logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


හුදු කාර්මික ශිල්පීන් වූ ඊනියා විද්‍යාඥයෝ

අපි සන්නිවේදනය සම්බන්ධයෙන් පැන නඟින ගැටලු කිහිපයක්‌ පසුගිය සතියේ සාකච්ජා කළෙමු. එහි දී විශේෂයෙන් ම රජරට වකුගඩු රෝගය හා ආසනික්‌ ගැන කියෑවෙන දෑ අපේ අවධානයට යොමු විය. අප කලින් සාකච්ජා කරමින් සිටියේ සංයුක්‌ත හා වියුක්‌ත සංකල්පවල වර්ගීකරණය පිළිබඳව ය. තරමක්‌ වියුක්‌ත ව වුව ද වර්තමානයෙහි ඇති වී තිබෙන තත්ත්වය අනුව ඒ සංකල්ප ගැන සංයුක්‌ත ව කතා කිරීමේ වැදගත් බවක්‌ පැන නැඟී ඇත.

අප රට විද්‍යාඥයන් නොමැති බව මා දැනගෙන බොහෝ කල් ය. ඒ කරුණු දෙකක්‌ නිසා සිදු වෙයි. පළමුවෙන් ම බටහිර විද්‍යාව යනු තවත් එක්‌ දැනුම් පද්ධතියක්‌ පමණක්‌ බවත් එහි ඇති මහේශාක්‍යභාවයක්‌ නොමැති බවත් මා දැනගෙන අවුරුදු විසි පහකට පමණ වැඩි ය. එබැවින් ඒ අරුතින් මෙරට තබා බටහිර වත් විද්‍යාඥයන් නොමැති බව මම එදා සිට ම දනිමි. දැනට අවුරුදු විස්‌සකට පමණ ඉහත මා ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ යම්කිසි සභාවක කරන ලද කතාවක මාතෘකාව වූයේ "විද්‍යාත්මක බොරුකාරයෝ" යන්න ය. එකල මම ඒ සංගමයේ මහා මණ්‌ඩලයේ (Council) සාමාජිකයෙක්‌ වීමි.

ඒ කතාව සම්බන්ධයෙන් එකී මහා මණ්‌ඩලයේ සාමාජිකයෙක්‌ චෝදනාවක්‌ කළේ ය. මට මතක අයුරින් ඒ චෝදනාවේ හරය වූයේ මෙරට පමණක්‌ නො ව පිටරට ද බටහිර විද්‍යාවට සම්බන්ධ වූවන් බොරුකාරයන් ලෙස හැඳින්වීම වරදක්‌ බව ය. විශේෂයෙන් ම ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මහා මණ්‌ඩලයේ සාමාජිකයකු වෙමින් ඒ සංගම් ගොඩනැඟිල්ලේ දී ම පවත්වන ලද

රැස්‌වීමක දී මා එලෙස විද්‍යාත්මක බොරුකාරයන් ගැන කතා කිරීම වරදක්‌ යෑයි චෝදනාව ඉදිරිපත් කළ තැනැත්තා කියා සිටියේ ය. එකල පැවැති මහා මණ්‌ඩලය ඒ චෝදනාව ප්‍රතික්‌ෂේප කළේ මගේ අදහස්‌ මට ප්‍රකාශ කිරීමට ඇති අයිතියට අවහිර නො කරමිනි.

