logo3.gif (702 bytes)

HOME


නිරෝධන රටා යනු කවරේ ද?

බුදුදහම තබා ථෙරවාදී බුදුදහම යනුවෙන් වත් සියලු ථෙරවාදීන් එක`ග වන දහම් දැනුමක්‌ නැත. අභිධර්මය පිළිබඳ ව එනම්, අභිධර්මය පිළිබඳ අර්ථකථන, අර්ථවිග්‍රහ පමණක්‌ නො ව අභිධර්මය බුදුන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ දහමක්‌ ද යන්න පිළිබඳ ව ථෙරවාදීන් යෑයි කියාගන්නා අය අතර විවිධ මතවාද ඇත. ඇතැමුන්ට අනුව අභිධර්මය සැරියුත් මහරහතන්වහන්සේ ගේ ශිෂ්‍ය පරම්පරාව විසින් සූත්‍රගත කරන ලද්දකි. අප විසින් අපේ ප්‍රවාද ගොඩනැෙ`ගන්නේ, සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමිනි. 'මගේ ලෝකය' කෘතියෙහි සිට ම සිංහල බෞද්ධ චින්තනය කුමක්‌දැ'යි තේරුම් කර දීමට අප විටින් විට උත්සාහ ගෙන ඇත. එහි දී අප තේරුම් ගන්නා ආකාරයට බුදුදහම අපට පිහිට වෙයි. එය බුදුදහම නො වේ යෑයි කියන්නෝ වෙනත් ආකාරයකට බුදුදහම තේරුම් ගනිති. චින්තනයකට ඇත්තේ, ආකල්ප න්‍යායක්‌ හා දෘෂ්ටියක්‌ ය.

ඒ ඒ දහම, ඒ ඒ දැනුම, ඒ ඒ සංස්‌කෘතිය ආදිය ගත් කල සියල්ලන්ට ම පොදු වූවක්‌ නැති බැවින් එසේ ගැනීම වැරැදි යෑයි කසිකබල් පශ්චාත්නූතනවාදියෝ පවසති. දකුණු පළාතේ සිංහලයන් ගේ සංස්‌කෘතිය උඩරට සිංහලයන් ගේ සංස්‌කෘතියෙන් වෙනස්‌ වන බැවින් හා ඒ දෙක ම වෙනත් පළාත්වල සිංහලයන් ගේ සංස්‌කෘතියෙන් වෙනස්‌ වන බැවින් සිංහල සංස්‌කෘතියක්‌ යනුවෙන් දෙයක්‌ නැතැ'යි කීමට පවා ඇතැම් පශ්චාත්නූතනවාදියෝ පෙලඹෙති. මෙයට හේතුව, ඒ සුළු සුළු විවිධත්ව අතර පොදු බවක්‌ හැඳින ගැනීමට අද බටහිරයන් අසමත් වීම ය. එසේ වන්නේ, බටහිර නූතනත්වය අද කඩා වැටෙන බැවින් ය. සිංහලයකු ලෙස ජීවත් වන ඕනෑ ම අයකු හා ඉංග්‍රීසිකාරයකු අතර ඇති වෙනස එවැනි සිංහලයන් දෙදෙනකු අතර ඇති වෙනසට වඩා වැඩි බව මේ ඔල්මොරොන්දන්කාරයන්ට නො තේරෙයි. විවිධත්ව මැද ද සිංහල සංස්‌කෘතිය යනුවෙන් ප්‍රපංචයක්‌ පවතින බව පැහැදිලි ය. එලෙස ම විවිධත්ව මැද ථෙරවාදී බුදුදහම යනුවෙන් හඳුනාගත හැකි පද්ධතියක්‌ වෙයි.

බටහිර විද්‍යාව ර පවතින්නේ ම මේ විවිධත්ව මැද යම් ප්‍රපංචයක්‌ සම්බන්ධයෙන් පොදු ගුණ හඳුනාගත හැකි වීම මත ය. විවිධ වර්ගවල බල්ලෝ සිටිති. එක ම වර්ගයේ බල්ලන් වුව ද, එක ම ආකාරයකට ක්‍රියා නො කරන බව පැහැදිලි ය. එහෙත්, බල්ලන් යනුවෙන් සතුන් වර්ගයක්‌ නැතැ'යි ගත හොත් බටහිර සත්ත්ව විද්‍යාව එතැනින් අවසාන වෙයි. බල්ලන් යනුවෙන් සත්ත්ව කොටසක්‌ ඇති බව හඳුනාගැනීමෙන් පසු විවිධ වර්ගවල බල්ලන් අතර ඇති වෙනස්‌කම් හඳුනාගත හැකි ය. වැදගත් වන්නේ, එවැනි සියලු වෙනස්‌කම් මැද බල්ලන්, බළලුන් ගෙන් වෙනස්‌ වීම ය.

