logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


පැවැත්ම, ඉන්ද්‍රිය හා විඤ්ඤාණ

වස්‌තුවක පැවැත්ම යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද? පුටු, මේස, ඉර හඳ, තාරකා ආදිය මෙන් ම මිනිසුන් ද වෙනත් සතුන් ද පවතින්නේ යෑයි අපි කියමු. ඒ අතර ඇතැම්හු දෙවියන් නැතැයි කියති. තවත් සමහරුන්ට අනුව ගුරුත්වාකර්ෂණ බලයක්‌ ඇත. මෙහි දී අප යමක්‌ ඇතැයි හෝ නැතැයි හෝ කීමට යොදා ගන්නා නිර්ණායකයක්‌ වේ ද? අප පුටු මේස ආදිය ඇතැයි යනුවෙන් ගන්නේ එවැනි අවස්‌ථාවල ඒ වස්‌තු පංෙච්න්ද්‍රියන් ගෙන් ඉන්ද්‍රිය එකකට හෝ ගෝචර වන බැවින් යෑයි උපකල්පනය කරමු. ඒ සමඟ මනසට ද ඒ ගෝචර වෙයි. එසේ නො වුව හොත් අපට පුටුවක්‌ යනුවෙන් වස්‌තුවක්‌ ඇතැයි කීමට නො හැකි ය. කැමරාවකට පුටුව හසු වන නමුදු කැමරාවට දැනෙන ලෙස පවතින පුටුවක්‌ නැත. එයට හේතුව පුටුවට මනසක්‌ නොමැති වීම ය.

අපට එලෙසම ඈතින් ගසක්‌ දැකිය හැකි ය. අපි ගස පවතින්නේ යෑයි කියමු. එහෙත් අපට මිරිඟුව ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? මිරිඟුව පවතින්නේ ද? මිරිඟුව අපට පෙනෙයි. එමෙන් ම එය මනසට ද දැනෙයි. කෙටියෙන් කිව හොත් අපට මිරිඟුව පිළිබඳ චක්‌ඛු විඤ්ඤාණයක්‌ වෙයි. එහෙත් අපි මිරිඟුව නො පවතින්නේ යෑයි කියමු. අප ඈතින් දකින ගස ඇතැයි කියන්නේත්, පවතින බව කියන්නේත්, ඈතින් දකින මිරිඟුව නො පවතින්නේ යෑයි කියන්නේත් ඇයි? කෙනකු කියනු ඇත්තේ මිරිඟුව ඇතැයි කියන තැනට ගිය විට එතැන මිරිඟුවක්‌ නො පවතින බව අපට දැනගැනීමට හැකි වනු ඇති බව ය.

එහෙත් කුඩා ළමයකුට මේ කතාව තේරුම් ගත හැකි ද? අප මෙන් ම කුඩා ළමයි ද ඈතින් පිහිටි මිරිඟුව දකිති. අප කුඩා ළමයින් මිරිඟුව පිහිටි තැනට එක්‌ කරගෙන ගිය හොත් ඔවුනට ද එතැන මිරිඟුව නොමැති බව දැනෙනු ඇත. එහෙත් එපමණකින් ඔවුන් මිරිඟුව නො පවතින බව කියා වි ද? ඔවුන් බොහෝ විට අසනු ඇත්තේ මිරිඟුව කොහේ ගියා ද කියා ය. කුඩා ළමයකුට මිරිඟුව පවතින්නේ යෑයි සිතිය හැකි ය.

එහෙත් කුඩා ළමයා තරමක්‌ වැඩුණු පසු මිරිඟුවක්‌ නො පවතින බව දැනගනු ඇත. ඒ සමාජය විසින් ළමයාට එසේ සිතීමට පුරුදු කරනු ලබන බැවිනි. තවත් කලක්‌ ගත වී කිනම් හේතුවක්‌ හෝ නිසා බටහිර භෞතික විද්‍යාව ඉගෙනීමට පටන් ගත් විට මිරිඟුව යනු ඈත පිහිටි ගසක ගොඩනැඟිල්ලක වැනි වස්‌තුවක පූර්ණ පරාවර්තනයෙන් නිර්මාණය වන ප්‍රතිබිම්බයක්‌ බව දැනගනු ඇත. එය පූර්ණ පරාවර්තනයෙන් ඇති වන්නේ කෙසේ ද යන්න ඉගෙන ගනු ඇත. එවැනි පූර්ණ පරාවර්තනයක්‌ ඇති වන්නේ කිනම් අවශ්‍යතා යටතේ ද යන්න ද ළමයා ඉගෙනු ගනු ඇත.

ඔහු මිරිඟුව පමණක්‌ නො ව තල දර්පණයක ඇති වන ප්‍රතිsබිම්බය ද නො පවතින බව සමාජයෙන් ද පසුව බටහිර භෞතික විද්‍යාවෙන් ද ඉගෙන ගනියි. එවැනි ප්‍රතිබිම්බයක්‌ ඇති වීමට තල දර්පණයක්‌ සහ වස්‌තුවක්‌ මෙන් ම ආලෝකය ද අවශ්‍ය බව බටහිර භෞතික විද්‍යාව කියා දෙයි. ප්‍රතිබිම්බය ද මිරිඟුව ද මායාවන් පමණක්‌ බව සමාජය කියා දෙයි. අපේ ඇස්‌වලට පෙනුණ ද, මනසට දැනුණ ද එසේ දැනෙන සැම අවස්‌ථාවක ම වස්‌තු=වක්‌ පවතින්නේ යෑයි කීම වැරැදි බව ප්‍රතිබිම්බය හා මිරිඟුව ආශ්‍රයෙන් අපි ඉගෙන ගනිමු.

එහෙත් ඒ බටහිර දැනුම ය. ඈතින් ගසක්‌ ඇති බවත් ඒ ගස අප සිටියත් නැතත් පවතින බවත් (ගස මැරෙන තෙක්‌) එහෙත් මිරිඟුව ඇති වන්නේ යම් යම් අවශ්‍යතා යටතේ අපට බවත් ඒ අවශ්‍යතා නොමැති ව අපට මිරිඟුවක්‌ දැකිය නො හැකි බවත් අපි ඉගෙන ගන්නෙමු. උදාහරණයක්‌ ලෙස ගත හොත් වාතය රත් වී නොමැති විට මිරිඟුව දැකගත හැකි නො වේ. බටහිර විද්‍යාවට අනුව ගසට අප නොමැති ව වුවත් පැවතිය හැකි නමුත් මිරිඟුව, අප හා ගස (මිරිඟුව ගසක ප්‍රතිබිම්බය ලෙස ගනිමින්) නොමැති ව නො පවතින බව අපි දැනගනිමු. බටහිර දැනුමට අනුව ගසට ඊනියා වාස්‌තවික පැවැත්මක්‌ ඇත. එහෙත් මිරිඟුවට එවැනි පැවැත්මක්‌ නැත.

අපි ඈත අවකාශයේ තාරකා දකිමු. මේ තාරකා පවතින්නේ ද? අපට තාරකා තිබෙන තැන්වලට හෝ ඒ ආසන්නයට හෝ යා හැකි නම් එවිට එතැන්හි තාරකා නැති බව අපට දැනගැනීමට ලැබේ වි ද? මිරිඟුව ආසන්නයට ගිය විට එය නැති බව දැනගන්නා ආකාරයට තාරකා ආසන්නයට ගිය විට ඒවා නැති බව දැනගැනීමට හැකි වන්නේ ද? එතරම් ඈතට නො ගිය ද ඉර හා හඳ පවතින බව අප දන්නේ කෙසේ ද? ඒ සියල්ල යම් ආකාරයක මිරිඟු වේ ද? අප යමක්‌ පවතින බව දැනගැනීමට යොදා ගන්නා, යොදාගත යුතු නිර්ණායක කවරේ ද?

අපේ ඇසට පෙනුණු පමණින් යමක්‌ නො පවතින බවට හොඳ ම උදාහරණය මිරිඟුව වෙයි. මිරිඟුව ඇසට පෙනෙන්නේ එය මනස විසින් ද ග්‍රහණය කරගනු ලබන බැවිනි. පෙනීම සඳහා මනස අනිවාර්ය වන බව අප නැවතත් අවධාරණය කළ යුතු ය. මළ සිරුරකට ද ඇස්‌ ඇති නමුත් ඒ සිරුරට කිසිවක පැවැත්මක්‌ නැති බව පැහැදිලි ය. අප යමක්‌ පවතින බව දැනගැනීම සඳහා එය පිහිටියේ යෑයි අප සිතන තැනට හෝ ඒ ආසන්නයට හෝ ගොස්‌ එය දැක බලාගත යුතු ද? එතැනට ගිය විට යමක්‌ නො පෙනේ නම් අප කලින් දැක ඇත්තේ මිරිඟු=වක්‌ වැන්නක්‌ බව අප නිගමනය කළ යුතු ද? ඒ අරුතින් ගත හොත් තාරකාවල පැවැත්ම පිළිබඳව අපට කිසි දිනෙක සෑහීමකට පත් වීමට හැකි ද?

ඇස ගැන අපට එසේ ප්‍රශ්න පැන නඟිද්දී, එනම් යමක්‌ දුටු පමණින් එය පවතින්නේ යෑයි, ඇතැයි කිව නො හැකි නම් අනෙක්‌ ඉන්ද්‍රිය ගැන ද අපට එවැනි ම නිගමනයකට පැමිණිමට හැකි ද? අපට ස්‌පර්ශ කළ හැකි වූ පමණින් (මේ සියලු අවස්‌ථාවල මනස ද ක්‍රියාත්මක වන බව අමතක නො කළ යුතු ය) එය පවතින බව අපට කිව හැකි ද? ස්‌පර්ශ කිරීම යනු අපේ ශරීරය (සම) යමක්‌ සමඟ ගැටීම ය. එසේ ගැටුණු විට අපි ඒ වස්‌තුව පවතින බව කියමු ද? අපට මේසයක්‌ පොතක්‌ ස්‌පර්ශ කළ හැකි ය. එසේ ම පොත මේසය ආදිය දැක බලාගත හැකි ය. ඒ ආසන්නයේ දී සිදු වන ක්‍රියාවන් ය. ඈත ඇතැයි සිතෙන වස්‌තුවක්‌ (මිරිඟුවක්‌ ද ඇතුළු) දැකගත හැකි වුව ද, ඈත ඇතැයි සිතෙන වස්‌තුවක්‌ ස්‌පර්ශ කළ නො හැකි ය. ස්‌පර්ශය ආසන්නයේ දී සිදු වෙයි. ආසන්නයේ දී මනසේ ද සහභාගීත්වයෙන් ඉන්ද්‍රිය (පංෙච්න්ද්‍රියන්ට) ගෝචර වන වස්‌තුන් නිසැකව පවතින බව අපි කියමු ද?

ස්‌පර්ශයට මෙන් ම දිවට ද මනස සමඟ එක්‌ වීමෙන් ගෝචර වන්නේ ආසන්න වස්‌තු ය. අපට යම් වස්‌තුවක රස දැනීමට නම් ඒ වස්‌තුව දිව සමඟ ගැටිය යුතු ය. ඈත ඇතැයි සිතෙන වස්‌තුවක රස බැලීමට අපට නො හැකි ය. අපට ඈත ඇතැයි සිතෙන වස්‌තු ස්‌පර්ශ කිරීමට හෝ එහි රස බැලීමට හෝ නො හැකි ය. එබැවින් ඒ ඉන්ද්‍රිය දෙක, එනම් සම හා දිව, ඇසට වඩා වෙනස්‌ ය. එහෙත් කණ සහ නාසය ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? ඒ ඉන්ද්‍රිය දෙකට ද ඇසට මෙන් දුරින් ඇතැයි සිතෙන වස්‌තු ගෝචර වෙයි.

