logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


උපකරණ හා මිනිස්‌සු

එක නෙස්‌ටෝරියන් කුරුසයක්‌ හමු වූ පමණින් අනුරාධපුරයේ ක්‍රිස්‌තු භක්‌තිකයන් ජීවත් වී යෑයි නිගමනය කළ හැකි නො වේ. අනෙක්‌ අතට ඒ කුරුසය හමු වූයේ කෙසේ ද යන්න පිළිබඳව ද විශ්වාස සහගත ව කිව හැක්‌කේ කුමක්‌ ද? එකල අනුරාධපුරය ලෝකයේ ම වෙළෙඳ මධ්‍යස්‌ථානයක්‌ වූ බවට සාක්‍ෂි වෙයි. විවිධ රටවලින් විවිධ සංස්‌කෘතීන්ට අයත් වූවෝ එහි පැමිණිය හ. ඒ වෙළෙන්දන් අතර නෙස්‌ටෝරියන් ක්‍රිස්‌තු භක්‌තිකයන් සිටියේ නම් පුදුම වන්නට දෙයක්‌ නැත. එහෙත් ඔවුන් අනුරාධපුරයේ ස්‌ථිර ව ජීවත් වූ බවක්‌ කිව හැකි නො වේ. එසේ ජීවත් වූයේ නම් ඔවුන් ගේ ව්‍යාප්තියක්‌ සිදු නො විණි ද? මේ ආදී නොයෙකුත් ප්‍රශ්නවලට සංගත පිළිතුරු නොමැති විට ඇතැම්හු ලිපියෙහි එක්‌ කරුණක්‌ උපුටා දක්‌වමින් ඒ වැරැදි බව පෙන්වීමට උත්සාහ දරති.

මෙවැනි පිරිස්‌ ගිය වර ලිපියෙන් උපුටා දක්‌වන්නේ සතුන්ට මනස්‌ නැති බවට බටහිර විද්‍යාඥයන් විශාල බහුතරයක්‌ දක්‌වන අදහස ය. එහි ඇත්තක්‌ නැතැයි පෙන්වීමට සමහරු උත්සාහ ගනිති. බටහිර විද්‍යාඥයන් කිහිප දෙනෙකු මිනිසුන් නො වන සතුන්ට මනස්‌ ඇත් ද නැත් ද යන්න දැනගැනීමට පරීක්‍ෂණ පවත්වන බව සැබෑ ය. ඔවුන් ගෙන් යම් පිරිසක්‌ සතුන්ට මනස්‌ ඇති බව පිළිගන්නා බව ද සත්‍ය ය. එහෙත් එපමණකින් බටහිර විද්‍යාඥයන් සමස්‌තයක්‌ ලෙස සතුන්ට මනස්‌ ඇතැයි පිළිගන්නා බවක්‌ නො කියෑවෙයි. ගිය සතියේ ලිපියෙන් මා කියා ඇත්තේ ද බටහිර ජීවත් වන විද්‍යාඥයන් ගෙන් සුළු පිරිසක්‌ පමණක්‌ සතුන්ට මනස්‌ ඇති බව පිළිගන්නා බව ය. එය ද මෑතක සිට ය.

බටහිර විද්‍යාඥයන් විශාල පිරිසකට සතුන්ට මනස්‌ ඇති බව පිළිගත නො හැක්‌කේ යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය හේතුවෙනි. ඒ සංස්‌කෘතියෙහි සතුන් මවා ඇත්තේ මිනිසුන් සඳහා යෑයි පැවසෙයි. යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මිනිසා වෙනුවෙන් මවා ඇති සතුන්ට මනස්‌ නැත. ඇතැම් බටහිර විද්‍යාඥයන්ට අද සිදු වී ඇත්තේ හැකි නම් මේ සංස්‌කෘතික සීමා කඩා බිඳ දැමීම ය. සතුන්ට මනස්‌ නැති බව බටහිර විද්‍යාඥයන් ගේ පොදු පිළිගැනීම බව නිව් සයන්ටිස්‌ට්‌ සඟරාවෙහි ඒ පිළිබඳව විටින් විට පළ වන ලිපි මගින් ද තහවුරු වෙයි. බටහිර විද්‍යාවට යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය නිසා ඇති වන එක ම සීමාව සතුන් ගේ මනස්‌ සම්බන්ධයෙන් පැන නඟින්න පමණක්‌ නො වේ.