ඊනියා බාහිර ලෝකය පමණක්‌ නො ව මනස, විඤ්ඤාණය ආදී වශයෙන් හැඳින්වෙන දැ ද මායාවන් පමණක්‌ වෙයි. මනේන්ද්‍රිය යනුවෙන් හැඳින්වෙන්නේ ද අනෙක්‌ ඉන්ද්‍රිsය මෙන් ම අවිද්‍යාව හේතුවෙන් පැන නඟින ආයතනයකි. එය සළායතනවලින් එකකි. අවිද්‍යාව ඇති විට විඤ්ඤාණය වෙයි. අවිද්‍යාව නැති විට විඤ්ඤාණය ද නැති වෙයි. මෙහි විඤ්ඤාණය යනු, ඊනියා යථාර්ථයක්‌ හෝ වාස්‌තවික ව පවතින්නක්‌ නො වන හෙයින් විඤ්ඤාණය නැති වීම යනු, තිබෙන යමක්‌ නැති වීම නො වන බව වටහා ගත යුතු වෙයි. සළායතන සම්බන්ධයෙන් ද කිව යුත්තේ, එවැන්නකි. මම ය, මාගේ ය, යනුවෙන් ඇති හැ`ගීම් හුදු මායාවන් පමණක්‌ වෙයි. මනසක්‌ ඇතැ'යි කියන්නන් පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක්‌ වෙයි. එනම්, පිරිනිවන් පෑමෙන් පසු රහතන්වහන්සේ කෙනකු ගේ, ඒ ඇතැ'යි කියන මනසට සිදු වන්නේ, කුමක්‌ ද?, යන්න ය. උච්ඡේදවාදයට හෝ ශාස්‌වතවාදයට හෝ හසු නො වී ඒ ප්‍රශ්නයට පිළිතුරු දිය යුතු වෙයි.

බුදුන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව දේශනය කළේ, මේ අන්ත දෙක ඉවත ලමිනි. අනෙක්‌ සියල්ල මෙන් ම මනස ද, මනසේ මායාවක්‌ වෙයි. එසේ නොමැති නම්, මනස පවතින්නේ නම්, පරිනිර්වාණයේ දී රහතන්වහන්සේ නමක ගේ පවතින්නේ යෑයි කියන මනසට සිදු වන්නේ කුමක්‌ ද යන්න ප්‍රශ්නයක්‌ වෙයි. මගේ ලෝකයෙහි දැක්‌වෙන, නැති මනස පිළිබඳ ප්‍රකාශය දශක දෙකකට පමණ පසු ව අද ඇතැමුන් ට ප්‍රශ්නයක්‌ වී ඇත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. මනසක්‌ යථාර්ථයක්‌ ලෙස හෝ වාස්‌තවික ව හෝ නිරපේක්‍ෂ ව හෝ ඇත්නම් රහතන්වහනසේ නමක්‌ පිරිනිවන් පෑමේ දී එයට සිදු වන්නේ කුමක්‌ ද?