එහෙත් ඒ එදා ය. අද මගේ අදහස්‌ ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරා ගැනීමට පමණක්‌ නො ව අප ගවේෂණ කණ්‌ඩායමේ සාමාජිකයන්ට තමන්ට කැමැති අදහසක්‌ දැරීමේ අයිතිය ද උදුරා ගැනීමට එකී මහා මණ්‌ඩලය ක්‍රියා කර ඇත. මම තවමත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ යාවජීව සාමාජිකයෙක්‌ වෙමි. එහෙත් එහි කටයුතුවලට මම දැන් සහභාගී නො වෙමි. එසේ වුවත් මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ පිඨාධිපති වෙමි. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වත්මන් මහා මණ්‌ඩලය කැලණිය විශ්වවිද්‍යාලයයේ රජරට වකුගඩු රෝගය සම්බන්ධ ගවේෂණ කණ්‌ඩායමට විරුද්ධව පුවත්පත් මගින් ප්‍රකාශයක්‌ කර ඇත. ඒ ප්‍රකාශය පුවත්පතක පළ වූයේ පසුගිය ජුලි 03 වැනි ඉරිදා වුවත් එය නිකුත් කළේ හා එයටත් වඩා එය අනුමත කළේ කවදා දැයි නො දනිමි.

එහෙත් එකී වත්මන් මහා මණ්‌ඩලයට අප දැනට සති හයක පමණ කාලයක්‌ තිස්‌සේ කරන පැහැදිලි කිරීම සන්නිවේදනය වී නොමැති බව පැහැදිලි ය. ඔවුහු තවමත් දිව්‍ය බලයෙන් අපට ආසනික්‌ පිළිබඳ හෝඩුවාව ලැබුණු බව කියති. ඔවුන් එසේ කියන්නේ අදහස්‌ ලැබීම පිළිබඳව අප කොතෙකුත් පැහැදිලි කිරීම්වල නිරත වී තිබිය දී ය. අදහස්‌ දෙවියන් ගෙන් ලැබුණත්, යක්‍ෂයකුගෙන් ලැබුණත්, සිහිනෙන් ලැබුණත් ඒ අදහස්‌ අප ඔවුන් ගේ ඊනියා විද්‍යාත්මක ක්‍රමය මගින් තහවුරු කර ඇත්නම් අදහස්‌වල සම්භවය පිළිබඳ ඔවුන්ට කීමට ඇත්තේ කුමක්‌ ද?

එමෙන් ම ඔවුහු ද ඇතැම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු ද අප සහල්වල ආසනික්‌ ඇතැයි කීම පිළිබඳව තොරතෝංචියක්‌ නැති ව කෑ ගසති. සහල්වල ආසනික්‌ ඇති බව අපට පෙර විවිධ කණ්‌ඩායම් කියා ඇත. ඒ අතර කැලණිය විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය රංජිත් ජයසේකර මහතා හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ කණ්‌ඩායමක්‌ ද වන බව බොහෝ අයට අමතක වී ඇත. කොළඹ කාර්මික තාක්‍ෂණ ආයතනයේ නිලධාරීන්ට පමණක්‌ සහල්වල ආසනික්‌ නොපෙනේ නම් එයට හේතුව ඔවුන්ට දෙවියන් ගේ හාල් කැවීම විය හැකි ය. ඒ කෙසේ වෙතත් සහල්වල ආසනික්‌ තිබීම අපේ ගවේෂණය සම්බන්ධයෙන් ගත් කල ද්විතීයික කරුණකි. එය අපේ ගවේෂණයට මූලිකව අදාළ වන්නක්‌ නො වේ. ඒ බව තවමත් මේ ඊනියා විද්‍යාඥයන්ට සන්නිවේදනය වී නැත.

මේ මහා විද්‍යාඥයන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් යෑයි කියාගන්නා අයට ඒ බව සන්නිවේදනය වී නැත්තේ ඇයි? අපේ අධ්‍යයනය රජරට හා ආශ්‍රිත ප්‍රදේශවල වකුගඩු රෝගයට හේතුව සෙවීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ය. එහි දී අප දැනගත් අන්දමට රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ ය. එයට අමතරව ඒ ප්‍රදේශයෙහි කුඹුරු පස ද, එහි කිවුල සහිත බොන වතුර ද හේතු වෙයි. ඒ කරුණු තුනෙන් එකක්‌ වත් නොමැති වුව හොත් වකුගඩු රෝගය නො වැළඳෙයි. අප ඒ බව පැහැදිලිව කිහිප වතාවක්‌ කියා තිබිය දීත්, ඇතැම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පඬියන් මෙන් විකාර ප්‍රශ්න අසන්නේ ඔවුන් තමන් ලියන දෙය හැරෙන්නට වෙනත් දෙයක්‌ නො කියවන බැවින් ද?

