logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ආධානග්‍රාහී අයින්ස්‌ටයින්

බටහිර විද්‍යාවේ ඕනෑ ම අයකුට කළ හැකි පරීක්‍ෂණ යනුවෙන් හැඳින්වෙන්නේ පාර තොටේ හමුවන ඕනෑ ම අයකුට කළ හැකි පරීක්‍ෂණ නො ව බටහිර විද්‍යාව හදාරා ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි යම් පරිණතභාවයකට පත් වූ අයකුට කළ හැකි පරීක්‍ෂණ බව අපි දුටුවෙමු. එහෙත් බටහිර විද්‍යාවේ හා විද්‍යාවේ දර්ශනයේ එසේ නො කියෑවෙනවා පමණක්‌ නො ව ජනතාවට වැරැදි නිගමනවලට පැමිණීමට ඉඩ සලසවමින් ඒ පාරතොටේ හමු වන ඕනෑ ම අයකුට වුව ද කළ හැකි පරීක්‍ෂණ ලෙස ඒත්තු ගැන්වෙන අයුරෙන් ඉදිරිපත් කෙරෙන බව පැහැදිලි ය.

බටහිරයන් එසේ කරන්නේ එක්‌තරා තක්‌කඩි අදහසකින් යෑයි සිතමි. එසේ බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ පාරතොටේ වුවත් හමු වන ඕනෑ ම අයකුට කළ හැකි පරීක්‍ෂණ ලෙස හඳුනා ගැනීමට සැලැස්‌වූ කල අනෙක්‌ දැනුම් පද්ධතියක්‌ ද ඕනෑ ම අයකුට දැනගැනීමට හැකි අයුරෙන් තිබිය යුතු බවට නිර්ණායකයක්‌ පැනවීමට බටහිරයන්ට අවකාශ ලැබෙයි. ඒ තම දේශපාලන ආධිපත්‍යය පවත්වාගෙන යැම උදෙසා කරන සටකපට ප්‍රයෝගයක්‌ වේ. බටහිරයන් අනෙක්‌ අය ගෙන් ඉල්ලන්නේ තමන් ද නො රකින ප්‍රතිපත්තියක්‌ රැකීමට ය. පාරතොටේ හමු වන ඕනෑ ම අයකුට තබා විශ්වවිද්‍යාලයකින් භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක්‌ ලත් අයකුට වත් ගිබ්ස්‌ බෝසෝනය ඇත් ද නැත් ද යනුවෙන් දැනගැනීමට පරීක්‍ෂණයක්‌ කළ නොහැකි ය.

පළමුවෙන් ම ඒ සඳහා බටහිර භෞතික විද්‍යාව පිළිබඳ අදාළ පශ්චාත් උපාධි පාඨමාලාවක්‌ හදාරා තිබිය යුතු ය. දෙවනුව ඒ සඳහා පරීක්‍ෂණ කරන කණ්‌ඩායමක්‌ සමඟ එකතු විය යුතු ය. එවැනි කණ්‌ඩායම් ලෝකය පුරා හතු පිපී ඇත්තාක්‌ මෙන් දැකගත හැකි නො වේ. එයට හේතුව ඒ සඳහා විශාල ධනස්‌කන්ධයක්‌ වැය කිරීමට සිදු වීම ය. තමන් ගේ වියදමින් එවැනි පරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ ඇති කර ගැනීමට හැකියාවක්‌ හා උනන්දුවක්‌ ඇති පුද්ගලයකු ඇතැයි සිතිය නො හැකි ය. ගිබ්ස්‌ බෝසෝනය ඕනෑ ම අයෙකුට කළ නො හැකි පරීක්‍ෂණයක්‌ සඳහා දිය හැකි එක ම උදාහරණය නො වේ. බොහෝ සාමාන්‍ය පරීක්‍ෂණ පවා ඕනෑකම තිබිණ ද ඕනෑ ම අයකුට කළ හැකි නො වේ.

