logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


අල්මාරියේ දැමිය නො හැකි මනස

අප දෙවියන් භූතයන් ආදීන් ආරුඪ වීම්, ආවේශ වීම් ගැන කතා කෙළේ හුදෙක්‌ ඒ ගැන කතා කිරීමට තිබූ අවශ්‍යතාවක්‌ නිසා නො වේ. අපට අවශ්‍ය වූයේ අපේ මනස සක්‍රීය නො වන අවස්‌ථා ද ඇති බව සඳහන් කිරීමටත් ඒ අවස්‌ථාවල දී අපේ මනස්‌ ක්‍රියා කරන්නේ අපේ නො වන ආකාරයටත් භූතයන්ට හා වෙනත් ප්‍රාණීන් හට අවශ්‍ය ආකාරයයටත් බව පෙන්වීමට ය. එහෙත් සම්‍යක්‌දෘෂ්ටික දෙවිවරු එසේ නො වෙති. එතුමෝ මිනිසකුට ආවේශ නො වෙති. එසේත් නැත හොත් ආරූඪ නො වෙති. එතුමෝ මනුෂ්‍ය ප්‍රාණියකු සමඟ එවැනි අවස්‌ථාවල දී සංවාදයෙහි නිරත වෙති. එය වක්‍ර ව මෙන් ම සෘජුව ද සිදු විය හැකි ය.

සම්‍යක්‌දෘෂ්ටික දෙවිවරුන්ට ඕනෑ ම මිනිසකු සමඟ සෘජුව සම්බන්ධ විය නො හැකි ය. ඒ සඳහා අදාළ පුද්ගලයා පාරමී දම් පුරා සිටිය යුතු අතර සසර යම් සම්බන්ධකමක්‌ ද තිබිය යුතු ය. සම්‍යක්‌දෘෂ්ටික දෙවිවරුන්ට අනෙක්‌ මිනිසුන් සමඟ වක්‍ර ව සම්බන්ධ වීමට, එනම් සෘජුව සම්බන්ධ වන්නකු මගින් සම්බන්ධ වීමට හැකියාවක්‌ වෙයි. සම්‍යක්‌දෘෂ්ටික දෙවියන් සමඟ සෘජු ව හෝ වක්‍ර ව සම්බන්ධ වන්නෝ සවිඥනික ව එසේ කරති. භූතයකු යම් පුද්ගලයකුට ආරුඪ වූ විට ඒ පුද්ගලයා ගේ ක්‍රියාකාරීත්වය භූතයා විසින් පාලනය කෙරෙයි. අදාළ පුද්ගලයාට සවිඥනිකව තමා යන හැඟීම නැති වෙයි. එසේ භූතයකු ආවේශ වූ විට ක්‍රියා කරන්නේ භූතයා මිස තමා නො වේ.

ඇතැම් මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට ද මිනිසුන් සමඟ සෘජු ව සම්බන්ධ වීමේ හැකියාවක්‌ ඇති බව පෙනෙයි. එහි දී කිනම් අවශ්‍යතා සම්පූර්ණ විය යුතු ව ඇත් දැයි කීමට නො හැකි ය. යෙහෝවා දෙවියන් ඇතැම් යුදෙව්වවන් සමඟ ද, ගී්‍රක දෙවියන් ඇතැම් ගී්‍රකයන් සමඟ ද, වෛදික දෙවියන් ඇතැම් වෛදිකයන් සමඟ ද සෘජු ව සම්බන්ධ වී ඇති බව පෙනී යයි. අප්‍රිකානු සංස්‌කෘතීන් ගේ ද දෙවියන් සමඟ පැවැත්වූ සෘජු සම්බන්ධකම් ගැන කියෑවෙන්නේ යෑයි සිතිය හැකි ය.

