logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ඇල වන කුලුන පාමුල

අද ලෝකය පුරා ම පතුරුවා හැර තිබෙන්නේත් මුළු ලෝකය මත ම බලහත්කාරයෙන් පටවා තිබෙන්නේත් යුරෝපයේ, විශේෂයෙන් ම දකුණු යුරෝපයේ පහළොස්‌ වැනි දහ සය වැනි සහ දහ හත් වැනි සියවස්‌වල ඇති වූ චින්තන පෙරැළියෙන් කරළියට පැමිණි දැනුම ය. මේ අනුව එක්‌ පැත්තකින් සමස්‌තය අභිබවා පෞද්ගලිකත්වය පෙරට පැමිණීමේත්, පෙරදිගින් යුරෝපයට ගිය දැනුම අවශෝෂණය කරගැනීමේත්, පාප් වහන්සේ ආධිපත්‍යයට එරෙහි ව ජර්මනිය ආදී රටවල ව්‍යාපාර මතු වීමේත් ප්‍රතිඵල විය.

මාටින් ලුතර් 1483 සිට 1546 දක්‌වා ජර්මනියේ විසී ය. ඔහු තම සුප්‍රසිද්ධ ප්‍රවාදය පාප් වහන්සේට ඉරිදිපත් කළේ 1517 දී ය. කලින් කියා ඇති පරිදි ඔහු දෙවියන් වහන්සේ පෞද්ගලිකකරණයට ලක්‌ කළේ ය. සාමූහික ව දෙවියන් වහන්සේ ඇදහීම වෙනුවට ඔහු පෞද්ගලික ව දෙවියන් වහන්සේ ඇදහිය හැකි බව පෙන්වී ය. එමගින් ද ඔහු පාප් වහන්සේට අභියෝග කළේ ය. බයිබලය පළමුවෙන් ම ජර්මන් භාෂාවට පරිවර්තනය කළේ ඔහු ය. ලතින් හා ග්‍රීක භාෂාවන්ට තිබූ ආධිපත්‍යය නැති කිරීමටත් ජර්මන් භාෂාව වර්ධනය වීමටත් ඒ හේතුවක්‌ විය. පසු කලෙක යුරෝපයේ ඊනියා ජාතික රාජ්‍ය බිහි වීමට මේ කරුණු ද බලපෑවේ ය.

මාටින් ලුතර් ගේ සමය වන විට කතෝලික සභාව පිරිහී තිබිණි. එබැවින් යම්කිසි ආකාරයක ප්‍රතිසංස්‌කරණයක්‌ කතෝලික සභාවට අවශ්‍ය විය. එහෙත් ලුතර් ඒ ප්‍රතිසංස්‌කරණය කළේ කතෝලික සභාවට එහා යමිනි. ඔහු නව ක්‍රිස්‌තියානියක්‌ බිහි කිරීමේ ලා මූලික විය. එහෙත් ඒ සඳහා පදනම වැටී තිබුණේ බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ආරම්භ වූ පහළොස්‌වැනි සියවසේ අග භාගයේ ඉතාලියෙහි ම ය. මා පෞද්ගලිකත්වයේ සංකේතය ලෙස සලකන ඩේවිඩ් ප්‍රතිමාව, 1505 දී මිචලාංජිලෝ අතින් ඉතාලියේ පිරෙන්ටසි නගරයේ නිමවන විට ලුතර් පශ්චාත් උපාධිධාරී තරුණයෙක්‌ විය. ජනප්‍රවාදය අනුව ඔහු පූජකවරයකු වීමට තීරණය කළේ ද 1505 දී ය.

ලුතර්ට ක්‍රිස්‌තුස්‌ වහන්සේ යනු එක ම දෙවියන් වහන්සේ විය. ඔහුට වෙනත් දෙවියන් හෝ භූතයන් හෝ අවශ්‍ය නො වී ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ යුදෙව්වන් විසින් දෙවියන් වහන්සේ ලෙස නො සැලකිණි. මාටින් ලුතර් යුදෙව්වන්ට ඒ සම්බන්ධයෙන් කෙසේ වත් සමාවක්‌ නො දුන්නේ ය. ඔහු පළමුවෙන් යුදෙව්වන් ක්‍රිස්‌තියානීන් බවට පත් කිරීමට උත්සාහ කළේ ය. එය අසාර්ථක වීමෙන් පසුව මාටින් ලුතර් යුදෙව්වන්ට එරෙහි ව දරුණු ප්‍රචාරයක්‌ ගෙන ගියේ ය. ඔහු ගේ ප්‍රශ්නය වූයේ යුදෙව්වන් ක්‍රිස්‌තුස්‌වහන්සේ තවත් අනාගත වක්‌තෘ කෙනකු ලෙස පමණක්‌ සැලකීම ය.

