logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


නාථ දෙවියන් නිසා මතු වන දේශපාලනය

බටහිර විද්‍යාවේ නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ ඇත. තාරකා විද්‍යාවේ දී කෙරෙන්නේ නිරීක්‍ෂණ ය. ඒ නිරීක්‍ෂණ කිරීමටත් යම් ආකාරයක සූදානමක්‌ අවශ්‍ය බව පැහැදිලි ය. මන්දාකිණියක රක්‌ත වික්‍ෂිප්තය මැනීමට ග්‍රහලෝකාගාරයක හෝ වෙනත් නිරීක්‍ෂණාගාරයක හෝ අවශ්‍ය උපකරණ සූදානම් කරගත යුතු ය. එහෙත් මන්දාකිණියත් සමඟ බටහිර තාරකා විද්‍යාඥයන්ට සෘජුව ම සම්බන්ධ විය හැකි නො වේ. ඔවුන්ට කළ හැක්‌කේ මන්දාකිණියෙන් අපට ලැබෙන දත්ත එකතු කර ගැනීම පමණ ය. ඒ දත්ත ලැබෙන්නේ විවිධ දුරේක්‍ෂ ඔස්‌සේ ය.

එහෙත් බටහිර භෞතික විද්‍යාවේ වෙනත් අංශවල හා බටහිර රසායන විද්‍යාවේ බටහිර විද්‍යාඥයෝ බොහෝ විට පරීක්‍ෂණ කරති. එහි දී ඔවුහු තමන් පර්යේෂණයට භාජන\ කරන වස්‌තුවලට විවිධ දේ එකතු කරති. එහි විවිධ වෙනස්‌කම් කරති. එසේ කර ඇති වන ප්‍රතිඵල නිරීක්‍ෂණය කරති. බටහිර භෞතික විද්‍යාඥයාට වායුවක පරිමාව වෙනස්‌ කර එහි පීඩනයට සිදු වන්නේ කුමක්‌ දැයි මැනගත හැකි ය. ඒ විචල්‍ය දෙක අතර යම් සම්බන්ධයක්‌ ඇත් දැයි දැනගත හැකි ය. යම් පරාසයක වායුවක පරිමාව පීඩනයට ප්‍රතිලෝම වශයෙන් සමානුපාතික බව බටහිර විද්‍යාඥයන් නිරීක්‍ෂණය කර ඇත.

එහෙත් එසේ නිගමනවලට පැමිණීමේ දී බටහිර භෞතික විද්‍යාඥයන් එක්‌ දත්ත කට්‌ටලයකට වඩා ගත යුතු බව පැහැදිලි ය. එය පරීක්‍ෂණවලට මෙන් ම නිරීක්‍ෂණවලට ද පොදු ය. වායු ආදිය සම්බන්ධයෙන් නම් විවිධ වායු වර්ග ද සැලකිය යුතු ය. එසේ කිරීමෙන් බටහිර විද්‍යාඥයෝ ඕනෑ ම වායුවකට සරිලන්නේ යෑයි කියන ඊනියා ආනුභාවික සම්බන්ධතා ගොඩනඟති. එහෙත් ඒවා ද හුදු ආනුභාවික නො වන්නේ කිසි දා සියලු වායු නිරීෂCණය කළ නොහැකි බැවිනි. අනෙක්‌ අතට ඒ සම්බන්ධතා ප්‍රවාද නො වේ. පරිමාව හා පීඩනය අතර සම්බන්ධයක්‌ ඇත්තේ ඇයි දැයි "තේරුම් ගන්නේ" ඊනියා ප්‍රවාදයක්‌ ඇසුරෙනි. තේරුම් ගැනීම යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ ද යන්න වෙනම ම තේරුම් ගත යුතු යෘ ඒ වාක්‍යය වුවත් ඇරිස්‌ටෝටලීය න්‍යායෙන් තේරුම් ගත නොහැකි යෘ

