logo3.gif (702 bytes)

HOME


මහින්දෙ තමයි ඉස්‌කෝලෙ

මෙරට සියලු අලෙවි වාර්තා බිඳ හෙළමින් "මහින්දෙ තමයි ඉස්‌කෝලේ" පළමු මුද්‍රණයේ සියලු ම පිටපත්, කෘතිය දොරට වැඩූ පළමු පැය කිහිපය ඇතුළත අලෙවි වී අවසන් වන්නේ එහි වූ අන්තර්ගතය සරල සුගම ශෛලිය හෝ නිර්මාණාත්මක පරිකල්පනය නිසා ම පමණක්‌ නො ව, කෘතහස්‌ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන එහි කර්තෘවරයා පුවත්පත් පාඨකයන් අතර තහවුරු කරගෙන සිටින සැබෑ ජනතාවාදී ප්‍රතිරූපයෙහි ද ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

කියවීමේ රුචිය අඩු වෙමින් පවතින සමාජයක්‌ තුළ මහින්දීයන් නො වන පාඨක පරපුරක්‌ "මහින්දෙ තමයි" වටා රොද බැ`ද ගැනීම සාමාන්‍යයෙන් අසාමාන්‍ය කරුණකි.

නිදහස්‌ පාසල් ජීවිතයකට උරුමකම් කියූ අතීත පරම්පරාවක තතු විත්ති දිගහැරෙන සරල ස්‌වයං චරිතාපදානයකට හෝ අතීත ආවර්ජනයකට වඩා, මෙරට සමාජ, සංස්‌කෘතික, ආර්ථික හා දේශපාලන ගතිකයන්හි පරිනාමය පිළිබඳව සිදු කෙරෙන විමර්ශනාත්මක කෘතියක්‌ ලෙසින් ද, එය හඳුනාගත යුතු ව තිබේ. එහෙයින් ම එහි වූ සමාජ සංස්‌කෘතිමය වැදගත්කම සලකා බැලෙන කලක, කෘතිය සඳහා නිසි ඇගයීමක්‌ ලබා දීම ද සමාජ වගකීමක්‌ වෙයි.

"මහින්දෙ තමයි", එක්‌ අතකින් ලේඛනයෙහි යෙදෙන දුහුනන් පරිශීලනය කළ යුතු අත්පොතක්‌ වන අතර ම මෙරට පාසල් අධ්‍යාපන ඉතිහාසයේ අක්‌මුල් සොයා යන්නන් හට තොරතුරු සැපයෙන දැනුම් සංචිතයක්‌ ද, වෙයි.

"ලස්‌සන අත් අකුරු තරග හා අක්‍ෂර වින්‍යාස තරග දැන් පැසල් ළමයින් අතර පැවැත්වෙන්නේ නැත. කොම්පියුටරයේ ආගමනයත් සම`ග පැහැදිලි අත් අකුරුවල හා නිවැරැදි අක්‌ෂර වින්‍යාසයේ වටිනාකම නැති වී ගොසිනි. දැන්වීම්වලටත් ළමයින් යොදන, බෝල් පොයින්ට්‌ පෑන් අලෙවි කරන මේ යුගයේත්, අත් අකුරු කැත වන නිසා බෝල් පොයින්ට්‌ පෑන්වලින් ලිවීම තහනම් කළ අපේ යුගයේත් වෙනස විශාල ය. අප උසස්‌ පෙළ පංතිවල සිටිද්දී කවදා වත් විභාගයට බෝල්පොයින්ට්‌ පෑනකින් ලිව්වේ නැත"

සුන්දර ගේ ලේඛන ශෛලිය තුළ, මතුපිටින් හමු වන සරල බව ඉක්‌මවූ ගැඹුරු බවක්‌ නිරන්තරයෙන් හඳුනාගත හැකි වෙයි. අසාමාන්‍ය ලෙසින් කරුණු සංක්‌ෂිප්ත කරවන අතර ම හැඟීම් ප්‍රබලව දැනවීමේ අවස්‌ථාවක්‌ කෘතිය පුරා ම හමු වෙයි.

"ළමයින්

වැරැද්දක්‌ කළ විට ඊට දෙන දඬුවමත්, ඔවුන් ගේ අනාගත ජීවිතය ද විනාශ කරන ගුරුවරුත් දක්‌නට ලැබෙන හැම විටක ම මට මතක්‌ වන්නේ 'පබළු' පුවත්පතෙන් ඇති වූ ප්‍රශ්නය මගේ ගුරුවරුන් ඉවසූ ආකාරයයි.

