logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ජගත් පරිසර විමසුම 102 - ධනේෂ් විසුම්පෙරුම
ඩර්බන් දේශගුණ සමුළුව පිළිබඳ පශ්චාත් විශ්ලේෂණ

දකුණු අප්‍රිකාවේ ඩර්බන් හි දී පැවැති ජගත් දේශගුණ සමුළුවේ ප්‍රතිඵල පිළිබඳව විවිධ පාර්ශ්ව විවිධ අදහස්‌ දක්‌වා තිබේ. මෙහි දී මිශ්‍ර ප්‍රතිඵලයක්‌ ඇති වූ බවක්‌ මේ බොහෝ පාර්ශ්ව විසින් දක්‌වා ඇති අදහස වුවත් මේ නිසා යහපත් ප්‍රතිඵලවලට වඩා ඇති වී තිබෙන්නේ යම් පසුබෑමක්‌ යන අදහසට ද යම් පුළුල් පිළිගැනීමක්‌ ඇති බව මේ පිළිබඳ විවිධ පශ්චාත් විශ්ලේෂණ මගින් පෙනේ.

කියෝටෝ සන්ධානය

කියෝටෝ සන්ධානය තිබූ ආකාරයෙන් ම දීර්ඝ කිරීම සඳහා කාර්මික හෙවත් දියුණු රටවල් එකඟ වීම ඩර්බන් සමුළුවෙන් ලැබුණු වැදගත් සාධනීය ප්‍රතිඵලයකි. ඒ බව වැදගත් වන්නේ සන්ධානයට අඩු වශයෙන් වේගයෙන් දියුණු වන රටවල දායකත්වය ද තිබිය යුතු බව ඇතැම් දියුණු රටවල් විසින් පසුගිය කාලයේ දී නැවත නැවතත් පෙන්වා දී තිබීම නිසා ය.

මෙවැනි ඉල්ලීම් කළ රටවල් කිහිපයක්‌ අතරින් කැනඩාව කියෝටෝ සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ප්‍රකාශයට පත්ව තිබේ. කැනඩාවට කියෝටෝ ඉලක්‌ක අත්පත් කර ගැනීමට නො හැකි බව පැහැදිලි වී තිබූ රටකි. කැනඩාවේ මේ ක්‍රියාමාර්ගය ලෝකයේ බොහෝ රටවල දැඩි විවේචනයට ලක්‌ ව ඇතත්, රුසියාව වැනි වෙනත් රටවල් ද එවැනි පියවරක්‌ ගැනීමට ඉඩ තිබේ. රුසියාව මේ වන විටත් කැනඩාවේ තීරණයට සහයෝගය ලබා දෙන බව පවසා ඇති අතර නව සීමා කිරීම්වලට එකඟ නො වන බව ද ප්‍රකාශ කර තිබේ. කියෝටෝ සන්ධානයට අත්සන් කර නොමැති ඇමෙරිකාවේ දායකත්වය ද ඊට නො ලැබෙන නිසා සන්ධානයේ දෙවන අදියරක්‌ මගින් ලෝකයේ හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ඇති කළ හැක්‌කේ සුළු දායකත්වයක්‌ පමණක්‌ බව පෙනේ.

හරිත කාබන් අරමුදල

හරිත කාබන් අරමුදලට ද මුදල් ලබාදීමට මෙහි දී එකඟතාවයක්‌ ඇති වී ඇතත් ඒ සඳහා අදාළ මුදල් ලබා දීම ඒ ආකාරයෙන් ම සිදුවේ ද යන්න ලෝකය ඉදිරියේ ඇති ගැටලූවකි. 2020 වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 100ක්‌ මේ අරමුදලට අවශ්‍ය බව පිළිගෙන තිබේ. එහි අරමුණ වන්නේ දේශගුණ වෙනස්‌ වීමේ බලපෑමට අනුහුරු වීම සඳහා දිළිඳු රටවලට සහාය වීමට අවශ්‍ය මූල්‍ය හා තාක්‌ෂණික සහයෝගය ලබා දීම ය. විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමට පියවරක්‌ තවමත් පෙනෙන්නට නොමැති බැවින්, ඊට අනුහුරු වීමේ වැදගත්කම අමුතුවෙන් කිවයුතු නො වේ.

මින් ඉහත දී ද මේ අරමුදලට මුදල් ලබා දීමට දියුණු රටවල් පොරොන්දු දී ඇතත් මේ රටවල් සියල්ලේම ආර්ථිකය ලෝක ආර්ථික අර්බුදය නිසා පසුබෑමකට ලක්‌ වී තිබේ. එවැනි තත්ත්වයක්‌ හමුවේ ගෙන ඇති මේ උත්සාහය ද කෙතරම් සාර්ථක වේදැයි දන් ම පැවසීම අසීරු ය.

