logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


කෝප්පයේ භෞතිකවාදී කෙප්පය

භෞතිකවාදයේ හෙවත් ද්‍රව්‍යවාදයේ පදනම වාස්‌තවිකත්වය නො වේ යෑයි වාස්‌තවිකත්වය යනු විඥනවාදී සංකල්පයක්‌ බව පෙන්වා දීමෙන් පසුව කිසිවකුට කිව හැකි ය. වාස්‌තවිකත්වය යන්න වස්‌තුව යන සංකල්පය මත පදනම් වී ඇති බවත් වස්‌තුව යනු පංෙච්න්ද්‍රියට ගෝචර නො වන වියුක්‌ත සංකල්පයක්‌ බවත් වටහාගත් භෞතිකවාදියකු ඇතැම් විට කියනු ඇත්තේ භෞතිකවාදයෙහි සඳහන් වන්නේ ඒ ඒ ද්‍රව්‍ය මිස සාධාරණ වස්‌තු නො වන බව ය. උදාහරණයක්‌ ලෙස එවැනි භෞතිකවාදියකු තමා කතා කරන්නේ තමාට පෙනෙන කෝප්පයක්‌ ගැන මිස ලෝකයේ ඇති ඉන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත කෝප්පයක්‌ ගැන නො වන බව ය.

එහෙත් ප්‍රශ්නය වනුයේ අප සැම විට ම පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන කෝප්ප ගැන පමණක්‌ කතා නො කිරීම ය. අපට අවශ්‍ය නම් ඇමෙරිකාවේ සුපිරි වෙළෙඳසලක විකිණීමට ඇති කෝප්පයක්‌ ගැන කතා කළ හැකි ය. දැන් ප්‍රශ්නය වනුයේ එලෙස කෝප්පයක්‌ ඇති බව අප දන්නේ කෙසේ ද යන්න ය. ඒ කෝප්පය අපේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වේ. පරිගණක තාක්‍ෂණය යොදාගෙන ඇතැම් කෝප්ප අපට මෙරට සිට බැලිය හැකි ය. එහෙත් ඇමෙරිකාවේ තබා ලංකාවේ ද ඇති කෝප්ප සියල්ල අපට බලාගත හැකි නො වේ.

එසේ වුවත් එවැනි කෝප්ප ඇති බව අපි නිගමනය කරමු. හුදු ඉන්ද්‍රියානුභූතවාදයට අනුව නම් එසේ කළ හැකි නො වේ. ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි හැරෙන්නට වෙනත් සංසිද්ධි ඇති බව අප නිගමනය කරන්නේ කෙසේ ද? එය එක්‌තරා ආකාරයකින් ගත හොත් අභ්‍යqහනයකි. ලෝකයේ ඇත්තේ අප දැනටමත් පංෙච්න්ද්‍රියන් ගේ ආධාරයෙන් නිරීක්‍ෂණය කර ඇති කෝප්ප පමණක්‌ යෑයි අපට කිව හැකි නො වේ. අප දැනට දැක නැති කෝප්පයක්‌ වෙළෙඳසලකට ගිය විට හෝ වෙනත් අයකු ගේ නිවසකට ගිය විට හෝ අපට දැකගත හැකි වෙයි.

එලෙස අපේ පංෙච්න්ද්‍රිය ගෝචර කෝප්ප කුලකයට අවයව එකින් එක එකතු වන බැවින් අප මෙතෙක්‌ නිරීක්‍ෂණය කර නොමැති කෝප්ප ද ඇති බව අපි නිගමනය කරමු. ඒ කෝප්ප එකක්‌ වත් අප දැක නැත. එහෙත් එවැනි කෝප්ප ලෝකයේ ඇති බව අපි නිගමනය කරමු. අපේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වන කෝප්ප ඇති බව භෞතිකවාදියාට පිළිගැනීමට සිදු වෙයි. අභ්‍යqහනය වියුක්‌ත ක්‍රියාවලියකි. ඒ ක්‍රියාවලිය ඇත්තේ සිතෙහි ය. එය කිසිසේත් ම පංෙච්න්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා එකක්‌ නො වේ.

