logo3.gif (702 bytes)

HOME


ජගත් පරිසර විමසුම - 129
(ධනේෂ් විසුම්පෙරුම)


රියෝ+20 සමුළුවේ ප්‍රතිඵලය
'අපට අවශ්‍ය අනාගතය' ලොවට ලැබිණි ද?


වසර දශකයකට පමණ පසු පැවැති ජගත් මට්‌ටමේ පරිසර සමුළුව පසුගිය සතියේ බ්‍රසීලයේ රියෝ ද ජැනේරෝ නගරයේ දී අවසන් විය. මේ රියෝ+20 සමුළුවට ලෝක නායකයන් සිය දෙනෙක්‌ පමණ ද, රට රටවල පරිසර විෂය හා සම්බන්ධ අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක්‌ ද සහභාගි වූ බව වාර්තා වේ. මේ අතර රාජ්‍ය නො වන සංවිධාන නියෝජිතයන් හා මාධ්‍යවේදීන් වැනි වෙනත් කණ්‌ඩායම් ද ඇතුළු හතළිස්‌ පන් දහසකට අධික පිරිසක්‌ මේ සමුළුව හා ඒ හා සමගාමීව පැවැති වෙනත් සිදුවීම් සමඟ ද සම්බන්ධ වී තිබේ.

මේ සමුළුව පරිසරය පිළිබඳව සැලකිල්ලක්‌ දැක්‌වූ පිරිස්‌ සඳහා වඩා වැදගත් වූයේ එහි දී තිරසර සංවර්ධනය සඳහා නව මාවතක්‌ සැකසීම සඳහා වූ යම් පියවරක්‌ ගැනීමට නියමිත වූ නිසා ය. විශේෂයෙන් පසුගිය දශක දෙකක කාලය තුළ පරිසර ක්‌ෂේත්‍රයේ ඇති වී තිබෙන වර්ධනය ප්‍රමාණවත් තරම් නො වන තත්ත්වයක්‌ හමුවේ මේ සමුළුව සංවිධානය කර තිබිණි. හරිත ආර්ථිකයක්‌ මඟින් ලෝකය වර්තමාන පාරිසරික හා ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමට හැකි වේ ද යන්න මුල් වරට පුළුල් ලෙස සංවාදයට ලක්‌ වූයේ මේ සමුළුව සඳහා වූ පෙර සූදානම තුළ දී ය.

මෙවැනි පසුබිමක්‌ තුළ පැවැති රියෝ+20 සමුළුවේ අවසන් ප්‍රතිඵලය වූයේ කවරක්‌ ද යන්න කෙටියෙන් සාකච්ඡා කිරීම සඳහා අද දවසේ ජගත් පරිසර විමසුම වෙන් කරමු.

පරිසර ගැටලුවලට විසඳුම් ලැබී තිබේ ද?

රියෝ සමුළුව අවසානයේ දී ලෝකයේ රටවල දේශපාලන අධිකාරීන් එකඟ වූ ප්‍රකාශනය මෙහි ප්‍රධානතම ප්‍රතිදානය සේ සැලකිය හැකි ය. 'අපට අවශ්‍ය අනාගතය' (The Future We Want) නම් වූ එය පසුගිය ජනවාරි මස එළිදක්‌වන ලද මුලින් ම සාකච්ඡාවට ලක්‌ කරන ලද ශුන්‍ය කෙටුම්පත මත පදනම් වුවත්, ඊට වඩා බොහෝ වෙනස්‌කම් ඇති වී තිබේ. කෙසේ වෙතත් මෙය කරුණු ගණනාවකින් යුක්‌ත දිගු ලියෑවිල්ලකි.

තිරසර සංවර්ධන අභිමතාර්ථ (Sustainable Development Goals - SDGs) සකස්‌ කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම එහි ප්‍රධාන අංගය සේ දැක්‌විය හැකි ය. මේ අනුව ඉදිරි වර්ෂ තුනක කාලය තුළ ලෝකයේ රටවල් තිරසර සංවර්ධන ඉලක්‌ක සකස්‌ කිරීමට වෙන් කර ඇත. එහි ඇතුළත් විය යුතු කරුණු තීරණය කිරීමට රියෝ සමුළුවේ දී නොහැකි වූ අතර එය ඉදිරි වසර තුළ දී සිදු කිරීමට නියමිත ය. ඉන්පසුව මේ අභිමතාර්ථ හා සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ ඒකාබද්ධ කිරීමට ද අදහස්‌ කර තිබේ.