අප කලින් සඳහන් කර ඇති පරිදි අයින්ස්‌ටයින් විද්වතා ද යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙන් බැඳ දමා තිබිණි. ඔහු ක්‌වොන්ටම් භෞතික විද්‍යාවේ කෝපන්හේගන් විවරණය ප්‍රතික්‍ෂේප කළේ තම සංස්‌කෘතිය මත පිහිටා ය. යථාර්ථය, වාස්‌තවිකත්වය ආදිය පිළිගත් සංස්‌කෘතියක හැදුණු වැඩුණු අයින්ස්‌ටයින්ට පරීක්‍ෂණවල ප්‍රතිඵල සම්භාවිතාවක්‌ මගින් පමණක්‌ පුරෝකථනය කිරීම ප්‍රමාණවත් නො වී ය. ඔහුට අවශ්‍ය වූයේ පරීක්‍ෂණ කිරීමට පළමුව ම අංශුවලට ඒ ඒ ගුණය සම්බන්ධයෙන් නිශ්චිත අගය ඇති බව පැවසෙන අර්ථ විවරණයකි. පෞද්ගලික හෝ පොදු හෝ දෙවියන් වහන්සේ විසින් මවන ලද ලෝකයක අංශුවලට ඒ ඒ ගුණය සම්බන්ධව නිශ්චිත අගය ඇතැයි ඔහු විශ්වාස කළේ ය. ඒ විශ්වාසය මත පදනම් ව අයින්ස්‌ටයින් කියා සිටියේ දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැති බව ය.

බෝර් එයට ප්‍රතිචාර දක්‌වා ඇත්තේ අයින්ස්‌ටයින්ට දෙවියන් වහන්සේ කළ යුත්තේ කුමක්‌ දැයි කියා දිය නො හැකි බව ප්‍රකාශ කරමිනි. අනෙක්‌ අතට බෝර්ට චීන දර්ශනයෙහි බලපෑම විය. ඊනියා යථාර්ථය ප්‍රතික්‌ෂේප කිරීම ඔහුට ප්‍රශ්නයක්‌ නො වී ය. ලෝකය නිර්ණිත එකක්‌ ය යන්න ඔහු විසින් අත්හැර දැමිණි. ඔහු එසේ කියා නැතත් දෙවියන් වහන්සේ දාදු කෙළීම හැරෙන්නට වෙනත් කිසිවක්‌ නො කරන්නේ යෑයි කීමේ හැකියාව ඔහුට තිබිණි. අයින්ස්‌ටයින් තම සංස්‌කෘතිය පිළිගනිමින් දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැතැයි කියා තම මතයේ ම එල්බ ගෙන සිටියේ ය. ඔහුට ඒ සංස්‌කෘතික බලපෑම නො වන්නට ඔහු අතින් ක්‌වොන්ටම් භෞතිකයෙහි වර්ධනයට විශාල යහපතක්‌ ඉටු වන්නට තිබිණි.

