logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


බටහිර විද්‍යාවේ චණ්‌ඩි

කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා බටහිර වෛද්‍යවරයකු බව ඒ මහතා අගෝස්‌තු මස තුන් වැනි බදාදා විදුසරට ලියා ඇති ලිපියෙන් පැහැදිලි ය. එහෙත් ඒ මහතා තමා බටහිර වෛද්‍යවරයකු බව නො කියයි. බටහිර වෛද්‍යවරුන් තමන් බටහිර වෛද්‍යවරුන් බව නො කියා වෛද්‍යවරුන් යෑයි පවසන්නේ ඇයි? ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (Sri Lanka Medical Council) තමන් ශ්‍රී ලංකා බටහිර වෛද්‍ය සභාව ලෙස හඳුන්වා නො ගන්නේ ඇයි? ආයුර්වේද වෛද්‍ය සභාව හෝ වෙනත් එවැන්නක්‌ හෝ ආයුර්වේද, දේශීය ආදී නම්වලින් හැඳින්වෙද්දී බටහිර වෛද්‍ය සභාවට බටහිර යන්න ඉවත් කර වෛද්‍ය සභාව නමින් පෙනී සිටීමට ඉඩ ලැබී ඇත්තේ කෙසේ ද? බටහිර වෛද්‍යවරුන්ට බටහිර යන්න අත්හැරීමට හැකි වී ඇත්තේ ඇයි?

වරුණ ගුණතිලක නම් බටහිර වෛද්‍යවරයා ආසනික්‌ මීඩියා පර්යේෂණ පත්‍රිකාවක්‌ ගැන සඳහන් කරයි. ඔහු එය කොටස්‌ වශයෙන් පළ වන අවසානයක්‌ පෙනෙන තෙක්‌ මානයක නොමැති මෙගා ටෙලි නාට්‍යයකට සමාන කරයි. මෙහි දී හමු වන චරිත අතර පඬියන් මැට්‌ටන් හා පුස්‌සන්ට අමතරව අවස්‌ථාවාදී දේශපාලකයන් මෙන් ම චණ්‌ඩින් ද දැකගත හැකි යෑයි උගත් දොස්‌තර මහතා පවසයි. සත්තකින් ම මෙහි මැට්‌ටෝ ද පුස්‌සෝ ද වෙති. දොස්‌තර මහතා නො දනිතත් චණ්‌ඩිහු ද ඔවුහු ම වෙති.

අපේ රටේ විශ්වවිද්‍යාලවල ද තත්ත්වය එසේ ම ය. චණ්‌ඩිහු නිවට බටහිර ගැති දේශපාලකයන් ද සමඟ එක්‌ වී බටහිර වෛද්‍ය පීඨ, බටහිර ඉංජිනේරු පීඨ, හා වෙනත් බටහිර විද්‍යා පදනමක්‌ සහිත පීඨ බටහිර යන්න ඉවත් කර වෛද්‍ය පීඨ ආදී වශයෙන් හඳුන්වති. මේ චණ්‌ඩිකම මිස අනෙකක්‌ නො වේ. ලෝකයේ වෛද්‍ය ක්‍රම රාශියක්‌ තිබිය දී බටහිර වෛද්‍ය ක්‍රමය පමණක්‌ වෛද්‍ය නමින් හඳුන්වන්නේ කෙසේ ද? සත්තකින් ම මෙය අවස්‌ථාවාදී කෙසේ වෙතත් දේශපාලන ප්‍රශ්නයකි. ලංකාවේ විශ්වවිද්‍යාලයකට අයත් පීඨයක නම අවසාන වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් අනුමත වී ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත් විය යුතු ය. එහි දී දේශපාලනඥයන් වන්නේ මෙරට උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා පමණක්‌ නො වේ. බටහිර රටවල දේශපාලනඥයෝ ද මෙරට බටහිර වෛද්‍යවරු ද බටහිර විද්‍යාඥයෝ ද එහි දී දේශපාලනඥයෝ හා චණ්‌ඩි වෙති.

