logo3.gif (702 bytes)

HOME


කපිල පීරිස්‌ මහතා ගේ දේශපාලනය II

කපිල පීරිස්‌ මහතා ටික කලකට පෙර නිව්ටෝනීය යාන්ත්‍රිකය ඇසුරෙන් අපේ පැරැණි තාක්‍ෂණය තේරුම් කිරීම සාධාරණය කළේ එමඟින් බටහිර විද්‍යාව විශ්වාස කළ, එයට ගෞරවයක්‌ දැක්‌වූ අය පැරැණි තාක්‍ෂණය දෙස ඇහැ ඇර බැලීමට පෙලඹෙනු ඇතැයි කියමිනි. එය ව්‍යාජයක්‌ බව අපි එකල කීවෙමු. අපේ තාක්‍ෂණය නිව්ටෝනීය යාන්ත්‍රිකයෙන් තේරුම් කිරීමෙන් සිදු වනුයේ බටහිර විද්‍යාවේ ආධිපත්‍යය තව තවත් තහවුරු කිරීම මිස අනෙකක්‌ නො වන බව ප්‍රකාශ කළෙමු. බටහිර විද්‍යාවට වෙනත් බොහෝ දේ මෙන් ම අපේ තාක්‍ෂණය ද තේරුම් කිරීමට හැකි නම් බටහිර විද්‍යාව විශ්වාස කරන, එයට භක්‌තියක්‌ ඇති අය බටහිර විද්‍යාව සමග තව තවත් බැඳෙනු මිස අපේ තාක්‍ෂණයක්‌ ගැන සොයා බැලීමට නො පෙලඹෙති.

කපිල පීරිස්‌ මහතාට මුල සිට ම අවශ්‍ය වූයේ වැඩි ම වුව හොත් බටහිර විද්‍යාව මෙරටට ගැලපෙන අයුරින්, මෙරට සමග බැඳෙන අයුරෙන් ප්‍රකාශ කිරීම මිස අපේ විද්‍යාවක්‌ තාක්‍ෂණයක්‌ බිහි කිරීමට දායක වීම නො වේ. වැඩි කල් නො ගොස්‌ ම කපිල පීරිස්‌ මහතා ගේ ඒ අභිලාෂය හෙළිදරව් විය. ඒ බව ඔහු රේ විඡේවර්ධන මහතාට සහ තවත් අයට දුන් සහතිකවලින් මනාව පැහැදිලි විය. එපමණක්‌ නො වේ. බයිසිකලය මෙන් ම ආකාශ සෝපාන ගැන ද ඒ මහතා කතා කළේ ය. බයිසිකලය වත් ආකාශ සෝපානය වත් අපේ සංස්‌කෘතියෙන් බිහි වූ, අපේ තාක්‍ෂණයකට අයත් වූ දේ නො වේ. නිව්ටෝනීය යාන්ත්‍රිකය යොදාගෙන ඒවා තේරුම් කර දීමෙන් බටහිර විද්‍යාව විශ්වාස කරන්නවුන් අපේ තාක්‍ෂණයක්‌ ගැන ඇස්‌ ඇර බලන්නේ කෙසේ ද?

කපිල පීරිස්‌ මහතා ගේ දේශපාලනය ඒ අයුරෙන් හෙළිදරව් විය. ඔහුට අවශ්‍ය වූයේ බටහිර විද්‍යාවේ ආධිපත්‍යය තහවුරු කිරීමට ය. එයට අභියෝග නො කර සිටීමට ය. එය ඔහු ගේ රැකියාවත් සමග ද ගැලපිණි. එබැවින් ඔහුට අපේ විවේචනය කරදරයක්‌ වූවා නිසැක ය. එබැවින් ඔහු මෑතක සිට වෙනත් ව්‍යාපෘතියක්‌ ද ඇරඹී ය. අප භාවනාව හා ආධ්‍යාත්මික ශක්‌තිය, දැනුම ලබාගැනීමේ අපේ ක්‍රමය ලෙස ක්‍රමයෙන් තහවුරු කරද්දී කපිල පිරිස්‌ මහතා එතැනට පැන ගැනීමට වෑයම් කළේ ය. එහෙත් ඔහුට අප බාධාවක්‌ විය. එබැවින් අපේ ව්‍යාපෘතියට ගැරහීමට හා මා ආධ්‍යාත්මික ශක්‌තිය ගැන කතා කිරීමට නුසුදුසු, බෞද්ධයකු නො වන පුද්ගලයකු ලෙස හැඳින්වීමට ඔහුට අවශ්‍ය විය. එසේ කිරීමෙන් දැනුම ලබාගැනීමේ දී ආධ්‍යාත්මික ශක්‌තිය ගැන කතා කරන නිවැරැදි බුදුදහමට එකඟ ව කටයුතු කරන තැනැත්තා ලෙස තමාට මතු වීමට හැකි යෑයි ඔහු සිතූ බව පෙනී යයි.

