logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශයට පිළිතුරු - I

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය මෙරට බටහිර විද්‍යාඥයන් ඒකාරාශි කරන සංවිධානය ලෙස සැලකිය හැකි ය. සියලු ක්‍ෂෙත්‍රවල බටහිර විද්‍යාඥයන්ට එහි සාමාජිකයන් විය හැකි ය. මේ සංවිධානයේ විවිධ කමිටු ද වෙයි. බටහිර විද්‍යාව ජනප්‍රිය කිරීම සඳහා කමිටුවක්‌ වන අතර පොදුවේ ඊනියා පර්යේෂණ සඳහා ද කමිටුවක්‌ වෙයි. එයට අමතරව තවත් කමිටු රාශියක්‌ වෙයි. මම ද මේ සංගමයේ යාවජීව සාමාජිකයෙක්‌ වෙමි. අවුරුදු විස්‌සකට එහා පැත්තේ මම ඉහත සඳහන් කමිටු දෙකේ ද කටයුතු කළෙමි. මම අවුරුද්දක්‌ ඊනියා පර්යේෂණ කමිටුවේ සභාපති වීමි. එපමණක්‌ නො ව අවුරුදු දෙකක්‌ පමණ මම එහි මහා මණ්‌ඩලයේ (Council) ද සාමාජිකයෙක්‌ වීමි. එහෙත් ඉන් මෙහා පැත්තේ මේ සංගමයේ වැඩකටයුතුවලට මම සාමාන්‍යයෙන් සහභාගී නො වෙමි. එහෙත් මගේ ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට හෝ ඒ සංගමයෙන් ත්‍යාගයක්‌ ප්‍රදානය කරන අවස්‌ථාවක දී මම සහභාගී වෙමි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ නාමයෙන් ආනයනික පළිබෝධනාශකවල ආසනික්‌ අඩංගු වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ නිකුත් කෙරී ඇත. එය සංගමයේ මහා මණ්‌ඩලය විසින් නිකුත් කරන ලද්දක්‌ යෑයි සැලකිය හැකි ය. මේ සංගමයේ වත්මන් සභාපතිවරයා වන මහාචාර්ය ධම්මික තංතිරිගොඩ මහතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ය. ඔහු ලංකාවේ කීර්තිමත් විද්‍යාඥයකු ලෙස සැලකෙයි. ඔහු ලංකාවේ විද්‍යාව පිළිබඳ ජාතික ශාස්‌ත්‍රීය මණ්‌ඩලයේ අධිසාමාජිකයෙක්‌ ද වෙයි. එවැනි කීර්තිමත් විද්‍යාඥයකු සභාපතිත්වය දරන සංගමයක ප්‍රකාශයක්‌ නො සලකා හැරිය හැක්‌කේ කෙසේ ද? මේ සංගමයේ වත්මන් සංස්‌කාරකවරිය ද සම්මානනීය විද්‍යාඥවරියක වෙයි. නමින් මහාචාර්ය ජනිතා ලියනගේ වන මේ මහත්මිය බොහෝ දෙනා දන්නා පරිදි කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ මහාචාර්යවරියක වන අතර රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ නො වන බව තරයේ ප්‍රකාශ කරන්නී ය. ඇය දැනට එම රෝගය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය හා එක්‌ ව පර්යේෂණ කරන්නී ය.