logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


සන්නිවේදනයේ පෞද්ගලිකත්වය හා ආසනික්‌

රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ බව කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ පරීක්‍ෂණ කණ්‌ඩායම සියයට අනූ නවයක විශ්වාසයකින් (පඬියකුට අවශ්‍ය නම් සම්භාවිතාවකින්) කියයි. එසේ ම ඒ ආසනික්‌ වතුරට හා පසට එකතු වන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා බව ද ඒ කණ්‌ඩායම පවසයි. තමන් විසින් පරීක්‍ෂා කරන ලද කෘෂි රසායනික නියෑදිවල විවිධ ප්‍රමාණයන් ගෙන් ආසනික්‌ අඩංගු බව ද ඒ කණ්‌ඩායම ප්‍රකාශ කරයි. මේ කෘෂි රසායනික ද්‍රව්‍ය අතර පළිබෝධනාශක මෙන් ම පොහොර ද වෙයි. මේ ප්‍රකාශ කිරීම පැවසීම් ආදිය යනු සන්නිවේදනය මිස වෙනත් කටයුත්තක්‌ නො වේ.

සන්නිවේදනය යන්න පෞද්ගලික කටයුත්තකි. ජනමාධ්‍ය ඔස්‌සේ කෙරෙන සන්නිවේදන ද අවසාන වශයෙන් ගත් කල පෞද්ගලික වෙයි. සන්නිවේදන සඳහා භාෂා ඇත්තේ ප්‍රධාන වශයෙන් ම හැකිතාක්‌ දුරට එහි දී සිදු වන වැරැදි වැටහීම මඟහරවා ගැනීමට ය. භාෂා නැති ව වුවත් සන්නිවේදනයේ යෙදිය හැකි ය. එහි දී චිත්‍ර, සංගීතය මෙන් ම අභිනය ආදිය ද යොදා ගැනෙයි. එසේත් නැත හොත් ඉරියව් මගින් සන්නිවේදනය කෙරෙයි. එහෙත් ඒ කිසි ම අවස්‌ථාවක දී සන්නිවේදනය කරන පුද්ගලයාට අවශ්‍ය දේ සන්නිවේදනය ලබන පුද්ගලයාට ඒ ආකාරයෙන් ම නො ලැබෙයි. ඇතැම් විට සන්නිවේදනයෙහි යෙදෙන පුද්ගලයාට ද තමන්ට සන්නිවේදනය කිරීමට අවශ්‍ය කුමක්‌ ද යන්න පිළිබඳ නිශ්චිත වැටහීමක්‌ තබා හැඟීමක්‌ වත් නැත.

සන්නිවේදනයට අඩු ම තරමෙන් පුද්ගලයන් දෙදෙනකු අවශ්‍ය යෑයි යමකුට හැඟෙනු ඇත. එහෙත් තමා තනි ව ම තමාට යෑයි හඳුනා ගැනෙන අයකුට සන්නිවේදනය කර ගන්නා බව අප බොහෝ දෙනකුට අමතක වෙයි. අපි ඇතැම් විට සිතින් යම් යම් දෑ ආවර්ජනය කරමු. අපට ඇති වන සිතිවිලි ධාරාව ඇතැම් විට සංවාදයක ස්‌වරූපය ගනියි. මෙහි දී පැහැදිලි විය යුතු ප්‍රධාන ම ගුණය නම් මම යනුවෙන් ගැනීමට හෝ ආත්මය ලෙස ගැනීමට හෝ භුතාර්ථයක්‌ (entity) නොමැති බව ය. එසේ වුවත් අපි ඒ ඒ සිතිවිලි ධාරා ඒ ඒ පුද්ගලයන් ලෙස ගනිමු. අපට ඇති ප්‍රධාන ම ප්‍රශ්නය නම් පුද්ගලයකු යනුවෙන් භූතාර්ථයක්‌ නොමැති ව එසේ ඇතැයි ගැනීම ය. මේ මෝහය වෙයි.

අපි ඒ ගැටලුව පැත්තකින් තැබුව ද සන්නිවේදනයේ දී ඇති වන ප්‍රශ්න කිහිපයක්‌ රජරට වකුගඩු රෝගය ආශ්‍රිත ව කෙරෙන ගවේෂණයේ දී දැනටමත් සිදු වී ඇති අයුරු පැහැදිලි කරමින් සාකච්ජා කරමු. මෙහි දී මා උත්සාහ ගන්නේ වාස්‌තවික වූ සන්නිවේදනයක්‌ කිසි දිනෙක ගොඩනඟා ගැනීමට මිනිසුන්ට නො හැකි බවට ඉඟියක්‌ ද සැපයීමට ය. සංකල්ප, ප්‍රවාද ආදී සියල්ල සාපේක්‍ෂ වූ විට සංකල්ප ආදිය යොදාගෙන කෙරෙන නිරපේක්‍ෂ සන්නිවේදනයක්‌ තිබිය හැක්‌කේ කෙසේ ද? අප වෙනත් අයකු කියන දෙයක්‌ තේරුම් ගන්නේ අපට සාපේක්‍ෂව, අපට අවශ්‍ය ආකාරයට මිස අනෙකාට අවශ්‍ය ආකාරයකට නො වේ.

