුරු ව ය.

ඩෙංගි මර්දනයේ පෙරමුණ ගත යුත්තේ කවුද? එහි සම්බන්ධීකරණය සිදු කළ යුත්තේ කවුරුන් ද? මේ සම්බන්ධව පසුගිය කාලය පුරා ම විවිධ පර්ශ්ව අතර යම් යම් කඹ ඇදීම් සිදු වූ බව රහසක්‌ නො වේ. ජාතික තලයේ මෙන්ම ප්‍රාදේශීය මට්‌ටමින් ද මෙය දක්‌නට ලැබිණ. ඩෙංගි මර්දන කටයුතු දියත් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයට තනි ව ඉසිලිය හැකි බරක්‌ නො වන හෙයින් අනෙකුත් විෂයයන් ද සම්බන්ධීකරණය කරමින් ඊට ඉහළින් පිහිටි ආයතනයක්‌ ලෙස ඩෙංගි මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය 2010 දී පිහිටුවිණි. එහි අරමුණක්‌ වූයේ සියලු ම අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන ඩෙංගිවලට එරෙහි පොදු ඉලක්‌කයක්‌ වෙනුවෙන් පෙළගැස්‌වීම ය. මෙහි දී එක්‌ එක්‌ පාර්ශ්ව අතර මනා සම්බන්ධීකරණය ඉතා වැදගත් සාධකයකි.

දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ද දිස්‌ත්‍රික්‌ ලේකම්, දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ගේ ප්‍රමුඛත්වයෙන් අනෙකුත් අංශවල සම මට්‌ටමේ නිලධාරීන් ගේ ද සහභාගිත්වයෙන් ඩෙංගි මර්දන කමිටු පිහිටුවා අදාළ කටයුතු සම්බන්ධීකරණය දැනට සිදු වේ. ඇතැම් දිස්‌ත්‍රික්‌කවල මේවා හොඳින් ක්‍රියාත්මක වුව ද සමහර තැන්වල නිසි සම්බන්ධිකරණයක්‌ දක්‌නට නො ලැබේ. හුදෙක්‌ ඩෙංගි මර්දනයේ වගකීම් පිළිබඳ බෝලය එක්‌ එක්‌කෙනාට "පාස්‌ කිරීම" නො විය යුතු ය. ප්‍රාදේශීය මට්‌ටමේ දී ප්‍රාදේශීය ලේකම් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) ගේ ප්‍රමුඛත්වයෙන් ප්‍රාදේශීය ඩෙංගි කමිටු රැස්‌ වේ. මීට අමතරව පළාත් පාලන ආයතන, මධ්‍යම පරිසර අධිකාරිය, හමුදාව, පොලීසිය, සිවිල් ආරක්‍ෂක කමිටු, රාජ්‍ය නො වන ආයතනවල දායකත්වය හා සම්බන්ධීකරණය කමිටුවලට ලැබිය යුතු ය. ප්‍රශස්‌ථ සම්බන්ධීකරණයක්‌ ඇති තැන්වල ඩෙංගි මර්දන වැඩපිළිවෙළ සාර්ථක වන ආකාරයත්, එකිනෙකා අතර කඹ ඇදගන්නා තැන්වල මර්දන කටයුතු දුෂ්කර වී ඇති බවත් පැහැදිලිව පෙනෙන්නට ඇත.

ජාතික මට්‌ටමේ දී ඩෙංගි රෝග ව්‍යාප්තිය පිළිබඳ දත්ත රැස්‌ කිරීම හා ඒ පිළිබඳ අදාළ අංශ වෙත අනතුරු ඇඟවීම් කිරීම (Surveillance) පිළිබඳ වගකීම වසංගත රෝග විද්‍යා අංශයට පැවරී ඇත. ඉහත සඳහන් කළ ආකාරයට සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැර විශේෂිත වැඩපිළිවෙළක්‌ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක ය. තව ද රෝගීන්ට ප්‍රතිකාර කිරීම විධිමත් කිරීමට අදාළ පියවර ගැනීම ද (එනම් සායනික මාර්ගෝපදේශන සැපයීම) වසංගත රෝග විද්‍යා අංශය මඟින් සිදු වේ. දිවයින පුරා රෝග මර්දන කටයුතු මෙහයවීම හා අවශ්‍ය මඟපෙන්වීම් කිරීමට විශේෂයෙන් ජාතික ඩෙංගි මර්දන ඒකකයක්‌ පිහිටුවා ඇත. එමඟින් විවිධ ස්‌ථරවල දී ඩෙංගි පාලන ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය සිදු වීම වැදගත් ප්‍රවේශයකි. මීට අමතරව මදුරු කීටයන් බෝ වීම පිළිබඳ නිරීක්‍ෂණ සිදු කරමින් (Entemolgical Suveillance)) කීට මර්දන කටයුතු සඳහා උපදෙස්‌ දීමේ කාර්යය ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය වෙත පවරා ඇත. මේ ආකාරයෙන් ඩෙංගි මදුරුවාට එරෙහි ක්‍රියාන්විතයේ ප්‍රධාන වගකීම් දස දෙසින් ම ක්‍රියාත්මක වේ.

අද සතියේ විමසුම
වෛද්‍ය අමිල චන්ද්‍රසිරි