logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ආසනික්‌ හා සුදු කපුටෝ

ඔබ ඇපල් මලක්‌ වාගේ.. ලස්‌සන වසන්ත කාලේ... යනුවෙන් ආරම්භ වන ගීතයක්‌ ඇත. මේ ගීතයෙහි පදමාලාව රචනය කළ තැනැත්තා යුරෝපීය හෝ වෙනත් බටහිර වසන්තයක්‌ හා ඇපල් මල් දැක ඇතැයි සිතමු. එසේ නම් ඔහුට ඇපල් මල ගැන ඇත්තේ සංයුක්‌ත සංකල්පයක්‌ පමණක්‌ නො වේ. ඔහුට එය ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක්‌ වෙයි. ඒ සංකල්පය ඔහු ගේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර වී ඇත. ඔහුට ඒ ඇපල් මල නැත්නම් ඇපල් මල් ලංකාවේ දී වුව ද සිතෙන් මවාගත හැකි වෙයි. මා මෙය ලියන අතර මට අවශ්‍ය නම් රුවන්වැලිසෑය සිතෙන් මවාගත හැකිවාක්‌ මෙන් ඇපල් මලක්‌ දැක ඇති අයකුට ඒ අමතක වී නැත්නම් ඇපල් මලක්‌ ඕනෑ ම අවස්‌ථාවක සිතෙන් මවාගත හැකි වෙයි. එසේ ම ගී පද රචකයාට වසන්තය පිළිබඳ සෘජු පංෙච්න්ද්‍රිය ගෝචර අත්දැකීම් ද ඇතැයි සිතිය හැකි ය.

එහෙත් මෙහි දී කිව යුත්තක්‌ වෙයි. කාලයක්‌ ඇවෑමෙන් ඇපල් මල පිළිබඳ මතකය දුරස්‌ වත් ම සිතෙන් මවාගත හැකි අපල් මල ද වෙනස්‌ වෙයි. එහි හැඩය, වර්ණය ආදිය කල් යැමේ දී සිතෙහි වෙනස්‌ වෙයි. වසන්තය ගැන ඇති හැඟීම් වුව ද කල් ගත වත් ම වෙනස්‌ වෙයි. නැවත නැවතත් යුරෝපයට හෝ වෙනත් ප්‍රදේශයකට හෝ ගොස්‌ තම මතකය අලුත්වැඩියා නො කරගන්නකුට ඒ අදාළ අත්දැකීම් පිළිබඳ මතකය ක්‍රමයෙන් ඈත් වෙයි. මෙය ගීතයෙහි පද රචකයාට පමණක්‌ නො ව ඕනෑ ම අයකුට සිදු විය හැකි ක්‍රියාවලියකි.

එයින් කියෑවෙන්නේ ඇපල් මල් අවුරුදු පතා නො දකින, කාලයකින් ඒ නො දුටු අයකු ගේ ඇපල් මල පිළිබඳ සිතෙහි මැවෙන සංකල්පය කාලයත් සමඟ වෙනස්‌ විය හැකි බව ය. වසන්තය සම්බන්ධයෙන් ද තත්ත්වය එසේ ම ය. දැන් මේ ගීතය රසවිඳින කිසි දා ඇපල් මලක්‌ නො දුටු අයකු ගනිමු. ඔහු ඇපල් මලක්‌ ලෙස සිතෙහි මවා ගන්නේ කුමක්‌ ද? ඔහු ඡායාරූපයක ඇපල් මලක්‌ (මල්) දැක ඇත්නම් ඒ අනුසාරයෙන් ඇපල් මලක්‌ සිතෙහි මවාගනු ඇත. ඒ ඇපල් මල ගීත රචකයා ගේ ඇපල් මලෙන් වෙනස්‌ වන බව අමුතුවෙන් කිව යුතු නො වේ.

ගීතය රස විඳින්නා ඡායාරූපයකින් වත් ඇපල් මලක්‌ දැක නැත්නම් ඔහු ඇපල් මලක්‌ සිතෙන් මවාගන්නේ කෙසේ ද? ගීතයෙහි ඇපල් මල යොදාගෙන ඇත්තේ රූමත් යෑයි කිව හැකි කතක්‌ ගැන කීමට බැවින් ඇපල් මල ලස්‌සන යෑයි ගීය රස විඳින්නා පළමුව සිතනු ඇත. ඉන්පසු ඔහු තමා දැක ඇති ලස්‌සන මල් ඇසුරෙන් ඇපල් මලක්‌ සිතෙහි නිර්මාණය කරගනු ඇත. එවැන්නකු ගේ ඇපල් මල පිළිබඳ සංකල්පය ගී පද රචකයා ගේ ඇපල් මල සමඟ සමපාත වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු ය.

එපමණක්‌ නො වේ. ඇපල් මල් දුටු අය සියල්ලන් ම එක ම ආකාරයේ ඇපල් මල් පිළිබඳ සංකල්ප ඇති කරගන්නේ යෑයි නො සිතිය යුතු ය. ඇපල් මල දුටු දිනයේ සිතෙහි වූ හැඟීම, ප්‍රීතියෙන් සිටියේ ද, කණගාටුවෙන් සිටියේ ද ආදිය හා තවත් බොහෝ කරුණු ඒ සංකල්පය ඇති කර ගැනීමේ දී බලපායි. අප සියලු දෙනා ම දකින්නේ එක ම පොල් මලක්‌ යෑයි නො සිතිය යුතු ය. අප එකිනෙකා ගේ පොල් මල් වුව ද එකිනෙකට සාපේක්‍ෂ වෙයි. අපට බොහෝ විට සමාන ඉන්ද්‍රිය පද්ධති තිබුණ ද මනස සමඟ එකතු වී සංස්‌කරණය කෙරෙන සංකල්ප සම්බන්ධයෙන් අප සැම අතින් ම එකඟ වන්නේ යෑයි නො සිතිය යුතු ය. එසේ සිතන්නට අප පුරුදු වී ඇත්තේ බටහිර ආත්මවාදීන් ගේ දැඩි පීඩනය හේතුවෙනි. අඩු ම තරමෙන් සිංහල සංස්‌කෘතියේ අප දකින පොල්මල හා ඉංගිරිසිකාරයකු ලංකාවේ දකින පොල් මල අතර වෙනසක්‌ ඇති බව වටහාගත යුතු ය.

සංකල්පවල සාපේක්‍ෂභාවය ගැන සාකච්ජා කරන අතර ඊනියා වාස්‌තවික මිනුම්වල සාපේක්‍ෂතාව ගැන කෙටි සටහනකට මේ අවස්‌ථාව යොදාගනු කැමැත්තෙමි. අද ලංකාවේ සිටින බොහෝ විද්‍යාඥයන් යෑයි කියන කරුණක්‌ නම් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ රජරට නිදන්ගත වකුගඩු රෝගය පිළිබඳ ගවේෂණයක යෙදෙන කණ්‌ඩායම පළිබෝධ නාශකවල, රජරට ඊනියා පානීය ජලයෙහි හා රජරට නිපදවන සහල් වැනි ද්‍රව්‍යවල ආසනික්‌ ඇති බවට කරන ප්‍රකාශ සාවද්‍ය බව ය. ඔවුනට අනුව ඒ සහල්වල ආසනික්‌ නැත. එමෙන් ම පළිබෝධ නාශක දෙකක හැර අනෙක්‌ බොහොමයක ද ආසනික්‌ නැත. ඔවුන් කියන්නේ තවත් පළිබෝධනාශක නියෑදි කිහිපයක්‌ පමණක්‌ පරීක්‍ෂාවට ලක්‌ කළ යුතු ව ඇති බව ය. ඊනියා පානීය ජලයෙහි හෙවත් බොන වතුරෙහි ආසනික්‌ ඇත් ද නැත් ද යන්න පිළිබඳව මේ විද්‍යාඥයන් ගෙන් නිශ්චිත ප්‍රකාශයක්‌ නිකුත් කෙරී නැත. එසේ නම් කැලණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ කණ්‌ඩායම, ඇතැමුන් කියන්නාක්‌ මෙන් රටට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේ ද?

මේ ප්‍රකාශ කරන ඇතැමුන් තමන් හඳුන්වා ගන්නේ විශ්ලේෂණාත්මක රසායන විද්‍යාඥයන් ලෙස ය. ඒ එසේ විය හැකි ය. එහෙත් කිසි ම විෂයයක්‌ ඊනියා විශේෂඥයන් ගේ පමණක්‌ බූදලයක්‌ නො වේ. සාමාන්‍ය බුද්ධියක්‌ ඇති ඕනෑ ම අයකුට බොහෝ දේ තේරුම් ගැනීමේ හැකියාවක්‌ ඇත. අනෙක්‌ අතට කාබනික රසායන විද්‍යාව දන්නා මහාචාර්යවරුන්ට දෙවැනි වසරේ ශිෂ්‍යයන්ට උගන්වන ඊනියා විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව අවබෝධ කර ගැනීමට නො හැකි නම් විශ්වවිද්‍යාලයෙහි ඉගැන්වෙන රසායන විද්‍යාවෙහි විශාල අඩුපාඩුවක්‌ තිබිය යුතු ය.

පළිබෝධනාශකවල ආසනික්‌ නැතැයි කියන අය තම මතය ප්‍රකාශ කරන්නේ කාර්මික හා තාක්‍ෂණ ආයතනයේ කරන ලද පරීක්‍ෂණ පමණක්‌ උපයෝගී කරගනිමිනි. එය ඊනියා විද්‍යාත්මක විධික්‍රමයට එකඟ දැයි දැනගනු කැමැත්තෙමි. එක ආයතනයක පමණක්‌ කරන ලද පරීක්‍ෂණ මත පදනම් වී සාධාරණ (General පොදු යන අරුතින්) නිගමනවලට එළඹෙන්නේ කෙසේ ද?

ආසනික්‌ සම්බන්ධයෙන් කෙරෙන පරීක්‍ෂණවල දී යොදා ගැනෙන්නේ සාමාන්‍යයෙන් සම්මත රසායන විද්‍යා පොත්පත්වල හා පර්යේෂණ සඟරාවල ඇති ක්‍රම ය. මේ ක්‍රම අනුව කාර්මික හා තාක්‍ෂණ ආයතනයෙහි කරන ලද පරීක්‍ෂණවල දී පළිබෝධනාශකවල ආසනික්‌ හඳුනාගන්නට නොහැකි වන්නට ඇත. එසේත් නැත හොත් ඉතා සුළු ප්‍රමාණයක්‌ පමණක්‌ ඇතැම් නියෑදිවල ඇති බව පෙනී යන්නට ඇත. එහෙත් එපමණකින් ඔවුන් පළිබෝධනාශකවල ආසනික්‌ නැතැයි යන නිගමනයට පැමිණෙන්නේ කෙසේ ද?

ඔවුනට කිව හැක්‌කේ තමන් විසින් යොදා ගන්නා ලද ක්‍රමයට අනුව තමන් විසින් පරීක්‍ෂණයට ලක්‌ කරන ලද නියෑදිවල ආසනික්‌ නැති බව පමණ ය. එය සාධාරණ නිගමනයක්‌ විය නො හැකි ය. එහෙත් යමකු යම් පරීක්‍ෂණයකින් පළිබෝධනාශක නියෑදියක ආසනික්‌ ඇති බව දැනගත හොත් එයින් කියෑවෙන්නේ අඩු ම තරමෙන් එක්‌ පළිබෝධනාශකයක ආසනික්‌ ඇති බව හා අනෙක්‌ පළිබෝධනාශකවල ද ආසනික්‌ තිබේ දැයි දැනගැනීමට පරීක්‍ෂණ පැවැත්වීම යෝග්‍ය බව ය.

තමන් ගේ පරීක්‍ෂණාගාරයෙහි තමන් දන්නා ක්‍රමයකට පළිබෝධනාශකවල ආසනික්‌ තිබේ දැයි පරීක්‍ෂා කර ඒ පරීක්‍ෂණවලට ආසනික්‌ හසු නො වූ කල පළිබෝධනාශකවල ආසනික්‌ නැතැයි නිගමනය කරන ඊනියා විද්‍යාඥයන්ට සාමාන්‍ය ව්‍යවහාර ඥනය වත් ඇත් ද යන සැකය මතු වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයීය කණ්‌ඩායම පළිබෝධනාශකවල මෙන් ම රජරට ළිං හා වැව්වල ජලයෙහි ද, සහල්වල හා වෙනත් ද්‍රව්‍යයන් ගේ ද ආසනික්‌ ඇත් දැයි සොයා බැලීමේ දී සම්මත ක්‍රමය ඇතැම් සංශෝධනයන්ට ලක්‌ කර ඇත. අප කණ්‌ඩායමට ඒ ඒ නියෑදිවල ආසනික්‌ ඇති බව පෙනී ගොස්‌ ඇත්තේ එසේ සංශෝධිත ක්‍රම මගින් නියෑදි පරීක්‍ෂා කිරීමෙහි දී ය.

ඒ සංශෝධිත ක්‍රම කවරේ දැයි අප කණ්‌ඩායමේ විද්‍යාඥයෝ රටට දැනුම් දීමට සූදානමින් සිටිති. එහෙත් එක්‌ ආයතනයකින් හැරෙන්නට අනෙක්‌ ආයතනවලින් ඒ පිළිබඳව ලැබී ඇත්තේ නිෂේධාත්මක ප්‍රතිචාර ය. අපේ කණ්‌ඩායමේ සංශෝධිත ක්‍රම අනුව පරීක්‍ෂා කළ ආයතනයේ විද්‍යාඥයන්ට අදාළ නියෑදිවල ආසනික්‌ හඳුනාගැනීමට හැකි වී ඇත. රජයේ ම ආයතනයක්‌ වූ ඒ ආයතනයෙහි ද නිරීක්‍ෂණ රජයේ ඇතැම් නිලධාරින් විසින් ප්‍රතික්‌ෂේප කරනු ලැබ ඇත.

