සක්‍රිය-අක්‍රිය සංයෝග කියා
වෙන් කර ගැනීම විසඳුම නො වෙයි


කෘෂිරසායනවල ආසනික්‌ අන්තර්ගත වීම සම්බන්ධයෙන් මේ දිනවල පවතින කතාබහට සිය අදහස්‌ එක්‌ කරමින් රුහුණ විශ්වවිද්‍යාලයයේ සත්ත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මංගල සී. එස්‌. ද සිල්වා දක්‌වන අදහස්‌ අපි මෙසේ සටහන් කරමු.

"අදින් දශකයකට පමණ පෙර සිට ආසනික්‌ පළිබෝධ නාශකයක්‌ ලෙස භාවිත කර තිබෙනවා. ඒ ඇලුමිනියම් ආසනේට්‌, කොපර් ආසනේට්‌, ලෙඩ් ආසනේට්‌, පැරිස්‌ ග්‍රින් හෙවත් කොපර් ඇසිටො, ඩයිමීතේන් ආසනේට්‌, සහ මොනො සෝඩියම් මීතේන් ආසනේට්‌ කියන සංයෝග හයයි. බොහෝ විට මේවා වල්නාශක විදියටයි භාවිත කෙරෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රසායනික ද්‍රව්‍ය පිළිකාජනක ලෙසත් හඳුනාගෙන තිබෙනවා. මේ නිසා ලෝක ප්‍රවණතාවට අනුව මේ ආසනික්‌ අඩංගු පළිබෝධනාශක භාවිතයෙන් ඉවත් කරන්න තීරණය කර තිබෙනවා. ඉන්දියාව වර්ෂ 1995 දී මේ පළිබෝධනාශක භාවිතයෙන් ඉවත් වුණත් පළිබෝධනාශක පනතට අනුව වර්ෂ 2001 දී තමයි ශ්‍රී ලංකාව මේ පළිබෝධනාශක භාවිතයෙන් ඉවත් වුණේ.

පළිබෝධනාශක ශ්‍රී ලංකාවට ගෙන්වන සමාගම් මහත්මා ගුණයෙන් ක්‍රියා කරනවා නම් මේ සංයෝග පළිබෝධ නාශක ද්‍රව්‍ය කිහිපයක හෝ තිබෙන්න විදියක්‌ නෑ කියන එකයි මගේ අදහස. මේ වන විට එක්‌ කණ්‌ඩායමක පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා මෙවැනි සංයෝග පළිබෝධ නාශකවල අඩංගුයි කියල. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළිබෝධනාශක රෙජිස්‌ට්‍රාර් කාර්යාලයෙන් පරීක්‍ෂා කරලා කියනවා පළිබෝධ නාශක තුනක පමණයි ආසනික්‌ තිබෙන්නේ කියල. මේ අනුව ඒ කණ්‌ඩායමේ මතය මුළුමනින් ප්‍රතික්‌ෂේප කරන්නට බැහැ. තිබෙන ප්‍රමාණය අපට වැදගත් නෑ. තිබෙනවා ද නැද්ද යන්නයි වැදගත් වෙන්නේ.

අපේ රටේ සක්‍රීය සංයෝග විදියට පළිබෝධනාශකවල ආසනික්‌ තියෙන්න බෑ. ඉතින් දැන් නිදහසට කරුණු ඉදිරිපත් වන්නේ හමු වූ ආසනික්‌ සක්‍රීය නො වන තත්ත්වයේ පවතින බව කියමින්. මෙහි දී කිව යුතු දෙයක්‌ තමයි මේ "නිෂ්ක්‍රිය" සංයෝග කියන සංකල්පයේ වරදක්‌ තිබෙන බව. ඒකට හොඳ ම උදාහරණය තමයි ලෝකයේ අක්‍රීය සංයෝග 3000කට අධික ප්‍රමාණයක්‌ තිබෙනවා. ඒත් මෙයින් 500ක්‌ විතර සක්‍රීය සංයෝග විදියටත් යම් යම් අවස්‌ථාවල භාවිත කෙරෙනවා. ඒ නිසා සක්‍රීය නො වූ පමණින් මේ සංයෝග ක්‍රියාකාරී නැහැයි කියල පිළිගන්න අමාරුයි. පරිසරයට සිදු වන හානි දෙස බැලුවොත් සක්‍රීය සංයෝග සමග එකතු කළ සක්‍රිය නො වන සංයෝග විෂ ස්‌වභාවයෙන් ඉහළ අගයක්‌ ගන්නා බැව් පෙනී යනවා.

