logo3.gif (702 bytes)

HOME


ප්‍රත්‍යක්‍ෂ නො වන බාහිර ලෝකය

ද්‍රව්‍යවාදීන් නිතර අසන ප්‍රශ්නයක්‌ නම් බාහිර ලෝකය අද අප විසින් නිර්මාණය කෙරෙන්නක්‌ නම් අප ඉපදෙන්නට පෙර බාහිර ලෝකයක්‌ නො තිබිණි ද යන්නත් අප මිය ගිය පසු බාහිර ලෝකයක්‌ නො පවතින්නේ ද යන්නත් ය. මේ ප්‍රශ්නයට අප කිහිප විටක්‌ ම පිළිතුරු දී ඇති නමුත් එයට නැවතත් ප්‍රතිචාරයක්‌ දැක්‌වීම නුසුදුසු යෑයි නො හැඟෙයි. එහෙත් එයට පළමු ඊනියා බාහිර ලෝකය ගැන තවත් කිව යුත්තක්‌ වෙයි.

අපේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන්නේ වර්ණය, හැඩය, තද බව, සුවඳ, රස, උණුසුම ආදිය මිස වස්‌තු නො වේ. අප ඒ සියල්ල එක්‌ කර වස්‌තුවක්‌ හෝ වස්‌තු හෝ සංස්‌කරණය කරමු. මට තද ලෙස දැනෙන්න වෙනත් අයකුට මොළොක්‌ ලෙස දැනිය හැකි ය. එවිට ඇත්තේ (ඇතැයි අප උපකල්පනය කළ හොත්) මොළොක්‌ වස්‌තුවක්‌ ද එසේත් නැත්නම් තද වස්‌තුවක්‌ ද? ඉහත සඳහන් උපකල්පනය යටතේ ම ඇත්තේ ඊනියා වාස්‌තවික තද වස්‌තුවක්‌ ද? එයට අපෙන් බාහිර ව පිහිටි වස්‌තුවක්‌ යෑයි කිව හැකි ද?

ඒ අපෙන් බාහිර ව පවතින්නේ යෑයි කියන වස්‌තුව උණුසුම් ද එසේත් නැත්නම් සිසිල් ද? බොහෝ විට බටහිර භෞතික විද්‍යාව ඉගෙනීම ආරම්භ කරන දරුවන්ට තම අත් දෙක උණුසුම් වතුර භාජනයක හා සිසිල් වතුර භාජනයක වෙන වෙන ම ඔබාගෙන මඳ වේලාවක්‌ සිටින්නට යෑයි කියා ඉන්පසු ඒ වතුර මිශ්‍ර කරන ලද භාජනයකට අත් වෙන වෙන ම එකකින් පසුව අනෙක දමන්නට යෑයි කී විට දරුවන්ට අත් දෙකට දැනෙන්නේ වෙනස්‌ වේදනාවක්‌ බව අපි දනිමු. එක ම භාජනය හා එක ම වතුර යෑයි අප කියන ඊනියා වස්‌තුවක්‌ එක්‌ අතකට උණුසුම් ව ද අනෙක්‌ අතට සිසිල් ව ද දැනෙයි.

