logo3.gif (702 bytes)

HOME


අපේ ප්‍රවාද

ප්‍රවාද මගින් තේරුම් නො ගැනීම

සම්භාව්‍ය භෞතිකයෙහි වස්‌තුවක්‌ හෝ අංශුවක්‌ හෝ එක්‌ තැනක සිට තවත් තැනකට යැම යනු කුමක්‌ දැයි තේරුම් ගැනීමට අපි උත්සාහ කරමින් සිටින්නෙමු. මෙතැන තිබූ වස්‌තුවක්‌ හෝ අංශුවක්‌ හෝ එතැන තිබෙන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීම එතරම් පහසු දෙයක්‌ නො වේ. එතැන තිබෙන්නේත් මෙතැන තිබූ වස්‌තුව හෝ අංශුව හෝ නො වේ. ඒ වෙනත් වස්‌තුවක්‌ හෝ අංශුවක්‌ හෝ ද නො වේ. එහෙත් එතැන තිබෙන්නේත් මෙතැන තිබූ අංශුව ම යෑයි අපි සිතමු. එය මායාවක්‌ පමණි. එසේ ඒ වස්‌තුවත් මේ වස්‌තුවත් එක ම යෑයි අප සිතන්නේ අපේ අවිද්‍යාව හේතු කොටගෙන ය. එපමණක්‌ නො ව එසේ එක ම වස්‌තුවක්‌ ඇතැයි සිතන මා නම් නිරීක්‍ෂකයා ද පවතින්නේ යෑයි සිතන්නේ ද අවිද්‍යාව හේතුවෙනි. මේ සියල්ල මා නම් නිරීක්‍ෂකයා ගේ අවිද්‍යාව නිසා හටගැනෙයි. මා නම් නිරීක්‍ෂකයා හා අනෙක්‌ වස්‌තුව පවතින්නේ යෑයි ගැනීම ආත්මවාදී යෑයි කිව හැකි ය.

ආත්මවාදී යෑයි කීව ද මෙහි වාදයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ නැත. වාද, ප්‍රවාද ආදිය අපේ අනුමාන වෙයි. අප වාදයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ නිර්මාණය කරන්නේ යම් සංසිද්ධියක්‌ තේරුම් ගැනීමට ය. සංසිද්ධි ද අපේ නිර්මාණ වෙයි. ඒවා අපේ ප්‍රත්‍යක්‍ෂ විය හැකි ය. එහෙත් ප්‍රත්‍යක්‍ෂ ද අපේ නිර්මාණ වෙයි. පොල් ගෙඩියක්‌ වැටීම අපේ ප්‍රත්‍යක්‍ෂයකි. අපි පොල් ගෙඩි වැටෙනු නිරීක්‍ෂණය කරමු. එය අපේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර වෙයි. එය අපි මනසින් ද ගෝචර කර ගන්නෙමු. එහෙත් පොල් ගෙඩිය යනුවෙන් වස්‌තුවක්‌ ඇතැයි ගැනීම ම ආත්මයක්‌ ඇතැයි ගැනීමකි. අපේ මනස්‌ සකස්‌ වී ඇති ආකාරයට අපි පළමුව මනසක්‌ ඇතැයි ගන්නෙමු. ඉන්පසු පොල් ගෙඩි ආදී අනෙක්‌ වස්‌තු ඇතැයි ගන්නෙමු.

කෙසේ වෙතත් පොල් ගෙඩි වැටීමේ සංසිද්ධිය, අපේ ප්‍රත්‍යක්‍ෂයක්‌ වූ සංසිද්ධි තේරුම් ගැනීම සඳහා අපි ප්‍රවාද ගොඩන`ගන්නෙමු. ඒ සඳහා නිව්ටන් විද්වතා එක්‌ ප්‍රවාදයක්‌ ද අයින්ස්‌ටයින් විද්වතා එයට සංකල්පීය වශයෙන් හාත්පසින් ම විරුද්ධ වූ තවත් ප්‍රවාදයක්‌ ද ගොඩනැඟී ය. එකකට අනුව පොල් ගෙඩි වැටෙන්නේ ගුරුත්වාකර්ෂණය හේතු කොටගෙන ය. අනෙකට අනුව පොල් ගෙඩි වැටෙන්නේ අවකාශ - කාලයෙහි වක්‍රතාව නිසා ය. එහෙත් අපට ඒ ප්‍රවාදවලින් පොල් ගෙඩි වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගත හැකි ද?

