logo3.gif (702 bytes)

HOME


නාභිගත වීම හා නො වීම

කාච සම්බන්ධ පරීක්‍ෂණ රාශියක්‌ තවත් කරන්නට ඇතැයි සිතමි. එමෙන් ම ඒ පරීක්‍ෂණවල ප්‍රතිඵල යම් ප්‍රවාදයක්‌ හෝ ප්‍රවාද හෝ ඇසුරින් තේරුම් ගැනීම ද කළ යුතු ව ඇත. යම් ප්‍රභවයක සිට කාචයක්‌ දක්‌වා නිශ්චිත ගම්‍යතාවක්‌ හා ශක්‌තියක්‌ ඇති ෆෝටෝන ගමන් කරන්නේ කෙසේ ද ආදිය පිළිබඳ ව මෙන් ම නාභිගත වීම ආදිය සම්බන්ධයෙන් ද තේරුම් ගැනීමට බොහෝ දේ ඇත. ආලෝක ධාරාවක්‌ රේඛාවක ගමන් කරන්නේ කෙසේ ද, ජ්‍යාමිතික ප්‍රකාශ විද්‍යාව මඟින් යම් යම් කරුණු තේරුම් ගන්නේ කෙසේ ද ආදිය පිළිබඳ පැහැදිලි වැටහීමක්‌ ඇතැ'යි කීමට නො හැකි ය.

තිරයක්‌ මත අපට දැකිය හැක්‌කේ, තාත්වික ප්‍රතිබිම්බයක්‌ යෑයි අපි කියමු. එහි දී කාචය තුළින් ගමන් කරන ෆෝටෝන තිරය මත පතිත වන්නේ, යෑයි කියෑවෙයි. මෙහි දී ද අප තේරුම් ගත යුත්තක්‌ නම්, යම්කිසි අයුරකින් ඒ අදාළ ස්‌ථානයෙහි තිරයක්‌ නො තිබිණි නම්, අපට එතැන ප්‍රතිබිම්බයක්‌ නො ව කිසිවක්‌ දැක ගත නො හැකි බව ය. ආලෝකය, ෆෝටෝන අපට දැකගත නො හැකිය. අපට දැකගත හැක්‌කේ, ආලෝකය පරාවර්තනය කෙරෙන පෘෂ්ඨ ආදිය පමණකි. එසේත් නැත හොත් ආලෝකය යම්කිසි ආකාරයක තිරයක්‌ මත පතිත වී ලකුණු කරන ප්‍රතිබිම්බය වෙයි.

අප යම්කිසි ප්‍රභවයකින් ධාරාවක්‌ නිකුත් කර එය කාචයක්‌ හෝ කාච කිහිපයක්‌ හෝ තුළින් යවා පසු ව තිරයක්‌ මත පතිත වන්නට සැලැස්‌වීමෙන් ප්‍රතිබිම්බයක්‌ ලබාගත හැකි ය. ඒ ප්‍රතිබිම්බය නිසි ලෙස නාභිගත වී (focused) ඇත්නම් අපට පැහැදිලි චිත්‍රයක්‌ ලබාගත හැකි ය. එහි දී සිදු වන්නේ, කුමක්‌ ද? ප්‍රභවයේ ලක්ෂ්‍යයකින් නිකුත් කෙරෙන ෆෝටෝන (අංශු) විවිධ අවස්‌ථාවල පිහිටා විවිධ මාර්ගවල ගොස්‌ තිරයේ එක්‌ ලක්ෂ්‍යයක දී පතිත වීම ද? එසේ නම් නිසි ලෙස නාභිගත නො වීම යනු කුමක්‌ ද? ප්‍රභවයෙහි යම් ලක්ෂ්‍යයකින් නිකුත් කෙරෙන ෆෝටෝන විවිධ අවස්‌ථාවල පිහිටා අවසානයේ දී තිරයේ එක්‌ එක්‌ ලක්ෂ්‍යවල දී පතිත වීම ද? කෙසේ වුවත් නාභිගත නො වීමේ දී අපට පැහැදිලි රූපයක්‌ දැකගත නො හැක්‌කේ ඇයි?

