logo3.gif (702 bytes)

HOME


වසර 37000ක අතීතයට විවර වූ
ඓතිහාසික දොරටුව


කළුතර දිස්‌ත්‍රික්‌කයේ බුලත්සිංහල, යටගම්පිටිය ගම්පියස, පිළියන්දල සිට හොරණ පාරේ කිලෝ මීටර් 40ක්‌ පමණ දුරින් සහ කෙළඹ සිට කිලෝමීටර් 60ක්‌ වැනි දුරකින් පිහිටි සුන්දර ගම්මානයකි. මේ සුන්දර ගම් පියස එදත් අදත් ගොවිතැන් බතින් දිවි ගෙවන පරිසර දූෂණය නො කරන ගැමියන් ගේ ජනාවාසවලින් යුක්‌ත ය. මුහුදු මට්‌ටමේ සිට මීටර් 400ක්‌ පමණ උසින් පිහිටි පාහියන්ගල ගල් ලෙන පිහිටා ඇත්තේ මේ සොඳුරු ගම් පියසේ ය. ක්‍රි.පූ. 5 වැනි සියවසේ ශ්‍රී ලංකාවට පැමිණි පාහියන් නම් චීන භික්‍ෂුව මේ ගල් ලෙනේ නවාතැන් ගත් බවට ජනප්‍රවාදයේ ඇති බැවින් මේ ගල් ලෙන පාහියන්ගල යනුවෙන් හැඳින්වුවත් එවන් කරුණක්‌ සනාථ කිරීමට ප්‍රමාණවත් සාධකයක්‌ මෙතෙක්‌ හමු වී නැත. එහෙත් පැරැණි තොරතුරු අනුව පාහියන්ගල, පාහිංගල යනුවෙන් නිවැරැදි විය යුතු බවත් බොහෝ විද්වතුන් ගේ මතයයි.

මුහුදු මට්‌ටමේ සිට මීටර් 400ක්‌ පමණ උසින් පිහිටි මේ ගල් ලෙන උසින් අඩි 150කි. පළල අඩි 175කි. ගැඹුර හෙවත් ගල්ලෙනේ විවරයේ සිට ඇතුළත බිත්තිය දක්‌වා ඇති දුර අඩි 300කි. මේ දත්ත අනුව පාහියන්ගල ගල් ලෙන ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ හමු වී ඇති ගල් ලෙන් අතරින් විශාලතම ගල් ලෙන වෙයි. මේ ගල් ලෙනේ ඇති අනෙක්‌ විශේෂත්වය වන්නේ දකුණු ආසියාවේ ප්‍රාග් මානවයා ගේ අවශේෂ මේ ගල් ලෙන තුළින් හමු වීමයි. එසේ ම රතු වර්ණ ගැන්වූ ප්‍රාග් ඵෙතිහාසික මානව හිස්‌කබල් ම`ගින් ආදි මානවයා ගේ ඇදහිලි විශ්වාස පිළිබඳ සාධක හමු වීම මෙහි ඇති අනෙක්‌ විශේෂත්වයයි. ස්‌වාභාවික උම`ගක්‌ මේ ගල් ලෙන තුළින් වැටී ඇතැයි ද මතයක්‌ පවතී.

