logo3.gif (702 bytes)

HOME


තමා හා අනෙකා

බාහිර වස්‌තු ඇති බව අප දන්නේ කෙසේ ද? එය දැනගන්නේ අනුමානයෙනි. අපේ ඉන්ද්‍රියවලට, විශේෂයෙන් ම ඇසට, කණට හා නාසයට ගෝචර වන එහෙත් ස්‌පර්ශයට හෝ දිවට ගෝචර නො වන සංඥා ලැබෙන්නේ ඈතින් පිහිටි බාහිර වස්‌තුවලින් යෑයි අපි අනුමානය (inference) කරමු. එමෙන් ම මෑතින් ඇති බාහිර වස්‌තු ගැන ද අදාළ ඉන්ද්‍රිය ඔස්‌සේ අපට අනුමාන කළ හැකි ය. දකින ස්‌පර්ශ කරන ආකාරයේ සංඥා ඇති විට අපි ඒවා ළඟ ඇති මේසයකින්, පුටුවකින්, මලකින් ආදී වශයෙන් යම් වස්‌තුවකින් ලැබෙන්නේ යෑයි අනුමානය කරමු. එය අනුමානයක්‌ මිස ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වන බව අවධාරණය කළ යුතු ය. දැනුම ලබාගැනීමේ මාර්ගය ලෙස බුදුදහමේ ඉගැන්වෙන්නේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය ය. එයට අමතර ව අනුමානය ද ඇතැයි ඇතැම් පඬිවරු අපට කියති.

කෙසේ වෙතත් අනුමානය ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වේ. අප කලින් ද කියා ඇති පරිදි අපට මේසයක්‌ සමස්‌තයක්‌ ලෙස ප්‍රත්‍යක්‍ෂ කිරීමට, ගෝචර කර ගැනීමට ඉන්ද්‍රියක්‌ නැත. අපට කළ හැක්‌කේ මේසයේ පාට, තද බව ආදිය ගැන ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ලබාගැනීම පමණ ය. ඒ සියල්ල එකතු කර මේසය පිළිබඳ සංකල්පයක්‌ අපි නිර්මාණය කර ගනිමු. මේසය යනු අපේ අනුමානයක්‌ පමණකි. ඒ සඳහා අපි මනස ආධාර කර ගන්නෙමු. එහෙත් එහි දී පංෙච්න්ද්‍රියවල ආධාරයක්‌ අපට නො ලැබෙයි. අනුමානය පංෙච්න්ද්‍රියන් ගෙන් තොර ව මනසින් ලබාගන්නකි.

අපට ප්‍රශ්නය වනුයේ එසේ අනුමානය කෙරෙන වස්‌තුව පවතින්නේ ද යන්න ය. මෙහි දී පවතින්නේ ද යන්න සාපේක්‍ෂාර්ථයකින්, සම්මුතිය අනුව යොදා ගැනෙන බව අමතක නො කළ යුතු ය. නිරපේක්‍ෂව පවතින්නක්‌ ඇතැයි මෙහි දී නො ගැනෙයි. අප අපට සාපේක්‍ෂව වුව පුටුවක්‌ ඇති බව දැන ගන්නේ කෙසේ ද? අප කුඩා කල පුටුව ගැන දැන ගත්තේ කෙසේ ද? අප කුඩා කල පුටු යනුවෙන් හැඳින්වෙන නොයෙකුත් දෑ දකින්නට ඇත. ස්‌පර්ශ කරන්නට ඇත. අපට මුල දී ඒ පිළිබඳ යම් චිත්ත රූපයක්‌ ඇති වී යෑයි සිතිය හැකි ය. වෙනත් වචනවලින් කිව හොත් අපට කුඩා කල ම පුටුවක්‌ පිළිබඳ සංකල්පයක්‌ තිබෙන්නට ඇත. එයින් අදහස්‌ වන්නේ අපට ඒ සංකල්පයට වචනයක්‌ තිබිණි ය යන්න නො වේ.

වචනයක්‌ නොමැති ව වුව ද සංකල්ප චිත්ත රූප ලෙස ඇති විය හැකි ය. අපේ මනස්‌වලට විවිධ රූප එසේත් නැත්නම් රටා හඳුනාගැනීමේ ශක්‌තිය ඇත. පුටු මේසවලින් වෙන් කර හඳුනාගැනීමට අපට හැකි ය. කුඩා කල ඒ හැකියාව කෙතරම් දුරකට තිබේ ද යන්න නො දනිමි. එහෙත් කුඩා බිළිඳුන්ට ද තම මව අනෙක්‌ අය ගෙන් වෙන් කර ගැනීමේ හැකියාව ඇත. එසේ කිරීමේ දී මව යන වචනය වත් එයට ගැලපෙන චිත්ත රූප සංකල්පයක්‌ වත් කුඩා බිළිඳුන්ට ඇතැයි සිතිය නො හැකි වුවත් මව යනුවෙන් හැඳින්වෙන තැනැත්තිය අනෙක්‌ අය ගෙන් වෙන් කර හඳුනා ගැනීමේ ශක්‌තිය, එනම් එවැනි චිත්ත රූප සංකල්පයක්‌ ඇති කර ගැනීමේ ශක්‌තිය බිළිඳුන්ට ඇතැයි සිතිය හැකි ය. ඒ අනුව තමා සමග වඩා සම්බන්ධ වූ අයකු පිළිබඳ සංකල්පයක්‌ බිළිඳාට ඇති වෙයි.

