logo3.gif (702 bytes)

HOME


අපේ ප්‍රවාද

වෙනස්‌ වන වස්‌තු

සම්භාව්‍ය භෞතිකයෙහි චලිතය පිළිබඳ සාකච්ඡාවෙහි දී අපි දැනටමත් සංකල්ප කිහිපයක්‌ යොදාගෙන ඇත්තෙමු. අවකාශය, සන්තතිකත්වය, ප්‍රවේගය, ලක්ෂ්‍ය, පිහිටුම, අංශුව, අංශුවක්‌ ලක්ෂ්‍යකින් තවත් ලක්ෂ්‍යකට මාරු වීම හෙවත් විස්‌ථාපනය, කාලය, වෙනස්‌ වීම, වෙනස්‌ වීමේ ශීඝ්‍රතාව ආදී වශයෙන් මේ සංකල්ප සකස්‌ කරගත හැකි ය. චලිතය දැනගැනීම සඳහා මෙතරම් සංකල්ප සංඛ්‍යාවක්‌ අවශ්‍ය ද යන්න පවා සිතාගත නො හැකි ය. එහෙත් ඒ සංකල්ප නොමැති ව අපට සම්භාව්‍ය භෞතිකයේ අංශුවල චලිතය පිළිබඳ සාකච්ඡාවක්‌ කළ හැකි නො වේ.

අප නිරීක්‍ෂණය කරන්නේ ඊනියා වස්‌තුවල චලිත නො ව මිනිසුන් ගේ, රථවල, සතුන් ගේ ඇවිදීම්, පැනීම්, යැම් ඊම් ආදිය ය. මේ සියල්ල එකතු කර සාධාරණීකරණයට ලක්‌ කර වස්‌තුව, චලිතය ආදී සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මිනිසුන් විසිනි. එවැනි සාධාරණීකරණයකින් තොර ව බටහිර විද්‍යාවක්‌ පමණක්‌ නො ව සම්භාව්‍ය භෞතිකයක්‌ ද නැත. එහෙත් මෙයින් අදහස්‌ වන්නේ මිනිසා, ඇවිදීම ආදී සංකල්ප මිනිසුන් ගේ නො වන බව නො වේ. ඒ සංකල්ප ද මිනිසුන් ගේ නිර්මාණ වෙයි. එහෙත් ඒවා සංයුක්‌ත සංකල්ප වෙයි.

අප අත්දකින්නේ මිනිසකු එක්‌ තැනක සිට තවත් තැනකට ඇවිදින බව ය. ඒ තැන් දෙක අතර ඇවිදින්නේ එක්‌ මිනිසකු යෑයි අපි සිතමු. එක්‌ මිනිසකු යන්නෙන් අදහස්‌ කෙරෙන්නේ වෙනස්‌ නො වන මිනිසෙකි. මිනිසා ගේ වෙනස්‌ වීමක්‌ අපට දැකගත හැකි ය. ටික වේලාවකට පෙර මෙතැන සිටි මිනිසා දැන් ඇත්තේ වෙනත් තැනක ය. එය මිනිසා ගේ වෙනස්‌ වීමකි. එහෙත් ඒ හැරෙන්නට වෙනත් වෙනසක්‌ අපි නො දකිමු. අප දකින්නේ මිනිසා පිහිටි තැනෙහි වූ වෙනස්‌ වීමකි.

