logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අපේ රටේ අලි ඇතුන් ගේ අනාගතය

අලි ඇතුන් යනු මෙරට වාසය කරන වනජීවීන් අතර වැඩි ම ආකර්ෂණයක්‌ දිනාගත් සත්ත්ව විශේෂය බවට සැකයක්‌ නොමැත. ඒ සඳහා කරුණු කිහිපයක්‌ හේතු වී තිබේ. අලියා යනු ගොඩබිම වෙසෙන විශාලතම සත්ත්වයා වන අතර බුද්ධිමත් සතෙක්‌ ද වේ. එසේ ම ඔවුන් ගේ බුද්ධිය හා සමාජශීලී හැසිරීම ඔවුන් කෙරෙහි ඇති ආකර්ෂණය තවත් වැඩි කර තිබේ. එපමණක්‌ නො ව සංස්‌කෘතික වශයෙන් ද අලි ඇතුන් අපට බොහෝ සේ සමීප වේ. මේ කරුණු අලි ඇතුන් සංචාරක ආකර්ෂණයක්‌ වීමට ද හේතු වී තිබේ. අනෙක්‌ අතට අලි-මිනිස්‌ ගැටුම ද අලින් පිළිබඳව ඇති අවධානය තවත් වර්ධනය කිරීම සඳහා ද හේතු වී තිබේ.

කෙසේ වෙතත් මේ දිනවල ජනමාධ්‍ය ඔස්‌සේ අලි ඇතුන් පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු වී ඇත්තේ අලි සංගණනය නිසාත් පෙරහැර සමය නිසාත් ය. එසේ ම පසුගිය සති කිහිපය තුළ මිය ගිය ප්‍රකට හීලෑ අලි දෙදෙනකු නිසා ද මේ අවධානය තවදුරටත් පුළුල් වී ඇත.

අලි සංගණනය

අලින් පිළිබඳ සංගණනයක්‌ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් අගෝස්‌තු 11 වැනි දින (හෙට දින) ආරම්භ කිරීමට නියමිත ය. මේ පිළිබඳව අනාවරණය වී ඇති කරුණු අනුව මේ සංගණනය පැවැත්වීමට අදහස්‌ කර ඇත්තේ ආරක්‌ෂිත ප්‍රදේශ මෙන්ම විශාල වශයෙන් අලින් ගැවසෙන ස්‌ථාන ගණනාවක්‌ පදනම් කරගනිමිනි. ඒ සඳහා ජාතික වනෝද්‍යාන දින තුනක්‌ පමණ කාලයක්‌ වසා තැබීමට ද නියමිත ය. මේ කාර්යය සඳහා තුන් දහසකට අධික පිරිසක්‌ ද සහභාගි වීමට නියමිත ය. මිලියන විස්‌සක පමණ මුදලක්‌ මේ සඳහා වැය වේ. මේ සංගණනයේ අරමුණ සමස්‌ත අලින් ප්‍රමාණය ගණනය කිරීම ය. මෙහි දී යොදාගන්නේ Rජු නිරීක්‌ෂණ මත පදනම් ව අලින් ගණනය කිරීමකි. ඒ ජල ප්‍රභව මත පදනම් වූ ක්‍රමවේදයකි.

මෙරට වාසය කරන අලි ඇතුන් ගණන පිළිබඳව ද විවිධ ඇස්‌තමේන්තු තිබේ. ඇතැම් සංඛ්‍යාලේඛන අනුව එය 2,500ත් 4,000ත් අතර ප්‍රමාණයකි. වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අනුව මේ ප්‍රමාණය 5,000-6,000 අතර වේ.

වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශවලට අනුව මේ සංගණනයෙන් ලබා ගන්නා තොරතුරු අලින් සංරක්‌ෂණ කළමනාකරණ සැලැස්‌මක්‌ සැදීම සඳහා යොදාගන්නා බව ද ප්‍රකාශ වී තිබේ. එසේ නම් උක්‌ත සංගණනයෙන් ලබා ගන්නා දත්ත නිවැරැදි විය යුතු ය. එසේ නැත හොත් ඒ මත පදනම් ව සකසන කළමනාකරණ සැලැස්‌ම ද අඩුපාඩුවලින් යුක්‌ත විය හැකි ය.