බටහිර වෛද්‍ය පීඨ එසේ නො හැඳින්වෙන්නේ දේශපාලන බලයෙන් හා චණ්‌ඩිකමිනි. ඒ පීඨ බටහිර වෛද්‍ය පීඨ ලෙසත් ඊනියා විද්‍යා පීඨ බටහිර විද්‍යා පීඨ ලෙසත් හඳුන්වන ලෙස අපි යෝජනා කරමු. කැලණිය විශ්වවිද්‍යාලය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය ලෙස යළි නම් කරන ලෙස අපි යෝජනා කරමු. එහෙත් අපට ඒ යෝජනා නීතිගත කරවීමට තරම් දේශපාලන බලයක්‌ නැත. නීතිය යනු දේශපාලන ආධිපත්‍යය රැක ගැනීම සඳහා ද යොදා ගැනෙන දේශපාලනය පිටුපස ද යන මෙවලම් පොදියකි. බටහිර දේශපාලන ආධිපත්‍යය හා චණ්‌ඩිකම එබඳු ය. අපේ උත්සාහය මේ දේශපාලනඥයන් හා චණ්‌ඩින් ඉවත් කිරීම ය. එහෙත් වරුණ ගුණතිලක දොස්‌තර මහතාට අවශ්‍ය වෙනත් දෙයක්‌ බව පැහැදිලි ය. ඔහුට අවශ්‍ය බටහිර දැනුමට ගැතිකම් කරන බටහිර උගතුන් ගේ පෙළැන්තියේ දේශපාලන ආධිපත්‍යය හා චණ්‌ඩිකම රැකගැනීම ය.

අද මෙරට පුවත්පත්වලට ලියන බටහිර ගැති උගතුන් අපෙන් ඉල්ලා සිටින්නේ ඔවුන් ගේ ඊනියා විධි ක්‍රමයක්‌ පිළිපදින ලෙස ය. එහෙත් මේ කියන විධික්‍රමයක්‌ මෙලොව නැත. මේ මායාකාරී මිථ්‍යාවකට අනුව අපේ ප්‍රතිඵල ඉදිරිපත් කරන්නැයි ඔවුහු කියති. එසේ ඉදිරිපත් නො කරන්නේ නම් අපේ ප්‍රතිඵල පිළිගැනීමට තමන් බැඳී නැති බවක්‌ ඔවුහු කියති. එහෙත් මේ ඊනියා මායාව අනුව ක්‍රියාත්මක වන ලෙස බටහිර ගැති චණ්‌ඩි කියන්නේ අපට පමණ ය. ඊනියා සාම්‍ය සමාලෝචන, පර්යේෂණ නැවත කිරීමට හැකියාවක්‌ තිබීම ආදිය රජරට වකුගඩු රෝගයට හේතුව ඇල්ගී යෑයි කියන කණ්‌ඩායමට ඉදිරිපත් කර ඇත් ද? ඒ කණ්‌ඩායම තම ප්‍රතිඵල මාධ්‍යවලට ප්‍රකාශ කළේ ඊනියා විද්වත් සඟරාවල පළ කිරීමෙන් පසුව ද? මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම මහතා ම පවසා ඇති අයුරු ඔහු තම ප්‍රතිඵල ඊනියා විද්වත් සඟරාවක පළ කර ඇත්තේ ඒ ප්‍රකාශ කර අවුරුදු පහකට පසුව ය.