එයට හේතුව ප්‍රභවයෙහි එක්‌ ලක්ෂ්‍යයකින් නිකුත් කෙරෙන ෆෝටෝන විවිධ අවස්‌ථාවල පිහිටා අවසානයෙහි දී තිරයෙහි එක්‌ ලක්ෂ්‍යයක්‌ මත පතිත වුවත් ප්‍රභවයෙහි අනෙක්‌ ලක්ෂ්‍යවලින් නිකුත් කෙරෙන ෆෝටෝන තිරයෙහි ලක්ෂ්‍ය මත පතිත වී යම් නිශ්චිත ප්‍රතිබිම්බ තිරයෙහි නිර්මාණය කරන නමුත්, ඒ සියලු ප්‍රතිබිම්බ අනුරූප ලක්ෂ්‍යවල නො පිහිටීම හේතුවෙන් පැහැදිලි රූපයක්‌ නො ලැබීම ද? එසේත් නොමැති ව යම් ලක්ෂ්‍යයකින් නිකුත් කෙරෙන ෆෝටෝනයක්‌ විවිධ අවස්‌ථාවල පිහිටා තිරයෙහි දී විවිධ ප්‍රතිබිම්බ ඇති කිරීම හේතුවෙන් අපට පැහැදිලි ප්‍රතිබිම්බයක්‌ ලබාගැනීමට නො හැකි වීම ද?

බොහෝ විට හේතුව දෙවැනි කාරණය වීමට හැකි ය. එක ම අංශුවක අවස්‌ථා සඳහා ප්‍රතිබිම්බ කිහිපයක්‌ ඇති විට අපට ප්‍රතිබිමිබය කුමක්‌ ද? යන ප්‍රශ්නයට මුහුණ දීමට සිදු වෙයි. මෙය මොන්රෝ විසින් කරන ලද පරීක්‍ෂණවලට තරමක්‌ වෙනස්‌ වෙයි. මොන්රෝ ගේ පරීක්‍ෂණවලින් බෙරිලියම් කැටායනයකට අවස්‌ථා කිහිපයක පිහිටීමට හැකි බව දැන ගැනීමට හැකි වුවත් ඒ දැක ගැනීමට නො හැකි විය. එහෙත් ඉහත සඳහන් අවස්‌ථාවෙහි දී නිසි ලෙස නාභිගත නො වීම හේතුවෙන් අපට ප්‍රතිබිමිබ කිහිපයක්‌ දැකගත හැකි වුවත් නිශ්චිත ව එක්‌ ප්‍රතිබිම්බයක්‌ දැකගත නො හැකි ය.

ඇතැම් විට මොන්රෝ ගේ පරීක්‍ෂණ තවමත් ඉතා ප්‍රාථමික අවධියක විය හැකි ය. මේ පරීක්‍ෂණ වර්ධනය කළ හොත් බෙරිලියම් කැටායනයේ විවිධ අවස්‌ථා නිරීක්‍ෂණය කිරීමට හැකි වීමට ඉඩ ඇත. එහෙත් එක්‌ අවස්‌ථාවක්‌ පමණක්‌ නිරීක්‍ෂණය කළ නොහැකි බැවින් එය නිසි ලෙස නාභිගත නො වූ තත්ත්වයකට සමාන වනවා විය හැකි ය. එවිට මොන්රෝ ගේ පරීක්‍ෂණ අර්ථකථනය කිරීමට හැකි වනු ඇත.