අලින් සංගණනයක්‌ යනු සරල කාර්යයක්‌ නො වේ. ඒ කරුණු කිහිපයක්‌ නිසා ය. අපේ රටේ ද සෙසු ආසියානු අලින් වාසය කරන රටවල ද අලින් දැකිය හැකි ස්‌වාභාවික පරිසරයේ දී ඔවුන් Rජුව ගණනය කිරීම තරමක්‌ අසීරු ය. ඇතැම් විට එය තරමක්‌ ඝන වනාන්තරයක්‌ විය හැකි ය. එසේ ම අලින් මිනිසුන් දුටු විට දක්‌වන ප්‍රතිචාරය විවිධ විය හැකි වීම ය. මිනිසුන් මඟහැර යැම ඔවුන් ගේ මූලික ක්‍රියා පිළිවෙතකි. මේ නිසා අලින් ගණනය කිරීමට බොහෝ විට යොදාගනු ලබන්නේ වක්‍ර ක්‍රියා පිළිවෙත් ය. ඒ අතර අලි බෙටි ගණනය කිරීම වැනි ක්‍රියාමාර්ග ද වේ. කෙසේ වෙතත් මේ සියලූ ආකාරයේ ක්‍රියා පිළිවෙත්වල දෝෂ දැකිය හැකි අතර ඒවායේ අඩුපාඩු සැලකිය යුතු තරමින් සාකච්ඡාවට ලක්‌ වී තිබේ.

ජල මූලාශ්‍ර මත පදනම්ව අලි ඇතුන් ගණනය කිරීම ද එතරම් පහසු කටයුත්තක්‌ නම් නො වේ. එහි දී අලි ඇතුන් ජලය පානය කිරීම සඳහා පැමිණෙන සියලූ ජල ප්‍රභව ආවරණය විය යුතු ය. මේ සතුන් දෙවරක්‌ ගණනය කිරීම වැළැක්‌වීමට ද කටයුතු කළ යුතු වේ. විශේෂයෙන් මෙරට ජීවත් වන වන අලින් අතරින් වැඩි පිරිසක්‌ වාසය කරන්නේ වනෝද්‍යානවලින් පිටත වන බැවින් එය වැඩි සැලකිල්ලකට ලක්‌ විය යුතු කරුණකි. මේ පිළිබඳව ද අදාළ බලධාරීන් යම් අවධානයක්‌ යොමු කර ඇති බව පෙනේ.

මේ සංගණණය පිළිබඳව අපට ඇති වන බරපතළ ම ගැටලූවට හේතු වන්නේ ඇතැම් මාධ්‍යවලට ඇමැතිවරයා පවසා තිබූ ප්‍රකාශයකි. ඒ විහාර හා දේවාලවලට ලබා දීමට යෝග්‍ය අලි පැටවුන් හඳුනාගැනීමක්‌ ද මේ සංගණනයේ දී සිදු කරන බව ය. මෙය එක්‌තරා ආකාරයකට බළලා මල්ලෙන් එළියට පැනීමකි. එය එසේ නම් මේ සංගණනය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමේ ප්‍රයෝජනයක්‌ නොමැත. මේ ඉතා කණගාටුදායක හා බරපතළ වූ තත්ත්වයකි. වනජීවී දෙපාර්තමේන්තුව අලි ගාලක්‌ පැවැත්වීමේ මූලික පෙරහුරුවක යෙදෙනවා වැනි ය.

