logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


මගේ සිරුර හා මගේ සරම

අපට පළමුවෙන් ඇති වන සංකල්පය කුමක්‌ ද? මෙහි පළමුවෙන් ඇති වන සංකල්පය යන්නෙන් ඇතැම් විට වැරැදි අරුතක්‌ ලැබීමට හැකි ය. පළමුවෙන් යනු වෙනත් කිසි දිනෙක කිසි අවස්‌ථාවක නොමැති වූ අර්ථයකින් යෙදෙන සංකල්පයක්‌ නො වේ. අපි සංසාරයේ ගමන් කරන සත්ත්වයෝ වෙමු. එහි මුලක්‌ ආරම්භයක්‌ ගැන කතා කිරීම තේරුමක්‌ නැති වූවකි. මෙහි දී අප පළමු සංකල්පය යනුවෙන් අදහස්‌ කරන්නේ එලෙස මූලාරම්භයක ඇති වන සංකල්පයක්‌ නො වේ. අපේ සංසාර ගමනට ඉවහල් වන පළමුවැනි සංකල්පය කුමක්‌ ද යන්න ය.

සිංහල බෞද්ධයන් ගේ අවසන් අරමුණ නිවන ය. ඉපදීම, මරණය ආදී සියල්ල ඇත්තේ නිවන අවබෝධ වීමට පෙර ය. නිවන අවබෝධ වීමෙන් පසු නැවත ඉපදීමක්‌ නැත. තණ්‌හාව නැති කිරීම ආදී වශයෙන් ද නිවන හඳුන්වනු ලැබේ. තණ්‌හාව යන සංකල්පය ඇති වන්නේ සත්ත්වයනට ය. වෙනත් වචනවලින් කිව හොත් තම තමන්ට ය. එනම් තම තමන් යනුවෙන් කියෑවෙන මට ය. මම ය මගේ යන හැඟීම නො වන්නට තණ්‌හාවක්‌ නැත.

අප සසර ගමන් කරන්නේ තණ්‌හාව නිසා ය. රැස්‌ කිරීම, ඇලීම ආදිය සිදු වන්නේ මට ය. මම යන සංකල්පය නොමැති ව රැස්‌ කිරීමක්‌ ඇලීමක්‌ තිබිය නො හැකි ය. රැස්‌ කිරීමට, ඇලීමට, උපාදාන ඇති කර ගැනීමට මා සිටිය යුතු ය. තණ්‌හාව නැති කිරීමට මා යනුවෙන් තනාගෙන ඇති සංකල්පය නැති කළ යුතු ය. මමත්වය, මමායනය, අහංකාරය ආදී වශයෙන් මේ මා නිසා ඇති වන්නා වූ තත්ත්වයන් විස්‌තර කෙරෙයි. අහං යනු මා බව අවබෝධ කරගත යුතු ය.

මම, නාමය, මනස ආදී වශයෙන් විවිධාකාරයෙන් හඳුන්වනු ලැබූවත් මේ සියල්ල එකට බැඳී ඇත. මගේ මනස යනුවෙන් කී විට මා යනුවෙන් එක්‌ ප්‍රපංචයකුත්, මනස යනුවෙන් තවත් ප්‍රපංචයකුත් වේ ද? මගේ මනස හා මගේ සරම අතර ඇති වෙනස කුමක්‌ ද? මගේ සරම යන්න අනෙකකුටත් අවශ්‍ය නම් ඇඳිය හැකි ය. මගේ සරමට මා නැති වත් පැවැතිය හැකි ය. මා මළ පසුත් එතෙක්‌ දිරාපත් නො වී තිබිණි නම් සරම තවත් ටික කාලයක්‌ වත් පවතිනු ඇත.

