logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)


රබර් මෙට්‌ට නිදා ගැනීමට සුදුසු ද?

අතීතයේ ලාංකිකයන් නිදා ගත්තේ පැදුරේ ය. නැති නම් බූරු ඇඳක ය. ඒ වෙනුවට පසු කාලීනව විවිධ ආදේශක පැමිණිණි. කොහු බුදිරිය ඉන් එකකි. ඊටත් පසු පැමිණියේ රබර් බුදිරි ය. පැදුර හෝ කොහු මෙට්‌ටය මත නිදා සිටින විට සිරුර, යටට නො එරෙන අතර, ශරීරය සෘජු ව තැබෙයි. ඉන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ගේ පිහිටීම ස්‌වාභාවිකව පවතියි.

එහෙත් අප කළ නිරීක්‍ෂණවල දී පෙනී ගියේ වත්මන් රබර් මෙට්‌ටය සිරුරේ සෘජු කාය ස්‌වරූපය වෙනස්‌ කරන අයුරින් සිරුර තබමින්, ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට බලපෑම් කරවන අන්දමේ පිහිටීමක සිරුර පවත්වන බවකි. සාමාන්‍යයෙන් මිනිසකු ගේ සිරුරේ බර වැඩි ම කොටස උදරය ප්‍රදේශයයි. රබර් මෙට්‌ටය, ලෙහෙසියෙන් යටට ගිලා බසින හෙයින්, මේ උදර ප්‍රදේශය වකුටු වී යටට ගිලා බසියි. එහි දී සෘජු ව තැබිය යුතු කය වෙනුවට, මෙට්‌ටය ඇති පෙදෙසින් දුන්නක්‌ සේ නැමී, කය පිහිටන විට, එයට අනුවර්තිත ව, ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් ද, පිහිටීම සිදු වීමෙන්, මඳ කලක්‌ යන විට, ශරීරයේ විවිධ රෝග ඇති වීමේ නැඹුරුවක්‌ ඇත. ඇතැම් විට පසු දාට නැඟිටින විට අතපය කැක්‌කුම සහිත තත්ත්වයක්‌ ඇති විය හැකි ය. තරුණ අයට ඇතැම් විට එය ඔරොත්තු දුන්නත්, මහලු අය ක්‌ෂණික ව ම රෝගාතුර කරවීමේ පිහිටීමක්‌ රබර් මෙට්‌ට මත නිදා ගැනීමෙන් ඇති වන බව දක්‌නට ඇත.

මෙය පිටුදැකීමට නම් රබර් මෙට්‌ට නිෂ්පාදකයන් මිනිස්‌ සිරුරක උදරය පිහිටන බර වැඩි ම ප්‍රදේශය සඳහා, ලෙහෙසියෙන් යටට නො එබෙන ඝන රබර් මිශ්‍රණයක්‌ යොදා එම මෙට්‌ට නිපදවිය යුතු වුවත්, දැනට වෙළෙඳපොළේ දක්‌නට ඇති කිසිදු රබර් මෙට්‌ටයක්‌ එවැනි ලෙසකින් නිපදවී ඇති බවක්‌ දක්‌නට නො ලැබේ. ඒ අනුව බලන විට පෙනී යනුයේ පැදුර හා කොහු බුදිරිය තවමත් නිදා ගැනීමට සුදුසු ම මාධ්‍යය වන බවයි. රබර් මෙට්‌ටයක උදරීය ප්‍රදේශය වැඩියෙන් යටට එබෙන ස්‌වරූපය මෙට්‌ටය තරමක්‌ පරණ වන විට මඟහැරී යන අතර, ඇතැම් විට වඩාත් ඝන රබර් සංයෝග සහිත මෙට්‌ටවල ද එම අඩුපාඩුව තරමක්‌ දුරට මැකී යයි.

මේ අයෝග්‍ය බව වැඩිපුර ම ඇත්තේ, වඩාත් සුමුදු, හොඳින් යටට එබෙන රබර් (ස්‌පොන්ඡ්) මෙට්‌ටවල බව දක්‌නට විය. රබර් ස්‌පොන්ඡ් යොදා තැනූ කොට්‌ට ද පුළුන් කොට්‌ට වෙනුවට දැන් දැන් වෙළෙඳපොළට එන නමුත් ඒවායේ මෙට්‌ට මෙන් දැඩි අහිතකර බවක්‌ දක්‌නට නො වීය.

විදේශවල ජලය පිරවූ මෙට්‌ට, හුළං පිරවූ මෙට්‌ට හා ස්‌ප්‍රිං යෙදූ රබර් මෙට්‌ට හා රබර් මෙට්‌ටයේ ම විවිධ ස්‌ථානවල ඇති සුළං ප්‍රවාහ දුරස්‌ථ පාලකයකින් පාලනය කිරීමෙන් සිරුරේ විවිධ ස්‌ථාන අනුව මෙට්‌ටයේ දැඩි බව අඩු වැඩි කිරීමේ තාක්‌ෂණ සහිත මෙට්‌ට නිපදවී තිබුණ ද, ඒවායේ මිල ගණන් අනුව ලාංකීය වෙළෙඳපොළවල එතරම් ප්‍රචලිත නැත. අනික ඒවායේ ශරීර සුවතාව ගැන මෙරට පැහැදිලි ගවේෂණයක්‌ වී නැත. අප කළ මේ ගවේෂණය අනුව ඉදිරියේ දී මෙරට රබර් මෙට්‌ටවල සෞඛ්‍යමය යෝග්‍යතාව ගැන පාරිභෝගිකයන් ගේ හා සෞඛ්‍ය අංශවල වැඩි අවධානයක්‌ යොමු විය යුතු බව දක්‌වමු.

එච්. එස්‌. පෙරේරා මොරටුව