සියලු අර්ථකථන මනසේ අර්ථකථන වෙයි. මනස පිළිබඳ අර්ථකථන ද මනසේ අර්ථකථන වෙයි. අප එකිනෙකා ගේ මනස්‌ අර්ථකථන කරන්නේ, අපේ සංසාරගත පුරුදු, කර්මය, සංස්‌කෘතිය, චින්තනය, ඉන්ද්‍රිය පද්ධතිය ආදිය පදනම් කර ගනිමිනි. බටහිර විද්‍යාවේ ප්‍රවාද සංස්‌කරණය කරන්නන් එසේ කරන්නේ ද ඔවුන් ගේ සංස්‌කෘතිය, චින්තනය ආදිය මත පදනම් වෙමිනි. ඔවුන්ට තරංගවාදයක්‌ අවශ්‍ය වූයේ, ද්විත්ව සිදුරු පරීක්‍ෂණය තේරුම් කිරීමට යැමේ දී ය. සිදුරු දෙකකින් යැමට නම් තරංගයක්‌ විය යුතු යෑ'යි ඔවුහු උපකල්පනය කළ හ. එතෙක්‌ තිබූ නිව්ටෝනීය ලවක ප්‍රවාදය (corpuscular theory) ඔවුන් ප්‍රතික්‍ෂේප කළේ ආලෝකය අංශුවලින් සෑදී ඇත්නම් එමඟින් බටහිරයන් ගේ සංස්‌කෘතියෙහි හා චින්තනයෙහි ද්විත්ව සිදුරු පරික්‍ෂණයෙහි නිරෝධන රටා තේරුම් ගැනීමට නොහැකි වීම හේතුවෙනි.

එහෙත් අපට එය ප්‍රශ්නයක්‌ නො වේ. අංශුවකට එක්‌ විට තැන් දෙකක, එනම් අවස්‌ථා දෙකක පිහිටීමට හැකි වීම අපේ සංස්‌කෘතියෙහි හා චින්තනයෙහි ප්‍රශ්නයක්‌ නො වේ. එය චතුස්‌කෝටික න්‍යායක්‌ ඇති අපේ චින්තනයෙහි පමණක්‌ නො ව අඩු ම තරමෙන් ත්‍රිකෝටික න්‍යායක්‌ සහිත චින්තනයක ද ප්‍රශ්නයක්‌ නො විය යුතු ය. වෙනත් වචනවලින් කියන්නේ නම් කතෝලික චින්තනයෙහි හා වෛදික චින්තනයෙහි ද එය ප්‍රශ්නයක්‌ නො වේ. එහෙත් එකල ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ආධිපත්‍යයට යට වී සිටී මේ චින්තනවල අංශුවක්‌ එක්‌ විට අවස්‌ථා දෙකක පිහිටිය හැකි ය යන සංකල්පය ඉදිරිපත් නො විණි. එසේ වුවත් ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය කඩාවැටෙමින් පවතින මෙකල යුරෝපීයයන්ට නැවතත් කතෝලික චින්තනයෙහි ඇතැම් අංග යොදාගැනීමේ හැකියාව ලැබී ඇත. පසුගිය අවුරුදු කිහිපයක කාලයෙහි දී ක්‌වොන්ටම් අංශුවක්‌ තැන් දෙකක පිහිටිය හැකි ය යන අදහස බටහිර විද්‍යාඥයන් කිහිප දෙනෙකු අතර තහවුරු වෙමින් ඇත.

දැනට අවුරුදු පහළොවකට පමණ පෙර මොන්රෝ නම් විද්‍යාඥයකු ගේ පරීක්‍ෂණවලින් හෙළි වූයේ බෙරිලියම් කැටායනයකට ස්‌පන්දනය නම් ගුණය සම්බන්ධයෙන් අවස්‌ථා හතරක එක්‌ විට පසු විය හැකි බව ය. ෂ්රෝඩිංගර් ගේ බළලා පිළිබඳ චිත්ත පරීක්‍ෂණයට පදනම් වූයේ ද බළලාට අවස්‌ථා දෙකක එක්‌ විට ගත කළ හැකි ද යන්න ය. එනම් බළලකුට එක්‌ විට ජීවත් වීම හා ජීවත් නො වීම (මරණය) යන අවස්‌ථා දෙකෙහි පසු විය හැකි ද යන්න ය. මෙය බටහිරයන් ජීවිතය හා මරණය පමණක්‌ නො ව ක්‍ෂුද්‍ර අංශු හා මහේක්‍ෂ අංශු අතර ද වු වෙනස අවුල් කරගත් තැනක්‌ විය. කෙසේ වෙතත් බළලුන් (කැට්‌) සම්බන්ධයෙන් අදාළ පරීක්‍ෂණය කරගත නොහැකි වූ බටහිර විද්‍යාඥයෝ කැටායන සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ කර බෙරිලියම් කැටායනයට එක්‌ විට අවස්‌ථා හතරක පිහිටිය හැකි බව පෙන්වූ හ.

