logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)


නලින් ද සිල්වා නම් වූ ප්‍රාඥයා

නලින් ද සිල්වා ගුරුපියාණන් ගැන සටහනක්‌ තැබීමට සුදුසු ම කාලය මේ ය.

මහඇදුරු නලින් ද සිල්වා 1944 ඔක්‌තෝබර් මස 20 වැනි දින පානදුර, වෑකඩ ප්‍රදේශයේ කෝවිල්ගොඩැල්ලේ දී උපත ලැබී ය. එතුමා ගේ මවුපියන් පාසල් ගුරුවරුන් දෙපළකි. කුඩා කාලයේ දී විදුහල්පතිවරයකු වූ සිය පියා ගේ මඟපෙන්වීම යටතේ පාසල් වේලාවෙන් පසු සහ පාසල් නිවාඩු දිනවල දී ගමේ පන්සලේ පුස්‌තකාලයට ගොඩවැදී බෞද්ධ පොත් පත් කියවීමට එතුමාට අවස්‌ථාව ලැබිණි. එය කුඩා කල සිට ම එතුමා ගේ බුද්ධධර්මය පිළිබඳ දැනුම සහ ශ්‍රද්ධාව වර්ධනයට හේතු වූ විශේෂ කාරණයකි.

අනතුරුව එතුමා වයස අවුරුදු 15 පමණ කාලයේ පටන් විද්‍යා විෂයයන් හැදෑරීමට විශේෂ උනන්දුවක්‌ දැක්‌වූ අතර අනාගතයේ දී විද්‍යාඥයකු හෝ විශ්වවිද්‍යාලයක භෞතික විද්‍යා ආචාර්යවරයකු හෝ බවට පත් වීම එකල අරමුණ විය. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලයයේ දී විද්‍යා විෂයයන් හැදෑරූ එතුමා භෞතික විද්‍යා (ගණිත) විෂය ධාරාවෙන් උසස්‌ පෙළ දක්‌වා එම පාසලේ අධ්‍යාපනය හැදෑරී ය. ඉන්පසුව එතුමා 1962 දී ලකුණු ශ්‍රේණිගත කිරීම අනුව සමස්‌ත ලංකාවෙන් ම මුල් ම දස දෙනා අතරට ඇතුළත් වන පරිදි විශිෂ්ට අයුරින් උසස්‌ පෙළ විභාගය සමත් විය. එම වසරේ ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය සඳහා රාජකීය විද්‍යාලීය ප්‍රථම ත්‍යාගය ද එතුමා දිනාත්තේ ය. ඒ අනුව එතුමාට ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට අවස්‌ථාව තිබුණ ද ඒ වෙනුවට විද්‍යාඥයකු බවට පත් වීමට තිබූ අභිලාෂය නිසා ම භෞතික විද්‍යා පාඨාමාලාවෙන් එකල පිහිටුවා තිබූ ලංකා විශ්වවිද්‍යාලයට සිය ප්‍රථම උපාධිය සඳහා 1963 දී ඇතුළත් විය. ඉන්පසු එතුමා 1967 දෙසැම්බරයේ දී ගණිත අංශයෙන් ප්‍රථම පන්තියේ ගෞරව උපාධි සාමර්ථ්‍යයක්‌ සහිතව විද්‍යාවේදී (ඊගීජ) උපාධිය ලබා ගත්තේ ය.