මගේ සරම පමණක්‌ නො ව මගේ සිරුර ද එසේ ම ය. මට අවබෝධ වන අයුරින් නම් මගේ සිරුර යනු හුදු භෞතීය (ජෛවීය) වස්‌තුවකි. එය ඇති වීම ආරම්භ වන්නේ මවු කුසයෙහි දී ය. එසේ කලලයක්‌ ඇති වීමෙන් පසු ජෛවීය වස්‌තුවක්‌ ලෙස එයට ආවේණික වූ වර්ධනයක්‌ වෙයි. සෛල බෙඳී බෙදී කලලය ක්‍රමයෙන් මවු කුස තුළ වැඩෙයි. එහෙත් කලලයට දිගින් දිගට ම එලෙස වර්ධනයක්‌ නැත. සත්ත්ව කලලයක්‌ හා ගසක්‌ වැනි වෙනත් ජීවියකු අතර ප්‍රධාන වෙනස ද එය යෑයි මම සිතමි.

මවු කුස තුළ වැඩෙන සත්ත්ව කලලයක්‌ යම්කිසි කාල පරිච්ඡේදයකින් පසුව තවදුරටත් වර්ධනය වීමට නම් ඒ කලලයට ගන්ධබ්බයකු ඇතුළු විය යුතු යෑයි සිතමි. එසේ යම් කාල සීමාවක ගන්ධබ්බයකු හෝ ගන්ධබ්බ යන නමට අකැමැති නම් ප්‍රාණියකු හෝ නාමයක්‌ හෝ කුසලාකුසල ශක්‌තියක්‌ හෝ වෙනත් එවැනි නාම පදයකින් හැඳින්වෙන යම් ක්‍රියාවලියක්‌ හෝ යම් කාලයක දී කලලයට ඇතුළු නො වී නම් කලලයේ වර්ධනය ඇණහිට එය සේදී යන්නේ යෑයි සිතිය හැකි ය. ගබ්සාවක්‌ ඇති වීමේ එක්‌ මානයක්‌ (විධියක්‌) ලෙස එය හැඳින්විය හැකි යෑයි සිතමි.

එහෙත් ඒ කාල පරිච්ඡේදයෙහි යම්කිසි ශක්‌තියක්‌ කලලයට ඇතුළු වී නම් කලලය ද ශක්‌තිය ද එකිනෙක සමඟ බැඳී වර්ධනය වීම අරඹන්නේ යෑයි සිතිය හැකි ය. එහි දී එතෙක්‌ කලලය මවුපියන් ගේ ජාන මඟින් බීජ නියාමයට අනුව නිර්මිත වුවත් නිර්ණයනය වුවත් ඉන්පසු කලලය වර්ධනය වන්නේ ප්‍රාණියා ගේ හෝ ශක්‌තියේ හෝ අවශ්‍යතාව ද පරිදි ය. එහි දී බීජ නියාමය මෙන් ම කම්ම නියාමය ද බලපාන බව පෙනී යයි. වෙනත් වචනවලින් කිව හොත් ප්‍රාණියා තමන්ට අවශ්‍ය පරිදි, එනම් කුසලාකුසල ශක්‌තියට සරිලන ආකාරයට කලලය වෙනස්‌ කරයි. කලලයේ අවශ්‍යතා පරිදි සුළු වශයෙන් වුවත් නාමය ද වෙනස්‌ වන්නේ යෑයි අපට සිතිය හැකි ය.

එහෙත් ඉන්පසු කලලය ප්‍රාණියා සමඟ එකතු වී දිගින් දිගට ම වර්ධනය වන්නේ යෑයි නො සිතිය යුතු ය. මවුපියන් ගේ ද, කලලයට ඇතුළු වූ ප්‍රාණියා ගේ ද, කුසලාකුසල ශක්‌තීන් මත ඒ වර්ධනය නැවතිය හැකි ය. එවැනි අවස්‌ථාවල දී ද ගබ්සාවන් සිදු වෙයි. ගබ්සාවන් සිදු වීමේ විවිධ මාන ඇති බව පැහැදිලි ය. අවසානයේ දී කලලය වැඩී මනසක්‌ සමඟ සත්ත්වයකු මවු කුසින් බිහි වීමෙන් පසුව ඒ සත්ත්වයා කොපමණ කලක්‌ ජීවත් වේ ද? උත්පත්තියේ දී ම මියා යා වි ද ආදිය නැවතත් සත්ත්වයා ගේ කුසලාකුසල ශක්‌තීන් මත තීරණය වෙයි.