එහෙත් මෙහි දී කිව යුත්තක්‌ නම් මොන්රෝ ඇතුළු කණ්‌ඩායමට බෙරිලියම් කැටායනයේ අවස්‌ථා හතර නිරීක්‍ෂණය කළ නොහැකි වූ බව ය. අවස්‌ථා හතරක්‌ ඇති බව දැනගත් නමුත් ඒ අවස්‌ථා ඉන්ද්‍රිය ගෝචර නො වී ය. අවස්‌ථා ඉන්ද්‍රිය ගෝචර වී නම් ඉන් කියෑවෙන්නේ කැටායනයේ අදාළ ගුණය දන්නා බව ය. එවිට අවස්‌ථා හතර කඩා වැටී බෙරිලියම් කැටායන එක්‌ අවස්‌ථාවක්‌ පමණක්‌ ගත යුතු වෙයි. මෙයින් ගම්‍ය වන කරුණක්‌ නම් ක්‌වොන්ටම් අංශුවක කිසියම් ගුණයක්‌ දැනගත් විට ඒ ගුණයේ ප්‍රතිබද්ධ ගුණය අවස්‌ථා එකකට වැඩි ගණනකින් ඇති බවත්, ඒ බව දන්නා නමුත් ඒ දැකගත නොහැකි බවත් ය. දැනුම හා දැකීම යනු එකක්‌ නො වන බව පැහැදිලි විය යුතු ය.

යමක්‌ නො දැක, එනම් එය පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වී පැවතිය හැකි බව මොන්රෝ ප්‍රමුඛ විද්‍යාඥයන් ගේ පරීක්‍ෂණවලින් තහවුරු විය. මෙහි දී ද වැරැදි වැටහීම් ඇති නො වීම සඳහා ඒ ගැන කෙටි අටුවාවක්‌ ලිවිය යුතු ව ඇත. මෙහි පැවතීම යනුවෙන් අදහස්‌ කරන්නේ වාස්‌තවික, නිරපේක්‌ෂ පැවැත්මක්‌ නො වේ. මේ පැවතීම ද සංකල්පයක්‌, සම්මුතියක්‌ පමණකි. එය ද මනසට සාපේක්‍ෂ ය. එය ද මනසේ මායාවකි. සංකල්පයක්‌ ලෙස එය ශූන්‍ය වෙයි. බෙරිලියම් කැටායන අපේ පංෙච්න්ද්‍රියවලට ගෝචර නො වී අවස්‌ථා හතරක පවතින්නේ ඊනියා යථාර්ථයක්‌ ලෙස නො වේ. එලෙස සම්මුති අර්ථයකින් පැවතිය හැකි බව පළමුවරට සූත්‍රගත කෙරුණේ ක්‌වොන්ටම් භෞතිකය පිළිබඳ විද්‍යාලංකාර අර්ථකථනයෙනි. එය සිංහල ථෙරවාද බෞද්ධ චින්තනය මත පදනම් වී කෙරුණු අර්ථකථනයකි.

ඒ අර්ථකථනය බටහිර භෞතික විද්‍යාඥයන් විසින් පිළිගැනුණත් නැතත් බෙරිලියම් කැටායනයට එක්‌තරා ගුණයක්‌ සම්බන්ධයෙන් අවස්‌ථා හතරක පැවතිය හැකි බව පිළිගැනීමට ඔවුන්ට සිදු වෙයි. ද්විත්ව සිදුරු පරීක්‍ෂණයෙහි දී ක්‌වොන්ටම් අංශුවකට එක්‌ විට සිදුරු දෙකෙන් ම යැමට හැකි වන්නේ අංශුව අදාළ අවස්‌ථා දෙකෙහි ම පවතින බැවිනි. නැවතත් අවධාරණය කළ යුත්තේ පවතින්නේ ය යන්නෙන් වාස්‌තවික වූ පැවැත්මක්‌ ගම්‍ය නො වන බව ය. අංශුව එලෙස අවස්‌ථා දෙකක පවතින බැවින් අපට තිරයක නිරෝධන රටා දැක ගැනීමට හැකි වෙයි.

