logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මොළයට වඩා මනස ප්‍රධාන වේ

ඒ ඒ අවයවයේ සිට මොළයට ඇති දුර අනුව අදාළ අවයවයේ සිට මොළයට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට ගත වන කාලය වෙනස්‌ විය යුතු යෑයි අප කියන්නේ මේ තොරතුරු මොළයට ගෙන යන යම් ද්‍රව්‍යයක්‌ (නියුරෝන හෝ වෙනත් යමක්‌ හෝ) යම් වේගයකින් චලනය වන බැවිනි. මේ වේගය ආලෝකයේ වේගයට වැඩි වීම අපට ප්‍රශ්නයක්‌ නො වේ. එය ප්‍රශ්නයක්‌ වන්නේ අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාදයට ය. යම් හෙයකින් මේ වේගය අනන්තයක්‌ වන්නේ නම් එවිට තොරතුරු ගෙන යැමට කිසිදු කාල ප්‍රාන්තරයක්‌ ගත නො වන්නේ යෑයි කිව හැකි ය.

අපේ ප්‍රවාදය හෙවත් කතාන්දරය අනුව මොළයේ ඒ ඒ ප්‍රදේශ ක්‍රියාත්මක වන පිළිවෙළ (පටිපාටිය) මනසෙහි සිත් පහළ වන පටිපාටිය ම වීම අවශ්‍ය නො වේ. මනස යනු සිත් පන්තියක්‌ බැවින් මනසෙහි සිත් පහළ වීම යන්න හුදු ප්‍රකාශනයක්‌ පමණක්‌ බව අමතක නො කළ යුතු ය. සිතක්‌ ඇති වී නැති වී යයි. මෙහි දී ප්‍රශ්නය වනුයේ සිත ඇති වී කෙතරම් කාලයක්‌ පවතින්නේ ද යන්න ය. එය චිත්තක්‍ෂණයක්‌ ලෙස බෞද්ධ සාහිත්‍යයෙහි, විශේයෙන් ම සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි හැඳින්වෙයි. චිත්තයකට උප්පාද, තිථි භංග යනුවෙන් අවස්‌ථා තුනක්‌ වේ යෑයි සිංහල ථෙරවාද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. තිථිය යනු ඉපදුණු චිත්තය නැති වීමට පෙර පැවතීමයි. චිත්තය පවතින චිත්තක්‍ෂණය අර්ථ දක්‌වන්නේ කෙසේ ද? එයට පැහැදිලි පිළිතුරක්‌ නැත.

සෞත්‍රාන්තිකයෝ මෙයට වෙනස්‌ මඟක්‌ ගත් හ. සෞත්‍රාන්තික යන්නෙහි තේරුම සූත්‍රවලින් එහාට නො යන බව ය. සියල්ල සූත්‍රවලින් කෙළවර වෙයි. ඔවුන් සූත්‍ර ලෙස ගන්නේ සූත්‍ර පිටකය හා විනය පිටකය ය. සෞත්‍රාන්තිකයෝ අභිධර්ම පිටකය ගැන සැලකිල්ලක්‌ නො දක්‌වති. ඔවුනට අනුව චිත්තයක්‌ ඇති වී නැති වී යයි. එහි උප්පාද භංග මිස තිථියක්‌ හා එම නිසා චිත්තක්‍ෂණ ද නැත. මේ වෙනස ගැටලුවක්‌ බව පැහැදිලි ය. අභිධර්ම පිටකයෙහි මෙය මෙසේ සඳහන් වී ඇත යන්න මේ ප්‍රශ්නයට තබා කිසි ම ප්‍රශ්නයකට වත් පිළිතුරක්‌ නො වේ. බුද්ධ වචනය කුමක්‌ දැයි පැහැදිලිව නො දන්නා කල අපි අසීරුවට පත් වෙමු.

චිත්ත, චෛතසික හා රූප පරමාර්ථ ධර්ම ලෙස ගත් කල චිත්තයක්‌ යනු තවදුරටත් කුඩා චිත්තවලට නො බිඳිය හැකි ධර්මතාවක්‌ ලෙස සැලකෙයි. එහෙත් මෙසේ කුඩා කොටස්‌වලට නො බිඳිය හැකි ය යන්නෙන් කියෑවෙන්නේ කා හට කුමකට සාපේක්‍ෂව ද? පසුගිය දා අපවත් වී වදාළ බෝධි හිමියන් එයට පිළිතුරක්‌ ලෙස දී ඇත්තේ මනසට ගෝචර වන කුඩා ම චිත්තය මෙහි දී පරමාර්ථය ලෙස සැලකෙන බව ය. එහෙත් ඒ හිමියන් මනස ගැන වැඩි විස්‌තරයක්‌ නො කිරීමෙන් අප තවත් ගැටලුවකට යොමු කෙරෙයි.

මනස යනු චිත්ත පේළියක්‌ නම් චිත්තය මනසට ද මනස චිත්තයට ද සාපේක්‍ෂ වෙයි. චක්‍රීය චින්තනයක මෙය ගැටලුවක්‌ නො වේ. එවැනි සාපේක්‍ෂතාවක්‌ ගැටලුවක්‌ වන්නේ රේය චින්තනයක ය. චිත්ත යන සංකල්පය මෙන් ම මනස යන සංකල්පය ද මනසේ නිර්මාණ (සකස්‌ කිරීම්) වෙයි. අප විසින් විටින් විට සඳහන් කෙරී ඇති සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි මෙය යම් ප්‍රමාණයකට විස්‌තර කෙරී ඇත. අපි පසුව එය තවදුරටත් විස්‌තර කරමු. එහෙත් දැනට කිව යුත්තේ ඊනියා ක්‍ෂණයකට වුව ද පවතින මනසක්‌ හෝ චිත්තයක්‌ හෝ ගැනීම ආත්මවාදී වන බව ය. එසේ පවතින බව පෙන්වීම සඳහා අභිධර්මයෙහි ඇතැයි කියා ධර්මවාදය යොදාගැනීම නිෂ්ඵල කාර්යයකි. ධර්මයක්‌ ක්‍ෂණයකට (අර්ථ නො දක්‌වන ලද ක්‍ෂණයකට) වුවත් පවතින්නේ යෑයි ගැනීම ක්‍ෂණ ආත්මවාදයක්‌ ලෙස හැඳින්විය හැකි ය.

අපි නැවතත් අපේ පළමු ප්‍රශ්නයට යමු. සිත් ඇති වී නැති වී යැම ම හුදු ප්‍රකාශනයක්‌ පමණකි. අපේ පහසුවට අපි චිත්තය යනුවෙන් සංකල්පයක්‌ නිර්මාණය කරගෙන සිටිමු. මේ චිත්ත විවිධ තැන්වල ඇති වෙයි. ඇති වන්නේ හා නැති වන්නේ අප තනාගෙන ඇති සංකල්ප බව ද මෙහි දී සඳහන් කළ යුතු ය. අප ලෝකය යනුවෙන් ගන්නේ අපෙන් ස්‌වායත්ත ව පවතින වාස්‌තවික වූවක්‌ නො ව අප විසින් නිර්මාණය කරන ලද සංකල්ප කුලකයකි. චිත්තය ද මේ සංකල්ප කුලකයෙහි තවත් අවයවයක්‌ පමණකි. මනස ඇතුළු සියලු සංකල්ප මනසේ නිර්මාණ වෙයි.

අපේ ප්‍රශ්නය වූයේ චිත්ත ඇති වීමේ පිළිවෙළ මොළයේ අදාළ ප්‍රදේශ ක්‍රියාත්මක වීමේ පටිපාටිය සමඟ එකඟ වන්නේ ද යන්න ය. ඒ ප්‍රශ්නයට අපේ පිළිතුර වනුයේ එසේ එකඟ වීම අනිවාර්ය නො වන බව ය. පාදයක්‌ මදුරුවකු කෑමට පසුව නාසයට දැනෙන ගඳක්‌ සුවඳක්‌ පිළිබඳ තොරතුරු මොළයට දැනීම පටිපාටිය වෙනස්‌ වී සිදු විය හැකි බව අපේ නිගමනය වෙයි. පාදයේ සිට මොළයට ඇති දුර නාසයේ සිට මොළයට ඇති දුරට වැඩි නිසා එය එසේ සිදු වන්නේ යෑයි අපි කියා සිටිමු. අවශ්‍ය නම් මෙය යමකුට පර්යේෂණයක්‌ කර විසගත හැකි ය. අපි මෙහි දී බටහිර විද්‍යාවට යට වී ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක්‌ අනුගමනය නො කරන්නෙමු. අප බටහිර විද්‍යාඥයන්ට කියා සිටින්නේ ඔවුන් ගේ ක්‍රමයට අනුව අපේ දැනුමක්‌ පිරික්‌සා බලන ලෙස ය. එහෙත් ඒ පරීක්‍ෂණයේ ප්‍රතිඵල සමඟ අප නිවැරැදි බව පෙනී ගිය හොත්, එයින් කියෑවෙන්නේ මනස හා මොළය යනු දෙකක්‌ පමණක්‌ නො ව මොළය ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදු වන්නේ මනස ක්‍රියාත්මක වීමෙන් පසුව බව ය.

එවැන්නක්‌ බටහිර විද්‍යාවට පහරක්‌ වනු ඇත. බටහිර විද්‍යාව සැම ප්‍රපංචයක්‌ ම ද්‍රව්‍යයට ඌනනය කිරීමට උත්සාහ කරයි. ඔවුන් මනස ද, මොළයේ ක්‍රියාකාරකම්වලට ඌනනය කිරීමට උත්සාහ කරන්නේ එබැවිනි. බටහිර විද්‍යාවට අනුව ඩාවින් ගේ විකාශයට හසු වන සත්ත්වයා අවසානයේ දී මිනිසා බවට පත් වෙයි. ඒ මිනිසාට මොළයක්‌ ද වෙයි. බටහිර විද්‍යාඥයන්ට මොළයේ ක්‍රියාකාරිත්වය මනසක්‌ ලෙස වැටහෙයි. එහෙත් මොළ ඇත්තේ මිනිසුන්ට පමණක්‌ නො වේ. එසේ වුවත් මොළ ඇති අනෙක්‌ සතුන්ට මනස්‌ ඇති බවක්‌ බටහිර විද්‍යාවේ නිශ්චිතව නො කියෑවෙයි.

මිනිසාට පමණක්‌ මනසක්‌ ඇත්නම් හෝ සත්ත්වයන් වර්ග කිහිපයකට පමණක්‌ ඇත්නම් හෝ එසේ ඒ සතුන්ට මනස්‌ ඇති වීමටත් අනෙක්‌ සතුන්ට මනස්‌ නැති වීමටත් හේතුව කුමක්‌ දැයි බටහිර විද්‍යාවෙන් පැහැදිලි විය යුතු ය. එහෙත් බටහිර විද්‍යාවෙන් එබඳු පැහැදිලි කිරීමක්‌ නො කෙරෙයි. මිනිස්‌ මොළයේ හා මනසක්‌ ඇතැයි ඉඳහිට වුවත් කියෑවෙන සතුන් ගේ මොළයේ ඇති එහෙත් අනෙක්‌ සතුන් ගේ මොළයේ නැති සුවිශේෂ ගුණය කුමක්‌ ද? සත්ත්වයන් ගේ පරිණාමය සිදු වී ඇති ආකාරය අනුව මොළයට එසේ සුවිශේෂ තත්ත්වයක්‌ ඇති වන්නේ කෙසේ ද?

මනස මොළයට ඌනනය කිරිමට උත්සාහ කරන බටහිර විද්‍යාඥයන් එසේ කරන්නේ ඔවුන් මනසක්‌ නැතැයි කියන එහෙත් මොළයක්‌ ඇතැයි කියන සතුන් ගේ මොළ සමඟ මිනිස්‌ මොළය සංසන්දනය කිරීමෙන් පසුව වත් නො වේ. මොළයේ ක්‍රියාකාරීත්වය නිසා මනස ඇති වන්නේ යෑයි කීමට බටහිර විද්‍යාඥයන්ට ඇති සාධකය මිනිසුන්ට ඒ ඒ හැඟීම් ඇති වන විට මොළයේ ඒ ඒ කොටස්‌ ක්‍රියාකාරී වන බව පෙනීම ය. එහෙත් ඒ සම්බන්ධයෙන් මනස නිසා මොළය ක්‍රියාකාරී වන්නේ ය යන්න ද කිව හැකි ය. මේ සම්බන්ධයෙන් බටහිර විද්‍යාඥයන් කළ යුත්තේ ඔවුන් ගේ සම්ප්‍රදාය අනුව යමින් ඉහත දක්‌වා ඇති ආකාරයේ පර්යේෂණ කිරීම ය.

භාවනා කිරීමේ දී යම් තරංග මොළය හා ආශ්‍රිතව ඇති වන බව බටහිර විද්‍යාඥයෝ කියති. එය ද විශාල ගැටලුවක්‌ නො වේ. භාවනා කිරීමේ දී සිදු වන්නේ මනස යම් පිළිවෙළකට පත් කර ගැනීම ය. එනම් චිත්ත විසිරී යැමට ඉඩ නො දීම ය. එහි දී සිත එකඟ කර ගැනීමක්‌ සිදු වේ. මෙහි දී සිත යනුවෙන් හැඳින්වෙන්නේ සිත් පරම්පරාවක්‌ හෙවත් චිත්ත පේළියක්‌ විය යුතු ය. එසේ නොමැති ව සිත යන්න එක සිතකට පමණක්‌ සීමා වන්නක්‌ විය නො හැකි ය. චිත්ත එක ම අරමුණක තබාගැනීමට කරන උත්සාහය මෙහි දී අවධාරණය කෙරෙයි.

එකක්‌ පසුපස පහළ වන චිත්ත එක්‌ අරමුණක තබාගැනීමේ දී ඒ හේතුවෙන් මොළයේ ක්‍රියාකාරීත්වය ද වෙනස්‌ වන්නේ ය යන්න මෙහි දී අපේ ප්‍රවාදය අනුව එළඹිය හැකි නිගමනය වෙයි. ඒ හේතුවෙන් මොළය ආශ්‍රිත ව ඇති වන තරංග එක්‌තරා රටාවකට නිකුත් වන්නේ ය යන්න පැහැදිලි ය. මොළය හා මනස අතර සම්බන්ධය බටහිර විද්‍යාඥයන් කියන ආකාරයට නො ව මනසට ප්‍රධාන තැන දී මොළය ඒ අනුව ක්‍රියාකාරී වන්නේ ය යන අයුරින් අවබෝධ කරගත හැකි ය.

මොළය නම් අවයවයක්‌ නොමැති ව මනස තිබිය නො හැකි ද? නැත හොත් මොළය නොමැති ව සිත් පහළ විය නො හැකි ද? බෞද්ධ සාහිත්‍යයෙහි සිත මිස කය නැති බඹලොව හතරක්‌ ගැන කියෑවෙයි. කයක්‌ නොමැති විට මොළය නම් අවයවය නොමැති බව පැහැදිලි ය. මෙය බෞද්ධ සාහිත්‍යයෙහි පමණක්‌ කියෑවෙන්නක්‌ කියා එය ඉවත දැමිය යුතු නො වේ. අප වෑයම් කරන්නේ අපේ ප්‍රවාද නිර්මාණය කරගැනීමට ය. එහි දී අපට නව අදහස්‌ නිර්මාණය කරගත හැක්‌කේ, සංස්‌කරණය කරගත හැක්‌කේ අපේ සංස්‌කෘතිය මත පදනම් වෙමිනි. සාහිත්‍යය ද සංස්‌කෘතියෙහි ම කොටසකි. බෞද්ධ සාහිත්‍යයන් ජනප්‍රවාදයන් ආදිය මත පදනම් වීමෙන් පමණක්‌ අපට අපේ ප්‍රවාද ගොඩනඟා ගත හැකි ය.