ලුතර් ජර්මනිය පුරා යුදෙව්වන් කෙරෙහි වෛරය පැතිරවීමට මුල පිරුවේ ය. මේ අතර එංගලන්තයේ හා වෙනත් යුරෝපීය රටවල ද යුදෙව්වන් ගේ වෙළෙඳ ව්‍යාපාර හා පොලී ගැනීම පිළිබඳ ව විරෝධයක්‌ විය. පසුගිය සියවසේ යුරෝපයේ, විශේෂයෙන් ම ජර්මනියේ, පැතිරී ගිය යුදෙව් විරෝධයේ මුල එයට අවුරුදු හාර සීයකට තරම් ඔබ්බට ලුතර් ගේ කාලයට දිව යයි. යුදෙව්වන් කෙරෙහි විරෝධයක්‌ දැක්‌වුව ද මාටින් ලුතර් ඇතුළු අනෙක්‌ නව ක්‍රිස්‌තියානීහු යුදෙව්වන් ගෙන් වියුක්‌ත දෙවියන් වහන්සේ පිළිබඳ අදහස ලබාගත් හ. ලුතර් මිය යැමෙන් සියවසක්‌ ගත වීමට පෙර දහහත්වැනි සියවසේ දී ගැලීලියෝ ගැලීලිට වියුක්‌ත අදහස්‌ ද ඇතුළත් කර බටහිර විද්‍යාව නිර්මාණය කිරීමට පසුබිම සැකසුණේ එසේ ය. ලුතර් 1546 දී මිය ගිය අතර ගැලීලියෝ 1642 දී මිය ගියේ ය.

බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි බටහිර විද්‍යාව බිහි ව ඇත්තේ තරමක පරස්‌පර අකාරයකට යෑයි යමකුට සිතෙන්නේ නම් පුදුම වීමට හේතුවක්‌ නැත. බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය ම පරස්‌පරික යෑයි කිසිවකුට කිව හැකි ය. එක්‌ පැත්තකින් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි පෞද්ගලිකත්වය ඉස්‌මතු කෙරෙයි. අනෙක්‌ පැත්තෙන් වියුක්‌ත චින්තනය එහි වැදගත්කමක්‌ අත් කර ගනියි. සාධාරණීකරණය (පොදුකරණය-generalization) පදනම් වන්නේ වියුක්‌ත චින්තනයෙහි ය. වියුක්‌ත චින්තනය නොමැති ව බටහිර විද්‍යාවක්‌ නැත. එමෙන් ම පෞද්ගලිකත්වය, පංචෙන්ද්‍රිය පිනවීම (පංචෙන්ද්‍රිය පිනවීම යනු පංචෙන්ද්‍රිය සමග එකතු වූ මනස පිනවීම මිස අනෙකක්‌ නො වේ) නොමැති ව බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය වත් නව ක්‍රිස්‌තියානිය වත් නැත.

කතෝලික ආගමේ යම් පමණක වුව ද ඉන්ද්‍රිය දමනයක්‌ විය. සරල ජීවිතය, අල්පේච්ඡතාව ආදිය එහි ලක්‍ෂණ විය. පසුකාලීනව ඇතැම් පාප්වහන්සේලා ඇතුළු පූජකවරුන් ඒ මඟ නො ගිය නමුත් සභාවේ අවධාරණය කෙරුණේ ඉන්ද්‍රිය දමනය හා සැහැල්ලු ජීවිතය ය. පූජකවරුන්ට විවාහය තහනම් විය. එහෙත් බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයෙහි දැනුවත් ව එයට වඩා වෙනස්‌ මඟක්‌ අනුගමනය කෙරිණි. මාටින් ලුතර් පූජකවරයා විවාහ වී මුළු මහත් කතෝලික සභාවට ම අභියෝගයක්‌ එල්ල කළේ ය. ඔහු බියර් පානයට ඇලුම් කළේ ය. පෞද්ගලිකත්වය ඉස්‌මතු කළේ ය. එහෙත් ඒ අතර ක්‍රිස්‌තුස්‌ වහන්aසේ නැවතත් වියුක්‌ත දෙවි කෙනකු බවට පත් කිරීමට කටයුතු කළේ ය.