මේකට හොඳ ම නිදසුන තමයි ග්ලයිෆොසෙට්‌ කියන රසායන ද්‍රව්‍ය. මේ පිළිබඳව පරීක්‌ෂා කළ පර්යේෂණ කණ්‌ඩායම් දෙක ම ඔප්පු කරල තිබෙනවා ග්ලයිෆොසෙට්‌ කියන සක්‍රීය සංයෝගය අඩංගු පළිබෝධ නාශකවල ආසනික්‌ තිබෙනව කියල. ප්‍රමාණය ගැන නෙමෙයි මම මේ කතා කරන්නෙ.

අපි බොහෝ විට පර්යේෂණ කරන්නේ සක්‍රීය සංයෝග සමගයි. සක්‍රීය නො වන සංයෝග සමග පරීක්‍ෂණ කරන්නේ නෑ. නිදසුනක්‌ ලෙස සක්‍රිය සංයෝගයකට සක්‍රිය නො වන සංයෝගයක්‌ එකතු කළ විට මොකද වෙන්නේ? සක්‍රිය සංයෝගයේ විෂ සහිත බව වැඩි වීමයි. මේ නිසා සක්‍රිය නො වන සංයෝගවලින් ගොවියා වැඩි විෂකට නිරාවරණය වීමේ හැකියාව වැඩි කරන්න පුළුවන්. මිනිසුන් වෙනුවට මීයන් යොදාගෙන කළ පර්යේෂණවලින් අනාවරණය වී තිබෙනවා, උන් ගේ අක්‌මාවේ මයිටොකොන්ඩි්‍රයා, සෛලවල ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් අඩු කරන බව. ඒ වගේ ම මානව කලලබන්ධ සෛලවලටත් හානි සිදු කරන බව අනාවරණය වී තිබෙනවා. කලල බන්ධ සෛලවල ඇරෝමැටික සංයෝග තිබෙනවා. මෙමගින් කරන්නේ ඇන්ෙඩ්‍රාජන් හෝමෝනය ඊස්‌ට්‍රජන් හෝමෝනය බවට පත් කිරීමයි. මේ එන්සයිම ක්‍රියාකාරීත්වය නැති කිරීමට ග්ලයිෆොසෙට්‌වලට හැකියාව තිබෙනවා. ග්ලයිෆොසෙට්‌ විතරක්‌ ගත් විට මේ දේ සිදු කරන්නේ නෑ. සක්‍රිය නො වන සංයෝගයක්‌ එකතු කළ විටයි සිදු වන්නේ. මෙවැනි සංයෝගවලට මිනිස්‌ සිරුර නිරාවරණය වූ විට ශරීරයට අවශෝෂණය කිරීම වේගවත් වෙනවා.

සක්‍රිය සංයෝගවලට සක්‍රිය නො වන සංයෝග එකතු කරන්නේ ද්‍රාවකයක්‌ විදිහටයි. සක්‍රිය සංයෝග දිය නො වන නිසා මෙවැනි පළිබෝධ නාශක උග්‍ර විෂ සහිතයි. මේ ද්‍රව්‍ය භාවිතයේ දී ශරීර ආවරණ හා අත්වැසුම් භාවිත කරන්න උපදෙස්‌ දෙනවා. නවතම සොයා ගැනීම්වලට අනුව මේ සක්‍රිය නො වන සංයෝගවලට අත් වැසුම් දිය කිරීමේ හැකියාව ඇති බැව් අනාවරණය වී තිබෙනවා. එනිසා ගොවියා පළිබෝධනාශක විෂවලට වේගයෙන් නිරාවරණය වෙනවා. වෙනත් රටවල වරක්‌ භාවිත කළ ආවරණ නැවත භාවිත කරන්නේ නෑ. ශ්‍රී ලංකාවේ පළිබෝධ නාශක ඉසීමේ දී එක ම ඇඳුම වාර ගණනාවක්‌ භාවිත කරනවා. මේ ඇඳුම් සේදුවත් රසායන ඉවත් වෙන්නේ නෑ. හේතුව සක්‍රිය සංයෝගවල තිබෙන තෛලෝදකරණය සේදුම් කාරකවල ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමයි. මේ නිසා පළිබෝධනාශක ඉසින ගොවියා ඇඳුම තුළින් වැඩි වාර ගණනක්‌ පළිබෝධ නාශකවලට නිරාවරණය වීම ඔහුට රෝගී තත්ත්වයක්‌ ගෙන දීමට හේතුවක්‌.