මේ තේරුම් ගැනීම යනුවෙන් අප අදහස්‌ කරන්නේ අපට ප්‍රත්‍යක්‍ෂයක්‌ වත් නො වූ පඹගාලක හිර වීම පමණකි. ගුරුත්වාකර්ෂණය යනු කුමක්‌ ද? අප බොහෝ දෙනකු සිතන්නේ අපට ගුරුත්වාකර්ෂණය යන්න තේරෙන්නේ ය කියා ය. එහෙත් ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. එය වියුක්‌ත සංකල්පයකි. එය අපට ප්‍රත්‍යක්‍ෂ නො වේ. පොල් ගෙඩිය යනුවෙන් ඊනියා දෙයක්‌ නො පැවතුණ ද වැරැදියට වුවත් එය අපේ ඉන්ද්‍රියවලට ගෝචර වෙයි. පොල් ගෙඩිය පොල් ගෙඩියක්‌ ලෙස ගැනීම වැරැදි වුවත් අපේ මනස හා පංෙච්න්ද්‍රිය උපයෝගී කරගෙන අපි එය, නැවත වරක්‌, වැරැදියට වුවත් ප්‍රත්‍යක්‍ෂ කර ගන්නෙමු.

එහෙත් අපට වියුක්‌ත සංකල්පයක්‌ වූ ගුරුත්වාකර්ෂණය වැරැදියට වත්, වැරැදිලා වත් ප්‍රත්‍යක්‍ෂ නො වේ. අවකාශ - කාලයේ වක්‍රතාව ගණිතය නො දැන සිතා ගැනීමට වත් නො හැකි ය. එසේ නම් මෙවැනි අවස්‌ථාවල වියුක්‌ත ප්‍රවාද මඟින් අප තේරුම් ගන්නේ යෑයි කියන්නේ තේරුම් ගෙන තිබූ ටිකත් නැති කර ගැනීමට මිස අනෙකකට නො වේ. මේ තේරුම් ගැනීම පොතක පතක තිබෙන දුරාවබෝධ වාක්‍යයක්‌ හෝ ඡේදයක්‌ හෝ තේරුම් ගැනීම මෙන් නො වේ. වාක්‍යයක්‌ හෝ ඡේදයක්‌ හෝ අවබෝධ කරගත නොහැකි නම් අප කරන්නේ එක්‌කෝ ශබ්දකෝෂයක්‌ මඟින් ඒ තේරුම් ගැනීම ය. එසේත් නැත්නම් එය තේරුම්ගත් වෙනත් අයකු ගෙන් අසා දැන ගැනීම ය. එසේත් නැත හොත් සන්දර්භයට අදාළව එය තේරුම් ගැනීමට උත්සාහ කිරීම ය.

පළමු අවස්‌ථා දෙකෙහි අදාළ වාක්‍යය හෝ ඡේදය හෝ එක්‌කෝ අප දන්නා අපට තේරෙන වචනවලින් ප්‍රකාශ කර ගැනීමට අපි කටයුතු කරමු. එමෙන් ම අප එතෙක්‌ නො දැන සිටි වචනයක්‌ වී නම් එය ද දන්නා වචනවලින් තේරුම් ගැනීමට උත්සාහ කරන්නෙමු. එසේත් නැත හොත් නො දැන සිටි වචනය ගැන චිත්ත රූපයක්‌ මවා ගැනීමට උත්සාහ කරමු. ඒ කුමක්‌ වුවත් අපට ඒ ඔස්‌සේ පංෙච්න්ද්‍රිය සමග එකතු වී හෝ නැති ව හෝ මනසට දැනෙන සංකල්පයක්‌ අපි තනා ගන්නෙමු. අප සතුටු වන්නේ දුක්‌ වන්නේ මනසෙනි. එය මනසට හා පංෙච්න්ද්‍රියයන්ට ගෝචර වන යම් කරුණක්‌ නිසා සිදු වන්නක්‌ විය හැකි ය. එහෙත් සතුටු වීම හෝ දුක්‌ වීම හෝ අපේ මනසට දැනෙන්නකි. එය අපට ප්‍රත්‍යක්‍ෂ වෙයි.