එහෙත්, මෙහි දී අනිශ්චයතා මූලධර්මය දැන් බොහෝ දෙනා යොදා ගන්නා අර්ථයට සුළු වශයෙන් වුවත් වෙනස්‌ ව යොදා ගැනීමට සිදු වනු ඇත. අද බොහෝ දෙනාට අනුව ක්‌වොන්ටම් අංශුවක ගම්‍යතාව හා ශක්‌තිය දන්නේ නම් එහි පිහිටුම හා කාලය දැනගත නො හැකි ය. එහෙත් එය නාභිගත වීම පිළිබඳ ප්‍රශ්නයක්‌ ලෙස සැලකිය හැකි ය. ක්‌වොන්ටම් භෞතිකයෙහි අනිශ්චයතා මූලධර්මය ගණිත ප්‍රකාශයක්‌ ලෙස ලියෑවෙනුයේ අසමානතාවක්‌ ලෙස ය. ඒ අසමානතාව මෙසේ ය. ΔxΔp ≥ h/2 ; මෙහි Δx යනු පිහිටුමෙහි මැනීමෙහි අගය අදාළ මධ්‍යන්‍ය අගයෙන් වෙනස්‌ වීම නිරූපණය කෙරෙන අතර Δp යන්නෙන් ගම්‍යතාවෙහි මැනීමෙන් ලැබෙන අගය අදාළ මධ්‍යන්‍ය අගයෙන් වෙනස්‌ වීම නිරූපණය කෙරෙයි. මෙහි දී Δx හෝ Δp හෝ ශූන්‍ය විය නොහැකි බව පැහැදිලි ය. එසේ ශූන්‍ය වුව හොත් ඉහත සඳහන් අසමානතාව බිඳ වැටෙයි.

මෙයින් ගම්‍ය වන්නේ කිසි විටෙකත් පිහිටුම හෝ ගම්‍යතාව හෝ නිශ්චිත ව මැනිය නොහැකි බව ය. ඒ මැනීම්වලට එහි අදාළ මධ්‍යන්‍ය අගයන් ගත හැකි නො වේ. අංශුවෙහි ගම්‍යතාවෙහි අදාළ මධ්‍යන්‍ය අගයට මනින ලද අගය ඉතා සමීප වන විට ඉහත සඳහන් අසමානතාවට අනුව අංශුවෙහි පිහිටුමෙහි මනින ලද අගය එහි අදාළ මධ්‍යන්‍ය අගයෙන් ඉතා ඈතට යයි. එහි දී එහි පිහිටුම මැනිය නොහැකි යෑයි සාමාන්‍යයෙන් විවරණය වෙයි.

අප විසින් ඉහත සලකා බැලුණු ෆෝටෝනවල ගම්‍යතාව හා ශක්‌තිය දන්නේ යෑයි අපි කීවෙමු. එහෙත් එහි දී කියෑවෙන්නේ ෆෝටෝනයක ගම්‍යතා අදාළ මධ්‍යන්‍ය අගයට ඉතා සමීප බව ය. ගම්‍යතාව සම්බන්ධයෙන් වුවත් ෆෝටෝනයට එක්‌ අවස්‌ථාවක්‌ නො ව අවස්‌ථා කිහිපයක්‌ ඇත. එහෙත් ඒ ඒ අවස්‌ථා එකිනෙකින් වෙනස්‌ වන්නේ ඉතා ම සුළු වශයෙන් බැවින් ඒ අවස්‌ථා අතර ඇත්තේ නොගිණිය හැකි තරමේ වෙනසක්‌ බැවින් අපට එහි අවස්‌ථා කිහිපයක්‌ ලෙස නො පෙනෙයි. අප දකින්නේ එක්‌ අවස්‌ථාවක්‌ ලෙස ය.