පසුගිය දිනක පාහියන්ගලින් සම්පූර්ණ මානව ඇටසැකිල්ලක්‌ හමු වූ බැව් අනාවරණය වීමෙන් පසු මෙහි සත්‍යය අනාවරණය කර ගැනීමට මේ ලියුම්කරු ද එක්‌ විය. වෙල් යාය මැදින් දිවෙන මහ ම`ගට පාහියන්ගල ඈතින් දිස්‌ වෙයි. දෙ පස වෙල් යාය සහ අවට ගෙවතු ද, සරුසාර ය. තුරුවැල් සොලවා හමන සුළඟ, දාහය නිවා දමයි. දුෂ්කර මාර්ගයකින් සැදුණු පඩි පෙළක්‌ ඔස්‌සේ පාහියන්ගල මානවයා අසලට ළඟා විය හැකි විය. ප්‍රමාණයෙන් විශාල වූ පාහියන්ගල ගල් ලෙනේ එක්‌ පසෙකින් හමු වූ මේ පූර්ණ මානව සැකිල්ල අඩි 4ක්‌ 4 1/2ක්‌ වැනි උසකින් යුත් මානවයකු ගේ යෑයි සිතිය හැක්‌කේ වැතිරී සිටින මානව සැකිල්ලේ දිග ප්‍රමාණය අනුව ය. දෙපා කතිරයක්‌ ආකාරයට පිහිටා ඇත. දිරා ගිය පාද අස්‌ථි පැහැදිලි ව ම පෙනේ. වළලුකර අස්‌ථිය, පා ඇඟිලි අස්‌ථි වඩාත් හොඳින් දිස්‌ වෙයි. හිස පෙදෙස සහ උකුළෙන් ඉහළ කොටස්‌ තරමක්‌ විශාලත්වයක්‌ ඇති කළු ගල් තලයකින් වැසී ඇත. එහෙත් ඉතා සියුම් තාක්‍ෂණික ක්‍රමවේද භාවිතයෙන් කළ කැණීම් හේතුවෙන් ගල්තලය පසෙකින් මානවයා ගේ දත්, නාසා අස්‌ථිය, නිකට ප්‍රදේශය, මෙන්ම ඉල ඇටයක්‌ ද මතු කර ගැනීමට හැකි වී ඇත. මේ සියලු ම සලකුණුවලට අනුව මේ මානවයා වයස අවුරුරදු 12ක්‌ වැනි කාලයක දී මිය ගිය බැව් අනුමාන කළ හැකි ය. ඒ අදින් වසර 37000කට පෙර ය. පා පෙදෙස වසා තිබූ කුඩා කළු ගල් පහසුවෙන් ඉවත් කර ගැනීමට හැකි වූ බැවින් එය වඩාත් හොඳින් දිස්‌ වෙයි. මානව දේහය වළලා කළු ගල්වලින් වසා තිබූ තැන්වල දර දැවූ අළු හමු වෙයි. මෙයින් ගැටලු දෙකක්‌ මතු වෙයි. එනම් මිය ගිය මානවයා වළලා ගල් තලයකින් වසා කිසියම් අභිචාර ක්‍රමවේදයක්‌ භාවිත කරමින් ඒ මත දර දැවීමක්‌ සිදු කළා ද එසේත් නැත හොත් ජීවත් ව සිටි මානවයින් එම ගල් තලය ලිපක්‌ ආකාරයට භාවිත කළා ද යන්න ය. කෙසේ වෙතත් මේ මානව සිරුර එතරම් ගැඹුරට වළ දමා නැත. මේ ස්‌ථානය කැණීමේ දී මානව සැකිල්ලට අමතරව අවශේෂ ද්‍රව්‍ය රැසක්‌ හමු වී ඇත. ඒ අතරට ගොළුබෙලි කටු සහ මුහුදු බෙලි කටු ද වෙයි. මෙයින් මේ මානවයා සිය ආහාරය පිණිස ගොළුබෙල්ලන් මෙන්ම මුහුදු බෙල්ලන් ගත් බැව් පැහැදිලි වෙයි. එසේ නම් ඔහු මුහුද සම`ග සමීප සම්බන්ධතා පවත්වමින් ජීවත් වූ බැව් ද සනාථ වෙයි. මෙයට අමතරව අංකුට්‌ටා, ගං ආරා, ලෙහෙල්ලා වැනි මිරිදිය මත්ස්‍ය විශේෂවල අස්‌ථි කැබැලි හමු වීමෙන් ඉඟි කෙරෙන්නේ පාහියන්ගල මානවයා මිරිදිය ධීවර කටයුතුවල නිරත වූවා ද යන්න ය. කැකුණ ඇට සහ බැදි දෙල් ඇට වල පිළිස්‌සූ කැබැලි ද මේ අතර වේ. මෙම`ගින් පාහියන්ගල මානවයා ශාක විශේෂ ආහාරයට ගත් බැව් පැහැදිලි ය. කැකුණ ඇට පිළිස්‌සීම රාත්‍රී ආලෝකය ලබා ගැනීමට උපක්‍රමයක්‌ ලෙස යොදා ගත්තා ද? සතුන් දඩයම් යෙදුණු බවට ඉඟි කෙරෙන සාක්‌ෂියක්‌ වන්නේ සත්ත්ව අස්‌ථිවලින් හා ශාක කොටස්‌ ආධාරයෙන් තනාගත් කුඩා ආයුධ කැබැලි හමු වීමයි.

ප්‍රොකෝලයිට්‌ යනු මිනිස්‌ මළ හෙවත් වසුරු හෝ සත්ත්ව මළ හෙවත් සත්ත්ව වසුරු දිගු කලක්‌ මිහිදන් වීමෙන් සෑදෙන රසායනික ස්‌වභාවයක්‌ ගන්නා ද්‍රව්‍ය විශේෂයකි. මේ ප්‍රෙකෝලයිට්‌ විශ්ලේෂණය කිරීමෙන් එම මානවයන් හෝ සත්ත්වයන් ගත් ආහාර මොනවා ද? ඔවුන්ට වැළඳුණු රෝග මොනවා ද? එසේත් නැත්නම් නිරෝගී සත්ත්ව විශේෂයක්‌ ද? යනාදී කරුණු රැසක්‌ අනාවරණය කර ගැනීමට හැකි වෙයි. මේ මානව ඇටසැකිල්ල අසලින් ප්‍රොකෝලයිට්‌ ස්‌වල්පයක්‌ හමු වී ඇත. මේ ප්‍රොකෝලයිට්‌ සත්ත්ව විශේෂයකට අයත් ද, එසේත් නැති නම් මේ මානවයාට අයත් ද යන්න විශ්ලේෂණය කර නැත. එය මනා විශ්ලේෂණයකට ලක්‌ කර ඇති තතු සොයාගත යුතු ව ඇත.

