logo3.gif (702 bytes)

HOME


නිව්ටෝනීය වස්‌තු

පොළොව ඉර වටා යන්නේ ය යන්න ඉන්ද්‍රිය ගෝචර පරිසිද්ධියක්‌ යෑයි කිව හැකි නො වේ. සූර්යයා හෝ සූර්ය දිව්‍ය රාජයා හෝ අහසෙහි එක්‌ පැත්තකින් පැමිණ (උදා වී) විරුද්ධ පැත්තෙන් ඉවත් වී යැම (බැස යැම) පමණක්‌ අපේ ඉන්ද්‍රියයන්ට ගෝචර වෙයි. පොළොව ඉර වටා යන බවක්‌ ඉන්ද්‍රිය ගෝචර නො වේ. එය අපට පරිසිද්ධියක්‌ තබා සිද්ධියක්‌ වත් නො වේ. එහෙත් බොහෝ උගත්තු එය පරිසිද්ධියක්‌ ලෙස සලකති. ඒ අතර තවත් සමහරු ඉර පොළොව වටා යන බව පිළිගනිති. මෙයින් පැහැදිලිව පෙනී යා යුතු කරුණ නම් ලොවෙහි සියලු දෙනාට ම පොදු වූ ඊනියා පරිසිද්ධි නොමැති බව ය. පරිසිද්ධිය ද තම තමන් ලෝකය බලන ආකාරය අනුව වෙනස්‌ වෙයි. සූර්ය දිව්‍ය රාජයා ගැන සිතන්නන්ට තම පරිකල්පනය මත පිහිටා හෝ වෙනත් අයුරකින් හෝ රථයක නැඟී අහසෙහි එක්‌ පැත්තක සිට විරුද්ධ පැත්තට ගමන් කරන දෙවියකු දැකීමට හැකි ය. එවැන්නන්ට එය පරිසිද්ධියකි. මෙහි දී ඔවුන් පරිසිද්ධිය යන වචනය දැන සිටියේ ද නැද්ද යන වග වැදගත් නො වේ. ඔවුන්ට අනුව එය සිදු වෙයි. එහි සැකයක්‌ නැත. දෙවියන් කෙසේ වෙතත් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් යම් ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක්‌ ඇත. එහෙත් මෙය ප්‍රවාදයක්‌ හෝ සංකල්පයක්‌ හෝ නොමැති හුදු පරිසිද්ධියක්‌ නො වේ.

අප එතරම් සැලකිල්ලක්‌ නො දැක්‌වුව ද සූර්යයා ගේ හෝ සූර්ය දිව්‍ය රාජයා ගේ හෝ අහසෙහි කරන ගමනක්‌ පිළිබඳ ව මෙහි සඳහන් වෙයි. ගමනක්‌ හෝ චලිතයක්‌ හෝ යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද යන්න ද මෙහි වැදගත් වෙයි. එහි සූර්යයා තමන් පිහිටි තැන වෙනස්‌ කරන්නේ ය යන අදහස ගැබ් වී ඇත. එසේත් නැත හොත් වර්තමානයේ යොදා ගන්නා වචන භාවිත කරන්නේ නම් විස්‌ථාපනය යන සංකල්පය වෙයි. විස්‌ථාපනය යනු ස්‌ථාපනයෙහි වෙනස්‌ වීමකි. එසේත් නැත්නම් විතැන් වීමකි. විස්‌ථාපනයට හෝ විතැන් වීමට හෝ පළමුව ස්‌ථාපනය, තැනක වීම යන සංකල්පය අවශ්‍ය වෙයි. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ සූර්යයා ගේ ගමන යන්න හුදු පරිසිද්ධියක්‌ නො වන බවත් එහි දී සංකල්ප රාශියක්‌ යොදා ගැනෙන බවත් ය.