හුදෙක්‌ පෞද්ගලිකත්වය හා ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් පමණක්‌ වූ ලෝකයක ගැලීලියෝ කෙනකු පහළ වීමේ හැකියාවක්‌ නැත. ගැලීලියෝ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් අත් නො හළේ ය. ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් යනු පංෙච්න්ද්‍රියවලට ගෝචර අත්දැකීම බව පුන පුනා කිව යුතු වෙයි. අද ද මෙරට සිටින බටහිර විද්‍යාවේ කසිකබල් පඬියෝ ඊනියා අනුභූතිවාදයක්‌ (empiricism) ගැන කතා කරති. ඔවුන් මේ පංෙච්න්ද්‍රිය ගෝචර අත්දැකීම ගැන සිතන්නේ, කියන්නේ ඒවා මනසින් තොර ලෙස ගැනීමෙනි. පංෙච්න්ද්‍රිය ඔස්‌සේ ලැබෙන අත්දැකීම මනසෙන් ස්‌වායත්ත වේ ය යන උපකල්පනයක්‌ ඔවුන් සතු වෙයි. එහෙත් අප මේ ලිපි පෙළෙහි සඳහන් කර ඇති ආකාරයට මනසෙන් තොර, එනම් සංකල්පවලින් තොර කිසිදු සංජානනයක්‌ නො වේ. හැකි නම් සංකල්පයකින් තොර සංජානනයක්‌ සඳහා උදාහරණයක්‌ රසල් ගේ හෝ වෙනත් බටහිර පඬියකු ගේ හෝ පොතකින්, ලිපියකින් කරුණු දක්‌වමින් (අපේ පඬියන්ට බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයේ පඬියකු ගෙන් උපුටා ගැනීමක්‌ නො කර කිසිවක්‌ ප්‍රකාශ කළ නො හැකි ය) ඉදිරිපත් කරන ලෙසට අභියෝග කරමි. ඒ සමග අර ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්‌ට්‍රොaන දුසිම ද එවීමට කටයුතු කරන්නේ නම් මැනැවි. එහි දී බරපැන ප්‍රශ්නයක්‌ වී ඇත්නම් මම එය දැරීමට පොරොන්දු වෙමි.

ගැලීලියෝ හෝ ඔහු ගේ මිතුරා හෝ ඉතාලියේ පීසා නුවර ඇල වන කුලුනින් වස්‌තු අත්හැරියේ පෞද්ගලිකව එතැන රැස්‌ ව සිsටි සියලු දෙනාට බලාගැනීමට ය. ඒ ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමකි. බටහිර විද්‍යාවේ ඊනියා අනුභූතිවාදයේ උපත ද ඇල වන කුලුන පාමුල එසේ සිදු විය. එසේ නම් වියුක්‌තිය එකතු කරනු ලැබුයේ කොතැනක දී ද? එය ද පීසා නුවර ඇල වන කුලුන පාමුල ම සිදු විය. එහි දී වියුක්‌තිය කිහිප ආකාරයකින් එකතු කරනු ලැබිණි.

ගැලීලියෝ ගේ පරීක්‍ෂණය කළ යුතු ව තිබුණේ රික්‌තයක ය. අසමාන ස්‌කන්ධ, අසමාන හැඩවලින් යුත් වස්‌තු එක ම උසකින් නිශ්චලතාවේ සිට එක විට අතහරිනු ලැබූ විට එක විට පොළොවට වැටෙන්නේ රික්‌තයක ය. එසේ නැත හොත් වායු ප්‍රතිරෝධය හේතුවෙන් වස්‌තු එක්‌ එක්‌ අවස්‌ථාවල දී පොළොවට වැටෙනු ඇත. පිහාටුවක්‌ හා පොල් ගෙඩියක්‌ එසේ අත්හරිනු ලැබුව හොත් පොල් ගෙඩිය ඉක්‌මනින් වැටෙන බව අප දනිමු. පරීක්‍ෂණය රික්‌තයක කළ යුතු වුවත් ගැලීලියෝ හෝ මිතුරා හෝ කුලුන වටා රික්‌තයක්‌ නිර්මාණය කළේ නැත. අපට එහි දී සිදු වන්නේ රික්‌තයක්‌ ඇතැයි උපකල්පනය කිරීමට ය. වෙනත් වචනවලින් කිව හොත් අපට රික්‌තයක්‌ මනසෙහි මවාගැනීමට සිදු වෙයි.

රික්‌තයක්‌ නැති තැන රික්‌තයක්‌ මවා ගැනීමට සිදු වන්නේ වියුක්‌ත ව ය. එතැන රික්‌තයක්‌ දැකීම කිසි සේත් ම ඉන්ද්‍රිය ගෝචර ක්‍රියාවක්‌ නො වේ. දෙවනුව ගැලීලියෝ වස්‌තු වැටීමේ අත්දැකීම සියල්ලන් ගේ, එනම් ඕනෑ ම අයකු ගේ අත්දැකීමක්‌ බවට පත් කළේ ය. කවුරු බලා සිටියත්, කවුරු නිරීක්‍ෂණය කළත් අදාළ වස්‌තු එක විට පොළොවට වැටෙන බව ගැලීලියෝ ඒත්තු ගැන්වී ය. වෙනත් වචනවලින් කිව හොත් එය නිරපේක්‍ෂ සාධාරණ අත්දැකීමක්‌ විය. තුන්වනුව වස්‌තුවල ස්‌කන්ධය පමණක්‌ නො ව පාට, හැඩය, සුවඳ ආදිය ද මෙහි දී කිසිදු බලපෑමක්‌ නො කරන බව ගැලීලියෝ හෙළි කළේ ය.