ඉතා වාස්‌තවික භාෂාවක්‌ ලෙස සැලකෙන බටහිර ගණිතයෙහි දී වුව ද සන්නිවේදකයා හා සන්නිවේදනය ලබාගන්නා (සන්නිවේදනලාභියා) අතර සන්නිවේදිතය සම්බන්ධයෙන් වෙනස්‌කම් ඇත. මෙහි දී කෙනකුට සන්නිවේදිතය යන යෙදුම ම ප්‍රශ්න කළ හැකි ය. සන්නිවේදිතය යන්නෙන් ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ නො වූ නිරපේක්‍ෂ යමක්‌ ඇතැයි ගම්‍ය වෙයි. එහෙත් ඒ වැරැදි ය. සන්නිවේදකයා ගේ සන්නිවේදිතය සන්නිවේදනලාභියා ගේ සන්නිවේදිතයෙන් වෙනස්‌ වෙයි. එසේ නො වන්නට සන්නිවේදනයේ දී ගැටලු පැන නො නඟිනු ඇත.

සන්නිවේදනයේ දී මතු වන තවත් ගැටලුවක්‌ වනුයේ ඇතැම් විට සන්නිවේදකයා සන්නිවේදනලාභියාට වෙනත් අරුතක්‌ ලැබෙන ආකාරයෙන් වුවමනාවෙන් ම කටයුතු කිරීම ය. එහි දී සන්නිවේදනලාභියා තමන්ට වැටහෙන අයුරින් සන්නිවේදිතයක්‌ සකස්‌ කර ගනියි. එවැනි අවස්‌ථාවක සන්නිවේදනලාභියාට වෙනත් අවස්‌ථාවක දී ලැබෙන නිදහසට වැඩි නිදහසක්‌ ලැබෙයි. අප වටහාගත යුතු ප්‍රධාන ම කරුණක්‌ වනුයේ සන්නිවේදකයා මෙන් ම සන්නිවේදනලාභියා ද තම තමන් ගේ සන්නිවේදිත සකස්‌ කරගන්නා බව ය. එහෙත් මේ කරුණ ද ඒ ඒ පාඨකයන් ඒ ඒ ආකාරයෙන් වටහාගනු ඇත. ඒ සම්බන්ධයෙන් අපට වැඩි යමක්‌ කළ හැකි නො වේ.

රජරට වකුගඩු රෝගය සම්බන්ධ ගවේෂණය (එය හුදු පරීක්‍ෂණයක්‌ නො වේ) කෙරෙන්නේ කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ කණ්‌ඩායමක්‌ මගිනි. එහෙත් අද සැම ජනමාධ්‍යයක ම මෙන් කියෑවෙන්නේ කැලණිය හා රජරට විශ්වවිද්‍යාලවල කණ්‌ඩායමක්‌ මගින් ඒ ගවේෂණය කෙරෙන බව ය. මෙය වැරැදි ය. එය එතරම් බරපතල කරුණක්‌ නො වූවත් මෙහි දී එය සඳහන් කෙරෙනුයේ සන්නිවේදනයේ දී සිදු වන වැරැදිවලට උදාහරණයක්‌ ලෙස ය. රජරට විශ්වවිද්‍යාලය මේ ගවේෂණයට සම්බන්ධ නැත. එහි විද්‍යා පීඨය හෝ වෛද්‍ය විද්‍යා පීඨය හෝ වෙනත් පීඨයක්‌ හෝ මේ ගවේෂණයට කිසිසේත් ම සම්බන්ධ නැත. ඒ කුමන පීඨයක්‌ වුවත් එයට සම්බන්ධ නම් ඒ අදාළ පීඨයෙන් එයට විරුද්ධත්වයක්‌ පළ නො වන්නේ යෑයි සිතන්නේ ද? මේ ගවේෂණයට අදාළ කිසි ම පරීක්‍ෂණයක්‌ රජරට විශ්වවිද්‍යාලයයේ කිසි ම පීඨයක කිසි ම පරීක්‍ෂණාගාරයක සිදු නො කරන ලදී. එසේ තිබිය දීත් රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් කැලණිය හා රජරට විශ්වවිද්‍යාල කණ්‌ඩායමක්‌ පර්යේෂණ කරන බව නිරන්තරයෙන් ම ජනමාධ්‍යවල සඳහන් වන්නේ කෙසේ ද?