බටහිර විද්‍යාවට අවශ්‍ය ආකෘතියෙහි අපේ ප්‍රතිඵල ඉදිරිපත් කරන ලෙස බල කිරීම ම දේශපාලන ආධිපත්‍යය යොදාගෙන කෙරෙන චණ්‌ඩිකමකි. එය හුදු ශාස්‌ත්‍රීය කටයුත්තක්‌ බවට පෙන්වන්නේ එය දේශපාලන බලය යොදා ශාස්‌ත්‍රී්‍රය කටයුත්තක්‌ බවට පත් කර ඇති බැවිනි. එක්‌ පුද්ගලයකුට තවත් පුද්ගලයකු ගේ ඊනියා ශාස්‌ත්‍රීය මතයක්‌ පිළිගත හැක්‌කේ එය බටහිර ආකෘතියකට අනුකූලව ඉදිරිපත් කළ හොත් පමණ ද? බටහිර ගැති උගතුන් අද අපෙන් ඉල්ලන්නේ පළිබෝධනාශකවල ආසනික්‌, රසදිය, සයනයිඩ් ආදිය සම්බන්ධයෙන් ඊනියා සහතික ලත් රසායනාගාරයක කෙරෙන පරීක්‍ෂාවල වාර්තාවකි. අපේ කණ්‌ඩායමේ ඇතැම් අය එවැනි සහතික ගෙනැවිත් දීමට කටයුතු කරති. එයට මගේ තදබල විරුද්ධත්වයක්‌ නැත. දේශපාලන ආධිපත්‍යය තිබෙන චණ්‌ඩින්ට අවශ්‍ය සහතික පත් ගෙනැවිත් නො දී ඔවුන් අප විශ්වාස නො කරන බැවින් එසේ කිරීමට සිදු වී ඇත. එහෙත් දිගින් දිගට ම අප මේ සෙල්ලමට ඉඩ දිය යුතු නො වේ. ඔවුන් ඊනියා විධි ක්‍රමයක නාමයෙන් ඉල්ලන ඉල්ලන දේ ගෙනැවිත් දීමට අප බැඳී නැත.

අප ඔවුන්ට කියා සිටින්නේ අපේ රසායනාගාරවලට පැමිණ එව බලව ක්‍රමයට අපේ පර්යේෂණ ගැන දැනගන්නා ලෙස ය. එහි ඇති වරද කුමක්‌ ද? එසේ පැමිණ ඔවුන්ට අපෙන් කෙළින් ම ප්‍රශ්න කළ හැකි ය. ඊනියා සාම්‍ය සමාලෝචන සහිත පත්‍රිකාවලට වඩා එහි පිළිගත හැකි බවක්‌ නැද්ද? එමගින් පර්යේෂණ නැවත නැවතත් කිරීමක්‌ නො වන්නේ ද? අනෙක්‌ අතට මේ සහතික ලත් ආයතනවලට රිංගාගෙන සිටින නිලධාරීන්ට, ඊනියා පර්යේෂකයන්ට තමන් ගේ මතිමතාන්තර යුක්‌තියුක්‌ත කිරීම සඳහා පර්යේෂණ කළ නොහැකි ද? මා දන්නා සහතික ලත් ආයතනයක රසායන විද්‍යාවට අදාළව පර්යේෂණ කරන ප්‍රධානියා ගේ සිංහල බෞද්ධ විරෝධී හැඟීම් මත ආසනික්‌ හා රසදිය සඳහා පරීක්‍ෂා කරන බව සාක්‍ෂි සහිත ව පෙන්වා දිය හැකි ය.

බටහිර විද්‍යාවේ පියා ලෙස හැඳින්වෙන ගැලීලියෝ පීසා නුවර ඇල වන කුලුනින් වස්‌තු හෙළීමේ දී වස්‌තු= තෝරා ගත්තේ ඔහුට අවශ්‍ය කැරණ පෙන්වා දීම සඳහා ය. ඔහු යකඩ බෝලයක්‌ හා පිහාටුවක්‌ අතහැරියේ නම් ඔහු ගේ අරමුණ ඉටු නො වීමට තිබිණි. ඔහු තමන්ට අවශ්‍ය දේ පෙන්වීම සඳහා පර්යේෂණ කළේ ය. අද මෙරට ඊනියා සහතික ලත් පර්යේෂණාගාරයක පරීක්‍ෂා කෙරෙන්නේ ද එහි පර්යේෂක ප්‍රධානියාට අවශ්‍ය දේ පෙන්වීම සඳහා ය. ඔහු ආසනික්‌ තිබෙන නියෑදිවල ආසනික්‌ නැතැයි පෙන්වීමේ විශේෂඥයෙකි. ඔහුට විරුද්ධව චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් කිරීමට කාලය එළඹ ඇතැයි සිතමි. ගැලීලියෝ ගේ ගෝලයෝ, ගුරුවරයා හිටගෙන කළ දේ, දුව දුව කරති.