අනතුරුව 1969 ජනවාරියේ දී එතුමා තම පශ්චාත් උපාධි පර්යේෂණ කටයුතු සඳහා බ්‍රිතාන්‍යයේ සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලයට ඇතුළත්a විය. ඒ අනුව 1970 දී එංගලන්තයේ සසෙක්‌ස්‌ විශ්ව විද්‍යාලයෙන් සිය පශ්චාත් උපාධිය වූ දර්ශන විශාරද (Ph.D) උපාධිය හිමි කරගන්නා ලදී. ඒ වන විට එතුමා ගේ වයස අවුරුදු 26ක්‌ පමණි. ඉතා ම අඩු වයසක දී දර්ශන විශාරද උපාධියක්‌ ලබාගැනීමට තරම් එතුමා අති දක්‌ෂයෙක්‌ විය. එපමණක්‌ නො ව එතුමා විසින් එම දර්ශන විශාරද උපාධිය සඳහා තෝරාගන්නා ලද්දේ සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ ගැඹුරු මූලධර්මයන් සහිත වූ විශ්වවේදය (Cosmology) නම් විෂය පථයට අයත් වන පර්යේෂණයකි. ඒ සඳහා එතුමා විසින් 1970 දී ඉදිරිපත් කරන ලද එම පර්යේෂණ නිබන්ධයෙහි, භ්‍රමණය වන වස්‌තු වටා භ්‍රමණයට ප්‍රතිවිරුද්ධ අතට ප්‍රක්‌ෂේප කෙරෙන අංශු, අවස්‌ථිති සමුද්දේශ රාමුවේ භ්‍රමණයත් සමග ඇදී යැමේ ප්‍රතිඵලයක්‌ ලෙස, පසුව වස්‌තුව භ්‍රමණ්‍ය වූ අතට ම චලනය වන බවට අයින්ස්‌ටයිනීය ප්‍රවාදය යොදා ගනිමින් සෛද්ධාන්තිකව ඔප්පු කරන ලද්දේ ය. එහි දී ඉතා ම කෙටි අධ්‍යයන කාලයකින් අදාළ පර්යේෂණ කටයුත්ත අවසන් කිරීමට එතුමා සමත් වූ අතර එම නිසා එතුමාට දර්ශන විශාරද උපාධිය පිරිනැමීමට සනාතන සභාවේ විශේෂ අවසරයක්‌ පවා ලබාගෙන උපාධි ලබා දීමේ පටිපාටිය පවා සංශෝධනය කිරීමට ද සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලීය පරිපාලනයට සිදු ව ඇත. එතුමා ගේ දක්‌ෂකම හඳුනා ගැනීමට එම කාරණය වුව ද ප්‍රමාණවත් බව අප ගේ හැඟීමයි. තව ද එතුමා දර්ශන විශාරද උපාධි නිබන්ධයේ දී සෙද්ධාන්තිකව ඔප්පු කරන ලද එම ප්‍රවාදය අසූව දශකයේ අග භාගයේ දී බ්‍රිතාන්‍ය-ඇමෙරිකානු ඒකාබද්ධ විද්‍යාඥ කණ්‌ඩායමක්‌ විසින් ප්‍රායෝගිකව කරන ලද පර්යේෂණයක දී සත්‍ය බවට ඔප්පු වී ඇත. සසෙක්‌ස්‌ විශ්වවිද්‍යාලයෙන් දර්ශන විශාරද උපාධිය ලබා ගැනීමන් පසු බ්‍රිතාන්‍යයේ නැවතීමට ආරාධනාවක්‌ පවා තිබිය දී වුව ද එතුමා තම මවු රටට පැමිණීමට තීරණය කළේ ය.

ඉන්පසු ලංකාවට පැමිණි එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවයට බැඳුණි. අනතුරුව 1979 දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී 1992 තෙක්‌ ම එහි ගණිත අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කළේ ය. නලින් ද සිල්වා ආචාර්යතුමා මාක්‌ස්‌-ට්‍රොට්‌ස්‌කි වාදියෙකු ලෙස හා සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු ලෙස ඒ ක්‌ෂේත්‍ර දෙකෙහි ම ගැඹුරට අධ්‍යයන කිරීමේ ඵලය වූයේ එතුමා ක්‍රමයෙන් මාක්‌වාදයෙහි මෙන් ම විද්‍යාවෙහි ද පදනම ප්‍රශ්න කරන්නකු බවට පත් වීමය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස 1982න් පමණ පසු එතුමා උගැන්වූ විද්‍යාව, ඊට කලින් එතුමා විසින් උගන්වනු ලැබුවා වූ විද්‍යාවෙන් වෙනස්‌ වීමට පටන් ගැනිණි. ඒ අනුව තවදුරටත් ඉදිරියට යමින් 1986 දී එළි දුටු එතුමා ගේ මගේ ලෝකය කෘතිය සමස්‌ත ලෝකය මතට බටහිර ආධිපත්‍යය පැතිරවීමේ මතවාදී පදනමට දේශීය වශයෙන් එල්ල කළ මරු පහරක්‌ විය. එම කෘතිය එළි දැක්‌වීම මෙරට බටහිර විද්‍යාව සහ බටහිර දැනුම් ආධිපත්‍යයට එරෙහි සටනේ ප්‍රධාන සන්ධිස්‌ථානයක්‌ වූ බව අද වන විට අපට පැහැදිලිව පෙනී යන කාරණයකි. එතැන් පටන් එතුමා ලියූ ලිපි-ලේඛන හා කළ දේශන ද මෙරට සමාජ චින්තනය කෙරෙහි සුවිශේෂ බලපෑමක්‌ එල්ල කිරීමට සමත් ව ඇත.

එතුමා කොළඹ විශ්වවිද්‍යාලයයේ සේවය කරන සමයේ ගවේෂකයෝ නමින් සංවිධානයක්‌ පිහිටුවාගෙන බටහිර විද්‍යාවට සහ බටහිර දැනුමට එරෙහි ව මෙරට මුල් ම ශිෂ්‍ය එකමුතුව ආරම්භ කිරීමට මුල් විය. ඉන් කලකට පසු එතුමා මූලික වී ආරම්භ කරන ලදුව, දැනටත් එතුමා ලේකම් තනතුර දරන චින්තන පර්ෂදය මෙරට දේශීය චින්තනයේ මතවාදී තලයේ වර්ධනයට බෙහෙවින් ම උපකාරී වූ ක්‍රියාකාරී සංවිධානයකි.

1992 දී තමා බටහිර විද්‍යාව ඇතුළු දැනුම් ආධිපත්‍යය පිළිබඳව දැරූ අදහස්‌ නිසා කිsසිදු අමතර වරදකින් තොර ව ම, එකල දී අත්තනෝමතිකව කටයුතු කළ කොළඹ විශ්වවිද්‍යාලීය පරිපාලනයේ තීරණයක්‌ මත වැඩ තහනමකට ලක්‌ වීම නිසා කොළඹ විශ්වවිද්‍යාලය අතහැර යැමට එතුමාට සිදු විය. නැවත නීති මාර්ගයෙන් වෘත්තීය තහනමට එරෙහි ව පියවර ගැනීමෙන් පසු එතුමා නිර්දෝෂී බව අධිකරණයේ දී වසර 10කට පමණ පසුව ඔප්පු විය. ඉන්පසුව එතුමා කැලණිය විශ්වවිද්‍යාලයයේ ගණිත අංශයේ සහාය මහාචාර්යවරයකු වශයෙන් 2002 වර්ෂයේ දී සම්බන්ධ වූ අතර ඉන් කෙටි කලකට පසුව එතුමා මහාචාර්ය පදවිය ද ලබා ගණිත අංශයේ අංශාධිපති තනතුරට ද පත් විය. දැනට නලින් ද සිල්වා මහාචාර්යතුමා කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ පීඨාධිපති වශයෙන් කටයුතු කරයි.

එතුමා ගේ පළමු ග්‍රන්ථය වූ මගේ ලෝකය කෘතියෙන් පසුව, ගත වූ වසර 25ක කාලය තුළ දී ලියා පළ කළ පොත් පත් රාශියකි. ඒවායින් විද්‍යා කතන්දර, පරිසර හා බටහිර ආකල්ප, අපෝහකයේ රූපිකය, සිංහල අවුරුද්ද යන පොත් විද්‍යාව හදාරන පාඨකයන් අතර වඩාත් ප්‍රකට වූ කෘතීන් කිහිපයක්‌ පමණි. මීට අමතරව විශේෂයෙන් ම 2002 අගෝස්‌සතු මාසයේ සිට අද දක්‌වා ම අඛණ්‌ඩව ලියෑවෙන විදුසර අපේ ප්‍රවාද ලිපි මාලාව ඇසුරින් සැකසුණු අපේ ප්‍රවාද පොත් පෙළ ද එතුමන් ගේ දැනුම නිර්මාණය කිරීමේ කර්තව්‍යය තවදුරටත් ඉරිදියට යමින් සිදු වූ පරිපූර්ණත්වයකට පත් වීමක්‌ ලෙස හැඳින්විය හැකි ය.

