logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
ඩෙංගි මර්දනයේ වැරදුණු තැන් නිවැරැදි කරගන්න
සෞඛ්‍ය අමාත්‍යංශය උනන්දු වෙන්නේ නෑ


අමල් උඩවත්ත

"මේ දිනවල දිවයින පුරා වසංගතයක්‌ ලෙසින් පැතිරී යන ඩෙංගි පාලනය කිරීමේ නිවැරැදි ක්‍රමවේද සෞඛ්‍ය අමාත්‍යංශය හඳුනාගෙන නැහැ. ජාතික ඩෙංගි මර්දන ව්‍යාපාරය ආරම්භ කළේ වසර 2010 දියි. ඒ කාලයේ දී ඉතා ම හොඳින් ඩෙංගි මර්දනය කළා. ඒත් වසර 2012 වන විට ඩෙංගි වසංගත තත්ත්වයට පත් වෙලා. මෙහි තිබෙන වරද නිවැරැදි කරගන්න සෞඛ්‍ය අමාත්‍යංශය උනන්දු වෙන්නේ නෑ. වැරදුණු තැන් සෞඛ්‍ය අමාත්‍යංශය හඳුනාගෙනත් නෑ. ක්‍ෂෙත්‍ර මට්‌ටමෙන් කෙරෙන ඩෙංගි රෝග පාලනයේ දී දේශපාලන නායකත්වයෙන් ලකුණු දමාගන්න පමණයි නිලධාරීන් උනන්දු වෙන්නේ." යනුවෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසී ය. ජූනි 20 වැනි දින කොළඹ නිපොන් හෝටලයේ දී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ගේ සංගමය මඟින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ උපුල් රෝහණ මහතා, "ඩෙංගි පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය බැඳී සිටිනවා. මෙරට ඩෙංගි පාලනය හොඳින් සිදු කළ කාල සීමාවේ දී මේ රටේ නිලධාරීන් ගෙන් පිරිසක්‌ පකිස්‌තානයේ ඩෙංගි පාලනය කිරීම සඳහා රජය විසින් යවනු ලැබුවා. දැන් අපේ රටේ ඩෙංගි වසංගත තත්ත්වයක්‌ ඇති වී තිබෙන අවස්‌ථාවේ දී පකිස්‌තානයේ ඩෙංගි පාලනයට ගිය නිලධාරීන් නිහඬයි. ඔවුන් ඇඟිලි දිගු කරන්නේ අපටයි. ශීත කාමරවල ඉඳගෙන තීන්දු තීරණ ගෙන ප්‍රකාශ නිකුත් කළත් අවසානයේ දී වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා. බොහෝ විට සිදු වන්නේ කොට්‌ඨාස බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා ගේ උපදෙස්‌ මත මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා ගමේ එහෙන් මෙහෙන් අහුලා ගත් දෙතුන් දෙනෙක්‌ සමග ගෙයින් ගෙට ගිහින් පරීක්‍ෂා කිරීම පමණයි. මේ රටේ වංසගත රෝග විද්‍යායතනයේ දත්තවලට අනුව මේ වන විට ඩෙංගි රෝගීන් 12165 දෙනෙක්‌ වාර්තා වී සිටිනවා. ක්‍රමයෙන් වැඩි වීමක්‌ තමයි පෙන්නුම් කරන්නේ. මේ රෝගීන් 12165 දෙනා ගෙන් සියයට 29.5ක්‌ ඒ කියන්නේ රෝගීන් 3151ක්‌ වාර්තා වෙන්නේ කොළඹ මහ නගර සභා සීමාවෙන්. කොළඹ මහ නගර සභා සීමාවේ ඩෙංගි රෝගය විධිමත් පාලනයකට ලක්‌ නො කර මේ රටේ ඩෙංගි පාලනය කරන්න බැහැ. හේතුව මේ රටේ වෙසෙන ජනයා ගෙන් බහුතරයක්‌ දිනපතා කොළඹ නගරයට හෝ නගරය හරහාත් සංක්‍රමණය වෙනවා. මෙනිසා ඩෙංගි රෝගය කොළඹින් පිට පළාත්වලට පැතිරීමේ වැඩි ප්‍රවණතාවක්‌ තිබෙනවා. ඒ නිසයි ගම්පහ සහ කළුතර යන දිස්‌ත්‍රික්‌කවල ඩෙංගි රෝගීන් විශාල ප්‍රමාණයක්‌ වාර්තා වෙන්නේ. මේ නිසා අපි පැහැදිලිව කියන්න ඕනේ කොළඹ මහ නගර සීමාවේ ඩෙංගි හරිහැටි පාලනය නො කර කොළඹ දිස්‌ත්‍රික්‌කයෙත් දිවයිනෙත්, ඩෙංගු පාලනය කරන්න බැහැයි කියන එක. මේ රටේ ඩෙංගි පාලනය ආරම්භ කරපු දින සිට මේ දක්‌වා පර්යේෂණ මත පදනම් වූ ක්‍රමවේදයක්‌ ක්‍රියාත්මක වුණේ නෑ. අපි කරන්නේ ඩෙංගි මදුරුවන් බෝ වෙනවා යෑයි සිතන තැන් වසා දැමීමයි. මදුරුවන් මර්දනය වෙන්නේ නෑ. මදුරුවන් වෙනත් තැනකට ගොස්‌ අනුවර්තනය වෙනවා. මහජනයාට නඩු දමනවා. මේ දෙක තමයි රජයේ ප්‍රධාන කාර්යය. මදුරුවන් බෝ වන තැන් විනාශ කිරීමට විධිමත් ක්‍රමවේදයක්‌ තිබිය යුතුයි. ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණය නිවැරැදිව කරන පළාත් පාලන ආයතන ඉතා ම සුළු ප්‍රමාණයකුයි තිබෙන්නේ. අනෙක්‌ පලාත් පාලන ආයතනවල කසළ කළමනාකරණයට නිසි සැලසුමක්‌ නැහැ. මදුරු වසංගතය රට තුළ ව්‍යාප්ත වෙනන එයත් බලපාලා. ඒ නිසා කසළ කළමනාකරණය කිරීමේ ජාතික සැලැස්‌මක්‌ තිබිය යුතුයි. ඒ වගේ ම ඒ ජාතික සැලැස්‌ම තුළින් ඩෙංගි මර්දන ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතුයි" යනුවෙන් පැවසී ය.