ගුරුවරුන් ඊට නිසි ගෞරවය ලබා දෙන අතර ම එය හැම දෙයක්‌ ම දේශපාලනීකරණය නො වූ කාලයක්‌ වීම ද, ප්‍රශ්නය ගොඩින් යැමට බලපෑ බව අද ඒ දෙස හැරී බලන කල මට සිතෙයි. අධ්‍යාපන ඇමැතිට විරුද්ධව පාසල් පුවත්පතක කර්තෘ වාක්‍යයක්‌ ලියන පාසල් ශිෂ්‍යයකු අද කාලයේ නම් පොලීසියට ගෙන ගොස්‌ කකුලේ ඇඟිලිවලින් එල්ලන්නට ද හොඳට ම ඉඩ තිබේ. පුවත්පතට අනුශාසකත්වය දැරූ ගුරුවරයාත් ඊට පණිවිඩයක්‌ නිකුත් කළ විද්‍යාලයාධිපතිවරයාත් ඇ.... නැති පාසල්වලට මාරු කර යෑවෙනවාට ද සැක නැත. ඊට අමතරව පබළු පුවත්පත තහනම් කෙරුණේ නම් අපට මුහුණ පාන්නට සිදු වන තර්ජන නිසා අවුරුදු දාසයේ දී ම බටහිර රටක දේශපාලන

රැකවරණ ලබා ගැනීමට හැකි වන්නට ද ඉඩ තිබුණේ ය."

ලේඛකයා සතු ව පවත්නා වාග් කෝෂය කෘතියෙහි සාර්ථකත්වය සඳහා ඉමහත් දායකත්වයක්‌ සපයා දී තිබේ. අවස්‌ථාවෝචිතව දකුණේ ජනවහර ද යොදාගන්නා පොදු බස්‌ වහරක්‌ ඔස්‌සේ පාඨකයා විඩාවට පත් නො කරන භාෂා රිද්මයක්‌ කෘතිය පුරා ම පවත්වා ගන්නට ද සුන්දර සමත් වී තිබේ.

කාලයත් සම`ග භාෂාවෙහි වෙනස්‌ වීම අර්ථකථනයන් කෙරෙහි බලපෑම් ඇති කරනු ලබයි. යුගයකින් පසුව එළැඹෙන තවත් යුගයක්‌ තුළ භාෂාව තුළ වූ සංස්‌කෘතිය ද අර්ථමය වශයෙන් වෙනස්‌ වෙයි. භාෂාවක අර්ථමය විග්‍රහයන් දැනුම රසඥතාව හා පරිකල්පනය වැනි කරුණු මත රඳා පවතින්නකි. එකී අවබෝධය බොහෝ විට ම පුද්ගල කේන්ද්‍රීය වන්නකි. "මහින්දෙ තමයි"හි හමු වන ඇතැම් වදන්හි අරුත් විග්‍රහයක්‌ පොදු පාඨකයා ගේ පමණක්‌ නො ව භාෂා ප්‍රවීණයන් ගේ වුව අවබෝධය තවදුරටත් පුළුල් කරවන්නා වූ සාධකයක්‌ ලෙසින් ද හඳුනාගත හැකි වෙයි.

"මහින්දෙ තමයි" ළමා කාලයක්‌ සහිත වූ ළමයින් ගේ පාසල් දිවිය පිළිබඳව වූ සදාතනික මතකයකි. එවන් ළමා වියක්‌, වර්තමානයේ හෝ අනාගත ළමා පරපුර හට කිසිදු දිනක හමු නො වන්නකි.

ඊනියා, අධ්‍යාපන මනෝවිද්‍යාවක්‌ පිළිබඳව අවධානයක්‌ නො පැවති යුගයක ළමා පෞරුෂ හා කුසලතා සංවර්ධනයෙහි ලා අතීත ගුරු පරපුර දැක්‌වූ නොමඳ අවධානය මෙන්ම එහි ලා ඇතැම් තැන්හි හමු වූ සාධනීය හා නිශේධනීය ලක්‌ෂණයන් ද සමබර ලෙසින් පාඨකයා හමුවේ ගෙනහැර දක්‌වන්නට කතුවරයා සමත් වෙයි. ගුරුගෝල සබඳතාව අළලා එහිලා ඉදිරිපත් කෙරෙන කරුණු විටෙක පාසල් ගුරු පුහුණුව සඳහා වූ උපදේශන අත්වැලක්‌ ද වෙයි.

සියලු පාසල් පුස්‌තකාලයන්හි තිබිය යුතු පොතක්‌ පමණක්‌ නො ව, එය මෙරට සියලු ගුරු හා ශිෂ්‍ය ප්‍රජාවන් විසින් කියවිය යුතු ම ග්‍රන්ථයක්‌ ද වෙයි.

කෘතියෙහි නිරූපිත සාහිත්‍යමය හා සමාජමය අගය සැලකිල්ලට ගන්නා කලෙක, එහි වූ ඇතැම් පරිච්ඡේද පැසල් පෙළපොත් සඳහා අන්තර්ගත කරන්නටත්, විශ්වවිද්‍යාල මට්‌ටමින් පරිශීලනය කළ යුතු කෘතියක්‌ ලෙසටත් යෝග්‍ය බවට යමකු යෝජනාවක්‌ කළ හොත් එහි එහි කිසිදු වරදක්‌ නොමැති වෙයි.

කායික රෝග හා දියවැඩියා රෝග විශේෂඥ
වෛද්‍ය වරුණ ගුණතිලක