එහෙත් දිව්‍ය ලෝකය අපට ප්‍රත්‍යක්‍ෂ නැත. අපට එය මනසට පෙනෙන, එනම් මනසින් මවාගත හැකි, එහෙත් මනසට නො දැනෙන සංකල්පයකි. දිව්‍ය ලෝක ගැන අපි නොයෙකුත් දේ අසා ඇත්තෙමු. දෙවියන් ගැන ද අප බොහෝ දෙනකුට ඇත්තේ අසා දැනගත් කරුණු ය. පන්සලේ ඇති දේව රූප අපි දැක ඇත්තෙමු. ඒ සියලු කරුණු ඔස්‌සේ අපි දිව්‍ය ලෝක මනසෙහි මවා ගන්නෙමු. ඇතැමුනට දිව්‍ය ලෝක හයේ නම් ද ප්‍රකාශ කළ හැකි ය. එහෙත් ඒ එක්‌ අයකුට වත් දිව්‍ය ලෝක ප්‍රත්‍යක්‍ෂ නැත. අප සසරේ යම් කාලයක්‌ දිව්‍ය ලෝකවල ගත කර ඇතැයි සිතිය හැකි වුව ද අපට දිව්‍ය ලෝක ප්‍රත්‍යක්‍ෂ නො වේ. දෙවියන් දැක ඇති අයට දෙවියන් ප්‍රත්‍යක්‌ෂ වුව ද ඔවුන්ට ද දිව්‍ය ලෝක ගැන ප්‍රත්‍යක්‍ෂ දැනුමක්‌ නැත. ඔවුන්ට ද දිව්‍ය ලෝක ගැන ඇත්තේ ප්‍රත්‍යක්‍ෂ නො වූ දැනුමකි.

එහෙත් බුදුන් වහන්සේ රහතන් වහන්සේ ආදී උතුමනට දිව්‍ය ලෝක ගැන ප්‍රත්‍යක්‍ෂ දැනුමක්‌ ඇත. අප ඒ බව දන්නේ කෙසේ දැයි පඬියකුට ප්‍රශ්නයක්‌ විය හැකි ය. අප ඒ බව දන්නේ අපට උන්වහන්සේ විශ්වාස නිසා හා අප උන්වහන්සේ දේශනා කරන කරුණු විශ්වාස කරන නිසා ය. එය විශ්වාසය මත පදනම් වෙයි. විශ්වාසය නැති ව කිසි ම දෙයක්‌ අපට අන්‍යයන් ගෙන් දැනගත නො හැකි ය. අප බටහිර විද්‍යාඥයන් කියන දේ පිළිගන්නේ ඒ සියල්ල පිළිබඳ පර්යේෂණ කර බැලීමෙන් පසුව නො වේ. අපට ඔවුන් ගැන විශ්වාසයක්‌ ඇති බැවිනි. ඒ විශ්වාසය ගොඩන`ගා ඇත්තේ පාසල්, විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය විසිනි.

දිව්‍ය ලෝක ගැන අපට ප්‍රත්‍යක්‍ෂ දැනුමක්‌ නැතත් ඒ පිළිබඳ ව බුදුන් වහන්සේට හා රහතන් වහන්සේට ප්‍රත්‍යක්‍ෂයක්‌ ඇත. එහෙත් ගුරුත්වාකර්ෂණය පිළිබඳ ව ප්‍රත්‍යක්‍ෂයක්‌ ඇත්තේ කා හට ද? මා දන්නා තරමින් එලෙස ප්‍රත්‍යක්‍ෂයක්‌ ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයයේ රසායන විද්‍යා අධ්‍යයන අංශයේ එක්‌තරා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුට පමණි. එහෙත් ඔහු ද තමාට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයක්‌ ඔස්‌සේ දැයි කීමට මැළි විය. ඔහු හැරෙන්නට වෙනත් කිසි ම අයකුට මා දන්නා තරමින් නම් ගුරුවාකර්ෂණය ප්‍රත්‍යක්‍ෂ වී නැත.