අනාගත ගිවිසුම

ඩර්බන් හි දී ඇති වූ වැදගත්ම එකඟතාව වන්නේ ලෝකයේ සියලූ රටවල් සහභාගි වන ප්‍රබල ගිවිසුමක්‌ ඇති කර ගැනීමට එකඟවීමය. එය එක්‌ අතකින් ජයක්‌ වුවත් තවත් අතකින් එය සමුළුවේ ප්‍රධානතම පසුබෑම ද වේ. ඒ අදාළ ගිවිසුම 2015 දී ඇතිකරගත්ත ද එය ක්‍රියාත්මක වන්නේ 2020 වර්ෂයේ දී පටන් වීම නිසා ය. (ඩර්බන් සමුළුවට පෙර පටන් මේ දින වකවානු සාකච්ඡාවට ලක්‌ වූ ආකාරය දැකිය හැකි විය. නිදසුනක්‌ ලෙස 2018 වැනි කාලයක දී මෙවැනි ගිවිසුමක්‌ ඇති විය හැකි බව ඇතැම් රටවල් විසින් පවසා තිබූ අතර ඇමෙරිකාව 2020 දිනය ලබා දුන්නේ ය)

මේ අනුව වඩාත් සරළව පවසන්නේ නම් ගැටලූව එසේ ම තිබිය දී ඊට ලබා දිය හැකි විසඳුම ක්‍රියාත්මක කිරීම දශකයකින් පමණ කල් දමා තිබේ. ලෝකය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගයේ බරපතළකම දේශපාලන නායකත්වය යළිත් වරක්‌ උවමනාවෙන් ම අමතක කර ඇති බව පැහැදිලි ය. මේ අතර පසුගිය සතියේ වාර්තා වූ පුවතකට අනුව මේ වන විට දේශගුණ වෙනස්‌වීම ප්‍රධාන පාරිසරික ගැටලූ අතරින් ද ඈත් වෙමින් තිබේ.

මේ අනුව විද්‍යාත්මක දත්ත මත පදනම් ව ඇතැම් පාර්ශ්ව විසින් පෙන්වා දී ඇති ආකාරයට සෙල්සියස්‌ අංශක දෙකේ සීමාව තුළ ලෝකයේ උෂ්ණත්ව ඉහළ යැම තබා ගැනීම අසීරු විය හැකි ය. ඒ අගය අංශක 3.5ක්‌ තරම් වීම නැවැත්වීම ද අසීරු විය හැකි බව පෙන්වා දී තිබේ. ඉන් ඇති විය හැකි ප්‍රතිවිපාක බරපතළ බව නැවත නැවතත් සඳහන් කළ යුතු යෑයි අපි නො සිතමු. එහි වඩාත් දැඩි ප්‍රතිවිපාක අත්විඳින්නට ලැබෙන්නේ දුප්පත් රටවලට ය. එවැනි කේවල් කිරීමක්‌ සිදුකිරීමේ හැකියාවක්‌ තබා ඇතැම් දියුණු වන රටවලට මේ ගැටලූවට විසඳුම් ලබා ගැනීමේ අවශ්‍යතාවයක්‌ ද ඇති බවක්‌ දැකිය නො හැකි ය. එහෙත් කුමක්‌ සඳහා වුවත් ලෝකයට ඇත්තේ මේ ක්‍රියාදාමය තුළ ම කටයුතු කිsරීම පමණි.

ඉඩම් කොල්ලයේ බරපතළ බව

ඉඩම් කොල්ලය යනුවෙන් හැඳින්වෙන්නේ දියුණු වන රටවල පිහිටා ඇති විශාල ඉඩම් විවිධ දේශීය හා බහුජාතික සමාගම් හෝ පුද්ගලයින් විසින් මිල දී ගැනීම හෝ දිගු කාලීන බදු යටතේ ලබා ගැනීමයි. මෙහි ඇති විශේෂ කරුණ වන්නේ මේ ආකාරයෙන් ලබාගන්නා විශාල ප්‍රදේශයේ නිෂ්පාදන මුළුමනින්ම පාහේ ජාත්‍යන්තර හෝ විදේශීය වෙළෙඳපොළ සඳහා වීම ය. ඒ නිසා අදාළ රටේ ආහාර වගා කළ හැකි බිම් ප්‍රමාණයක්‌ අහිමි විය හැකි ය. මෙය කලක පටන් සිදු වූ දෙයක්‌ වුවත් අද වන විට මෑත කාලයේ දී ඇති වූ ආර්ථික හා ආහාර අර්බුදයේ දී දියුණු හා පොහොසත් රටවල් අත් විඳි අවදානම් සහිත ස්‌වභාවය නිසා මේ ඉඩම් කොල්ලය ඉහළ ගියේ ය. තම රටේ අනාගත ආහාර සුරක්‌ෂිතතාව උදෙසා වෙනත් රටවල ඉඩම් මේ ආකාරයෙන් ලබා ගැනීම එහි අරමුණ විය. ඇතැම් අවස්‌ථාවල දියුණු රටවල් පමණක්‌ නොව ආර්ථික අතින් පොහොසත් දියුණු වෙමින් පවත්නා රටවල් හා එවැනි රටවල සමාගම් පවා මේ ඉඩම් කොල්ලයේ යෙදෙන ආකාරය දැකිය හැකි ය. මැද පෙරදිග රටවල් මේ අතර ප්‍රධාන වේ.

