logo3.gif (702 bytes)

HOME


කපිල පීරිස්‌ මහතාගේ දේශපාලනය

කපිල පීරිස්‌ මහතා සුපුරුදු අයුරින් ප්‍රශ්නයෙන් ගැලවී යැමට උත්සාහ කරයි. ඔහු පසුගිය අප්‍රියෙල් 25 වැනි බදාදා තම බටහිර විද්‍යාව පිළිබඳ ලිපියෙහි විශේෂ සටහනක්‌ මගින් අහිංසක චරිතයක්‌ මවා පෑමට උත්සාහ කරයි. ඔහු එසේ කරන්නේ පසුගිය අප්‍රියෙල් මස 11 වැනි දා "කපිල පීරිස්‌ මහතා ගේ මනස" මැයෙන් මා ලියූ ලිපියට පිළිතුරක්‌ වශයෙනි. එහෙත් ඔහු ඒ සටහන මගේ ලිපියට පිළිතුරක්‌ යෑයි නො පවසයි. ඔහු කිසි ම ලිපියක්‌ ගැන නො කියා, විශේෂ සටහනක්‌ කරන්නේ කවර හේතුවක්‌ නිසා දැයි සඳහන් නො කරමින් තමන් කිසිදු ක්‍ෂෙත්‍රයක කිසිදු ප්‍රවාදයක්‌, මතවාදයක්‌, ගොඩනඟා නොමැති බවත් අතීන්ද්‍රිය ක්‍ෂෙත්‍රයන්හි නම් ඒ බව නිශ්චිතව ම කිව හැකි බවත් පවසයි. තමා ඇතැම් ලිපිවලින් සැකෙවින් වුව ද ධර්ම කාරණා ගෙනහැර දැක්‌වීමට උත්සාහ ගන්නා බවත් එහි වැරැදි ඇත්නම් ඒවා පෙන්වා දෙන්නේ නම් පින් දී පිළි ගැනීමට සූදානම් බවත් පවසයි. තමා තම ලිපි මඟින් කරන්නේ ලෞකික දෑ පිළිබඳ ව අදහස්‌ කිහිප දෙනකු සමග බෙදා ගැනීමක්‌ බවත් ඊට ඔබ්බට ගිය දේශපාලනයක්‌, යම් යම් අයට සහ දර්ශනවලට ගැරහීමක්‌ නැති බවත් එයට වඩා කීමට නැති බවත් පාඨකයනට ඕනෑ ම දෙයක්‌ සිතාගත හැකි බවත් අවසානයේ දී කියයි.

කපිල පීරිස්‌ මහතා කරන්නේ ම දේශපාලනයකි. තමන්ට දේශපාලනයක්‌ නැතැයි කියන්නෝ ද දේශපාලනය කරති. දේශපාලනයේ ඇති එක්‌ කරුණක්‌ නම් කිසිවකුට දේශපාලනයෙහි නො යෙදී සිටීමට නොහැකි වීම ය. දේශපාලනය යනු හුදෙක්‌ පක්‍ෂ දේශපාලනය නො වේ. දේශපාලනයෙහි ඇත්තේ බල අරගලයකි. එය පාර්ලිමේන්තුවෙහි විය හැකි ය. එසේත් නැත්නම් දැනුම සම්බන්ධයෙන් විය හැකි ය. දෙමළ ජාතිවාදය පිළිබඳ ව පමණක්‌ නො ව මාක්‌ස්‌වාදය සම්බන්ධයෙන් ද, නූතනත්වය හා නූතනවාද සම්බන්ධයෙන් ද, බටහිර විද්‍යාව සම්බන්ධයෙන් ද, ඉතිහාසය, දැනුම හා දර්ශනය සම්බන්ධයෙන් ද මම මතවාදී අරගලයක නිරත වෙමි. ඒ දේශපාලනය මිස අන් කිසිවක්‌ නො වේ. මේ සැම තැනක ම මා දේශපාලනය කරන්නේ පවත්නා අදාළ අධිපති මතවාදවලට එරෙහි ව ය. එහෙත් ඇතමකු දෙමළ ජාතිවාදයට එරෙහි ව මා කර ඇති අරගලය හැරෙන්නට අනෙක්‌ දෑ අමතක කරන්නේ එහි පෝල්ම(කාරයන් උරුමක්‌කාරයන් වීමට ඇති කැමැත්ත හේතු කොටගෙන බව පැහැදිලි ය. ඒ අතර තවත් සමහරු දෙමළ ජාතිවාදයට එරෙහි ව මා විසින් කරන ලද අරගලය ද තම තමන් ගේ ගිණුමට එකතු කර ගනිති. මම එයින් කම්පා නො වෙමි. එහෙත් මා ගේ පැත්තෙන් කිවයුතු දේ කීමට ද මම පසුබට නො වෙමි.