මෙයට අමතරව ඇතැම් මනුෂ්‍යයන්ට භූතයන් ගෙන් හා යම් යම් දෙවිවරුන් ගෙන් වැඩ ගැනීමේ හැකියාව ද වෙයි. එහි දී එක්‌තරා ආකාරයකින් අදාළ මනුෂ්‍යයා ගේ අණට භූතයා හෝ දෙවියන් හෝ යට වෙයි. යකුන් බැඳගෙන වැඩගත් අය ගැන අපේ සංස්‌කෘතියෙහි සඳහන් වෙයි. ඒ සඳහා අදාළ පුද්ගලයන්ට යම්කිසි බලයක්‌ තිබිය යුතු බව පැහැදිලි ය. එයට ආධ්‍යාත්මික බලය මෙන් ම යන්ත්‍ර මන්ත්‍ර ඔස්‌සේ ලබාගන්නා බලය ද ඇතුළත් වෙයි. එහෙත් මෙහි අනතුරක්‌ ද වෙයි. මිනිසුන් තමන් ගෙන් වැඩ ගැනීම පිළිබඳව යක්‍ෂයන් හා භූතයන් පසු වන්නේ යහපත් සිතින් නො වේ. අවස්‌ථාව ලද කල්හි, අදාළ පුද්ගලයා යම් හේතුවක්‌ නිසා දුර්වල වූ කල්හි, ඒ පුද්ගලයාට විණ කිරීමට භූතයෝ ඉදිරිපත් වෙති. අපේ සංස්‌කෘතියේ කොටසක්‌ වූ සිංහල භාෂාව මේ සියල්ල ඉස්‌මතු කර දක්‌වයි. ආවේශය, ආරූඪය, අණවිණ ආදී යෙදුම් ගැන සිතා බලන්න.

එසේ භූතයන්, මිථ්‍යාදෘෂ්ටික දෙවියන් ආදීන් ආවේශ නො වූ අවස්‌ථාවල අපට අපේ මනස යනුවෙන් යමක්‌ ඇති බව දැනෙයි. කලින් කියා ඇති ආකාරයට මගේ මනස මගේ සරමෙන් වෙනස්‌ වෙයි. මා නොමැති ව මගේ සරම ගැන සිතන්නට හැකි වුවත්, මගේ සිරුර ගැන සිතන්නට හැකි වුවත්, මා නොමැති ව මගේ මනස ගැන සිතීමට නො හැකි ය. මගේ සරම මෙන් මගේ මනස පැත්තකින් තබා මට ඉවත් ව ගිය නො හැකි ය. මා යනු මගේ මනස මිස වෙනත් කිසිවක්‌ නො වේ. මගේ මනස පුටුව උඩ හෝ අල්මාරියෙහි හෝ ඇත යනුවෙන් අපට කිව නො හැකි ය.

මා මිය යැමෙන් පසු, එනම් වත්මන් භවය හැර යැමෙන් පසු, සිරුර දිගින් දිගට ම දිරාපත් වී අවසානයේ දී නැති වන නමුත් මගේ මනස ගැන එසේ කිව නො හැකි ය. මා මිය යැමෙන් පසු අනෙක්‌ භවයෙහි ලැගුම් ගන්නේ මනස ය. මා ඇති බව මා දැනගන්නේ සිරුර නිසා නො ව මනස නිසා ය. එහෙත් මනසක්‌ යනුවෙන් කිසිවක්‌ පවතින්නේ ද? මගේ මනස මගේ මනසෙන් තොර ව පවතින්නේ ද? මගේ මනස මගේ මනසෙන් තොර ව මොහොතකට වත්, ක්‍ෂණයකටවත් පවතින්නේ ද?

මා ඇති බව මා දැනගන්නේ, අහංකාරය ආදී සියල්ල ඇති වන්නේ මනස නිසා ය. අප ආත්මය යෑයි කියන්නේ ද අපේ මනසෙහි සාරයට ම මිස වෙනත් දෙයකට නො වේ. භවයෙන් භවයට සැරිසරන ආත්මයක්‌ ගැන බමුණෝ විශ්වාස කළ හ. එහෙත් බෞද්ධයෝ අනාත්මයක්‌ ගැන කියති. මනස වුව ද වෙනස්‌ වන බව තරමක්‌ කල්පනා කළ විට ප්‍රත්‍යක්‍ෂ වෙයි. අපේ සිතුවිලි නිරන්තරයෙන් වෙනස්‌ වෙයි. ඒ ඒ සිත ගන්නා අරමුණ වෙනස්‌ වන බව දැනගැනීමට බෞද්ධයකු වීමට අවශ්‍ය නැත. අපට දැන් මලක්‌ ගැන සිතා ඊළඟ මොහොතෙහි, තරුවක්‌ ගැන සිතිය හැකි ය.

ඒ ඒ චිත්තයෙහි අරමුණ වෙනස්‌ වුවත් මනස යනු මේ චිත්ත පරම්පරාව, පිළිවෙළ යෑයි ගත්තත් ඒ සියල්ල ඇතුළෙහි එහි සාරය නොවෙනස්‌ ව පවතින බවත් ආත්මය යනු ඒ සාරය බවත් බමුණෝ විශ්වාස කළ හ. භවයෙන් භවයට සැරිසරන්නේ මේ සාරය වූ ආත්මය බව බමුණන් ගේ විශ්වාසය විය. අවසානයේ දී ආත්මය බ්‍රහ්මන් සමඟ එකතු වීමෙන් විමුක්‌තුsය ලබාගත හැකි යෑයි බමුණෝ විශ්වාස කළ හ.