මේ පිළිබඳව මෑත දී නිකුත් වූ වාර්තාවකින් මේ තත්ත්වය බරපතළ බව පෙනේ. 2000-2010 අතර කාලයේ දී මේ ආකාරයෙන් ගිවිසුම් අත්සන් කළ හෝ සාකච්ඡාවට ලක්‌ව ඇති ඉඩම් ප්‍රමාණය හෙක්‌ටයාර මිලියන 203ක්‌ පමණ වේ. මේ ප්‍රමාණය මහා බ්‍රිතාන්‍යය මෙන් අට ගුණයක්‌ තරම් ය. අප්‍රිකාව මේ කොල්ලයෙන් වැඩිම තර්ජනයකට ලක්‌ව ඇති මහාද්වීපය වන අතර දෙවැනි තැනට එන්නේ ආසියාවයි.

උක්‌ත වාර්තාවට අනුව පැහැදිලි කරුණු කිහිපයක්‌ හඳුනාගත හැකි ය. ගත වූ 2005-08 අතර කාලයේ දී මේ ඉඩම් කොල්ලයේ ඇති වූ සීඝ්‍ර වර්ධනය ඉදිරියේ දී අඩු විය හැකි නමුත් මේ ප්‍රවණතාවය තවත් කාලයක්‌ පුරා පැවතිය හැකි ය. මේ ඉඩම් කොල්ලය නිසා අදාළ දියුණු වන රටවල ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය හා ඉඩම් පිළිබඳ අයිතියේ දැඩි ගැටලූ ඇති වී තිබේ. දිළිඳු ජනතාවට මේ මගින් ලැබෙන්නේ අඩු ප්‍රතිලාභයක්‌ වන අතර ඔවුන්ට අහිමිවන දේ අධික ය. ඇතැම් රටවල දැකිය හැකි ඉඩම් අයිතිය පිළිබඳ නෛතික අඩුපාඩුකම් හා සම්ප්‍රදායික ඉඩම් භුක්‌ති ක්‍රමවේද නිසා ඉඩම් සමාගම් සතු කිරීම පහසු වී තිබේ. මේ ඉඩම් කොල්ලය නිසා පීඩාවට පත්වන ජනතාව දරිද්‍රතාවයෙන් තවදුරටත් පීඩාවට පත්වීම වැළැක්‌වීමට අදාළ රටවල ආණ්‌ඩු ක්‍රියා නො කිරීම තවත් ගැටලූවකි. එසේම මෙවැනි කරුණුවල දී ජාත්‍යන්තර නීතිය මගින් ද ප්‍රමාණවත් තරම් ආවරණයක්‌ නො ලැබේ. (මූලාශ්‍රය( Land Rights and the
Rush for Land: Findings of the Global Commercial
Pressures on Land Research Project,
http://www.landcoalition.org/cpl/CPL-synthesis-
report&

පුවත් සැකෙවින්

දේශගුණ වෙනස්‌ වීමට මානව දායකත්වය ගණනය කිරීම

පසුගිය වර්ෂ හැටක පමණ කාලය තුළ ලෝකයේ ඇති වී තිබෙන දේශගුණ වෙනස්‌ වීමෙන් 74%ක්‌ පමණ මිනිසුන් ගේ ක්‍රියාකාරකම් නිසා ඇති වී තිබෙන බව අධ්‍යයනයක්‌ මගින් පෙන්වා දී තිබේ. ඒ අනුව 1950 ගණන්වල සිට මේ දක්‌වා ලෝකයේ උෂ්ණත්වය ඉහළ යාම සඳහා හරිතාගාර වායු මගින් දක්‌වා ඇති දායකත්වය සෙල්සියස්‌ අංශක 0.85ක පමණ වේ. එහෙත් ඉන් අඩක්‌ පමණ වාතිලන හෙවත් එයරොසාලවල සිසිලනය මගින් හිලව් වේ. කෙසේ වෙතත් ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 0.56කින් පමණ ඉහළ ගොස්‌ ඇත. ඒ අනුව හරිතාගාර වායුවලින් ලෝක උෂ්ණත්ව ඉහළ යාමෙන් 74%ක්‌ පමණ ඇති වී තිබේ. ස්‌වභාවික දේශගුණික විචල්‍යතාවල බලපෑම නිසා ඇති වී ඇත්තේ දේශගුණ වෙනස්‌ වීමෙන් හතරෙන් පංගුවක්‌ පමණ ප්‍රමාණයකි.