පරිසරයට සිදු කරන්නේ කවර හානියක්‌ ද යන්න ගැන ඔබ පර්යේෂණ කර තිබෙනවා ද?

මම මගේ ආචාර්ය උපාධිය සඳහා ලංකාවේ භාවිත වන සක්‍රිය සංයෝග වර්ග 4ක්‌ පිළිබඳව පර්යේෂණ කළා, ගැඩවිලුන් යොදාගෙන. උන් ගේ ප්‍රජනනය, වර්ධනය, මරණයට පත් වීම සහ උන් ගේ චර්යාව වෙනස්‌ වනව ද කියා පර්යේෂණ කළා. මෙයින් පෙනී ගියා පළිබෝධනාශකවල තිබෙන AC50 අගය 2ත් 6ත් අතර ගණනකින් වෙනස්‌ වන බව. සක්‍රිය සංයෝගයකින් මෙසේ වෙනස්‌ අගයක්‌ පෙන්වන්නේ නෑ. මෙසේ වෙනස්‌ වීමට හේතුව සක්‍රිය නො වන සංයෝගයි. තවත් උදාහරණයක්‌ තමයි කලින් කිව්ව ග්ලයිෆොසෙට්‌ සංයෝගය මාළුන්ට දැම්මාම වඩාත් විෂ සහිත බව පෙනී යනවා. උභය ජීවීන්ටත් මේ ආකාරයට විෂ සහිත බැව් අනාවරණය වුණා. මෙයින් අපට පෙනී යන දෙයක්‌ තමයි සක්‍රිය සංයෝගය විෂ සහිතයි, සක්‍රිය නො වන සංයෝගය විෂ රහිතයි කියා වෙන් කර ගැනීමට නොහැකි බව.

මෙහි දී කළ යුත්තේ පළිබෝධනාශකවල අඩංගු සංයෝග ලේබලයේ සඳහන් කිරීම නේ ද?

ඔව්. පළිබෝධනාශක බෝතලයේ ලේබලයේ මේ සංයෝග සඳහන් කළ යුතුයි. මෙයින් ගැටලු රැසක්‌ අඩු වෙනවා. අපිට උවදුරක්‌ ඇති වුණොත් සොයා ගන්න ලෙහෙසියි. ඉන්දියාවේ මේ සංයෝග සියල්ල ම සඳහන් කරනවා. ලංකාවේ සඳහන් කරන්නේ නෑ. අපේ සඳහන් වන්නේ සක්‍රිය සංයෝගය විතරයි. මේ නිසා මේ ආසනික්‌ ගැටලුව සමග පළිබෝධ නාශක පනතේ තිබෙන සමහර කරුණු ගැන නැවත සිතා බලන්න වෙනවා. මේ දේ කළ යුතුයි කියල විතරක්‌ මදි ක්‍රියාත්මක කරන්නත් අවශ්‍යයි.

