logo6.gif (686 bytes)

arrow7.gif (1098 bytes)


රාමායණය තුළින් රාවණා ඔප්පු කළ නොහැකි ද?

2011 මැයි 11 වැනි දින අපේ පිටුවට "රාවණා සොයා යන්නෙනි" යන හිසින් ඉන්දික විතානගේ මහතා ලියූ ලිපියට පිළිතුරක්‌ ලෙස මෙය ලියන්නට අදහස්‌ කළෙමි. ඒ මහතා ගේ ලිපියේ මෙසේ සඳහන් වෙයි. "රාමායණය මත පිහිටා රාවණා ඔප්පු කළ හැකි නම් මහා භාරතය මත පිහිටා ක්‍රිෂ්ණා ඔප්පු කළ හැකි වනු ඇත."

කල්පිත වීර කාව්‍ය චරිතයන් ඔප්පු කිරීම කළ නොහැක්‌කකි. එහෙත් මහා භාරතය තුළින් ක්‍රිෂ්ණා ඔප්පු කිරීම කෙසේ වෙතත් රාමායණය තුළින් රාවණා නම් ඔප්පු කළ හැකි ය. ඒ විශ්ලේෂණාත්මකව රාමායණය පරීක්‌ෂා කිරීමෙනි.

රාවණා රජු ගේ ලංකාපුරය ගොඩනඟා තිබුණේ ගිරිදුර්ගයක්‌ මත යෑයි රාමායණය පුන පුනා සඳහන් කරයි. අහසේ පියාසර කරන කුරුල්ලන් ද මේ ගිරි දුර්ගය මතට අමාරුවෙන් පියාසර කරන බව රාමායණයේ දැක්‌වේ. රාවණා රජු ගේ ලංකාපුරය "ප්‍රකාරේන අර්කවර්ණේන (හිරු රැස්‌ පැහැය වැනි පාටින් යුත් පවුරකින්) ප්‍රාකාරවෘතං අත්‍යන්තං (අතිශයින් පවුරුවලින් වට කරනු ලැබූ) පවුරකින් යුක්‌ත බව රාමායණය තුළ සඳහන් ය.

මේ ගිරි දුර්ගය සීගිරිය බව ද පවුර කැටපත් පවුර බව ද මෙයින් අනුමාන කළ හැකි ය. කැටපත් පවුරේ කුරුටු ගී ලිවීම ආරම්භ වූයේ ක්‍රි.ව 6,7,8 යන සියවස්‌වල වන අතර ඊට පෙර එය ආරක්‌ෂිත පවුරක්‌ සේ තිබෙන්නට ඇත. තව ද ලංකාපුරය පිහිටියේ ගිරි දුර්ගයක්‌ මත බව ද රාමායණය පුන පුනා කියයි. එබැවින් රාවණා රජු ගේ ලංකාපුරය පිහිටියේ සීගිරියේ බව රාමායණයෙන් හා සිංහල බෝධිවංශය යන ග්‍රන්ථ 2න් ම හෝඩුවාවන් ලැබේ.

ඒ අනුව සලකන විට ඉන්දික විතානගේ මහතා පවසන පරිදි තිත්සමහාරාමයේත් අනුරාධපුරයේත් දැකිය නොහැකි වුවත් වෙනත් ස්‌ථානයකින් දඬු මොණර කොටස්‌ සහිත ස්‌ථරයක්‌ හමු වේ වායි ප්‍රාර්ථනා කළ යුතු නැත. කළ යුත්තේ රාවණා රජු ගේ ලංකාපුරය සීගිරිය ද යන්න සනාථ කරගැනීම සඳහා දැනට එහි මතු කොටගෙන ඇති පළමුවැනි කසුප් යුගයේ නටබුන් තුළ තවත් කැණීම් කිරීම ය. එවිට දඬුමොණර කොටස්‌ සහිත ස්‌ථරයක්‌ හා රාවණා යුගයේ නටබුන් පමණක්‌ නො ව ලංකාපුරය ප්‍රාථමික ලෙස ආරම්භ කළ රාවණා පරපුරේ ආදිතමයන් වන මාලිත්, සුමාලි, මලසවන්ත සහ යක්‌ෂ ගෝත්‍රික රජවරුන් සමයේ නටබුන් ද හමු වන්නට ඉඩ ඇත.

තරිඳු හර්ෂණ රණසිංහ