අනෙක්‌ අතට බටහිර විද්‍යාව ප්‍රථම උපාධි මට්‌ටමට වත් හැදෑරීමට අවකාශ ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද? බොහෝ දෙනකු සාමාන්‍ය පෙළ මට්‌ටමෙන් ඉහළට බටහිර විද්‍යාව නො හදාරති. එයට විවිධ හේතු තිබිය හැකි ය. අදාළ පාසලේ අවශ්‍ය පහසුකම් නැති වීම එයට එක්‌ හේතුවක්‌ පමණකි. ඇතැමුනට බටහිර විද්‍යාව ඉගෙනීමට එතරම් කැමැත්තක්‌ නැති වීම තවත් හේතුවකි. ඔවුන් වඩා කැමැති මානව ශාස්‌ත්‍ර, සමාජයීය විද්‍යා විෂය හැදෑරීමට ය. තවත් අයට බටහිර විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍ය චින්තනය නැත. විශේෂයෙන් ම බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට තරමක වුවත් වියුක්‌ත චින්තනයක්‌ අවශ්‍ය වෙයි. බොහෝ බටහිර ජෛවීය විද්‍යා ශිෂ්‍යයනට තරමක වියුක්‌ත චින්තනයක්‌ තිබිණි ද බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට අවශ්‍ය තරමේ වියුක්‌ත චින්තනයක්‌ නැත.

ආධ්‍යාත්මික ගුණ වගාවෙන් හෝ දෙවිවරුන් ගෙන් හෝ අත්පත් කරගන්නා දැනුම් සම්බන්ධයෙන් ද කිව හැක්‌කේ එවැනි ම කරුණු ය. ඕනෑ ම අයකුට එසේ දැනීම ලබාගැනීමේ හැකියාව නැත. ඒ සඳහා සසර කරන ලද කුසල් තිබිය යුතු ය. ඇතැම් විට පාරමී ශක්‌තිය වර්ධනය කර තිබිය යුතු ය. බටහිරයන් තමන් ගේ ආධිපත්‍යය රැක ගැනීම සඳහා ඕනෑ ම අයකුට දැනගත හැකි වන අයුරින් අදාළ දැනුම ඉදිරිපත් කරන ලෙස කියා සිටිය ද අප එසේ කිරීමට බැඳී නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ බටහිරයන් ගේ පරීක්‍ෂණ ඕනෑ ම අයකුට කළ හැකි ගණයේ ඒවා නො වීම ය. ප්‍රතිශතයක්‌ වශයෙන් ගත් කල බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ කිරීමට හැකියාව ඇත්තේ ලෝක ජනගහනයෙන් කී දෙනකුට ද?

එසේ නම් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ හැකියාව ඇති අය ගේ ප්‍රතිශතය එයටත් වඩා අඩු විය යුතු ය. සමස්‌ත සත්ත්ව සංඛ්‍යාව ගත හොත් මිනිස්‌ භවයක්‌ ලබාගෙන ඇත්තේ ඉන් ඉතා සුළු ප්‍රතිශතයක්‌ බව ඉතා පැහැදිලි ය. මිනිසුන් අතර ආධ්‍යාත්මික ශක්‌තියෙන් හෙබි අය ගේ ප්‍රතිශතය ඉතා කුඩා වීම අරුමයක්‌ නො වේ. ඒ සඳහා කුසල් ශක්‌තිය අවශ්‍ය වෙයි. මට ද ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක්‌, කුසල ශක්‌තියක්‌ නොමැති බව ප්‍රකාශ කළ යුතු ය. එහෙත් එවැනි ශක්‌තීන් ඇති පුද්ගලයන් සිටින බව පිළිගැනීමට මගේ නොහැකියාව ප්‍රශ්නයක්‌ නො වේ.