මේ සැකිල්ල දෙස විමසිලිමත් ව බැලීමෙන් සනාථ වන කරුණු කීපයක්‌ වෙයි. එම යුගයේ මානවයන් මිහිදන් කිරීමේ දී ප්‍රධාන ක්‍රමවේද දෙකක්‌ අනුගමනය කර ඇත. ඉන් එක ක්‍රමවේදයක්‌ වන්නේ මිය ගිය සිරුර එලෙසින් ම එතැන ම වළ දැමීම ය. මෙය පුරාවිද්‍යාවට අනුව ප්‍රාථමික වළ දැමීමක්‌ යනුවෙන් හැඳින්වෙයි. දෙවැනි ක්‍රමවේදය සිරුර යම් තැනක වළලා යම් කාලයකට පසු නැවත ගොඩගෙන වෙනත් තැනක වළ දැමීම ය. මෙය ද්විතීයික වළ දැමීමක්‌ යනුවෙන් හැඳින්වෙයි. බොහෝ විට මේ ක්‍රම දෙක ම ලෙන ආසන්නයේ හෝ ලෙන තුළ දී සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ කළ කැණීම්වලින් හමු වන්නේ ද්විතීයික වළ දැමීම් ය. නිදසුනක්‌ ලෙස අලු ලෙනේ මානව සැකිලි හා අලවල මානව සැකිලි පෙන්වා දිය හැකි ය. එහෙත් පාහියන්ගලින් හමු වූ මානව ඇට සැකිල්ල අයත් වන්නේ මුලින් සඳහන් කළ ප්‍රාථමික වළ දැමීමට ය. ද්විතීයික වළ දැමීමක දී දිරා ගිය සිරුර වෙනත් තැනකට ගෙන යන විට අස්‌ථි පිහිටා ඇති ආකාරයේ හෝ වෙනසක්‌ හෝ අඩු වැඩි වීමක්‌ හෝ සිදු විය හැකි ය. එහෙයින් එවැනි කැණීමක දී හිස්‌ කබල හෝ අස්‌ථි කිපයක හෝ අවශේෂ හමු විය හැකි ය. එහෙත් මේ මානව ඇටසැකිල්ල ප්‍රාථමික වළ දැමීමක්‌ වන බැවින් වළ දැමූ ආකාරයට ම කිසිදු වෙනස්‌ වීමක්‌ නැති ව හමු විය. එහෙයින් ඒ අනුව බලන කල ද පාහියන්ගල මානවයා වඩාත් වැදගත් සොයා ගැනීමක්‌ වනු ඇත. පුරාවිද්‍යාඥ සිරාන් දැරණියගලට අනුව මේ මානව සැකිල්ල වසර 37000ක්‌ වැනි අතීතයකට අයත් ය. එහෙත් නිවැරැදි කාල නිරණයක්‌ කළ යුතු ව ඇත. ඒ සඳහා කාබන් සෘණ 14 (-14) ක්‍රමවේදයට අනුව කාල නිර්ණය සඳහා ලොව ප්‍රධාන පෙළේ විද්‍යාගාරයක සහාය ලබාගත යුතු ව ඇත. කෙසේ වෙතත් මෙරට පුරාවිද්‍යාඥයන් ගේ දැනුම හා අවබෝධයට අනුවත් මෙයට පෙර මෙරට කළ කැණීම්වලින් ලබාගත් කාල විශ්ලේෂණවලට අනුවත් මේ මානවයා වසර 37000කට පෙර මිය ගොස්‌ ඇති බැව් සනාථ වේ. නූතන කාල නිර්ණ ක්‍රමවේදවලට අනුව වසර 37000 නිවැරැදිව තහවුරු වුව හොත් දකුණු ආසියාවේ හමු වූ ඉපැරැණි මානවයා ලෙස ශ්‍රී ලංකා මානවයා හෙවත් පාහියන්ගල මානවයා ඉතිහාසගත වනු ඇත.