උදාහරණයක්‌ වශයෙන් ගැලීලියෝ විසින් පීසා නුවර ඇල වන කුලුනෙහි දී සිදු කරන ලද පරීක්‍ෂණයෙන් නිගමනය කෙරුණේ පොළොව ආසන්නයේ දී නිදැල්ලේ වැටෙන්නේ යෑයි කියන වස්‌තු එක ම ත්වරණයකින් බව ය. එහෙත් එසේ වන්නේ ඇයි ද යන්නට ප්‍රවාදයක්‌, නැත්නම් කතාවක්‌ ගෙතුවේ නිව්ටන් ය. ඒ අතින් ගත හොත් ගැලීලියෝ පරීක්‍ෂණාත්මක විද්‍යාඥයකු විණි නම් නිව්ටන් සෛද්ධාන්තික විද්‍යාඥයෙක්‌ විය. නිව්ටන් ගේ කතාවෙන්, එසේත් නැත්නම් ඊනියා ප්‍රවාදයෙන්, අඩු ම තරමෙන් පොළොව ආසන්නයේ දී වස්‌තු එක ම ත්වරණයකින් පොළොවට වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගත හැකි යෑයි කියෑවෙයි. එහෙත් අවාසනාවක මහත, නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය බොරු යෑයි අයින්ස්‌ටයින් කීවේ ය. එසේ නම් බටහිර විද්‍යාඥයන් එපමණ කල් තේරුම් ගෙන සිටියේ අහවල් කෙංගෙඩියක්‌ ද? අයින්ස්‌ටයින් ද කියන්නේ බොරුවක්‌ බැවින් බටහිර විද්‍යාඥයන් පොල් වැටෙන්නේ ඇයි දැයි තේරුම් ගන්නේ කව දා ද?

ජෛවීය විද්‍යාවන්හි බටහිර විද්‍යාඥයෝ බොහෝ විට සම්පරීක්‍ෂණ (Controlled experiments) කරති. බටහිර විද්‍යාඥයෝ එහි දී යම්කිසි සංසිද්ධියකට හේතුව අහවල් සාධකය දැයි දැනගැනීමට අවශ්‍ය වූ විට එක්‌ නියෑදි කුලකයක ඒ සාධකය නැතුවත් තවත් නියෑදි කුලකයක ඒ සාධකයත් මුල් නියෑදි කුලකයකට අදාළ අනෙක්‌ සියලු සාධකත් සහිත ව සංසිද්ධිය නිරීක්‍ෂණය කරති. නියෑදි කුලක දෙක අදාළ සාධකය සම්බන්ධයෙන් හැර අනෙක්‌ සියලු සාධක සම්බන්ධයෙන් සමාන වෙයි. වෛද්‍ය විද්‍යාව යනු බටහිර විද්‍යාවන් මත යෑපෙන තාක්‍ෂණික දැනුමක්‌ පමණකි. එහි බොහෝ විට බටහිර ජෛවීය විද්‍යාවට අදාළ දැනුම යොදා ගැනෙන බැවින් එහි ද සම්පරීක්‍ෂණවලට වැදගත්කමක්‌ ලැබෙයි.

එහෙත් ගැලීලියෝ ගේ පටන් බටහිර විද්‍යාවන්හි නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ කෙරෙන්නේ අදාළ කොන්දේසි සියල්ල සපුරා ලමින් නො වේ. ගැලීලියෝ කිසි දිනෙක ඇල වන කුලුන අසල රික්‌තයක්‌ නිර්මාණය නො කළේ ය. එහෙත් ඔහු ගේ ඊනියා පරීක්‍ෂණය වලංගු වන්නේ රික්‌තයක ය. එහෙත් ගැලීලියෝ රික්‌තය නොමැති ව පරීක්‍ෂණය කළා පමණක්‌ නො ව අනෙක්‌ අයට ද එහි ප්‍රතිඵල ඒත්තු ගැන්වීමට සමත් විය. ඔහු පොළොව චලිතයක යෙදෙන බව පෙන්වූයේ, නැත ඒත්තු ගැන්වූයේ කිsසි ම පරීක්‍ෂණයක්‌ නො කර ය. ඔහු අඩු ම තරමෙන් චිත්ත පරීක්‍ෂණයක්‌ වත් (Thought experiment) නො කළේ ය.