එහෙම වුණොත් පළිබෝධ නාශක කාර්යංශයේ වෙන ම තැනක මේ සංයෝග පිළිබඳ පරික්‍ෂණ පවත්වන්න හැකියාව තිබෙනවා. මේ සඳහා විශාල මුදලක්‌ වැය වෙනවා. නවීන උපකරණ අවශ්‍ය වෙනවා. ඒත් මේ පළිබෝධ නාශක නිසා රෝගී වන පුද්ගලයන්ට ප්‍රතිකාර කරන්න රජය දරන මුදල ගැන බැලුවාම මේ සඳහා වැය වන්නේ සුළු මුදලක්‌. මේ ගැන සිතා බැලිය යුතුයි. පළිබෝධනාශක සමාගම් මෙසේ සංයෝග සඳහන් නො කිරීමට හේතුව ලෙස ඔවුන් දක්‌වන්නේ එය වෙළෙඳ රහසක්‌ ලෙස තියා ගන්නා බවයි. පාරිභෝගිකයාට පළිබෝධ නාශකයක අඩංගු ද්‍රව්‍ය හා ක්‍රියාකාරීත්වය දැන ගැනීමේ අයිතියක්‌ තිබෙනවා. ගොවියාට අදාළ දැනුම නැති නිසා දැනුම තිබෙන අය ගොවියාට දැනුම ලබා දෙන්න ඕනෙ. පළිබෝධ නාශක රෙජිස්‌ට්‍රාර් පනතේ තිබෙන්නේ මෙය පළ කරන්නයි. රෙජිස්‌ට්‍රාර් කාර්යාලයේ පළිබෝධ නාශකවල අඩංගු සක්‍රිය නො වන සංයෝගවල ලැයිස්‌තුවක්‌ තිබෙනවා. මේ ආසනික්‌ ගැටලුවේ දී ආසනේට්‌ තිබිය හැක්‌කේ සක්‍රිය නො වන සංයෝගයක්‌ ආකාරයටයි. මේ දත්ත ලැයිස්‌තුව අනුව නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගන්න පහසුයි. මේ නිලධාරීන් කියන්නේ කිලෝගෑමයට ආසනික්‌ මයික්‍රොග්‍රෑම් 300ක්‌ තියෙනවා කියලා. මෙහි දී ගණන අවශ්‍ය නෑ. ආසනික්‌ තිබෙනවා ද නැද්ද යන්නයි අවශ්‍ය වෙන්නේ. මෙහි ප්‍රායෝගික තත්ත්වය දන්නේ නැතිවයි කථා කරන්නේ.

වරකට මයික්‍රොග්‍රෑම් 300කට නිරාවරණය වුවත් වාර ගණන වැඩි නම් ප්‍රමාණය වැඩි වෙනවා. කන්නයකට මේ පළිබෝධනාශක වාර කීයක්‌ යොදනවා ද? මේ සැම අවස්‌ථාවක දී ම ගොවියා නිරාවරණය වෙනවා. මේ නිසා යම් කාලයක්‌ ගත වීමේ දී ගොවියා රෝගියකු බවට පත් වෙනවා. මෙහි දී ඇති වී තිබෙන ප්‍රධාන ගැටලුව තමයි ආසනික්‌ තිබෙනවා ද නැද්ද යන්න කියන එක අමතක කර තිබීම.

මේක සංකීර්ණ ගැටලුවක්‌. විසඳීමට තිබෙන මඟ කුමක්‌ ද?

මම කලින් කිව්ව නේ මෙහි දී අවශ්‍ය වෙන්නේ ආසනික්‌ අඩංගු ප්‍රමාණය නො වෙයි තිබෙනවා ද නැද්ද යන්න සොයා ගැනීමයි කියා. මොකද එයින් සිදු කරන හානිය විශාල නිසා. මෙහි දී රාජ්‍ය නිලධාරීන් වැඩ පටලවාගෙන. සාමාන්‍ය ජනතාවට අදාළ වන්නේ සහල්වල ආසනික්‌ කථාව වෙන්න පුළුවන්. මෙතන දී අවශ්‍ය වෙන්නේ පළිබෝධනාශකවල ආසනික්‌ අඩංගු ද යන්න විමසීමයි. මේ අය කරන්නේ සහල්වල ආසනික්‌ ප්‍රශ්නයෙන් පළිබෝධනාශක ප්‍රශ්නය යට ගැසීSමට උත්සාහ කිරීමයි. මේක සිය අතින් සිය දිවි හානි කර ගැනීමක්‌.