සංකල්පවලින් හෝ ප්‍රවාදවලින් හෝ තොර වූ පරිසිද්ධි නොමැත. එහෙත් පසුගිය දා ලංකාවට පැමිණි ඩෝකින්ස්‌ වැනි බටහිර විද්‍යාඥයන්ට අනුව ප්‍රවාදවලට වඩා පරිසිද්ධි වැදගත් වෙයි. ඩෝකින්ස්‌ලා තේරුම් නො ගන්නා කරුණ නම් සංකල්පයක්‌ ප්‍රවාදයක්‌ නොමැති ව පරිසිද්ධියක්‌ නොමැති බව ය. මෙරට සිටින කාඩ්බෝඩ් ඩෝකින්ස්‌ලාට නම් ඒ පිළිබඳව කිසිදු වැටහීමක්‌ නොමැති බව පැහැදිලි ය. පොළොව සූර්යයා වටා ගමන් කරන්නේ ය යන ඊනියා පරිසිද්ධිය ඇතැමුන්ට නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය සමඟ බැඳී ඇත. ඔවුන්ට පොළොව ඉර වටා යැමේ දී යෙදෙන බල ද අවශ්‍ය වෙයි. සූර්යයා දෙසට පෙළොවේ ඇති ත්වරණය ලබා දෙන්නේ කිනම් බලයකින් ද යන්න නො දැන ඔවුන්ට සූර්යයා වටා යන පොළොවක්‌ නැත.

ඉතා පැහැදිලිව ඊනියා පරිසිද්ධි හෝ සිද්ධි හෝ නිරීක්‍ෂකයා ගෙන් වෙන් කරගත හැකි නො වේ. ඊනියා පරිසිද්ධි ඇත්තේ නිරීක්‍ෂකයන්ට ය. ඒ ඒ නිරීක්‍ෂකයා ගේ පරිසිද්ධි වෙනස්‌ වෙයි. එක්‌ නිරීක්‍ෂකයකුට ඉර පොළොව වටා ගමන් කිරීම පරිසිද්ධියක්‌ වන අතර තවත් නිරීක්‍ෂකයකුට පෙළොව ඉර වටා ගමන් කිරීම පරිසිද්ධියක්‌ වෙයි. නිරීක්‍ෂකයකු ගෙන් තොර පරිසිද්ධියක්‌ හෝ සිද්ධියක්‌ හෝ පමණක්‌ නො ව පැවැත්මක්‌, වස්‌තුවක්‌ ද නැත, එපමණක්‌ නො ව නිරීක්‍ෂකයකු ද නැත.

සිංහල බෞද්ධයනට අනුව ක්‍රියාවක්‌ මිස ක්‍රියාව කරන්නකු හෝ ක්‍රියාව නිරීක්‍ෂණය කරන්නකු හෝ නැත. පෙනීමක්‌ මිස පෙනෙන දෙයක්‌ නැත. එපමණක්‌ නො ව දැක ගන්නා අයකු ද නැත. අපි බොහෝ විට මා කන්දක්‌ දැක්‌කා ආදී වශයෙන් ප්‍රකාශ කරමු. එහෙත් එහි දී කන්ද හෝ මා හෝ නැත. එහි දී කෙරෙන්නේ මා යෑයි කියා ගන්නා "අයකු" කන්දක්‌ යෑයි කියාගන්නා "දෙයක්‌" දැකීම ය. මෙහි අයකු හා දෙයක්‌ යන වචන යොදා ගත්ත ද එවැනි අයකු හෝ දෙයක්‌ හෝ නැත. එසේ ඇතැයි ගැනීම ම ආත්මවාදී වෙයි. දැකීමක්‌ මිස දකින්නක්‌ හෝ දකින්නකු හෝ නැත.

අප බොහෝ විට පැවැත්මක්‌ ඇත්තේ නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ ව යෑයි කියා ඇති මුත් එය නිවැරැදි නො වේ. එසේ පැවසීමේ දී නිරීක්‍ෂකයා එක්‌තරා ආකාරයකට වාස්‌තවික තත්ත්වයකට පත් කෙරෙයි. නිරීක්‍ෂකයා යනුවෙන් වාස්‌තවික ව පවතින අයකු නැත. නිරීක්‍ෂකයා ද නිරික්‍ෂකයා ගේ මනසට සාපේක්‍ෂ ය. මනස ද අවසානයේ දී මනසට සාපේක්‍ෂ වෙයි. මනස ද මනසෙහි නිර්මාණයක්‌, අවශ්‍ය නම් සකස්‌ කිරීමක්‌ වෙයි. මෙය සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි විස්‌තර කෙරී ඇත. පැවැත්ම විස්‌තර කළ හැක්‌කේ පටිච්චසමුප්පාදයෙනි. A නිසා B පවතියි, A නැත්නම් B නො පවතියි. ඊනියා නිරීක්‍ෂකයකු ගෙන් තොර ව පවතින වස්‌තුවක්‌ නැත.

