logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


කතා හා අල්ප කතා

සාම්‍ය සමාලෝචනය (Peer revie w) යනු කුමක්‌ දැයි නො දන්නා අඳබාලයන් එක්‌තරා වෙබ් අඩවියක එවැනි සමාලෝචන පිළිබඳව කයිකතා කියමින් බඩපිනුම් ගසනු දැකිය හැකි ය. සාම්‍ය සමාලෝචනයට ලක්‌ කිරීමෙන් පසුව පර්යේෂණ පත්‍රිකා පළ කරන සඟරාවකට එවැනි පත්‍රිකාවක්‌ යෑවූ විට ඒ පත්‍රිකාව සමාලෝචනය සඳහා ඒ විෂය සම්බන්ධයෙන් පර්යේෂණ කර ඇති විද්වතුන් දෙදෙනකු හෝ වැඩි පිරිසකට හෝ යවනු ලැබෙයි. එ විද්වත්තු බොහෝ විට සමාලෝචන කාර්යාවලිය අවසන් කිරීමට මාස තුනක්‌ හා අවුරුද්දක්‌ අතර කාලයක්‌ ගනිති. ඇතැම් විට මාස තුනකට අඩු කාලයකින් ඒ කාර්යාවලිය නිම වන අවස්‌ථා නැතිවා නො වේ. එමෙන් ම ඒ සඳහා අවුරුද්දකට වැඩි කාලයක්‌ ගත වන අවස්‌ථා ද ඇත.

විද්යුත් සඟරා පළ කිරීමේ එක්‌ අරමුණක්‌ වනුයේ මේ පළ කිරීමේ කාර්යාවලියට යන කාලය අඩු කිරිම ය. විද්යුත් සඟරාවල පත්‍රිකා සමාලෝචනය සඳහා නො යෑවෙයි. ඒ පත්‍රිකා, ක්‍ෂෙත්‍රයට අදාළ ද, යම් පටිපාටියකට අනුව ලියෑවී ඇද්ද ආදී කරුණු කිහිපයක්‌ පමණක්‌ ඒ සඟරාවල විමර්ශනයට භාජන වෙයි. එය බොහෝ විට එක්‌ දිනක්‌ ඇතුළත සිදු වෙයි. ඉලෙක්‌ට්‍රොනික සඟරා පළ කිරීමේ දෙවැනි අරමුණක්‌ වනුයේ වැඩි දෙනකුට ඉතා කෙටි කාලයක දී පත්‍රිකාව කියවීමට සැලැස්‌වීම ය. මේ ලිපි අන්තර්ජාල පහසුකම් ඇති අයට පසු දා ම කියවිය හැකි වෙයි. යමකු සාමාන්‍ය සඟරාවක්‌ පෞද්ගලිකව ලබා නො ගන්නේ නම් එය ආයතනයේ පුස්‌තකාලයට ලැබෙන තුරු බලා සිටිය යුතු ය. පෞද්ගලිකව ලබාගත්ත ද ඒ සඳහා ද යම් කාලයක්‌ ගත වෙයි.

කෝනල් විශ්වවිද්‍යාලය මගින් ද දැන් කාලයක සිට විද්යුත් සඟරාවක්‌ පවත්වාගෙන යනු ලැබෙයි. න්‍යqට්‍රීනෝ පිළිබඳ සර්න් පරීක්‍ෂණයේ ප්‍රතිඵල පළ වූයේ ඒ සඟරාවෙහි ය. කැලණිය විශ්වවිද්‍යාලයයේ ආසනික්‌ පිළිබඳ පර්යේෂණවල ප්‍රතිඵල ද සාම්‍ය සමාලෝචනයට ලක්‌ කෙරෙන සඟරාවල පළ නො කෙරුණ ද, විවිධ සම්මන්ත්‍රණවල දී ඉදිරිපත් කෙරී ඇත. එමෙන් ම අපේ විධි ක්‍රමය ද ඉදිරිපත් කෙරී ඇත. වෙනත් ආයතනයකට ගොස්‌ අපේ සහභාගීත්වයෙන් පරීක්‍ෂණ කිරීමට ද අපි ඉදිරිපත් වීමු. එමෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණ අප සමඟ එක්‌ වී පර්යේෂණ කරන ලෙසට ද අපි ඊනියා විද්‍යාඥයන්ට ආරාධනා කළෙමු. එව බලව යන්න අපේ ක්‍රමය වෙයි. පත්‍රිකාව බලව යන්නට වඩා එව බලව යන්න වැදගත් වෙයි.