එමෙන් ම එතුමා 1982 පමණ කාලයේ සිට උපාලි පුවත්පත් සමාගමේ දිවයින, ද අයිලන්ඩ් (The Island), විදුසර පුවත් පත් සහ කලක්‌ පළ වූ වත්මන සඟරාවට ද යන සියල්ලට ම ලිපි හාර දහසකට ආසන්න ප්‍රමාණයක්‌ පසුගිය කාලයේ දී සපයා ඇත. තව ද 2008 නොවැම්බර් මස 5 වැනි දින පළ වූ විදුසර 21 වැනි සංවත්සර විශේෂ කලාප අතිරේකය නලින් ද සිල්වා මහාචාර්යතුමා විසින් නිර්මාණය කරන ලද ප්‍රධාන සංකල්පයක්‌ වූ නිර්මාණාත්මක සාපේෂතාවාදය සඳහා වෙන් වූ අතර ඊට අදාළව විවිධ ක්‌ෂේත්‍රයන්හි විද්වතුන් විසින් පසුගිය කාලවකවානුවල දී එම සංකල්පයේ ජාතික තලයේ භාවිතයන් ගැන එහි දී විග්‍රහ කොට තිබිණ. දැනට වසර 24කට ආසන්න කාලයක්‌ තිස්‌සේ සතිපතා පළවන විදුසර පුවත්පතට එහි ආරම්භයේ සිට ම එතුමා එතුමා ගේ දායකත්වයක්‌ විය.

එතුමා ඉරිදා දිවයින පුවත්පතට අඛණ්‌ඩව ලියන "දැක්‌ම" තීරු ලිපියත්, බදාදා දි අයිලන්ඩ් (The Island) පුවත් පතේ මිඩ් වීක්‌ රිවීව් (MIDWEEK
REVIEW) අතිරේකයට සපයන ලිපියත්, විදුසර අපේ ප්‍රවාද ලිපියත් වශයෙන් සතියකට ලිපි 3ක්‌ බැගින් සපයමින් මෙරට ජනතාව දැනුවත් කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි.

මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් 2003 වසරේ දී එළි දක්‌වන ලද විද්‍යා කතාන්තර නම් කෘතිය ගැන මෙහි දී විශේෂ සඳහනක්‌ කළ යුතු ය. ජනප්‍රවාද යනු සාමාන්‍ය ජනයා නිර්මාණය කළ කතන්දර වන්නාක්‌ මෙන් ම විද්‍යාත්මක ප්‍රවාද යනු විද්‍යාඥයන් විසින් නිර්මාණය කරනු ලබන කතන්දර බව එම කෘතිය මගින් එතුමා පෙන්වා දෙයි. එමෙන් ම එතුමා පවසන පරිදි එම කෘතියේ තවත් එක්‌ අරමුණක්‌ වන්නේ බටහිර භෞතික විද්‍යාව, සිංහල බෞද්ධ සංස්‌කෘතිය තුළ අනුකරණයකින් තොර ව අවශෝෂණය කරන ආකාරයක්‌ මතු කර ගැනීමයි. එම කෘතියේ අවසාන ලිපි කීපයෙන් එතුමා ඒ සඳහා මුලපිරීමක්‌ ද කර ඇත.

මහාචාර්ය නලින් ද සිල්වා ගේ මතවාදයන් සමාජයට සන්නිවේදනය කිරීමේ දී චින්තන පර්ෂදය, කාලය වෙබ් අඩවිය (www.kalaya.org) විසිදුනු ප්‍රකාශන සමාගම, දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණ, සංස්‌කෘතික උරුමයන් රැකීමේ සංවිධානය වැනි ආයතන ද ප්‍රධාන වශයෙන් විශාල මෙහෙවරක්‌ ඉටු කොට ඇත.

එමෙන් ම නලින් ද සිල්වා මහාචාර්යතුමා විසින් විශ්ව විද්‍යාලයේදී සෘජුව ම අධීක්‌ෂණය කරන ලද පර්යේෂණ රාශියකි. ඒවා අතරින් බොහොමයක්‌ බටහිර විද්‍යාවේ ප්‍රධාන මූලික සිද්ධාන්තයන් ප්‍රශ්න කෙරෙන සංකල්පීය වශයෙන් ඉහළ ම මට්‌ටමේ වන ක්‌වොන්ටම් භෞතිකය වැනි ක්‌ෂේත්‍ර ආශ්‍රිතව සිදු කෙරී ඇත. ඒවාට අදාළ පර්යේෂණ පත්‍රිකා රාශියක්‌ ද පළ කෙරී ඇත. ඒවා අතරින් කිහිපයක්‌ පමණක්‌ පහත දැක්‌වේ.