අභියෝග ජය ගැනීම

මෙහි දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා විදුසර වෙනුවෙන් අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඵෙතිහාසික උරුමය පර්යේෂණ කිරීමේ විශේෂ වැඩසටහනක්‌ වර්ෂ 1968 සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වසර 2011 සහ 2012 තුළ කරන කැණීම් ප්‍රාග් ඵෙතිහාසික උරුමය සෙවීමේ වැඩසටහනේ හය වැනි පියවරයි. වර්ෂ 1980 දශකයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගල් ලෙන්වල කැණීම් සිදු කළා. විශේෂයනේ බටදොඹ ලෙන, කෑගල්ලේ අලුලෙන සහ බුලත්සිංහල පාහියන්ගල යන මේ ලෙන් කැණීම්වල ප්‍රධාන අරමුණ තමයි ප්‍රාග් ඵෙතිහාසික තොරතුරු යාවත්කාලීන කිරීම. නිදසුනක්‌ ලෙස ගත්තොත් මේ පාහියන්ගල කැණීම් කළේ වර්ෂ 1986 දී, එවකට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරාල් වරයෙකු වූ ආචාර්ය ඩබ්ලිව්. විඡේපාල මහත්මයයි. එතුමා මේ ගල් ලෙනේ අදින් වසර 37000 සිට වසර 4000 දක්‌වා කාල පරාසවලට අයත් ජනාවාස පස්‌ තට්‌ටු 4ක්‌ හඳුනා ගත්තා. නූතන කැණීම්වලට ඉතා ම දියුණු කැණීම් ශිල්ප ක්‍රම භාවිත කළා. මේ දියුණු ශිල්ප ක්‍රම භාවිත කර ජනාවාස පස්‌ තට්‌ටු සිය ගණනක්‌ බෙදා වෙන් කළා. මෙහි ප්‍රධාන අරමුණ තමයි කාල නිර්ණ දත්ත ලබා ගැනීම. මෙහි දී කෙරෙන්නේ පස්‌ තට්‌ටු වෙන් කර ඒ ඒ තට්‌ටුවලින් ලබා ගත් නියෑදි පර්යේෂණයට ලක්‌ කිරීම. දකුණු ආසියාවේ නවීන මානවයන් ගේ පෞරාණික තොරතුරු හමු වන්නේ ශ්‍රී ලංකාවෙන්. විශේෂයෙන් කළුතර දිස්‌ත්‍රික්‌කය, කෑගල්ල දිස්‌ත්‍රික්‌කය සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කය ආශ්‍රිතව තිබෙන ප්‍රධාන ගල් ලෙන්වලින්."

පාහියන්ගලින් ලැබුණු මේ සම්පූර්ණ පෞරාණික ඇටසැකිල්ල නවීන මානවයාට අයත් ය. අලවල මානවයාත් මේ මානවයාත් අතර තිබෙන සමානකම් හා වෙනස්‌කම් පිළිබඳව ආචාර්ය නිමල් පෙරේරා මහතා දැක්‌වූයේ මෙවන් අදසකි.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පිහිටා තිබෙන ප්‍රධාන ගල් ලෙනක්‌ තමයි අලවල ගල්ලෙන. එය පහතරට තෙත් කලාපයට අයත් ගල් ලෙනක්‌. මේ ගල් ලෙනේ කැණීම් කළ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය ගාමිණි ඇතුළු පිරිසට ජනාවාස පස්‌ තට්‌ටු කිහිපයක්‌ හඳුනා ගැනීමට හැකි වුණා. මේ පස්‌ තට්‌ටු අදින් වසර 12000 සිට 8000 දක්‌වා කාල පරාසයකට අයත් පාහියන්ගල ගල් ලෙන ඊට වඩා වෙනස්‌.

පැරැණි ම පස්‌ තට්‌ටුවල කාලය වර්ෂ 1986 කැණීම්වලට අනුව වසර 37000ක්‌ තරම් ඈතකට යනවා. මේ නූතන කැණීම්වලින් වසර 37000කට වඩා ඈතකට යන පස්‌ තට්‌ටු හඳුනා ගන්න ලැබේ වි. මේ පර්යේෂණවලින් මේ ගල් ලෙන වසර 37000කට වඩා පැරැණි යෑයි තීරණය වුණොත් ඉන්දුනීසියාවේ නියා ගල් ලෙනට පාහියන්ගල සමාන වේ වි. මෙතෙක්‌ කරපු පර්යේෂණවලින් ඉන්දුනීසියාවේ නියා ගල් ලෙන තමයි පැරැණි ම ගල් ලෙන ලෙස හඳුනාගෙන තිබෙන්නේ. වසර 2005 කරපු පර්යේෂණවලට අනුව කුරුවිට බටදොඹ ලෙන පාහියන්ගල ලෙනට සමකාලීන වෙනවා. එම ගල් ලෙනේ ආදිතම පස්‌ තට්‌ටු අදින් වසර 37000ත් වසර 12000ත් දක්‌වා තරම් ඈත කාලයකට දිව යනවා. බටදොඹ ලෙනෙන් හමු වුණ මේ කාල පරාසයට අයත් පස්‌ තට්‌ටු පාහියන්ගලට බෙහෙවින් සමානයි.