එහෙත් අප එතැන සිටින්නේ මෙතැන සිටි මිනිසා දැයි ඇසුව හොත් එයට දෙන පිළිතුර කුමක්‌ ද? බොහෝ දෙනකු කියනු ඇත්තේ එතැන සිටින්නේත් මෙතැන සිටි මිනිසා ම බව ය. එහෙත් එයින් කියෑවෙන්නේ වෙනස්‌ නො වන මිනිසකු සිටින බව ය. වෙනස්‌ නො වන ආත්මයක පැවැත්ම එයින් ගම්‍ය වෙයි. සිංහල බෞද්ධයන්ට එවැන්නක්‌ පිළිගත හැකි ද? මිනිසා ගේ ශරීරය පමණක්‌ නො ව මනස ද ඒ කාලයෙහි වෙනස්‌ වෙයි. එහෙත් අප කලින් ද අසා ඇති පරිදි එසේ කීම නිවැරැදි ද? ශරීරය වෙනස්‌ වන්නේ යෑයි කියන්නේ ශරීරය නමින් ඇති යමක්‌ වෙනස්‌ වන බව ද? දැන් ඇති ශරීරය කලින් තිබූ ශරීරයට වෙනස්‌ නම් එයින් කියෑවෙන්නේ ශරීරය වෙනස්‌ වන බව ද?

මේ ප්‍රශ්නය සරල නො වේ. මිනිසකු එක්‌ තැනක සිට තවත් තැනකට යැම තේරුම් ගැනීමේ දී මේ ප්‍රශ්න අවශ්‍ය කුමකට ද? එහෙත් එයට ද වඩා බැරෑරුම් ප්‍රශ්නය එතැන සිටින මිනිසා මෙතැන සිටි මිනිසා ද යන්න ය. එසේ නො වේ නම් මිනිසා ගේ ඇවිදීම යනුවෙන් අදහස්‌ වන්නේ කුමක්‌ ද? මිනිසා ගේ ඇවිදීම යෑයි අප කියන්නේ වෙනස්‌ නො වන මිනිසකු සම්බන්ධව ය. එහෙත් මෙතැන සිටි මිනිසා එතැන නො වේ නම් අප කතා කරන්නේ කා ගේ ඇවිදීමක්‌ ගැන ද?

මා මේ ප්‍රශ්න මතු කරන්නේ මිලින්ද ප්‍රශ්නය ගැන ද අවධානය යොමු කිරීමට ය. මිළිඳු රජතුමා නාගසේන හිමියන් ගෙන් ඇසු ප්‍රශ්නයක්‌ වූයේ පරලොව යන්නේ කවු ද යන්න ය. එයට නාගසේන හිමියන් දුන් පිළිතුර වූයේ තමාත් නො වේ ය, අන් අයකුත් නො වේ ය යන්න ය. පරලොව යන්නේ තමා යෑයි කිව හොත් එහි දී ආත්මවාදයට හසු වෙයි. අනෙක්‌ අතට පරලොව යන්නේ වෙනත් අයකු යෑයි කිව හොත් කර්ම ඵල පිළිබඳ ප්‍රශ්න මතු වෙයි. එබැවින් පරලොව යන්නේ තමාත් නො වේ ය අන් අයකුත් නො වේ ය යන්න දිය හැකි හොඳ ම පිළිතුර වෙයි.

ඒ පිළිතුර ඇරිස්‌ටෝටලීය ද්විකෝටික න්‍යායට හසු නො වුණත්, චතුස්‌කෝටික න්‍යායට එකඟ ය. ද්විකෝටික න්‍යාය මෙන් ම චතුස්‌කෝටික න්‍යාය ද අන් දැනුම මෙන් ම මිනිසුන් ගේ නිර්මාණ වෙයි. ඒ මිනිසුන් ගේ අත්දැකීම්වලින් සාධාරණීකරණය කෙරුණේ වෙයි. පැහැදිලිව ම ඇරිස්‌ටෝටලීය ද්විකෝටික න්‍යාය ගොඩනැඟී ඇත්තේ සීමිත අත්දැකීම් මත ය. එහි දී A = B හා A ≠ B යන දෙකෙන් එකක්‌ පමණක්‌ සත්‍ය යෑයි ගැනෙයි. එහෙත් චතුස්‌කෝටික න්‍යායෙහි දී එය හෝ ඒ දෙක ම සත්‍ය වේ හෝ ඒ දෙක ම අසත්‍ය වේ හෝ යන්න ද ගැනෙයි.