වස්‌තු පොළොවට වැටීම ඒ ඒ නිරීක්‍ෂකයාට හෝ ඒ ඒ වස්‌තුවේ ගුණවලට හෝ සාපේක්‍ෂ නො වීය. කිනම් නිරීක්‍ෂකයාට ද කිනම් වස්‌තුවලට ද පොදු ගුණයක්‌ විය. එනම් එක විට එක උසකින් නිශ්චලතාවෙන් අත්හරිනු ලැබූ වස්‌තු එක විට පොළොවට වැටීම ය. මෙහි දී තවත් වැදගත් දෙයක්‌ සිදු විය. ඕනෑ ම නිරීක්‍ෂකයකු එක ම අයුරකින් නිරීක්‍ෂණය කරන්නේ ය යන්නෙන් එයටත් වඩා වියුක්‌තයක්‌ ගොඩනඟා ගැනිණි. එනම් නිරීක්‍ෂකයකු සිටියත් නැතත් එක උසකින් එක විට නිසලතාවේ තිබී වැටෙන වස්‌තු එක විට පොළොවට ළඟා වන බව ය. ඊනියා වාස්‌තවිකත්වය (objectivity) බටහිර විද්‍යාවට එක්‌ වූයේ එලෙස ය.

නිරීක්‍ෂකයන් සිටියත් නැතත් වාස්‌තවික ලෝකයක්‌ ඇත යන්නත් ඒ වාස්‌තවික ලෝකයේ ඊනියා නියමවලට අනුව වස්‌තු ඔබ මොබ යන එන බවත් බටහිර විද්‍යාවට ඇතුළු විණි. පෞද්ගලිකත්වය මත පදනම් වූ නිරීක්‍ෂණ ඔස්‌සේ පෞද්ගලිකත්වය ඉක්‌මවූ නිරපේක්‍ෂ වාස්‌තවිකත්වයකට වියුක්‌තය ඔස්‌සේ බටහිර විද්‍යාව මාරු වූයේ එලෙස ය. එය සාමූහිකත්වයක්‌ නො වී ය. සාමූහිකත්වයක්‌ නැති නිරපේක්‍ෂතාවක්‌ හා වාස්‌තවිකත්වයක්‌ විය. මෙය හුදු පෞද්ගලික අනුභූතියක්‌ නො වී ය. එය කිසිවකු ගේ අනුභූතියක්‌ නො වෙයි. අවශ්‍ය නම් එය වියුක්‌ත දෙවියන් වහන්සේ ගේ අත්දැකීම වෙයි. යුදෙව්වන් ගෙන් ගත් වියුක්‌ත දෙවියන් හා චින්තනය නැවතත් කරළියට ගෙන ආවේ යුදෙව්වන්ට වෛර කළ මාටින් ලුතර් නම් නව ක්‍රිස්‌තියානියේ පූජකවරයා ය.

පෞද්ගලිකත්වය ඉස්‌මතු කර වසර එක සිය පණහක්‌ ගත වීමට පෙර පෞද්ගලික අත්දැකීම් ඉක්‌මවූ නිරපේක්‍ෂ වාස්‌තවිකත්වයක්‌ ගොඩනඟා ගැනීම පරස්‌පරයකි. බටහිර විද්‍යාව හා බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වයට ගැලීලියෝ ගේ කාලයේ සිට ම මේ පරස්‌පරය විය. මේ නිරපේක්‍ෂ වාස්‌තවික කතා බටහිර දැනුමේ දී හැඳින්වෙන්නේ පාරආඛ්‍යාන (meta narratives) නමින් ය. බටහිර විද්‍යාව හැකි සෑම විටෙක ම පාරආඛ්‍යාන පිටුපස දිවී ය. නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය විශ්වයේ සියලු වස්‌තු හා අංශුවලට බලපාන පාරආඛ්‍යානයකි. මාක්‌ස්‌ ගේ ඊනියා සමාජ විකාශන ප්‍රවාදය ද පාරආඛ්‍යානයකි. එහෙත් මේ පාරආඛ්‍යාන අද කඩා වැටෙමින් පවතියි. එයට හේතුව බටහිරයන්ට පාරආඛ්‍යාන පිළිබඳව ආඛ්‍යානයක්‌ ගොඩනඟාගැනීමට නොහැකි වීම ය.

මහාචාර්ය නලින් ද සිල්වා