අප බොහෝ දෙනකු බොහෝ දෑ විශ්වාස කරන්නේ අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු අධ්‍යයනයන් කිරීමෙන් පසුව නො වේ. එසේ කිරීමට ගිය හොත් අපට කිසිවක්‌ කරගත නො හැකි වනු ඇත. අප බොහෝ දෑ විශ්වාස කරන්නේ අපේ විශ්වාසය දිනා සිටින පුද්ගලයන් ඒ දේ කියන බැවිනි. අප ඉලෙක්‌ට්‍රොaන ඇති බව විශ්වාස කරන්නේ අප ඉලෙක්‌ට්‍රොaන දැක ඇති නිසා නො වේ. අප තබා කිසිවකු ඉලෙක්‌ට්‍රොaන දැක නැති සන්දර්භයක අප ඉලෙක්‌ට්‍රොaන ඇති බව විශ්වාස කරන්නේ අපේ විශ්වාසයට පාත්‍ර වූ පුද්ගලයන්, ගුරුවරුන්, ඊනියා බුද්ධිමතුන් ආදීන් ඉලෙක්‌ට්‍රොaන ඇතැයි යන හැඟීම අපට දී ඇති බැවිනි. බොහෝ විට ඒ අයට ද ඒ හැඟීම ඇත. ඉලෙක්‌ට්‍රොaන ගැන නො ව විද්යුතය ගැන වත් කිසි ම පරීක්‍ෂණයක්‌ නො කළ අය ඉලෙක්‌ට්‍රොaන ඇතැයි විශ්වාස කරන්නේ පරීක්‍ෂණවල බලමහිමය නිසා නො වන බව පැහැදිලි ය. ඔවුන්ට එසේ විශ්වාස කිරීමට පරීක්‍ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව පැන නො නඟී. ඔවුහු ඒ ගැන ප්‍රශ්න කිරීමකින් පවා තොර ව ඉලෙක්‌ට්‍රොaන ඇති බව විශ්වාස කරති.

උගත් යෑයි සම්මත අය ආධ්‍යාත්මික ශක්‌තිය ඔස්‌සේ දැනුම ලබාගන්නන් කියන දේ විශ්වාස නො කරන බව ප්‍රකාශ කරන්නේ ඔවුන්ට ඒ අය පිළිබඳ ප්‍රසිද්ධියේ විශ්වාසයක්‌ ඇති කර ගැනීමට සමාජයෙන් ඉඩක්‌ නො ලැබෙන බැවිනි. මෙරට උගතුන් යෑයි සම්මත වූවනට අයින්ස්‌ටයින් කියා ඇති මෝඩ කතාවක්‌ වුව ද විශ්වාස කිරීමට හා එය පුනරුච්චාරණය කිරීමට බාධාවක්‌ නැත. දෙවියන් වහන්සේ දාදු කෙළින්නේ නැතැයි අයින්ස්‌ටයින් ප්‍රකාශ කර ඇත්තේ ක්‌වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණය ගැන එකඟ නො වෙමිනි.

කෝපන්හේගන් විවරණයේ අඩුපාඩුකම් ඇති බව පැහැදිලි ය. එහෙත් ක්‌වොන්ටම් භෞතිකයේ මිනුම් ගැන ද නිව්ටෝනීය හා අයින්ස්‌ටයිනීය භෞතිකයේ මිනුම් ගැන මෙන් කල් ඇති ව ප්‍රකාශ කළ හැකි විය යුතු යෑයි යමකු ප්‍රකාශ කරන්නේ නම් ඒ ආධානග්‍රාහීව (dogmatically) කරන මෝඩ ප්‍රකාශයක්‌ පමණකි. ක්‌වොන්ටම් අංශූ හා ඊනියා සම්භාව්‍ය අංශූ එක ම ආකාරයකින් හැසිරිය යුතු යෑයි අපට උපකල්පනය කිරීමට ඇති අයිතිය කුමක්‌ ද? එහෙත් අයින්ස්‌ටයින් ගේ ප්‍රකාශය මහදැනමුත්තකු ගේ ප්‍රකාශයක්‌ ලෙස ඉදිරිපත් කිරීමට මෙරට උගතුන් යෑයි සම්මත අය ගෙන් ඒ ප්‍රකාශය ගැන කියවා ඇති අය (ඔවුන් මහා පරිමාණයෙන් සොයාගත නො හැකි ය) සැදී පැහැදී සිටිති. ක්‌වොන්ටම් භෞතිකය සම්බන්ධයෙන් අයින්ස්‌ටයින් ඉතා ම ආධානග්‍රාහී පුද්ගලයකු ලෙස එයට විරුද්ධව විවිධ ප්‍රකාශ කළේ ය.