අලි - මිනිස්‌ ගැටුම

අලි මිනිස්‌ ගැටුම වැළැක්‌වීම මෙරට අලි ඇතුන් සංරක්‌ෂණය හා සම්බන්ධව වැදගත් කරුණක්‌ වේ. සාමාන්‍යයෙන් එක්‌ වසරක දී මිය යන අලින් ගේ ගණන 150කට අධික ය. මෙය කාලයත් සමග වර්ධනය වී ඇත. එහෙත් 2011 වර්ෂයේ ජූනි මාසය දක්‌වා ගත වී ඇති කාලය තුළ අලි ඇතුන් 148ක්‌ පමණ පිරිසක්‌ මිය ගොස්‌ තිබේ. මේ වසරේ පැවැති ආන්තික කාලගුණ තත්ත්වය හා හක්‌ක පටාස්‌ වැනි කුරිරු උපක්‍රම සුලබ වීම ද ඊට හේතුවක්‌ වී ඇති බව පෙනේ.

එමෙන් ම අලින් ගේ ප්‍රහාරවලට ලක්‌ ව මිය යන මිනිසුන් ප්‍රමාණය ද සුළුපටු නො වේ. සාමාන්‍යයෙන් වසරකට මිනිසුන් 60කට අධික පිරිසක්‌ අලින් ගේ ප්‍රහාරවලින් මිය යන බව වාර්තා වී තිබේ. මේ සියලු දෙනා ම මිහි මත ජීවත් වීමේ අයිතිය

රැගෙන උපන්නවුන් වන බැවින් අපට මේ තත්ත්වය අමතක කළ නොහැකි ය.

අලි මිනිස්‌ ගැටුමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වන්නේ මිනිසුන් විසින් අලින් ජීවත් වන ප්‍රදේශ ආක්‍රමණය කරනු ලැබීම ය. කෘෂිකාර්මික අවශ්‍යතා මේ සඳහා ප්‍රධාන හේතු වේ. වනගතව හා අලින් ගේ වාසභූමි ලෙස පැවැති බොහෝ ප්‍රදේශ කෘෂි ව්‍යාපාර හා ජනාවාස සඳහා මිනිසුන් විසින් ආක්‍රමණය කරනු ලැබ තිබේ. මෑත කාලයේ දී මහවැලි ප්‍රදේශවලින් හා උතුරු නැඟෙනහිර ප්‍රදේශවලින් වැඩි ගැටුම්කාරී තත්ත්වයක්‌ වාර්තා වීම මේ සඳහා නිදසුනකි.

අලින් පිළිබඳ ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද?

අලින් සංරක්‌ෂණය කිරීම සඳහා ගන්නා කුමන පියවරක දී වුවත් සැලකිය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. ඉන් පළමුවැන්න වන්නේ අපේ රටේ ජීවත් වන අලින් අතරින් අඩකටත් වැඩි සංඛ්‍යාවක්‌ ජීවත් වන්නේ ආරක්‌ෂිත ප්‍රදේශවලින් පිටත බව ය. නිදසුනක්‌ ලෙස හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ හා වයඹ පළාතේ ජීවත් වන අලි ගහන දැක්‌විය හැකි ය. අලි සංරක්‌ෂණයේ දී මේ බව අමතක කළ නොහැකි ය.

එහෙත් අපට අසන්නට දකින්නට ඇති ඇතැම් කරුණු අනුව පෙනෙන්නට තිබෙන්නේ අලින් ආරක්‌ෂා කිරීමේ සැලසුම්වල දී මේ බව නො සලකා හැර ඇති බවකි. ඒ අනුව අලි ඇතුන් ජාතික වනෝද්‍යානවලට ගාල් කිරීමේ ප්‍රයත්නයක්‌ දියත් වෙතැයි පෙනෙන්නට තිබේ. වනෝද්‍යානවල අලින්ට අවශ්‍ය තරම් ආහාර හා ජලය ලබා දීමට අපේක්‌ෂා කරන බවක්‌ වනජීවී අමාත්‍යවරයා පවසා තිබිණි. මෙය සංචාරක ආකර්ෂණයක්‌ ලෙස සලකා ක්‍රියාත්මක කරන්නක්‌ බව ද පෙනේ.