අවුරුදු විසි පහකට අධික කාලයක්‌ තිස්‌සේ මා උත්සාහ කරන්නේ අපේ ප්‍රවාද හෙවත් අපේ කතාන්දර ගෙතීමට ය. එහි දී බටහිර විද්‍යාවේ ව්‍යාජය හෙළිදරව් කරමි. එයට පිළිගැනීමක්‌ ලැබී ඇත්තේ එය සත්‍ය නිසා නො ව මිනිසුන් බටහිර දේශපාලන ආධිපත්‍යයට යට වීමත් බටහිර තාක්‍ෂණයෙන් දෑස්‌ නිලංකාර කරගැනීමත් නිසා ය. බටහිර විද්‍යාවේ ඇති ඊනියා සත්‍යයක්‌ නැත. එහි ප්‍රවාද යනු අනෙක්‌ දැනුම්, අත්දැකීම්, නිරීක්‍ෂණ ආදිය සමග යම් ප්‍රමාණයකට සංගත ව වියුක්‌ත කතාන්දර වෙයි. බටහිර විද්‍යාවේ දුර්වලකම් හෙළිදරව් කරන අතර අපට අපේ ප්‍රවාද ගොඩනැඟීමේ අවශ්‍යතාව ද වෙයි. එහි දී අප ගොඩනඟාගත් ප්‍රධාන කතාන්දරය අපි "නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය" ලෙස හැඳින්වීමු.

මා නිරත වී සිටින්නේ දේශපාලන ව්‍යාපෘතියක ය. ඒ පිළිබඳව මට ඇත්තේ මනා අවබෝධයකි. මගේ බටහිර යටත්විජිත විරෝධී දේශපාලනය වසා ගැනීමට මට අවශ්‍ය නැත. බටහිරයන් අද අපි වැනි රටවල් පාලනය කරන්නේ ප්‍රධාන වශයෙන් ම ඔවුන් නිර්මාණය කර ඇති දැනුම, ගොතා ඇති කතාන්දර හෙවත් ප්‍රවාද හා සංකල්ප ඇසුරෙන් බව පැහැදිලි ය. බටහිර විද්‍යා ප්‍රවාද පමණක්‌ නො ව සමස්‌ත බටහිර දැනුම් පද්ධතිය ම බිඳ දැමීමට අපට එහි දී සිදු වෙයි. කපිල පීරිස්‌ මහතා ඒ ප්‍රවාදවලට තැනක්‌ ලබා දීමෙන් කරන්නේ බටහිර දේශපාලන ආධිපත්‍යය පවත්වාගෙන යැම ය. එලෙස දේශපාලන පද්ධති රකින්නන් කියන පරිදි ම කපිල පීරිස්‌ මහතා තමාට දේශපාලනයක්‌ නැතැයි කියයි.

බටහිර වියුක්‌ත ප්‍රවාද යටපත් කළ හැකි එක්‌ ක්‍රමයක්‌ නම් අපේ වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කිරීම ය. එය අපේ දැනුම ලබාගැනීමේ ක්‍රමය නො වුවත් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් ආධ්‍යාත්මික ශක්‌තියක්‌ අප කිහිප දෙනකු බිහි කර ගන්නා තුරු අපට යම් ප්‍රමාණයකට වුවත් වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කිරීමට සිදු වෙයි. මේ වියුක්‌ත ප්‍රවාද ප්‍රත්‍යක්‍ෂ නො වේ. එබැවින් ඒවා හැකි තරම් සංගත විය යුතු ය. එබැවින් අපි හැකිතාක්‌ දුරට සංගත වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කිරීමට උත්සාහ කරමු. භෞතිකයේ ද, ඉතිහාසයේ ද, දේශපාලනයේ ද, දර්ශනයේ ද, සාහිත්‍ය හා කලා විචාරයෙහි ද යම් ප්‍රමාණයකට වුව ද අපේ ව්‍යායාමය සාර්ථක වී ඇත. අපි කණා බල්ලන් ගසන්නන් මෙන් ක්‍රියා නො කරමු.