ලංකාවේ ආසනික්‌ ස්‌වභාවයෙන් පිහිටා නැත. මුළු ලෝකයේ ම මෙතරම් ප්‍රතිශතයක්‌ ආසනික්‌ තිබේ යෑයි කීමෙන් ලංකාවේ ඒ ප්‍රමාණයට ආසනික්‌ ඇති බව ගම්‍ය නො වන බව පාසල් ශිෂ්‍යයකුට වුව ද වැටහෙන කරුණක්‌ වුවත් අපේ ඊනියා විද්‍යාඥයන්ට හා විද්‍යාඥවරියන්ට ඒ බව තේරුම්ගත නොහැක්‌කේ සන්නිවේදනයේ වරදකින් නම් විය නො හැකි ය. ලංකාවේ පොළොවේ ස්‌වාභාවික ව ආසනික්‌ නැත්නම් අපට ආසනික්‌ ලැබෙන්නේ කෙසේ ද, කොහෙන් ද යන්න විසගැනීමට තිබූ ඊළඟ ප්‍රශ්නය විය. අපට ආසනික්‌ ලැබෙන්නේ පළිබෝධනාශක ද ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා බව ඉතා පැහැදිලි ය. අප ඒ බව ප්‍රකාශ කළා පමණක්‌ නො ව එකී ද්‍රව්‍යවල ආසනික්‌ ඇති බව ද නැවතත් බටහිර රසායන විද්‍යාවේ ක්‍රම අනුව ම තහවුරු කර ගැනීමෙන් පසුව පමණක්‌ එසේ කළෙමු.

එවිට තමන් විද්‍යාඥයන් ලෙස සිතන පඬියන් කියන්නේ නැඟෙනහිර පළාතේ ද වෙනත් පළාත්වල ද කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන නමුත් ඒ පළාත්වල වකුගඩු රෝගය දක්‌නට නො ලැබෙන බව ය. ඔවුන්ට වකුගඩු රෝගය වැළඳීම සඳහා ආසනික්‌වලට අමතරව කුඹුරු පස ද, විශේෂිත කිවුල් ජලය ද අවශ්‍ය බව අමතක වන්නේ මහලු බව නිසා ද වෙනත් කරුණක්‌ නිසා ද යන්න නො වැටහෙයි. අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමෙන් පසු අද අපට අවශ්‍ය මෙරට ගොවිජනයා කෘෂි රසායනික ද්‍රව්‍ය යොදාගන්නා කෘෂිකර්මයෙන් ඉවත් කර ගැනීම ය. එසේ ඉවත් කරගෙන අපේ හෙළ ගොවිකම ඔස්‌සේ අප සියලු දෙනාට වස විස නැති බතක්‌ කෑමට අවස්‌ථාව උදා කර ගැනීමට ය.

අප කෙතෙක්‌ එසේ නො වේ යෑයි කීවත් මේ පඬියෝ අප ඊනියා විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කර නැතැයි කියති. මොවුන් විද්‍යාඥයන් නො වන්නේ පළමුවෙන් ම බටහිර විද්‍යාව ඊනියා අනන්‍ය විද්‍යාවක්‌ නො වීම හේතු කොටගෙන ය. බටහිර විද්‍යාව යනු ඊනියා විද්‍යාත්මක ක්‍රමයක්‌ නැති තවත් දැනුම් පද්ධතියක්‌ පමණ ය. අනෙක්‌ දැනුම් පද්ධති මිථ්‍යා නම් බටහිර විද්‍යාව ද තවත් මිථ්‍යාවක්‌ පමණකි. හැකි නම් මේ සම්බන්ධයෙන් මා සමඟ විවාදයකට එළඹෙන ලෙස ඊනියා විද්‍යාඥයන්ට අභියෝග කරමි. අපි ජනතාවට කරුණු කීමට ඉදිරිපත් කිරීමට පෙර ඔවුන් ගේ කසිකබල් ඊනියා ක්‍රමය අනුගමනය කළෙමු.

මේ ඊනියා ක්‍රමය යනු අන් කිසිවක්‌ නො ව පටිපාටිය (Procedure) අනුගමනය කිරීමකි. ඊනියා කල්පිතය (Hypothesis) කුමක්‌ ද, නියෑදි කීයක්‌ ලබාගත යුතු ද, නියෑදි කෙසේ ලබාගත යුතු ද, ඒ නියෑදි පරික්‍ෂා කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කුමක්‌ ද, එකතු කළ යුත්තේ කිනම් රසායනික ද්‍රව්‍ය ද, රත් කළ යුත්තේ කිනම් උෂ්ණත්වයකට ද, යොදාගත යුතු ආධාරක (අණ්‌වීක්‍ෂ, ප්‍රේක්‍ෂාවලි ආදිය) කවරේ ද ආදිය එක්‌ පැත්තක වෙයි. මේ පටිපාටිය දැනගැනීමට අවශ්‍ය වන්නේ තාක්‍ෂණික ශිල්පීන් මිස විද්‍යාඥයන් නො වේ. ඒ පටිපාටිය අනුගමනය කිරීමෙන් පසු ඇතැම් විට ඕනෑ ම විද්‍යා පීඨ ශිෂ්‍යයකුට කළ හැකි සම්මත සංඛ්‍යානාත්මක විශ්ලේෂණයකින් පසු සම්මත ආකෘතියක්‌ අනුව ඊනියා පර්යේෂණ පත්‍රිකාවක්‌ ලියා සඟරාවකට, ඊනියා විද්‍යාත්මක සැසිවාරයකට යෑවෙයි. එහි දී තමන් වැනි ම වූ විද්‍යාඥයන් යෑයි කියාගන්නා දෙදෙනකුට යවා ඒ ඊනියා පර්යේෂණ පත්‍රිකාව ඇගයීමට ලක්‌ කෙරෙයි.

මේ පටිපාටියෙහි ඇති කිසි විද්‍යාවක්‌ නැත. සම්මත විද්‍යාවේ පරිධියේ ඇති ක්‍රම අනුගමනය කිරීමක්‌ පමණක්‌ මෙහි දී සිදු වෙයි. තාක්‍ෂණ ශිල්පියකුට ද මේ පටිපාටිය අනුගමනය කිරීමෙන් පත්‍රිකා ලිවිය හැකි ය. බොහෝ විට පටිපාටිය අනුගමනය කරමින් අදාළ ක්‍රියාවලියෙහි නිරත වන්නෝ ශිෂ්‍යයෝ ය, නැත්නම් තාක්‍ෂණික ශිල්පීහු ය. මේ පටිපාටිය අනුගමනය කරන්නන්ට විද්‍යාඥයන් යෑයි කියන්නේ නම් තාක්‍ෂණික ශිල්පීන්ට ද විද්‍යාඥයන් යෑයි කිව යුතු ය. මෙරට ඊනියා විද්‍යාඥයන් නොමැති වීමට මේ දෙවැනි කරුණ ද, එනම් ඔවුන් හුදු තාක්‍ෂණික ශිල්පීන් පමණක්‌ වීම ද බලපායි. මොවුන් විසින් සකස්‌ කෙරී ඇති සංකල්පයක්‌, ප්‍රවාදයක්‌ වේ ද? ඔවුන් ගෙන් සමහරකු අදහස්‌වල සම්භවය පිළිබඳ මෙතරම් කලබැගෑනියක්‌ ඇති කරන්නේ ඔවුන්ට කිසි දිනෙක අදහසක්‌ පහළ වී නැති නිසා ය. ඒ කෙසේ වෙතත් අප ඔවුන් ගේ පටිපාටිය (උෂ්ණත්වය ආදිය පිළිබඳ සංශෝධනයන්ට යටත් ව) අනුගමනය කළ බව පැහැදිලි ව සඳහන් කළ යුතු ය. එහෙත් එක්‌ කරුණක දී, එනම් අපේ ගවේෂණයෙහි ප්‍රතිඵල ඊනියා සඟරාවකට යෑවීම සම්බන්ධයෙන් නම් අපි වෙනස්‌ මඟක්‌ අනුගමනය කළෙමු.

අප ඊනියා විද්‍යාව පිළිබඳව සඟරාවක අපේ ගවේෂණවල ප්‍රතිඵල පළ කරනු වෙනුවට ජනමාධ්‍යයට ලබා දුන්නේ ඇයි දැයි ඔවුහු අපෙන් අසති. එයට හේතු තුනක්‌ වෙයි. පළමුව අපට ආසනික්‌ පිළිබඳ අදහස ලැබුණේ සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් ගෙන් වීම නිසා එහි කර්තෘත්වය පිළිබඳ ප්‍රශ්නයක්‌ වෙයි. අදහස ලැබුණේ දෙවිවරුන් ගෙන් යෑයි එවැනි සඟරාවක පළ නො කෙරෙයි. අදහස කොහෙන් ලැබුණේ ද යන්න සඟරාවට වැදගත් නො වෙයි. එහෙත් එය කිව යුතු යෑයි අපි සිතමු. දෙවනුව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අප කණ්‌ඩායමේ සාමාජිකයන් ඔවුන්ට අනුව බැරෑරුම් විද්‍යාඥයන් ලෙස නො පිළිගන්නා බව දැන් හෙළිදරව් වී ඇත. මේ සංගමය මා එවැනි බැරෑරුම් විද්‍යාඥයකු ලෙස නො පිළිගන්නා අතර (මා ඊනියා විද්‍යාඥයකු නො වන නිසා මම එය සතපහකට ගණන් නො ගනිමි) අපේ කණ්‌ඩායමේ අය මා බටහිර විද්‍යාව පිළිබඳව දරන අදහස්‌ නො පිළිගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තෙක්‌ ඔවුන් ද බැරෑරුම් විද්‍යාඥයන් ලෙස නො පිළිගන්නා බව පැහැදිලි ය. මේ සංගමයේ සාමාජිකයන් අප කණ්‌ඩායමේ පත්‍රිකාවක්‌ පිළිගනු ඇතැයි සිතිය නො හැකි ය. තුන්වැනුව මගේ කල්පනාව අනුව දෙදෙනකුට පමණක්‌ යවා ගවේෂණයක ප්‍රතිඵල විනිශ්චය කරනු වෙනුවට විශාල පිරිසකට ඒ ලැබෙන්නට සැලැස්‌වීම යහපත් ය. එමෙන් ම අප යොදාගත් ක්‍රමය කුමක්‌ දැයි ලිඛිත ව එය ඉල්ලන ඕනෑ ම කෙනකුට දීමට අපි සුදානමින් සිටිමු. එහෙත් අවාසනාවකට තවම කිසිවකු එසේ ඉල්ලා නැතිවා පමණක්‌ නො ව අපේ රසායනාගාරවලට පැමිණ අප කරන්නේ කුමක්‌ ද යන්න පිරික්‌සීමට වත් ඉදිරිපත් වී නැත. අප අනුගමනය කරන එව බලව (එහි පස්‌සිකො) ක්‍රමයට ඔවුන් අනුගත වීමට අකැමැති වන්නේ ඔවුන් අනුගමනය කරන බයිබල් ක්‍රමය නිසා ද?

මහාචාර්ය නලින් ද සිල්වා