මව පිළිබඳ මුල් සංකල්පය ඉතා ගොරහැඬි වීමට හැකි ය. කල් යැමේ දී එයට වාචික සංකල්පයක්‌ (අම්මා හෝ වෙනත් වචනයක්‌ හෝ) එකතු වී තව තවත් සංකීර්ණ තත්ත්වයකට ළඟා වනවා විය හැකි ය. එමෙන් ම තමාට මෙන් ම අනෙක්‌ අයට ද ඒ ඒ අය ගේ අම්මලා සිටින බව ද දරුවා ක්‍රම ක්‍රමයෙන් දැන ගන්නවා ඇත. එහෙත් මේ මව යන සංකල්පය හුදු ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක්‌ නො වේ. බිළිඳාට හෝ කුඩා දරුවාට හෝ තම මව දැක බලාගත හැකි ය. එසේත් නැත්නම් මව ස්‌පර්ශ කළ හැකි ය. නොඑසේ නම් මව සිපගැනීමට හැකි ය. එහෙත් සමස්‌ත මවක්‌ ගැන සංකල්පයක්‌ ඒ කිසිවකින් හුදු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂවලින් පමණක්‌ ඇති කරගත නො හැකි ය. ඉතා කුඩා බිළිඳකුට වුව ද සමස්‌ත මව පිළිබඳ සංකල්පයක්‌ ඇති කරගත හැක්‌කේ අනුමානයෙනි.

පසුව දරුවා වැඩෙන විට අම්මා යන වචනය වැඩිහිටියන් උගන්වන අතර අනෙක්‌ අය ගේ අම්මලා පිළිබඳ සංකල්ප ද සමාජයෙන් දැන ගන්නට ලැබෙයි. මේ සංකල්පය ඔස්‌සේ දරුවාට අම්මා සැබැවින් ම ජීවත් වන පුද්ගල යථාර්ථයක්‌ ය යන සංකල්පය ද ලැබෙයි. එහෙත් ඒ සියල්ලට ම පළමු බිළිඳාට තමා පිළිබඳ සංකල්පයක්‌ ඇති බව වටහා ගත යුතු ය. බිළිඳාට ඇත්තේ තම මව පිළිබඳ සංකල්පය මිස නිරපේක්‍ෂ මවක්‌ පිළිබඳ සංකල්පයක්‌ නො වේ. තමා ගේ මව පිළිබඳ සංකල්පයක්‌ ඇති කර ගැනීමට පළමුව තමා පිළිබඳ සංකල්පයක්‌ ඇති විය යුතු ය. අපට පළමුව ඇති වන්නේ මම, මගේ ආදී හැඟීම් හා සංකල්ප මිස අනෙකා යන සංකල්පය නො වේ.

බුදුදහම අනුව සංඛාර, විඤ්ඤාණ, නාම රූප ආදිය ඇති වන්නේ අවිද්‍යාව මුල් කරගෙන ය. අවිද්‍යාව හේතුවෙන් සංඛාර, විඤ්ඤාණ ඇති වෙයි. මේ විඤ්ඤාණය තම විඤ්ඤාණය මිස අනෙකකු ගේ විඤ්ඤාණය නො වේ. තම මව ඇතුළු අනෙක්‌ සියල්ලන් ගැන සංකල්ප ඇති වන්නේ තම විඤ්ඤාණය හා නාම රූප හේතුවෙනි. ඒ සළායතන, ඵස්‌ස වේදනා ඔස්‌සේ සිදු වෙයි. ඈතින් තිබෙන්නේ යෑයි කියන ඉර හඳ වැනි වස්‌තු හෝ ළඟින් ඇතැයි කියන අම්මා වැනි වස්‌තු හෝ වේ වා පිළිබඳ සංකල්ප ඇති වන්නේ තමාට මිස අනෙකකුට නො වේ. තමාට සංසාරයේ සැරිසැරීමට හේතු වී තිබෙන්නේ තමා යනුවෙන් අයකු ඇතැයි ගැනීම නිසා මිස අනෙකකු නිසා තමා යන සංකල්පය ඇති වී තිබෙන නිසා නො වේ.