රජරට විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය චන්න ජයසුමන මහතා අප කණ්‌ඩායමට අයත් වෙයි. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ නො වූ තවත් වෛද්‍යවරු රාශියක්‌ ද අප කණ්‌ඩායමට අයත් වෙති. ඔවුහු විවිධ රෝහල්වල සේවය කරති. ඒ අනුව කිසිවකු අප කණ්‌ඩායම හැඳින්විය යුත්තේ කැලණිය, රජරට, පදවි ශ්‍රී පුර, මොණරාගල, කරවනැල්ල පර්යේෂණ (ගවේෂණ) කණ්‌ඩායම ලෙසිනි. අනෙක්‌ අතට වෙනත් වෛද්‍යවරුන් මෙන් නො ව චන්න ජයසුමන මහතා මේ ගවේෂණයට සහභාගි වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයයෙහි පශ්චාද් උපාධි අපේක්‍ෂකයකු ලෙස ය. එසේ තිබිය දී අප කණ්‌ඩායම කැලණිය රජරට විශ්වවිද්‍යාල කණ්‌ඩායමක්‌ ලෙස හැඳින්වෙන්නේ ආරම්භයේ දී ම මතු වූ ජනසන්නිවේදන ගැටලුවක්‌ නිසා බව පැහැදිලි ය. මුල දී ම මේ කණ්‌ඩායම රජරට විශ්වවිද්‍යාලයට අයත් කණ්‌ඩායමක්‌ ලෙස හඳුන්වනු ලැබූ බව ද අමතක නො කළ යුතු ය.

අප කණ්‌ඩායමේ මූලික අරමුණ රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව දැනගැනීමත් ඒ සඳහා ප්‍රතිකාර හඳුන්වා දීමත් ය. එහි විවිධ අවස්‌ථාවල අපට නාථ දෙවියන් ගෙන් උපකාර ලැබී ඇත. අපි ඒ බව නො සඟවමු. නාථ දෙවියන්ට ද ඒ බව සැඟවීමේ අවශ්‍යතාවක්‌ නැත. එහෙත් නාථ දෙවියන් පිළිබඳ කතාව ජනමාධ්‍යවල සඳහන් වන්නේ විවිධ ආකාරයෙනි. ඇතැම් ජනමාධ්‍යයක පසුගිය දිනෙක කතුවැකිය ලියූ තැනැත්තා නාථ දෙවියන් මේ පරීක්‍ෂණයෙන් ඉවත් කරන ලෙසට අපට අවවාදයක්‌ ද දුන්නේ ය. එය එදින කතුවැකිය ලියූ තැනැත්තා ගේ අදහස මිස පුවත්පතේ අදහසක්‌ නො වන බව අපි දනිමු. පුවත්පතකට ඇත්තේ පුවත්පතට නිල වශයෙන් ලියන පුද්ගලයන් ගේ අදහස්‌ මිස ඊනියා වාස්‌තවික අදහසක්‌ නො වන බව දන්නා අපට එය ගැටලුවක්‌ නො වුවත් නාථ දෙවියන් අමතක කිරීමට තරම් අප ගුණමකු නො වන බව පමණක්‌ දැනට මෙහි දී සඳහන් කළ යුතු ය.

මෙහි දී සඳහන් කළ යුතු තවත් වැදගත් කරුණක්‌ වෙයි. නාථ දෙවියන් ගේ උපකාරය ලබාගෙන ඇත්තේ අප පමණක්‌ නො වේ. වෙනත් කරුණුවල දී ද නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් විවිධ අයට ආධාර කර ඇත. මාවිල්ආරුවෙන් ඇරඹි මානවීය මෙහෙයුම්වල දී ද එලෙස දෙවිවරුන් ගේ ආධාරය ලැබුණු බව අප පවසන්නේ ඒ මෙහෙයුම ජයග්‍රහහණය කළ රණවිරුවන්ට දිය යුතු ගෞරවය අබමල් රේණුවකින් වත් අඩු කිරීමට නො වේ. පසුව නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක්‌ දෘෂ්ටික දෙවිවරුන් වෙනත් කරුණුවල දී ද උපකාර වී ඇති අයුරු හෙළිදරව් වනු ඇත. එමෙන් ම මෙරට ඇතැම් නාට්‍ය අධ්‍යක්‍ෂවරුන්, චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්, තිර රචකයන්, ග්‍රන්ථ කර්තෘවරුන්, මනුෂ්‍ය නො වන බලවේගවලින් ආධාර ලබාගෙන ඒ සඟවාගෙන සිටින අයුරින් කටයුතු කිරීමට ද අපි බලාපොරොත්තු නො වෙමු. ඔවුන් අතින් ඉඳහිට වැරැදීමකින් ඒ බව හෙළි වන අවස්‌ථා ද නැත්තේ නො වේ.

