logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ඩොලී ගැන පාඩමක්‌

අතීතයට බලපාන පරිදි සංකල්ප නිර්මාණය කිරීම යන්න අප විසින් නිර්මාණය කරන ලද අදහසකි. ඉන්ද්‍රියානුභූතවාදයට ද ඒ අදහස ඉතා ප්‍රයෝජනවත් වෙයි. අපට, එනම් සාමාන්‍ය නිරීක්‍ෂකයන්ට අතීතය නිරීක්‍ෂණය කළ හැකි නො වේ. එහෙත් අතීතයේ සිදු වූ සංසිද්ධි සඳහා ද අප යොදා ගන්නේ වර්තමානයේ දී යොදා ගන්නා අදාළ සංකල්ප, ප්‍රවාද ආදිය ය. අතීතයේ දී පොල්ගස්‌වලින් පොල් වැටෙනු අපට නිරීක්‍ෂණය කළ නො හැකි ය. එහෙත් අපි අතීතයේ දී ද පොල්ගස්‌වලින් පොල් වැටුණු බව කියමු. පොල්ගස, පොල් ගෙඩිය ආදී සංකල්ප කවදා භාවිතයට පැමිණිය ද, අප ඒ සංකල්ප එදිනට පෙර සිට වැටුණු පොල්වලට ද යොදන්නෙමු.

පොල්ගස යන සංකල්ප අප ගේ නිර්මාණයකි. සියලු සංකල්ප අපේ නිර්මාණ වෙයි. මෙයින් අදහස්‌ කරන්නේ අප පොල් ගස නමින් හැඳින්වෙන භෞතික වස්‌තුව නිර්මාණය කෙළේ ය යන්න නො වේ. අපේ මනස ද ඇතුළු ෂඩේන්ද්‍රියට සාපේක්‍ෂව අප විසින් පොල්ගස යනුවෙන් සංකල්පයක්‌ නිර්මාණය කෙරී ඇත යන්න ය. මේ නිර්මාණය සාපේක්‍ෂ වන්නේ පංෙච්න්ද්‍රියට හා මනසට පමණක්‌ නො වේ. එය සංස්‌කෘතියට ද සාපේක්‍ෂ ය. අප පොල්ගසට පොල් ගෙඩි ගස යෑයි නො කියන්නේත් ඉංගිරිසින් එයට කොකනට්‌ ට්‍රී හෙවත් පොල් ගෙඩි ගස යෑයි කියන්නේත් මේ සංස්‌කෘතික සාපේක්‍ෂතාව නිසා ය.

සිංහලයන්ට පොල් ගසෙන් ලබාගන්නා මෝල් ගසක්‌ ඇති නමුත් ඉංගිරිසින්ට එවැනි මෝල් ගසක්‌ නැත. එමෙන් ම සිංහලයන් ගේ පොල් යන ප්‍රකෘතිය ඉංගිරිසින්ට කෙසේවත් නැත. සිංහලයෝ පොල්ගෙඩිය, පොල් ගස හා පොල් අත්ත ගැන පමණක්‌ නොව පොල් මල, පොල් මුල හා පොල් කෙක්‌ක ගැන ද කියති. ඉංගිරිසින්ට ඇට්‌ටි, කුරුම්බා, කුරුම්බාවල ද ඇට්‌ටි වූ කුරුම්බැට්‌ටි, හනසු ආදිය නැත. ඉංගිරිසිහු කිසිදාක ඇට්‌ටි හැලෙන්නට නො දෙති. ඇට්‌ටි හැලෙන්නට කතා කළ හැක්‌කේ සිංහලයන්ට ය.

ඒ සියල්ල මදිවාට සිංහලයන්ට කලටි (කලටි පොල්) ද පොල්තෙල් ද පොල් පැණි ද වෙයි. මේ අතර සිංහලයන්ට තැඹිලි, කුන්දිරා ආදී වූ විවිධ පොල් වර්ග ද වෙයි. ඉංගිරිසිකාරයාට තැඹිලි යෑයි කීමට කිං කොකනට්‌ අවශ්‍ය විය. ඔවුන්ට කුන්දිරා මොන කොකනට්‌ දැයි නො දනිමි. පඬියකු එයට ඩිවෝර්ෆ් කොකනට්‌ යෑයි කිවහොත් මම මවිත නො වෙමි. මේ සංස්‌කෘතික වශයෙන් සංකල්ප නර්මාණයෙහි දී ඇතිවන වෙනස්‌කම් ය. එසේ තිබිය දී පොල් යන්නට කොකනට්‌ යන්න ආදේශයක්‌ නොවන බව පැහැදිලි විය යුතු ය.