බටහිර විද්‍යාවේ චණ්‌ඩි තමන් මහ ඉහළින් සලකන නේචර්, සයන්ස්‌ සඟරාවලට ද බලපෑම් කරති. මේ සඟරා ඇත්තේ බටහිර විද්‍යාවට අවශ්‍ය දේ කීමට වුවත් ඉඳහිට ඔවුන් අතින් බටහිර චින්තනයට පටහැනි එහෙත් බටහිර ඊනියා පර්යේෂණ ක්‍රමයට අනකූල ප්‍රතිඵල පළ වෙයි. 1988 දී පමණ නේචර් සඟරාවේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ මූලධර්මය සනාථ කරන පත්‍රිකාවක්‌ පළ විණි. ඉන් කියෑවුණේ ඇතැම් ද්‍රව්‍යයක්‌ ඇතැම් ද්‍රවයක දිය කර එහි තනුකත්වය බෙහෙවින් අඩු කළ ද අදාළ ද්‍රව්‍යයේ ගුණ ද්‍රdවණයේ දැකිය හැකි බව ය. පත්‍රිකාව පළ වීමෙන් පසු බටහිර ඇලොපති වෛද්‍යවරු, එනම් දොස්‌තරලා, නැඟී සිටිය හ. ඔවුහු ඊනියා විධි ක්‍රමයේ "අඩුපාඩු" පෙන්වමින් සඟරාවට බලපෑම් කළ හ. එහි ප්‍රතිඵලය වූයේ පත්‍රිකාවේ ප්‍රංශ ජාතික කතුවරයා පත්‍රිකාව ඉල්ලා අස්‌ කර ගැනීම ය. මේ පිළිබඳව මා එකල විදුසරට කෙටි සටහනක්‌ යෑවූ බව මතක ය.

අද සයන්ස්‌ සඟරාවේ ද එවැන්නක්‌ සිදු වෙයි. පසුගිය දා මනෝඡ් රත්නායක මහතා විදුසරට ලියූ ලිපියක ආසනික්‌ මත ජීවත් වන බැක්‌ටීරියා පිළිබඳ කියෑවෙන පත්‍රිකාවක්‌ ගැන සඳහන් කර තිබිණි. මෙය සම්මත බටහිර චින්තනයට එකඟ නො වේ. ඒ පත්‍රිකාවට ත්‍යාගයක්‌ ද ලැබුණු නමුත් එහි භයානකකම වටහාගත් බටහිර විද්‍යාවේ චණ්‌ඩි ඒ පත්‍රිකාව ප්‍රතික්‌ෂේප කරවීමට කටයුතු කළ හ. එහෙත් අපට ඒ පත්‍රිකාව කිසිසේත් ම ප්‍රශ්නයක්‌ නො වේ. ආසනික්‌ උරාගැනීමෙන්, වෙනත් වස වර්ග උරාගැනීමෙන්, ජීවත් විය හැකි ජෛව වර්ග ලොව තිබිය යුතු ය. එසේ නැත හොත් ආසනික්‌ විෂ වීමෙන් රෝගාතුර වන අයට බටහිර ඇලොපති ක්‍රමයේ ම පිහිට ය. එහෙත් ප්‍රතිකර්ම සඳහා විරුද්ධ ගුණ ඇති රසායනික ද්‍රව්‍ය ගැන සිතන බටහිර ඇලොපති ක්‍රමයට රජරට වකුගඩු රෝගයට ප්‍රතිකර්ම නැත. එසේ වුවත් අපට ආසනික්‌ විස නැති කිරීමට ආසනික්‌ උරාගත හැකි ශාක වර්ග යොදා ගැනීමට හැකි ය.