ක්‌වොන්ටම් භෞතික විද්‍යාව සිංහල බෞද්ධ සංස්‌කෘතිය ඇසුරින්
(Quantum Physics in Sinhala Buddhist Culture,
July 2010).

නිර්මාණාත්මක සාපේක්‌ෂතාවාදය
(Constructive Relativism).

විශ්වයේ ප්‍රසාරණය බුදු දහමේ සංවට්‌ඨමාන විවට්‌ඨමාන කප්ප ඇසුරින්
(On the acceleration of the Universe).

ක්‌වොන්ටම් භෞතිකයට නව විවරණයක්‌
(A New Interpretation of Quantum Mechanics).

ද්විත්ව සිදුරු පරීක්‌ෂණය මතින් ඉදිරියට
(ON THE DOUBLE SLIT EXPERIMENT).

අයින්ස්‌ටයින් ගේ ක්‌ෂේත්‍ර සමීකරණ සංශෝධනය
(Modification of Einstein's Field Equations).

බටහිර විද්‍යාව, බුද්ධාගම සහ චින්තනය
(WESTERN SCIENCE, BUDDHISM
AND CHINTHANAYA )

අවශ්‍ය නම් ඉහත සඳහන් පත්‍රිකාවන් කාලය (www.kalaya.org) වේබ අඩවියෙන් පාඨක ඔබට පරිශීලනය කළ හැකි ය.

පහළොස්‌ වැනි ශතවර්ෂයේ පමණ ආරම්භ වූ බටහිර විද්‍යාව, නිව්ටෝනීය සුසමාදර්ශයත් ඉන් අනතුරුව පසුගිය සියවසේ දී ඇති වූ අයින්ටයිනීය සුසමාදර්ශයත් තුළ හිර වී කාලයක්‌ තිස්‌සේ ඉදිරියට නො ගෙස්‌ එක ම තැනක හිර වී පවතින බව අපට කියා දුන්නෝ නලින් ද සිල්වා ගුරුතුමෝ ය. අයින්ස්‌ටයිනීය සුසමාදර්ශය තුළින් පැන නැඟුණ ක්‌වොන්ටම් භෞතිකය ආරම්භ වී සියවසකට ආසන්න කාලයක්‌ ගත වී ඇත. එනමුත් ක්‌වොන්ටම් භෞතිකය, සමස්‌ත බටහිර විද්‍යාව පසුපස ඇති බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයේ හිර වී පල් වෙමින් එක තැන නතර වී ඇත. එනම් බටහිර විද්‍යාවේ ඉදිරි පෙළ ලෙස සැලකෙන භෞතික විද්‍යාව විශේෂ ප්‍රගමනයක්‌ රහිතව ම සියවසකට ආසන්න කාලයක්‌ තිස්‌සේ එක ම තැන නතර වීම සිදු වී තිබේ. ඒ අනුව බටහිර විද්‍යාව වෙනුවට තාක්‌ෂණය ඉදිරියට පැමිණ ඇත. සුසමාදර්ශීය වෙනස්‌කම්වලින් ඉදිරියට ආ බටහිර ජාතීන් මින් මත්තට ඔවුන් ගේ චින්තන විප්ලවයකින් තොර ව ඉදිරි අනාගතයක්‌ නැති වන තැනකට පත් වී ඇත. කොටින් ම කිව හොත් බටහිරයන්ට ඔවුන් ගේ බටහිර චින්තනය ම සිය ප්‍රගමනය සඳහා හරස්‌ වී ඇත. එනම් බටහිර චින්තනයේ ප්‍රගමනය, බිඳවැටීමක්‌ බවට පත් වීම ආරම්භ වී තිබේ. ඒ අනුව ඔවුන් ගේ දැනුම් ආධිපත්‍යය ද බිඳ වැටීම ඇරඹී ඇත. මේ නිසා බටහිර විද්‍යාව වෙනුවට අලුත් දැනුමක සහ අලුත් විද්‍යාවක අවශ්‍යතාව ලෝකයට දැනෙමින් පවතී. මේ සුවිශේෂී අවස්‌ථාවේ වසර 2500ක්‌ තිස්‌සේ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් පෝෂණය වූ රාජ්‍යයක්‌ ලෙස අප කළ යුත්තේ සමස්‌ත ලෝකය ම ඉල්ලා සිටින එම නව දැනුම සහ නව විද්‍යා ඥානය අප සංස්‌කෘතිය තුළින් නිර්මාණය කිරීම ඇරඹීමයි. වසර 25කට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයයේ නලින් ද සිල්වා ගුරුතුමාණන් විසින් එහි ශිෂ්‍යයන් සමග ආරම්භ කරන ලද්දේ එම සිංහල බෞද්ධ සංස්‌කෘතිය තුළින් අලුත් දැනුමක්‌ නිර්මාණය කිරීමේ මහා භාරදූර කර්තව්‍යයයි. දැන් එම වසර 25කට පෙර රෝපණය කරන ලද එම බීජය මෝරා වැඩී මහා ගසක්‌ බවට පත් වී එහි ඵලදාව ලබා දීම කැලණිය විශ්වවිද්‍යාලීය විද්‍යා පීඨය කේන්ද්‍ර කොටගෙන ඇරඹී ඇත. නලින් ද සිල්වා නම් වූ සෙන්පතියා පෙරටු කොටගෙන ලෝකයේ නව විද්‍යාවක්‌ පහළ වීමේ සංවාදී යුද්ධයක්‌ ඇරඹී ඇත. නලින් ද සිල්වා නම් වූ නම් වු ඇදුරුතුමා විසින් බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් පද්ධතියට ම දැනටමත් මහත් අභියෝගයක්‌ එල්ල කොට ඇත. බටහිර විද්‍යාවට දශක ගණනක්‌ තිස්‌සේ සොයාගැනීමට නොහැකි වූ රජරට වකුගඩු රෝගයට හේතුව සිංහල බෞද්ධ දැනුම් පද්ධතියක්‌ තුළින් මතු වීම ම බටහිර විද්‍යාවේ පරාජයකි. එනම් සිංහල බෞද්ධ දැනුමේ ජයග්‍රහණයකි.