පරලොව යන්නේ තමාත් නො වේ ය අන් අයකුත් නො වේ ය යන්න පදනම් වන්නේ චතුස්‌කෝටික න්‍යාය මත ය. එහි දී A = B හා A ≠ B යන දෙක ම අසත්‍ය වේ ය යන්න යොදා ගැනෙයි. මෙහි දී පරලොව යන්නා ආදී වචන යොදා ගත්ත ද ඒ හුදු සම්මුතියක්‌ පමණකි. එයට හේතුව පරලොව යන ආත්මයක්‌ නොමැති වීම ය. අනෙක්‌ අතට මෙහි දී අවකාශ කාලය යන්න යොදා නො ගැනෙයි. මෙහි දී චුත වන චිත්තය වෙනුවට වෙනස්‌ චිත්තයක්‌ ඇති වෙයි. පරලොව යන තැනැත්තා අවකාශ කාලයෙහි සැරිසරන බවක්‌ නො කියෑවෙයි. අප බොහෝ දෙනකුට මේ සම්බන්ධයෙන් මතක ඇති අත්දැකීමක්‌ නැත. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂයෙන් දත් බුදුවරු මෙන් ම රහතන් වහන්සේලා ද වැඩ සිටිය හ.

එසේ වුවත් පරලොව යැම කෙසේ වුවත් එකතැනක සිට තවත් තැනකට ඇවිදින මිනිසුන් ගැන අපට අත්දැකීම් ඇත. මේ අත්දැකීම් ද අපේ අත්දැකීම් ය. අපි ඒ ප්‍රත්‍යක්‍ෂ කර ඇත්තෙමු. එහෙත් අපේ ප්‍රත්‍යක්‍ෂ හුදු පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ වෙයි. ඒ ප්‍රත්‍යක්‍ෂ ද වැරැදි ය. මිනිසකු යනුවෙන් වෙනස්‌ නො වන්නක්‌ නොමැති කල මිනිසකු එක්‌ තැනක සිට තවත් තැනකට ඇවිදින්නේ කෙසේ ද? අපට මෙහි දී අපේ අත්දැකීම් මත පදනම් වී යම් සංකල්ප හා ප්‍රවාද ගොඩනැඟීමට සිදු වෙයි. එහෙත් අපේ අත්දැකීම් නිවැරැදි නො වන බවත් ඒවා අපේ පංෙච්න්ද්‍රිය හා මනස මත රඳා පවතින බවත් පමණක්‌ අපි අවධාරණය කරමු.

මිනිසකු යෑයි අප විසින් හඳුන්වනු ලබන අයකු එක්‌ තැනක සිට තවත් තැනකට යැමේ දී ද සත්ත්වයකු පරලොව යැමේ දී මෙන් ම සංකල්පීය ගැටලු පැන නඟී. එයට හේතුව ආත්මවාදී නො වී මිනිසකු ඇවිදීම යන්න තේරුම් ගැනීමට ඇති අසීරුතාව ය. මිනිසකු එක්‌ තැනක සිට ආසන්න තැනකට යැමේ දී වුව ද ඒ ප්‍රශ්න ඒ ආකාරයට ම පැනනඟී. අපට කළ හැක්‌කේ අපේ පංෙච්න්ද්‍රියවල හා මනසෙහි අඩුපාඩුකම් තේරුම් ගනිමින් ඇවිදීම යන්න තේරුම් ගැනීමට උත්සාහ කිරීම ය.

මිනිසා එක්‌ තැනකට ම වී සිටියත් ඔහු වෙනස්‌ වෙයි. වෙනස්‌ වීම යනු අවකාශ කාලයෙහි කෙරෙන විස්‌ථාපනයක්‌ පමණක්‌ නො වේ. මිනිසකු එක්‌ තැනකට වී සිටි යන්නෙන් අදහස්‌ කරන්නේ අපට සාපේක්‍ෂව ඔහු එක්‌ තැනකට වී සිටින බව ය. පොළොවේ ගෙයක කාමරයක සිටින අපට සාපේක්‍ෂව මිනිසකු නිශ්චලව වෙනස්‌ නො වී සිටී ය යන්නෙන් ඔහුට චලිතයක්‌ නැතැයි ගම්‍ය නො වේ. හඳේ සිට බැලුව හොත් මිනිසා ද අපි ද කාමරයත් පොළොවත් සමග විවිධ චලිතවල යෙදෙන්නෙමු. එහෙත් අපි ඒ සියල්ල අමතක කර අපට සාපේක්‍ෂව මිනිසාට චලිතයක්‌ නැතැයි කියමු.

