logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


වාස්‌තවිකත්වයෙන් පෞද්ගලිකකරණයට

බටහිර විද්‍යාවේ සහ අනෙක්‌ බටහිර දැනුම්වල ඇති පරස්‌පර යම් ප්‍රමාණයක්‌ අපි දැනටමත් සාකච්ඡා කර ඇත්තෙමු. බටහිර විද්‍යාව ඉන්ද්‍රිය ගෝචර, එනම් පංෙච්න්ද්‍රිය ගෝචර, නිරීක්‍ෂණ (පරීක්‌ෂණ, සම්පරීක්‍ෂණ) මත පදනම් වන්නේ යෑයි බටහිර විද්‍යාවේ දාර්ශනිකයෝ කියති. ගැලීලියෝ මේ පරීක්‌ෂණාත්මක ක්‍රමය ඇරඹී යෑයි ද ඔවුහු කියති. එය දෙයාකාරයකින් වැරැදි ය. එක්‌ අතකින් මිනිස්‌සු ගැලීලියෝට පෙර ද නොයෙකුත් අත්හදාබැලීම් නිරීක්‍ෂණ කළ හ. වස්‌තු දෙකක්‌ එක විට එක උසකින් නිසලතාවෙන් පොළොවට අතහැරිය හොත් වඩා බර වස්‌තුව ඉක්‌මනින් පොළාවට වැටෙන්නේ ය යන්න නිරීක්‍ෂණ මත පදනම් වූවකි. රික්‌තයක්‌ නොමැති විට බොහෝ අවස්‌ථාවල එසේ සිදු වේ.

ගැලීලියෝ කළේ නො පෙනෙන, නිරීක්‍ෂණය කළ නො හැකි රික්‌තයක එසේ වස්‌තු අතහැරිය හොත් ඒවා එක විට පොළොවට වැටෙන බව බටහිර තම සමකාලීනයනට ඒත්තු ගැන්වීම ය. එය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක්‌ නො ව චිත්ත පරික්‍ෂණයක්‌ විය. ඔහු එහි දී ඉන්ද්‍රිය ගෝචර පරික්‍ෂණයක්‌ නො කෙළේ ය. එබැවින් ද ඔහු පරීක්‍ෂණාත්මක ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නේ යෑයි කීම වැරැදි ය. එමෙන් ම පොළොව සූර්යයා වටා චලනය වන්නේ යෑයි කීමේ දී ද ඔහු කළේ ඒත්තු ගැන්වීමක්‌ පමණකි. එහි දී ඔහු සාපේක්‍ෂ ප්‍රවේගය යන සංකල්පය හඳුන්වා දුන්නේ තම මතය (භාරතීයයන් භාවනාවෙන්, යෝග අභ්‍යාසවලින් ලබාගත් ප්‍රත්‍යක්‍ෂය) අනෙක්‌ බටහිරයන්ට ඒත්තු ගැන්වීමට ය.