අඩු ම තරමෙන් නිව්ටන් විද්වතාට වත් ගුරුත්වාකර්ෂණය ප්‍රත්‍යක්‍ෂ වූවක්‌ නො වේ. ඔහු ගුරුත්වාකර්ෂණය හඳුන්වා දුන්නේ ප්‍රශ්නයකට පිළිතුරක්‌ ලෙස ය. එය හිතළුවක්‌ පමණකි. නිසැකයෙන් ම එය ඔහු ගේ මනසෙහි නිර්මාණය වූවකි. වෙනත් වචනවලින් කිව හොත් එය මනඃකල්පයකි. අපට සුපුරුදු බසින් කිවහොත් මනස්‌ගාතයකි. එහෙත් මනස්‌ගාතවලින් පටන්ගෙන ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් බටහිර විද්‍යාඥයන්ට යම් යම් කරුණු ප්‍රකාශ කළ හැකි ය. මේ ප්‍රකාශවලට නිගමන යෑයි කීමට මා මැළි වන්නේ ඇරිස්‌ටෝටලීය න්‍යාය ද හුදු උද්ගමනයක්‌ පමණක්‌ වීම නිසා ය.

බටහිර විද්‍යාවේ තේරුම් ගැනීම යනු දුරාවබෝධ වාක්‍යයක්‌ හෝ ඡේදයක්‌ හෝ තේරුම් ගැනීම වැන්නක්‌ නො වේ. බටහිර විද්‍යාවේ වියුක්‌ත ප්‍රවාද ඔස්‌සේ තේරුම් ගැනීම යනු තේරුම් නො ගැනීමක්‌ පමණක්‌ නො ව තේරුම් ගෙන සිටි දෙයත් නැති කර ගැනීමකි. බටහිර විද්‍යාවේ ප්‍රවාදයක්‌ යනු සංගත එහෙත් හිතළුවකි. කතන්දර පමණකි. මේ කතන්දරය ඊනියා සත්‍යයක්‌ යෑයි මිනිසුන් ලවා විශ්වාස කරවීමට හැකි වී ඇත්තේ ඒ කතන්දරයට ඇරිස්‌ටෝටලීය න්‍යාය යෙදීමෙන් ලබාගන්නා ප්‍රකාශ සන්නිකර්ෂණ ව යම් වෙසෙසීය මට්‌ටමක (Level of significance) නිරීක්‍ෂණය සමග එකඟ වන බැවින් ය. ඒ හැරෙන්නට හිතළුව අපේ ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වේ.

නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය අර කථිකාචාර්යවරයා ගේ හැරෙන්නට එදා මෙදාතුර විසූ කිසිවකු ගේ වත් ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වේ. එහෙත් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය උපයෝගී කරගනිමින් උද්ගමනයක්‌ පමණක්‌ වූ ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් තවත් හිතළුවක්‌ වූ නිව්ටෝනීය දෙවැනි නියමය ද ආධාර කරගනිමින් බටහිර විද්‍යාඥයෝ පොළොව ආසන්නේ වස්‌තු ඒකාකාර ව එක ම අගයකින් පොළොවට ඇද වැටෙන බව ද ග්‍රහ වස්‌තු අචල ඉලිප්සවල චලනය වන බව ද ප්‍රකාශ කරති. එය සන්නිකර්ෂණ ව මිනිසුන් ගේ නිරීක්‍ෂණ සමග එකඟ වෙයි. මෙහි දී කිව යුතු කරුණක්‌ නම් මිනිසුන් ඒ සමග එකඟ වන්නේ බටහිර විද්‍යාඥයන් අනුව සිතන්නට ඔවුන්ට පුරුදු කිරීමෙන් පසුව බව ය. ඒ කෙසේ වෙතත් ග්‍රහ වස්‌තු අවකාශයේ අචල ඉලිප්සවල චලනය නො වේ. ඒ ඉලිප්සවලට ද "චලිතයක්‌" වෙයි.