කොහොඹ ගස මේ සම්බන්ධයෙන් හොඳ උදාහරණයකි. අපේ පර්යේෂණවල දී අප දුටු කරුණක්‌ වූයේ කොහොඹ ගසෙහි පොත්තෙහි ආසනික්‌ තැන්පත් වීම වැඩි බව ය. කොහොඹ ලෙඩ රෝගවල දී මිනිසුන්ට පිහිට වන්නේ මිනිසාට අහිතකර ඇතැම් බැක්‌ටීරියා හා වයිරස සමඟ ජීවත් වීමට කොහොඹ ගසට හැකි වීම නිසා යෑයි සිතිය හැකි ය. අඩු ම තරමින් කොහොඹ ගසට ආසනික්‌ වසක්‌ නො වේ. එමෙන් ම ඇතැම් බැක්‌ටීරියාවලට ආසනික්‌ සමඟ ජීවත් විය හැකි වීම පුදුමයක්‌ නො විය යුතු ය. අපේ විද්‍යාවක නම් ඒ එසේ ම විය යුතු ය. වස විස යනු නිරපේක්‍ෂ දෑ නො ව ඒ ඒ ජීවියාට සාපේක්‍ෂ දෑ වෙයි. මිනිසාට වස ද්‍රව්‍ය සැම ජීවියකුට ම වස වීම අවශ්‍ය නො වේ. මෙන්ඩලීෆ් ගේ වගුවෙහි ආසනික්‌ ඇත්තේ ජීවයට උපකාරී වන ෆොස්‌aෆරස්‌ කාණ්‌ඩයේ ම ෆොස්‌ෆරස්‌ මූලද්‍රව්‍යයට පහළින් බව ද අමතක නො කළ යුතු ය. අප අපේ චක්‍රීය චින්තනයේ චතුස්‌කෝටික න්‍යායක අපේ විද්‍යාවක්‌ ගොඩනඟා ගත් දිනයක මෙය වඩාත් හොඳින් තේරුම් ගත හැකි වනු ඇත. එහෙත් පරණ තෙස්‌තමේන්තුවට අනුකූල ඩාවීනිය රේය පරණාමය හා ඇරිස්‌ටෝටලීය න්‍යාය පමණක්‌ පිළිගන්නා බටහිර විද්‍යාවට අනුව ආසනික්‌ මත ජීවත් වන ජීවියා පරස්‌පර ය. අද චණ්‌ඩින් වූ බටහිර සම්මත විද්‍යාඥයන් ගෙන් අදාළ පර්යේෂණයේ ඊනියා අඩුපාඩුකම් පෙන්වමින් ඒ පත්‍රිකාවට එදිරිවාදිකම් කෙරෙන්නේ එබැවිනි. නිසැකයෙන් ම මේ චණ්‌ඩි පලවා හැරිය යුතු ය. අද නම් අපට සියල්ල කිරීමට සිදු ව ඇත්තේ මේ චණ්‌ඩින්ට අවශ්‍ය ආකාරයට ය.

අවසාන වශයෙන් වරුණ ගුණතිලක දොස්‌තර මහතාට කිව යුත්තේ සහල්වල ද ආසනික්‌ අඩංගු බව අප තවමත් කියන බව ය. අප ඒ ගැන අද අවධානයක්‌ නො කරන්නේ රජරට වකුගඩු රෝගය වැළඳීමට එය අදාළ නො වන බැවින්, එහි දී එය ද්විතීයික කරුණක්‌ වන බැවින් මිස එසේ ද්විතීයික කරුණක්‌ යෑයි කියා පෑළ දොරින් පැන යැමට නො වේ. අනෙක්‌ අතට සහල්වල ආසනික්‌ අඩංගු බව පළමුවෙන් ම සඳහන් කළේ ලොව පතළ කීර්තියක්‌ ඇතැයි කියන කැලණිය විශ්වවිද්‍යාලයයේ ලෝක පූජිතයකු ලෙස සැලකෙන මහාචාර්ය රංජිත් ජයසේකර මහතා ය. ඒ මහතා දැන් ඒ ගැන කිසිවක්‌ සඳහන් නො කර සිටීම නම් අපට පුදුමයක්‌ වෙයි. ඉදිරි කාලයේ දී අපට තව තවත් වස විස ගැනත් වස විසට ඔරොත්තු දෙන ශාක ගැනත් කතා කිරීමට සිදු වනු ඇත. එය මෙගා ටෙලිනාට්‍යයකට අලුත් චරිත එකතු කිරීමක්‌ නො ව අවස්‌ථානුකූලව ජනතාව දැනුවත් කිරීම ය. කෙසේ වුවත් තෙරක්‌ නො පෙනෙන සංසාරයක්‌ ගැන කතා කරන බෞද්ධයනට ඊනියා මෙගා ටෙලි නාට්‍ය අමුතු අත්දැකීමක්‌ ද නො වේ.

මහාචාර්ය නලින් ද සිල්වා