පාහියන්ගල පහතරට තෙත් කලාපයේ කළුතර දිස්‌ත්‍රික්‌කයේ මුහුද ආශ්‍රිතව පිහිටි මුහුදට වඩාත් සමීප ප්‍රදේශයක්‌. මේ මානවයන් ගේ ජීවන රටාවෙන් හා ඒ අවට සාධකවලින් පැහැදිලි වන දෙයක්‌ තමයි අදින් වසර 40000කට පෙර පහත රට ප්‍රදේශයේ ඝර්ම කලාපීය වර්ෂා වනාන්තර තිබුණු බව. ඒ බැව් මේ කැණීම්වලින් පැහැදිලි වෙනවා. මෙයින් පැහැදිලි වන තවත් දෙයක්‌ තමයි මේ මානවයා ඝර්ම කලාපීය වර්ෂා වනාන්තරවල තිබුණු අභියෝග ජයගෙන ජීවත් වූ අයෙක්‌ බව. ඒ බව මේ ගල් ලෙන්වලින් අපිට කියා දෙනවා. මොකද ඝර්ම කලාපීය වර්ෂා වනාන්තරවල යෑපීම් ධාරිතාව ඉතා ම අඩු මට්‌ටමකයි පවතින්නේ. නවීන මානවයා මේ වනාන්තරවල ජීවත් වූවා යෑයි කියන්නේ ඔවුන් අභියෝග ජයගත්තා කියන එකයි. එසේ නම් මේ මානවයා ඝර්ම කලාපීය වනාන්තරවල අභියෝග ජය ගෙන කිසියම් තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ අනුගමනය කරමින් සිය ජීවන රටාව ගෙන ගිය අයකු බව පහැදිලියි.

මෙහි දී විදුසර වෙනුවෙන් අදහස්‌ දැක්‌වූ පුරාවිද්‍යඥ ආචාර්ය සිරාන් දැරණියගල මහතා "මේ සොයා ගැනීම ශ්‍රී ලංකාවට මෙන්ම අසියාවටත් ඉතා ම වැදගත්. මොකද මීට පෙර ආසියාවෙත් ශ්‍රී ලංකාවෙත් මානව සැකිලි කොටස්‌ හමු වුණත් සම්පූර්ණ ඇට සැකිල්ලක්‌ හමු වුණේ නැහැ. මේක තමයි පළමු අවස්‌ථාව. ඒ නිසා මේ සම්බන්ධව තවදුරටත් පර්යේෂණ කළ යුතුයි. අපේ රටේ තිබෙන මෙවැනි ගල්ලෙන් ඒ කියන්නේ කුරුවිට බටදොඹ ලෙන, කැගල්ලේ අලුලෙන, මේ පාහියන්ගල ලෙන යන මේවා ලෝක උරුම ලෙස ප්‍රකාශයට පත් කළ යුතුයි. පුරා විද්‍යා ක්‍ෂෙත්‍රයේ පර්යේෂණ තාක්‍ෂණ ක්‍රමවේද දිනෙන් දින ඉහළ යනවා. දියුණු වෙනවා. අපටත් ඒ දියුණු විශ්ලේෂණ තාක්‍ෂණ ක්‍රමවේද භාවිත කළ යුතු වෙනවා. ඒ නිසා මේ මානව ඇටසැකිල්ල පිළිබඳව තවදුරටත් පර්යේෂණ කිරීමට ජාත්‍යන්තර විද්‍යාඥයන් ගෙනුත් අපේ විද්‍යාඥයන් ගෙනුත් සැදුණු කණ්‌ඩායමක්‌ යෙදවිය යුතුයි. මේ මානව ඇට සැකිල්ල වෙනත් තැනකට ගෙන යා යුතු නෑ. මේ ස්‌ථානයේ ම විශ්ලේෂණය කළ යුතුයි. මොකද පිහිටා තිබෙන ආකාරයට මේ මානව ඇට සැකිල්ල වෙනත් තැනකට ගෙන යන්න අපහසුයි. අපි මේ විශ්ලේෂණ කටයුතුවලට ඉක්‌මන් විය යුතු නෑ. මේ මානව ඇට සැකිල්ල ගොඩ ගන්න ඉක්‌මන් වුණොත් මහා විනාශයක්‌ සිදු වෙන්න ඉඩ තිබෙනවා. ලෝකෙට ම වටිනාකමක්‌ ගෙන දෙන මේ සොයාගත් මානව ඇට සැකිල්ල සම්බන්ධව ආරක්‍ෂාව වඩාත් තහවුරු විය යුතුයි. මෙහි දී කිව යුතු දෙයක්‌ තමයි මේ පර්යේෂණ කටයුතු සම්පූර්ණයෙන් නිම වූ පසු මේ මානව ඇට සැකිල්ල මෙතන ම තැන්පත් කර සංරක්‌ෂණය කරනවා ද යන්න තීරණය කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු දෙයක්‌.