සිංහලයන් තරම් පොල් සම්බන්ධයෙන් විවිධ සංකල්ප නිර්මාණය කළ වෙනත් ජාතියක්‌ ඇත්දැයි නො දනිමි. ඇතැම් විට කේරළයේ මලයාලම් ජනවර්ගය තම බසින් පොල් සම්බන්ධයෙන් විවිධ සංකල්ප නිර්මාණය කර තිබෙන්නට හැකි ය. ඇතැමුන් ගේ මතය අනුව කේරළයට පොල් හඳුන්වා දී ඇත්තේ සිංහලයන් ය. මට එය නිශ්චිතව කිව නො හැකි ය. කෙසේ වුවත් පොල් සම්බන්ධයෙන් සිංහලයන් හා මලයාලම් ජනවර්ගය අතර ඇති සමාන අසමානකම් යම් සංස්‌කෘතික අධ්‍යයනයක දී විමසා බැලිය හැකි ය.

වී සම්බන්ධයෙන් ද සිංහලයන්ට ඇති වචන ඉංගිරිසින්ට නොමැත. එනේ ම ඇස්‌කිමෝවරුන්ට හිම සම්බන්ධයෙන් ඇති වචන සිංහලයන්ට නැත. විවිධ සංස්‌කෘතීන් විවිධ සංකල්ප නිර්මාණය කර ඇති බව පැහැදිලි ය. ඒ එසේ වන්නේ ඇයි? ඒ අතර බොහෝ සංස්‌කෘතිවල සුළු සුළු සමානකම් ද තිබිය හැකි ය. එසේ වන්නේ ඇයි? මේ අතර මිනිසුන් නොවන සත්ත්වයන් අතර ඇති සංකල්ප පිළිබඳ අපේ අවබෝධය කුමක්‌ ද?

මිනිසුන් නොවන සත්ත්වයන්ට මනසක්‌ ඇතැයි සිංහලයන් (සිංහල බෞද්ධයන්) ඉතා ඈත අතීතයේ සිට ම දන්නා නමුත් බටහිරයන් මෑතක්‌ වන තුරුම සිතා සිටියේ අනෙක්‌ සතුන්ට මනසක්‌ නොමැති බව ය. අද ද සතුන්ට මනසක්‌ ඇතැයි සිතන්නේ බටහිර උපන් බටහිර විද්‍යාඥයන්ගෙන් කිහිප දෙනෙකු පමණ ය. බටහිර උපන් බටහිර විද්‍යාඥයන් නොවන අය පොදුවේ ගත්කල අනෙත් සතුන්ට මනසක්‌ නැතැයි සිතති. මේ වෙනසට හේතුව ද සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි හා බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ඇති වෙනස්‌කම් ය.

සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ජීවියා යන්නට අමතරව ප්‍රාණියා යන සංකල්පය ද වෙයි. ගස්‌ ද ජීවීන් නමුත් ප්‍රාණින් නො වේ. මේ ප්‍රාණීහු සත්ත්වයෝ වෙති. ඔවුහු සසර සැරි සරති. කුසල් අකුසල් රැස්‌කර ගනිති. මේ භවයේ මිනිසකු ලෙස උත්පත්තියක්‌ ලත් සත්ත්වයකු ඊළඟ භවයෙහි දී බල්ලකු පණුවකු දෙවියකු අමනුෂ්‍යයකු විය හැකි ය. ඒ සියල්ලන්ට මනස්‌ ඇත. එසේ නොමැතිව සංසාරය යන්න අරුත් සුන් සංකල්පයක්‌ වෙයි. සිංහල බෞද්ධයෝ සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරති. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙති. එහෙත් අද මේ සියල්ල බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතික ආධිපත්‍යය යටතේ වෙනස්‌ වී ඇත.

බටහිරයන්ට මේ සම්බන්ධයෙන් ඇති සංකල්ප කවරේ ද? ඔවුන්ට අනුව දෙවියන් වහන්සේ සත්ත්වයන් ද මවා අවසානයේ දී මිනිසාට භාර කර ඇත. ඔවුන්ට කුසන් අකුසල් පිළිබඳ සංකල්ප හෝ සංසාරය පිළිබඳ සංකල්පය නැත. ඔවුන් අනෙක්‌ සතුන් ගැන සිතන්නේ මිනිසුන් වෙනුවෙන් මවන ලද ජීවීන් ලෙස ය. සතුන් මරා මස්‌ අනුභව කිරීම බටහිරයන්ට ප්‍රශ්නයක්‌ නො වෙයි. සතුන්ට මනස්‌ ඇතැයි යන සංකල්පයක්‌ එවැනි සංස්‌කෘතීන්හි නිර්මාණය කළ හැකි නො වේ.