බටහිර විද්‍යාවේ ඇත්තේ ඒ නුසුදුසුකම පමණක්‌ නො වේ. තාපගතික විද්‍යාව හා ක්‌වොන්ටම් භෞතික විද්‍යාව හැරෙන්නට බටහිර විද්‍යාවේ අනෙක්‌ සියලු දැනුම් නිර්මාණය වී ඇත්තේ ගී්‍රක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ය. එහි න්‍යාය (logic) වනුයේ ඇරිස්‌ටෝටලීය න්‍යාය ය. පසුගිය දා ආසනික්‌ සම්බන්ධ ප්‍රශ්නයෙහි දී ඇතැම්හු ඊනියා සම්පරීක්‍ෂණ හා පරීක්‍ෂණ ගැන කතා කළ හ. කැලණිය විශ්වවිද්‍යාලයෙහි රජරට වකුගඩු රෝගය පිළිබඳ පර්යේෂණ කරන කණ්‌ඩායමට අනෙක්‌ ඊනියා පිළිගත් නිල කණ්‌ඩායම්වලට වඩා රජරටින් ලබාගත් ජල හා වෙනත් නියෑදිවල ආසනික්‌ ප්‍රමාණයක්‌ දැකගත හැකි වූයේ කෙසේ ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක්‌ විය. පහසුකම් ඇතැයි කියන නිල වශයෙන් පිළිගත් පර්යේෂණාගාරවල නිරීක්‍ෂණ පමණක්‌ විශ්වාස කිරීමට රජය එකල කටයුතු කළේ ය. අද රජය එසේ නො සිතන බව ද මෙහි දී සඳහන් කළ යුතු ය.

එහෙත් ප්‍රශ්නය වූයේ මේ ඊනියා පිළිගත් පරීක්‍ෂණාගාරවල ද සේවය කරන්නේ මිනිසුන් වීම ය. බටහිර විද්‍යාව කටයුතු කරන ආකාරයට උපකරණවලට වඩා වැදගත් තැනක්‌ ලැබෙයි. එයට ප්‍රධාන හේතුව උපකරණ වාස්‌තවික ලෙස පිළිගැනීමට ඇති කැමැත්ත ය. උපකරණවලින් ලැබෙන මාපාංක කියවීම මිනිසුන් ගෙන් (නිරීක්‍ෂකයන් ගෙන්) ස්‌වායත්ත යෑයි සාමාන්‍යයෙන් පිළිගැනෙයි. එහෙත් ප්‍රශ්නය වනුයේ උපකරණ ද මිනිසුන් විසින් නිපදවනු ලැබීමත් ඒ ඒ නියෑදි සකස්‌ කිරීම, යොදාගන්නා විධි ක්‍රමය (ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය නො වේ) ආදිය මිනිසුන් විසින් තීරණය කරනු ලැබීමත් ය. සියලු උපකරණවලින් එක ම මාපාංක කියවීම ලැබිය යුතු යෑයි විශ්වාසයක්‌ පවතින අතර එසේ නො වන්නේ නම් ඊනියා පිළිගත් පරීක්‍ෂණාගාරයේ මාපාංක කියවීම නිවැරැදි ලෙස ගැනෙයි.

ආසනික්‌ සම්බන්ධයෙන් ඒ ඒ පරීක්‍ෂණාගාරවල යොදාගත් විධික්‍රම (මේ සූපශාස්‌ත්‍ර විධි ක්‍රම මිස අනෙකක්‌ නො වේ) වෙනස්‌ විය. ඉවත යන වායු ප්‍රමාණය මෙන් ම අවක්‌ෂේප ගැනීම ද ඒ ඒ විද්‍යාඥයන් දැන සිටි ආකාරයට සිදු කෙරිණි. පරීක්‍ෂණයෙහි දී පිට වී යන වායු ප්‍රමාණය වැඩි නම් මිශ්‍රණය යම් උෂ්ණත්වයකට වඩා ඉහළට රත් කළ විට ආසනික්‌ වායු අවස්‌ථාවට පත් වී ඉවත් වීමේ සම්භාවිතාව වැඩි වෙයි. පිට වී යන වායු ප්‍රමාණය වැඩි පරීක්‍ෂණාගාරයක සිදු කරන ලද පරීක්‍ෂණවලින් නිරීක්‍ෂණය කෙරෙන ආසනික්‌ ප්‍රමාණය පිට වී යන වායු ප්‍රමාණය අඩු පරීක්‍ෂණාගාරයක සිදු කරන ලද පරීක්‍ෂණවලින් නිරීක්‍ෂණය කෙරෙන ආසනික්‌ ප්‍රමාණයට වඩා අඩු වී නම් ඒ ගැන පුදුම විය යුතු නො වේ. එහෙත් රජය මුල දි තීරණය කළේ ඊනියා පිළිගත් පරීක්‍ෂණාගාරවල දත්ත නිවැරැදි විය යුතු බව ය.