පත්‍රිකාව බලව යන්න ගලා එන්නේ බයිබලයේ අසවල් පරිච්ඡේදයේ අසවල් පැදිය (chapter and verse) බලව යන බයිබල් සම්ප්‍රදායෙනි. එව බලව යන්න බුදුන් වහන්සේ ගේ ක්‍රමය මත පදනම් වෙයි. එහෙත් මෙරට ඊනියා විද්‍යා අධ්‍යාපනයක්‌ ලබා ඇති තාක්‍ෂණ ශිල්පීන් පමණක්‌ වූ ද, සූපශාස්‌ත්‍ර විද්‍යාවක නිරත වන්නා වූ ද බෞද්ධ යෑයි කියාගන්නා බොහෝ විද්‍යා විශේෂඥයන්ට ද ඔවුන් ඕල්කට්‌ බෞද්ධයන් වීම නිසා දෝ අවශ්‍ය වන්නේ බයිබල් සම්ප්‍රදාය මිස බෞද්ධ සම්ප්‍රදාය නො වේ. ජාතික යෑයි කියාගන්නා ඇතැම් වෙබ් අඩවිවල කුරුටු ගාන්නවුන්ට ද මේ කිසිවක්‌ නො තේරීම පුදුමයක්‌ නො වේ. ඔවුහු ජාතික යෑයි කියාගත්ත ද බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම වන්දනාමාන කරන බටහිර ගැත්තෝ වෙති. බටහිර විද්‍යාව තරම් අප පෙළන තවත් දැනුම් පද්ධතියක්‌ නොමැති බව මොවුන් ඇතැම් විට නො දන්නවා විය හැකි ය. එහෙත් අප බටහිරයන්ට තවදුරටත් යටත් කිරීමට මොවුන් දරන නින්දිත උත්සාහයට, නො දැනීම යන්න පාදක කරගනිමින් සමාව දිය නො හැකි ය.

බටහිර භෞතික විද්‍යාවේ පසුගිය අවුරුදු අසූවක පමණ කාලයක අලුත් සෛද්ධාන්තික වර්ධනයක්‌ වී නැත. එහෙත් එහි නොයෙකුත් සුළු ප්‍රවාද හෙවත් අල්ප කතා ගෙතීම නතර වී ඇතැයි මෙයින් නො කියෑවෙයි. ඒ කතා නව මූලධර්මානුසාරයෙන් ගෙතෙන කතා නො වේ. ඉන් බටහිර භෞතික විද්‍යාවේ වර්ධනයක්‌ සිදු වී නැත. අප කලින් කියා ඇති පරිදි දැනටමත් න්‍යqට්‍රීනෝ අංශූ ආලෝකයට වැඩි වේගයකින් චලනය වන්නේ කෙසේ ද යන්න තේරුම් කිරීම සඳහා අල්ප කතා හෙවත් සුළු ප්‍රවාද විශාල ප්‍රමාණයක්‌ බටහිර විද්‍යාඥයන් අතින් ගෙතී ඇත. එහෙත් ඒ පිළිබඳව දැනට මා කියවා ඇති කතා සියල්ල ම වත්මන් භෞතික විද්‍යාවේ මතිමතාන්තර මත පිහිටා ගොතා ඇති අල්ප කතාන්දර වෙයි. ඉන් එකක්‌ වත් නව සුසමාදර්ශයක්‌ තබා නව ප්‍රවාදයක්‌, සංකල්පයක්‌ වත් මත පිහිටා ගොතා නැත. මෙරට ඊනියා විද්‍යාඥයන් ගෙන් අල්ප කතාවක්‌ වත් ගෙතෙන්නේ නැත. බටහිර භෞතික විද්‍යාව පිළිබඳව ජවි පෙරමුණේ කුමාර කල්ලියේ හෙවත් විප්ලවීය කණ්‌ඩායමේ පුබුදු ජාගොඩ වැන්නන් ගෙන් තමන් ඒ පක්‍ෂයේ සිටිය දී බටහිර භෞතික විද්‍යාව හා බටහිර දර්ශනය ඉගෙන ගත් පුස්‌සන්ට මේ කිසිවක්‌ නො තේරෙන බව පැහැදිලි ය. ඔවුහු තමන් නො දන්නා දේ තම දේශපාලනික වෙබ් අඩවිවල ලියමින් පාළු ගෙවල්වල වළං බිඳිති.

මෙහි දෙපැත්තක්‌ ඇත. එක්‌ පැත්තකින් අපට පෙනී යන්නේ කාල් පොපර් කෙසේ කියා තිබුණත් බටහිර විද්‍යාඥයන් තිබෙන ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කිරීමට උත්සාහ නො ගන්නා බව ය. ඔවුහු සියල්ලෝ ම දැනට තිබෙන ප්‍රවාද තහවුරු කිරීමට උත්සාහ කරති. අනෙක්‌ පැත්තේ ඇත්තේ නව ප්‍රවාද, නව සංකල්ප හා නව සුසමාදර්ශ ගෙතීමට ඇති අසීරුකම ය. බටහිර විද්‍යාඥයන් ගෙන් අති විශාල පිරිසක ගේ සංස්‌කෘතිය හා චින්නතය බටහිර විද්‍යාවේ චින්තනය හා සංස්‌කෘතිය වුව ද නව සුසමාදර්ශ හා ප්‍රවාද ගෙතීම එතරම් පහසු කටයුත්තක්‌ නො වේ. එහෙත් ඔවුහු මෙරට සිටින තාක්‍ෂණ ශිල්පීන් මෙන් නො ව හුදු සූපශාස්‌ත්‍රඥයන් පමණක්‌ නො වී අල්ප කතා ගෙතීමට ඉදිරිපත් වෙති.

යම් කිසි අයුරකින් අල්ප කතාවලින් න්‍යqට්‍රීනෝ අංශූවල ආලෝකයට වැඩි වේගයක්‌ තිබී (න්‍යqට්‍රීනෝ අංශුවල වේගය ආලෝකයට වැඩි බවට බටහිර භෞතික විද්‍යාඥයන් අතර පොදු මතයක්‌ තවමත් ඇති වී නැත. ඇතැම්හු තවමත් සර්න් පරීක්‍ෂණ වාර්තා විශ්වාස නො කරති. බොහෝ දෙනකු අසා ඇති ස්‌ටීවන් හෝකින් ද පවසන්නේ ඒ පිළිබඳ නිගමනයකට පැමිණීමට කල් මදි බව ය. ස්‌ටීවන් හෝකින් යනු ඉංගිරිසි ජනමාධ්‍යවලින් හුවා දක්‌වන්නකු මිස ශ්‍රේෂ්ඨ බටහිර භෞතික විද්‍යාඥයකු නො වන බව ද ඒ සමඟ සඳහන් කළ යුතු ය.) අල්ප කතාවලින් ඒ තේරුම් ගැනීමට නොහැකි වී යෑයි සිතමු. එවිට බටහිර භෞතික විද්‍යාවට ඒ සඳහා ප්‍රවාදයක්‌ හෝ සුසමාදර්ශී වෙනසක්‌ හෝ අවශ්‍ය වෙයි. බටහිර භෞතික විද්‍යාවේ ඊනියා වර්ධනයක්‌ ඇති වන්නේ එවැනි අවශ්‍යතාවක්‌ පැනනැඟී ඒ කතාව ගෙතීමට සමත් විද්‍යාඥයකු බටහිර විද්‍යාවේ බිහි වුව හොත් පමණ ය. එසේ නැති ව අල්ප කතා ගොතන්නන් ගෙන් සිදු වන වර්ධනයක්‌ නොමැත.

එහෙත් මෙරට සිටින බටහිර විද්‍යාවේ දාසයන් ඇතැම් විට සිතා සිටින්නේ එවැනි බටහිර විද්‍යාඥයන් තොග ගණනේ බිහි වන බව ය. අද බටහිර විද්‍යාවට එවැන්නන් බිහි කිරීමට ඇති ශක්‌තිය හීන වී ඇත. ක්‌වොන්ටම් භෞතිකයේ සෛද්ධාන්තික වර්ධනය ඇණ හිටීමෙන් පෙන්නුම් කරන්නේ ඒ බව ය. සාපේක්‍ෂතාවාදයෙහි ද ඇණහිටීමක්‌ සිදු වීම සිතිය නො හැක්‌කක්‌ නො වේ. එහෙත් මෙරට අඳබාලයෝ ඒ කිසිවක්‌ නො දනිති. අද බටහිර භෞතික විද්‍යාවට සංගත ප්‍රවාද ගොතා ගැනීමට නොහැකි ව ළත වන සමයකි. මහා පරිමාණයේ පරස්‌පර සහිත කතා එකතුවක්‌ බවට බටහිර භෞතික විද්‍යාව පත් වෙමින් ඇතැයි කිව හැකි ය.

න්‍යqට්‍රීනෝ අංශුවල ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයට වැඩි වුව හොත්, එනම් ඒ බව බටහිර භෞතික විද්‍යාඥයන් පොදුවේ පිළිගත හොත්, අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදයට කුමක්‌ සිදු වේ ද? එක්‌කෝ සාපේක්‍ෂතාවාදයෙහි ම න්‍යqට්‍රීනෝ අංශූ අඩංගු කරගන්නේ කෙසේ දැයි බටහිර භෞතික විද්‍යාඥයන් සොයා බැලිය යුතු ය. එනම් ඒ සඳහා අල්ප කතාවක්‌ ගොතා ගත යුතු ය. එසේ නැත්නම් අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදය ප්‍රතික්‌ෂේප කළ යුතු ය. එසේ ප්‍රතික්‌ෂේප කිරීමේ දී බටහිර විද්‍යාඥයන්ට ක්‍රම දෙකක්‌ අනුගමනය කළ හැකි ය. බටහිර විද්‍යාඥයන්ට ආලෝකයට වඩා වේගයක්‌ ඇති අංශු සඳහා මෙන් ම ආලෝකයට අඩු වේගයක්‌ ඇති අංශු සඳහා ද වලංගු වන පොදු ප්‍රවාදයක්‌ (කතාවක්‌) ගොඩනඟා ගැනීමට හැකි විය යුතු ය. එසේ කළ නොහැකි නම් ආලෝකයට වැඩි වේගයක්‌ ඇති අංශූ සඳහා එක්‌ ප්‍රවාදයක්‌ හා ආලෝකයට අඩු වේග සහිත අංශූ සඳහා තවත් ප්‍රවාදයක්‌ (අයින්ස්‌ටයිනීය ප්‍රවාදය) ද යනුවෙන් ප්‍රවාද දෙකක්‌ ඇති කර ගැනීමට හැකි විය යුතු ය.

දෙවැන්නෙන් කියෑවෙන්නේ බටහිර භෞතික විද්‍යාව පරස්‌පර සහිත ප්‍රවාද ගෙතීම සඳහා උනන්දුවක්‌ දැක්‌විය යුතු බව ය. දැනටමත් එවැනි පරස්‌පර සහිත ප්‍රවාද වෙයි. නිව්ටෝනීය ප්‍රවාදය හා තාපගතික ප්‍රවාදය එවැනි ප්‍රවාද දෙකකි. එහෙත් ඒ ප්‍රවාද අතර ඇති පරස්‌පර අපට එතරම් නො දැනෙන්නේ එහි දී කාලය සම්බන්ධයෙන් සමමිතික හා අසමමිතික සංසිද්ධි සම්බන්ධයෙන් ඒ ප්‍රවාද වෙන වෙන ම යොදා ගන්නා බැවිනි. නිව්ටෝනීය ප්‍රවාදයෙහි කාලය සමමිතික වෙයි. ඇත්තට ම කිව හොත් නිව්ටෝනීය ප්‍රවාදයෙහි කාලය ගල්ගැසී ඇත. කාලය ගල්ගැසීම පිළිබඳ ලියූ අපේ ප්‍රවාද ලිපියක්‌ බොහෝ ඈත දී විදුසරෙහි පළ වී ඇත.