පක්‍ෂ දේශපාලනයෙහි හෝ වෙනත් දේශපාලනයක හෝ දේශපාලනය නො කර සිටීම යන්නෙන් කියෑවෙන්නේ අදාළ පවත්නා දේශපාලනය අනුමත කිරීමකි. කපිල පීරිස්‌ මහතා අද බටහිර විද්‍යාවේ අධිපති මතවාදය වෙනුවෙන් පෙනී සිටියි. ඔහු විටෙක සෙක්‌කුව නිව්ටෝනීය යාන්ත්‍රිකය ඇසුරෙන් තේරුම් කර දෙයි. තවත් විටෙක අප බටහිරින් ගත් බයිසිකලය හා වෙනත් සංස්‌කෘතීන්හි දැකිය හැකි ඔන්චිල්ලාව ද, එමෙන් ම අපේ තාක්‍ෂණයෙහි තවමත් නැති අභ්‍යවකාශ සෝපාන ද නිව්ටෝනීය යාන්ත්‍රිකය යොදා ගනිමින් තේරුම් කර දෙයි. එමෙන් ම රේ විඡේවර්ධන මහතුන් වැන්නන් බටහිර තාක්‍ෂණය සුළු වෙනස්‌කම් ඇති කර මෙරට යොදා ගැනීම පිළිබඳ සහතික දෙයි. මේ සියල්ලෙන් ඔහු කරන්නේ බටහිර විද්‍යාව අඩු ම තරමෙන් නිව්ටෝනීය යාන්ත්‍රිකයේ කතාන්දර මෙරට තහවුරු කිරීමට උදව් කිරීම ය. ප්‍රවාද කීව ද මේ සියල්ල කතාන්දර වෙයි. අපේ ප්‍රවාද යනු අපේ කතාන්දර වෙයි.

ඒ අතර ඔහු අපේ කෙම් ක්‍රම ගැන ද කියයි. එහි බටහිර විද්‍යාව විවේචනය කරන්නේ එය පංෙච්න්ද්‍රියට පමණක්‌ සීමා වීම ඉස්‌මතු කරමින් ය. එහි දී අධ්‍යාත්මය දියුණු කර ගැනීමක්‌ ගැන ද ඔහු කියයි. එය ඔහු ඉදිරිපත් කරන්නේ ඔහු ගේ මතවාදයක්‌ ලෙසිනි. අප ද ආධ්‍යාත්මික ව ලබාගන්නා දැනුම ගැන කතා කර ඇති නමුදු ඒ පිළිබඳ ව මෙරට කසිකබල් බටහිර විද්‍යාඥයන් ගේ අනේකවිධ ගර්හාවන්ට, විවේචනවලට බඳුන් වී ඇති නමුදු ඔහු ඒ පිළිබඳ ව කිසිවක්‌ සඳහන් නො කරයි. මේ විවේචන කෙතරම් දුරදිග ගියේ ද කිව හොත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ පාලක සභාව මා සහ මගේ මතවාද හෙළා දකිමින් පුවත්පත් නිවේදනයක්‌ ද නිකුත් කළේ ය. එය විදුසර පුවත්පතේ පළ වූ බව ද එයට මා පිළිතුරු දුන් බව ද ඉන්පසු විද්‍යාභිවර්ධන සංගමය නිශ්ශබ්ද වූ බව ද විදුසර, ඉරිදා දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත් කියවන්නෝ දනිති. එකල කපිල පීරිස්‌ මහතා කළ දෙයක්‌ නැත. දැන් හදිසියෙන් ම අවදි වී ඔහු බටහිර විද්‍යාවේ සීමා හා මායිම් ගැන කතා කිරීමට පටන්ගෙන ඇත්තේ ඒ ඔහු ගේ ඇතැයි කියන මනසේ පහළ වූ වින්තාවක්‌ ලෙස පාඨකයාට හැඟෙන අයුරින් ය.