කුරුවිට බටදොඹලෙන, කෑගල්ල අලුලෙන බුලත්සිංහල, පාහියන්ගල යානාදී ප්‍රධාන ලෙන්වල විසූ මානවයන් සහ ඔවුන්ගේ යෑපීම් රටා පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී මිණිඇතිලිය ගල්ලෙනේ සහ අලවල පොත්ගුල් ලෙනෙන් හමු වූ මානව සැකිලි පිළිබඳ වත් එකිනෙකට කරන විමසීම්වලින් දක්‌නට ලැබෙන පොදු ලක්‌ෂණ කීපයක්‌ වෙයි. ප්‍රධාන ලක්‌ෂණය වන්නේ මේ මානවයන් ගේ යෑපීම් රටාවල සමානකමක්‌ පෙන්වීමයි. අලවල මානවයා ගේ ප්‍රධාන ආහාරයට ලෙහෙල්ලා, අංකුට්‌ටා, හුංගා වැනි දේශීය මත්ස්‍ය විශේෂ රැසක්‌ අයත් වූ සේ ම පාහියන්ගල මානවයා ගේ ආහාරයට ද ලෙහෙල්ලා අංකුට්‌ටා වැනි මත්ස්‍ය විශේෂ අයත් විය.

එහෙත් පාහියන්ගල මානවයා පිළිබඳව කරන පර්යේෂණ අවසන්ව වී නොමැති බැවින් ඉදිරියේ දී මේ දත්ත වෙනස්‌ විය හැකි ය. අලවල ලෙනේ කළ කැණීම්වලින් ව්‍යාඝ්‍රයකුට අයත් ඇඟිලි පුරුක්‌ හමු වී ඇත. කුරුවිට බටදොඹ ලෙනෙන් වර්ෂ 1982 දී කළ කැණීම්වලින් අදින් වසර 13500ක්‌ තරම් පැරැණි හා වසර 17000ක්‌ තරම් පැරැණි ව්‍යාඝ්‍ර අවශේෂ ද හමු විය. වර්ෂ 2009 පාහියන්ගල කළ කැණීම්වලින් 80 වැනි ස්‌ථරයෙන් අදින් වසර 20000ක්‌ තරම් පැරැණි ව්‍යාඝ්‍ර අවශේෂ දෙකක්‌ හමු වී ඇත. මේ සොයා ගැනීම්වලින් ශ්‍රී ලංකාවේ විසූ ආදි මානවයන් ගේ යෑපීම් රටාවේ සමානකමක්‌ දක්‌නට ලැබේ.

අලවල මානවයා බෙල්ලන් වර්ග ආහාරයට ගත්තා පමණක්‌ නො ව බෙලිකටු ආභරණයක්‌ ලෙසට ද පැළඳගත් බැව් එහි අඩංගු සිදුරුවලින් පෙන්වා දෙයි. පාහියන්ගල මානවයා ගේ ආහාරයට බෙල්ලන් අයත් වූ බැව් එහි කළ කැණීම්වලින් හමු වූ බෙලිකටුවලින් පෙන්වා දෙයි. මේ බෙලිකටුවල ද සිදුරු දක්‌නට ඇත. එසේ නම් පාහියන්ගල මානවයා බෙලිකටු සිදුරු කර ඒවා ආභරණයක්‌ ලෙස පැළ`ද ගත්නට ඇතැයි සිතිය හැකි ය.

පාහියන්ගල මානවයා ගේ ස්‌වරූපය හා කාලය පිළිබ`දව සලකා ඉදිරියේ දී කළ යුතු පර්යේෂණ හා විශ්ලේෂණවලින් පැහැදිලි විය හැකි කරුණක්‌ නම් දකුණු ආසියානු ආදිතම මානවයා පාහියන්ගල මානවයා වන අතර ඔවුන් ගේ නිජබිම ශ්‍රී ලංකාව විය හැකි බව ය.

සමාන්තර ගවේෂණ

මානවයන් පිළිබඳ ඉතිහාසය සොයා යැම එතරම් පහසු නැත. එය ඒ තරමට ම දුෂ්කර ය. එහෙත් එය රසවත් අත්දැකීමකි. අතීත මානව තොරතුරු සොයා කරන කැණීම්වලින් හමු වන ෆොසිල හා ෆොසිල නො වන ද්‍රව්‍යවලින් හෙළි වන අතීතය ද බෙහෙවින් කුතුහලය දනවන සුලු ය.

අදින් වසර 80000කට පමණ පෙර අප්‍රිකානු මහාද්වීපයෙන් ඇරඹි මානව සංක්‍රමණය යුරෝපයටත්, එතැනින් ආසියාවටත් සිදු වූ බැව් පුරාවිද්‍යාඥයන් ගේ මතය වෙයි.

ලොව ප්‍රචලිත නො වූවත් ශ්‍රී ලංකා මානව ඉතිහාසය වඩාත් ඈතකට විහිදී යන බවක්‌ බුන්දල පතිරාජවෙල සහ යාල කලාප අංක 2 යන ප්‍රදේශවලින් හමු වූ ගල් ආයුධවලින් පෙන්වා දෙයි.