නිරීක්‍ෂකයා හා ඔහු ගෙන් බාහිර ව වූ වස්‌තුවක්‌ යන සංකල්ප ම නිවැරැදි නො වේ. නිරීක්‍ෂකයා හා බාහිර වස්‌තුව යන බෙදීම ද පෘථග්ජනයන් විසින් සිදු කෙරෙන්නකි. මෙය නාම රූප හා විඤ්ඤාණය විසින් වේදනා හා එස්‌ස (ස්‌පර්ශය, කුමන හෝ ස්‌පර්ශයක්‌, එනම් පංෙච්න්ද්‍රියන් ගෙන් කෙරෙන ස්‌පර්ශකයක්‌, දැකීම ද ස්‌පර්ශයක්‌ බව අමතක නො කළ යුතු ය) සමග එකතු වී කෙරෙන බෙදීමක්‌ පමණ ය. ඊනියා බාහිර වස්‌තු ද අවිද්‍යාව නිසා ඇති වන දේ පමණ ය. නාම රූප, විඤ්ඤාණ, සළායතන, එස්‌ස මේ ඊනියා නිරීක්‍ෂක - බාහිර වස්‌තු බෙදීමට මුල ය. පටිච්චසමුප්පාදයෙහි මේ සියල්ල ඉතා පැහැදිලිව දේශනා කර තිබිය දී සිංහල බෞද්ධ උගතුන් යෑයි කියාගන්නා අය ඊනියා වස්‌තු පසුපස පමණක්‌ නො ව පවතින නිවනක්‌ පසුපස ද දිව යන්නේ බටහිරයන් ගේ අවශ්‍යතාව හා අවිද්‍යාව ඉතා බරපතළ ලෙස ක්‍රියා කිරීම හේතු කොටගෙන ය. නිවන් අවබෝධ කරගන්නා තෙක්‌ අප සියල්ලන්ට ම අඩු වැඩි වශයෙන් අවිද්‍යාව පවතියි.

මුළු මහත් බටහිර විද්‍යාව ම ක්‍රියාත්මක වන්නේ ඊනියා නිරීක්‍ෂකයකුට බාහිර ව වස්‌තු තිබේ ය යන උපකල්පනය ද සමඟින් ය. ඒ වස්‌තුවලට ඊනියා නිරීක්‍ෂකයා ගෙන් තොර ව, ස්‌වායත්ත ව ගුණ (Properties) ද ඇතැයි කියෑවෙයි. ඒ අතර නිරීක්‍ෂකයා ද ඇතැයි ගැනෙයි. ඉන්පසු නිරීක්‍ෂකයා ගෙන් බාහිර ව ඇතැයි කියන වස්‌තුවෙන් නිරීක්‍ෂකයාට සංඥා ලැබීමක්‌ ගැන කියෑවෙයි. ඒ සංඥා ඔස්‌සේ ඒ නිරපේක්‍ෂ යෑයි කියන බාහිර වස්‌තුව දැන ගැනීම බටහිර දැනුමේ මූලික ප්‍රශ්නයක්‌ වෙයි.