යම්කිසි අයුරකින් යමකුට අංශුව ගමන් කරන්නේ කිනම් සිදුරෙන් දැයි දැන ගැනීමට අවශ්‍ය වුව හොත් ඒ සඳහා පරීක්‍ෂණයක්‌ සැලසුම් කළ හැකි ය. එවැනි පරීක්‍ෂණයකින් කෙරෙන්නේ ඒ අංශුව අදාළ සිදුරෙහි දී දැක ගැනීම ය. එනම් අංශුව අදාළ සිදුරෙහි දී පංෙච්න්ද්‍රියවලට ගෝචර කර ගැනීම ය. ඒ පරීක්‍ෂණය කළ වහා ම අංශුව තවදුරටත් සිදුරු දෙකක, එනම් අවස්‌ථා දෙකක නො පවතියි. අපට එවිට එක්‌ සිදුරක දී අංශුව දකින්නේ එහි සිදුරු දෙකෙහි ම ඇති පැවැත්මට බාධා කරමිනි. එවිට අංශුව සිදුරු දෙකෙහි ම නො පවතින බැවින් අපට පෙර දී මෙන් තිරයක නිරෝධන රටා දැක ගැනීමට නො හැකි වෙයි.

අංශුව එක්‌ සිදුරක දී දැකීම යනු එහි පිහිටුම දැන ගැනීම ය. අංශුව යම් ප්‍රභවයකින් සිදුරු දෙක කරා ගමන් කරන්නේ නිශ්චිත ගම්‍යතාවක්‌ හා ශක්‌තියක්‌ සහිත ව ය. එවිට ක්‌වොන්ටම් භෞතිකයෙහි අනිශ්චයතා මූලධර්මය අනුව අංශුවට පිහිටුමක්‌ හෝ කාලයක්‌ හෝ නැත. අංශුව පිහිටුම් රාශියක එක්‌ විට ඇත. සිදුරු දෙකෙහි දී අවස්‌ථාවලින් අවස්‌ථා දෙකක්‌ පමණක්‌ ඉතිරි වෙයි. එවිට අංශුවට අවස්‌ථා දෙකක්‌ පමණක්‌ ඇත. කෙසේ නමුත් පිහිටුම් අවස්‌ථා එකකට වඩා ඇති බැවින් අපට අංශුව දැකගත හැකි නො වේ. එනම් අංශුව පංෙච්න්ද්‍රියවලට ගෝචර නො වේ.

එහෙත් අංශුව සිදුරු මුණගැසීමෙන් පසුව තිරයකට යොමු කළ හොත් එහි දී (තිරයෙහි දී) පිහිටුම සම්බන්ධයෙන් එක්‌ අවස්‌ථාවකට පත් වෙයි. එවිට අපට අංශුව දැකගත හැකි වෙයි. එය අපේ පංෙච්න්ද්‍රියවලට ගෝචර වෙයි. අප අංශුව දකින්නේ යෑයි කීව ද එහි දී සිදු වන්නේ අංශුව තිරය (සේයා පටයක) සමග ගැටී සේයා පටයෙහි ප්‍රතිබිම්බයක්‌ ඇති කිරීම ය. අප දකින්නේ ඒ ප්‍රතිබිම්බය ය. අංශුව තිරයෙහි කොතැනක ප්‍රතිබිම්බයක්‌ සාදන්නේ ද යන්න පිළිබඳ ව සම්භාවිතාවක්‌ ඇත. අංශු ඉතා විශාල සංඛ්‍යාවක්‌ එසේ සිදුරු දෙකෙන් ම ගොස්‌ තිරය මත ප්‍රතිබිම්බ සෑදීමට සැලැස්‌වීමෙන් අපට සම්භාවිතාව ශූන්‍ය වන තිරයේ ස්‌ථානවල එක ම ප්‍රතිබිම්බයක්‌ වත් දැකගත නො හැකි ය. නිරෝධන රටා යනු මේ ප්‍රතිබිම්බ සමස්‌තයෙහි සමුච්චිතය වෙයි. අප යම්කිසි අයුරකින් එක්‌ සිදුරක දී අංශුව දැක ගත හොත් අංශුව එක්‌ අවස්‌ථාවකට පමණක්‌ ඌනනය වීම හේතු කොටගෙන තිරයෙහි නිරෝධන රටා නැති වී යයි. නිරෝධන රටා යනු විඤ්ඤාණයේ තවත් මායාවක්‌ පමණකි.

නලින් ද සිල්වා