එහෙත් මෙය කෙතරම් ප්‍රායෝගික වේ ද යන්න අපට නම් ගැටලූවකි.

අලි ඇතුන් යනු ප්‍රමාණයෙන් සීමිත ආරක්‌ෂිත ප්‍රදේශ කිහිපයකට ගාල් කර ආරක්‌ෂා කළ යුතු සතුන් පිරිසක්‌ නො වේ. අධ්‍යයන ගණනාවකින් පෙන්වා දී ඇති පරිදි අලි ඇතුන් සැලකිය යුතු ප්‍රදේශයක ගමන් කරමින් තම ආහාර හා ජල අවශ්‍යතා සපුරා ගන්නා සත්ත්ව විශේෂයකි. ඔවුන් ගේ දේහය පවත්වා ගැනීමට හා ශක්‌තිය ලබා ගැනීම සඳහා අධික ආහාර හා ජල ප්‍රමාණයක්‌ අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් අලියකුට එක්‌ දිනකට කිලෝග්රෑම් 150ක පමණ ආහාර ප්‍රමාණයක්‌ ද ජලය ලීටර් 120ක්‌ පමණ ද අවශ්‍ය වේ. මේ නිසා අලින් සැලකිය යුතු ප්‍රදේශයක සංචරණය කරන බව පෙනේ. ඇතැම් විට වියළි හා තෙත් කාලවල දී මේ සංචරණ ප්‍රදේශය වෙනස්‌ වේ. මේ නිසා ඇතැම් වකවානුවල දී ආරක්‌ෂිත ප්‍රදේශවලින් පිටත පැමිණීම සිදු වේ.

මෙවැනි අවස්‌ථාවක දී අදාළ අලින් ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ඔවුන් ගේ සංචරණ රටාව වටහාගත යුතු ය. මේ සඳහා ඇති හොඳ ම නිදසුන යාල-නිමලව අතර සංචරණයේ යෙදුණු අලි රංචුවේ ඉරණමයි. වියළි කාලයේ දී මේ අලි රංචුව යාල වනෝද්‍යානයෙන් පිටතට පැමිණි අතර යාල හා නිමලව අතර විදුලි වැට ඉදි කිරීමෙන් පසුව ඔවුන් ගේ මේ ගමන්මඟ අවහිර විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මේ අලි රංචුවේ වැඩි පිරිසක්‌ කණගාටුදායක ඉරණමකට මුහුණ දී තිබේ. එයට එක්‌ හේතුවක්‌ වූයේ ඔවුන් සීමා වූ ප්‍රදේශයේ ආහාර ප්‍රමාණවත් නො වීම ය.

මේ අනුව අපේ ආරක්‌ෂිත ප්‍රදේශවල සියලූ ම අලි ඇතුන් රඳවා ගත හැකි ද යන්න ගැටලූ සහගත ය. ඒ වනෝද්‍යානවල පවා ජීවත් විය හැකි අලි ඇතුන් ගේ ප්‍රමාණයට සීමා තිබිය හැකි ය. නිදසුනක්‌ ලෙස උඩවලවේ ජීවත් වන අලින් ගේ ප්‍රමාණය ඇතැම් කාල වකවානුවල දී 800-1100 අතර ප්‍රමාණයක්‌ බව මෑත දී පළ වූ අධ්‍යයන වාර්තාවක්‌ මගින් හෙළි වී තිබේ. මේ අධ්‍යයනය වසර පුරා සිදු කරන ලද නිරීක්‌ෂණ මත පදනම් ව සිදු කරන ලද්දකි. එය එතෙක්‌ උඩවලවේ ඇතැයි සැලකුණු වන අලින් සංඛ්‍යාව මෙන් දෙගුණයක්‌ පමණ වේ. මෙය වසර පුරා විවිධ වන්නේ අලින් කලින් කල මේ ප්‍රදේශය අවට ප්‍රදේශවලට සංක්‍රමණය වන නිසා ය. උඩවලව වනෝද්‍යානය තුළ පරිසරයට අලින් ගෙන් සිදු වන බලපෑම නිරීක්‌ෂණය කිරීමෙන් මේ අලින් ප්‍රමාණය ඊට දරාගත හැකි ද යන්න තීරණය කළ හැකි ය. අපේ වනෝද්‍යානවලට දරාගත හැකි අලින් ගණන පිළිබඳව මීට වඩා වැඩි අවබෝධයක්‌ අපට අවශ්‍ය බව පැහැදිලි ය.