දැන් ඒ වතුර උණුසුම් ද සිසිල් ද? බාහිර ව පවතින්නේ යෑයි කියනු ලබන්නේ කිනම් අතට දැනෙන වස්‌තුව ද? උණුසුම් බව හෝ සිසිල් බව හෝ ඇත්තේ ඒ ඒ අතට සාපේක්‍ෂ ව ය. එහෙත් බටහිර භෞතික විද්‍යාව උගන්වන ගුරුවරු දරුවන්ට මේ අත් දෙකේ අත්දැකීම් දෙකෙන් කියන්නේ වෙනත් කරුණකි. එනම් ද්‍රවයක උණුසුම් බව හෝ සිසිල් බව දැන ගැනීමට අත් සුදුසු නොමැති බව ය. වෙනත් වචනවලින් කියන්නේ නම් අපෙන් ස්‌වායත්ත ව පවතින්නේ යෑයි කියන ද්‍රවයක හෝ වෙනත් වස්‌තුවක හෝ උණුසුම් බව හෝ සිසිල් බව හෝ දැන ගැනීමට අපේ ඉන්ද්‍රිය නුසුදුසු බව ය. මෙසේ කියන්නෝ කවරහු ද? ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් දැනුමේ උරගල යෑයි කියන්නෝ ය, ඕනෑ ම ප්‍රවාදයක්‌ නිවැරැදි දැයි දැනගැනීමට ඒ ප්‍රවාදයෙන් ලබාගන්නා නිගමන හෙවත් අපෝහන ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් සමග සැසඳිය යුතු යෑයි කියන්නෝ ය, ඒ සමග ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් සත්‍ය නම් විද්‍යාවක අවශ්‍යතාවක්‌ නැතැයි කියමින් හුදු දෘෂ්‍යමානයට ඔබ්බෙන් වූ ඊනියා යථාර්ථයක්‌ සොයන්නෝ ය. ඊනියා යථාර්ථය දැනෙන්නේ පංෙච්න්ද්‍රියවලට නො ව මනසට බව ඉන් පැහැදිලි වෙයි. එහෙත් ඒ මනසට දැනෙන ඊනියා යථාර්ථය සත්‍ය දැයි දැනගැනීමට අර විශ්වාසයක්‌ තැබිය නොහැකි ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් වෙත ආපසු යන්නෝ ය. බටහිර විද්‍යාව පිළිබඳව සිංහලෙන් මෙන් ම ඉංගිරිසියෙන් ද මා කර ඇති මේ විවේචනයට හා වෙනත් විවේචනවලට මෙතෙක්‌ කිසිවකු පිළිතුරු දී නොමැති බව සඳහන් කළ යුතු ය.

මේ බටහිර විද්‍යාඥයන් ගේ පරස්‌පර කතා අපි මොහොතකට අමතක කරමු. තම ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන විශ්වාසයක්‌ නො තබමින් එහෙත් ඒ විශ්වාසය අත් නො හරින බටහිර විද්‍යාඥයන් උණුසුම හෝ සිසිල් බව හෝ දැනගැනීම සඳහා උපකරණයක්‌ නිර්මාණය කර ඇත. ඒ උපකරණය උෂ්ණත්ව මාපකය නමින් හැඳින්වෙයි. බටහිර විද්‍යාඥයන් මෙහි දී කරන්නේ කුමක්‌ ද? අපෙන් ස්‌වායත්ත ව, එනම් අපේ මනස ද ඇතුළු ඉන්ද්‍රියවලින් ස්‌වායත්ත ව, පවතින්නේ යෑයි කියන වස්‌තුවකට අපේ ඉන්ද්‍රියවලින් බාහිර ව දැනගත හැකි උණුසුම් බවක්‌ හෝ සිසිල් බවක්‌ හෝ ඇතැයි උපකල්පනය කර එය දැනගැනීම සඳහා උපකරණයක්‌ නිර්මාණය කිරීම ය. උෂ්ණත්ව මාපකය පිටුපස ඇත්තේ ද්‍රවයකට හෝ වෙනත් ද්‍රව්‍යයකට හෝ උෂ්ණත්වය යනුවෙන් ගුණයක්‌ ඇති බවත් එය මැනගත හැකි බවත් යන සංකල්ප ය.

එහෙත් මෙහි දී බටහිර විද්‍යාඥයා නැවතත් කරන්නේ තම ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ඉවත දැමීම ය. යම්කිසි ද්‍රවයක උෂ්ණත්වය වැඩි කිරීම සඳහා තාප ශක්‌තිය ලබා දිය යුතු යෑයි බටහිර විද්‍යාඥයා උපකල්පනය කරයි. එහෙත් උෂ්ණත්වය යන්න ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක්‌ නො වේ. ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක්‌ වනුයේ උණුසුම යන්න ය. උණුසුම හා උෂ්ණත්වය අතර ඇති සම්බන්ධය කුමක්‌ ද? උෂ්ණත්ව මාපකය යොදා ගැනීමේ දී බටහිර භෞතික විද්‍යාඥයා යම්කිසි බටහිර භෞතික විද්‍යාත්මක ප්‍රවාදයක්‌ යොදා ගනියි.