එසේ බලන කල චලිතයක්‌ නැති මිනිසා මෙන් ම අපි ද වෙනස්‌ වන්නෙමු. මිනිසකු හෝ අප හෝ යනුවෙන් ගැනීමට, වෙනස්‌ නො වන ආත්ම සහිත අය නො වෙති. සත්ත්වයකු හෝ පුටුවක්‌ හෝ මේසයක්‌ යනු කුමක්‌ ද? ඒ නිරන්තරයෙන් ම මැරි මැරී උපදියි. මෙහි වැදගත් ම වචනය නිරන්තරයෙන් ම යන්න යෑයි සිතමි. නිරන්තරයෙන් යනු අන්තරයක්‌ නැති ව යන්න ය. අන්තරය යන්න ද අපේ සංකල්පයකි. ඒ නිර්මාණය කර ඇත්තේ ද මිනිසුන් විසිනි. එහෙත් නිරන්තරයෙන් මැරි මැරී උපදින වස්‌තු, සත්ත්වයන් නිරීක්‍ෂණය කිරීමට අපට නො හැකි ය. මෙහි නිරන්තරයෙන් යන සංකල්පය වුව ද වැරැදි විය හැකි ය. ඇතැම් විට එය කැඩි කැඩී වන වෙනසක්‌ විය හැකි ය. එහෙත් එයින් කියෑවෙන්නේ වස්‌තුව හෝ සත්ත්වයා හෝ යම් ක්‍ෂණයකට පවතින බව නො වේ. ක්‍ෂණයකට වුව යමක්‌ පවතින්නේ යෑයි ගැනීම ආත්මවාදී වූවකි.

අපට පෙනෙන්නේ සුළු කාලයකට වුව ද වෙනස්‌ නො වන වස්‌තු ය. පටු ය, ගස්‌ ය. ටික කලක්‌ ගිය තැන වෙනස්‌කම් නිරීක්‍ෂණය කළ හැකි වුවත් නිරන්තරයෙන් සිදු වන වෙනසක්‌ අපි නො දකිමු. ඒ වෙනස අපට සාපේක්‍ෂව වස්‌තුව හෝ සත්ත්වයා හෝ අවකාශයේ එක්‌ තැනක සිටියත් සිදු වෙයි. නිරන්තරයෙන් සිදු වන වෙනස්‌කම් නිරීක්‍ෂණය කිරීමට නොහැකි වීම අපට ඇති තීරණාත්මක ම ප්‍රශ්නයක්‌ වෙයි.

මේ සියලු දුෂ්කරතා මධ්‍යයෙහි අප කළ යුත්තේ කුමක්‌ ද? කිනම් ආකාරයකින් කතා කිරීමට ගිය ද අපට ඊනියා ක්‍ෂණයකට වුවත් පවත්නා වස්‌තු ගැන සඳහන් කිරීමට සිදු වෙයි. යමක්‌ පිළිබඳ ව උත්පාද, තිථි, භංග යනුවෙන් සංකල්ප ගොඩනැඟී ඇත්තේ එබැවින් විය හැකි ය. උත්පාදයට හා භංගයට පමණක්‌ සීමා වීම වඩා ප්‍රඥාගෝචර යෑයි සිතමි. උත්පාදයට හා භංගයට පමණක්‌ සීමා වී චලිතය පිළිබඳ ප්‍රවාදයක්‌ ගොඩනඟන්නේ කෙසේ ද?