ආරක්‌ෂිත ප්‍රදේශවලින් පිටත සිටින අලින් ආරක්‌ෂිත ප්‍රදේශවලට පන්නා දැමීමේ සාර්ථකත්වය පිළිබඳව ද ගැටලූ පවතී. අධික වියදමක්‌ දරා පසුගිය දිනවල සිදු කරන ලද එවැනි අලින් එළවීම් කිහිපයක්‌ ද අසාර්ථක වූ බව පුවත්පත්වල වාර්තා වී තිබිණි. බාධකයක්‌ නොමැති නම් අලින් ආපසු පැමිණීම වැළැක්‌වීම අසීරු ය.

අනෙක්‌ අතට අපේ වනෝද්‍යාන හා අභයභූමිවල ඇති ආරක්‌ෂිත තත්ත්වය ද ඇතැම් විට ගැටලූ සහිත ය. අලි ඇතුන් හා වෙනත් වනජීවීන් වෙනුවෙන් වෙන් කරන බිම් ප්‍රදේශ පසුව මිනිසුන් විසින් ආක්‍රමණය කරනු ලැබීම සිදු කළ හොත් එය එතරම් යෝග්‍ය කරුණක්‌ නො වේ. එවැනි දේ අද ද සිදු වන බව සෝමාවතී වනෝද්‍යානයෙන් අසන්නට ලැබේ. එය කණගාටුදායක කරුණකි.

මේ කරුණු අනුව පෙනෙන්නේ අලි ඇතුන් සංරක්‌ෂණය කිරීමට අවශ්‍ය නම් එය සිදු කළ යුත්තේ අලි ඇතුන් ගේ හැසිරීම් හා අවශ්‍යතා තේරුම් ගැනීමෙන් පමණක්‌ බව ය. අලින් සඳහා වූ ආරක්‌ෂිත ප්‍රදේශ නිර්ණය කළ යුත්තේ අපේ අවශ්‍යතාව මත නො වේ. ඒ සඳහා අලින් ගේ ජීවන රටාව තේරුම් ගත යුතු වේ. කළ යුත්තේ අලින් ගේ ස්‌වාභාවික ව්‍යාප්තිය තේරුම් ගෙන ඒ අනුව අපේ සැලසුම් සකස්‌ කිරීම බව පෙනෙන්නට තිබේ. එවැනි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් ව ඇතත් ඒවා ක්‍රියාත්මක කෙරෙන බවක්‌ අපට නම් පෙනෙන්නට නැත.

එසේ ම අවසන් වශයෙන් කිව යුත්තේ අලි ඇතුන් සංරක්‌ෂණය කළ යුත්තේ ඔවුන් මේ පරිසරයේ ම කොටසක්‌ වන නිසාත්, අප මේ භූමිය ඔවුන් සමග බෙදා ගන්නවා පමණක්‌ නිසාත් ය. මිහිඳු හිමියන් විසින් මෙරට පාලකයා ව සිටි දෙවනපෑතිස්‌ රජුට එදා වදාරන ලද පහත සඳහන් ප්‍රකාශය අද දවසේ පාලකයන්ට වුවත් වැදගත් වන්නේ කෙමෙන් දියෑවී යන බවක්‌ පෙනෙන වත්මන් රජයේ පරිසර සලකුණ යහපත් ව තබා ගැනීමට එය ඉවහල් විය හැකි නිසා ය. "මහරජ, අහස සරන කුරුල්ලන්ට ද පොළොවේ සියලූ සතුන්ට ද මහ පොළොවේ ඕනෑ ම තැනක හැසිරීමේ අයිතිය හා නිදහස ඔබට මෙන්ම ඇත. ඔබ එහි අයිතිකරු නො ව භාරකරු පමණිZZ.