වාස්‌තවිකත්වය යන වියුක්‌ත සංකල්පය නො පිළිගත්ත ද අපට නො පෙනෙන අප කිසි දිනෙක අතපත ගා බලා නැති රස බලා නැති ගඳ සුවඳ බලා නැති කෝප්ප ඇති බව පිළිගැනීමට අපට සිදු වෙයි. එවැනි කෝප්ප ලෝකයේ ඇතැයි භෞතිකවාදියා කියනු ඇත. එහෙත් භෞතිකවාදියා එවැනි කෝප්ප පංෙච්න්ද්‍රිය ඇසුරෙන් නො දනියි. ඔහු ඒ බව දන්නේ මනසින් පමණකි. මනසින් පමණක්‌ දන්නා, එනම් පංෙච්න්ද්‍රිය ගෝචර නො වන කෝප්ප ඔහු අභ්‍යqහනයෙන්, එනම් මනසේ ඇති වන ක්‍රියාවලියකින් පමණක්‌ දැනගනියි. එවිට භෞතිකවාදියා ගේ කෝප්ප විඥනවාදී නො වන්නේ ද? භෞතිකවාදීන්ට හුදු පංෙච්න්ද්‍රිය ගෝචර අත්දැකීම්වලින් පමණක්‌ ලෝකය තේරුම් ගත නො හැකි ය.

අප ඉදිරිපිට ඇති කෝප්ප, මේස, පුටු, කිහිපයක්‌ පමණක්‌ පදනම් කරගනිමින් මුළු ලෝකය ම එවැනි ද්‍රව්‍යවලින් සෑදී ඇතැයි නිගමනය කිරීම තරම් ඊනියා විඥනවාදී ක්‍රියාවලියක්‌ තවත් නැත. ඊනියා සැබෑ භෞතිකවාදියකු= හෝ ද්‍රව්‍යවාදියකු හෝ තමන් ගේ පංෙච්න්ද්‍රියන්ට පමණක්‌ හසු වන ද්‍රව්‍යවලට පමණක්‌ සීමා විය යුතු ය. එහෙත් එසේ කරන භෞතිකවාදියකු ගැන දැනගැනීමට නැත. ඉන්ද්‍රියානුභූතවාදයේ පුරෝගාමියකු වූ අර්නස්‌ට්‌ මාක්‌ විද්වතා භෞතික විද්‍යාව පංෙච්න්ද්‍රියට ගෝචර වන සංකල්ප මගින් පමණක්‌ තේරුම් කර දිය යුතු යෑයි කලකට පෙර කියා සිටියේ මේ ගැටලුව ගැන යම් අවබෝධයකින් යුක්‌ත ව ය.

එහෙත් බටහිර භෞතික විද්‍යාඥයෝ ඔහුට සවන නුදුන් හ. ඔවුහු දිගින් දිගට ම පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වන ඊනියා අවස්‌ථිති සමුද්දේශ රාමු, පරමාණු, ඉලෙක්‌ට්‍රොaන ආදිය තම පද්ධතියෙහි රඳවා ගත් හ. ඒ බටහිර භෞතික විද්‍යාඥයන්ට මනසෙහි පමණක්‌ ඇති වන සංකල්ප නැති ව බැරි හෙයිනි. ඉලෙක්‌ට්‍රොaන ආදිය භෞතික වස්‌තූ+න් යෑයි භෞතිකවාදීන් කියන්නේ කිනම් පදනමකින් ද? එහෙත් භෞතිකවාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට පිළිතුරු දිය නො හැකි ප්‍රශ්න එපමණ යෑයි කිසිවකු වරදවා තේරුම් ගත යුතු නො වේ.

අපට ඇසට පෙනෙන කෝප්පය මනසෙන් තොර ව පංෙච්න්ද්‍රියන් ගෙන් පමණක්‌ දැනගත හැකි සමතා කවුද? එපමණක්‌ නො ව කෝප්පයේ භෞතිකවාදී කතාව පංෙච්න්ද්‍රියන් සම්බන්ධයෙන් වුව ද සම්පූර්ණ ද? කෝප්පයේ භෞතිකවාදී පැවැත්ම කෙප්පයක්‌ නො වන්නේ ද? කෝප්පයට තද බවක්‌ ඇත්තේ නිරීක්‍ෂකයා ගෙන් තොර ව ද? අපට වඩා ශක්‌තිමත් හස්‌තයක්‌ තිබිණි නම් අපට අතින් ම කෝප්පය පොඩි කිරීමට හැකි වන්නට තිබිණි. අප ඊනියා වස්‌තුවකට ඇතැයි කියන ගුණ අපේ පංෙච්න්ද්‍රිය මත ර පවතින බව පැහැදිලි ය. ඒ සඳහා ඇති උදාහරණවල කෙළවරක්‌ නැත.

අප බොහෝ විට කියා ඇති පරිදි අපට නො පෙනෙන වර්ණ වෙනත් සතුන්ට පෙනෙයි. අප අද අධෝරක්‌ත, පාරජම්බුල ආදී වශයෙන් නම් කර ඇති කිරණ අපේ ඇස්‌වලට දර්ශනය විණි නම් අප ඒවාට යම් වර්ණයක්‌ දීමට තිබිණි. අපට නො ඇසෙන ශබ්ද බල්ලන්ට ඇසෙයි. අපේ පංෙච්න්ද්‍රියන් ගේ සීමාකාරීත්වය එබඳු ය. අප නිරීක්‍ෂණය කරන ලෝකය අපේ පංෙච්න්ද්‍රියන්ට සාපේක්‍ෂ ය. අද ඇතැම් පඬියන් දෙවියන් නැතැයි කියන්නේ ඔවුන් පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වන බව පවසමිනි. එහෙත් ඒ පඬියෝ ම පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වන ඉලෙක්‌ට්‍රොaන ද ගුරුත්වාකර්ෂණ බලය ද වෙනත් දේ ද ඇතැයි පිළිගනිති. ඒ ගුරුත්වාකර්ෂණ බලයක්‌ නැතැයි අයින්ස්‌ටයින් විද්වතා කියා තිබිය දී ය.

බාහිර වස්‌තු යෑයි කියෑවෙන වස්‌තුවලින් අපට, එනම් නිරීක්‍ෂකයන්ට, සංජානන ලැබෙන්නේ යෑයි භෞතිකවාදීහු කියති. නිරීක්‍ෂකයන් සිටියත් නැතත් වස්‌තු තිබෙන බවත් සංජානන නිකුත් කරන බවත් ඔවුqහු විශ්වාස කරති. එහෙත් ඒ බව ඔවුන් දන්නේ කෙසේ ද? අප කලින් ද කියා ඇති පරිදි එය පෞද්ගලික නිරීක්‍ෂණවලින් වියුක්‌තියට යැමක්‌ පමණකි. කිසි ම නිරීක්‍ෂකයකු නැති විට සිදු වන්නේ කුමක්‌ දැයි නිරීක්‍ෂණය කිරීමට කිසිවකු නැත. එසේ නම් නිරීක්‍ෂකයන් නැති විට කුමක්‌ සිදු වේ ද යන්න දැනගත හැක්‌කේ පංෙච්න්ද්‍රිය ගෝචර පරීක්‍ෂණ හෝ නිරීක්‍ෂණ හෝ යොදාගෙන නො ව හුදෙක්‌ මනස යොදාගෙන කරන උපකල්පනවලින් හා තර්කයෙන් පැමිණෙන නිගමනවලින් පමණකි. එයටත් වඩා විඥනවාදී ක්‍රියාවලියක්‌ තවත් ඇද්ද?

ඊනියා වාස්‌තවිකවාදී භෞතිකවාදීන් උපකල්පනය කරන තවත් කරුණක්‌ නම් සංජානන සංකල්පවලින් ස්‌වායත්ත බව ය. සංජානන පංෙච්න්ද්‍රියන් ගෙන් ස්‌වායත්ත වන්නේ යෑයි කියන භෞතිකවාදීහු ඒවා මනසෙන් ද ස්‌වායත්ත යෑයි කියති. සංජානන නිරීක්‍ෂකයන් ගෙන් ස්‌වායත්ත බව දැනගැනීමට භෞතිකවාදී ක්‍රමයක්‌ භෞතිකවාදීන්ට නැත්තේ නිරීක්‍ෂකයකු= නොමැති කල සිදු වන්නේ කුමක්‌ දැයි දැනගැනීමට ක්‍රමයක්‌ නොමැති බැවිනි. කලින් ද කියා ඇති පරිදි නිල් බව (Bluishness) යන්න නිරීක්‍ෂකයා ගේ පංෙච්න්ද්‍රියන් ගෙන් ස්‌වායත්ත නො වේ. බර්ට්‍රන්ඩ් රසල් විද්වතා වැනි බොහෝ බටහිර දාර්ශනිකයන් ඒ එසේ යෑයි පිළිගත්ත ද අපේ ඇස්‌ නිල් බව යන්නට හැරෙන්නට වෙනත් සංඛ්‍යාතිවලට ප්‍රතිචාර දැක්‌වී නම් අපට ඊනියා නිල් බව නැති වීමට තිබිණි. එහෙත් යම් කිසිවකු නැවතත් කියනු ඇත්තේ නිල් බව ඇසට නොපෙනුණත් ඒ සංඛ්‍යාතිය ඇති විකිරණ ඇති බව ය. එහෙත් ප්‍රශ්නය වනුයේ කිසිවකු නැති ව ඒ බව දැනගන්නේ කෙසේ ද යන්න ය.

අනෙක්‌ අතට සංකල්පයක්‌ නොමැති ව සංජානනයක්‌ හටගන්නේ කෙසේ ද? නිල් බව යන්න නිල් බව යන සංකල්පය සමඟ බැඳී ඇත. මිනිස්‌ නිරීක්‍ෂකයන් හෝ වෙනත් විඥනයක්‌ සහිත සත්ත්වයකු ඊනියා බාහිර වස්‌තු ග්‍රහණය කරන්නේ යම් ඉන්ද්‍රිය ඔස්‌සේ හෝ එසේ නැති ව හෝ මනස උපයෝගී කරගනිමිනි. මනසක්‌ නැති ව නිරීක්‍ෂකයකු සංජානනයක්‌ ඇති කර ගන්නේ කෙසේ ද? සිංහල බෞද්ධයනට මනසෙහි ප්‍රධානත්වය අමුතුවෙන් කියා දිය යුතු නො වේ. අමනුෂ්‍යයන්ට ද, තිරිසනුන්ට ද, මිනිසුන්ට ද, දෙවියන්ට ද, බඹුන්ට ද මනස්‌ ඇත. පාරමී දම් පිරීමට වත්, කුසල් අකුසල් රැස්‌ කිරීමට වත් මනසක්‌ නොමැති ව නො හැකි ය. යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මනස ඇත්තේ මිනිසුන්ට පමණ ය. එය ද දෙවියන් වහන්සේ විසින් දෙන ලද ඊනියා සදාකාලික ආත්මය සමග සම්බන්ධ ය.