අපි මේ ප්‍රශ්නය තවදුරටත් සාකච්ඡා කරමු. මෙහි දී පුටු, මේස වැනි ඉන්ද්‍රිය ගෝචර වස්‌තු පිළිබඳ ව මෙන් ම බටහිර විද්‍යාවේ කියෑවෙන ඉන්ද්‍රිය ගෝචර නො වන ඉලෙක්‌ට්‍රොන, ප්‍රොටෝන, න්‍යට්‍රීනෝ වැනි අංශු ගැන ද අපේ අවධානය යොමු කළ යුතු වෙයි. සිංහල බෞද්ධයෝ ඊනියා නිරීක්‍ෂකයකු ගෙන් ස්‌වායත්ත ව පවතින ඉන්ද්‍රිය ගෝචර හෝ ඉන්ද්‍රිය ගෝචර නො වන හෝ වස්‌තු ඇතැයි නො ගනිති. සිංහල බෞද්ධයෝ ද්‍රව්‍යවාදීහු හෝ විඤ්ඤාණවාදීහු හෝ නො වෙති. ඔවුහු අහවල්වාදීහු යෑයි නො ගැනෙති. එහෙත් අපේ පහසුව සඳහා අපි ඔවුන් පටිච්චසමුප්පවාදීන් ලෙස ගනිමු. A ඇත්නම් B ඇත. A හටගැනේ නම් B හටගැනෙයි. A නැත්නම් B නැත. A හට නො ගැනෙන්නේ නම් B හට නො ගැනෙයි. අවිද්‍යාවෙන් පටන් ගෙන ජරා මරණ ආදී වශයෙන් අවසන් වන පටිච්චසමුප්පාදයෙහි ඇත්තේ එවැනි තර්ක න්‍යායකි. අපේ සාකච්ඡාවේ දී අපට වඩා වැදගත් වන්නේ විඤ්ඤාන, නාම රූප, සළායතන, එස්‌ස හා වේදනා ය.

අපි මේසයක්‌ නිරීක්‍ෂණය කරමු. එහි දී අපේ මනසට විවිධ චිත්ත ඇති වෙයි. මනස යනුවෙන් යමක්‌ පවතිනවා නො වේ. මනස යනු ද චිත්ත පරම්පරාව වෙයි. මේස අපට ස්‌පර්ශ කළ හැකි ය. අපට එය ඇසින් දැකගත හැකි ය. අවශ්‍ය නම් එහි ගඳ සුවඳ ආඝ්‍රාණය කළ හැකි ය. එහෙත් අපි මේ සියල්ල එක විට නො කරමු. අප මේසය දැක ගනිමින් ම එය ස්‌පර්ශ කරන්නේ යෑයි කීව ද අපට එසේ කළ නො හැකි ය. අපට එක්‌ විටක ඇති වන්නේ එක්‌ චිත්තයකි. අපි ඇස නමැති ඉන්ද්‍රිය උපයෝගී කරගෙන එස්‌ස ද එක්‌ කර ගනිමින් මනසෙහි චක්‌ඛු විඤ්ඤාණයක්‌ ඇති කර ගන්නෙමු. අපි එවිට ම ස්‌පර්ශය ඔස්‌සේ ද විඤ්ඤාණයක්‌ ඇති කර ගන්නේ යෑයි කීව ද අපට එසේ කිරීමට නොහැකි වන්නේ අපට එක්‌ වරකට එක්‌ චිත්තයකට වඩා ඇති නො වන බැවිනි. එසේ නම් අප එක විට මේසය දකිමින් ම එය ස්‌පර්ශ කරන්නේ කෙසේ ද?