හීලෑ අලි ප්‍රශ්නයට විසඳුම් සෙවීම

හීලෑ අලි-ඇතුන් ශ්‍රී ලංකාවේ සංස්‌කෘතියේ වැදගත් අංගයක්‌ බව පෙනේ. හස්‌තියා මංගල සම්මත සංකේතයක්‌ සේ සලකන ලදි. අතීතයේ සැලකිය යුතු කලක පටන් අලි ඇතුන් විවිධ කටයුතු සඳහා භාවිත කර තිබේ. සංග්‍රාම හස්‌තීන් ලෙස, රාජකීය සත්ත්වයකු ලෙස, ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙස, බර වැඩ සඳහා හා වෙළෙඳ ද්‍රව්‍යයක්‌ ආදි වශයෙන් විවිධ කාර්යයන් සඳහා යොදාගෙන තිබේ. එය කලින් කලට වෙනස්‌ වී තිබේ.

මේ වන විට අලි ඇතුන් මූලික වශයෙන් යොදා ගැනෙන්නේ බර වැඩ, සංචාරක කර්මාන්තය හා පෙරහැර වැනි ආගමික අංග සඳහා බව පෙනේ. සැලකිය යුතු කාලයක සිට පෙරහැර සඳහා අලි යොදා ගැනීම නිසා අලි ඇතුන් නැති පෙරහැරක්‌ සඳහා අදටත් සමාජයේ ඇත්තේ අඩු ආකර්ෂණයකි. එසේ ම හීලෑ අලින් නැරඹීමට බොහෝ දෙනා දක්‌වන්නේ ද දැඩි ඇල්මකි. පාරේ තොටේ හෝ වෙනත් තැනක හෝ හීලෑ අලියකු - ඇතකු ගමන් කරන ආකාරය හෝ වැඩ කරන ආකාරය දුටු විට මිනිසුන් අතර ඇති වන උනන්දුව මීට සාධකයකි.

අපේ රටේ සැලකිය යුතු කාලයක පටන් හීලෑ අලින් හිඟයක්‌ ඇති වෙමින් තිබේ. ඒ අලින් ඇල්ලීම තහනම් වූ කාලයේ පටන් අලි ඇතුන් අල්ලාගැනීම අපහසු වූ නිසා ය. සැම වර්ෂයක දී ම මෙන් මේ වර්ෂයේ දී පෙරහැර සමයේ මේ අලි ඇතුන් ගේ හිඟය ගැන අසන්නට ලැබේ. මේ වන විට හීලෑ අලි ඇතුන් ගණන සියයක්‌ තරම් අඩු බව පැවසේ. කෙසේ වෙතත් පොදුවේ පවසන්නේ (නො කියා කියන්නේ) හීලෑ කිරීම සඳහා අලි ඇතුන් අවශ්‍ය බව ය. මේ ඉල්ලීම්වලට කඩිනම් ප්‍රතිචාර දක්‌වන බවක්‌ ද දැන් දැන් පෙනෙන්ට තිබේ. වනජීවී අමාත්‍යවරයා ගේ ප්‍රකාශයකට අනුව අලින් හා ඇත් පැටවුන් 300ක්‌ පමණ විහාරස්‌ථානවලට ලබා දීමට පියවර ගන්නා බවක්‌ පුවත්පත්වල පළ විය. මෙය සිදු විය යුතු දෙයක්‌ නම් නො වේ.