මෙහි දී තේරුම් ගත යුතු කරුණ නම් එලෙස එකිනෙකින් ඉතා සුළු වශයෙන් වෙනස්‌ වන අවස්‌ථා නිරීක්‍ෂණය කිරීමට අපට නොහැකි බව ය. අප එක්‌ අවස්‌ථාවක්‌ පමණක්‌ දකින්නේ එබැවින් ය. එසේත් නැත්නම් අවස්‌ථා කීපයක්‌ එකක්‌ ලෙස දැකගැනීම විඤ්ඤාණයේ මායාවක්‌ ලෙස සැලකිය හැකි ය. එහෙත් මෙහි දී අවධාරණය කළ යුතු කරුණ නම් අවස්‌ථා කිහිපයක්‌ ඇතැයි ගැනීම ද සෛද්ධාන්තික ව විඤ්ඤාණයේ කෙරෙන නිර්මාණයක්‌ පමණක්‌ බව ය. එසේ අවස්‌ථා කිහිපයක්‌ ඇත්තේ අප විසින් නිර්මාණය කෙරී ඇති සෛද්ධාන්තික භෞතික විද්‍යාවෙහි ආකෘතියක බව සිහිතබා ගැනීම වැදගත් වෙයි.
ෆෝටෝනයෙහි ගම්‍යතාව සම්බන්ධයෙන් එවැනි ඉතා සුළු වෙනස්‌වීම් සහිත අවස්‌ථා ඇති විට පිහිටුම සම්බන්ධයෙන් වඩා විශාල වෙනස්‌කම් සහිත අවස්‌ථා ඇති වෙයි. නැවත නැවතත් සිහිපත් කළ යුත්තේ මේ අප විසින් නිර්මාණය කෙරෙන සෛද්ධාන්තික ආකෘතියක්‌ පමණක්‌ බව ය. ඒ විශාල වෙනස්‌කම් සහිත අවස්‌ථා ඇති විට මොන්රෝ ගේ පරීක්‍ෂණයෙහි දී මෙන් අපට එක්‌කෝ ඒ නිරීක්‍ෂණය කළ නොහැකි වෙයි. එසේත් නැත හොත් ප්‍රභවයකින් නිකුත් කෙරෙන ෆෝටෝන කාචයක්‌ හෝ කාච පද්ධතියක්‌ හෝ තුළින් ගොස්‌ තිරයක පිහිටුම් කිහිපයක දී පතිත වෙයි.

තිරය මත පතිත වීමේ දී ඒ ඒ අවස්‌ථාව මඟින් නිර්මාණය කෙරෙන ප්‍රතිබිම්බ ඉතා කිට්‌ටුවෙන් නො පිහිටන බැවින් ඒ නාභිගත නො වේ යෑයි අපි කියමු. යම් අයුරකින් ඒ එක්‌ ස්‌ථානයකට ඉතා ආසන්න ව වෙනස නො ගිණිය හැකි ප්‍රමාණයෙන් වේ නම් ප්‍රතිබිම්බය නාභිගත වී යෑයි අපි කියමු. අපට නාභිගත නො වීම ඒ අයුරෙන් තේරුම් ගත හැකි යෑයි සිතමි. එහෙත් මෙහි දී අප විසින් අනිශ්චයතා මූලධර්මය හා යම් ගුණයක්‌ සම්බන්ධයෙන් ක්‌වොන්ටම් අංශුවක විවිධ අවස්‌ථා තිබීම තරමක වෙනස්‌ ආකාරයෙකින් ඉදිරිපත් කෙරී ඇති බව සැලකිය යුතු ය.

ඉතා කෙටියෙන් ඉහත සඳහන් කරුණු මෙසේ සාරාංශකරගත හැකි ය. ක්‌වොන්ටම් අංශුවකට යම් ගුණයක්‌ සම්බන්ධයෙන් මෙන් ම ඒ ගුණයෙහි ප්‍රතිබද්ධ ගුණය (Conjugate propetry) සම්බන්ධයෙන් ද විවිධ අවස්‌ථා තිබේ. එහි එක්‌ ගුණයක්‌ සම්බන්ධයෙන් වූ විවිධ අවස්‌ථා අතර වෙනස ඉතා සුළු වන විට ඒ අවස්‌ථා එකක්‌ ලෙස සැලකීමට අපට හැකි ය. එහෙත් ඒ ගුණයෙහි ප්‍රතිබද්ධ ගුණයට අදාළ අවස්‌ථා අතර තරමක්‌ විශාල වෙනස්‌කම් ඇති අතර ඒ අවස්‌ථා අපට ඇතැම් විට නිරීක්‍ෂණය කළ හැකි ය. එහෙත් ඒ අවස්‌ථා එකක්‌ ලෙස නිරීක්‍ෂණය නො කෙරෙන බැවින් ඒ පිළිබඳ පැහැදිලි චිත්‍රයක්‌ අපට ලබාගත නොහැකි ය. පිහිටුම සම්බන්ධයෙන් ගත් කල එසේ එකක්‌ ලෙස නිරීක්‍ෂණය නො කිරීම නාභිගත නො වීමක්‌ ලෙස අපි හඳුන්වමු.

