logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ගැලීලියෝ ගේ ඒත්තු ගැන්වීම

පෞද්ගලික අත්දැකීම් හා නිරපේක්‍ෂ වාස්‌තවිකත්වය අතර ඇත්තේ පරස්‌පරයකි. පෞද්ගලික අත්දැකීම් ඒ ඒ පුද්ගලයා ගේ අත්දැකීම් විය. ඒ අත්දැකීම් ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ විය. එහෙත් නිරපේක්‍ෂ වාස්‌තවිකත්වය ඒ ඒ පුද්ගලයා ගේ පෞද්ගලික අත්දැකීම්වලින් ස්‌වායත්ත විය. පුද්ගලයන් සිටියත් නැතත් නිරපේක්‍ෂ වාස්‌තවිකත්වය විය. ගැලීලියෝ ගේ අදහස වූයේ සියලු පුද්ගලයන්ට එක ම අත්දැකීමක්‌ ලැබෙන්නේ නම් එය නිරපේක්‍ෂ වූවක්‌ බව ය.

එක ම උසකින් එක ම විටක දී නිසලතාවෙන් අත්හරිනු ලැබූ වස්‌තු එක ම විටක දී (රික්‌තයක දී) පොළොවට වැටෙන බව රික්‌තයක්‌ නොමැති ව එකල විසූ උගතුන්ට ඒත්තු ගැන්වීමට ගැලීලියෝ සමත් විය. එමගින් ඔහු සහ ඔහු ගෙන් පසුව බටහිර යාන්ත්‍රිකය වර්ධනය කළ අය, කිසිවකු නො සිටියත්, එනම් කිසි ම නිරීක්‍ෂකයකු නො සිටියත්, එවැනි වස්‌තු එක විට පොළොවට වැටෙන බව ද සමාජයට ඒත්තු ගැන්වූ හ.

එහෙත් මෙහි දී තවත් ප්‍රශ්නයක්‌ පැන නැඟිණි. පොළොව සූර්යයා වටා ගමන් කරන බව ගැලීලියෝට හා කොපර්නිකස්‌ට පෙර භාරතීයයන් දැන සිටි බවට සාක්‍ෂි වෙයි. ඒ ධ්‍යාන වැඩීමෙන් හෝ එසේ ධ්‍යාන වැඩීමෙන් සිත දියුණු කරගත් අය දෙවියන් ගෙන් හෝ ලබාගත් දැනුමක්‌ විය යුතු ය. සිංහලයන්ට ද භාවනාව ඔස්‌සේ ලබාගත් එවැනි දැනුම් තිබෙන්නට ඇතැයි සිතිය හැක්‌කේ වර්තමානයෙහි දී එලෙස දැනුම ලබාගන්නන් කියන කරන දෙය නිරීක්‍ෂණය කිරීමෙනි. අවසානයේ දී මනසෙන් පමණක්‌ ලබාගන්නා මේ දැනුම මනසට ප්‍රත්‍යක්‍ෂ වූ දැනුමක්‌ විය.

මේ දැනුම අරාබි වෙළෙන්දන් මගින් යුරෝපයට ගිය බව ද පැහැදිලි ය. එහෙත් යුරෝපයට ගිය ආසියාතිකයන් යම් පිරිසක ගේ මනසට ප්‍රත්‍යක්‍ෂ වූ දැනුම යුරෝපීයයන් ගේ මනසට ප්‍රත්‍යක්‍ෂ නො වී ය. යුරෝපීයයෝ ධ්‍යාන හෝ භාවනා හෝ නො දැන සිටිය හ. මෙහි ප්‍රතිඵලය වූයේ එවැනි දැනුම් ලබාගැනීමේ ක්‍රමයක්‌ නිර්මාණය කිරීමට යුරෝපයට අවශ්‍ය වීම ය. ගැලීලියෝ නැවතත් වියුක්‌ත චින්තනය ඔස්‌සේ ඒ තහවුරු කළේ ය.

මේ පිළිබඳව අපේ ප්‍රවාද මගින් අතීතයේ ඉදිරිපත් කෙරී ඇති නමුත් එහි ඇති වැදගත්කම හේතුවෙන් නැවතත් සුළුවෙන් වුව ද විස්‌තර කිරීමේ වරදක්‌ තිබිය හැකි යෑයි නො සිතමි. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්නේ නම් එයින් කියෑවෙනුයේ පෘථිවියට යම් චලනයක්‌ ඇති බව ය. ගැලීලියෝ ගේ කාලයේ සිටි උගතුන් නැඟූ ප්‍රශ්නය නම් එවිට ගසකින් වැටෙන ගෙඩියක්‌ ගසේ මුල වැටෙන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් කියා සිටියේ ගෙඩිය ගහේ සිට වැටෙන කාලයෙහි දී පොළොව යම්කිසි දුරක්‌ යන බැවින් ගෙඩිය ගස මුලට සුළු දුරක්‌ ඈතින් වැටිය යුතු බව ය.

ගැලීලියෝ ට එය අභියෝගයක්‌ විය. ගසකින් වැටෙන ගෙඩියක්‌ ගසෙහි මුල වැටෙන්නේ ඇයි ද යන්නට සුදුසු පිළිතුරක්‌ දිය යුතු ව තිබිණි. එහි දී ඔහු ඉතා ම ශූර බුද්ධියකින් සාපේක්‍ෂ චලිතය යන සංකල්පය ඉදිරිපත් කළේ ය. ඔහු කියා සිටියේ යම් නිරීක්‍ෂකයකුට නිරීක්‍ෂණය කළ හැක්‌කේ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ (නිෂ්ශූන්‍ය) චලිත පමණක්‌ බව ය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්‌තුවකට හෝ අංශුවකට හෝ ප්‍රවේගයක්‌ නැත්නම් එයට වෙනත් අයකුට සාපේක්‍ෂව ප්‍රවේගයක්‌ තිබුණත් පළමු නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වස්‌තුව චලනය නො වන්නේ ය යන ස්‌වසිද්ධිය ගැලීලියෝ බටහිර යාන්ත්‍රිකයට එක්‌ කළේ ය. එසේ ම යම්කිසි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්‌තුවක්‌ හෝ අංශුවක්‌ හෝ චලනය නො වන්නේ නම් ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වස්‌තුවට හෝ අංශුවට හෝ ප්‍රවේගයක්‌ නැත යන්න ද ගැලීලියෝ කියා සිටියේ ය.

මේ ප්‍රකාශයේ ඇති වැදගත්කම කුමක්‌ දැයි කිසිවකුට සිතෙනු ඇත. යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව අංශුකට හෝ වස්‌තුවකට හෝ ප්‍රවේගයක්‌ නැත්නම් එය නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව චලනය නො වන්නේ ය යන්න පුනරුක්‌තියක්‌ (tautology) නො වේ දැයි කිසිවකු අසනු ඇත. එහෙත් තවදුරටත් සලකා බැලීමේ දී ඒ ප්‍රකාශයේ ඇති වැදගත්කම තේරුම් යනු ඇත. ගැලීලියෝට අනුව ගස පොළොවත් සමඟ චලනය වන බැවින් පොළොවේ සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ගසට ප්‍රවේගයක්‌ නැත. පොළොවට සාපේක්‍ෂව ගස නිශ්චලව පවතියි. එහෙත් පොළොවෙන් බාහිරව පිහිටි නිරීක්‍ෂකයකුට අනුව පොළොවට මෙන් ම ගසට ද චලිතයක්‌ වෙයි. පොළොවෙන් බාහිරව පිsහිටි නිරීක්‍ෂකයකුට අනුව පොල් ගසේ මුදුනේ පිහිටි පොල් ගෙඩියට ද චලිතයක්‌ වෙයි. එහෙත් පොළොවෙහි සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගසට වත් ගස මුදුනේ ඇති පොල් ගෙඩියට වත් චලිතයක්‌ නැත. ගැලීලියෝ ගේ සාපේක්‍ෂතා මූලධර්මයෙහි වැදගත්කම ඇත්තේ ඒ බව තේරුම් ගැනීමෙහි දී ය. පොළොවෙහි සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගස මුදුනෙහි ඇති පොල් ගෙඩියට චලිතයක්‌ නැත. පොල් ගෙඩිය නටුවෙන් ගිලිහී යැමෙන් පසු එය සිරස්‌ ව ත්වරණයක්‌ සහිතව පොළොවට වැටෙන බව පොළොවේ සිටින නිරීක්‍ෂකයාට පෙනෙයි. එවැනි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස්‌ (පොළොවට සමාන්තරව) ප්‍රවේගයක්‌ නැති අතර වෙනස්‌ වන (ත්වරණය හේතුවෙන්) සිරස්‌ ප්‍රවේගයක්‌ පමණක්‌ වෙයි.

මෙහි දී වැදගත් ම කරුණ වනුයේ පොළොවෙහි සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස්‌ ප්‍රවේගයක්‌ නොමැති වීම ය. ගැලීලියෝ කියා සිටියේ පොළොවට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස්‌ ව ප්‍රවේගයක්‌ නොමැති බැවින් පොල් ගෙඩිය පොළොවට සාපේක්‍ෂව තිරස්‌ ව චලනය නො වන බව ය. එබැවින් පොල් ගෙඩියට පොල්a ගසෙන් තිරස්‌ ව ඉවත් විය හැකි නො වේ. එයට හේතුව පොල් ගෙඩිය, පොල් ගස හා පොළොව තිරස්‌ ව චලනය වන මුත් එකිනෙකට සාපේක්‍ෂව ගත් කල ඒ කිසිවකට වත් තිරස්‌ සාපේක්‍ෂ ප්‍රවේගයක්‌ නොමැති වීම ය.

පොල් ගෙඩිය පොල් ගස මුල ම වැටෙන්නේ පොළොව යම්කිසි බාහිර නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව තිරස්‌ ව චලනය නො වන නිසා නො ව පොල් ගෙඩිය ද වෙනත් බාහිර නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොවත් සමඟ එක ම තිරස්‌ ප්‍රවේගයකින් චලනය වීම නිසා ය. (මේ විශ්ලේෂණය සම්පූර්ණ යෑයි මෙයින් ගම්‍ය නො වෙයි. එහෙත් දැනට අපේ අවශ්‍යතා සඳහා මේ විශ්ලේෂණය ප්‍රමාණවත් වෙයි) ගැලීලියෝ ගේ කාලයෙහි සිටි අනෙක්‌ උගතුන් තර්ක කළේ වෙනත් පදනමක පිහිටා බව මෙහි දී සඳහන් කළ යුතු වන්නේ නැත හොත් මේ පැහැදිලි කිරීමෙහි අඩුපාඩුවක්‌ ඇති බැවිනි.

එකල සිටි අනෙක්‌ උගතුන්ට අනුව පොල් ගෙඩියට තිරස්‌ ප්‍රවේගයක්‌, එනම් පොළොවට සමාන්තරව කිසි ම ප්‍රවේගයක්‌ නො වී ය. ඔවුන්ට සාපේක්‍ෂ ප්‍රවේගය යන සංකල්පය නො තිබූ බව මෙහි දී සඳහන් කළ යුතු ය. ඔවුන්ට අනුව පොළොවට ද කිසිදු ප්‍රවේගයක්‌ (තිරස්‌ ව හෝ වෙනත් දිශාවකට හෝ) නො වී ය. එබැවින් පොල් ගෙඩිය පොල් ගස මුල වැටීම ඔවුන්ට මුල දී ප්‍රශ්නයක්‌ නො වී ය.

ඔවුන්ට එය ප්‍රශ්නයක්‌ වූයේ ගැලීලියෝ පොළොව චලනය වන්නේ යෑයි කීමෙන් පසුව ය. පොළොව එලෙස යම්කිසි දිශාවකට චලනය වන්නේ නම් හා පොල් ගෙඩිය චලනය නො වන්නේ නම් පොල් ගෙඩිය පොල් ගස මුල වැටෙන්නේ කෙසේ ද යන්න ඔවුන්ට ප්‍රශ්නයක්‌ විය. ගැලීලියෝ ඒ ප්‍රශ්නයට දුන්නේ ඉතා ම බුද්ධිමත් ඒ නිසා ම සරල පිළිතුරකි. ඔහු කියා සිටියේ පොල් ගෙඩියට ද චලනයක්‌ ඇති බවත් පොල් ගෙඩිය ද පොළොවේ ප්‍රවේගයෙන් ම (බාහිර නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව) තිරස්‌ ව (පොළොවට සමාන්තරව) චලනය වන බවත් ය.

පොළොවට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස්‌ ප්‍රවේගයක්‌ නැති බැවින් පොළොවේ සිටින නිරීක්‍ෂකයකුට පොල් ගෙඩිය තිරස්‌ ව චලනය නො වෙයි. එබැවින් පොල් ගෙඩිය එවැනි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගසෙන් තිරස්‌ ව ඉවත් නො වෙයි. ඒ හේතුවෙන් පොල් ගෙඩිය පොල් ගස මුල ම වැටෙයි. මෙහි දී ගැලීලියෝ පොළොව චලනය වන බවක්‌ නො පෙන්වී ය. පොළොවේ සිට ම පොළොව චලනය වන බව නිරීක්‍ෂණය කළ හැකි නො වේ. ඔහු කළේ ඉතා සියුම් තර්කයකින් සාපේක්‍ෂ ප්‍රවේගය නමැති සංකල්පය ඔස්‌සේ පොළොව චලනය වන බව ඒත්තු ගැන්වීම ය.