අද්වෛත වේදාන්තය අනුව ආත්මය බ්‍රහ්මන් සමඟ එකතු වීම යන්න වැරැදි බව මෙහි දී සඳහන් කළ යුතු ය. එයට හේතුව අද්වෛත වේදාන්තයෙහි බ්‍රහ්මන් හැරෙන්නට වෙනත් කිසිවක්‌ නොමැති වීම ය. බ්‍රහ්මන් ගෙන් වෙන් වූ ආත්මය යනුවෙන් යමක්‌ ඇතැයි පැවසීම එවිට නිවැරැදි නො වේ. අද්වෛත වේදාන්තවාදීන් කියන ආකාරයට අප බ්‍රහ්මන් ගෙන් වෙන් වූ ආත්මයක්‌ ගැන සිතන්නේ මායාව හේතු කොටගෙන ය. මායාව නැති කළ විට ඒකත්වය, එනම් බ්‍රහ්මන් වෙයි.

වෛදිකයන් ගේ, අද්වෛත වෙදාන්තවාදීන් ගේ ඇතැම් දැනුම් පංෙච්න්ද්‍රිය ගෝචර නො වේ බෞද්ධයන් ගේ ද ඇතැම් දැනුම් පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. ඒ දැනුම් පංෙච්න්ද්‍රිය ගෝචර නො වූවත් ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා දේ ය. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂය මනසෙන් පමණක්‌ කෙරෙන්නෙකි. පංචෙන්ද්‍රිය ගෝචර දැනුම් ද ප්‍රත්‍යක්‍ෂයෙන් දැනෙයි. මේසයක්‌ ඇති බව අපි ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමු. එහි දී පංෙච්න්ද්‍රිය ද අනෙක්‌ ඉන්ද්‍රිය වූ මනස ද එක්‌ ව ක්‍රියා කරයි. අපි ප්‍රත්‍යක්‍ෂයෙන් මේසයක්‌ ඇති බව දන්නේ මේ ඉන්ද්‍රිය හයේ ක්‍රියාකාරීත්වය නිසා ය.

එහෙත් එයින් කියෑවෙන්නේ මේසයක්‌ යනුවෙන් වස්‌තුවක්‌ ඇති බව නො වේ. මේසය යන්න මනස ද ඇතුළු අපේ ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂ වූ දැනුමක්‌ පමණ ය. එය මනසේ නිර්මාණයකි. මේසයක්‌ යනුවෙන් දෙයක්‌ නොමැති විට අපි පංචෙන්ද්‍රිය හා මනස ආධාරයෙන් මනසට හා පංචෙන්ද්‍රියට සාපේක්‍ෂව මේසය යනුවෙන් ඊනියා වස්‌තුවක්‌ නිර්මාණය කරමු.

අපේ ඊනියා ප්‍රත්‍යක්‍ෂ දැනුම එබඳු ය. මේ ප්‍රත්‍යක්‍ෂය හුදෙක්‌ මනසෙන් පමණක්‌ ද කළ හැකි ය. පංචෙන්ද්‍රිය නොමැති ව මනසෙන් පමණක්‌ ප්‍රත්‍යක්‍ෂ කිරීම බොහෝ සංස්‌කෘතීන්හි තිබේ. සෘජුව දෙවියන් සමඟ කෙරෙන සම්බන්ධකම්වල දී පංචෙන්ද්‍රිය නොමැති ව මනසෙන් පමණක්‌ ප්‍රත්‍යක්‍ෂ දැනුමක්‌ ලබාගන්නේ යෑයි සිතිය හැකි ය. පංෙච්න්ද්‍රිය සමඟ සම්බන්ධ වී ලබාගත්ත ද නැත ද මනසෙන් ලැබෙන ප්‍රත්‍යක්‍ෂ දැනුම වාස්‌තවික වූවක්‌, එසේත් නැත්නම් යථාර්ථයක්‌ යෑයි නො සිතිය යුතු ය. ඒ සියල්ල මනසෙහි නිර්මාණ වෙයි. මනසට සාපේක්‍ෂ වෙයි.