අපි එසේ නො කරමු. මේසය පෙනීම මෙන් ම මේසය ස්‌පර්ශ කිරීම ද අපේ සකස්‌ කිරීම් ආශ්‍රිත විඤ්ඤාණ වෙයි. එපමණක්‌ නො වේ. අපට ඒ විඤ්ඤාණ දෙක ම එක්‌ විට ඇති වන්නේ යෑයි කීම ද අපේ සකස්‌ කර ගැනීමකි. ඇසින් දුටු මේසය පිළිබඳ විඤ්ඤාණය පහ වීමෙන් පසුව පමණක්‌ ස්‌පර්ශය පිළිබඳ විඤ්ඤාණය ඇති වෙයි. එහෙත් මෙහි දී වැදගත් වන්නේ චක්‌ඛු විඤ්ඤාණය පිළිබඳ මතකයක්‌ ද විඤ්ඤාණය විසින් සකස්‌ කරනු ලැබීම ය. මේ මතකය අප මුළා කරයි. විඤ්ඤණයෙන් කෙසේ වෙතත් කෙරෙන්නේ මුළා කිරීමකි. මෙහි දී ඒ මුළා කිරීමට තවත් මුළා කිරීමක්‌ එකතු කෙරෙයි. මතකය අපට චිත්ත පේළියක්‌ ලෙස නො ව එක්‌ චිත්තයක්‌ ලෙස ඉදිරිපත් වෙයි. චිත්තයක්‌ ඇති වන්නේ එක්‌ චිත්තයක්‌ නැති වීමෙනි. යම්කිසි අයුරකින් ඒ චිත්තයෙහි තිබූ "තොරතුරු" ප්‍රමාණයක්‌ ඊළඟ චිත්තයට ලබා දෙයි. ස්‌පර්ශය පිළිබඳ චිත්තයේ "තොරතුරු" ප්‍රමාණයක්‌ ඊළඟට ඇති වන පෙනීම පිළිබඳ චිත්තයට ලබා දීම මඟින් මේ මතකය පිළිබඳ හැඟීම සකස්‌ කෙරෙන්නේ යෑයි සිතිය හැකි ය. එවිට එක්‌ චිත්තයක ම පෙනීම පිළිබඳ "තොරතුරු" ප්‍රමාණයක්‌ හා ස්‌පර්ශය පිළිබඳ ද "තොරතුරු" ප්‍රමාණයක්‌ ඇතුළත් වෙයි. අපට එක්‌ විට ස්‌පර්ශය පිළිබඳ මෙන් ම පෙනීම පිළිබඳ ව ද චිත්තයක්‌ ඇති වීම එසේ සකස්‌ වීමෙන් කෙරෙන්නේ යෑයි අපි ආකෘතියක්‌ සකස්‌ කරගනිමු. එය එක්‌තරා ප්‍රවාදයකි. ඒ ප්‍රවාදය නිවැරැදි යෑයි මෙයින් නො කියෑවෙයි. අපට අවශ්‍ය වන්නේ එක්‌වර එක්‌ චිත්තයක්‌ පමණක්‌ ඇති විට මේසය එක්‌වර පෙනෙන්නේ ද ස්‌පර්ශ කෙරෙන්නේ ද කෙසේ දැයි දැන ගැනීමට ය. මේ දැන ගැනීම් සියල්ල මනස විසින් සකස්‌ කරනු ලබන්නේ ය යන්න මෙහි දී වැදගත් වෙයි.

නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි වස්‌තුවක හැඩය, පාට, පිහිටි තැන, වේගය ආදිය එක විට දැනගත හැකි යෑයි අපි කියමු. මේ සියල්ල අපේ විඤ්ඤාණය වෙයි. ඒ විඤ්ඤාණ ඔස්‌සේ වස්‌තුවක්‌ ඇත ය යන විඤ්ඤාණය ද, විඤ්ඤාණ හා නාම රූප විසින් ම අත් කර දෙනු ලැබේ. අපට ඊනියා වස්‌තුවක්‌ ලෙස ග්‍රහණය කිරීමට ඉන්ද්‍රියයක්‌ නැත. අපට කළ හැක්‌කේ ඊනියා වස්‌තුවේ පාට, හැඩය, තද බව ආදිය ඉන්ද්‍රිය ඔස්‌සේ සකස්‌ කර ගැනීම පමණ ය. විඤ්ඤාණය හා නාම රූප එකතු වී අපට එක්‌ විට මැනිය හැකි පිහිටුම හා වේගය සහිත නිව්ටෝනීය වස්‌තු අපට සකස්‌ කර දෙයි. මෙහි දී කිව යුතු වැදගත් කරුණක්‌ වෙයි. එනම් පටිච්චසමුප්පාදයෙහි විඤ්ඤාණ පච්චයා නාම රූප, නාම රූප පච්චයා විඤ්ඤාණ ආදී වශයෙන් ද යෙදෙන බව ය.

නලින් ද සිල්වා