සිංහල බෞද්ධයනට සත්ත්වයන් ගේ මනස ප්‍රධාන ය. සිරුර නැති ව වුව ද සිත මිස කය නැති බඹලොව බ්‍රහ්මයෝ වෙති. සියලු සත්ත්වයෝ සංකල්ප සංස්‌කරණය කරති. සංකල්ප යනු මනසේ නිර්මාණය කෙරෙන්නකි. අපට සංකල්ප අඩු ම තරමෙන් දෙවර්ගයක්‌ ඇති බව පෙනී යයි. පළමුවෙන් ඇත්තේ සංයුක්‌ත සංකල්ප ය. සංයුක්‌ත සංකල්ප ඇති වන්නේ සංජානන සමගින් ය. අප පුටුව, මේසය ආදී වශයෙන් දකින්නේ සංකල්ප- සංජානන පොදියකි. මේසයක්‌ හෝ පුටුවක්‌ හෝ අපට දැකගත හැකි ය. එහි දී ඇස හා මනස එකතු වී මේසය යන දෘශ්‍යමානය ඇති කරයි. එසේත් නැත හොත් ස්‌පර්ශය හා මනස එකතු වී මේසයෙහි තද බව යන්න ඇති කරයි. එලෙස පංෙච්න්ද්‍රිය හා මනස (මනස ද සිංහල බෞද්ධයනට ඉන්ද්‍රියකි) එකතු වී ඊනියා මේසයෙහි විවිධ ගුණ ඇති කරයි. ඒ ගුණ නිරීක්‍ෂණය කරනු ලබන්නේ අප වැනි මනුෂ්‍ය නිරීක්‍ෂකයන් විසිනි. වෙනත් සත්ත්ව වර්ගයන් වෙනත් නිරීක්‍ෂණයන් ලබාගනු නො අනුමාන ය. ඒ සියල්ලන්ට ම ලැබෙන්නේ සංයුක්‌ත සංකල්ප යෑයි අපි කියමු. සංයුක්‌ත සංකල්පයක්‌ යම්කිසි රූපයක්‌, තද බවක්‌, ගඳක්‌ සුවඳක්‌ ආදිය සමග බැඳී ඇත. කෙටියෙන් කිව හොත් සංයුක්‌ත සංකල්පයක්‌ පංෙච්න්ද්‍රිය ගෝචර ඇත්දැකීමක්‌ සමග බැඳී ඇත.

මේ සංයුක්‌ත සංකල්ප ද දෙවර්ගයකි. එක්‌ වර්ගයක්‌ අපට සෘජුව පංෙච්න්ද්‍රියන්ට ගෝචර වෙයි. අප දකින මේසය, පොල්ගස ආදිය එවැනි සෘජු පංෙච්න්ද්‍රිය ගෝචර සංකල්ප වෙයි. ඒ අතර තවත් සංයුක්‌ත සංකල්ප වර්ගයක්‌ සෘජුව ම පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වන එහෙත් රූප ගඳ සුවඳ ආදිය මනසෙන් මවාගත හැකි ගුණ සහිත වෙයි. ඒ මවාගැනීම අවශ්‍යයෙන් ම ඒ දුටු ආකාරයෙන් ම විය යුතු නො වේ. උදාහරණයක්‌ ලෙස ගත හොත් ජීවිතයේ කිසි ම දිනක ඇපල් ගසක්‌ නො දුටුවකුට ඇපල් ගස ගැන සංකල්පයක්‌ තිබිය හැකි ය. එසේ ඇපල් ගසක්‌ නො දුටුවකු සිතෙහි මවාගන්නා ඇපල් ගස සාමාන්‍ය ඇපල් ගසකින් හාත්පසින් වෙනස්‌ විය හැකි ය. එහෙත් එසේ මවාගන්නේ ද ඒ පුද්ගලයා ගේ, එසේත් නැත්නම් ඒ පුද්ගලයාට සාපේක්‍ෂ ඇපල් ගසකි. සැම සංකල්පයක්‌ ම ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ බැවින් මෙහි ගැටලුවක්‌ පැන නො නඟී.

මහාචාර්ය නලින් ද සිල්වා