මෙහි දී කරුණු දෙකක්‌ අවධාරණය කළ යුතු ය. අප බොහෝ විට කරන්නේ වෙනත් අයකුට යමක්‌ ඒත්තු ගැන්වීම ය. එහි දී ඔප්පු කිරීම, සාධනය කිරීම ආදි වචන වැදගත් නො වේ. බටහිර ගණිතයෙහි දී යම් යම් ප්‍රතිඵල සාධනය කරන බව සැබෑ නමුත් එසේ කරන්නේ තවත් යම් ප්‍රස්‌තුතයක්‌ උපකල්පනය කිරීමෙනි. එසේ උපකල්පනය කෙරෙන ප්‍රස්‌තුතය වලංගු ද නැද්ද යන්න එහි දී ප්‍රශ්නයක්‌ නො වේ. ඒ ප්‍රස්‌තුතය ඒත්තු ගැන්වීම ද බටහිර ගණිතයෙහි දී අවශ්‍ය නො වේ. බටහිර ගණිතයෙහි දී කෙරෙන්නේ යම් ප්‍රස්‌තුතයක්‌ (ප්‍රස්‌තුත) සත්‍ය බව උපකල්පනය කරමින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදා ගනිමින් තර්කයෙන් තවත් ප්‍රස්‌තුතයක්‌ ලබාගැනීම ය. බටහිර ගණිතයෙහි කිsසිවක්‌ කිසිවකුට ඒත්තු ගැන්වීමක්‌ අවශ්‍ය නො වේ. එහි දී වැදගත් වන්නේ ඒ එසේ නම් මේ මෙසේ ය යන ආකාරයේ ප්‍රස්‌තුත ය. ඒ එසේ වන්නේ ද යන්න එහි දී ප්‍රශ්නයක්‌ නො වේ.

දෙවැනි කරුණ වන්නේ ගැලීලියෝ ගේ වියුක්‌ත චින්තනය ය. පොළොව ගමන් කරන බව නො පෙන්වා ම ඔහු ඒ බව ඒත්තු ගැන්වී ය. පොළොව ගමන් කරන බව පොළොව මත සිටින කිසි ම නිරීක්‍ෂකයකුට නිරීක්‍ෂණය කළ නො හැකි ය. එසේ කළ හැකි වන්නේ පොළොවෙන් පිටතට ගොස්‌ ය. අභ්‍යවකාශයට යන්නකුට පොළොව චලනය වන බව දැකගත හැකි වනු ඇත. එහෙත් ගැලීලියෝ ගේ කාලයේ එවැනි පහසුකම් කිසිවකුට වත් නො වී ය.

ගැලීලියෝ පංෙච්න්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ මත පදනම් නො වෙමින් එහෙත් එවැනි නිරීක්‍ෂණ මනසෙහි මවා ගනිමින් පොළොව වෙනත් බාහිර නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂව චලනය වන බව සමකාලීනයන්ට ඒත්තු ගැන්වී ය. එක්‌තරා අයුරකින් ගත් කල ඔහු ඊනියා පරීක්‍ෂණාත්මක ක්‍රමයේ පියා නො ව චිත්ත පරීක්‍ෂණයේ (thought ex periments) පියා විය. පීසා නුවර ඇල වන කුලුන පාමුල ඔහු රික්‌තයක්‌ මවා ගන්නා ලෙස අන්‍යයන්ට කීවේ ය. පොළොව ගමන් කිරීම පිළිබඳ ප්‍රශ්නයේ දී ඔහු ශූන්‍ය වූ නො පෙනෙන සාපේක්‍ෂ ප්‍රවේග යොදා ගනිමින් මනසෙහි ඒ මවා ගැනීමට සලස්‌වා තමන්ට අවශ්‍ය දේ අනෙක්‌ අයට ඒත්තු ගැන්වී ය.

මේ වියුක්‌තකරණය නොමැති ව බටහිර විද්‍යාවට උපතක්‌ නො වී ය. අයින්ස්‌ටයින් විද්වතා පසු කලෙක වියුක්‌තකරණය හා චිත්ත පරීක්‍ෂණ උපරිම තලයකට ගෙන ආවේ ය. අනිවාර්යයෙන් ම වියුක්‌තය පෞද්ගලිකත්වයෙන් ඔබ්බට ගියේ ය. පෞද්ගලික ඉන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ හා වියුක්‌ත චින්තනය අතර වූ පරස්‌පරය හේතුවෙන් අද බටහිර විද්‍යාව ඉමහත් අර්බුදයකට මුහුණ පා ඇත.

මහාචාර්ය නලින් ද සිල්වා