logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ හදන්න
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග


අමල් උඩවත්ත

රෝගීන් ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වූ ජනතා ව්‍යාපාරය නම් සංවිධානය හා එහි සභාපති මාධ්‍යවේදී ලුවි බෙනඩික්‌ට්‌ මහතා විසින් වසර 2009 දී ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමෙන් පසු 2012 ජුනි 07 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය රට වැසියන් ගේ සුබ සිද්ධියට හේතු වන හා අයිතිවාසිකම් සුරකින ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ සකස්‌ කර හැකි ඉක්‌මනින් ක්‍රියාවේ යෙදවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපල මහතාට නියෝග කළේ ය. මෙහි දී එකී අරමුණ සපුරා ලීම සඳහා අවශ්‍ය රෙගුලාසි ඇතුළත් පනත් කෙටුම් පතක්‌ දැනට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සකස්‌ වෙමින් පවතින බැව් අනාවරණය විය. ශේ්‍රෂ්ඨාධිකරණය කළ නියෝගයේ පිටපතක්‌ සෞඛ්‍ය ඇමැතිට, අමාත්‍යංශ ලේකම්ට හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවන ලෙස රෙජිස්‌ට්‍රාර්වරයාට නියෝග කෙරිණි. කේ ශ්‍රීපවන්, එස්‌ අයි ඉමාමි, හා ප්‍රියසාද් ඩෙප් යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්‌ හමුවේ මේ පෙත්සම සලකා බැලිණි. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් අධිකරණයට දැනුම් දීම නිසා පෙත්සම විභාගයට ගැනීමෙන් තොර ව කීප වතාවක්‌ කල් ගියේ ය. එතැන් සිට සෞඛ්‍ය ඇමැතිවරු කීප දෙනෙක්‌ පත් වුවත් ඖෂධ ප්‍රතිපත්තියක්‌ ක්‍රියාවේ යෙදවීමට වැඩදායි පියවරක්‌ ගත නොහැකි විය. එක ම ඖෂධය විවිධ නම්වලින් වෙළෙඳ පොළට නිකුත් කර වැඩි මිලට අලෙවි කරන බැවින් රෝගීන් මහත් අසීරුතාවට පත් ඇති බැව් පෙත්සමේ සඳහන් වෙයි. අසරණ රෝගී ජනතාව ගැන තැකීමක්‌ නැති ව එකම ඖෂධ්‍ය විවිධ නම්වලින් අලෙවි කිරීම ආරම්භ වූයේ වර්ෂ 1977 න් පසු මෙරට ස්‌ථාපිත වූ විවෘත ආර්ථිකය හේතුවෙනි. රාජ්‍ය ඖෂධ සංස්‌ථාව පිහිටුවා එහි ප්‍රථම සභාපති ලෙස මහාචාර්ය සේනක බිබිලේ මහතා පත් වී ජාතික ඖෂධ ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමට ගත් උත්සාහය අවාසනාවන්ත ලෙස සිදු වූ එතුමා ගේ අභාවයත් සමග යටපත් වූ බැව් මේ පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වෙයි. අධිනීතීඥ ක්‍රිස්‌මාල් වර්ණසූරිය මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ ය. සුවඳ විලවුන්, ඖෂධ හා ආහාර අධිකාරිය, එම අධිකාරියේ සභාපති හා සෞඛ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස්‌, නීතිපති, පෙත්සමේ සෙසු වගඋත්තරකරුවෝ වෙති. පෙත්සම විභාගය ජුලි 26 වැනි දිනට කල් තැබිණි.