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය ආසනික්‌ පිළිබඳ ප්‍රකාශයක්‌ නිකුත් කළේ මහාචාර්ය ජනිතා ලියනගේ ඒ සංගමයේ වත්මන් සංස්‌කාරකවරිය හා මහා මණ්‌ඩලයේ සාමාජිකාවක වන නිසා යෑයි මම කිසිසේත් ම නො කියමි. මහාචාර්ය තංතිරිගොඩ වැනි කීර්තිමතකු එවැන්නක්‌ පදනම් කරගනිමින් ප්‍රකාශ නිකුත් කරන්නේ යෑයි මම විශ්වාස නො කරමි. මේ සංගමයේ විද්‍යාඥයෝ තමන් බැරෑරුම් (Serious) (ඉංගිරිසි ප්‍රකාශයෙහි තිබූ මේ වචනය සිංහලයට පරිවර්තනය වී ඇත්තේ සැබෑ ලෙස ය. කෙසේ වෙතත් මම එය බැරෑරුම් වෙනසක්‌ ලෙස නො සලකමි. එය සැබෑ වෙනසක්‌ ද නැද්ද යන්න මේ අවස්‌ථාවෙහි අදාළ නො වේ ය යනු මගේ හැඟීම ය.) විද්‍යාඥයන් ලෙස සලකා ගනිති. බැරෑරුම් විද්‍යාඥයන් හෝ සැබෑ විද්‍යාඥයන් හෝ යමක්‌ ප්‍රකාශ කරන විට ඒ පිළිබඳ ව බැරෑරුම් ලෙස සොයා බලා හැකිතාක්‌ කරුණු එකතු කර ගත යුතු යෑයි මම සිතමි. ඔවුහු මා මෙන් නො ව අසම්මත ප්‍රකාශ නො කරති යි සිතමි.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශයේ පහත සඳහන් කරුණු එකින් එක ගනිමු. පළමුවෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ පහත සඳහන් අදහස්‌ ය. විද්‍යාඥයන් ගේ පරීක්‍ෂණවලින් ලැබෙන නව ප්‍රතිඵල තමන් ගේ සාම්‍යයන් ලවා සාම්‍ය සමාලෝචනවලට (Peer review) භාජන කළ යුතු ය. විශේෂයෙන් ම පර්යේෂණ ප්‍රතිඵල මත වැදගත් ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු කල අදාළ පරීක්‍ෂණ ජාත්‍යන්තර තලයේ පිළිගත් පර්යේෂණාගාරයක නැවත සිදු කළ යුතු ය. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්‌ඩායම එසේ නො කර ප්‍රතිඵල ඉක්‌මනින් ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කර ඇත. අනෙක්‌ කරුණුවලට යැමට පෙර අපි මේ කරුණ විභාග කරමු.

අපේ ප්‍රතිඵල තවමත් ඊනියා විද්‍යාත්මක සඟරාවක පළ කෙරී නැති බව නම් ඇත්ත ය. එහි දී අපේ කණ්‌ඩායමට මුහුණ පෑමට සිදු වූ පළමු කරුණ වූයේ එහි කර්තෘත්වය කා ගේ ද යන්න ය. රජරට හා අවට අදාළ ප්‍රදේශවල පස්‌වල හා ජලයේ ආසනික්‌ ඇති බව පළමුවෙන් ම දැනගත්තේ නාථ දෙවියන් ගෙන් බව අපි නොවලහා කීවෙමු. අද ද කියමු. ක්‌වොන්ටම් භෞතික විද්‍යාව ගැන ද කියවන මහාචාර්ය තංතිරිගොඩ මහතා ෂ්රොඩිංගර්ට තම සමීකරණ පිළිබඳ අදහස ලැබුණේ කෙසේ දැයි දන්නේ ද? ඒ පිළිබඳ ඉඟියක්‌ ජිම් බැගට්‌ විද්වතා (ඔහු මා මෙන් නො ව බටහිර විද්‍යාවට ලැදි ය) විසින් රචිත ක්‌වොන්ටම් ප්‍රවාදයේ අර්ථය (The meaning of Quantum Theory) නම් කෘතියෙහි සඳහන් වෙයි. අද මෙරට බටහිර විද්‍යාවේ වීරයන් හා වීරවරියන් වී සිටින ආචාර්ය මහාචාර්යවරුන් මේ පොත වත් කියවන්නේ නම් බටහිර විද්‍යාව මුහුණ පා ඇති අර්බුදය ගැන සුළුවෙන් වුවත් දැනගත හැකි වනු ඇත.