ඒ ක්‍රියාවලීන් මට අවබෝධ වන ආකාරයට තරමක්‌ දුරට විස්‌තර කෙළේ උත්පත්තිය සමඟ අපට හිමි වී ඇති සිරුර හෙවත් රූපය ගැන සඳහන් කිරීමට ය. සිරුර (රූපය) මනසේ (නාමයේ) නිර්මාණයක්‌ නො වුණ ද කලලයට ප්‍රාණියා පැමිණි අවස්‌ථාවේ සිට ම මෙන් ප්‍රාණියා කලලය සුළුවෙන් වුවත් වෙනස්‌ කරන්නට පටන් ගන්නේ යෑයි සිතිය හැකි ය. ඒ වෙනස්‌ කිරීම් යම් දුරකට මනසට සිරුර සම්බන්ධයෙන් පසු කාලවල ද කළ හැකි ය. අපට අපේ සිරුරේ ඇති ඇතැම් වේදනා ගෙන දෙන ස්‌ථාන භාවනාවෙන් සිතට අරමුණු කරගෙන ඒ වේදනාවලින් නිදහස්‌ විය හැකි ය. සිරුරේ අදාළ කොටස අනිත්‍ය බව මෙනෙහි කරන විට ඒ රෝගය ද ඇතැම් විට සුව විය හැකි ය. සැම විට ම ඒ එසේ වන්නේ යෑයි මෙයින් නො කියෑවෙන බව අවධාරණය කළ යුතු ය.

මනස හා සිරුර අතර කිනම් සම්බන්ධයක්‌ තිබිsණි ද, ප්‍රාණියකු ගේ සිරුර යන්න ප්‍රාණියා ගෙන් වෙනස්‌ වෙයි. මගේ සිරුර යනු මගේ සරමට වැඩි දෙයක්‌ නො වේ. මා හා සිරුර යනු එකක්‌ නො ව දෙකකි. උත්පත්තියේ සිට ම සිරුර මෙන් ම මනස ද වෙනස්‌ වෙයි. ඒ දෙක ම අනිත්‍යයට යටත් ය. සිරුර හා මනස (රූපය හා නාමය) අතර සම්බන්ධයක්‌ තිබිණි ද, ඒ දෙක දෙකකි. මගේ සිරුර අවශ්‍ය නම් යම් යම් අවශ්‍යතා යටතේ වෙනත් අයට ද යොදාගත හැකි ය. එය මගේ සරම වෙනත් අයකු ඇඳීම වැනි දෙයකි. එහෙත් ඒ අතර වෙනස්‌කම් නැතිවා නො වේ.

වෙනත් අයකුට මගේ සරම ඇඳීම එතරම් අපහසු දෙයක්‌ නො වේ. එහෙත් වෙනත් අයකු මගේ සිරුර යොදාගන්නේ නම් ඒ සඳහා විශේෂිත වූ අවශ්‍යතා සම්පූර්ණ කළ යුතු වෙයි. එක්‌ මානයක දී මා මිය ගිය පසු, එනම් මා මේ වත්මන් සිරුර අත්හැර ගොස්‌ වෙනත් භවයක උත්පත්තිය ලැබීමෙන් පසු වෙනත් නාමයකට ඒ සිරුර තුළට රිංගිය හැකි ය. එහෙත් ඒ සඳහා සිරුරේ උෂ්ණත්වය යම් මට්‌ටමකට වැඩි විය යුතු අතර අවම වශයෙන් අත්‍යවශ්‍ය අවයව කිහිපයක්‌ ක්‍රියාත්මක තත්ත්වයක තිබි යුතු ය. ඒ අතර ඒ සිරුරට ඔබින කර්ම ශක්‌තියක්‌ ඇති ප්‍රාණියකු සිරුරේ උෂ්ණත්වය යම් මට්‌ටමකට පහත වැටීමට පෙර එයට රිංගා ගත යුතු ය. මෙවැනි අවස්‌ථා ඉතා විරල වුව ද ඒ සඳහා සාක්‍ෂි ඇත.

