logo3.gif (702 bytes)

HOME


මඩකලපුවෙන් බිහි වූ සුනාමි ආරක්‌ෂණ පද්ධතිය

2004 දෙසැම්බර් මස 26 වැනි දින තෙක්‌ මුහුද ගොඩ ගලන බව අප අසා තිබුණේ කාවන්තිස්‌ස රජ කාලයෙන් එන කතා පුවතකිනි. එහි දී මුහුද ගොඩ ගැලීමෙන් සිදු වන විපතින් තම රට සහ රටවැසියන් බේරා ගැනීමට විහාරමහා දේවිය ආත්ම පරිත්‍යාගයෙන් ඉදිරිපත් වීම සමස්‌ත කාන්තා පරපුරට ම අභිමානයක්‌ විය. එහි ම වර්තමාන ආදර්ශයක්‌ ලෙස, මෙරට දමිළ සිසුවියන් පිරිසක්‌ අතින් නිර්මාණය වූ සුනාමි ආරක්‌ෂණ පද්ධතිය අගය කළ යුතු ම ය.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ 67 වැනි වාර්ෂික සැසිවාරයට සමගාමීව පැවැත්වූ සමස්‌ත ලංකා පාසල් නව නිපැයුම්කරුවන් ගේ තරගාවලියේ දී මේ සුනාමි ආරක්‌ෂණ පද්ධතිය සඳහා රිදී පදක්‌කමක්‌ හිමි විය. මඩකලපුව වින්සන්ට්‌ බාලිකා පාසලෙහි 12 වැනි ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන ආර්. වෙනූකාල, එස්‌. කීර්තනාල, ඡේ. නර්මතාල ජී. සුජාන්තිනී සහ එල්. තර්ශිකා යන සිසුවියන් මෙය නිර්මාණය කර තිබිණි. එම නිර්මාණය පිළිබඳව ඔවුහු මෙසේ විදුසරට අදහස්‌ දැක්‌වූ හ.

නව නිර්මාණයක්‌ ලෙස මේ ව්‍යාපෘතිය තෝරා ගැනීමට හේතුව?

පසුගිය සුනාමි ව්‍යසනයේ දී විනාශ වූ ජීවිත සංඛ්‍යාව අතිවිශාලයි. එයට ප්‍රධානතම හේතුව පෙර සූදානමක්‌ නො තිබීම හා අනතුර පිළිබඳව නිසි අවබෝධයක්‌ නො තිබීමයි. ඒත් දැන් අප අනතුරෙහි ස්‌වභාවය දන්නා නිසා ඊට ගැළපෙන ආපදා අවම කිරීමෙහි (විශේෂයෙන් ම ජීවිත ආරක්‌ෂා කර ගැනීමෙහි) සැලසුමක්‌ නිර්මාණය කළා. මෙහි දී අඳ, බිහිරි පුද්ගලයන් පිළිබඳවත් අවධානය යොමු කළා.

මේ නිර්මාණය විස්‌තර කළොත්...

මෙය මුහුදේ සිට ගොඩබිම දක්‌වා ම විහිදෙන ආරක්‌ෂණ පද්ධතියක්‌. මෙහි මුහුදේ පිහිටුවූ උස, සිරස්‌ ස්‌ථායී කුලුනක ඉහළ කෙළවරට සම්බන්ධව චලනය විය හැකි සැහැල්ලු ආනත කණුවක්‌ තිබෙනවා. සුනාමි පෙරනිමිත්තක්‌ ලෙස ජලය මුහුද තුළට ඇදී යැමේ දී කණුව පා වීම නැවතී පහළට විත් සිරස්‌ කණුවෙහි ස්‌පර්ශ වී පරිපථය සම්පූර්ණ වෙනවා.

ඉන් නිපදවෙන විද්යුත් සංඥාවෙන් ගොඩබිම තැනින් තැන සිටුවා ඇති කණු මත පිහිටුවූ අනතුරු හඟවන බල්බ දැල්වීම හා නිවීමත්, සයිරන් නළා නාද වීමත් ඇරඹෙනවා. අන්ධ පුද්ගලයන් හට නළා හඬෙනුත්, බිහිරි අයකුට බල්බවලිනුත් අනතුර හඳුනාගත හැකියි. ගම තුළ මුහුදට කිමී 1ක්‌ පමණ දුරින් රවුම් ශක්‌තිමත් කුලුනක්‌ නිර්මාණය කර ඇති අතර ආබාධිත අය සහ මහලු අය රැගෙන යැමට අපහසු බැවින් නැවත බේරා ගන්නා තෙක්‌ තාවකාලිකව එහි රැඳවීම කළ හැකියි. කුලුන රවුම් නිසා රැළිවල බලපෑම දැනෙන්නේ ඉතා අඩුවෙන්.

මේ නිර්මාණය සාර්ථකව නිම කර ගැනීම සඳහා අප ගේ පන්ති භාර ගුරුතුමා වන ජෙයකාන්තන් සර් උදවු කළා.

නව නිර්මාණ කිරීමට බලාපොරොත්තු වන ඉදිරි පරපුරට ඔබට දෙන්න තියෙන පණිවිඩය?

කාලීන ගැටලු පිළිබඳව අවදියෙන් සිටින්න. එම ගැටලු අවම කරගැනීමට, හැකි පමණින් අලුත් දෙයක්‌ නිර්මාණය කරන්න උනන්දු වෙන්න.

තමරි රණතුංග
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය