logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
ඉර හඳ (නො) පවතින ලෝකේ

විඤ්ඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ යන්න ඊනියා බාහිර ලෝකය පිළිබඳ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරක්‌ ද වෙයි. අපෙන්, එනම් නිරීක්‍ෂකයා ගෙන් බාහිර ව ලෝකයක්‌ පවතින්නේ ද යන ප්‍රශ්නයට පිළිතුර නැත යන්න ය. එහෙත් එවැනි පිළිතුරක්‌ දීමේ දී අප විඤ්ඤාණවාදී ගොඩට වැටීමට ඉඩ ඇති බව පැහැදිලි ය. බොහෝ දෙනා සිතන්නේ අපෙන් තොර ව බාහිර ලෝකයක්‌ නැත්නම් එයින් කියෑවෙන්නේ ඊනියා බාහිර ලෝකය ද මනසේ නිර්මාණයක්‌ බව ය. එවැනි ප්‍රශ්නවලට අවශ්‍ය නම් බාහිර ලෝකයක්‌ පවතින්නේ ද නැත, නො පවතින්නේ ද නැත යනුවෙන් චතුස්‌කෝටික න්‍යායෙහි (ඉංගිරිසියෙන් මෙය ෆෝර්ෆෝල්ඩ් ලොජික්‌- Fourfold logic ටෙට්‌රා ලෙමා - Tetra lemma ආදී වශයෙන් හැඳින්වෙයි) එක්‌ අවස්‌ථාවක්‌ ලෙස ගනිමින් පිළිතුරු දිය හැකි ය. ඒ ඒ පිළිතුරු සන්දර්භය මත පදනම් වෙයි.

බුදුන් වහන්සේ මේ ලෝකය බඹයක්‌ පමණ වූ සිරුරෙහි ම පණවමි යෑයි දේශනා කර ඇත. එයින් ද පැහැදිලි වන්නේ අප ලෝකය යෑයි දකින්නේ අපේ මනස හා අනෙක්‌ ඉන්ද්‍රිය එකතු වී නිර්මාණය (සංස්‌කරණය) කරන්නක්‌ බව ය. නාම රූප යන්න ඊනියා බාහිර වූ ලෝකයක රූප ගැන කියෑවෙන්නක්‌ නො ව මනස ගැන ම කියෑවෙන්නකි. ඵස්‌ස, වේදනා, සළායතන ආදිය රූප නිර්මාණයේ දී වැදගත් වන බව සැබෑ ය. එහෙත් ඒ එකක්‌ වත් බාහිර ව පවතින දේ නො ව සිරුර හා මනස හේතුවෙන් නිර්මාණය වන, සකස්‌ වන දේ ය. සළායතන නොමැති ව ඵස්‌ස හෙවත් ස්‌පර්ශය ඇති නො වේ. මේ එක එකක්‌ එකිනෙකට සම්බන්ධ වෙයි.

එහෙත් මෙහි දී ප්‍රශ්නයක්‌ පැනනැඟෙයි. අපේ පංෙච්න්ද්‍රියයන්ට ස්‌පර්ශයක්‌, වේදනාවක්‌ දැනෙන්නේ බාහිර ව පිහිටි, එසේත් නැත්නම් බාහිර ව පවතින වස්‌තු නිසා නො වේ ද? එසේ බාහිර ව පවතින වස්‌තු නො වේ නම් අපට ඒ ඒ ඉන්ද්‍රියට ස්‌පර්ශයක්‌ දැනෙන්නේ කෙසේ ද? බටහිර විද්‍යාව පදනම් වන්නේ එවැනි උපකල්පනයක්‌ මත ය. එහි දී බටහිර විද්‍යාඥයෝ අපෙන් තොර ව පවතින, අපෙන් ස්‌වායත්ත ව පවතින ලෝකයක්‌ ගැන විශ්වාස කරති. ඒ ලෝකයේ නිසග ව පවතින වස්‌තුවලින් අපට ආලෝක ධාරා, ශබ්ද තරංග, ගන්ධය තරමක දුර සිට වුව ද ලැබෙන බවත්, රසය මුවට ළං කළ විට දිවෙන් ලැබෙන බවත්, සිරුරේ හමට ද එසේ ළං වූ වස්‌තු දැනෙන බවත් බටහිර විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

එහෙත් ප්‍රශ්නය වනුයේ අපට දැනෙන්නේ එසේ බාහිර ව අපෙන් ස්‌වායත්ත ව පවතින වස්‌තු ද යන්න ය. අපට දැනෙන්නේ අපේ ඉන්ද්‍රියවලින් ස්‌වායත්ත වූ ගුණ නො වන බව පැහැදිලි විය යුතු ය. එමෙන් ම මේ ලිපි පෙළෙහි කලින් සඳහන් කර ඇති ආකාරයට වස්‌තුව වස්‌තුවක්‌ ලෙස ගැනීම සඳහා අපට ඉන්ද්‍රියක්‌ ද නැත. අපේ ඇසට පෙනෙන්නේ වර්ණයක්‌ හැඩයක්‌ මිස වස්‌තුවක්‌ නො වේ. නාසයට දැනෙන්නේ ගඳක්‌ සුවඳක්‌ මිස ඊනියා වස්‌තුවක්‌ නො වේ. එසේ ම දිවට දැනෙන්නේ රසක්‌ මිස වස්‌තුවක්‌ නො වේ. දැකීමක්‌, ආඝ්‍රාණයක්‌, රස බැලීමක්‌ මිස වස්‌තුවක්‌ ඇත්තේ කොතැන ද? එමෙන් ම දකින, ආඝ්‍රාණය කරන, රස බලන ඊනියා නිරීක්‍ෂකයකු ද නැත.

ඊනියා වස්‌තුව යන්න මනස විසින් නිර්මාණය කරන ලද, සංස්‌කරණය කරන ලද්දක්‌ පමණි. කිසි ම වූ ආකාරයක අනුභූතිවාදියකුට වස්‌තුව දැනෙන්නේ අහවල් ඉන්ද්‍රියට යෑයි කිව හැකි නො වේ. එසේ කිව නොහැක්‌කේ එවැනි ඉන්ද්‍රියක්‌ නොමැති බැවිනි, පංෙච්න්ද්‍රියන්ට දැනෙන වර්ණ, හැඩ, රස, ගඳ, සුවඳ, තද බව, මොළොක්‌ බව ආදිය පදනම් කරගෙන මනස විසින් සකස්‌ කෙරුණු ඊනියා බාහිර වස්‌තුවක්‌ අපට ඇත. ඒ මනස විසින් සකස්‌ කෙරුණු වස්‌තුව සැබැවින් ම පවතින වස්‌තුවක්‌, සත්‍යයක්‌, යථාර්ථයක්‌ ලෙස සැලකීමට අපි පුරුදු වී සිටිමු.

අප පුන පුනා පවසා ඇති පරිදි අපේ ඉන්ද්‍රිය පරිපූර්ණ නො වේ. ඇතැම් අනෙක්‌ සත්ත්වයනට අපට වඩා තියුණු ඉන්ද්‍රිය ඇත. අපට නො දැනෙන "චුම්බකත්වය" වැනි ගුණ දැනෙන වෙනත් සත්ත්වයෝ මෙලොව සිටිති. අපේ ඉන්ද්‍රියවල අඩුපාඩුකම් තිබිය දී ඊනියා බාහිර ලෝකයක අපෙන් ස්‌වායත්ත ව පවතින වස්‌තුවල ගුණ අපට දැනෙන්නේ යෑයි කියන්නේ කෙසේ ද? එහෙත් මෙහි දී යමකුට මෙසේ පැවසිය හැකි ය. අපෙන් ස්‌වායත්ත ව විවිධ වස්‌තු පවතී. ඒ වස්‌තුවලින් ආලෝක කිරණ, ශබ්ද තරංග ආදී විවිධ සංඥා අපට ලැබෙයි. ඒ සංඥා ග්‍රහණය කිරීමේ දී අපේ පංෙච්න්ද්‍රියවල පවතින අඩුලුහුඬුකම් හේතුවෙන් අපට නිවැරැදි ව වස්‌තු ග්‍රහණය කිරීමට නොහැකි වනවා විය හැකි ය. එහෙත් එයින් වස්‌තු නො පවතින්නේ යෑයි කිව නො හැකි ය.

මෙහි දී අපෙන් තොර ව වස්‌තු නො පවතින්නේ ය යන්න තවදුරටත් පැහැදිලි කළ යුතු වෙයි. අපට ඇත්තේ අප දන්නා ලෝකය පමණකි. අප එක්‌ එක්‌ අය ගේ ලෝකය යනු ඒ ඒ අය ගේ දැනුම ය. මට මගේ දැනුමෙන් තොර ලෝකයක්‌ නැත. මගේ ලෝකය යනු මගේ දැනුම මිස වෙනත් එකක්‌ නො වේ. අප එකිනෙකා ගේ දැනුම නිත්‍ය ව පවතින්නක්‌ නො වේ. කුඩා කල සිට දැනුම වෙනස්‌ වෙයි. ඇතැම් දැනුම් නැති වී යන අතර ඇතැම් දැනුම් එකතු වෙයි. එක්‌ එක්‌ අය ඒ ඒ අවස්‌ථාවෙහි දන්නා දැනුම හැරෙන්නට ඒ ඒ අයට වෙනත් දැනුමක්‌ නැත. එබැවින් ම වෙනත් ලෝකයක්‌ ද නැත.

ඉර හඳ පිළිබඳ අපට විවිධ දැනුම් ඇත. ඇතැමකුට සූර්ය දිව්‍ය රාජයකු වන අතර ඇතැමුනට ඉර පොළොව වටා යයි. එහෙත් තවත් බොහෝ දෙනකුට කිසි ම අනුභූතියක්‌ නැති ව වුව ද පොළොව ඉර වටා යයි. මේ එක්‌ එක්‌ අයට ඉර හඳ නිරීක්‍ෂණය වන ආකාරය නො වේ. ඒ එක්‌ එක්‌ අය ගේ ඉර හඳ ය. පුද්ගලයන් සංඛ්‍යාව අනුව සූර්යයන් සංඛ්‍යාව මෙන් ම චන්ද්‍රයන් සංඛ්‍යාව ද වෙනස්‌ වෙයි. මගේ සූර්යයා මගේ පියා ගේ සූර්යයා නො වූ බව මම දනිමි. මගේ සූර්යයා ගේ සූර්ය ලප ඇත. එහි විවිධ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා සිදු වෙයි. සූර්යයා ගෙන් විහිදෙන විද්යුත් චුම්බක ක්‍ෂෙත්‍ර ඇතැම් දිනවල අපේ ජීවිත අවුල් කරයි. මගේ පියා ගේ සූර්යයාට ඒ ගුණ කිසිවක්‌ නො වී ය. එහෙත් මගේ පියා පොළොව ඉර වටා යන බව විශ්වාස කළේ ය. ඒ එතුමා ලැබූ අධ්‍යාපනය හේතුකොට ගෙන ය. එසේ වුවත් මගේ සූර්යයා පොළොව වටා යයි. ඒ බටහිර විද්‍යාවේ ඊනියා නිරපේක්‍ෂ දැනුම මා විසින් ප්‍රතික්‍ෂේප කෙරෙන බැවිනි. අර හිරු ලප වුව ද සාපේක්‍ෂ ය යන්න මගේ දැනුම වෙයි.

අපට ඇත්තේ අප දකින, අපට ගෝචර වන ලෝකය පමණකි. ඉන් තොර ව ලෝකයක්‌ පවතින බව අප දන්නේ කෙසේ ද? ඒ දැනුම ලබාගන්නා ඉන්ද්‍රිය කුමක්‌ ද? සළායතනවලින් තොර වූ ලෝකය කුමක්‌ ද? වේදනාවෙන් තොර වූ ලෝකය කුමක්‌ ද? නාම රූපවලින් තොර වූ ලෝකය කුමක්‌ ද? නාම රූප ඇත්තේ බාහිර ව නො ව ඇතුළත ය. අපෙන් තොර ව බාහිර ලෝකයක්‌ නැත්තේ ඒ අර්ථයෙනි. ඒ ඒ අයට ඒ ඒ අය ගේ ලෝක ඇත. ඒ ලෝක විවිධ වෙයි. මගේ ලෝකය ඔබේ ලෝකය නො වේ. මගේ නාම රූප ඔබේ නාම රූප නො වේ.

රූප නාමවලින් වෙන් කළ නො හැකි ය. නාමයකින් තොර ව රූපයක්‌ නැත. එහෙත් රූපවලින් තොර නාම තිබිය හැකි ය. නාමය සංඥා, සංඛාර, වේදනා හා විඤ්ඤාණ වෙයි. විඤ්ඤාණ පච්චයා නාම රූප කීමෙන් පසු නාමයෙහි නැවතත් විඤ්ඤාණයක්‌ ගැන කියෑවෙයි. එමෙන් ම ඇතැම් අවස්‌ථාවල නාම රූප පච්චයා විඤ්ඤාණ යනුවෙන් ද යෙදෙයි. මෙහි එවැන්නක්‌ කිව හැක්‌කේ විඤ්ඤාණ සම්බන්ධයෙන් පමණක්‌ නො වේ. සංඛාර හා වේදනා ද වෙන වෙනමත් පටිච්ච සමුප්පාදයෙහි කියෑවෙයි. මෙය ඉතා සංකීර්ණ වූවකි. එය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු වුවත් මේ ඒ සඳහා අවස්‌ථාව නො වේ. ඉතා කෙටියෙන් කිව හැක්‌කේ ඒ සියල්ල අතරෙහි චක්‍රීය සම්බන්ධතාවක්‌ ඇති බව ය.

සංඥා ගැන ඉතා කෙටියෙන් වුවත් යමක්‌ කිව යුතු වෙයි. සංඥා යන්න වේදනා, විඤ්ඤාණ මෙන් පටිච්ච සමුප්පාදයෙහි වෙන ම නො කියෑවෙයි. මේ සංඥා ඊනියා බාහිර වස්‌තුවලින් ලැබෙන සංඥා නො වේ. පශ්චාත්නූතනවාදීන් ඔවුන් ගේ සංඥාවේදය පටන් ගන්නේ බාහිර වස්‌තුවලින් ලැබෙන සංඥාවලිනි. ඒ සංඥා හා නාමයෙහි දැක්‌වෙන සංඥා යනු එකක්‌ නො වේ. නාමයෙහි කියෑවෙන්නේ රූප පිළිබඳ සංඥාවක්‌ මිස රූපවල සංඥාවක්‌ නො වේ. රූප පිළිබඳ සංඥාව ඇත්තේ බාහිර ව නො ව අභ්‍යන්තර ව ය. රූපවල සංඥා බාහිර ව පවතින්නේ යෑයි කියන රූපවල හෙවත් වස්‌තුවල සංඥා හෙවත් එවැනි රූපවලින් ලැබෙන සංඥා වෙයි.

මේ වෙනස ඉතා වැදගත් වෙයි. අප සඳහන් කරන රූප යනු අපෙන් බාහිර ව පවත්නා රූප නො වෙයි. ඒ රූප ද ඇති වන්නේ සිතෙහි ය. මෙහි රූප යනුවෙන් කියෑවෙන්නේ ඇසට පෙනෙන හෝ ස්‌පර්ශ කළ හැකි යෑයි හෝ වෙනත් ආකාරයකට ඉන්ද්‍රියවලට ගෝචර වන්නේ යෑයි හෝ කියෑවෙන ඊනියා වස්‌තු නො වේ. බටහිර විද්‍යාවේ රූප (වස්‌තු) හා පටිච්ච සමුප්පාදයෙහි රූප අතර එවැනි වෙනසක්‌ වෙයි. පටිච්ච සමුප්පාදයෙහි රූප නාම සමග බැඳී ඇත. එහි නාම රූප යනුවෙන් මිස තනි ව ම රූප යනුවෙන් සඳහන් නො වෙයි. එහෙත් බටහිර විද්‍යාවෙහි රූප යනු අප සාමාන්‍ය ව්‍යවහාරයෙහි දී ද සඳහන් කරන රූප (වස්‌තු) වෙයි. ඒ ඊනියා වස්‌තු නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත ව පවතියි. එහෙත් පටිච්චසමුප්පාදයෙහි රූප, නාමයෙන් ස්‌වායත්ත ව නො පවතියි.

බටහිර විද්‍යාවේ සාපේක්‍ෂතාව හා බෞද්ධ දර්ශනයෙහි සාපේක්‍ෂතාව අතර වෙනස පැහැදිලි කරගත යුතු ය. අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාදය යනු ඒ ඒ වස්‌තුවල දිග ස්‌කන්ධය වැනි ගුණ එක්‌ එක්‌ නිරීක්‍ෂකයාට පෙනෙන ආකාර අතර වූ සාපේක්‍ෂතාවකි. එහි නිරීක්‍ෂකයා ගෙන් තොර ව වස්‌තු ඇත. එහෙත් ඒ වස්‌තු එක්‌ එක්‌ නිරීක්‍ෂකයාට එක්‌ එක්‌ ආකාරයෙන් නිරීක්‍ෂණය වෙයි. වස්‌තුවේ දිග ලෙස මා විසින් මැනෙන අගය වෙනත් අයකුට ලැබෙන අගය නො වේ. එහෙත් අයින්ස්‌ටයින්ට ඒ සියලු නිරීක්‍ෂකයන් ගෙන් ස්‌වායත්ත ව වස්‌තු පවතියි.

එපමණක්‌ නො වේ. අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතවාදයෙහි ඊනියා නිශ්චලතා දිග, නිශ්චලතා ස්‌කන්ධය ආදී වශයෙන් නිරපේක්‍ෂ අගය වෙයි. මේ අගය මනින්නේ වස්‌තුවක්‌ සමග චලිතයෙහි යෙදෙන නිරීක්‍ෂකයකු විසිනි. ඒ නිරීක්‍ෂකයා වස්‌තුවට සාපේක්‍ෂව නිශ්චල ව ඇති බැවින් එවැන්නකු විසින් මැනෙන අගය නිශ්චලතා අගය ලෙස හැඳින්වෙයි. අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවට සාපේක්‍ෂතාවක්‌ යෑයි කියෑවුණ ද එය නිරපේක්‍ෂව පවතින වස්‌තු ඒ ඒ නිරීක්‍ෂකයාට පෙනෙන ආකාරය මිස වෙනත් ගැඹුරු සාපේක්‍ෂතාවක්‌ නො වේ. එහෙත් පටිච්චසමුප්පාදයෙහි සාපේක්‍ෂතාව එසේ නො වේ. එහි නිරපේක්‍ෂ ව පවතින වස්‌තු නැත. වස්‌තු සංස්‌කරණය කරනු ලබන්නේ ම නිරීක්‍ෂකයන් විසිනි. එපමණක්‌ නො වේ. ඊනියා නිරීක්‍ෂකයෝ ද සංස්‌කරණ පමණක්‌ වෙති.

නලින් ද සිල්වා