මගේ සිරුර වෙනත් ආකාරවලින් ද ඇතැම් විට වෙනත් අය විසින් යොදාගනු ලැබිය හැකි ය. අප ඇතැම් විට ආවේශ වෙනවා. වැහෙනවා ආදී වචන යොදා ගනිමු. එහි දී ද සිදු වන්නේ සිරුර අයත් යෑයි කියන ප්‍රාණියා සිරුරේ සිටිද්දී ම වෙනත් සත්ත්වයකු (බොහෝ විට භූතයකු) ඒ සිරුරට ම හෝ ප්‍රාණියා ගේ මනසට ම හෝ සම්බන්ධ වී ක්‍රියා කිරීම ය. එහි දී ශාන්ති කර්ම ආදියෙන් සිරුරට හෝ මනසට හෝ ආවේශ වී ඇති සත්ත්වයා පිටත් කර යෑවිය හැකි ය. කලින් ඡේදයෙහි සඳහන් කළ අවස්‌ථාවේ දී මෙන් නො ව මෙවැනි අවස්‌ථාවල දී එක්‌වර සත්ත්වයන් දෙදෙනකු ම සිරුරට අරක්‌ ගෙන සිටිනු නිරීක්‍ෂණය කළ හැකි ය. කලින් අවස්‌ථාවෙහි ප්‍රාණියකු රිංගන්නේ මළ ගිය අයකු ගේ සිරුරකට මිස ජීවත් ව සිටින සත්ත්වයකු ගේ සිරුරට නො වේ.

බටහිර ඊනියා පශ්චාත්නූතනවාදීන් කියන ආකාරයට අනෙකා නිසා මා ඇති නො වන බව ඉහත සඳහන් කරුණුවලින් ද පෙනී යා යුතු ය. සත්ත්වයන් ලෙස අප එකිනෙකා සසර ගමන් කරන්නේ තණ්‌හාව හේතු කොටගෙන මිස ඊනියා අනෙකකු නිසා නො වේ. මගේ සරමට මෙන් ම මගේ සිරුරට ද ඉතා සුළු කලකට වුවත් මා නැති ව පැවතිය හැකි ය. මා සිටියත් නැතත් සරම දිරාපත් වන අතර මා මිය ගොස්‌ ටික වෙලාවකින් වෙනත් සත්ත්වයකු එයට ඇතුළු නො වුණ හොත් සිරුර කුණු වී යැම ආරම්භ වනු ඇත. එහෙත් මා නැති වන්නේ කෙසේ ද? මා ඇති වන්නේ ඊනියා අනෙකකු නිසා නම් අනෙකා නැති වූ පසු මා නැති වන්නේ ද?

සසර අමතක කර මේ භවය පමණක්‌ සැලකුව ද ඊනියා අනෙකා මිය ගිය පසු ද මට පැවතිය හැකි ය. එහි දී ඊනියා පශ්චාත්නූතනවාදියකු පවසනු ඇත්තේ අනෙකා මිය යැමට පෙර මා නිර්මාණය වී ඇත යන්න ය. එනම් මගේ චරිත ලක්‍ෂණ ආදිය ඒ අනෙකා විසින් නිර්මාණය කෙරී ඇති බැවින් අනෙකා මිය යැමෙන් පසුව ද එසේ නිර්මාණය වූ ආකාරයේ ම මා පවතින බව ඊනියා පශ්චාත්නූතනවාදියා පවසනු ඇත. එහෙත් ප්‍රශ්නය වනුයේ අනෙකා මිය යැමෙන් පසුව ද මගේ චරිත ලක්‍ෂණ වෙනස්‌ විම ය.