දැන් ප්‍රශ්නයක්‌ වනු ඇත්තේ බටහිරයන් ද වියුක්‌ත සංගත ප්‍රවාද නිර්මාණය කරන්නේ නම් අප ද ඒ අයුරෙන් ම ක්‍රියා කිරීමෙන් ඇති ඵලය කුමක්‌ ද යන්න ය. බටහිරයන් ගේ වියුක්‌ත ප්‍රවාද බිඳීමට ඇති එක්‌ ක්‍රමයක්‌ වූයේ ඔවුන්ට එරෙහි ව වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කිරීම ය. එහෙත් එහි දී අපේ වෙනසක්‌ වෙයි. ඒ වෙනස තේරුම් කර දිය හැක්‌කේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ඇසුරෙන් ය. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් ප්‍රධාන වශයෙන් කියෑවෙනුයේ මිනිසුන් දැනුම නිර්මාණය කරන බවත් (ඊනියා සොයා ගැනීමට එරෙහි ව) ඒ දැනුම නිර්මාණය කෙරෙනුයේ යම් චින්තනයක්‌ පදනම් කරගනිමින් යම් සංස්‌කෘතියකට, ඉන්ද්‍රිය පද්ධතියට හා මනසට සාපේක්‍ෂව බවත් ය. වියුක්‌ත ප්‍රවාද යනු දැනුම් විශේෂයකි. අප වියුක්‌ත ප්‍රවාද නිර්මාණය කරන්නේ අනෙක්‌ ඊනියා සාධක සමග සංගත ව, සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව, සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ය. බටහිරයන් දැනුම නිර්මාණය කරන්නේ (ඔවුන්ට ඇත්තේ වියුක්‌ත ප්‍රවාද පමණකි) ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය මත පදනම් ව යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ය.

ආධ්‍යාත්මිකව දැනුම නිර්මාණය කර බටහිරයන් පරාජය කරන තුරු අපට අනුගමනය කිරීමට තිබුණේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි සංගත ව අපේ ප්‍රවාද නිර්මාණය කිරීම ය. කපිල පීරිස්‌ මහතා බයිසිකලය හා වෙනත් භාණ්‌ඩ නිව්ටෝනීය යාන්ත්‍රිකය මත පදනම් ව බටහිර දැනුම තහවුරු කළ අතර අපි අපේ ප්‍රවාද නිර්මාණය කළෙමු. ඉවසුම් නැති කපිල පීරිස්‌ මහතාට අපේ ක්‍රමයට කිසියම් න්‍යායක්‌ මත පදනම් ව තාර්කිකව එරෙහි වීමට නො හැකි ය. එබැවින් ඔහු කළේ ගැරහීම හා අවලාද නැඟීම ය. අපි ඔහු ගේ අප්‍රියෙල් 4 වැනි දා ලිපියෙන් නැවත උපුටා දක්‌වමු.