එහෙත් ඒ ප්‍රවාදයෙහි නිවැරැදිතාව පිළිබඳ ව බටහිර භෞතික විද්‍යාඥයන්ට සහතික විය හැකි ද? උදාහරණයක්‌ ලෙස රසදිය උෂ්ණත්ව මාපකය යොදා ගැනීමේ දී උපකල්පනය කෙරෙනුයේ තාප ශක්‌තිය ලබා දීමත් සමග යම් ද්‍රවයක්‌ හෝ වෙනත් ද්‍රව්‍යයක්‌ හෝ ප්‍රසාරණය වන බව ය. එහෙත් එය සැම විට ම ඒ ආකාරයෙන් ම සිදු නො වන බව අපි දනිමු. ජලයේ ඝනත්වය වැඩි ම අගයක්‌ ගන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක හතරෙහි දී බව බටහිර විද්‍යාඥයෝ අපට කියති. එහි තේරුම සෙන්ටිග්‍රේඩ් අංශක බිංදුවේ සිට හතර දක්‌වා උෂණත්වය වැඩි වීමේ දී ජලය සංකෝචනය වන බව ය. ඉන්පසු උෂ්ණත්වය වැඩි වීමේ දී ජලය ප්‍රසාරණය වනවා විය හැකි ය. එහෙත් අංශක බිංදුවේ සිට හතර දක්‌වා ජලය වෙනස්‌ ආකාරයකින් ක්‍රියාත්මක වන බව අප අමතක නො කළ යුතු ය.

රසදිය සම්බන්ධයෙන් අප දන්නා උෂ්ණත්වවල දී ප්‍රශ්නයක්‌ පැන නො නඟින බව කිසිවකු කීමට ඉඩ ඇත. එහෙත් ප්‍රශ්නය එය නො වේ. උපකරණ භාවිතයේ දී බටහිර විද්‍යාඥයෝ යම් යම් ප්‍රවාද යොදා ගනිති. මේ ප්‍රවාද ද අවසාන විග්‍රහයේ දී බටහිර විද්‍යාඥයන් ගේ සංස්‌කරණ, නිර්මාණ බව පැහැදිලි ය. අපි සෙක්‌කුවේ බැඳි ගොනා මෙන් එක්‌තැන වටේ කැරකැවෙමු. අපට උපකරණ තනාගැනීමට සිදු වන්නේ බටහිර විද්‍යාවේ ප්‍රවාද ඇසුරෙන් ය. ඒ ප්‍රවාදවල සත්‍යාසත්‍යතාව දැනගැනීමට සිදු වන්නේ උපකරණවල ආධාරයෙනිෘ මෙය චක්‍රීය චින්තනයක වලංගු විය හැකි වුව ද, බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි රේය චින්තනයෙහි වලංගු නො වේ.

අපට යම් යම් සංඥ ලැබෙන බව සැබෑ ය. අපේ ඇ`ගට උණුසුම දැනෙයි. ඒ අතර අපේ ඇසට ගින්නක්‌ යෑයි අප විසින් සිතනු ලබන වර්ණ, හැඩ ආදිය පෙනෙයි. අපි ඒ ගින්න සමග උෂ්ණත්වය සම්බන්ධ කරමු. එසේ සම්බන්ධ කර ගින්න උණුසුම් යෑයි අපි කියමු. ඒ මනසෙහි අනුමානයක්‌ වෙයි. එහෙත් ඒ අනුමානය සංගත ය. අප ගින්න යනුවෙන් හැඳින්වෙන්නට ආසන්න වත් ම සිරුරට දැනෙන උණුසුම වැඩි වෙයි. ගින්න නිවා දැමූ විට උණුසුම නැති වෙයි. එසේ අපේ ප්‍රත්‍යක්‍ෂයෙහි සංගත බවක්‌ ඇති හෙයින් අපේ අනුමානය නිවැරැදි යෑයි, සත්‍ය යෑයි, අපි සිතමු.