පශ්චාත්නූතනවාදීන් ලෙස නම් කෙරෙන, බටහිර ක්‍රිස්‌තියානි නූතනත්වය කඩා වැටෙන කාලයේ බටහිර දාර්ශනිකයන් සමාජ විද්‍යාඥයන් ආදී වශයෙන් පෙනී සිටින කවටයන් මේ ඊනියා අනෙකකු ඔස්‌සේ යම්කිසි පුද්ගලයකු දැනගැනීමට උත්සාහ කරන්නේ ඇයි? මෙහි දී කිව යුතු කරුණක්‌ නම් ලංකාවේ සිටින පශ්චාත්නූතනවාදීන් යෑයි කියාගන්නවුන්ට මේ කිසිවක්‌ ගැන මෙලෝ අවබෝධයක්‌ නැති බව ය. හීනමානය හැරෙන්නට වෙනත් කිසිවක්‌ නොමැති මේ නූගත් අවිචාරවත් පිරිස තමන් වැනි ම වූ අය ඉදිරියේ කැපී පෙනීම සඳහා අනෙකා ආදී බහුබූත සංකල්ප වමාරති. එහෙත් ඔවුන් ඇතැම් විට නො දන්නා කරුණ නම් වැමෑරීම වෘෂභයන් ගේ ලක්‍ෂණයක්‌ බව ය.

ඒ කෙසේ වෙතත් ඊනියා අනෙකා යන සංකල්පය කඩා වැටෙන බටහිර ඇතැම් ගුරුකුලයක නිර්මාණය වී ඇත්තේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. එහෙත් එයට පළමුව අප කලින් ඇසූ ප්‍රශ්නයට පිළිතුරක්‌ දිය යුතු ය. එනම් මා නැති වන්නේ කෙසේ ද යන්න ය. මගේ සරම හෝ මගේ සිරුර හෝ දිරා යන ආකාරයෙන් මා ද එනම් නාමය ද යම් දවසක ක්‍රමයෙන් දිරා ගොස්‌ නැති වන්නේ ද? සිරුර හා මා අතර එසේත් නැත්නම් රූපය හා නාමය අතර ඇති වෙනස කුමක්‌ ද? අද බටහිර විද්‍යාඥයෝ පරීක්‍ෂාණාගාරයක දී ජීවියකු නිර්මාණය කිරීමට වෙහෙසෙති. විශ්වයේ පරිණාමයේ දී අකාබනික වස්‌තුන් ගෙන් කාබනික වස්‌තූන් නිර්මාණය වූ ආකාරයට කාබනික ද්‍රව්‍යයන් ගෙන් ජීවය නිර්මාණය කළ හැකි ද යන්න සොයා බැලීමට බටහිර විද්‍යාඥයෝ වෙහෙසෙති. බටහිර විද්‍යාඥයන්ට ප්‍රාණියා යන්නට ඉංගිරිසි වචනයක්‌ නැත. ඔවුහු ඒ සඳහා ද ලයිෆ් යන වචනය ම යොදා ගනිති. බටහිර විද්‍යාඥයන්ට ගස්‌වැල් ද ජීවීන් වෙයි. බටහිර විද්‍යාඥයන්ට ප්‍රාණියා යන්න කෙදිනක වත් තේරුම් ගත හැකි සංකල්පයක්‌ ද? කාබනික වස්‌තූන් ගෙන් ජීවය නිර්මාණය කිරීම එතරම් ප්‍රශ්නයක්‌ විය නො හැකි ය. එහෙත් මේ ජීවයට ප්‍රාණය දෙන්නේ කෙසේ ද? එය ද පරිණාමයේ ප්‍රතිඵලයක්‌ ලෙස අවබෝධ කරගත හැකි ද?

මහාචාර්ය නලින් ද සිල්වා