අපේ ගවේෂණයට නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක්‌දෘෂ්ටික දෙවිවරුන් උපකාර කර ඇති බව අප පවසන්නේ ඇතැමුන් කියන අයුරින් නම් දෙවිවරුන් පෙන්වා ඊනියා විද්‍යාඥයන් බියගැන්වීමට ය. මෙරට සිටින විද්‍යාඥයන් යෑයි කියාගන්නා ඇතැම් නිවටයන් බියගැන්වීමට දෙවිවරුන් අවශ්‍ය නො වේ. ඔවුහු අති විශාල පිරිසක්‌ මුළු ජීවිතය පුරා ම ඉහළ නිලධාරීන්ට, බලයට බියෙන් තම තනතුරු රැකගැනීමේ පරම අපවිත්‍ර ෙච්තනාවෙන් කටයුතු කරති. මොවුන් බිය කිරීමට ගැරඬියකු බිය කිරීමට තරම් වත් උත්සාහයක්‌ ගත යුතු නො වේ.

රජරට නිදන්ගත වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ වීමට සියයට අනූ නවයක ඉඩක්‌ ඇතැයි පැවසූ අපි රජරට පොළොවට ආසනික්‌ ලැබෙන්නේ කෘෂි රසායන ද්‍රව්‍යවලින්, විශේෂයෙන් ම පළිබෝධනාශකවලින් යෑයි කීවෙමු. එහි දී ද සන්නිවේදන ගැටලු දෙකක්‌ මතු වී ඇත. අප අවධාරණය කරන්නේ පළිබෝධනාශකවල ඇති ආසනික්‌ වුවත් අද ජනමාධ්‍යවල අවධාරණය වන්නේ සහල්වල ඇති ආසනික්‌ ය. සහල්වල ද ආසනික්‌ ඇති බව අපි ස්‌ථිරව ම කියමු. එහෙත් අපේ ප්‍රශ්නය සහල්වල ආසනිත් තිබීම නො ව පළිබෝධනාශකවල ආසනික්‌ තිබීම ය. අපට අවශ්‍ය වී ගොවිතැන නැති කිරීම නො ව ගොවිතැන වස විසෙන් මුදා ගැනීම ය. අවධාරණය පළිබෝධනාශකවලින් සහල් වෙතට මාරු කළ සැණින් අපට අවලාද නැඟීමට බොහෝ දෙනාට අවකාශ ලැබී ඇත. මෙය නිලධාරීන් විසින් අවධාරණයේ කරන ලද වෙනසකි. කිසි ම පරීක්‍ෂාවකින් තොර ව ආසනික්‌ පමණක්‌ නො ව රසදිය ද අඩංගු කෘෂි රසායන ද්‍රව්‍ය ගෙන්වීමට ඉඩ දී ඇති මේ පිරිස්‌ අද තම වරද වසාගැනීමට අවධානය සහල්වලට මාරු කර අප පාන් පිටි ගෙන්වන්නන් ගේ තැරැව්කරුවන් යෑයි පෙන්වීමට බොළඳ එහෙත් සාපරාධී උත්සාහයක්‌ ගනු දැකිය හැකි ය.

මේ අතර ඇතැම් පඬියන් තම පඬිකම ඉස්‌මතු කරමින් නිතර අසන ප්‍රශ්නයක්‌ ව ඇත්තේ පළිබෝධනාශක නැඟෙනහිර පළාතේත් යොදා ගැනෙන්නේ නම් ඒ පළාතේ වැසියන්ට නිදන්ගත වකුගඩු රෝගය වැළඳෙන්නේ නැත්තේ ඇයි ද යන්න ය. එයට හේතුව ද අප කිහිප වරක්‌ ම පැහැදිලි කර ඇති නමුත් ඇතැම් පඬි සන්නිවේදනලාභීන් ඒ ගැන නිසි උනන්දුවක්‌ දක්‌වා නොමැති බැවින් ඔවුහු නිතර නිතර එවැනි ප්‍රශ්න අසති. රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික්‌ වුවත් ඒ සඳහා ජලයේ විශේෂ කිවුලක්‌ හා විශේෂ පසක්‌ අවශ්‍ය වෙයි. ඒ සියලු කරුණු සපුරා ලන්නේ රජරට හා ආසන්න ප්‍රදේශ කිහිපයක ය. ඇතැම් සන්නිවේදන පඬියන්ට ද මේ කරුණු අමතක වීම ගැන අප කුමක්‌ කරන්න ද?

මහාචාර්ය නලින් ද සිල්වා