අදහස කා ගෙන් ලැබුණ ද අපි බටහිර සම්මත රසායන විද්‍යාවට අනුව නියෑදි පරීක්‍ෂා කළෙමු. එහි දී සාමාන්‍ය සම්මත ක්‍රමය උපකරණ වශයෙන් නො ව යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය, පී.එච්. අගය හා උෂ්ණත්වය ආදිය වශයෙන් වෙනස්‌වීම පිළිබඳව අපි විවිධ අත්හදා බැලීම් කළෙමු. ඒ අරුතින් ගත් කල අපට ආසනික්‌ හඳුනාගැනීම සඳහා නව ක්‍රමයක්‌ වෙයි. අප මේ ක්‍රමය ඊනියා විද්‍යාත්මක සඟරාවක පළ කර නොමැති නමුත් එය ඊනියා විද්වත් සම්මේලන කිහිපයක දී ද, අගමැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය හා වෙනත් බටහිර විද්‍යාඥයන් යෑයි කියාගන්නා අය සහභාගී වූ රැස්‌වීමක දී ද ඉදිරිපත් කර ඇත. පසුව සඳහන් කරන ලද රැස්‌වීමේ දී ලියනගේ මහත්මිය වචනයක්‌ වත් කතා නො කිරීමට පරෙස්‌සම් විය. ඒ එතැන කිසිවකු තමන් වැදගත් යෑයි සිතන කතුන්ට නොසරුප් වදනින් බැණ වැදුණු නිසා විය නො හැකි ය. ඇයට කීමට වැදගත් දෙයක්‌ තිබිණි යෑයි මම නො සිතමි. අප කියා ඇත්තේ ඕනෑ ම අයකුට අපේ ක්‍රම අනුව පරීක්‍ෂා කරන ලෙස හෝ අපේ රසායනාගාරවලට පැමිණ ඒ ක්‍රම විමර්ශනයට භාජන කරන ලෙස ය. එහෙත් මේ වන තුරු ඒ ආරාධනය පිළිගත් අයකු නැත.

අප අපේ නියෑදි වෙනත් ආයතනයකට නො යෑවී ය යන්න කරුණු සොයා නො බලා කරන ප්‍රකාශයක්‌ පමණ ය. කරුණු සොයා නො බලා ප්‍රකාශ කිරීම මහාචාර්ය තංතිරිගොඩ ඇතුළු සැබෑ විද්‍යාඥයන් ගේ (බැරෑරුම් විද්‍යාඥයන් ගේ) ක්‍රමය දැයි මම නො දනිමි. ඒ කෙසේ වෙතත් අපි අපේ නියෑදි කාර්මික හා තාක්‍ෂණ ආයතනයට පරීක්‍ෂාව සඳහා යෑවීමු. එහෙත් ඔවුන් ඒ ආපසු ඒවා තිබුණේ පරීක්‍ෂා කිරීමේ දී ඔවුන් ගේ කාර්ය මණ්‌ඩලයේ එක්‌ තැනැත්තියක සිහි නැති වූ බව පවසමිනි. අපට එවිට කළ හැක්‌කේ කුමක්‌ ද? එහෙත් අගමැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමේ දී ඔවුන් ගේ ස්‌ථාවරය වෙනස්‌ වී ඇති බව දැනගැනීමට ලැබිණි. පළිබෝධනාශක පිළිබඳ රෙජිස්‌ට්‍රාර්වරයා ද ඒ ආයතනය ලවා නියෑදි පරීක්‍ෂා කරගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස පළිබෝධනාශක වර්ග නවයක්‌ මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇත. දැනට එක්‌ එක්‌ ආයතනය මගින් කරන ලද පරීක්‍ෂණවලින් අපට වැදගත් නිගමනයකට එළඹිය හැකි ය. එනම් පරීක්‍ෂාවක දී අප යම් නියෑදියක මනින ආසනික්‌ ප්‍රමාණය එහි දී යොදාගන්නා උපකරණ, ක්‍රමය (උෂ්ණත්වය, රසායන ද්‍රව්‍යවල සාන්ද්‍රතාව, පී.එච්. අගය ආදිය) හා පුද්ගලයා ද මත ර පවතින බව ය. සියලු දෙනා ට ලැබෙන ඊනියා වාස්‌තවික අගයක්‌ අඩු ම තරමෙන් ආසනික්‌ සඳහා නොමැති බව පැහැදිලි ය.