ඇතැම් බෞද්ධයෝ තමන් පිළිගන්නේ පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පමණක්‌ යෑයි කියති. ඒ අය නො දැන සිටිය ද හුදෙක්‌ පංචෙන්ද්‍රිය මත පමණක්‌ ම ලැබෙන දැනුමක්‌ නැත. පංෙච්න්ද්‍රිය නැති ව මනසෙන් පමණක්‌ ප්‍රත්‍යක්‍ෂ කළ හැකි දැනුම් තිබිණි ද, මනස නොමැති ව කිසිම දැනුමක්‌ නොමැත. ඒ කෙසේ වෙතත් මේ බෞද්ධයන් පුනබ්භවය පිළිගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අපට වෙයි. පුනබ්භවය පංෙච්න්ද්‍රිය ගෝචර නො වේ. අප බොහෝ දෙනකුට පුනබ්භවය පිළිබඳ දැනුම මනසෙන් ලබාගත හැක්‌කක්‌ ද නො වේ.

අපේ පෙර විසූ කඳ පිළිවෙළ දන්නෝ කී දෙනෙක්‌ වෙත් ද? ඒ දැනුම එක්‌කෝ සම්‍යක්‌දෘෂ්ටික දෙවි කෙනකු ගෙන් ලබාගත යුතු ය. එසේත් නැත හොත් භාවනාවෙන් සිත එක්‌ අරමුණක පිහිටුවා ඒ දැනුම ලබාගත යුතු ය. අදෘශ්‍යමාන බලවේග නැතැයි කියන පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පමණක්‌ විශ්වාස කරන බෞද්ධයන්ට පුනබ්භවයක්‌ නැත. ඔවුහු භාවනාවෙන් එවැනි දැනුම ලබාගැනීමට උත්සාහ කරන්නෝ නො වෙති. එසේ භාවනාවෙන් යම් දැනුමක්‌ ලැබුණ ද පංචෙන්ද්‍රිය නොමැති ව එසේ ලබන දැනුම් ඔවුහු විශ්aවාස කරත් ද?

අදෘශ්‍යමාන දෙවියන් නැතැයි කියන පංචෙන්ද්‍රිය මත පමණක්‌ වූ දැනුමක්‌ ගැන විශ්වාස කරන බෞද්ධයන්ට පුනබ්භවය ගැන දැනගැනීමට ක්‍රමයක්‌ නැත. ඔවුන් ඒ පිළිගන්නේ විශ්වාසය මත පදනම් ව විය යුතු ය. පංෙච්න්ද්‍රිය ගෝචර දැනුමක්‌ පමණක්‌ ම ඉල්ලන මේ බෞද්ධයන් ගේ විශ්වාසය පදනම් වන්නේ කිනම් පංෙච්න්ද්‍රිය මත ද ? කිසි ම සංගත බවක්‌ නොමැති මේ බෞද්ධයෝ බටහිර විද්‍යාවට බිය වී එයට දණ්‌ඩ නමස්‌කාර කරමින් පංෙච්න්ද්‍රිය නො ඉක්‌මවූ දැනුමක්‌ ඉල්ලති.

ඔවුන්ට පුනබ්භවය නැත. එසේ නම් අපි ඔවුන්ට බෞද්ධයන් යෑයි කියමු ද? බෞද්ධයන් ගේ වෑයම නිවන් අවබෝධය ය. එනම් සසරින් ගැලවීම ය. එතෙර වීම ය. එහෙත් මේ පංෙච්න්ද්‍රිය මත පමණක්‌ පදනම් වන ඊනියා බෞද්ධයන්ට සසරක්‌ නොමැති බැවින් ඔවුන්ට එතෙර වීමට දෙයක්‌ නැත. එබැවින් ඔවුන්ට නිවන් අවබෝධය අවශ්‍ය නැත. එහෙත් මොවුන් තමන් බෞද්ධයන් ලෙස හඳුන්වා ගන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි.

මොවුන් පංෙච්න්ද්‍රිය ගෝචර වීම ගැන පඬි කතා කියන්නේ බටහිර විද්‍යාව පංෙච්න්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පමණක්‌ පදනම් වන්නේ ය යන බොරුව හේතු කොටගෙන ය. එහෙත් ඔවුහු බොහෝ දේ නො දනිති. ඉලෙක්‌ට්‍රොaන පමණක්‌ නො ව ගුරුත්වාකර්ෂණය ද පංචෙන්ද්‍රිය ගෝචර නො වන බව ඔවුහු නො දනිති. බටහිර විද්‍යාවේ ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප පිළිගන්නා ඔවුහු සම්‍යක්‌දෘෂ්ටික හා වෙනත් දෙවියන් පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කරති.

මහාචාර්ය නලින් ද සිල්වා