බටහිරයන් කරන්නේ ද ඒ බව අමතක නො කළ යුතු ය. ඔවුහු තම සංස්‌කෘතියෙන් අදහස්‌ ලබාගනිති. මුළු මහත් බටහිර විද්‍යාවේ ම කෙරෙනුයේ බයිබලය වෙනත් වචනවලින් ප්‍රකාශ කිරීමක්‌ පමණකි. ද්‍රව්‍යවාදය (භෞතිකවාදය) පරණ තෙස්‌තමේන්තුවෙන් ම පැනනඟින්නකි. පරණ තෙස්‌තමේන්තුවේ ඊනියා විඥනවාදයක්‌ ඇතැයි කිව හැක්‌කේ මැවුම්කාර දෙවියන් වහන්සේ සම්බන්ධයෙන් පමණකි. එහෙත් දෙවියන් වහන්සේ ඉවත් කර මැවිම තබාගත හොත් පරණ තෙස්‌තමේන්තුව ද්‍රව්‍යවාදී පොතක්‌ බවට පත් වෙයි. අද බටහිර විද්‍යාව දෙවියන් වහන්සේ අමතක කර ඇත. එහෙත් දෙවියන් වහන්සේ මැවූ ලෝකය සංරක්‍ෂණය කර ඇත.

ඊනියා මහා පිපුරුම යනු අන් කිසිවක්‌ නො ව දෙවියන් වහන්සේ නොමැති ව කෙරෙන නිර්මාණයකි. විශ්වයේ ද බයිබලයේ ද මුලින් ම ඇත්තේ ආලෝකය හා හයිඩ්‍රජන් වැනි ද්‍රව්‍ය ය. බටහිර විද්‍යාවට අනුව මේ මුල් විශ්වය විකාශය වීමෙන් වෙනත් මූලද්‍රව්‍ය නිර්මාණය වෙයි. යම් අවස්‌ථාවක විශ්වයේ කාබන් ඇති වෙයි. ඉන්පසු කාබනික ද්‍රව්‍ය ද ජීවය ද ඇති වෙයි. ඩාවිනීය පරිණාමවාදයට අනුව ජීවය විකාශය වී සංකීර්ණ සත්තු ඇති වෙති. පසුව වර්ධිත මොළයක්‌ සහිත මිනිසා ඇති වෙයි. ඒ මිනිසාට මනසක්‌ ඇත. දෙවියන් වහන්සේ මැවූ ලෝකයෙහි ද ජීවය මැවෙන්නේ පළමු දිනයෙහි නො වේ. සතා සිවුපාවා සර්පයා මැවීමෙන් පසුව දෙවියන් වහන්සේ තම ප්‍රතිබිම්බයෙහි මිනිසා මවයි. මිනිසාට ද දෙවියන් වහන්සේට මෙන් ම මනසක්‌ ඇත. මේ මනසක්‌ සහිත මිනිසා බයිබලයේ ද ඇති වන්නේ අවසානයේ දී ය. දෙවියන් වහන්සේ මිනිසා ද මවන්නේ පසෙනි. මේ කතාවෙන් දෙවියන් වහන්සේ ඉවත් කළ පසු ලැබෙන්නේ ද්‍රව්‍යයෙන් ඇති වුණු මිනිසෙකි. බටහිර විද්‍යාව කියන්නේ ද ඒ කරුණු ම ය. බටහිර විද්‍යාවේ මිනිසා ගේ මනස මොළය නම් ද්‍රව්‍යය ආශ්‍රිතව පැනනැඟීම පුදුමයට කරුණක්‌ නො වේ.

මහාචාර්ය නලින් ද සිල්වා