මෙහි දී කිව යුතු කරුණක්‌ වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් යෑයි කියාගන්නා කිහිප දෙනකු පසුගිය දා ජ.වි. පෙරමුණට හිතවත් වෙබ් අඩවියක ආසනික්‌ හා නාථ දෙවියන් සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ එකතු කර ඇත. එහි කියන ආකාරයට අප සුළුතරයක්‌ විශ්වවිද්‍යාලයට අපකීර්තියක්‌ ගෙනැවිත් ඇත. එහෙත් අපට කිව හැක්‌කේ පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා දැනටමත් පළිබෝධනාශක වර්ග (එහි රසායනික සංයුතියේ ආසනික්‌ ප්‍රතිශතය අඩු වැඩි වශයෙන් කුමක්‌ වුවත්) නවයක්‌ තහනම් කිරිමට පියවර ගෙන ඇත්තේ හුදෙක්‌ ඔහු ගේ ස්‌වයංභූ ඥනයකින් නො ව මූලිකව ම අපේ පර්යේෂණ හේතුවෙනි. අපේ පර්යේෂණ නො තිබෙන්නට රෙජිස්‌ට්‍රාර්වරයා එකදු වර්ගයක්‌ වත් තහනම් කිරීමට පියවර නො ගනු ඇත. එය කිසිසේත් ම අප විසින් කැලණිය විශ්වවිද්‍යාලයට ගෙනෙන ලද අපකීර්තියක්‌ නො වේ. අපේ පරීක්‍ෂාවල ප්‍රතිඵලයක්‌ ලෙස පළිබෝධනාශක වර්ග නවයක්‌ තහනම් කිරීම අප විසින්, විශේෂයෙන් ම මහාචාර්ය ප්‍රියානි පරණගම මහත්මිය විසින් කරන ලද පරීක්‍ෂණවල ප්‍රතිඵල බැවින් අපට ඒ පිළිබඳ ඇත්තේ විශ්වවිද්‍යාලයට කීර්තියක්‌ ගෙන ඒම පිළිබඳ අභිමානයකි. එහෙත් අපි එයින් උදම් නො වෙමු. අපේ අරමුණ රජරට ඇතුළු අනෙක්‌ ප්‍රදේශවල ද ගොවි ජනතාව කෘෂි රසායන භාවිතයෙන් ඉවත් කර හෙළ ගොවිකම දෙසට යොමු කරවීම ය.