ඉපදුණු වස්‌තුවක්‌ සලකමු. එය භංග වෙයි. ඒ භංග වීමත් සමග ඒ හා සම්බන්ධ වූ වස්‌තුවක්‌ ඉපදෙයි. එය කලින් වස්‌තුව නො වේ. නො වන්නේ ද නො වේ. ඒ වස්‌තුව අපට සාපේක්‍ෂව ඒ තැන ම භංග වී ඉපදිය හැකි ය. එසේත් නැත හොත් භංග වී ඉපදෙන්නේ එතැන ම හා එතැන ම නො විය හැකි ය. පළමු අවස්‌ථාවේ දී වස්‌තුට අපට සාපේක්‍ෂ ව දිගින් දිගට ම එක ම තැන පවතින්නේ යෑයි අපි කියමු. දෙවැනි අවස්‌ථාවේ දී වස්‌තුව අපට සාපේක්‍ෂව චලනය වන්නේ යෑයි කියමු.

මෙහි අප යනුවෙන් සැලකෙන්නේ වෙනස්‌ නො වන නිරීක්‍ෂකයන් නො වේ. අපි ද වෙනස්‌ වෙමු. එසේ නම් වස්‌තුව වෙනස්‌ වන බව දකින්නේ ද වෙනස්‌ වන නිරීක්‍ෂකයෙකි. දැන් සිටින්නේ කලින් සිටි නිරික්‍ෂකයා නො වේ. එසේ ම නො වන්නේ ද නො වේ. අප විසින් නිරීක්‍ෂණය කෙරෙන වස්‌තුව ද එවැන්නකි. එය කලින් තිබූ වස්‌තුව නො වේ. එමෙන් ම නො වන්නේ ද නො වේ. මේ අප සිතනවාට වඩා සංකීර්ණ තත්ත්වයකි. කලින් තිබූ වස්‌තුව නො වූ ද එසේ නො වන්නේ නො වූ ද වූවක්‌ කලින් සිටි නිරීක්‍ෂකයා නො වූ ද එසේ නො වන්නේ නො වූ ද අයකු විසින් නිරීක්‍ෂණය කෙරෙයි.

අපට සාපේක්‍ෂව වස්‌තුවක්‌ චලනය වුවත් නැතත් වස්‌තුවේ වෙනස්‌ වීම් සලකා බැලිය යුත්තේ ඉහත සඳහන් පදනමින් ය. එහෙත් එසේ කිරීම අසීරු වුවත් සංකල්පීය වශයෙන් අපට වෙනත් විකල්පයක්‌ නැත. දැන් ප්‍රශ්නය තරමක්‌ ලිහිල් කිරීමට නිරීක්‍ෂකයාට අදාළ වෙනස්‌ වීම් නො සලකා හරිමු. එනම් අපි ඊනියා වෙනස්‌ නො වන නිරීක්‍ෂකයකු සලකමු. ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව දැන් මෙතැන වස්‌තුවක්‌ වෙයි. ඒ වස්‌තුව නැති වෙයි. ඒ වෙනුවට වස්‌තුවක්‌ උපදී. එලෙස උපදින වස්‌තුව කලින් වස්‌තුව නො වේ. වෙනත් වස්‌තුවක්‌ ද නො වේ. නව වස්‌තුව ඇත්තේ කලින් වස්‌තුව තිබූ තැන නො වෙයි. වෙනත් තැනක ද නො වෙයි.

එලෙස ඉපදී නැති වී (උත්පාද, භංග) යන වස්‌තු පරම්පරාවක්‌ අප විසින් හඳුනාගැනෙන්නේ එක්‌ වස්‌තුවක චලිතය ලෙස ය. එක්‌ වස්‌තුවක්‌ නැති තැන එක්‌ වස්‌තුවක චලිතය හඳුනාගැනීමට අපට හැකි වී ඇත. එයට පුදුම වීමට ද දෙයක්‌ නැත. චිත්ත පරම්පරාවන් වූ අප ගැන ද අප සිතන්නේ එලෙස ය.

නලින් ද සිල්වා