දෙවියන් දැක ඇති අය දෙවියන් සිටින බව කී විට මෙරට උගතුන් ඒ විශ්වාස නො කරන්නේ ඇයි? අද නාථ දෙවියන් නමින් පෙනී සිටින දෙවි කෙනෙක්‌ හා තවත් දෙවිවරු, විශේෂයෙන් ම විපස්‌සක දෙවියන්, ඔවුන් සමඟ සම්බන්ධකම් පවත්වන එක්‌ කාන්තාවකට සිංහල නිල වෙදකම හා සිංහල ගොවිකම පිළිබඳව විවිධ උපදෙස්‌ දෙති. මට දෙවිවරුන් සමඟ සම්බන්ධ වීමට තරම් කුසල් ශක්‌තියක්‌ නොමැති නමුත්, ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක්‌ නැති නමුත්, ඉතා මෑතක දී මගේ හෘදයාබාධයක්‌ සුව කරන ලද්දේ මේ දෙවිවරුන් විසින් බව මා කිහිප වතාවක්‌ ම ප්‍රසිද්ධියේ කියා ඇත. මේ දෙවිවරුන් සිටින බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවිවරුන්ට ඉතා විශිෂ්ට වූ දැනුමක්‌ ඇති බවත් මම දනිමි.

එහෙත් ඒ දැනුම පිළිබඳ විශ්වාසයක්‌ ඇති කර ගැනීමට උගත් සමාජයෙන් අපට බාධා එල්ල වෙයි. මේ උගතුන් ගෙන් බොහෝ දෙනා කතරගම යන බව ද පෞද්ගලික ව දෙවියන් විශ්වාස කරන බව ද මම දනිමි. එපමණක්‌ නො ව ඔවුන් ගෙන් කිහිප දෙනකු පෞද්ගලික ව විපස්‌සක හා නාථ දෙවිවරුන් ගෙන් ප්‍රතිකාර ගෙන තමන්ට වැළඳී තිබූ අසනීප සුව කරගත් බවත් දනිමි. අවශ්‍ය වුව හොත් ඔවුන් ගේ නම් ගම් හෙළිදරව් කිරීමට ද මම පසුබට නො වෙමි. එහෙත් ඒ නාථ දෙවියන් ම රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ (ආසනේට්‌) බව ද ඇතැම් පෙදෙස්‌වල ඇති කිවුල සහිත ජලය හා කුඹුරු පස ද එයට අවශ්‍ය වන බව ද පවසන විට මේ උගත්තු එයට විරුද්ධ වෙති.

මේ නාථ දෙවියන් යනු මතු බුදු වන මෛත්‍රී බෝසතාණන් වහන්සේ යෑයි ඔවුන් සමඟ සම්බන්ධකම් පවත්වන කාන්තාව කියයි. එය ඇත්ත වුවත් නැතත් මේ දේව මණ්‌ඩලයෙහි ප්‍රධානියා නාථ නම් දෙවි කෙනකු බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවියන් කවරකු වුවත් තවමත් බුද්ධත්වයට පැමිණ නොමැති බැවින් එතුමන් අතින් ඇතැම් විට වැරැදි සිදු විය හැකි බවත් මම විශ්වාස කරමි. එමෙන් ම එතුමන්ට ද යම්කිසි දේශපාලනයක්‌ ඇති බවත් මෙරට සුබ සිද්ධිය සඳහා මේ මේ දේ මේ මේ ආකාරයට සිදු විය යුතු යෑයි එතුමන් විශ්වාස කරන බවත් මට තේරුම් ගොස්‌ ඇත. ඒ දේශපාලන ව්‍යාපෘතියෙහි මා සිටියත් නැතත්, එතුමන් ගේ සැම ක්‍රියාවක්‌ සමඟ ම මට එකඟ වීමට නොහැකි වුවත්, සිංහල බෞද්ධ විද්‍යාවක්‌ ගොඩනැඟීම හා සිංහල බෞද්ධ සමාජයක්‌ නැවත ඇති කිරීම යන කරුණුවල දී මම එතුමන්ට සහාය වෙමි.