උදාහරණයක්‌ වශයෙන් අප්‍රියෙල් මස 11 වැනි දා පරිසරයේ චක්‍රීයත්වය, තිරසාර සංවර්ධනයක පේන තෙක්‌ මානයක නො වීම ආදිය ගැන කියා ඔහු මෙසේ කියයි. "මේ සියල්ල මෙසේ වීමට හේතුව අද වන විට දැන හෝ නො දැන හෝ බටහිර විද්‍යාවේ තාක්‍ෂණයේ සහ සංවර්ධනයේ රාමුවේ පංෙච්න්ද්‍රිය රාමුවට සිර වීම යෑයි සිතේ" මෙයින් ඔහු කීමට අදහස්‌ කරන්නේ ඔහුට වෙනත් කිසිවකු ගේ මඟපෙන්වීමක්‌ නැති ව ම එසේ සිතුණු බව ය. අද ඔහු පංෙච්න්ද්‍රියෙන් තොර ව ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ ප්‍රවාදය ඉදිරිපත් කරන්නා ලෙසත්, එයට භාවනාව අවශ්‍ය බව සඳහන් කරන තැනැත්තා ලෙසත් පාඨකයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කරයි. ඔහු එසේ කරන්නේ තමන් ගේ මතවාද නැති බව ද කියමිනි. ඉන්පසු ඔහු මෙසේ සඳහන් කරයි. "අප මනීන්ද්‍රිය වැඩීම යන්නෙන් බැහැර ව පංෙච්න්ද්‍රිය ලෝකය තුළ කොපමණ සිරගත ව ඇත් දැයි කිව හොත් අභිධර්මය, බුද්ධ දේශනාවන් ආදිය විමසන්නේ බෞද්ධ සාහිත්‍යය, සංගායනාවලට අදාළ පොත්පත් ඉතිහාසය ආදිය පිළිබඳ ව සෙයා බැලීමෙන් එනම් පංෙච්න්ද්‍රිය ලෝකය තුළ ම සිරගත ව විනා අභිධර්මය පිළිබඳව භාවනාමය අත්දැකීමක්‌ සහිත කිසිවකු ගෙන් හෝ ඒ පිළිබඳව විමැසීමෙන් හෝ නො වේ."

කපිල පීරිස්‌ මහතා ගේ අප්‍රියෙල් 4 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. "අප පසුගිය සතියක ආශ්චර්යයන් යනු මොනවා ද?" යන ලිපියෙන් ද දැක්‌වූ පරිදි ලෝකවිදු සර්වඥයන් වහන්සේ සමස්‌ත සංසාරය පිළිබඳව අවබෝධ කළ උතුමන් ය. උන්වහන්සේ ගේ මේ අවබෝධය (ඇත්තට ම බෝධිය) උන්වහන්සේ ගේ විඤ්ඤාණයට සාපේක්‍ෂ ද? උන්වහන්සේ ගේ විඤ්ඤාණය කෙබඳු ද? එය මායාවක්‌ ද? ආදී ගැටලුවලට පිළිතුරු සැපයීම ආදි ගැටලුවලට පිළිතුරු සැපයීම මහරහතන් වහන්සේට පවා නොහැකි කල කිසිදු භාවනාමය අත්දැකීමක්‌ පවා නොමැති අපට ඒ ගැන කුමක්‌ කිව හැකි ද? මේ පිළිබඳ ව යම් ආකාරයකට හෝ හැඟීමක්‌ ලද හැක්‌කේ, හුදු තර්ක ඔස්‌සේ සිතීමෙන් නො ව භාවනාවෙනි. භාවනාවෙන් එසේ වන්නේ කෙසේ දැයි සිතීමෙන් පමණක්‌ එය තේරුම් ගත නො හැකි ය. අපට දැනට සිතීමෙන් තේරුම් ගත හැක්‌කේ ඉහත කාරණා පිළිබඳ ව තර්ක කරමින් ගැටලු මවමින් ඒවාට පිළිතුරු සපයමින් ඊනියා සංගත ආකෘති තැනීම තුළ අප ඉමහත් පඹගාලක පැටලෙන බව පමණි. අන්ධයකුට පෙනීම යන්න අනෙක්‌ ඉන්ද්‍රිsය අත්දැකීම් මාර්ගයෙන් තාර්කික ව තේරුම් ගැනීමට යැමේ දී ඇති වන වියවුල පිළිබඳ ව පමණක්‌ මෙහි ලා සඳහන් කරමි."