බටහිර විද්‍යාවේ සතුන් ගැන අධ්‍යයනය කෙරෙන්නේ මේ පසුබිමෙහි ය. සිංහල බෞද්ධ විද්‍යාවක සතුන් ගැන අධ්‍යයනය කෙරෙන්නේ වෙනත් පසුබිමක ය. එහෙත් අද අපේ පාසල්වල ද බටහිර අනුකාරකයන් ගේ පාරාදීසය වූ විශ්වවිද්‍යාලවල ද ඉගැන්වෙන්නේ බටහිර සත්ත්ව විද්‍යාව ය. ඒ අප බටහිර සංස්‌කෘතික ආධිපත්‍යයට යට වී සිsටින බැවින් ය. එසේ වූ පමණින් සංසාරය පසුබිම් කරගත් සිංහල බෞද්ධ විද්‍යාව නැති වන්නේ නො වේ.

එකම දෙමව්පියන් ගේ දරුවන් එකිනෙකාගෙන් වෙනස්‌ වන බව නොදන්නෝ වෙත් ද? එය නිරීක්‍ෂණයකි. දරුවන් හා දෙමව්පියන් යන සංකල්ප මොනයම් ආකාරයකින් වුවත් ඇතිකර ගැනීමෙන් පසු එකම පවුලේ වෙනස්‌ ගති පැවතුම් ඇති දරුවන් ඇති බව බොහෝ සංස්‌කෘතිවල තේරුම් ගත හැකි ය. එහෙත් ඒ එසේ වන්නේ ඇයි? එයට දෙන පිළිතුර සංස්‌කෘතියට සාපේක්‍ෂ\ ය. සිංහල බෞද්ධයන්ට එහි දී කර්මය ද වැදගත් හේතුවක්‌ වෙයි. එහෙත් එය එක ම හේතුව නොවන බව ඔවුහු දනිති. සිංහල බෞද්ධයෝ ඒක හේතුවාදී නො වෙති.

බටහිරයෝ එකම පවුලක දරුවන් වෙනස්‌ වන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමේ දි කර්මය යොදා නො ගනිති. ඔවුන් ඇතැම් විට තමන් හොඳින් නො දන්නා ජාන මත යෑපෙනවා විය හැකි ය. ජාන තාක්‍ෂණයෙන් සියලු දරුවන් එකම ආකාරයේ දරුවන් බවට පත්කර ගත හැකි යෑයි කිසිවකු සිතන්නේ ද? පසුගිය වකවානුවෙහි ඩොලී නම් බැටළු දෙනගෙන් ඇරඹී ක්‌ලෝනීකරණය යනුවෙන් හැඳින්වෙන ප්‍රජනනය සඳහා වූ පිටපත් කිරිම (වෙනත් ක්‌ලෝනීකරණ ද ඇතිබව අමතක නො කළ යුතු ය) මගින් එකම සත්ත්වයකුගෙන් සත්ත්වයන් දෙදෙනකු ඇති කරගතහොත් ඒ සතුන් දෙදෙනා එක ම ආකාරයෙන් වන්නේ යෑයි බටහිර ජීව විද්‍යාව කියන්නේ ද?

පැහැදිලිව ම ඔවුන් දෙදෙනා වෙන වෙන ම ගතිපැවතුම් ඇති සතුන් දෙදෙනකු වනවා පමණක්‌ නොව ඔවුන් මුල් සත්ත්වයාගෙන් ද වෙනස්‌ වනු ඇත. ඩොලී ද ඩොලී ගේ මවගෙන් (පියාගෙන්) වෙනස්‌ වන්නට ඇත. ඒ පැත්තකින් තබන්න. එකම සෛලය දෙකට බෙදීමෙන් බිහිවන නිවුන් දරුවන් වෙනස්‌ වන්නේ ඇයි දැයි බටහිර ජීව විද්‍යාවට තේරුම් කළ හැකි ද? හැකිනම් එසේ තේරුම් කරන ලෙස අපි අභියෝග කරමු. ජීවය යනු හුදෙක්‌ ජීවයෙන් (ජානවලින් ආදියෙන්) පමණක්‌ තේරුම් ගත හැකි නො වේ. එහි දී වෙනත් හේතු= ද බලපායි.

ඩොලී බිහි වීමෙන් පසුව ඇතැම් ඊනියා සිංහල බෞද්ධයෝ ද කලබලයට පත්වූහ. මොවුන් සිංහල බෞද්ධයන් නොවේ ය යන්න මාගේ පිළිගැනීම ය. මොවුන් සිතුවේ ඩොලී හා ඇගේ පියා හෝ මව හෝ එක ම සත්ත්වයා ය කියා ය. මේ පිළිබඳව අපි ඒ දිනවල ම කරුණු පැහැදිලි කෙළෙමු. නාමයට බොහෝ විට රූපයක්‌ (ශරීර කූඩුවක්‌) අවශ්‍ය වෙයි. ඒ රූපය ප්‍රජනනය සඳහා වූ පිටපත් කිරීමෙන් ඇති වන්නේ ද, ලිංගික හෝ අලිංගික හෝ ක්‍රියාවලියක්‌ නිසා ඇතිවන්නේ ද ආදිය සිංහල බෞද්ධයනට ප්‍රශ්න නො වේ. නාමය රූපයට ඇතුල් වීමෙන් පසුව රූපය ද යම් පමණකට වුවත් තමන්ට අවශ්‍ය අන්දමින් ද හැඩගස්‌සවා ගනියි. ඒ ගෙයක්‌ මිලදී ගන්නා තැනැත්තකු තමන්ට අවශ්‍ය ආකාරයට ගෙහි සුළු සුළු වෙනස්‌කම් ඇති කරනවා මෙනි.

රූපය කෙසේ ඇති වුවත් එයට ඇතුල්වන නාමය, මනස(මෙය වෙනස්‌ නොවන්නක්‌ ලෙස නො සිතිය යුතු ය. එසේ වෙනස්‌ නො වන්නේ යෑයි සිතන්නා ආත්මවාදීයෙක්‌ මෙන් ම නිත්‍යවාදියෙක්‌ ද වෙයි. එහිදී වෙනස්‌ නොවන සුළු මොහොතක්‌, ක්‍ෂණයක්‌ තිබිය නො හැකි ය) වෙනත් ම සත්ත්වයෙකි. බටහිර ජීව විද්‍යාඥයන්ට අපට මේ ප්‍රජනනය සඳහා වූ පිටපත් කිරීම්වලින් බිහි වූ සතුන් ගේ ගති පැවතුම් ශාරීරික ලක්‍ෂණ ආදිය ඔවුන් ගේ මව ගේ හෝ පියාගේ හෝ ගති පැවතුම් ශාරීරික ලක්‍ෂණ ආදිය සමඟ සංසන්දනය කරන වාර්තා ඉදිරිපත් කරන්නේ ද? මෙරට සිටින බටහිර ජීව විද්‍යාඥයන්ට මෙහි දී තම ස්‌වාමීන්ගෙන් මේ විස්‌තර ලබාගෙන අපට ආධාර කළ හැකි ය.

ඉතා පැහැදිලිව ම එවැනි සතකු හා ඔවුන් ගේ මව හෝ පියා හෝ අතර යම් වෙනස්‌කම් තිබිය යුතු ය. උදාහරණයක්‌ ලෙස කොර නොවූ බැටළුවකුගෙන් ප්‍රජනනය සඳහා වූ පිටපත් කිරීම්වලින් කොර බැටළුවකු බිහිවීමේ සම්භාවිතාවක්‌ ඇත. එයට හේතුව ඒ සත්ත්වයන් දෙදෙනකු වීමත් ඔවුන් ගේ කර්ම ශක්‌තීන් වෙනස්‌ වීමත් නිසා ය. සිංහල බෞද්ධයෝ මේ වෙනස්‌කම් තම විද්‍යාවෙහි කම්ම නියාමය ආධාරයෙන් තේරුම් ගනිති. කොරවීමට තරම් අකුසල් ශක්‌තියක්‌ ඇති බැටළුවකු ගේ නාමය(මනස) පිටපත් කිරීමෙන් නිර්මාණය කරන ලද ශරීර කූඩුවකට ඇතුල් වීමෙන් පසු ශරීර කුඩුව කර්මානුරූපව වෙනස්‌වනු ඇත. එහි අනෙක්‌ පැත්ත ද සිදුවීමට ඉඩ ඇත. ඊනියා පිටපත් කිරීමෙන් වුව ද කොර බැටළුවකු ගෙන් කොර නො වූ බැටළුවකු කම්ම නියාමය අනුව බිහිවිය හැකි ය. එහෙත් කම්ම නියාමය යනු එක්‌ නියමයක්‌ පමණක්‌ බවත් බීජ නියාමය ආදී වශයෙන් තවත් නියාම හතරක්‌ ඇති බවත් සිංහල බෞද්ධයෝ දනිති. නැවතත් කිව යුත්තේ සිංහල බෞද්ධයන් බටහිර විද්‍යාඥයන් මෙන් එක්‌ හේතුවකට සියල්ල ඌනනය කරන ඌනිතවාදීන් නොවන බව ය.

මහාචාර්ය නලින් ද සිල්වා