පෙරහැර වැනි සංස්‌කෘතික අංග සඳහා හීලෑ අලින් අවශ්‍ය ම නම් මේ ගැටලූවට සාධාරණ විසඳුමක්‌ තිබේ ද? මෙවැනි විසඳුමක්‌ කලකට පෙර මාධ්‍ය තුළින් යෝජනා කළ බවක්‌ අපට මතක ය. ඒ අනුව හීලෑ අලි ගහනයක්‌ පවත්වා ගැනීම රජයෙන් සිදු කළ යුතු ය. (දැනටමත් එවැනි ගහනයක්‌ පින්නවල වාසය කරයි). පෙරහැර වැනි විවිධ සංස්‌කෘතික අංග සඳහා අලින් අවශ්‍ය නම් ඒ සඳහා පුහුණු කළ අලි ඇතුන් ලබා දිය හැකි ය. එය අලූතෙන් පිහිටුවන රජයේ ආයතනයක්‌ මගින් සිදු කළ හැකි ය. එක ම කාලයක පෙරහැර ගණනාවක්‌ නො පවත්වන බැවින් මෙවැනි ආයතනයකට එතරම් අලි ඇතුන් ප්‍රමාණයක්‌ අවශ්‍ය වන්නේ ද නැත. එවිට පෞද්ගලික අයිතියක්‌ පිළිබඳ ගැටලූවක්‌ පැන නො නඟී. අපේ රටේ ඉතිහාසයේ වැඩි කාලයක්‌ අලි ඇතුන් රටේ පාලකයාට අයත් ව තිබූ බව පෙනේ. (ඇතැම් කාලවකවානුවල දී අලින් පෞද්ගලික අයිතිය යටතේ පැවැති බව ද ඓතිහාසික සත්‍යයකි). අලින් ගේ යහපත සලකා රජයේ හෙවත් පොදු අයිතිය වෙත යළිත් යොමු වීම මගින් ම මේ ගැටලූව විසඳාගත නොහැකි ය.

හීලෑ අලින් අතරින් නව ජනිතයන් බිහි වීමක්‌ නො වන්නේ ද මේ ආකාරයෙන් අධික ලෙස සේවයේ යෙදවීම නිසා බව පෙනේ. මේ අලින් අතරින් සැලකිය යුතු පිරිසක්‌ වියපත් වූවන් වුවත් ඒ අලින් හා ගැහැනු සතුන් තරුණ කාලයේ දී පවා අභිජනනය කිරීම සඳහා අවස්‌ථාවක්‌ නො ලැබුණු තරම් ය. එහෙත් එය ප්‍රායෝගිකව කළ හැකි ය. මේ දක්‌වා පින්නවල දී අලි පැටවුන් හැටක්‌ පමණ පිරිසක්‌ උපත ලබා ඇත. පෙර සඳහන් කළ ආකාරයට අලි ඇතුන් එක්‌ තැනක රැඳවීම මගින් හා පෙරහැර වැනි අවශ්‍යතා සඳහා පමණක්‌ ලබා දීම මගින් හීලෑ අලින් ගේ අභිජනනයට ද අවස්‌ථාවක්‌ ලැබේ.

කෙසේ වෙතත් කරුණු විමසා බලන විට පෙනෙන්නේ හීලෑ අලින් සඳහා ඇති ඉල්ලූමට තවත් හේතුවක්‌ ඇති බව ය. ඒ අලින් යනු මුදල් ඉපැයිය හැකි ආදායම් මාර්ගයක්‌ වීම ය. අලින් විශාල වශයෙන් සංචාරක කර්මාන්තය සඳහා යොදාගෙන තිබේ. ඒ සංචාරකයන් සඳහා ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙස හා සංචාරකයන් පිනවිය හැකි මාධ්‍යයක්‌ ලෙස ය. හබරණ ප්‍රදේශය මේ සඳහා වඩාත් ප්‍රකට ය. එය අලි හිමියා හට ආදායම් මාර්ගයක්‌ වුවත් ඒ අලින් ගේ සාමාන්‍ය ජීවන අවශ්‍යතා පිළිබඳව නිසි සැලකිල්ලක්‌ මෙහි දී නො ලැබෙන බව පෙනේ. එය මේ අලි ඇතුන් ගේ ජීවිතවලට කළ හැකි අනිසි බලපෑම ගැන අවධානය අඩු ය.