මේ සියල්ල සඳහන් කෙරුණේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම කෙතරම් දුරට බුදුදහමෙන් ඈත දැයි පෙන්වීම සඳහාත් ය. මගේ ලෝකය යනු මා විසින් නිර්මාණය කෙරෙන මා ද ඇතුළු අනෙක්‌ දැනුම් ය. ඒ ලෝකය මේ බඹයක්‌ පමණ වූ සිරුර තුළ ම පණවා ඇත. එහෙත් බටහිර දැනුමෙහි මගෙන් තොර ව ලෝකයක්‌ පවතියි. ඒ ලෝකය මගෙන් ස්‌වායත්ත වනවා පමණක්‌ නො ව මා ද නිර්මාණය කෙරෙනුයේ ඒ ඊනියා බාහිර ලෝකය මඟිනි.

අද පශ්චාත්නූතනවාදීන් යෑයි කියාගන්නවුන් පවසන්නේ යමකු නිර්ණය වනුනේ අනෙකා නිසා බව ය. මෙහි දී ප්‍රධාන වන්නේ අනෙකා ය. අනෙකා අනුව යමකු නිර්මාණය වන්නේ යමකුට අනෙකා පිළිබඳ සංකල්පයක්‌ නැති ව විය නො හැකි ය. එහෙත් ඒ අනෙකා යන සංකල්පය ඇති වූයේ කා හට දැයි බංකොළොත් පශ්චාත්නූතනවාදීහු නො පවසති. අනෙකා යන සංකල්පය ඇති වීමට තමා යන සංකල්පය ඇති විය යුතු ය. එලෙස තමා යන සංකල්පය ඇති වීමට අනෙකකු අවශ්‍ය නො වේ. සමාජයේ ජීවත් වන නොයෙකුත් පුද්ගලයන් නිසා අපි වෙනස්‌ වෙමු.

මුළු මහත් පාසල් පද්ධතිය හා විශ්වවිද්‍යාල ජනමාධ්‍ය ආදිය ප්‍රධාන වශයෙන් ම කරන්නේ අපට සමාජයේ ඇති අධිපතිවාදී සංකල්ප ඉගැන්වීම ය. එසේ වුවත් යම් පුද්ගලයකුට තමා පිළිබඳ සංකල්පයක්‌ ඇති වන්නේ අනෙකුන් නිසා හෝ සමාජය නිසා හෝ නො වේ. යම් පුද්ගලයකු සංසාරයේ සැරිසරන්නේ අනෙකුන් නිසා නො වේ. තමා විසින් ම කරන කියන සිතන ක්‍රියා නිසා ඒ ඒ පුද්ගලයා (සම්මුති අරුතෙන්) සංසාරයේ සැරිසරයි. සංසාරයේ ගමන නැවැත්විය හැක්‌කේ ද තමන්ට මිස අනෙකාට හෝ අනෙකුන්ට හෝ නො වේ.

එහෙත් බටහිරයන්ට ප්‍රධාන වන්නේ ඊනියා අනෙකා ය. මෙයට ප්‍රධාන හේතුව බටහිර දැනුම මධ්‍යකාලීන යුගයේ මෙන් ම අද ද නිර්මාණය වන්නේ එක්‌කෝ කතෝලික එසේත් නැත්නම් ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයක වීම ය. මේ චින්තනවල බාහිර දෙවියන් වහන්සේට ප්‍රධානත්වය ලැබෙයි. සියල්ලෙහි දී ම ප්‍රධාන වන්නේ බාහිර නැතැත්තෙකි. නැත්නම් බාහිර දෙයකි. අවසානයේ දී විමුක්‌තිය ලැබෙන්නේ ද බාහිර වූ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය වැඩි වූ තරමට ය. බුදුදහමෙහි මනස, එනම් තමා ගේ මනස ප්‍රධාන ලෙස ගැනුණ ද බටහිර කතෝලික චින්තනයෙහි මෙන් ම ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ද ප්‍රධාන තැන ලැබෙන්නේ බාහිර බලවේගවලට ය.

අප කලින් ද සඳහන් කර ඇති පරිදි නිව්ටන් ගේ චලිත නියම ඇරඹෙන්නේ ම බාහිර බල පිළිබඳ කතාවකිනි. බුදුදහමෙහි ආභාසය ලැබූ අර්නස්‌ට්‌ මාක්‌ වැනි දාර්ශනිකයකුට හා භෞතික විද්‍යාඥයකුට වුව ද බාහිර වස්‌තු පිළිබඳ ප්‍රශ්නය දැඩි ව බලපෑවේ ය. ඔහුට අනුව වස්‌තුවකට අවස්‌ථිතියක්‌ ලැබෙන්නේ අනෙක්‌ වස්‌තු නිසා ය. මාක්‌ ගේ ඒ අදහස වත්මන් පශ්චාත්නූතනවාදීන් ගේ අනෙකා විසින් තමන් නිර්ණය කෙරෙන්නේ ය යන්න සමග ගැලපෙයි. මාක්‌ බටහිර භෞතික විද්‍යාවේත් බටහිර ඊනියා පශ්චාත්නූතනවාදීන් බටහිර සමාජීය විද්‍යාවන්හිත් ක්‍රියාත්මක වන බව සැබෑ ය. එහෙත් ඔවුන් ගේ චින්තනවල වෙනසක්‌ නැත.