මේ අධ්‍යයනය දේශගුණ ආකෘති මත සිදුකරන ලද්දකි. ඒ සඳහා යොදාගෙන ඇත්තේ 1950 ගණන්වල සිට මේ දක්‌වා කාලය තුළ පෘථිවියට ඇතුළුවන හා ඉන් පිටවන තාප ශක්‌තියේ හෙවත් පෘථිවියේ ශක්‌ති සමතුලිතතාවයේ ඇති වී තිබෙන වෙනස යි. මේ මගින් හෙළි වී ඇති කරුණු ද වෙනත් ක්‍රමවේද මගින් පෙන්වා දී ඇති කරුණු හා සමාන වේ. (මූලාශ්‍රය( Nature
Geoscience, DOI: doi:10.1038/
ngeo1327)

ආහාර ඉල්ලුම 2050 දී දෙගුණ වේ

2050 වර්ෂය වන විට ලෝක ආහාර ඉල්ලුම අද මෙන් දෙගුණයක්‌ පමණ ඉහළ යා හැකි බව නවත ම වාර්තාවක්‌ ප්‍රක්‌ෂේපනය කර තිබේ. මේ ආහාර ප්‍රමාණය සැපයීමේ දී විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුවන බව ප්‍රකට කරුණකි. එහෙත් මෙහි දී අමතක වූ වැදගත් කරුණක්‌ වන්නේ එහි දී පිටවන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය හා භාවිත කරන නයිට්‍රජන් පොහොර නිසා ඇති වන බලපෑම ය.

නිදසුනක්‌ ලෙස වර්තමාන තත්ත්වය යටතේ 2050 දී උක්‌ත ආහාර සැපයුම ලබා දීමට හෙක්‌ටාර බිලියන 1ක්‌ පමණ භූමියක්‌ හෙළි පෙහෙළි විය හැකි ය. ඒ නිසා නිකුත් වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය වර්ෂයකට ගිගාටොන් බිලියන 3 ක්‌ පමණ විය හැකි ය. එසේම නයිට්‍රජන් පොහොර මෙගාටොන් 250ක්‌ පමණ වර්ෂයක්‌ සඳහා වැය විය හැකි ය. කෙසේ වෙතත් අධික අස්‌වනු ලබා දෙන ක්‍රමවේද ලෝකය පුරා භාවිතයට ගත යුතු අතර, නයිට්‍රජනීය පොහොර වඩා කාර්යක්‌ෂම ලෙසින් යොදා ගැනීමෙන් ද මේ ප්‍රමාණ අඩු කළ හැකි බව උක්‌ත වාර්තාවෙන් පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය( Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1116437108)
ගංගා නදියේ ආරක්‌ෂාව සඳහා නීතිය

ඉන්දියාවේ පූජනීය ජල මාර්ගයක්‌ සේ සැලකෙන ප්‍රකට ගංඟා නදියේ ජල දූෂණය කලක්‌ තිස්‌සේ බොහෝ සේ සාකච්ඡාවට ලක්‌ව තිබූ කරුණකි. වාසනාවකට මෙන් මේ ජල දූෂණය අඩු කිරීම සඳහා මෑත දී වරින් වර නීතියේ පිහිට ලැබී තිබේ. කාන්පූර් නගරයේ පිහිටා ඇති සම් පදම්කරන කම්හල් සියයක්‌ පමණ වසා දමන ලෙස උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ අලහබාද් අධිකරණය මෑත දී තීන්දු කළේ ය. එසේම නදියේ ජල ගැලූම් නිම්නයේ පිහිටුවීමට නියමිතව තිබූ නිවාස යෝජනා ක්‍රමයක්‌ හා අධිවේගී මාර්ගයක්‌ සීමා කිරීමට ද අධික ලෙස ගංගා ජලය වාරිමාර්ග සඳහා යොදා ගැනීම සීමා කිරීමට අධිකරණය මැදිහත් වී ඇත.

ධනේෂ් විසුම්පෙරුම