බටහිර විද්‍යාවේ ආධිපත්‍යය මෙරට පැතිරවීමට කටයුතු කරන කපිල පීරිස්‌ මහතාට අද ඒ සමග ආධ්‍යාත්මික දැනුමක්‌ මෙරට ඇති කිරිමට නිවැරැදි ව කටයුතු කරන පුද්ගලයා ලෙස තහවුරු වීමේ අවශ්‍යතාවක්‌ ඇති බව පැහැදිලි ය. ඔහු ගේ ව්‍යායාමය ආධ්‍යාත්මිකව දැනුම ලබාගැනීමේ දී ධර්ම කරුණු අතින් ඔහු නිවැරැදි බවත් මා වැරැදි බවත් පෙන්වීම ය. ඉහත සඳහන් කළ පරිදි ආධ්‍යාත්මික ව දැනුම ලබා ගැනීම පිළිබඳ ව අපි දැන් වසර කිහිපයක්‌ තිස්‌සේ කටයුතු කරමු. එහි දී ද එක්‌ ක්‍රමයක්‌ පමණක්‌ නැති බව අප කියා ඇත. සමහරු ආධ්‍යාත්මික ව දියුණු වූ පුද්ගලයන් ඇසුරෙන් වක්‍ර ව දැනුම ලබා ගනිති. එය ද කොටස්‌ දෙකකට කැඩිය හැකි ය. එක්‌ ආකාරයකට අයෙක්‌ ආධ්‍යාත්මික ව දියුණුවක්‌ ලැබූ අය ගෙන් සෘජු ව දැනුම ලබා ගනිති. තවත් පිරිසක්‌ තමන් තාර්කික ව හෝ වෙනත් ආකාරයකින් හෝ දැනගන්නා දේ පිළිබඳව ආධ්‍යාත්මිකව දියුණු පුද්ගලයන් සමග සාකච්ඡා කරති. නැත හොත් එලෙස ආධ්‍යාත්මිකව දියුණු පුද්ගලයන් ලියා ඇති දේ කියවා ඒ සමග තමන් දැනගත් දේ සංසන්දනය කරති.

මා අනුගමනය කරන්නේ මේ ක්‍රමය ය. මට තවමත් භාවනාව පිහිටා නැත. මම තර්කයෙන් සිතීමෙන් හා වෙනත් අත්දැකීම්වලින් ලබා ගන්නා දැනුම කටුකුරුන්දේ ඤාණානන්ද හිමිපාණන් වහන්සේ ලියා ඇති දේ සමග සංසන්දනය කරමි. උන්වහන්සේ මා දන්නා ආකාරයට අවුරුදු හතළිස්‌ පහක්‌ පමණ භාවනානුයෝගීව ආරණ්‍යගත ව වැඩ වසති. මගේ නිගමන බොහෝ විට උන්වහන්සේ ලියා ඇති දේ සමග එකඟ වෙයි. අවශ්‍ය අයකුට උදාහරණයක්‌ ලෙස උන්වහන්සේ ගේ නිවනේ නිවීම පොත් පෙළ කියවා ඒ බව දැනගත හැකි ය. එහෙත් උන්වහන්සේ සමග මා එකඟ නො වන අවස්‌ථා වෙයි. උදාහරණයක්‌ වශයෙන් අඤ්ඤා යන්නට උන්වහන්සේ දෙන තේරුම සමග මට එකඟ විය නො හැකි ය. උන්වහන්සේ බැහැදැක සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක්‌ වෙතත් තවමත් එයට අවස්‌ථාවක්‌ උදා වී නැත.

