logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
නිදහස්‌ කළ නොහැකි ව තිබූ BTI බැක්‌ටීරියාව
ඇමැති නියෝගයෙන් එළියට

සාම්ප්‍රදායික ඩෙංගි මර්දන වැඩසටහන් අඩපණ වීමේ අවදානමක්‌ !

ධාවක රාජසිංහ

විවෘත වෙළෙඳ පොළට නිකුත් කිරීමට පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ගේ අවසරය නොමැති ව තිබූ, කැට ආකාරයට නිපදවා ඇති BTI බැක්‌ටීරියාවේ එක්‌තරා නිෂ්පාදන මාදිලියක්‌, කෘෂිකර්ම ඇමැතිවරයා ගේ මැදිහත් වීමෙන් එකී අවසරය ලබාගෙන ඇත.

මේ කැට ආකාරය ද ඇතුළු, මෙකී බැක්‌ටිරියාව අඩංගු නිෂ්පාදන මාදිලි 3ක්‌ රට තුළ බෙදාහැරීමට පළිබෝධනාශක පිළිබඳ තාක්‌ෂණික හා උපදේශන කමිටුවෙහි නිර්දේශයන් යටතේ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ගේ අනුමැතිය කල් තබා ම ලැබී තිබුණ ද ඒ, "පාලනයක්‌ සහිත ව භාවිත කළ යුතු පළිබෝධනාශක" කාණ්‌ඩය (Restricted pesticide) යටතේ භාවිත කිරීම සඳහා ය. ඒ අනුව මෙකී නිෂ්පාදන භාවිතය සිදු කළ හැකි ව තිබුණේ සෞඛ්‍ය අමාත්‍යංශයටත්, බලය ලත් පළිබෝධනාශක සේවා සපයන්නන් හටත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්‌ෂණය යටතේ අනුමැතිය ලත් අනෙකුත් ආයතනවලටත් පමණි. ඒ ද, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගි මර්දන වැඩසටහන්වලට අනුකූලව සිදු කළ යුතු වේ.

එහෙත් කෘෂිකර්ම ඇමැතිවරයා ගේ මැදහත් වීම හේතුවෙන් දැන් කැට ආකාරයේ නිෂ්පාදන Restricted කාණ්‌ඩයෙන් නිදහස්‌ ව කෙළින් ම පොදු ජනතාව අතට පත් විය හැකි පොදු පළිබෝධනාශක (General pesticides) කාණ්‌ඩයට ඇතුළත් වීමේ වරම ලබා තිබේ.

BTI බැක්‌ටීරියාව රටට අත්‍යවශ්‍ය මොහොතක විවෘත වෙළෙඳපොළට නිකුත් කිරීමේ අවසර නො දී සිටියේ මක්‌ නිසා දැයි විදුසර පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් ආචාර්ය අනුර විඡේසේකර මහතා ගෙන් විමසූ අවස්‌ථාවේ දී ඒ මහතා කියා සිටියේ එම තීරණය ගනු ලැබුවේ පළිබෝධනාශක නිදහස්‌ කිරීම පිළිබඳව අනුගමනය කෙරෙන සම්මත ක්‍රියා පටිපාටියට අනුකූලව කටයුතු කිරීමෙහි ප්‍රතිඵලයක්‌ ලෙස බවයි. පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා පළිබෝධනාශකයක්‌ භාවිතය පිණිස නිකුත් කිරීමට අදාළ තීරණ ගනු ලබන්නේ පළිබෝධනාශක පිළිබඳ තාක්‌ෂණික හා උපදේශන කමිටුවෙහි නිර්දේශ ප්‍රකාරව ය. එම කමිටුව යටතේ ක්‍රියාත්මක වන ගෘහාශ්‍රිත හා මහජන සෞඛ්‍යය පිළිබඳ අනුකමිටුව, මීට පෙර අවස්‌ථාවක පෙර කී BTI බැක්‌ටීරියාවේ කැට ආකාර නිෂ්පාදන මාදිලිය විවෘත වෙළෙඳපොළට නිකුත් කිරීමට අනුමැතිය ලබා දී නො තිබුණේ දැනට ක්‍රියාත්මක වෙනත් ඩෙංගි මර්දන ක්‍රියාමාර්ග මහජනයා විසින් නො සලකා හරිනු ලබනු ඇතැයිs යන කරුණ සැලකිල්ලට ගනිමිනි. පසුව තාක්‌ෂණික හා උපදේශන කමිටුව, ආසනික්‌ අන්තර්ගත ව ඇතැයි යන කරුණ මත ද මෙකී නිෂ්පාදන මාදිලිය විවෘත වෙළෙඳ පොළට නිකුත් කිරීම අනුමත නො කර තිබිණි.

මේ අතර සෙසු සමාගම් ද නව ප්‍රවණතාව ආදර්ශයට ගත හොත් දැනට ක්‍රියාත්මක ඩෙංගි මර්දන ක්‍රියා පිළිවෙත් මහජනයා විසින් ලුහු කොට සැලකීම හේතුවෙන් ඩෙංගි පාලනය නැවතත් අඩපණ වීමේ අවදානමක්‌ ඇතැයි තතු දත් අය අනතුරු හඟවා සිටිති.