"අපි පසුගිය සතියක "ආශ්චර්යයන් යනු මොනවා ද?" යන ලිපියෙන් ද දැක්‌වූ පරිදි ලෝකවිදු සර්වඥයන් වහන්සේ සමස්‌ත සංසාරය පිළිබඳ අවබෝධ කළ උතුමන් ය. උන්වහන්සේ ගේ මේ අවබෝධය (ඇත්තට ම බෝධිය) උන්වහන්සේ ගේ විඤ්ඤාණයට සාපේක්‍ෂ ද? උන්වහන්සේ ගේ විඤ්ඤාණය කෙබඳු ද? එය මායාවක්‌ ද? ආදී ගැටලුවලට පිළිතුරු සැපයීම මහරහතන් වහන්සේට පවා නොහැකි කල, කිසිදු භාවනාමය අත්දැකීමක්‌ පවා නොමැති අපට ඒ ගැන කුමක්‌ කිව හැකි ද? මේ පිළිබඳ ව යම් ආකාරයකට හෝ හැඟීමක්‌ ලද හැක්‌කේ, හුදු තර්ක ඔස්‌සේ සිතීමෙන් නො ව භාවනාවෙනි. භාවනාවෙන් එසේ වන්නේ කෙසේ දැයි සිතීමෙන් පමණක්‌ එය තේරුම් ගත නො හැකි ය. අපට දැනට සිතීමෙන් තේරුම් ගත හැක්‌කේ ඉහත කාරණා පිළිබඳ ව තර්ක කරමින්, ගැටලු මවමින්, ඒවාට පිළිතුරු සපයමින් ඊනියා සංගත ආකෘති තැනීම තුළ අප ඉමහත් පඹගාලක පැටලෙන බව පමණි. අන්ධයකුට පෙනීම යන්න අනෙක්‌ ඉන්ද්‍රිය අත්දැකීම් මාර්ගයෙන් තාර්කිකව තේරුම් ගැනීමට යැමේ දී ඇති වන වියවුල පිළිබඳ ව පමණක්‌ මෙහි ලා සඳහන් කරමි."

දැනුම නිර්මාණය පිළිබඳ ප්‍රවාදය ලෞකික දැනුම සඳහා ය. බුදුන් වහන්සේ අවබෝධ කරගත්තේ ලෞකික දැනුම මායාවක්‌ බව ය. මනස යන්න ද මායාවකි. මනස මායාවක්‌ ය යන්න මනසෙන් අවබෝධ කරගත හැකි යෑයි මම නො සිතමි. නිවන යනු සංකල්පයක්‌ වත් මනසට සාපේක්‍ෂ වූවක්‌ වත් නො වේ. බටහිර ලෝකය හා මහායානය දෙස බලමින් උගන්වන බෞද්ධ මහාචාර්යවරුන් එයට සරිලන සේ බුදුදහම අර්ථකථනය කරන බැවින් අප ද එසේ කළ යුතු නො වේ. අනෙක්‌ අතට අටුවාවේ තිබූ පමණින් ද පිළිගැනීමට අප බැඳී නැත. ලෝකෝත්තර අවබෝධය සඳහා අප හකිතාක්‌ ආධ්‍යාත්මික ව කටයුතු කළ යුතු අතර ඒ සඳහා පාරමිතා පිරිය යුතු ය. එහෙත් වෛරය, සුපිරි මමත්වය සහිත අයට පාරමිතා පිරීම ඇරඹීම පවා අසීරු ය. ඒ කෙසේ වෙතත් අවිද්‍යාව නිසා හටගන්නා විඤ්ඤාණය ඇති ව නම් අවසානයේ දී නිවන් අවබෝධ කළ හැකි යෑයි මම නො සිතමි. (සාමාන්‍ය කටයුතුවල දී රහත් ඵලයට පැමිණීමෙන් පසුව විඤ්ඤාණය මායාවක්‌ බව අවබෝධ කර ගනිමින් විඤ්ඤාණය යොදා ගැනීම සමග මේ කියමන පටලවා ගත යුතු නො වේ.) එසේ කළ හැකි නම් නිවන් අවබෝධයෙන් පසුවත් විඤ්ඤාණයත් එබැවින් අවිද්‍යාවත් වෙයි. බුදුන් වහන්සේට ලෝකෝත්තර වූ විඤ්ඤාණයක්‌ තිබිය නො හැකි ය. එසේ නම් පිරිනිවන් පෑමේ දී ඒ විඤ්ඤාණයට කුමක්‌ සිදු වී ද? කපිල පීරිස්‌ මහතා කටුකුරුන්දේ ඥානානන්ද හිමිපාණන් වහන්සේ ගේ නිවනේ නිවීම පොත් පෙළ කියවා නොමැති බව පැහැදිලි ය.