හුංගම මිණිඇතිලිය ප්‍රදේශයේ කළ කැණීමකින් හමු වූ ප්‍රාග් මානව අස්‌ථි සහ බෙලිකටු නිධි වලින් ප්‍රාග් ඵෙතිහාසික ජනාවාසවල තොරතුරු හෙළි වෙයි. මේ බෙලිකටු නිධිය පිළිබඳව කළ විශ්ලේෂණවල දී එය වසර 6000ක්‌ පමණ පැරැණි බැව් අනාවරණය විය. මේ නිධිය ආශ්‍රිතව හමු වූ මානවයා මැණික්‌හාමි යනුවෙන් නම් කෙරිණි.

මේ බෙලිකටු නිධිවලින් ප්‍රාග් ඵෙතිහාසික මානවයා ගේ ක්‍රියාකාරකම් රැසක්‌ අනාවරණය වෙයි. එනම් මානවයා ගේ යෑපීම් රටාව, පරිසරය ජයගැනීම, පාරිසරික භාණ්‌ඩවලට අවතීර්ණ වීම සහ ඔවුන් භාවිත කළ තාක්‌ෂණ ක්‍රමවේද වැනි කරුණු රැසක්‌ අනාවරණය වෙයි. වෙරළාසන්නව විසූ මානවයන් ගේ යෑපීම් රටාව මූලික වශයෙන් මුහුද හා කලපු ආශ්‍රිතව සිදු කෙරුණු අතර තෙත් කලාපීය ප්‍රදේශවල ගල් ලෙන්වල විසූ මානවයන් ඝර්මකලාපීය වනාන්තර මත යෑපීමක්‌ සිදු කළ බැව් ද, අනාවරණය වන අතර ම මුහුද හා ආශ්‍රිත සම්පත් ද පරිභෝජනය කළ බැව් අනාවරණය වෙයි.

මුහුදු මට්‌ටමේ සිට මීටර් 500ක පමණ ඉහළින් පිහිටි කුරුවිට වලාදුරේ නම් ගම් ප්‍රදේශයේ පිහිටි බටදොඹලෙන ලොව ප්‍රචලිත වූයේ නූතන මානවයාට අයත් පැරැණි ම සාධක එහි තිබී හමු වූ බැවිනි. අදින් දශක 6කට පමණ පෙර මෙරට ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයකු වූ පී. ඊ. පී. දැරණියගලයන් විසින් හා ඉන්පසුව ආචාර්ය සිරාන් දැරණියගල සහ ආචාර්ය නිමල් පෙරේරා යන පුරාවිද්‍යාඥයන් විසින් මේ ලෙන ආශ්‍රිතව වරින් වර කරන ලද කැණීම්වලින් අදින් වසර 37000කට පමණ පෙර සිට මේ ලෙන මධ්‍ය ශිලා යුගයට අයත් ආදි මානවයන් පරිහරණය කළ බවට තහවුරු විය. මේ ගුහාව ආශ්‍රිතව කළ කැණීම්වලින් ආදි මානව සැකිලි කොටස්‌වලට අමතරව ඔවුන් පරිහරණය කළ එනම් දඩයම් කර පුළුස්‌සා ආහාරයට ගත් සත්ත්ව අවශේෂ, ගොළු බෙලි කටු, වල් දෙල් හා කැකුණ ඇට යනාදී ද්‍රව්‍ය රාශියක්‌ හමු වෙයි. මේ ගුහාවෙන් හමු වන බොහෝ දේ අතර මධ්‍ය ශිලා යුගයට අයත් ජ්‍යාමිතික හැඩයෙන් යුත් ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් විශේෂ තැනක්‌ ගනී. මේ අතර සත්ත්ව අස්‌ථිවලින් නිර්මාණය කළ ආයුධ, ගිනි ඇවිලීම සඳහා භාවිත කළ ශිලා මෙවලම් ද ප්‍රධාන වෙයි. මෙසේ හමු වූ බලංගොඩ මානව සැකිලි කොටස්‌ විශ්ලේෂණය කිරීමෙන් බලංගොඩ මානවයා ගේ භෞතික ස්‌වරූපය පිළිබඳව යම් දල අදහසක්‌ මෙසේ පෙන්වා දිය හැකි ය. පිරිමි මානවයන් අඩි 5 අඟල් 6 සිට අඩි 5 අඟල් 8ක්‌ දක්‌වාත්, ගැහැනුන් අඩි 5 අඟල් 1/2 සිට අඩි 5 අඟල් 4 දක්‌වාත් උසින් යුක්‌ත විය. පිරිමින් ගේ කපාල ධාරිතාව ඝන සෙ.මි 1589.72ක්‌ ද, ගැහැනුන් ගේ කපාල ධාරිතාව ඝන සෙ.මී 919.66ක්‌ ද වෙයි. හිස්‌ කබලේ අස්‌ථි ඝනකමින් යුක්‌ත ය. තල්ල විශාල ය පළල් ය. යටි හනුව ශක්‌තිමත් ය. දත් ප්‍රමාණයෙන් විශාල ය.