උක්‌ත ප්‍රකාශනය අනුව තිරසර සංවර්ධනය සඳහා හරිත ආර්ථිකයක්‌ ප්‍රවර්ධනය කිරීම පිළිගෙන ඇති අතර ඒ සඳහා වැදගත් වන පියවර ද ඇතුළත් ය. එසේ ම එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන ශක්‌තිමත් කිරීමට ද මේ අනුව එකඟ වී තිබේ. තව ද දල දේශීය නිෂ්පාදිතයට වඩා මානව යහ පැවැත්ම පෙන්වා දෙන ක්‍රමවේදයක්‌ ද මෙහි දී පිළිගෙන තිබේ. අනෙක්‌ අතට, තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය නිමානය කිරීම සඳහා රාමුවක්‌ සකස්‌ කිරීම ද මෙහි දී අවධානයට ලක්‌ ව ඇති කරුණකි.

කෙසේ වෙතත් ඇතැම් අංශ සම්බන්ධව ඇති ඉලක්‌ක හා අවසානයේ එකඟ වූ ලේඛනයේ වෙනස්‌කම් පවතී. ෙÁdසිල ඉන්ධන සඳහා ලබා දෙන සහනාධාර සීමා කිරීමට එකඟතාවක්‌ ලැබී නැත. එය සිදු වූයේ නම් හරිතවත් බලශක්‌ති ප්‍රභවවලට වැඩි අවධානයක්‌ යොමු වීමට අවස්‌ථාවක්‌ ඇති බව පැහැදිලි වුවත්, එය බොහෝ රටවල බලශක්‌ති අවශ්‍යතාවට මෙන්ම, සංවර්ධනය සඳහා ද බලපෑමක්‌ කළ හැකි බැවින් ඊට සහයෝගයක්‌ නො ලැබුණු බව පැහැදිලි ය. අනෙක්‌ අතට දුප්පත් ජනතාව අතර පිරිසිදු ජලය, ප්‍රමාණවත් තරම් ආහාර හා නූතන බලශක්‌ති ප්‍රභව භාවිතය සඳහා ඇති අයිතිය වෙනුවෙන් වූ යෝජනා ද දුර්වල වී තිබේ.

මේ එකඟතාව කෙතරම් ප්‍රමාණවත් ද යන්න විමසා බැලීම ද වැදගත් වේ. මේ පිළිබඳව එක්‌සත් ජාතීන් වෙතින් ඇසෙන්නේ සුපුරුදු පරිදි සුබවාදී අදහසකි. ඒ පිළිබඳව අදහස්‌ දක්‌වමින් එක්‌සත් ජාතීන් ගේ මහලේකම් බන් කි-මුන් පවසන්නේ එය ලෝකය වඩා තිරසර මාවතක්‌ වෙත යොමු කරනු ඇති බව ය. එසේ ම මේ මාර්ගය දිගු හා පහසු නො වන එකක්‌ විය හැකි බව ද ඔහු දක්‌වා ඇත.

මේ අතර සමුළුව අවසන් වන විට තිරසර සංවර්ධනය සඳහා හේතු වන ස්‌වෙච්ඡාවෙන් සිදු කිරීමට නියමිත කැපවීම් හත් සියයකට අධික ප්‍රමාණයක්‌ පිළිබඳව විවිධ පාර්ශ්ව මඟින් පොරෙන්දු වී ඇත. විවිධ සමාගම්, ආණ්‌ඩු, විශ්ව විද්‍යාල, සිවිල් සමාජ සංවිධාන හා ආයතන ආදිය මේ අතර වේ. මේවා බලශක්‌තිය, ජෛවවිවිධත්වය, ප්‍රවාහනය ආදි විවිධ අංශ යටතට ගැනෙන අතර ඒ කැපවීම්වල මූල්‍යමය අගය ඩොලර් බිලියන 513ක්‌ පමණ බව සඳහන් විය. නිදසුනක්‌ ලෙස මුරුසි දූපත් රාජ්‍යය ඔවුන් ගේ රාජ්‍යයෙන් සියයට 25ක්‌ පමණ ආරක්‌ෂිත ප්‍රදේශ බවට පත් කරන බවට පොරොන්දු වී තිබේ. මෙය වැදගත් වුවත් ඊට නෛතික බලපෑමක්‌ නොමැති බව අප අමතක නො කළ යුතු ය. අනෙක්‌ අතට මේ ඇතැම් කැප වීම්වලින් සිදු කළ හැකි වෙනස අදාළ අංශයේ ඇති ගැටලු හා සම්බන්ධව කෙතෙක්‌ දුරට ප්‍රමාණවත් ද යන්න අපට නම් ගැටලුවකි.