මේ චිත්ත පරීක්‍ෂණ ඔස්‌සේ ගැලීලියෝ බටහිර විද්‍යාවට වියුක්‌ත චින්තනය හඳුන්වා දුන්නේ ය. එපමණක්‌ නො ව ඊනියා වාස්‌තවිකත්වය ද බටහිර විද්‍යාවට ගෙන ආවේ ය. ඔහු ඒ සංකල්ප එලෙසින් ම යොදා ගත්තේ යෑයි මෙයින් නො කියෑවෙයි. පීසා නුවර, කොළඹ හෝ වෙනත් තැනක හෝ එක විට එක උසෙන් නිසලතාවෙන් අත්හරින වස්‌තු නිරීක්‍ෂකයා කවුරුන් වුවත් එක විට පොළොවට වැටෙන බව පෙන්වා දීමෙන් පසු බටහිර විද්‍යාඥයෝ නිරීක්‍ෂකයන් ඇතත් නැතත් එසේ වස්‌තු ඇද වැටෙන බව විශ්වාස කළ හ. එය ඊනියා වාස්‌තවිකත්වය (Objectivity) විය. එය සාධාරණීකරණය (Generalize) විය. පුද්ගලයා හා පෞද්ගලිකත්වය (පෞද්ගලික නිරීක්‍ෂණ) ඉස්‌මතු කරමින් පැන නැඟුණු විද්‍යාවක නිරීක්‍ෂකයා ඉක්‌මවූ සාමූහිකත්වයක්‌ නො වන වියුක්‌ත වාස්‌තවිකත්වයක්‌ සාධාරණීකරණයක්‌ ඇති විය. පුද්ගලයන් ගේ පංෙච්න්ද්‍රිය ගෝචර නිරික්‍ෂණ මත පදනම් වූ බටහිර විද්‍යාවට ඉන්පසු පෞද්ගලික නො වන වියුක්‌ත, සාධාරණ, වාස්‌තවික ප්‍රවාද අවශ්‍ය විය. මෙයට වඩා පරස්‌පරයක්‌ තවත් තිබිය හැකි ද?

එහෙත් බටහිර විද්‍යාව එපමණකින් නො නැවතිණි. එය සමස්‌තය කැබැලිවලට කැඩිණි. ඊනියා වස්‌තුවක්‌ යනු කොටස්‌වල එකතුවක්‌ විය. මෝටර් රථයක්‌ යනු එංජිම, දොරවල්, රෝද, සුක්‌කානම ආදී විවිධ කොටස්‌වල එකතුවක්‌ විය. වස්‌තු අණුවලටත්, අණු පරමාණුවලටත්, පරමාණු න්‍යෂ්ටි හා ඉලෙක්‌ට්‍රොaනවලටත් කැඩිණි. සමස්‌තය නො සලකමින් එසේ කැඩීම අවසානයේ දී ප්‍රතිඵල රහිත ක්‍රියාවක්‌ බව අද බටහිර භෞතිත විද්‍යාඥයන්ට ක්‍රමයෙන් තේරුම් ගැනීමට සිදු වී ඇත. අද සුපිරි තන්තුවලට සියල්ල කඩා ඇති බටහිර භෞතික විද්‍යාඥයන්ට ඒ සුපිරි තන්තුවලින් එල්ලී මිය යැම හැරෙන්නට වෙනත් විකල්පයක්‌ නැත.

අප ඉහත සඳහන් කළේ බටහිර භෞතික විද්‍යාවට පදනම් වන ඊනියා නිව්ටෝනීය සුසමාදර්ශයෙහි (Newtonian Paradigm) අංග කිහිපයක්‌ පමණකි. මේ සුසමාදර්ශය පසුපස යන බටහිර වෛද්‍ය විද්‍යාව අද මිනිස්‌ සිරුර (එනම් නාම රූපයෙහි රූපය) කොටස්‌වලින් සමන්විත බව උපකල්පනය කරයි. මිනිස්‌ සිරුර යනු මොළය, හදවත, අක්‌මාව, වකුගඩුව ආදී කොටස්‌වල එකතුවක්‌ පමණක්‌ යෑයි බටහිර වෛද්‍ය විද්‍යාවේ උපකල්පනය කෙරෙයි. අද හදවත් බද්ධ කිරීම් ආදිය සිදු කෙරෙන්නේ මෝටර් රථයක රෝද මාරු කරන්නාක්‌ මෙනි. මේ ප්‍රතිකර්ම නො ව රෝග පාලනය කිරීමක්‌ පමණකි.

එහෙත් ඒ සියල්ලටත් වඩා බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නාම රූප වෙන් කෙරෙයි. සසර සැරිසරන අපේ කුසල් අකුසල් සහිත නාමය රූපය සමග එකතු වීමෙන් රූපයෙහි ඇති කෙරෙන රෝග ගැන බටහිර වෛද්‍ය විද්‍යාවට හාන්කවිසියක දැනුමක්‌ නැත. අපේ ඇතැම් රෝග අපේ අකුසල් ඵල දීමක්‌ ලෙස මෙරට සිටින බෞද්ධ යෑයි කියාගන්නා බොහෝ බටහිර වෛද්‍යවරුන්ට ඒත්තු ගන්වන්නේ කෙසේ ද? මොවුහු ඊනියා බුද්ධිවාදී, හේතුවාදී (Rational) අබෞද්ධයෝ වෙති. ඔවුහු සංසාරය විශ්වාස නො කරති. සංසාරය විශ්වාස නො කරන්නා බෞද්ධයකු වන්නේ කෙසේ ද? ඔවුන් පුනබ්භවය විශ්වාස නො කරන්නේ බටහිර විද්‍යාවෙන් පුනබ්භවයක්‌ ඇති බව පෙන්වා දිය නොහැකි යෑයි කියමිනි.

මෙරට ඇතැම් බටහිර වෛද්‍යවරුන් පමණක්‌ නො ව ඊනියා මහා ලේඛකයෝ ද, ප්‍රාඥයෝ ද, කවියෝ ද, සාහිත්‍යකරුවෝ ද, ජාතිකත්වය අගයන්නෝ ද තවත් එවැනි පිරිස්‌ ද බටහිර විද්‍යාවට දණ්‌ඩ නමස්‌කාර කරමින් පුනබ්භවයට අභියෝග කරති. එහෙත් මොවුන්ට ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රයක්‌ ඇති බව ද පෙන්වා දිය හැකි නො වේ. එසේ නම් ඔවුන් ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය පිළිගන්නේ කෙසේ ද? ඒ කෙසේ වෙතත් නාමය රූපයෙන් වෙන් කළ බටහිර වෛද්‍ය විද්‍යාව අංග විකල දැනුම් පද්ධතියක්‌ පමණකි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ නො දියුණුකම රඳා පවතින්නේ එහි පමණක්‌ නො වේ. ඒ පදනම් වී ඇති බටහිර භෞතික විද්‍යාවේ, බටහිර රසායන විද්‍යාවේ, බටහිර ජෛවීය විද්‍යාවේ ද අඩුලුහුඬුකම් බටහිර වෛද්‍ය විද්‍යාවට ද බලපායි. අපේ පෞරාණික හෙළ නිල වෙදකම බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා දස දහස්‌ ගුණයකින් වර්ධනය වූ වෙදකමක්‌ බව මම අත්දැකීමෙන් දනිමි. මේ පිළිබඳව ඕනෑ ම අයකු සමග ප්‍රසිද්ධ විවාදයක්‌ කිරීමට මම සූදානමින් සිටිමි.

අද තාක්‍ෂණයක්‌ පමණක්‌ වූ බටහිර වෛද්‍ය විද්‍යාව ද තාක්‍ෂණ නො වන බටහිර විද්‍යාවන් ද කඩා වැටෙමින් පවතියි. ඒ බව කියෑවෙන ප්‍රධාන ම දැනුම් පද්ධතියක්‌ වනුයේ ඊනියා පශ්චාත්නූතනවාදය ය. එහි ඇරිස්‌ටෝටලීය න්‍යාය ප්‍රතික්‍ෂෙප වෙයි. නිරපේක්‍ෂය වෙනුවට සාපේක්‍ෂය ඉදිරියට පැමිණෙයි. එහෙත් ඒ සමග එහි පාරආඛ්‍යාන ද (meta narratives) ප්‍රතික්‍ෂෙප කෙරෙයි. පාරආඛ්‍යාන යනු සාමාන්‍ය ප්‍රවාද පිටුපස ඇති ප්‍රවාද ලෙස සැලකිය හැකි ය. උදාහරණයක්‌ වශයෙන් ගත හොත් ලෝකය නීති රීති (නියම) අනුව හැසිරෙන්නේ ය යන්න හා ඒ නියම අපට තේරුම් ගත හැකි ය යන්න පාරආඛ්‍යානයක්‌ වෙයි.

පශ්චාත්නූතනවාදයෙහි සාපේක්‍ෂව ලෝකය බැලීමට ඉගැන්වෙයි. එක්‌ එක්‌ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ලෝකය විවිධ ස්‌වරූප ගන්නේ ය යන්න බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි නූතනවාදයට පටහැනි වුවත් ඊනියා පශ්චාත්නූතනවාදයට එකඟ ය. පශ්චාත්නූතනවාදීන් කෙතරම් අන්තගාමී සාපේක්‍ෂතාවාදීන් ද කිව හොත් ඔවුහු භාෂාවක්‌ යනුවෙන් දෙයක්‌ ඇතැයි නො සිතති. උදාහරණයක්‌ ලෙස ඔවුන්ට අනුව දකුණේ සිංහල සිංහලයන් කතා කරන සිංහල උඩරට සිංහලයන් කතා කරන සිංහලයෙන් වෙනස්‌ වෙයි. එවිට ලංකාවේ සිංහල කතා කරන්නේ යෑයි කියන සියල්ලන්ට පොදු වූ භාෂාවක්‌ නැති බව පෙනී යයි. එබැවින් සිංහල යනුවෙන් භාෂාවක්‌ තිබේ යෑයි කීම වැරැදි යෑයි ඔවුන්ට අනුව නිගමනය කිරීමට සිදු වෙයි. එපමණක්‌ නො ව ඔවුන්ට අනුව උඩරට සිංහල, දකුණේ සිංහල ආදී වශයෙන් සිංහල ඇති බව ද ප්‍රතික්‍ෂප කිරීමට සිදු වෙයි. එයට හේතුව දෙදෙනකු කතා කරන සිංහලයෙහි යම් යම් වෙනස්‌කම් ඇති බව තේරුම් ගැනීම අපහසු කරුණක්‌ නො වන බැවිනි.

බටහිර වියුක්‌ත සංකල්ප කඩා වැටෙන බව තේරුම් ගත් පිරිසක්‌ නැවතී ඇත්තේ එහි අනෙක්‌ අන්තයෙහි ය. ඊනියා පශ්චාත්නූතනවාදීන් ඇරිස්‌ටෝටලීය න්‍යාය වැරැදි බව තේරුම් ගත්ත ද, ඔවුන්ට එයින් ගැලවීමක්‌ නැත. එක්‌ එක්‌ නිරික්‍ෂකයා එක්‌ එක්‌ ආකාරයට ලෝකය අවබෝධ කරගන්නේ ය (නිර්මාණය, සංස්‌කරණය කරගන්නේ ය) යන්න පිළිගන්නා අතර ඒ ඒ සමහරුන් ගේ ලෝකවල ඇති යම් පොදු බවක්‌ වත් පිළිගැනීමට අකැමැති වීම මෙහි ප්‍රධාන හේතුව වෙයි.

අවශ්‍ය නම් ඒ පොදු බව පාරආඛ්‍යානයක්‌ යෑයි කිසිවකුට කිව හැකි ය. පාරආඛ්‍යාන නො පිළිගන්නා ඊනියා පශ්චාත්නූතනවාදීන්ට එවැනි පොදු බවක්‌ පිළිගැනීමට නො හැකි ය. වියුක්‌ත චින්තනය, වාස්‌තවිකත්වය හා සාධාරණීකරණය බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි පෞද්ගලික නිරීක්‍ෂණ, පුද්ගලයා ඉස්‌මතු කිරීම සමග නො පෑහෙයි. මේ නො පෑහීම, එනම් පරස්‌පරය සමග තවදුරටත් ඉදිරියට යැමට (ඊනියා වර්ධනයට, සංවර්ධනයට) බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට නො හැකි ය. ගැලීලියෝ, නිව්ටන් ආදීන්ට පමණක්‌ නො ව අයින්ස්‌ටයින්ට ද ඒ පරස්‌පරයෙහි හිඳිමින් ම තම ප්‍රවාද ඉදිරිපත් කිරීමේ හැකියාව විය. එහෙත් ක්‌වොන්ටම් භෞතිකත්වයෙන් ඒ හැකියාව තවදුරටත් නොමැති බව පැහැදිලි වී ඇත.

