logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)


පැණි කිරිල්ලිය දුන් පණිවිඩය

අප නිවස තුළ, මැද මිදුලෙහි ඇති අනෝදා ගසක පැණි කුරුල්ලන් කූඩු සැදීම, පැටවුන් ඇති කිරීම, පැටවුන් සමග ගැවසීම හා පිට වී යැම සාමාන්‍ය සිදුවීමකි. මෙයට හේතුව අප නිවසේ බළලුන් හා බල්ලන් ගැවසීමෙන් පමණක්‌ නො ව දිවා කාලයේ දී මනුෂ්‍ය වාසයෙන් ද තොර වීම ය. බොහෝ විට පොල්කිච්චන් ද රාත්‍රිය ගත කිරීම සඳහා අප මැද මිදුල තෝරාගැනීම නිරන්තරයෙන් ම සිදු වන්නකි.

මේ පැණි කුරුල්ලන් නිවසක්‌ සැදීමට ස්‌ථානයක්‌ තෝරා ගන්නේ ඉතා පරෙස්‌සමෙන් දින ගණනක මනා අධ්‍යයනයකින් පසු ව ය. එම ස්‌ථානයේ නිවස ඉදි වන්නේ ඉතා අල්ප දින ගණනක දී ය. මෙය, ගැහැනු පිරිමි දෙදෙනා ගේ ම සහයෝගයෙන්, උදේ සිට සවස දක්‌වා සිදු කරන ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි. එම කූඩුව සාදන ද්‍රව්‍ය එකිනෙකට ඇලවීම සඳහා භාවිත කරනුයේ මකුළු දැල් ය. (මකුළුවන් නොමැති මතු යම් දිනක බොහෝ කුරුල්ලන් ද වඳ වී යන බව ඔබ දන්නවා ද?) එක ම කූඩුව සමහර විට දෙවැනි වරටත් බිත්තර දැමීම සඳහා භාවිත කරනු ලබයි.

මැද මිදුලේ ඇති ඉහත කී අනෝදා ගස පහළින් සුරතල් මසුන් ඇති කරන පොකුණක්‌ තිබේ. වර්ෂා කාලයේ දී, ඇති වන වේගවත් සුළං හා වැස්‌ස නිසා මේ කූඩු කඩා වැටී, පැටවුන් අහිමි වූ අවස්‌ථා ද විරල නො වේ. වැස්‌සෙන් කූ+ඩු බේරා ගැනීම සඳහා ආරක්‌ෂාව සැපයීම, මේ කුරුල්ලන් අප හට භාර දී ඇත. එසේ කූඩුව කැඩී විනාශ වුව හොත්, පරම්පරා දෙක තුනක්‌ යන තෙක්‌ කූඩුවක්‌ එම ස්‌ථානයේ සෑදීමෙන් උහු වැළකී සිටිති. කිසි ම ආකාරයකින් අප හට කරදරයක්‌ නො දී පැටවුන් ගේ මළ ද්‍රව්‍ය පවා නිවස තුළ නො දමන මේ කුරුල්ලන් අප හට ලබා දෙන සන්තෝෂය හා අසිරියට ප්‍රතිඋපකාරයක්‌ ලෙස සැම විට ම එම කාර්යය හැකි උපරිමයෙන් අප සිදු කරනුයේ කිසි ම අසහනයකින් තොර ව ය.

එක්‌ දිනක්‌ උදෑසන 9.00ට පමණ පැටවුන් රකිමින් සිටි පැණි කිරිල්ලිය නැඟූ විලාපය ඇසී ඒ අසල සිටි මා පමණක්‌ නො ව වෙනත් ස්‌ථානයක වැදගත් කාර්යයක යෙදී සිටි මා බිරිඳ ද දිව ආවේ මවිතයෙනි. බල්ලන් හා බළලුන් නොමැති විටක ගැරඬියකු වත් පැමිණ ඇත් දැයි සෙවීමට අපි උත්සුක වීමු. කිරිල්ලිය නො නවත්වා නඟන විලාපයට අනුව විදුලි පන්දමක්‌ ආධාරයෙන් ඒ අවට සියලු ම ස්‌ථාන හා කූඩුව තුළ ද අතුරු අන්තරාවක්‌ ඇත් දැයි අපි සොයමින් සිටියෙමු.