අපට ඈතින් කුරුල්ලකු ගේ හඬ ඇසෙයි. ඒ කුරුලු නාදය නඟන කුරුල්ලා අපට ඇතැම් විට දැකගැනීමට ද නො හැකි ය. බටහිර භෞතික විද්‍යාවට අනුව ආලෝක කිරණ සාමාන්‍ය අවස්‌ථාවන්හි දී සරල රේඛා දිගේ ගමන් කරයි. ආලෝක කිරණ ස්‌කන්ධය විශාල වූ වස්‌තු මඟින් වක්‌ වීමට භාජන කරන්නේ යෑයි සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ඉගැන්වෙයි. අප සාමාන්‍ය අවස්‌ථා ගැන පමණක්‌ කල්පනා කළ හොත් අපට පෙනෙන්නේ අපේ ඇස්‌ ඉදිරියෙහි ඇස සමඟ සරල රේඛාවක පිහිටි වස්‌තු ය. ඇස ක්‍රියා කරන අන්දම සැලකූ විට ඇස්‌ ඉදිරියෙහි යම් ඝන කෝණයක පිහිටි වස්‌තු අපට පෙනෙයි. කාන්තාවන් ගේ ඇස්‌ සකස්‌ වී ඇති ආකාරය අනුව ඔවුන් ගේ කෝණය පිරිමින් ගේ කෝණයට වඩා වැඩි බව පැහැදිලි ය. නෙතගිsන් බලන කාන්තාවන් ගැන සඳහන් වන්නේ එබැවිනි.

ඇස එසේ වුව ද කණට එවැනි ප්‍රශ්නයක්‌ නැත. පිටුපසින් එන ශබ්ද ද අපට ඇසෙයි. බටහිර භෞතික විද්‍යාවට අනුව එසේ සිදු වන්නේ ශබ්ද තරංග ආලෝක කිරණ මෙන් සරල රේඛාවල පමණක්‌ ගමන් නො කරන බැවිනි. කණට ශබ්ද තරංග ඉදිරියෙන් පමණක්‌ නො ව වෙනත් පැතිවලින් ද ඇතුළු විය හැකි ය. අපේ දෘශ්‍ය පරාසයට වඩා ශ්‍රව්‍ය පරාසය පළල් වෙයි. එහෙත් ඈතින් බල්ලකු බුරන හඬ ඇසුණ ද අපට ඈත බල්ලකු ඇතැයි (පවතී යෑයි) ගත හැකි ද? අපට ඇසෙන්නේ බල්ලකු බුරන හඬ පමණකි. සමාජය විසින් අපට ඒ බල්ලකු ගේ හඬ යෑයි උගන්වනු ලැබ ඇත. එහෙත් බුරන ශබ්දයක්‌ ඇසූ පමණින් අපට බල්ලකු ඇතැයි කිව නො හැකි ය. වත්මන් තාක්‍ෂණයට පෙර එසේ කිව හැකි ව තිබුණ ද දැන් යමකුට බල්ලකු බුරන හඬ පටිගත කර ඒ හඬ අපට පිටුපසින් ඇසීමට සැලැස්‌විය හැකි ය.

චිත්‍රපටයක්‌ ටෙලි නාට්‍යයක්‌ නැරඹීමේ දී අපට තිරයේ දිස්‌ වන රූපය පවතින්නක්‌ නො වන බවත් ඒ හුදු ප්‍රතිබිම්බයක්‌ පමණක්‌ බවත් අපි දනිමු. එය එසේ වෙන් කර ගැනීමට අපට සමාජය (බටහිර භෞතික විද්‍යාව) උගන්වා ඇත. එහෙත් අපට පිටුපසින් ඇසෙන ශබ්ද ගැන අපට එසේ කිව නො හැකි ය. ඒ ශබ්දය පවතින වස්‌තුවකින් ලැබෙන මුල් ශබ්දයක්‌ ද එසේ නැත්නම් පටිගත කරන ලද ශබ්දයක්‌ දැයි කීමට අපට නො හැකි ය. මෙහි දී අප තවත් කරුණක්‌ ගැන ද සැලකිලිමත් විය යුතු ය. අද සම්මත හා අධිපතිවාදී දැනුම වූ බටහිර විද්‍යාවට (භෞතික) අනුව ආලෝකයට රික්‌තයක වුව ද ගමන් කිරිමට හැකි වුව ද ශබ්දයට එසේ කළ නො හැකි ය. ශබ්දය ගමන් කිරීමට මාධ්‍යයක්‌ අවශ්‍ය ය.