බටහිර විද්‍යාවේ ධුරාවලියක්‌ ඇත. එය බටහිර සමාජයේ ද දක්‌නට ලැබේ. වැදගත් යෑයි සැලකෙන ගෞරවනීය පවුල්වල සාමාජිකයන් වැරැදි නො කරන්නේ ය යන මතය අද සමාජයේ මුල් බැසගෙන ඇත. ඊනියා වැදගත් තනතුරු හොබවන පුද්ගලයන් අතින් වැරැදි සිදු නො වේ යෑයි විශ්වාසයක්‌ පවතියි. වැදගත් පවුල්වල සාමාජිකයන් රැකියාවලට බඳවා ගැනීමට විශාල සම්භාවිතාවක්‌ ඇත. යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයෙහි ධුරාවලිය සකස්‌ කිරිමෙහි දී යොදා ගැනෙන නිර්ණායක අනුව මේ පිළිගැනීම සිදු වෙයි.

ඉංගිරිසි ආණ්‌ඩුව පැවැති සමයෙහි ඉංගිරිසි ආණ්‌ඩුවට දැක්‌ වූ පක්‍ෂපාතීත්වය අනුව ද පුද්ගලයකු ගේ වැදගත්කම තීරණය විය. අද ද බොහෝ විට වැදගත් වනුයේ නිල බලයට ගරු කරන්නවුන් ය. සිංහල බෞද්ධයන් අතර ද එක්‌තරා ආකාරයක ධුරාවලියක්‌ වෙයි. එය නිවන හා සම්බන්ධ ධුරාවලියකි. බුදු රජාණන් වහන්සේට පසුව රහතන් වහන්සේලා ප්‍රධාන වෙති. අපේ ධුරාවලියෙහි රජවරු ද සාමණේර භික්‍ෂුවකට වඩා පසුපසින් වෙති. අශෝක රජු ගේ මාළිගාවට වැඩම කළ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සුqදුසු අසුන ලෙස තෝරාගත්තේ සිංහාසනය ය. එයට හේතුව ඒ රාජසභාවෙහි උන් වහන්සේට ඉහළින්, එනම් ගුණයෙන් ඉහළින්, වෙනත් කිසිවකු නො වීම ය. අපේ ධුරාවලියෙහි එදා ගරු කෙරුණේ නිලයට නො ව නිවන් දැකීමට හේතු වන වෙනත් ගුණවලට ය.

බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි උපත ලැබූ බටහිර විද්‍යාවට ඒ සංස්‌කෘතියෙන් උරුම වූ පිළිගැනීම ඇත. ආසනික්‌ අඩු යෑයි හෝ නැතැයි හෝ කියූ පර්යේෂණාගාරවල මාපාංක කියවීම පිළිගැනුණේa ඒ අයුරින් මිස යොදාගත් සූපශාස්‌ත්‍ර ක්‍රමවේදයෙහි ඌනතා අනුව නො වේ. කෙසේ වුවත් ඌනතා වැඩි පරීක්‍ෂණාගාරවලට ලැබුණු පිළිගැනීම වැඩි විය. ඒ නිල බලයෙනි. මේ ඌනතා හා වෙනත් හේතු කරණ කොටගෙන බටහිර විද්‍යාවේ උජාරුවෙන් කියෑවෙන ඕනෑ ම කෙනකුට කළ හැකි පර්යේෂණ යන්නට තවත් පහරක්‌ වැදෙයි.