විඤ්ඤාණය මායාවක්‌ බව එයට හේතුව අවිද්‍යාව බව බුදුන්වහන්සේ අවබෝධ කරගත්තේ කෙසේ ද යන්නට මා පිළිතුරු දීමට යත්න දරා නැත. අප වැනි පුහුදුන් අයට එය කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නො වේ. නැති විඤ්ඤාණය නැති විඤ්ඤාණයක්‌ බව අවබෝධ කරගන්නේ විඤ්ඤාණයෙන් නම් විය නො හැකි ය. ඒ බව ප්‍රකාශ කිරීමට ද මම මැළි නො වෙමි. රහතන් වහන්සේ නමක්‌ පිරිනිවන්පානා තෙක්‌ එදිනෙදා ජීවිතයෙහි වැඩ කටයුතු කරන්නේ විඤ්ඤාණය ආධාරයෙනි. එහෙත් එය මායාවක්‌ බව උන්වහන්සේ අවබෝධ කරගෙන ඇත. රහතන් වහන්සේ නමක්‌ අර්හත්ඵල සමාධියට සමවැදෙන විට ඒ සාමාන්‍ය විඤ්ඤාණය ඇතැයි සිතිය නො හැකි ය. රහතන් වහන්සේ අවසානයේ දී අනුපාධිශේෂ ධාතුවෙන් පිරිනිවන් පාන්නේ අර්හත්ඵල සමාධියට සමවැදීමෙන් පසුව බව ඥානානන්ද හිමියෝ සඳහන් කරති. අර්හත්ඵල සමාධියට සමවැදෙන රහතන් වහන්සේ මාරයාට හසු නො වෙති. රහතන් වහන්සේ අවසන පිරිනිවන්පානා තෙක්‌ නිවන් අවබෝධ වි ඇතත් සෝපධිශේෂයක්‌ වෙයි.

කපිල පීරිස්‌ මහතා ඉහත සඳහන් ඡෙදයෙහි ඊනියා සංගත ආකාරයෙන් යනුවෙන් සඳහන් කරන්නේ අපේ ප්‍රවාද නිර්මාණය කිරීමේ දී අප අනුගමනය කරන ක්‍රියා මාර්ගයට ගැරහීමට ය. දැනට බටහිර ප්‍රවාදවලට එරෙහි ව අපේ සංස්‌කෘතියට සාපේක්‍ෂව සංගත ප්‍රවාද නිර්මාණය කිරීම හැරෙන්නට බටහිර මතවාද පරාජය කිරීමට නො හැකි ය. එහෙත් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට හැකි අය තව තවත් බිහි වූ පසු මේ තත්ත්වයෙහි වෙනසක්‌ වනු ඇත. අපේ ප්‍රවාද නිර්මාණය කිරීමට අමතර ව ගිය සතියේ ලිපියෙන් පැහැදිලි කළ ආකාරයට අඩු ම තරමෙන් මම දැනට ආධ්‍යාත්මික ව දැනුම ලබාගන්නා අය ගෙන් වක්‍රව දැනුම ලබා ගනිමි. කපිල පීරිස්‌ මහතා අපට ගැරහීම හැරෙන්නට ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීමට කර ඇත්තේ කුමක්‌ ද? කපිල පීරිස්‌ මහතා ආධ්‍යාත්මික ව දැනුම ලබාගන්නා තෙක්‌ අප සිටියේ නම් අඩු ම තරමින් දෙමළ ත්‍රස්‌තවාදය පරාජය කළ හැකි ය යන්නවත් සමාජයේ තහවුරු කරගැනීමට නොහැකි වීමට තිබිණි.

කපිල පීරිස්‌ මහතා මට ගැරහීමට යොදාගන්නා අවසාන අවිය යොදා ගනිමින් මා බෞද්ධයකු නො ව නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු බව පවසා ඇත. ඒ මහතා කියවා ඇති ඒ මහතා ගේ බුදුදහම පිළිබඳ අර්ථකථනය සමග මා එකඟ නො වූ පමණින් මා බෞද්ධයකු නො වේ යෑයි ඒ මහතා කියන්නේ කවර අරමුණකින් ද යන්න ඉහත සඳහන් කරුණුවලින් පැහැදිලි විය යුතු ය.

නලින් ද සිල්වා