ආධ්‍යාත්මික ව දැනුම ලබාගන්නා දෙවැනි ආකාරයක්‌ නම් සෘජුව ම භාවනාවෙහි යෙදීම ය. වෛදික යෝගීහු ද යෝග අභ්‍යාසවල යෙදී දැනුම ලබාගත් හ. එහෙත් බෞද්ධයන් භාවනා කරන්නේ මූලික ව දැනුම ලබාගැනීමට නො ව නිවන් අවබෝධය සඳහා ය. නිවන් දැකීම සඳහා අත්හැරිය යුතු ය. දැනුම යනු ද අවසාන වශයෙන් ගත් කල එකතු කරගන්නා දෙයකි. අපි එහි ඇලෙමු. මා පමණක්‌ නො ව කපිල පීරිස්‌ මහතා ද දැනුමෙහි ඇලී ඇත. භාවනාවෙන් ලැබෙන දැනුම හුදු ලෞකික පාරිතෝෂිකයන් ලෙස පමණක්‌ සැලකිය හැකි ය. එහෙත් මෙහි දී කිව යුතු කරුණක්‌ වෙයි. අපේ පෙර භවයන්හි භාවනාවෙන් අප ලබාගත් පුහුණුවක්‌ වේ නම් එය මේ භවයෙහි දී අපට ලෞකික වශයෙන් පමණක්‌ නො ව ලෝකෝත්තර වශයෙන් ද උපකාර වනවා විය හැකි ය. සැරියුත් රහතන් වහන්සේ ගිහි කල, අස්‌සජි රහතන් වහන්සේ විසින් වදාරන ලද ගාථාවක පද දෙකක්‌ පමණක්‌ ඇසීමෙන් මාර්ගඵල ලැබූයේ උන්වහන්සේ පෙර භවයන්හි පාරමී ධර්ම පුරා තිබුණු හෙයිනි. උන්වහන්සේ අවසන් භවයෙහි අස්‌සජි රහතන් වහන්සේ මුණ ගැසීමට පෙර භාවනා කළ බවක්‌ සඳහන් නො වෙයි. මේ භවයේ භාවනා නො කළ ද පෙර භවයන්හි පුරන ලද පාරමී ධර්ම වේ නම් පෙර භවයන්හි භාවනා කර ඇත්නම් ඒ ඇතැම් විට ඵල දරනවා විය හැකි ය. එහෙත් මේ කරුණු ද දැනට මා කියන්නේ පොතපත ඇසුරෙන් බව සැබෑ ය.

කපිල පීරිස්‌ මහතා ද තමා දැනට භාවනාවෙහි නො යෙදෙන බව පිළිගනියි. ඔහු ද යම් යම් දෑ කියන්නේ භාවනා කළ අය ගේ හෝ නො කළ අය ගේ හෝ පොතපත ඇසුරෙන් ය. ඔහු ථෙරවාද බුදුදහම පිළිබඳ යම් මතිමතාන්තර දරයි. ඔහු ගේ මත වැරැදි ද නැද්ද යන්න මට ප්‍රශ්නයක්‌ නො වේ. භාවනාවෙහි යෙදෙන භික්‍ෂුන්වහන්සේ නමක ගෙන් ඒ පිළිබඳව විචාරයකට ද මට අවශ්‍ය නැත. එසේ වූ කල ඔහු බුදු දහම පිළිබඳ මා දරන මත දැන් සති කිහිපයක සිට ඒ මත සෘජුව නො කියා වැරැදි යෑයි කීමට පටන්ගෙන ඇත. එය ඔහු සමග මා බටහිර දැනුම සම්බන්ධයෙන් ඔහු ගේ දාස බව හෙළි කරමින් කරන ලද විවාදය සමග සම්බන්ධ නැත. අංක එකේ කුහකයකු වූ ඔහු මා දරන අදහස්‌ භාවනායෝගී භික්‍ෂුන් වහන්සේ නමක්‌ සමග සාකච්ඡා කළ බවක්‌ නො දනිමි. එහෙත් ඔහු මට තමන් දරන අදහස්‌ සම්බන්ධයෙන් එසේ කරන්නට යෑයි කියයි. මා කපිල පීරිස්‌ මහතා ගේ මනස මැයෙන් ලිපිය ලීවේ ඔහු ගේ මතවල වැරැදි කීමට නො ව ඔහු මගේ මතවල ඇතැයි කියන වැරැදිවලට පිළිතුරු වශයෙනි.

ඔහු අද කියන්නේ ඔහු විවාදයකට සූදානම් නැති බව ය. එහෙත් ඔහු විදුසර පුවත්පතෙන් මා සමග කලින් වාදයකට එළඹිණි. විදුසර පුවත්පතෙහි කෙරුණේ ද ප්‍රසිද්ධ විවාදයකි. මහජන පුස්‌තකාලයේ හෝ වෙනත් තැනක හෝ ප්‍රසිද්ධියේ විවාද කිරීමට ඔහු අකැමැති ඇයි? ඔහු කිසිවකුටත් ගරහන්නේ නැති උතුමකු ලෙස පෙනී සිටීමට වෑයම් කරන නමුදු ඔහු මට ගරහයි. ඒ ගැරහීම් කවරේදැයි කීම ලබන සතියට කල්දැමීමට සිදු වෙයි.

නලින් ද සිල්වා