මාක්‌ ගේ ඒ අදහස සාධාරණ සාපේක්‍ෂතාවාදය ගොඩනැඟීමේ දී අවුරුදු සියයකට පමණ පෙර අයින්ස්‌ටයින්ට බලපෑවේ ය. එහෙත් මාක්‌ මූලධර්මය ලෙස හැඳින්වෙන්න තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ගොනු කර ගැනීමට අයින්ස්‌ටයින්ට නොහැකි විය. අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාද වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සාපේක්‍ෂතාවාද නො වේ. ඒවාහි ඇත්තේ නිරපේක්‍ෂතා හෙවත් අවිචලක ලෙස හැඳින්විය හැකි සංකල්ප පිළිබඳ කෙරෙන හැදෑරීමකි. අයින්ස්‌ටයින් බුද්ධිමතකු වන්නේ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මිස වෙනත් සංස්‌කෘතියක නො වේ.

බටහිර උගතුන් හා බුද්ධිමතුන් බාහිර අනෙක්‌ දේ ගැන සැලකිලිමත් වීම පුදුමයක්‌ නො වේ. එහෙත් සිංහල බෞද්ධ යෑයි කියාගන්නා උගතුන් එක්‌ පැත්තකින් මනො පුබ්බංගමා ධම්මා යෑයි කියමින් බාහිර බලවේග ගැන අවධාරණය කිරීමෙන් පැහැදිලි වන්නේ ඊනියා සිංහල බෞද්ධ උගතුන්ට ද සාමාන්‍ය සිංහලයන්ට මෙන් ම පරස්‌පරවල ජීවත් විය හැකි බව ය. ඒ කෙසේ වෙතත් සිංහල බෞද්ධ දැනුමක්‌ හා බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි දැනුමක්‌ අතර යා දෙක නොරත රත සමග පෑහීමක්‌ නැති වා මෙන් පරස්‌පර ඇති බව අපේ අවධානයට යොමු විය යුතු ය.

බටහිරයන් අපෙන් තොර ව අපෙන් ස්‌වායත්ත ව බාහිර ලෝකයක්‌ ඇති බව පවසමින් ඒ ලෝකය ඊනියා වාස්‌තවික යථාර්ථයක්‌ ලෙස ගනිමින් යථාර්ථවාදී ලෝකයක ක්‍රියාත්මක වන යථාර්ථවාදී නීති රීති දැනගැනීමට, සොයා ගැනීමට වෙහෙස වීම ගැන අපට පුදුමක්‌ නැත. එහෙත් අප ප්‍රශ්නය බටහිරයන් ගේ දැනුම පාසල් විශ්වවිද්‍යාල හා ජනමාධ්‍ය ඔස්‌සේ අපේ මත බලයෙන් පැටවීම ගැන ය. අපේ නිදහස ඇත්තේ අප බටහිර දැනුමෙන් නිදහස්‌ වීම මත ය. අපේ ප්‍රවාද ගොඩනැඟීමේ දී අඩු ම තරමෙන් බාහිර බලවේගවලට දී ඇති වැදගත්කම අවම කිරීමට අප උත්සාහ ගත යුතු ය.

බටහිරයෝ කිසි ම පැකිළීමකින් තොර ව බාහිර ලෝකයක්‌ අපෙන් ස්‌වායත්ත ව පවතින බව ද බාහිර වස්‌තු ඇති බව ද පිළිගනිති. ඔවුහු ඒ අතර ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ගැන ද මැත දොඩවති. එහෙත් ඊනියා බාහිර ලෝකය හෝ බාහිර වස්‌තු හෝ පංෙච්න්ද්‍රියවලට ගෝචර නො වන බව ඔවුහු නො සලකා හරිති. අපේ සියලු ප්‍රත්‍යක්‍ෂ අභ්‍යන්තර වෙයි. ඊනියා බාහිර ලෝකයේ බාහිර වස්‌තු ද අභ්‍යන්තරව අප විසින් සකස්‌ කෙරුණු දේ පමණක්‌ වෙයි. අප කන්දක්‌ ලෙස දකින්නේ අපෙන් ස්‌වායත්ත ව බාහිර ව ඇති වස්‌තුවක්‌ නො ව අභ්‍යන්තරයෙහි අප විසින් නිර්මාණය කෙරෙන්නකි.

නලින් ද සිල්වා