මෙහි දී පැහැදිලි විය යුත්තක්‌ නම් නාභිගත වී ඇතැයි කියන විටක පවා මුළුමනින් ම නාභිගත වීමක්‌ සිදු වී ඇතැයි කිව නොහැකි බව ය. එහි දී සිදු වී ඇත්තේ නාභිගත නො වුණ ද ඒ ඒ පිහිටුම් අතර නො ගිණිය හැකි ප්‍රමාණයේ වෙනස්‌කම් ඇති වී තිබෙන බව ය. වෙනස්‌කම් නො සලකා ප්‍රතිබිම්බය නාභිගත වී ඇතැයි අපි කියමු. ප්‍රතිබිම්බය නිශ්චිතව ම නාභිගත වී ඇත්නම් එයින් කියෑවෙන්නේ එහි මිනුම් අගය අදාළ මධ්‍යන්‍ය ගුණයෙන් කිසිසේත් ම වෙනස්‌ නො වන බව ය. එවිට අනිශ්චයතා මූලධර්මයෙහි අසමානතාව බිඳ වැටෙයි.

එසේත් නැත හොත් ක්‌වොන්ටම් අංශුවක්‌ තිරයක්‌ සමග ගැටී යම් රසායනික ක්‍රියාවක ප්‍රතිඵලයක්‌ ලෙස ප්‍රතිබිම්බයක්‌ නිර්මාණය කරන විට ඒ අංශුවෙහි ගම්‍යතාවක්‌ අර්ථ නො දැක්‌වෙන්නේ යෑයි කිව හැකි ය. අපට ඇත්තේ අංශුවක්‌ නො ව අංශුවක සේයා පටයක්‌ සමග ගැටී රසායනික ප්‍රතික්‍රියාවකින් පසු ව ඇති වූ තත්ත්වයක්‌ පමණක්‌ යෑයි අපට අර්ථකථනයක්‌ කිරීමට සිදු වෙයි. ඇතැම් විට එය වඩා සාර්ථක අර්ථකථනයක්‌ විය හැක්‌කේ අපට ඇත්තේ ප්‍රතිබිම්බයක්‌ මිස ක්‌වොන්ටම් අංශුවක්‌ නො වන නිසා ය. ක්‌වොන්ටම් අංශුව පවතින්නේ එය තිරය (සේයාපටය) සමග ගැටෙන තෙක්‌ පමණ ය. ඉන්පසු ඇත්තේ, රසායනික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයකි.

මේ කරුණු මෙලෙස සඳහන් කරන්නේ අපේ දැනුම කෙතරම් අසම්පූර්ණ ද යන්න ඉතා කෙටියෙන් වුවත් පැහැදිලි කිරීමට ය. මෙයටත් වඩා බරපතළ කරුණු අපි කිසි ම පැහැදිලි කිරීමකින් තොර ව ම ප්‍රකාශ කරමු. ක්‌වොන්ටම් අංශුවක ගම්‍යතාව හා ශක්‌තිය දන්නේ නම් එහි පිහිටුම හා කාලය නො දන්නේ යෑයි අපි කියමු. ඉහත සඳහන් කරුණු අනුව මෙයින් කියෑවෙන්නේ අංශුවක ගම්‍යතාව හා ශක්‌තිය පිළිබඳ අවස්‌ථා අතර ඉතා සුළු වෙනස්‌කම් තිබෙන විට අංශුවෙහි පිහිටුම හා කාලය සම්බන්ධයෙන් එකිනෙකින් තරමක්‌ වෙනස්‌ වූ අවස්‌ථා ඇති බව ය.

පිහිටුම සම්බන්ධයෙන් විවිධ අවස්‌ථා ගැන අපට යම් අවබෝධයක්‌ ඇති කරගත හැකි වුවත් කාලය සම්බන්ධයෙන් කිව හැක්‌කේ කුමක්‌ ද? අංශුවකට කාලය සම්බන්ධයෙන් විවිධ අවස්‌ථා ඇතැයි කීමෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? අංශුවක්‌ එක විට විවිධ කාලවල පවතින බව ද? අංශුවක්‌ එක විට විවිධ කාලවල පැවත්ම යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද?

නලින් ද සිල්වා