ශබ්ද තරංග ගමන් කරන්නේ මාධ්‍යයක බැවින් රික්‌තයක සිටින නිරීක්‍ෂකයකුට, කණ නමැති අවයවය තිබුණ ද කිසිවක්‌ නො ඇසෙයි. සූර්යයා ගෙන් නිකුත් වන ආලෝක ධාරා පොළොවෙහි සිටින අපට ලැබුණ ද ඉන් නිකුත් වන ශබ්ද තරංග අපට කිසි දිනෙක නො ලැබෙයි. එයට හේතුව සූර්යයා හා පොළොව අතර රික්‌තයක්‌ වීම ය. නාසය සම්බන්ධයෙන් ද එවැනි ක්‍රියාවලියක්‌ සිදු වෙයි. අපට නාසයට ළං කළ මලක පමණක්‌ නො ව දුර තිබෙන මලක ද සුවඳ දැනෙයි. එහෙත් මලෙන් සුවඳ ලැබෙන්නේ ඉන් නිකුත් කෙරෙන යම් රසායනයක්‌ අපේ නාසයට ලැබීම හේතුවෙනි. යම් අයුරකින් ඒ රසායන නාසයට ළඟා නො වන්නේ නම් අපට එහි සුවඳ නො දැනෙයි. අනෙක්‌ අතට යම් වස්‌තුවක සුවඳ දැනීම සඳහා ඒ වස්‌තුව නාසය ඉදිරිපිට තිබීම ද අවශ්‍ය නො වේ. අපට පිටුපසින් ඇති මල්වල ද සුවඳ දැනෙයි.

ඉහතින් සඳහන් කරන ලද්දේ අපේ පංෙච්න්ද්‍රියන් මනස සමඟ එක්‌ වී ඇති කරන විඤ්ඤාණ පිළිබඳව ය. රූපයක්‌ පෙනීම, ගඳක්‌, සුවඳක්‌ දැනීම, රසයක්‌ දැනීම ආදිය විඤ්ඤාණ පහළ වීමෙන් සිදු වෙයි. එහෙත් අප මතක තබාගත යුත්තක්‌ නම් මෙහි සඳහන් වී ඇත්තේ බටහිර විද්‍යාව ආධිපත්‍යය දරන වත්මන් සමාජයෙන් අපට ලැබී තිබෙන දැනුම පදනම් කරගත් විඤ්ඤාණ ය. ඒ විඤ්ඤාණ ගැන සලකා බැලීමේ දී අපට හැඟෙන කරුණක්‌ නම් මනස ශරීරය තුළ ක්‍රියාත්මක වන්නක්‌ බව ය. අපට මනෝ කායක්‌ ඇතැයි මෙහි කිසිසේත් සඳහන් නො වේ. අප එකිනෙකා ගේ මනෝ කාය කෙතරම් දුරට විහිදෙන්නේ ද ආදිය ගැන ඉහත සඳහන් දැනුමෙන් නිගමනවලට පැමිණීමට නො හැකි ය. එසේ නොහැකි වීම බටහිර විද්‍යාවේ ප්‍රශ්නයක්‌ මිස අපේ ප්‍රශ්නයක්‌ නො වේ. එහෙත් අද බටහිර විද්‍යාවෙන් ම මෙයට පටහැනි නිරීක්‍ෂණ ලැබෙයි. විශේෂයෙන් ම ස්‌පර්ශය සම්බන්ධයෙන් බටහිර විද්‍යාවේ වෙනත් නිරීක්‍ෂණ තිබේ.

මහාචාර්ය නලින් ද සිල්වා