අවශ්‍යතාව නොමැත්තේ කාට ද?

සමස්‌තයක්‌ ලෙස රියෝ+20 සමුළුවේ ප්‍රතිඵලය දෙස බලන විට එය කෙතරම් ඵලදායී වූයේ දැයි යන්න අපට නම් ගැටලුවකි. පොදුවේ ගත් විට බොහෝ සමාජ හා පාරිසරික කණ්‌ඩායම්වල අදහස වන්නේ සමාජ හා පාරිසරික ගැටලු විසඳීම සඳහා මේ එකඟතාව ප්‍රමාණවත් නො වන බවයි. මීට වඩා ක්‍රියාත්මක කඩිනම් පියවරක්‌ ගැනීමට මෙය අවස්‌ථාවක්‌ කළ හැකි ව තිබිණි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ලෝකය තිරසර කිරීම සඳහා වූ නෛතික වශයෙන් වැදගත් ක්‍රියාවලියක්‌ මෙහි දී ආරම්භ වී නොමැත. සිදු ව ඇත්තේ ක්‍රියාවලියක ආරම්භයක්‌ පමණි.

සමුළුවේ දී මීට වඩා සාධනීය පියවරක්‌ නො ගැනුණේ ඇයි? සමුළුවට ලෝක නායකයන් රැසක්‌ සහභාගි වුවත් සමුළුවේ සාර්ථකත්වයට බලපෑමක්‌ කළ හැකි ආකාරයේ නායකත්වයක්‌ ඔවුන් වෙතින් නො ලැබුණු බවට ඇතැම් පාර්ශ්ව නඟන චෝදනා සත්‍යයකි. ලෝක පාරිසරික අර්බුදයේ බරපතළ බව මේ රටවල නායකයන් නිසි ලෙස තේරුම්ගෙන නොමැත. ඊට විසඳුම් සෙවීම වැදගත් හා කඩිනමින් කළ යුතු පියවරක්‌ බව ඔවුන් යළිත් නො සලකා හැර ඇති බව පෙනේ. එය දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ කරුණුවල දී ද අප දුටු පැහැදිලි ප්‍රවණතාවකි. පාරිසරික ගැටලුවල බරපතළ බව නිසි ලෙස අවබෝධ කර නො ගැනීම නො ව, ඔවුන් වඩා වැදගත් කර සලකන වෙනත් කරුණු තිබීම මීට හේතුවයි. අප මින් පෙර පෙන්වා දී ඇති පරිදි, ආර්ථික සංවර්ධනය හා ඒ හා සම්බන්ධ වෙනත් කරුණු නිසා මේ තත්ත්වය ඇති වී තිබේ. එහෙත් මේ ආර්ථික අර්බුදය පිළිබඳ තර්කය එතරම් සාධාරණ නො වන්නක්‌ බව පාරිසරික හා සමාජ කණ්‌ඩායම් විසින් ද පෙන්වා දෙනු ලැබ ඇත. නිදසුනක්‌ ලෙස ඇතැම් රටවල කඩා වැටෙන මූල්‍යායතන ආරක්‌ෂා කිරීමට ඩොලර් ටි්‍රලියන ගණන් වැය කර ඇති බව පෙන්වා දී තිබේ. පාරිසරික වැදගත්කම් ඉක්‌මවා ආර්ථික කරුණු වැදගත් වීම නිසා මේ තත්ත්වය ඇති වී තිබෙන බවක්‌ පෙනේ.

මෙවැනි ප්‍රතිඵලයක්‌ ඇති වීමට බලපා ඇති සාධකය ලෙස චෝදනා එල්ල වී ඇත්තේ ලෝකයේ ප්‍රබල ව්‍යාපාර හා සමාගම් වෙත ය. 1987 වර්ෂයේ දී අපේ පොදු අනාගතය නමින් වාර්තාවක්‌ පළ කළ ග්‍රෝ හාලෙම් බෘන්ඩ්ට්‌ලන්ඩ් මේ පිළිබඳව පවසා තිබුණේ එය එක්‌ ප්‍රධාන සාධකයක්‌ බව ය. සමාගම් හා ව්‍යාපාරවලට දේශපාලන නායකත්වය කෙරේ බලපෑමක්‌ කළ හැකි නිසා මෙවැනි තත්ත්වයක්‌ ඇති වූ බව ඇය ගේ අදහසයි.

මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් ග්‍රීන්පීස්‌ සංවිධානයේ නියෝජිතයකු පවසා තිබුණේ 'මහජනතාව ගේ අවශ්‍යතාවලට වඩා සමාගම්වල කෙටිකාලීන ලාභයේ වැදගත්කම' පෙන්වා දෙන්නක්‌ ලෙස ය.

දියුණු වන රටවල ඉලක්‌ක සාර්ථක වී ද?

රියෝ+20 සමුළුවට සම්බන්ධ වූ දියුණු වන රටවල එක්‌ අපේක්‌ෂාවක්‌ වූයේ ඔවුන්ට අවශ්‍ය කරන මූල්‍ය හා වෙනත් ආකාරයේ සහයෝගයක්‌ ලබා ගැනීම බව පෙනේ. විශේෂයෙන් දරිද්‍රතාවෙන් පීඩා විඳින රටවල් මේ තත්ත්වයට පත් ව ඇති බවක්‌ පෙනේ.

හරිතවත් සංවර්ධනයක්‌ අත් පත් කර ගැනීම සඳහා අවශ්‍ය තාක්‌ෂණික හා මූල්‍යමය සහයෝගය ඔවුන් විශේෂයෙන් අපේක්‌ෂා කර තිබේ. මේ පිළිබඳව සමස්‌තයක්‌ ලෙස එකඟතාවක්‌ ඇතත් රියෝ සමුළුවේ දී එවැනි විශේෂිත මුදලක්‌ දියුණු වන රටවලට ලබා දීමට එකඟතාවක්‌ ඇති නො විණි. මේ සඳහා බලපා ඇති සාධක අතර යුරෝපා ආර්ථික අර්බුදය දැක්‌විය හැකි ය. එසේ ම තවත් කරුණු ද මීට බලපා ඇති බවක්‌ දක්‌වා තිබේ. මේ තත්ත්වය හමුවේ හරිත ආර්ථිකය තිරසර සංවර්ධනයේ නිශ්චිත ගමන් මඟ ලෙස පිළිගැනීම ඇතැම් දියුණු වන රටවල් ප්‍රතික්‌ෂේප කර ඇත. මේ එක්‌තරා ආකාරයකින් සාධාරණ තර්කයකි.

අනාගතය කෙසේ වේ ද?

පුළුල්ව කල්පනා කරන විට රියෝ+20 සමුළුවෙන් මෙවැනි ප්‍රතිලයක්‌ අත් වන බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් සමුළුව ආරම්භ වන විටත් එයින් තීරණාත්මක ප්‍රතිඵලයක්‌ අත් නො වන බව පැහැදිලි ව තිබිණි. මේ බව අප විසින් මේ තීරුව ඔස්‌සේ ද වරින්වර පෙන්වා දී ඇත. එහෙත් සැම සමුළුවක දී මෙන් මෙහි දී ද කිසියම් බලාපොරොත්තු නො වූ වෙනසක්‌ ඇති වෙතැයි යන අදහස බොහෝ දෙනා තුළ තිබූ බව නම් දැකිය හැකි විය. එහෙත් එය හුදු ප්‍රාර්ථනාවකට ම පමණක්‌ සීමා කරමින් මෙවර සමුළුව අවසන් වී තිබේ.

ලෝකය ගලවා ගැනීමට හැකි තරම් වෙනසක්‌ තවමත් බලාපොරොත්තුවකට පමණක්‌ම සීමා වී ඇත. රියෝ සමුළුවේ දී එකඟ වූ පරිදි තිරසර සංවර්ධන ඉලක්‌ක කෙබඳු වේ දැයි තවමත් අපට පැවසිය නොහැකි ය. 'අපට අවශ්‍ය අනාගතය' යනු වඩා යහපත් ලෝකයක්‌ නම් ඒ වෙනුවෙන් තවත් කලක්‌ බලා සිටින්නට සිදු වනු ඇත. එහෙත් එය අත් හළ නොහැකි ප්‍රාර්ථනයකි. එසේ ම ඒ සඳහා ලෝකයේ සියලු දෙනාට ම යම් කාර්යභාරයක්‌ ද තිබේ.