මෙතැන දී පළිබෝධ නාශකවල අඩංගු ආසනික්‌වල අවම ප්‍රමාණය කොපමණ ද යන්න පිළිබඳ නිර්ණායක දීම ලෙහෙසි කාරණයක්‌ නො වෙයි. පරිසර අවදානම් තක්‌සේරු වාර්තාවක්‌ (Environment risk Assesment) සෑදිය යුතුයි. මේක අමාරු දෙයක්‌. ආසනික්‌වල ප්‍රභවය කුමක්‌ ද, ඒවා පසේ තිබෙනවා ද, ජලයේ කොපමණ තිබෙනවා ද, ශාකවල කොපමණ තිබෙනවා ද, මිනිසුන්ට කොපමණ හානියක්‌ ඇති කරනවා ද, ශරීරයට අවශෝෂණය වෙනවා ද ශ්වසනය මගින් ශරීරගත වෙනවා ද යනාදී කරුණු රැසක්‌ විශ්ලේෂණය කරන්න වෙනවා. මේක බටහිර රටවලත් ඉතා ම අමාරු කාර්යයක්‌. මෙය විසඳීම සඳහා ගණිතය, පරිසර විද්‍යාව විෂයයන් පිළිබඳ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි විෂය ක්‍ෂෙත්‍ර ගණනාවක දැනුම අවශ්‍ය වෙනවා. මේ වගේ දෙයක්‌ කිරීම බොහෝ අපහසු නිසා සරල තැනකින් පටන් ගන්න ඕනේ.

මේ ආකාරයට පර්යේෂණ කණ්‌ඩායම් කඹ ඇදීමෙන් අමාරුවේ වැටෙන්නේ අසරණ ගොවි ජනතාවයි. ඔබ ගේ අදහස කුමක්‌ ද?

ඔව්. විශ්වවිද්‍යාලවල ආචාර්යවරු පර්යේෂණ කරන්නේ ජනතාව වෙනුවෙන්. රාජ්‍ය දෙපාර්තමේන්තුවල නිලධාරීන් පර්යේෂණ කරන්නේ ජනතාව වෙනුවෙන් නම් මේ දෙගොල්ලන් ම එක මේසයකට එකතු කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයට හැකි විය යුතුයි. මේ දෙගොල්ලන් ගේ අපහසුතා සොයා බැලිය යුතුයි. පළිබෝධ නාශක පනත සංශෝධනය කළ යුතුයි. 1970 වැනි ඈත යුගයක දී පිහිටුවූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පර්යේෂණාගාරයේ තාක්‍ෂණය අද තාක්‍ෂණය තරම් දියුණු නෑ. එදා භාවිත කළ පළිබෝධ නාශකවලට වඩා වෙනස්‌ පළිබෝධනාශක අද භාවිත වෙනවා මම දන්නා තරමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පර්යේෂණාගාරයේ පර්යේෂණ සිදු කිරීමට තරම් ප්‍රමාණවත් රසායන ද්‍රව්‍ය නැහැ. මේක සහතිකයක්‌ පමණක්‌ දෙන ආයතනයක්‌ බවට පත් වෙලා. ප්‍රායෝගික බවක්‌ නෑ. අපි පළිබෝධනාශක පනතෙන් ඔබ්බට යා යුතුයි. එසේ නො වුණොත් සිදු වන්නේ මහා විනාශයක්‌. වකුගඩු රෝගයට ආසනික්‌ විතරක්‌ නො වෙයි, රසදිය වැනි වෙනත් ද්‍රව්‍ය රැසක්‌ හේතු වෙන්නත් පුළුවන්. ඒ ගැනත් සොයා බැලිය යුතුයි රජය මේ ප්‍රශ්නයෙන් මඟහරින්න උත්සාහ කරන්නේ තවත් ප්‍රශ්න රාශියකට මුල පිරීමකට බව අමතක කළ යුතු නෑ ඒ නිසා රාජ්‍ය අංශයෙන් වඩාත් සාධාරණ විසඳුමක්‌ අවශ්‍ය වෙනවා.

රුහුණ විශ්වවිද්‍යාලයයේ
සත්ත්ව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මංගල සී. එස්‌. ද සිල්වා
සාකච්ඡා කළේ අමල් උඩවත්ත