නිරීක්‍ෂණ, පරීක්‍ෂණ, සම්පරීක්‍ෂණ ආදියෙන් කරන්නේ කුමක්‌ ද? ඒ හුදෙක්‌ නිරපේක්‍ෂ දත්ත එකතු කිරීමක්‌ පමණක්‌ නො වේ. යම්කිසි රාමුවක දත්ත එකතු කිරීමකි. බටහිර විද්‍යාව පිළිබඳ දර්ශනයෙහි බටහිර විද්‍යාව යනු ආනුභවික (Empirical) විද්‍යාවක්‌ යෑයි පම්පෝරි ගැසෙයි. එනම් බටහිර විද්‍යාව ඉන්ද්‍රිය ගෝචර දත්ත මත ර පවතින්නේ යෑයි බටහිර විද්‍යාඥයෝ කියති. එහෙත් හුදු ආනුභවයෙන් පමණක්‌ යම් සංසිද්ධියකට හේතුව මේ යෑයි කිව හැකි නො වේ. ගල් දෙකක්‌ ඇතිල්ලීම හා ගිනි පත්තු වීම එකක්‌ පසුපස සිදු වන සිද්ධි දෙකක්‌ වෙයි. මෙයින් අදහස්‌ වන්නේ ගල් දෙකක්‌ ඇතිල්ලූ සැම විට ම ගිනි පත්තු වන බව නො වේ. එහෙත් බොහෝ විට එසේ වන්නේ යෑයි සිතමු. මෙයින් කියෑවෙන්නේ ගල් දෙකක්‌ ඇතිල්ලීමෙන් ගිනි පත්තු වේ ය යන නිගමනයට අපට පැමිණිය හැකි බව ද? බටහිර දාර්ශනිකයකු වූ හියුම් ඉතා පැහැදිලිව පවසා ඇත්තේ එවැනි නිගමනයකට පැමිණීමට කිසිවකුට නො හැකි බව ය.

ගල් දෙකක්‌ ඇතිල්ලීම ආනුභවික ය. එමෙන් ම ගිනි පත්තු වීම ද ආනුභවික ය. එනම් ඒ සංසිද්ධි ඉන්ද්‍රිය ගෝචර වෙයි. මේ ඊනියා ආනුභවිකත්වය ද හුදු ආනුභවිකත්වයක්‌ නො වේ. ගල් ඇතිල්ලීම යන්න සමඟ සංකල්ප කිහිපයක්‌ බැඳී ඇත. ගල, ඇතිල්ලීම, ගල් ආදී සංකල්ප නොමැති ව ගල් ඇතිල්ලීම යන්න අපට ගෝචර නො වේ. බටහිර දාර්ශනිකයෝ හුදු ආනුභවිකත්ව ගැන කියති. එහෙත් ඒ එසේ නො වන බව අපි ඉහත දී පෙන්වා දී ඇත්තෙමු සංජානනයක්‌ කිසි විටෙකත් සංකල්පයකින් තොර ව ඇති නො වේ. අඩු ම තරමෙන් සිතෙන් වත් මවාගත නොහැකි වියුක්‌ත සංකල්ප තිබුණ ද, සංකල්පයක්‌ නොමැති ව සංජානනයක්‌ හට නො ගනියි.