අයින්ස්‌ටයින් විද්වතා ගේ සාපේක්‍ෂතාවට අනුව ඒ ඒ නිරීක්‍ෂකයාට ඇතැම් දේ වෙනස්‌ ආකාරයට පෙනෙයි. (නිරීක්‍ෂණය වෙයි) උදාහරණයක්‌ ලෙස සිද්ධි දෙකක්‌ අතර දුර හා කාල අන්තරය එක්‌ එක්‌ නිරික්‍ෂකයා මනින්නේ එක්‌ එක්‌ ආකාරයට ය. එසේ වුවත් ඒ සියලු නිරික්‍ෂකයෝ සිද්ධි දෙකෙහි අවකාශ-කාල ප්‍රාන්තරය (space-time in-terval) යනුවෙන් හැඳින්වෙන්න එකක්‌ ම ලෙස ගනිති. අයින්ස්‌ටයින් විද්වතාට අවශ්‍ය වූයේ සාපේක්‍ෂතා ප්‍රවාදයක්‌ ඉදිරිපත් කිරීමට නො ව නිරීක්‍ෂකයන් සියල්ලන්ට ම පොදු අගයන් ලබා දෙන නිරික්‍ෂණ කවරේ දැයි දැන ගැනීම ය. මේ පොදු අගයන් අවිචලක (invariants) ලෙස හැඳින්වෙයි. අයින්ස්‌ටයින් යනු බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය විසින් බිහි කෙරුණු අවසාන යෝධ බුද්ධිමතා ය. අද ජීවත් වන ස්‌ටීවන් හෝකින් වැන්නන්ට අයින්ස්‌ටයින් විද්වතාට අලගු තැබීමටවත් නොහැකි වී ඇත. ක්‌වොන්ටම් භෞතිකයෙන් පෙන්වන්නේ මේ කඩා වැටීම ය. අයින්ස්‌ටයින් ඉතා තදින් ක්‌වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණයට විරුද්ධ වීම පුදුමයක්‌ නො වේ.

මේ පිළිබඳ තවත් සාකච්ඡා කිරීමට පෙර බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි කඩා වැටීම පෙන්නුම් කරන තවත් ක්‍ෂෙත්‍රයක්‌ ගැන සුළුවෙන් වුවත් සඳහන් කළ යුතු ය. ඒ අන් කිසිවක්‌ නො ව පරිගණක විද්‍යාව ආශ්‍රිත ව ඉදිරිපත් වන දැනුම ය. පරිගණක විද්‍යාව යෑයි කීව ද එහි ඊනියා බටහිර විද්‍යාවක්‌ නැත. මෝටර් රථ කර්මාන්තය පිටුපස බටහිර විද්‍යාවේ තාපගතිකය ඇත. එහෙත් පරිගණක ප්‍රක්‍රමණ ලිවීම පිටුපස ඇති විද්‍යාව කුමක්‌ ද? අද පරිගණක සම්බන්ධයෙන් නිතර කියෑවෙන වචනයක්‌ වී ඇත්තේ පෞද්ගලිකකරණයයි (Customize). මේ පෞද්ගලිකකරණයට තල්ලු වීමට පරිගණක විද්‍යාවෙහි හේතු වී ඇත්තේ තවදුරටත් වියුක්‌ත, සාධාරණ, වාස්‌තවික ප්‍රවාද දැනුමෙහි වලංගු නො වීම ය.

මහාචාර්ය නලින් ද සිල්වා