ඒ එක්‌තරා ආකාරයකින් ගත හොත් ප්‍රවාදයකි. එය අපට මෙසේ ප්‍රකාශ කළ හැකි ය. බාහිර ව ගින්නක්‌ ඇත. ඒ ගින්න උණුසුම් ය. ගින්න හේතුවෙන් අපට උණුසුමක්‌ දැනෙයි. වෙනත් එවැනි වස්‌තුවක්‌ නොමැති නම් උණුසුම දැනෙන්නේ ගින්න හේතු කොටගෙන ය. වෙනත් එවැනි වස්‌තු ඇති විට උණුසුමට යම් ප්‍රදානයක්‌ ගින්නෙන් සිදු වෙයි. එහෙත් මෙහි දී අපේ ඉන්ද්‍රියවලට ගෝචර වන්නේ උණුසුම හා ගින්නෙහි වරණය ඊනියා ගිනි දලු ආදිය පමණ ය. අනෙක්‌ සියල්ල අප විසින් මනසෙන් සංගත ව කරන අනුමාන වෙයි.

බාහිර ව පවතින්නේ යෑයි කියෑවෙන කිසි ම වස්‌තුවක්‌ එලෙස එනම්, වස්‌තුවක්‌ ලෙස ඉන්ද්‍රිය ගෝචර නො වේ. එසේ පවතින්නේ යෑයි කියන වස්‌තුවේ වර්ණය, හැඩය ආදිය පමණක්‌ ඉන්ද්‍රිය ගෝචර වෙයි. එසේ තිබෙන්නේ යෑයි කියන වස්‌තුව ඇතැම් විට ස්‌පර්ශ කළ හැකි ය. එයට වැඩි යමක්‌ ඉන්ද්‍රිය ගෝචර වීම සම්බන්ධයෙන් අපට කිව නො හැකි ය. ඊනියා බාහිර වස්‌තු මනසේ නිර්මාණ ය. අවශ්‍ය නම් අනුමාන පමණ ය. මනස නැත්නම් මනසෙන් ගන්නා ඒ කිසිවක්‌ මනසෙන් බාහිර ව නැත. අප මනසක්‌ යනුවෙන් යමක්‌ ඇතැයි ගන්නා බැවින් විඤ්ඤාණ නාම රූප ආදිය අභ්‍යන්තර ව ඇති වෙයි. ඒ අභ්‍යන්තර ව ඇති වන ඇතැම් නාම රූප හේතු කොටගෙන අපි බාහිර ව වස්‌තු හා ලෝකය ඇතැයි ගනිමු. මනස යනුවෙන් යමක්‌ නැති බව අවබෝධ කළ විට (එය මනසින් කළ නොහැකි බව පැහැදිලි ය) තමාත් බාහිර ලෝකයත් නැති බව අවබෝධ වෙයි.

බුදුදහමට අනුව අප ඊනියා බාහිර වස්‌තු යනුවෙන් ගන්නේ අපට ප්‍රත්‍යක්‍ෂ වන දේ හා ඒ ඇසුරෙන් අප අනුමානය කරන දේ ය. ඉන් එහාට අපෙන් ස්‌වායත්ත වූ බාහිර ලෝකයක්‌ නැත. එහෙත් බටහිර විද්‍යාවට අනුව බාහිර ලෝකයක්‌ වෙයි. බුදුදහම හා බටහිර විද්‍යාව අතර එවැනි මූලික වෙනසක්‌ තිබිය දී ඇතැම්හු බුදුදහම විද්‍යාත්මක (එනම් බටහිර විද්‍යාත්මක) යෑයි කියති. දැන් ප්‍රශ්නයක්‌ වෙයි. බාහිර වස්‌තු ලෙස අප අනුමාන කරන දේ විඤ්ඤාණයෙහි මායාවක්‌ විය හැකි වුවත් ප්‍රත්‍යක්‍ෂ එලෙස මායාවක්‌ වන්නේ ද? ප්‍රත්‍යක්‍ෂ යනු මනසෙහි අනුමාන නො වේ. ඒවා ඉන්ද්‍රිය ගෝචර වෙයි. එබැවින් අනුමාන කෙසේ වෙතත් ප්‍රත්‍යක්‍ෂ ලෙස ගන්නා කොටස්‌ නො පවතින්නේ ද?