එමෙන් ම හුදු දත්ත සාධක කරුණු (Facts) යනුවෙන් කිසිවක්‌ නො පවතියි. සැම දත්තයක්‌, කරුණක්‌ පිටුපස යම්කිසි ප්‍රවාදයක්‌, මතවාදයක්‌, සංකල්පයක්‌ ඇත. මගේ බැංකු ගිණුමෙහි අද දවස ගත වන විට මෙතරම් මුදලක්‌ තිබිණි යන්න සංකල්ප, මතවාදවලින් විනිර්මුක්‌ත වූ දත්තයක්‌ නො වේ. මුදල්, බැංකු ගිණුම ආදිය නො දත් අයකුට එහි කිසි ම තේරුමක්‌ නැත. එය දත්තයක්‌ වන්නේ ඒ සංකල්ප දන්නා අයට පමණකි. එයටත් වඩා ප්‍රවාද මත රඳා පවතින දත්ත වෙයි. පොල් ගෙඩියක්‌ පොළොවට වැටීම යන සංසිද්ධිය ගනිමු. පොල් ගෙඩි දහයක්‌ ගස මුල ඇත යන්න හුදු දත්තයක්‌ ද? එය ගස මුල, පොල් ගෙඩිය ආදී සංකල්ප මත පදනම් වෙයි.

ඒ අතර ඇතැමුන් පොල්ගස මුල පොල් දකින්නේ ගුරුත්වාකර්ෂණය ද සමගිනි. නිව්ටන්ට පෙර සිටියවුන් එසේ නො දැක්‌ක ද ගුරුත්වාකර්ෂණය ඉගෙනීමෙන් පසු ඇතැමුන්ට ගස මුල ඇති පොල් ගුරුත්වාකර්ෂණයෙන් තොර ව නිරීක්‍ෂණය කළ නොහැකි ය. බටහිරයන් කොපර්නිකස්‌ ගෙන් පසුව දකින්නේ සූර්යයා වටා යන පොළොවකි. එහෙත් එයට පෙර ඔවුන් දුටුවේ පොළොව වටා යන ඉරකි. ගුරුත්වාකර්ෂණය අද කෙතරම් ඊනියා යථාර්ථයක්‌ වී ඇත් ද යත හොත් මෙරට ඇතැම් බටහිර විද්‍යා කථිකාචාර්යවරුන්ට ගුරුත්වාකර්ෂණය ද දැනෙන්නට පටන්ගෙන ඇත. ඒ කිනම් ඉන්ද්‍රියකට දැයි පැහැදිලි නැති වුවත් නැති ගුරුත්වාකර්ෂණය දැනෙන්නට පත් කිරීමට තරම් සංකල්පයක්‌ කෙතරම් බලවත් විය යුතු ද?

හියුම් ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත්තේ හේතුඵල ධර්මය ආනුභවික නො වන බව ය. අපට සංකල්ප ආධාරයෙන් වුව ද දැකිය හැක්‌කේ ගල් දෙකක්‌ ඇතිල්ලීම හා ගිනි පත්තු වීම යන සංසිද්ධි දෙක ය. මෙයින් ගල් දෙකක්‌ ඇතිල්ලීම හේතුව ලෙසත් ගින් පත්තුවීම ඵලය ලෙසත් අපි කියමු. එහෙත් එලෙස ඒ සංසිද්ධි දෙක හේතුව හා ඵලය ලෙස ගැනීම ආනුභවික නො වේ. එය හේතුව හා ඵලය ලෙස දැනෙන ඉන්ද්‍රියක්‌ වේ ද? එය හේතුව හා ඵලය ලෙස ගෙන ඇත්තේ මනස විසිනි. හේතුව හා ඵලය යන්න මනස විසින් සකස්‌ කරගෙන ඇති සංකල්පයක්‌ පමණකි.

අප හියුම්ට ද ඔබ්බට යන්නේ අප බෞද්ධයන් නිසා ය. අපට හුදු සංජානන, ආනුභවික ධර්ම නැත. ඒ සියල්ල සංකල්ප සමඟ බැඳී ඇත. අප කලින් පැහැදිලි කර දී ඇති පරිදි නිල් බව (Bluishnenss) යන්න හුදු ආනුභවික සංජානනයක්‌ නො වේ. නිල් බව යන සංකල්පය නොමැති ව අපට නිල් බවක්‌ නො පෙනෙයි. හියුම් බටහිර පුරෝගාමී ආනුභවිකවාදියෙක්‌ විය. එහෙත් ඔහු නො දැන සිටි දෙය නම් මනසක්‌ හා මනස විසින් නිර්මාණය කෙරෙන සංකල්ප නොමැති ව ආනුභවිකත්වයක්‌ නැති බව ය.