මේ විලාපය ඇසී පිරිමි කුරුල්ලා ද පැමිණ විපරම් කර නැවත ගියේ කිරිල්ලියට සමච්චලයට මෙනි. අපි ද එතැන් සිට අප ගේ වෙනත් වැඩක යෙදෙන්නට සැරසෙන විට ම කිරිල්ලිය පියඹමින් අප අසල කැරකෙන්නට විය. මෙය අසාමාන්‍ය දෙයකි. ඇය යමක්‌ අපට කියන බව අප තේරුම් ගත්තේ වේගයෙන් කෑගසමින් ඉහළට හා පහළට අසාමාන්‍ය ලෙස එක ම ස්‌ථානයේ හය හත් වරක්‌ පියාඹා අවසානයේ නැවත වේගයෙන් වෙනත් දිශාවකට ගොස්‌ අරුම ආකාරයෙන් පියාඹමින් කෑගසන්නට වීමෙනි. කෙසේ වුව ද අපට මෙය තේරුම්ගත නොහැකි විය.

අප එය තේරුම් නො ගත් බව දැනගත් කිරිල්ලිය අප එතැනින් ඉවත් වීමට ප්‍රථම සැණෙකින් කැඩී එල්ලෙමින් තිබූ කූඩුව ළඟට ගොස්‌ කූඩුව කඩා දමා, කෑ ගසා අප නිවසින් පිට විය. (සැබැවින් ම ඇය අපට කියා ඇත්තේ කූඩුව කැඩෙන්නට ඔන්න මෙන්න කියා ඇති බව ය). පොකුණට වැටී පා වන කූඩුව වහා රැගෙන බලන විට එහි ඉතා කුඩා පැටවු දෙදෙනෙක්‌ වූ හ. නූලක්‌ ගෙන, කූඩුව ඒ අසලින් බැඳ තැබීමු. කිරිල්ලිය පැමිණ කිසිවක්‌ නො වුණා සේ පැටවුන් රකින්නට විය.

කිරිල්ලිය පැටවුන් සමඟ එම කූඩුවෙන් පිට වී වසරක්‌ පමණ ගිය ද, තවම අප නිවසේ නැවත කූඩු සෑදීම අරඹා නැත. එය, වැටෙන්නට ගිය කූඩුව රැක නො දීමෙන් අප කළ වරදට දඬුවම විය යුතු ය.

කෙසේ වුව ද මින් පැහැදිලි වන කරුණු බොහෝ ය. අද සිදු වන පරිසර විනාශයන් නිසා කුරුල්ලන්ට ආරක්‌ෂිතව නිවෙස්‌ සාදාගත හැකි ස්‌ථාන අල්ප ය. උඩරට පැවැති අමිල වනාන්තර විනාශ කොට මලක්‌ නොමැති පයිනස්‌, තේ වැනි විදේශීය ශාක වගා කර ඇති වතුවල රිලවුන්, දඬු ලේනුන් වැනි සතුන්ට කෑමට කිසිවක්‌ නොමැති බැවින් උන් නගරයන්හි ජීවත් වීම කෙසේ වත් අරුමයක්‌ නො වේ. විවිධ මකුළු වර්ග හීන වීම නිසා ඉතා තදින් ඇලෙන මකුළු දැල් වර්ග ද කුරුල්ලන්ට අහිමි වී ඇත. එබැවින් සාදන කූඩු සුළඟට හා වැස්‌සට ඔරොත්තු නො දේ. මේ වෙනස්‌ වීම් නිසා කුරුල්ලන් හට මිනිසුන් ගෙන් යෑපීම අනිවාර්ය වී ඇති බව සියල්ලන්ට ම අවබෝධ විය යුතු ය. පරිසරයේ සංයුතිය රැකීමට දායක වන සැම සත්ත්වයකු ම හා පැළෑටියක්‌ ම රැක ගැනීම ජෛවවිවිධත්වය ආරක්‌ෂාවට අත්‍යවශ්‍ය වේ. වසරකට දිනක්‌ උත්සව පැවැත්වීමෙන් මෙය කෙසේ වත් සිදු නො වේ. අප මුතුන්මිත්තන් ලංකාවේ කිසි ම ස්‌ථානයක ඒකවාර්ගික බෝගයන් ඇති නො කළේ මේ නිසාවෙනි. සුද්දන් ගෙන් ඉගෙනගත් වතු ආර්ථිකයත් සමග වගා කළ විජාතික විවිධ ගස්‌ වර්ග සමග සාරවත් පසත් අප ජාතියේ කෘෂිකර්මයත් සම්පූර්ණයෙන් ම වළ දා ඇත. මෙවැනි අමනකම් අප රටින් තුරන් කොට අතීත ශ්‍රී විභුතිය නැවත ගොඩනඟන්නට අප අදිටන් කළ යුතු බව මේ කිරිල්ලිය ගේ ක්‍රියාකලාපයෙන් මනාව පැහැදිලි විය.

මහාචාර්ය උදේනි ඉදිරිසිංහ,
කෘෂිකර්ම පීඨය,
සත්ත්ව විද්‍යා අංශය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය.