logo4.gif (427 bytes)

arrow7.gif (1098 bytes)


 
නිව්ටෝනීය රූප කලාප

පටිච්චසමුප්පාදයෙහි විඤ්ඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් ද යෙදෙන බව බොහෝ දෙනා නො දනිති. එයට හේතුව අප ඉගෙන ගන්නා පටිච්චසමුප්පාදයෙහි එසේ නාම රූප පච්චයා විඤ්ඤාණ යනුවෙන් සඳහන් නො වීම ය. බුදුන් වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ ඒ ඒ දම් සභා මණ්‌ඩපයට ය. එසේත් නැත හොත් ඒ ඒ පුද්ගලයාට ය. එබැවින් සූත්‍ර දේශනා සන්දර්භය මත පිහිටා කරන ලද්දේ වෙයි. සූත්‍ර දේශනාවල සන්දර්භය ගැන සැලකිල්ලක්‌ නො දක්‌වා ඒ නිරපේක්‍ෂ දැනුමක්‌ ලෙස ගැනීම වරදකි. විඤ්ඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් දේශනා කරන ලද්දේ චක්‍රීය යෑයි සිතෙන තර්ක ක්‍රමයකින් මනස අවුල් කර නො ගත් අයට යෑයි සිතිය හැකි ය.

දැනට අවුරුදු විසි පහකට පමණ ඉහත දී මා විඤ්ඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් සඳහන් වී ඇති බව මෙරට වාසය කළ මහා විද්වතකු ලෙස පිදුම් ලත් එමෙන් ම බෞද්ධ මනෝ විශ්ලේෂණය පිළිබඳ පශ්චාත් උපාධියක්‌ ලත් මහාචාර්යවරයකුට පැවසූ විට ඔහු කෝපයට පත් ව එසේ තිබෙන්නේ කෙහේ දැයි ඇසුවේ ය. එවැන්නක්‌ දේශනා කර ඇති බව පිළිගැනීමට වත් එතුමා කැමැති නො වී ය. එහෙත් අවශ්‍ය අයකුට පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමිපාණන් වහන්සේ ලියා ඇති "මනසේ මායාව" නමැති පොත කියවීමෙන් ඒ පිළිබඳව වැඩිදුර දැනගත හැකි ය.

ඇරිස්‌ටෝටලීය න්‍යායට අනුව රේය තර්කයකට පුරුදු වී ඇති මෙරට සිටින බටහිර උගතුන්ට ඔවුන් බුද්ධ ධර්මය පිළිබඳ පශ්චාත් උපාධිලාභීන් වුවත් චක්‍රීය ව සිතීමට සිත එකඟ කරවා ගත නොහැකි ය. බටහිර විශ්වවිද්‍යාලයකින් බුද්ධ ධර්මය පිළිබඳ පශ්චාත් උපාධියක්‌ ලැබීම ම එහි දී බාධකයක්‌ වන්නේ යෑයි සිතිය හැකි ය. මහා ප්‍රාඥ සැරියුත් මහ රහතන් වහන්සේ ද විඤ්ඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් දේශනා කර ඇත. බොහෝ විට එවැනි අවස්‌ථාවල නාම රූප හා විඤ්ඤාණ ලී දෙකකින් සැදි කරුවක්‌ ලෙස දැක්‌වෙයි. කරුවෙහි එක්‌ ලීයක්‌ ගත් විට අනෙක්‌ ලීය ද ඇද වැටෙයි. නාම රූප විඤ්ඤාණ ද එසේ ය. එකක්‌ අනෙක මත රඳා පැවැත්වෙයි. ඤාණානන්ද හිමියෝ නාම රූප හා විඤ්ඤාණ දිය සුළියක්‌ ලෙස හඳුන්වති. අපි දිය සුළියට හසු වී එහි කැරකෙමින් සිටින්නෙමු.

අප වෙනත් දේ මෙන් ම නිව්ටෝනීය වස්‌තු ද දකින්නේ නාම රූප පටලැවිල්ල හේතු කොටගෙන ය. බාහිර ව පවතින්නේ යෑයි කියෑවෙන වස්‌තු අභ්‍යන්තර ව මනසෙන් හඳුනාගන්නේ මනස හා වස්‌තුව දෙකක්‌ ලෙස ගැනීමෙනි. එහෙත් මනස හා වස්‌තුව යනු එසේ අභ්‍යන්තර ව හා බාහිර ව පවතින දේ නො ව විඤ්ඤාණය නාම රූප සමග එකතු වී කරන මායා දර්ශනයකි. ඊනියා රූපයක්‌ ඊනියා නිරීක්‍ෂකයා ගෙන් වෙන් ව පවතිනවා නො වේ. සංකල්පයක්‌ නොමැති ව රූපයක්‌ දැකගත නො හැකි ය. ඊනියා වස්‌තුවකින් ඇසට ලැබෙන සංඥා මොළයට යැමෙන් අපට වස්‌තුවක්‌ පෙනෙනවා නො ව අප විසින් ම වස්‌තුව මවාගනු ලැබේ.

අප කලින් සඳහන් කළ පරිදි වස්‌තුව වස්‌තුවක්‌ ලෙස එක්‌ වර දැකීමට සමත් ඉන්ද්‍රියයක්‌ අපට නැත. ඇසෙන් අපට පෙනෙන්නේ ඊනියා වස්‌තුවේ හැඩය පමණකි. ස්‌පර්ශයෙන් එහි තද බව දැනෙයි. එහෙත් වස්‌තුව දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයකට ද? හැඩය තද බව ආදිය ඉන්ද්‍රිය ගෝචර ව පවතින දේ ලෙස ගත්ත ද, වස්‌තුව, එනම් මේසය, පුටුව ආදිය, ඉන්ද්‍රිය ගෝචර වූවක්‌ ලෙස ගන්නේ කෙසේ ද? වස්‌තුව යන්න මනසේ නිර්මාණයක්‌, සකස්‌ කිරීමක්‌ පමණකි. මෙයින් අදහස්‌ වන්නේ ඊනියා වස්‌තුවේ හැඩය, තද බව ආදිය නිරීක්‍ෂකයා යෑයි කියන්නකු ගෙන් ස්‌වායත්ත ව පවතින බව නො වේ. හැඩය, තද බව ආදිය ද විඤ්ඤාණයේ හා නාම රූපයේ සකස්‌ කිරීමකි. ඒ ඒ නිරීක්‍ෂකයා ගේ සකස්‌ කිරීම වෙනස්‌ වන්නේ එබැවිනි.

සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයට අනුව චිත්තක්‍ෂණ දහ හතක්‌ රූපක්‍ෂණයකට සමාන වෙයි. මෙහි දී සඳහන් කළ යුතු ප්‍රධාන ම කරුණ වන්නේ විත්තක්‍ෂණය ද සාපේක්‍ෂ බව ය. අපවත් වී වදාළ බෝධි හිමියන් පෙන්වා දී ඇති ආකාරයට නිවන හැරෙන්නට පරමාර්ථ ධර්ම යෑයි සැලකෙන ධර්ම චිත්තයට සාපේක්‍ෂ ය. සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි චිත්තක්‍ෂණ දහ හතක්‌ රුපක්‍ෂණයකට සමාන යෑයි සඳහන් වී ඇත. රූප කලාපයක්‌ ග්‍රහණය කරගැනීමට, එනම් එලෙස සංස්‌කරණය කර ගැනීමට චිත්ත දහ හතක කාලයක්‌ (කාලය යනු පඤ්ඤත්තියක්‌ පමණක්‌ බව අමතක නො කළ යුතු ය) අවශ්‍ය බව මෙයින් කියෑවෙයි.

අපට එය තේරුම් ගැනීම අපහසු නො වේ. එක්‌ චිත්තයකට හසු වන්නේ ඊනියා වස්‌තුවේ හැඩය විය හැකි ය. එහි යම් තොරතුරු ද

රැගත් ඊළඟ චිත්තය ඊනියා වස්‌තුවේ පාට සංස්‌කරණය කර හඳුනාගන්නවා විය හැකි ය. අවසානයේ දී එවැනි චිත්ත දහ හතක්‌ එකතු වී සංස්‌කරණය කරන ලද සියලු තොරතුරු නැවතත් සංස්‌කරණය කර අපට ඊනියා වස්‌තුවක්‌, රූප කලාපයක්‌ ලබා දෙනවා විය යුතු ය. මෙහි දී පොත පතෙහි රූපය යනුවෙන් නො ව රූප කලාපය යන්න යොදා ගෙන තිබීම වැදගත් වේ යෑයි සිතමි. රූපය යන වචනය වෙනුවට රූප කලාපය යන්න යොදා ගැනීමෙන්, ඊනියා වස්‌තුවක්‌ යනු චිත්ත දහ හතකට හසු වන කලාපයක්‌ මිස එක්‌ චිත්තයකට පමණක්‌ හසු වන රූපයක්‌ නො වේ ය යන්න ගම්‍ය වෙයි.

නිව්ටෝනීය වස්‌තුවක එක විට පිහිටීම මෙන් ම ගම්‍යතාව ද මැනගැනීමට හැකි යෑයි අපි කියමු. එනම් මේ රූප කලාපයෙහි අප විසින් සකස්‌ කර ගන්නා ලද වස්‌තුවෙහි පිහිටීම මෙන් ම ගම්‍යතාව ද ඇත. වෙනත් වචනවලින් කියන්නේ නම් එම රූප කලාපයෙහි වස්‌තුවේ පිහිටීම මෙන් ම ගම්‍යතාව ද සකස්‌ කෙරී ඇත. එය චිත්තක්‍ෂණ දහ හතක කාලයක සිදු වන්නේ යෑයි සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. මෙහි දී වැදගත් වන්නේ එය චිත්තක්‌ෂණයක දී සිදු නො වී චිත්තක්‍ෂණ දහ හතක දී සකස්‌ කරගැනීමට කල් වේලා දී තිබීම ය. එහෙත් චිත්තක්‍ෂණ දහ හතකට අඩුවෙන් ගත හොත් අපට ඊනියා වස්‌තුවේ ගුණ සියල්ල දැනගත හැකි ද?

චිත්තක්‍ෂණයක්‌ පමණක්‌ නො ව චිත්තක්‍ෂණ දහ හතක්‌ යනු ද ඉතා සුළු කාලයකි. ඒ සුළු කාලයෙහි අපට නිව්ටෝනීය වස්‌තුවක පිහිටීම ගම්‍යතාව ආදී ගුණ මැනගත හැකි ය. එනම් අපට ඒ කාලයෙහි ඒ සියලු ගුණ සහිත වස්‌තුවක්‌ සකස්‌ කර ගත හැකි ය. එහෙත් එයට අඩු චිත්තක්‍ෂණ ප්‍රමාණයක දී අපට මුළු වස්‌තුව ම නිරීක්‍ෂණය කළ නො හැකි ය. අපට කළ හැකි වන්නේ එක්‌කෝ ගම්‍යතාව නොමැති ව පිහිටීම පමණක්‌ සකස්‌ කර ගැනීමට ය. නැත හොත් පිහිටීම නොමැති ව ගම්‍යතාව පමණක්‌ සකස්‌ කර ගැනීමට ය. එනම් එක්‌කෝ ගම්‍යතාව නොමැති ව පිsහිටීම පමණක්‌ නිරීක්‍ෂණය කිරීමට ය. නැත හොත් පිහිටීම නොමැති ව ගම්‍යතාව පමණක්‌ නිරීක්‍ෂණය කිරීමට ය.

නිව්ටෝනීය වස්‌තුවක්‌ හෙවත් රූප කලාපයක්‌ චිත්තක්‍ෂණ දහ හතක දී සකස්‌ කර ගත හැකි ය. අනෙක්‌ පැත්තට චිත්තක්‍ෂණ දහ හතක දී නිව්ටෝනීය වස්‌තුවක්‌ හෙවත් රූප කලාපයක්‌ සකස්‌ කරගත හැකි ය. ඒ එසේ නම් ක්‌වොන්ටම් අංශු සම්බන්ධයෙන් සිදු වන්නේ කුමක්‌ ද? සාමාන්‍ය මිනිසකුට රූප කලාපයක්‌ ග්‍රහණය කර ගැනීමට, එනම් රූප කලාපයක්‌ සකස්‌ කර ගැනීමට චිත්තක්‍ෂණ කීයක්‌ අවශ්‍ය ද? එය චිත්තක්‍ෂණ දහ හත ද? චිත්තක්‍ෂණ දහ හතකින් පමණක්‌ සකස්‌ කරගත නොහැකි රූප කලාප වේ ද? එමෙන් ම යම් කිසි රූප කලාපයක්‌ ග්‍රහණය කර ගැනීමට හෙවත් සකස්‌ කරගැනීමට චිත්තක්‍ෂණ දහ හතකට වඩා අවශ්‍ය වේ නම් සාමාන්‍ය මිනිසකුට එය තනි රූප කලාපයක්‌ ලෙස සකස්‌ කරගැනීමට නො හැකි ද?

මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු අපි නො දනිමු. මේ ප්‍රශ්න සමහර විට ඉතිහාසයේ කෙදිනක වත් නොඅ සන ලද ප්‍රශ්න විය හැකි ය. අපට කළ හැක්‌කේ දැනට යම් පිළිතුරු යෝජනා කිරීම පමණකි. ඇතැම් විට අපට ඒ පිළිතුරු පමණක්‌ නො ව ප්‍රශ්න ද වෙනස්‌ කිරීමට සිදු වනු ඇත. විත්තක්‍ෂණ දහ හතක්‌ යනු රූප කලාපයක්‌ සකස්‌ කරගැනීමට යන කාලය වන්නේ සාමාන්‍ය වස්‌තූන් හෙවත් බටහිර භෞතික විද්‍යාවේ නිව්ටෝනීය වස්‌තූන් ලෙස සැලකෙන වස්‌තු සකස්‌ කර ගැනීමේ දී විය හැකි ය. ඇතැම් විට නිව්ටෝනීය වස්‌තුවක්‌ චිත්තක්‍ෂණ දහ හතකට අඩු කාලයක දී සකස්‌ කරගත හැකි දැයි කීමට නො දනිමු. එහෙත් චිත්තක්‍ෂණ දහ හතකින් යම් රූප කලාපයක්‌ සකස්‌ කරගැනීමට නොහැකි නම් එයින් කියෑවෙන්නේ ඒ රූප කලාපය "අඩුපාඩු" සහිත ව මනස විසින් ග්‍රහණය කරනවා විය හැකි බව ය. ක්‌වොන්ටම් අංශුවක්‌ යනු එසේ චිත්තක්‍ෂණ දහ හතකින් සකස්‌ කරගැනීමට නොහැකි රූප කලාපයක්‌ විය හැකි ය.

මේ චිත්තක්‍ෂණ දහ හත යන්නෙහි යම්කිසි විශේෂිත ලක්‍ෂණයක්‌ ඇතැයි සිතිය හැකි ය. චිත්තක්‍ෂණ දහ හතකින් රූප කලාපයක්‌ සකස්‌ කරගැනීමට නොහැකි නම් චිත්තක්‍ෂණ විස්‌සකින් නැත්නම් විසි පහකින් රූප කලාපය සකස්‌ කරගැනීමට නොහැකි දැයි කිසිවකුට ප්‍රශ්න කළ හැකි ය. එසේ නො කළ හැකි ය යන්න අපට දැනට සංගත ව සකස්‌ කරගත හැකි පිළිතුර වෙයි. ඇතැම් විට චිත්තක්‍ෂණ දහ හතෙන් පසු නැවතත් චිත්තක්‍ෂණ පේළියක්‌ ආරම්භ වනවා විය හැකි ය. එසේත් නැත හොත් අපට සිතාගත නොහැකි, එනම් දැනට මනසට සාපේක්‍ෂව සකස්‌ කරගත නොහැකි වෙනත් කරුණක්‌ හේතුකොටගෙන එසේ වනවා විය හැකි ය.

ක්‌වොන්ටම් අංශුවක්‌ අපට ඇසට නො පෙනෙයි. එහි තේරුම අප කෙතෙක්‌ වෙලා නිරීක්‍ෂණය කළත් අපට අදාළ රූප කලාපයක්‌ සකස්‌ කරගත නොහැකි බව ය. එනම් චිත්තක්‍ෂණ කොපමණ සංඛ්‍යාවක්‌ ගත වුවත් අපට ක්‌වොන්ටම් අංශුවක්‌ පිළිබඳ චක්‌ඛු විඤ්ඤාණයක්‌ ඇති කර ගත නොහැකි බව ය. අපි ක්‌වොන්ටම් අංශු සෘජුව නිරික්‍ෂණය නො කරමු. ක්‌වොන්ටම් අංශුවක්‌ තවත් අංශුවක්‌ සමග ගැටී යන ගමන්මඟ රසායනික ද්‍රව්‍යයක්‌ ගැල්වූ සේයා පටයක අපට දැකගත හැකි ය. එසේත් නැත හොත් අංශුව වෙනත් තිරයක්‌ මත පතිත වී නිර්මාණය වන තිතකින් (ප්‍රතිබිම්බයකින්) අපට ක්‌වොන්ටම් අංශුව "දැකගත" හැකි ය.

එයට හේතුව සාමාන්‍ය තත්ත්වයන් යටතේ ක්‌වොන්ටම් අංශුවක පිහිටීම නිරීක්‍ෂණය කර නොමැති විටෙක එය පිහිටුම් රාශියක්‌ ගන්නා බැවින් යෑයි අපි සිතමු. ඒ අප සකස්‌ කර ගන්නා පිළිතුරක්‌ මිස අන් කිසිවක්‌ නො වේ. පිළිතුර සකස්‌ කරගත යුත්තේ එය එවැනි සැම අවස්‌ථාවකට ම ගැලපෙන පරිදි සංගත ව ය. එසේ නැති ව එක්‌ එක්‌ අවස්‌ථාවට ගැලපෙන ආකාරයෙන් පිළිතුරු රාශියක්‌ වේ නම් ඒ පිළිතුරුවලින් අපට ප්‍රයෝජනයක්‌ නොමැත. එක ම අංශුවක්‌ යෑයි කිව හැකි දෙයක්‌ කිහිප තැනක ඇත්නම් අප එය දැකගන්නේ කෙසේ ද? අප ඒ පිළිබඳ චක්‌ඛු විඤ්ඤාණයක්‌ ඇති කරගන්නේ කෙසේ ද? එහෙත් මේ පිළිතුරෙහි යම් වාස්‌තවික බවක්‌ ඇති බව ඒ පිළිබඳව තරමක්‌ කල්පනා කිරීමෙන් පැහැදිලි වනු ඇත. ක්‌වොන්ටම් අංශුවලට නිව්ටෝනීය අංශුවලට නැති වාස්‌තවිකත්වයක්‌ තිබිය නො හැකි ය.

නලින් ද සිල්වා