ඒ පිළිබඳව අප දැනටමත් බොහෝ කරුණු කියා ඇත. ඒ පුහුණුව ආදිය සම්බන්ධයෙනි. එකම ආකාරයේ පුහුණුව ලැබූ අය සිටිය ද තමන් පරීක්‍ෂණ කරන පරීක්‍ෂණාගාරයේ ඇති උපකරණ මත අනුගමනය කෙරෙන සුපශාස්‌ත්‍ර විධි ක්‍රමය මත තමන් ලබාගන්නා මාපාංක කියවීම වෙනස්‌ වෙයි. එමෙන් ම එක ම ආකාරයේ පුහුණුවක්‌ ලබාගත්ත ද ඒ ඒ පුද්ගලයා ගේ දක්‍ෂතා අතර වෙනස්‌කම් වෙයි. ඇතැම්හු නිර්මාණශීලී වෙති. සූපශාස්‌ත්‍ර විධි ක්‍රමයෙහි වුව ද සුළු සුළු වෙනස්‌කම් කිරීමට හැකි අය සිටිති. ඔවුන් ලබාගන්නා මාපාංක කියවීම සාම්ප්‍රදායිකව ම ක්‍රියා කරන්නකු ලබාගන්නා මාපාංක කියවීම්වලට වඩා වෙනස්‌ විය හැකි ය.

එමෙන් ම උපකරණවල සියුම් බව ද මෙහි දී බලපාන බව රහසක්‌ විය නො හැකි ය. එක ම පරීක්‍ෂණාගාරයක, එක ම පුහුණුව ලැබූ අය එක ම යන්ත්‍ර සූත්‍ර යොදාගෙන පරීක්‍ෂණ කළ ද ඒ ඒ අය ගේ සියුම් බව අත්ගුණය ආදිය මත ප්‍රතිඵල වෙනස්‌ විය හැකි ය. එබැවින් ඊනියා වාස්‌තවික අගයන් ඒ ඒ ගුණවලට ඇතැයි යනුවෙන් ගැනීම බටහිර විද්‍යාවේ ආධානග්‍රාහී සිතුවිල්ලක්‌ මිස අන් කිසිවක්‌ නො වේ. ආසනික්‌ සම්බන්ධනේ ගත හොත් විවිධ පරීක්‍ෂණාගාරවල ජලයේ, පළිබෝධනාශකවල ආදී වශයෙන් අඩංගු ආසනික්‌ ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ ප්‍රතිඵල ලැබී ඇත. එහෙත් ඇතැම් විට ඒ නිරීක්‍ෂණය කෙරුණු උපරිම අගයට ද වඩා ආසනික්‌ ඒ නියෑදිවල තිබෙන්නට ඇත. අපට බොහෝ විට කිව හැක්‌කේ විවිධ පරීක්‍ෂණාගාරවල ලැබුණු දත්තවල උපරිම ඒ ඒ නියෑදිවල ඇති අවම ආසනික්‌ ප්‍රමාණ බව ය.

මේ ලබාගත් ප්‍රතිඵල නිවැරැදි දැයි යමකුට ප්‍රශ්න කළ හැකි ය. මිනිසුන් අතින් මෙන් ම උපකරණ මගින් ද වැරැදි සිදු වෙයි. එහෙත් ආසනික්‌ තිබෙන ප්‍රමාණයට වඩා වැඩියෙන් මැන ගැනීමට ඇති සම්භාවිතාව අඩුවෙන් මැන ගැනීමට ඇති සම්භාවිතාවට අඩු යෑයි සිතමි. යොදාගන්නා උපකරණවල කලින් ම ආසනික්‌ තිබීම නිසා මාපාංක කියවීමෙන් ලබාගන්නා ආසනික්‌ ප්‍රමාණය වැඩි වීමට ඉඩ ඇත. එහෙත් ඒ සඳහා ඒ උපකරණ ඒ ඒ රසායනික ද්‍රව්‍යවල (ද්‍රාවණවල) සෝදා තිබිය හැකි ආසනික්‌ ප්‍රමාණය දිය කර හැරීමෙන් එලෙස ආසනික්‌ වැඩි වීමට ඇති සම්භාවිතාව අඩු කරගත හැකි ය.

මහාචාර්ය නලින් ද සිල්වා