අලු ලෙන

කෑගල්ලට ආසන්නව පිහිටි අත්තනගොඩ ගම් පියසේ පිහිටි අලුගල්ගෙය හෙවත් අලුලෙන ද, ප්‍රාග් ඵෙතිහාසික මානවයන් ගේ වැදගත් සාක්‌ෂි රැසක්‌ විදහාපාන්නකි. වසර 1954 දී පුරා විද්‍යාඥ පී. ඊ. පී. දැරණියගලයන් විසින් කරන ලද කැණීම්වලින් පාෂාණමය ආයුධ හා මානව අස්‌ථි රැසක්‌ සොයා ගැනීමට හැකි විය. මෙහි දී හොඳින් සංරක්‍ෂණය නො වුණු මානව සැකිලි කොටස්‌ රැසක්‌ සොයා ගැනීමට හැකි විය. මෙයට අමතරව ගොළුබෙලි කටු, මොලුස්‌කාවන් ගේ අස්‌ථි, උරගයන්ගේ අස්‌ථි කොටස්‌ මෙන්ම මී හරකා, වඳුරා, ලේනා, යන සත්ත්ව විශේෂ

රැසක ගේ අස්‌ථි ද හඳුනා ගැනීමට හැකි වී ඇත. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ සත්ත්ව විශේෂ සියල්ල ම අද වන විට මෙරටින් වඳ වී ගොස්‌ සිටීම ය.

අලවල මානවයා

ශ්‍රී ලාංකීය ආදි මානව ජනාවාසවල ඉතිහාසයට ඉතා ම වටිනාකමක්‌ එක්‌ කරමින් හා බස්‌නාහිර පළාතට ද එවන් වටිනාකමක්‌ දෙමින් වසර 2008 දෙසැම්බර් මස සිට 2009 අප්‍රේල් දක්‌වා පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් කරන ලද කැණීම්වලින් අලවල පොත්ගුල් ලෙන ප්‍රාග්ඵෙතිහාසික ස්‌ථානයක්‌ බවට තහවුරු විය. බස්‌නාහිර පළාතේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගිනිකොන සීමාවේ පිහිටි මේ අලවල ලෙන සියනෑ කෝරලේ උඩගහ පත්තුවට අයත් වෙයි. මුහුදු මට්‌ටමේ සිට මීටර් 500ක්‌ පමණ උසින් පිහිටි මේ අලවල ලෙනෙන් හමු වූ මානව අස්‌ථි දිරා ගිය ස්‌වරූපයක්‌ පෙන්නුම් කළේ ය. මේ මානව අස්‌ථි අතර හිස්‌ කබලේ කොටස්‌ 26ක්‌, යටි හණු කොටස්‌ 2ක්‌, කෘන්තක දත් 2ක්‌, රදනක දත් 2ක්‌, දිගු අස්‌ථි කැබැලි 7ක්‌, දණිස්‌ කටු 2ක්‌, පර්ශු 3ක්‌, ශ්‍රොaණි කොටස්‌ 1ක්‌ සහ කොඳු ඇට 2ක්‌ හඳුනා ගැනීමට හැකි විය.

මෙයට අමතරව ලෙහෙල්ලා, මස්‌පෙතියා, අංකුට්‌ටා, හුංගා, මගුරා වැනි මත්ස්‍යයන් ගේ අස්‌ථි කැබැලි රැසක්‌ ද දඩයම් කළ සත්ත්ව විශේෂ රැසක ගේ අස්‌ථි කොටස්‌ ද හමු විය. මේ සත්ත්ව විශේෂ අතර වඳුරන්, වැලි මුවන්, මී මින්නන්, වල් ඌරන් ද වෙයි. කුරුවිට බටදොඹ ලෙනේ වර්ෂ 1982 කළ කැණීම්වල හතර වැනි ස්‌ථරයෙන් අදින් වසර 13500කට අයත් හා පස්‌ වැනි ස්‌ථරයෙන් අදින් වසර 17000කට අයත් ව්‍යාඝ්‍රයන් ගේ අවශේෂ 4ක්‌ හමු වී ඇත. වර්ෂ 2009 මුල් භාගයේ දී පාහියන්ගල කැණීම්වලින් 80 වැනි ස්‌ථරයේ තිබී වසර 20000ක්‌ පැරැණි ව්‍යාඝ්‍ර ශේෂ දෙකක්‌ හමු වී ඇත.

ඡායාරූප - ධර්මසේන වැලිපිටිය
අද සතියේ විමසුම
අමල් උඩවත්ත