අයින්ස්‌ටයිනීය අවකාශ - කාල වක්‍රතාව ගුරුත්වාකර්ෂණයටත් වඩා වියුක්‌ත සංකල්පයකි. ඒ ගැන කිසිවකුට චිත්ත රූපයක්‌ වත් මවාගත නො හැකි ය. එහි ප්‍රත්‍යක්‍ෂතාවක්‌ ගැන කිසිසේත් ම සිතිය නො හැකි ය. එහෙත් නැවතත් ඒ සංකල්ප, අයින්ස්‌ටයිනීය ක්‍ෂෙත්‍ර සමීකරණ හා ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගෙන බටහිර විද්‍යාඥයන් ගේ ඇතැම් නිරීක්‍ෂණ සමග එකඟ වන ප්‍රකාශ ලබාගත හැකි වෙයි. පොල් ගෙඩි පොළොවට වැටීම කාගේත් ප්‍රත්‍යක්‍ෂයකි. එහෙත් අවකාශ - කාල වක්‍රතාව කිසිවකු ගේ වත් ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වේ. අප කා හටත් තේරුම් ගත හැකි ව තිබු පොල් ගෙඩි, ඇපල් ගෙඩි ආදිය පෙළොවට ඇද වැටීම දැන් ලෝකයෙහි ලක්‍ෂයකට අඩු පිරිසක ගේ ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වූ සංකල්පයක්‌ පමණකි. එය මනසට වත් නො දැනෙන හුදෙක්‌ මනසෙහි ඇති වූ සංකල්පයක්‌ පමණක්‌ වෙයි. මනස්‌ගාතයක්‌ පමණකි.

මෙහි දී අවධාරණය කළ යුත්තේ පෘථග්ජනයන්ට ප්‍රත්‍යක්‍ෂ වූ දෑ ඊනියා සත්‍ය නො වන බව ය. පාථග්ජන ප්‍රත්‍යක්‍ෂ ද අවසාන වශයෙන් ගත් කල ඔවුන් ගේ පංෙච්න්ද්‍රිය හා මනස මඟින් නිර්මාණය කෙරෙයි. අප සියලු දෙනාට ම තමන් ගැන ප්‍රත්‍යක්‍ෂයක්‌ වෙයි. බටහිර දාර්ශනිකයකු වූ දෙකාර්තේ පැවසුවේ "මම සිතමි. එබැවින් මම වෙමි"යනුවෙනි. මේ තර්කයේ ද මම වෙමි යන්න කල් තබා ම උපකල්පනය කෙරී ඇත. මම සිතමි යනුවෙන් පවසන විට සිතන්නේ මා බව කියෑවෙයි. එසේ උපකල්පනය කර තිබිය දී මම වෙමි යනුවෙන් පැවසීම ව්‍යාජ නිගමනයක්‌ පමණි. දෙකාර්තේ කුමක්‌ කීවත් මිනිසුනට තමන් පවතින බව ප්‍රත්‍යක්‍ෂ ය.

එහෙත් සිංහල බෞද්ධයනට මා යනුවෙන් කෙනකු නැත. එසේ නම් මිනිසුනට ප්‍රත්‍යක්‍ෂ වන්නේ ද නැති දෙයකි. එහෙත් ඒ නැති දෙයක්‌ ලෙස මිනිසුන් විසින් සලකනු නො ලැබෙයි. පුටුව පිළිබඳ මිනිසුන් ගේ ප්‍රත්‍යක්‍ෂය වුව ද එබඳු ය. මිනිසුන්ට අනෙක්‌ සත්ත්වයන්ට ද නැති දේ ප්‍රත්‍යක්‍ෂ වෙයි. අපි සම්මුතියෙන් ඒ ඇතැයි සලකමු. පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ ගැන වුව ද අපට සෑහීමකට පත් විය නොහැකි ය. වාද හා ප්‍රවාද ආශ්‍රිත දැනුම ගැන ඒ තරමට වත් සෑහීමකට පත්විය නොහැක්‌කේ ප්‍රවාදය ම හිතළුවක්‌ වන බැවින් හා ඊනියා නිගමනවලට එළඹීමේ දී යොදා ගන්නා ඇරිස්‌ටෝටලීය න්‍යාය ද හුදු උද්ගමන වීම නිසා ය. ඊනියා අනාත්මවාදය, වාදයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ නො ව බුදුන් වහන්සේ ගේ ප්‍රත්‍යක්‍ෂයකි. මම බුදුන් වහන්සේ විශ්වාස කරමි.

නලින් ද සිල්වා