එහෙත් ප්‍රත්‍යක්‍ෂ ද පංෙච්න්ද්‍රියවලට හා විඤ්ඤාණයට සාපේක්‍ෂ ය. අපේ පංෙච්න්ද්‍රියවලට ගෝචර නො වන දේ බල්ලන් ගේ පංෙච්න්ද්‍රියවලට ගෝචර වන්නේ යෑයි කියෑවෙයි. ඇතැම් ශබ්ද ගඳ සුවඳ (ඉව) බල්ලන්ට ගෝචර වන නමුත් මිනිසුන්ට ගෝචර නො වේ. මේ සාපේක්‍ෂතාව ම ඊනියා වාස්‌තවිකත්වයක්‌ නැති බවට උදාහරණයකි. එය පසෙකින් තැබුව ද ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ යනු කවරේ ද? ඒ පංෙච්න්ද්‍රියවලට හා විඤ්ඤාණයට ගෝචර වූ දේ ය. එනම් අභ්‍යන්තර ව ඇති වන නාම රූප ය. එහි දී ද මූලික කර්තව්‍යය ඉටු කරනුයේ මනස ය. අවිද්‍යාව නො වන්නට සංස්‌කාර නොමැත. සංස්‌කාර නොමැති ව විඤ්ඤාණය වත් නාම රූප වත් නැත. නාම රූප ද විඤ්ඤාණයේ මායාවකි. එසේ නම් ප්‍රත්‍යක්‍ෂවල ද ඇති වැදගත්කමක්‌ නැත. විඤ්ඤාණයේ මායාවන්ට දිය හැකි වැදගත්කම කුමක්‌ ද?

ඊනියා බාහිර ලෝකය පමණක්‌ නො ව අභ්‍යන්තර ලෝකය ද මායාවකි. මේ මායාවට මුල අවිද්‍යාව ය. මා යනුවෙන් මගේ යනුවෙන් ගැනීම ම වැරැදි විට ඊනියා බටහිර ලෝකයක්‌ ඇතැයි ගැනීම කෙතරම් වැරැදි විය යුතු ද? අප බාහිර ලෝකය ලෙස ගන්නේ විඤ්ඤාණයේ මායාවක්‌ බැවින් බාහිර ලෝකයක්‌ නැත. අප මවාගත් ලෝකයෙන් කොටසක්‌ අභ්‍යන්තර ලෝකය ලෙස ද ඉතිරි කොටස බාහිර ලෝකය ලෙස ද හැඳින්වෙයි.

වස්‌තුවක්‌ හෝ අංශුවක්‌ හෝ ඇත්තේ, පවතින්නේ එක ම තැනක පමණක්‌ යෑයි අපි කියමු. පුටුවක්‌ හෝ මේසයක්‌ හෝ එක විට අවකාශයෙහි තැන් දෙකක පැවතිය නොහැකි යෑයි අපි කියමු. එසේ එක ම තැනක, එක ම පිහිටුමක පවතින්නේ යෑයි අප කියන්නේ ඇයි? එය අප විසින් නිර්මාණය කරනු ලැබ ඇති අනුමානයක්‌ පමණක්‌ වෙයි. එහෙත් එය සැම විට ම එසේ විය යුතු නැත. අපේ ඇසට මේසය, මේසයක්‌ ලෙස හසු නො වේ. එහෙත් අපේ අනුමානයට අනුව මේසය යනුවෙන් දෙයක්‌ (වස්‌තුවක්‌) පවතිනවා පමණක්‌ නො ව ඒ මේසය අවකාශයෙහි නිශ්චිත ඉඩක්‌ පමණක්‌ ගනියි.

නලින් ද සිල්වා