අද ඇතැමුන් ආනුභවික යෑයි කියන නිරීක්‍ෂණ, පරීක්‍ෂණ හා සම්පරීක්‍ෂණ ගැන කතා කරන්නේ ඒවා මනසෙන් ස්‌වායත්ත යෑයි සලකමිනි. අනෙක්‌ අතට අද අපෙන් රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ යෑයි අප කියන්නේ අසවල් අසවල් සම්පරීක්‍ෂණවලින් පසුව දැයි අසන්නන් මෙයට පෙර වකුගඩු රෝගයට හේතුව මේ යෑයි විවිධ හේතු= පෙන්වූ අය ගෙන් ඒ කිසිවක්‌ නො අසන්නේ ඇයි? ඔවුන් කර ඇති සම්පරීක්‍ෂණ කවරේ ද? ඔවුන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගේ ගිනි පෑගීම පිළිබඳ ඊනියා පර්යේෂණය සම්බන්ධයෙන් සම්පරීක්‍ෂණ නියෑදි නො ඉල්ලන්නේ ඇයි? ආචාර්ය ජානක වංශපුර මහතා අසන ආකාරයට ගිනි පෑගීම පිළිබඳ පරීක්‍ෂණය එක්‌ පුද්ගලයකු මත පමණක්‌ රැඳී ඇති එකක්‌ ද? ඒ මහතා ගේ පත්‍රිකාව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සැසිවාරයකට ඉදිරිපත් කෙරුණේ ඊනියා සාම්‍ය සමාලෝචනයකට පසුව විය යුතු ය. එහෙත් එසේ සමාලෝචනය කළවුන් ඊනියා පරීක්‍ෂණයේ අඩුපාඩුකම් කිසිවක්‌ දැක නැත. සාම්‍ය සමාලෝචන පිළිබඳව මේ එක ම කරුණෙන් මම නිගමනයකට බැස නො ගනිමි. එහෙත් සාම්‍ය සමාලෝචනවලින් පිළිගැනෙන පත්‍රිකාවල ඇති අඩුපාඩුකම් පිළිබඳව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද දනියි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා තම ඊනියා පරීක්‍ෂණයෙන් බැසගත් නිගමනය කුමක්‌ ද? ගිනි පෑගීමකට කිසිවකුට වත් දෙවියන් ගේ බලය (බැල්ම, අනුහස) අනවශ්‍ය බව ද? එසේත් නැත්නම් දෙවියන් ගේ බලය නැති වත් ගිනි පෑගිය හැකි බව ද? දෙවියන් ගේ බලය ඇති ව ගිනි පෑගීම බොරුවක්‌ බව ද? මත්පැන් බී ගිනි පාගන අයට දෙවියන් ගේ බලය නො ලැබෙන බව මහාචාර්යතුමා ගේ ඊනියා පරීක්‍ෂණයෙන් සනාථ වේ ද? පඬියන් එවැනි ප්‍රශ්න මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම, මහාචාර්ය ජනිතා ලියනගේ, මහාචාර්ය ධම්මිකා මැණිකේ ආදීන් ගෙන් නො අසන්නේ ඇයි? ඔවුන් ඒ කිසිදු සම්පරීක්‍ෂණයක්‌ කර නැති බව පැහැදිලි වුවත් අපේ ඊනියා විධික්‍රමය පිළිබඳව පමණක්‌ ප්‍රශ්න කරන්නේ ඇයි? එය නාථ දෙවියන් නිසා මතු වන දේශපාලන ප්‍රශ්නයක්‌ බව අපි දනිමු.

මහාචාර්ය නලින් ද සිල්වා