|
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය
දේශගුණ වෙනස් වීම හා සම්බන්ධ වන අයුරු
ඉන්දු
නිම්න ශිෂ්ටාචාරය හෙවත් මොහෙන්දොජාරෝ-හරප්පා ශිෂ්ටාචාරය ආසියානු කලාපයේ මානව
ඉතිහාසයේ වැදගත් ශිෂ්ටාචාරයකි. මේ ශිෂ්ටාචාර නාගරික ලක්ෂණ තිබූ ශිෂ්ටාචාර අතර
වැදගත් එකක් වේ. එය පොදු වර්ෂ පූර්ව 3200 පමණ සිට 1000 පමණ දක්වා පැවැති බව
මෙතෙක් හෙළි වී ඇති කරුණු අනුව පැහැදිලි ය. අදින් වසර 3,900කට පමණ පෙර (එනම් පොදු
වර්ෂ පූර්ව 1900 දී පමණ) මේ ශිෂ්ටාචාරයේ අවනතිය ආරම්භ වී තිබේ.
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගොඩනැඟෙන්නේ ආසියාවේ මෝසම් වැසි වැටෙන සීමාවේ මායිමේ හා ඉන්
ඔබ්බෙන් පිහිටා ඇති ශුෂ්ක කලාපයේ ය. මේ ප්‍රදේශය හරහා ගමන් කරන ඉන්දු නදියේ නිම්නය
ඔස්සේ මේ ශිෂ්ටාචාරය පැතිර තිබිණි. මේ වන විට කරුණු අනාවරණය වී ඇති ආකාරයට ඉන්දු
නිම්න ශිෂ්ටාචාරය ව්‍යාප්ත ව තිබූ ප්‍රදේශය සමකාලීන ඊජිප්තුවේ හා මෙසපොතේමියාවේ
සමස්ත ජනාවාස පැතිර තිබූ ප්‍රදේශයට වඩා විශාල ය. එය වර්ග කිලෝමීටර් මිලියනයකටත්
වැඩි ප්‍රදේශයක් පුරා පැතිර තිබිණි. එහි සමෘද්ධිමත් ම අවධියේ ජනගහනය මිලියන පහකට
අධික වූ බව සැලකේ. වර්තමාන පාකිස්තානය, ඊසානදිග ඉන්දියාව හා ඇෆ්ඝනිස්තානයෙන්
කොටසක් පුරා මේ ශිෂ්ටාචාරයේ නටබුන් හමු වේ. එය හරප්පා ශිෂ්ටාචාරය ලෙස හැඳින්වෙන්නේ
මේ පිළිබඳ මුලින් ම කරුණු අනාවරණය වූ ප්‍රදේශය හරප්පාව නිසා ය. ඇතැම් විට
මොහෙන්දොජාරෝ-හරප්පා ලෙස ද මෙය හැඳින්වේ.
|