රජයේ නිලධාරීන් කුමක්‌ කීව ද කුමක්‌ කළ ද, මේ සියල්ලෙන් පැහැදිලි වන කරුණක්‌ වෙයි. එනම් යොදා ගන්නා ක්‍රම වෙනස්‌ වන විට ඊනියා විශ්ලේෂණාත්මක රසායන විද්‍යාවෙහි (Analytical Chemistry) ප්‍රතිඵල වෙනස්‌ වන බව ය. ප්‍රතිඵලය ඉතා පැහැදිලි ව යොදාගන්නා ක්‍රමය මත වෙනස්‌ වන විට වාස්‌තවිකත්වයක්‌ ඇත්තේ කොහේ ද? යොදාගන්නා ක්‍රමය සංශෝධනය කළ විට, අවශ්‍ය නම් වර්ධනය කළ විට, එතෙක්‌ නො පෙනී තිබූ ආසනික්‌ පෙනෙන්නට ගන්නේ නම් අපට කළ හැක්‌කේ සැම විට ම මේ මේ අවශ්‍යතා යටතේ මේ මේ ප්‍රතිඵල ලැබෙන බවත් මේ මේ නිගමනවලට එළඹිය හැකි බවත් ප්‍රකාශ කිරීම පමණකි.

එහෙත් මෙයින් යම් ක්‍ර්‍රමයක්‌ යොදා ගැනීමෙන් ආසනික්‌ ඇති බව පෙනී යැමෙන් පසු ඒ ක්‍රමය තවත් වර්ධනය කිරීමෙන් ආසනික්‌ නැති බව පෙන්වා දීමට ඉඩක්‌ ඇතැයි යන්න ගම්‍ය නො වේ. එක්‌ ක්‍රමයක්‌ යොදා ගැනීමෙන් ආසනික්‌ ඇති බව පෙනී ගිය හොත් ඉන් කියෑවෙන්නේ අදාළ නියෑඳියෙහි ආසනික්‌ කිනම් ආකාරයකින් වුව අඩංගු බව ය. එහෙත් එසේ ආසනික්‌ අඩංගු වේ ය යන්න ද ඊනියා යථාර්ථයක්‌ නො වේ. ඒ නිගමන සියල්ල අවසාන වශයෙන් අපේ පංෙච්න්ද්‍රිය මනස හා සංස්‌කෘතිය මත පදනම් වෙයි. සංස්‌කෘතියෙන් මනසෙන් පංෙච්න්ද්‍රියන් ගෙන් ස්‌වායත්ත වූ දැනුමක්‌ ඇති බව ඒ කිසිවකින් තොර ව පෙන්වා දිය හැකි නො වේ.

ආසනික්‌ ඇතැම් කණ්‌ඩායමක යොදාගන්නා ක්‍රමයට හසු නො වූ පමණින් ඒ නැතැයි කිම එක්‌ අතකින් සුදු කපුටන් නැතැයි කීමට සමාන ය. සුදු කපුටකු නො දැකීම හේතුවෙන් සුදු කපුටන් නැතැයි නිගමනය කළ හැකි නො වේ. සුදු කපුටන් සිsටිය ද, අප ඔවුන් නිරීක්‍ෂණය කර නොමැති නම් අපට සාපේක්‍ෂව සුදු කපුටන් නැතැයි කිව හැකි ය. එහෙත් එපමණින් කිසිවකුට සුදු කපුටන් නැතැයි යන සාධාරණ නිගමනයට පැමිණිය හැකි නො වේ. මේ කරුණුවලින් අප යොමු කෙරෙන්නේ ඊනියා වාස්‌තවික යථාර්ථයක්‌ නැතැයි යන තැනට මිස වාස්‌තවික යථාර්ථයක්‌ ඇතැයි යන තැනට නො වේ. වාස්‌තවික යථාර්ථයක්‌ ඇතැයි යන්න මනසෙන් තොර ව වාස්‌තවිකව පෙන්වා දිය හැකි සමතකු නැත. සංකල්ප අවසාන වශයෙන් මනසෙහි නිර්මාණ වෙයි.

මහාචාර්ය නලින් ද සිල්වා