මේ දිනවල මෙරට ඇති වී තිබෙන අවිද්‍යාවෙන් තොර විද්‍යාව කුමක්‌ ද යන කාරණය පිළිබඳව, ආසනික්‌, කෘෂි රසායන, රජරට වකුගඩු රෝගය, දෙවියන් සමග දැනුම නිර්මාණය, බටහිර විද්‍යාව අවිද්‍යාවක්‌ ද නැද්ද ආදී වශයෙන් විවිධ මෘතෘකා හරහා පැන නැඟි වාදය දකින විට අපට සිහි වන්නේ මහා මංගල සූත්‍රයේ නිධාන කතාවයි. එනම් ගෞතම බුද්ධ කාලයේ දී මිනිසුන්, දෙවියන් සහ බ්‍රහ්මයන් අතර නියම මංගල කාරණා මොනවා ද යන්න පිළිබඳ වාදයක්‌ ඇති වී තිබේ. එම වාදයේ ප්‍රතිඵලයක්‌ ලෙස දෙවියන් විසින් මංගල කාරණා දේශනා කරන ලෙස බුදුන් වහන්සේට කරන ලද ආරාධනාවේ ප්‍රතිඵලයක්‌ ලෙස මහා මංගල සූත්‍රය උන්වහන්සේ දේශනා කර වදාළ සේක. එලෙස ම බටහිර විද්‍යාව අවිද්‍යාවක්‌ ද යන කාරණය පිළිබඳව මෙරට ජනමාධ්‍ය හරහා මේ දිනවල කෙරීගෙන යාන වාදය ද මෙරටට සුදුසු විද්‍යාවක්‌ මෙරට වැසියන් විසින් ම තීරණය කිරීම සඳහා පැන නැඟී ඇති විශේෂ මංගල කාරණයක්‌ බව අප ගේ අදහසයි. පතිරූප දේස වසෝව යනුවෙන් දැක්‌වෙන මංගල සූත්‍ර පාඨයට අනුව මෙරට වාසයට ඉතා ම සුදුසු දේශයක්‌ බවට පත් කරගැනීම සඳහා භාවිත කිරීමට වඩාත් සුදුසු විද්‍යාව කුමක්‌ ද යන්න දිගට ඇදී යන මේ වාදය අවසානයේ තීරණය වනු ඇති බව අප ගේ විශ්වාසයයි.

ඉන්දික කුමාර
(පරිගණක ජාල විශේෂඥ)