අපේ කණ්‌ඩායමේ අනෙක්‌ අය කෙසේ වෙතත් පර්යේෂණ පත්‍රිකා යෑයි කියෑවෙන ලිපි සාම්‍ය සමාලෝචනයකට පසුව ඊනියා විද්‍යාත්මක සඟරාවල කෙරෙන පළ කිරීම් ගැන මගේ විශ්වාසයක්‌ නැත. මෙහි දී බොහෝ විට සාම්‍ය සමාලෝචක තීරකයන් දෙදෙනකු ගේ තීරණය මත ලිපිය පළ කෙරෙයි. එහෙත් මේ තීරකයන්ට කෙතෙක්‌ වැරැදීම් සිදු වී ඇත් ද? මහාචාර්ය තංතිරිගොඩ මහතා නේචර් හා සයන්ස්‌ සඟරාවල තීරකයන්ට සිදු වී ඇති වැරැදි ගැන දන්නේ ද? එය ඉඳහිට කෙරුණක්‌ නො වන බවත් සුළු ප්‍රමාණයකින් පමණක්‌ කෙරෙන්නක්‌ නො වන බවත් දැනට අවුරුදු කිහිපයකට පෙර ඉකොනොමිස්‌ට්‌ සඟරාවේ පළ වී තිබිණි යෑයි මට පසුගිය දා දැනගැනීමට ලැබිණි. යම් කිසිවකු තම පර්යේෂණ වාර්තාවක්‌, ලිපියක්‌ ඊනියා විද්‍යාත්මක සඟරාවකට යෑවීමෙන් බලාපොරොත්තු වන්නේ අනෙක්‌ අය ලවා ද හැකි නම් පර්යේෂණය නැවත කරවා ගැනීම ය. එහෙත් ඒ කළ හැකි ප්‍රශස්‌ත ම ක්‍රමය ඊනියා විද්‍යාත්මක සඟරාවක පළ කිරීම යෑයි කිසිවකු කියන්නේ කෙසේ ද? පුවත්පතක සංස්‌කාරකවරයා කැමැති නම් කතුවරයාට තම ලිපිය අදාළ පුවත්පතෙහි පළ කරවා ගැනීමට හැකි විය යුතු ය. පුවත්පතක පළ වූ ඊනියා විද්‍යාත්මක ලිපිය කඅගය අඩු වන්නේ එය ඊනියා තීරකයන් විසින් සමාලෝචනය කෙරී නැති බැවින් ද? මා මගේ නව අදහස්‌ රැගත් ලිපි බොහොමයක්‌ පළ කරන්නේ විදුසර පුවත්පතෙහි ය. දිවයින හා දි අයිලන්ඩ් පුවත්පත්වල පළ කෙරෙන අවස්‌ථා ද වෙයි. අපේ බටහිර විද්‍යාඥයන් යෑයි කියාගන්නා අය පුවත්පත්වල පළ වන ලිපිවල හරයක්‌ නො දකිති. එහෙත් ඔවුන් විසින් මේ දක්‌වා කිසිදු නව ප්‍රවාදයක්‌ සංකල්පයක්‌ ඉදිරිපත් කෙරී නැත. ඔවුන් කරන්නේ තෝමස්‌ කුන් විද්වතා සඳහන් කළ සාමාන්‍ය විද්‍යාවකි. (Normal science). ඔවුන් නැවත නැවතත් කරන්නේ බටහිරයන් පළ කර ඇති ක්‍රමයක්‌ මෙරටෙහි ද යොදා ගැනීම පමණකි.

තම ලිපි පුවත්පත්වල පළ කිරීමෙන් වන එක ම අවාසිය මෙරට විශ්වවිද්‍යාලවල විවිධ තනතුරුවලට උසස්‌ කිරීම්වල දී ඒ ලිපිවලට ලකුණු නො ලැබීම ය. එහෙත් එසේ ලිපි පුවත්පත්වල පළ කිරීමෙන් තම කෘතිය බොහෝ දෙනා ගේ අවධානයට ලක්‌ කරවිය හැකි ය. පුවත්පත්වල අපේ කණ්‌ඩායමේ ප්‍රතිඵල පළ වීමෙන් අපට ද වාසියක්‌ වී ඇත. අද බොහෝ දෙනා ගේ අවධානයට ආසනික්‌ ලක්‌ වී ඇත. ඒ හේතුවෙන් පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර්වරයා ගේ කටයුතු ද ඉක්‌මන් වී ඇත. දැනටමත් ඔහු පළිබෝධනාශක ද්‍රව්‍ය නවයක්‌ තහනම් කිරීමට පියවර ගෙන ඇත.

මහාචාර්ය නලින් ද සිල්වා