තාපගතික ප්‍රවාදයෙහි කාලය සමමිතික නැත. එහි පද්ධතිවල කාලය එක්‌ පැත්තක සිට අනෙක්‌ පැත්තට ගලා යැමක්‌ ගැන කියෑවෙයි. වෙනත් වචනවලින් කියන්නේ නම් එහි කාලය නිතර ම වැඩි වෙයි. එහි පැහැදිලි අතීතයක්‌ හා අනාගතයක්‌ ඇත. කාලය අතීතයෙන් අනාගතයට ගලා යයි. මල් පොහොට්‌ටුවක්‌ පිපී මලක්‌ බවට පත් වනු මිස මලක්‌ කිසි දිනෙක මල් පොහොට්‌ටුවක්‌ බවට පත් නො වෙයි. තාපගතික පද්ධතිවල දක්‌නට ලැබෙන මේ කාලයේ ඊනියා ඉදිරි ගමන බටහිර භෞතික විද්‍යාඥයන් විසින් කාල හීය (Arrow of time) යන පදයෙන් හඳුන්වනු ලැබෙයි. නිව්ටෝනීය භෞතික විද්‍යාවේ තබා අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාදයේ වත් කාල හීයක්‌ නැත. එසේ තිබිය දී විශ්වය ප්‍රසාරණය වීම බටහිර භෞතික විද්‍යාඥයන්ට හා බටහිර විශ්වවේදීන්ට (Cosmologists) ප්‍රශ්නයක්‌ වී ඇත. එයට හේතුව විශ්වයේ ප්‍රසාරණය මගින් කාලයට දිශාවක්‌ නියම වීම ය. මෙය ද කාල හීයක්‌ වෙයි. අයින්ස්‌ටයිනීය සමීකරණ කාලයෙන් සමමිතික ව තිබිය දී ඒ සමීකරණ මගින් විස්‌තර කෙරෙන විශ්වය ප්‍රසාරණය වීමෙන් කාලයට අතීතයේ සිට අනාගතයට යනුවෙන් දිශාවක්‌ නියම කෙරෙන්නේ ඇයි ද යන්න බටහිර විශ්වවේදයෙහි නො විසඳුණු ගැටලුවක්‌ වෙයි.

නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි සමීකරණවල කාලය සමමිතික වෙයි. කාලය යන්න එ සංකේතයෙන් නිරූපණය කෙරෙන්නේ නම් මෙයින් කියෑවෙන්නේ නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි සමීකරණවල එ වෙනුවට - එ ආදේශ කළ හැකි බව ය. අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාදයෙහි ද තත්ත්වය එසේ ම ය. න්‍යqට්‍රීනෝව පිළිබඳ ප්‍රශ්නවලට හේතුව ඇතැම් විට මේ කාල සමමිතිය විය හැකි ය. න්‍යqට්‍රීනෝ අංශු කාලය සම්බන්ධයෙන් හැසිරෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නයට විසඳුමක්‌ එසේත් නැත්නම් කතාවක්‌ බටහිර භෞතික විද්‍යාඥයන් අතින් ගෙතී නැතැයි සිතෙයි. ඒ එසේ නම් අල්ප කතාවලින් ඒ ප්‍රශ්නයට විසඳුමක්‌ ඉදිරිපත් කළ නොහැකි වනු ඇත.

මහාචාර්ය නලින් ද සිල්වා