අනෙක්‌ අතට අලි ඇතුන් පෞද්ගලිකව හිමි කරගනිමින් තම වංශවත් බව හෝ සමාජ තත්ත්වය හෝ පෙන්වීමට ද ඇතැම් පිරිස්‌ කැමැත්ත දක්‌වති. එහෙත් එය මේ සත්ත්වයාට සිදු කරන යම් නිගරුවකි. මේ අදහස අපේ සමාජයෙන් ඈත් කිරීමට කාලය එළැඹ තිබේ. අලින්ට ඇති අධික ඉල්ලූම නිසා හොර රහසේ වනාන්තරවලින් අලි පැටවුන් අල්ලා ගැනීම මෙන්ම රජයේ ආයතනවල සිටින අලින් ලබා ගැනීමට විවිධ පිරිස්‌ දක්‌වන උනන්දුව පිළිබඳ වාර්තා විටින් විට මාධ්‍ය තුළින් අසන්නට දකින්නට ලැබේ. මෙය වහා වැළැක්‌විය යුතු තත්ත්වයකි.

ආසියානු අලියා

විද්‍යාත්මක නාමය Elephas maximus
වර්ගීකරණය ( ක්‌ෂීරපායී වර්ගයේ, Proboscidea ගෝත්‍රයේ, Elephantidae කුලයේ Elephas ගණයට අයත් ය. මේ ගණයට අයත් එක ම විශේෂයයි.
උප විශේෂ ( උප විශේෂ තුනක්‌ මේ වන විට පුළුල් ලෙස පිළිගැනේ. ඉන් එකක්‌ ශ්‍රී ලංකාවේ දැකිය හැකි Elephas maximus maximus උප විශේෂයයි.
ප්‍රමාණය ( උසින් අඩි 10ක්‌ පමණ ද බරින් කිලෝග්‍රෑම් 5000ක්‌ පමණ ද වේ. මේ අනුව ආසියානු මහාද්වීපයේ ගොඩබිම වෙසෙන විශාලතම සත්ත්වයා වේ.
ආයු කාලය ( වසර 60-70 අතර
ව්‍යාප්තිය ( දකුණු හා අග්නිදිග ආසියාවේ රටවල් 13ක පමණ ජීවත් වේ.
මුළු ගහනය ( උක්‌ත රටවල දැකිය හැකි සමස්‌ත වන අලින් ගණන 41,000-52,000 අතර බවට ඇස්‌තමේන්තු කර ඇත. (මෙහි නිරවද්‍යතාව ගැන ගැටලූ තිබේ.) ශ්‍රී ලංකාව ආසියානු අලින් ප්‍රමාණය අතින් තුන්වැනි තැන ගන්නා රට වේ.
සංරක්‌ෂණ තත්ත්වය ( අන්තරායක (Endangered) සත්ත්වයකු ලෙස 1986 දී රතු දත්ත පොතට ඇතුළත් කරන ලදි.

ප්‍රධාන තර්ජන :

1. වාසභූමි අහිමි වීම, හායනයට ලක්‌ වීම හා කැබැලිකරණය - අලි මිනිස්‌ ගැටුමක්‌ ඇති වීම සඳහා මූලික හේතුව වන්නේ මෙයයි.

2. දඩයම් කිරීම - දළ හා වෙනත් දේහ කොටස්‌ සඳහා දඩයම් කිරීම බොහෝ රටවල සිදු වේ.

3. තෝරාගත් සතුන් ඉවත් කිරීම - දළ සහිත පිරිමි සතුන් ගහනයෙන් ඉවත් කිරීම නිසා ලිංගික අනුපාතය වෙනස්‌ වීම මේ සතුන් ගේ පැවැත්මට බලපායි.

අද සතියේ විමසුම
ධනේෂ් විසුම්පෙරුම
ඡායාරූප( භූෂණ කල්හාර