එතුමන් ගේ ඇතැම් අදහස්‌ සමග මා එකඟ නො වන්නේ මට වැටහෙන ආකාරයට බව අමුතුවෙන් කිව යුතු නො වේ. මට වැටහෙන අයුරින් මා ඇතැම් කරුණුවල දී එතුමන් සමඟ එකඟ නො වන්නේ වෙනත් අයකු සමග එකඟ නො වන ආකාරයෙන් ම ය. වර්තමානය සම්බන්ධයෙන් මේ දෙවිවරුන්ට ඇති දැනුම අති විශිෂ්ට ය. ඒ දෙවිවරු තම දැනුම ප්‍රකාශ කිරිමේ දී මාධ්‍යයක්‌ ලෙස ඇතැම් විට බටහිර විද්‍යාවේ බස ද යොදා ගනිති. ඒ අපේ පහසුව සඳහා ය. විපස්‌සක දෙවියන් ගේ දැනුම සම්බන්ධයෙන් එතුමන්ට නොබෙල් තෑගි දෙන්නේ නම් රාශියක්‌ ම දිය හැකි ය. එහෙත් අනාගතය ගැන දෙවිවරුන්ට වුව ද සියයට සියයක විශ්වාසයකින් ප්‍රකාශ කළ හැකි නො වේ. රහතන් වහන්සේ අතර ද ඒ ඒ කාරණා සම්බන්ධයෙන් අගතැන් පත් වූවෝ සිටිය හ. එසේ නම් දෙවිවරුන් අතර අනාගතය කීම සම්බන්ධයෙන් ද විවිධ හැකියාවන්a ඇති අය සිටීම අරුමයක්‌ නො වේ.

පෞද්ගලික ජීවිතයෙහි දී නාථ දෙවියන් විශ්වාස කරමින් එතුමන් ගෙන් ප්‍රතිකාර ගනිමින් ප්‍රසිද්ධ ජීවිතයෙහි දී නාථ දෙවියන් නැතැයි කීමට තරම් ඊනියා උගතුන්, විද්‍යාඥයන් යෑයි කියාගන්නා තාක්‍ෂණ ශිල්පීන් (මේ, තාක්‍ෂණ ශිල්පීන්ට කරන අගෞරවයක්‌ ලෙස නො සැලකිය යුතු ය) කුහක වන්නේ ඔවුන් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට ඇති බිය මේ යෑයි පෙන්නුම් කරමිනි. අයින්ස්‌ටයින් මොන තරම් මෝඩ ආධානග්‍රාහී ප්‍රකාශයක්‌ කළත් එය පිළිගැනීමටත්, නාථ දෙවියන් හා විපස්‌සක දෙවියන් සංයුක්‌තව වර්තමානයේ දී තමන්ට දැනෙන දේ ප්‍රකාශ කළ විට ඒ ප්‍රතික්‍ෂේප කිරීමටත් ඊනියා විද්‍යාඥයන් පෙලඹෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය මෙරට ක්‍රියාත්මක වන බැවින් ය. වත්මන් දේශපාලනය ප්‍රධාන වශයෙන් ම බටහිර දැනුම ඔස්‌සේ ක්‍රියාත්මක වෙයි. ඊනියා දැනුම් සමාජ ආදී සංකල්ප බටහිරින් අපට එවන්නේ මේ ආධිපත්‍යය උපයෝගී කරගනිමිනි. අනෙක්‌ පැත්තෙන් ඒ සංකල්ප ඔස්‌සේ බටහිර ආධිපත්‍යය දිගට ම පැවැත්වෙයි.

මහාචාර්ය නලින් ද සිල්වා