logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


කෝපන්හේගන් විවරණය යථාර්ථවාදී වීම

මිනිසුන් නිරීක්‍ෂණය කළත් නැතත්, විඥනයක්‌ සහිත නිරීක්‍ෂකයන් සිටියත් නැතත් අංශු ගැටෙයි. එසේ ගැටීමෙන් පසු ඇතැම් විට ප්‍රතිබද්ධ ගුණවලට අගය ලැබෙනු ඇත. එහෙත් මේ අගය පමණක්‌ නො ව අංශූ ද ඇත්තේත් එදා තිබුණේත් අද අප වැනි නිරීක්‍ෂකයන් නිරීක්‍ෂණය කරන, අර්ථකථනය කරන ආකාරයට මිස ඊනියා වාස්‌තවික පරමාර්ථ ආකාරයකට නො වේ. විද්‍යාලංකාර විවරණයේ ප්‍රධාන කරුණක්‌ වනුයේ එයයි.

ඊනියා යථාර්ථවාදී විවරණය අනුව, අංශු අප ඇතත් නැතත් පවතියි. එපමණක්‌ නො ව අංශුවල ප්‍රතිබද්ධ ගුණවලට මැන්නත් නැතත් යම්කිසි නිශ්චිත අගයක්‌ වෙයි. ඊනියා යථාර්ථවාදීන්ට අනුව ක්‌වොන්ටම් භෞතිකයට මේ අගය කුමක්‌ දැයි කල් තබා කිව හැකි නො වන බැවින් ඒ දැනුම් පද්ධතිය අසම්පූර්ණ වෙයි. මෙහි වැදගත් කරුණු තුනක්‌ කියෑවෙන බව තේරුම් ගත යුතු ය. ඉන් කරුණු දෙකක්‌ අපි පළමුව සඳහන් කරමු. එකක්‌ නම් මැන්නත් නැතත් අංශුවල ප්‍රතිබද්ධ ගුණවලට නිශ්චිත අගයන් තිබෙන බව ය. අනෙක ඒ නිශ්චිත අගය ගැන පුරෝකථනයක්‌ කිරීමට ක්‌වොන්ටම් භෞතිකයට නොහැකි බව ය.

මේ කරුණු දෙක සම්බන්ධයෙන් විද්‍යාලංකාර විවරණයෙහි දී කියෑවෙන්නේ වෙනත් ම දෙයකි. එහි ක්‌වොන්ටම් අංශුවලට මැන්නත් නො මැන්නත් ප්‍රතිබද්ධ ගුණවලට නිශ්චිත අගයන් ඇතැයි නො පිළිගැනෙයි. එහි දී කියෑවෙන්නේ එවැනි අගය එකකට වඩා ඇති බවත් මැනීමක්‌ හෝ මැනීමට ලක්‌ කිරීමක්‌ හෝ හේතුවෙන් ඒ ගුණයකට අගයක්‌ ලැබෙන බවත් එසේ ලැබෙන අගය නිරීක්‍ෂණය කිරීමට හැකි බවත් ය. කෝපන්හේගන් විවරණයෙහි දී ප්‍රතිබද්ධ ගුණවලට එකදු අගයක්‌ වත් නැතැයි ද එයට අගයක්‌ ලබා දෙන්නේ නිරීක්‍ෂකයා යෑයි ද කියෑවෙයි.

විද්‍යාලංකාර විවරණයත් කෝපන්හේගන් විවරණයත් යන දෙක ම මැනීමට පෙර ඒ අගය පුරෝකථනය කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් එකඟ වෙයි. විද්‍යාලංකාර විවරණයෙහි දී මැනීමට පෙර යන්න මැනීමට හෝ මැනීමට ලක්‌ කිරීමට හෝ පෙර යනුවෙන් සංශෝධනය වෙයි. එයට හේතුව නිරීක්‍ෂකයන් ගේ සවිඥනික මැදිහත් වීමකින් තොර ව ද ඒ ගුණවලට අගයක්‌ ලබාගත හැකි බැවිනි. මේ කරුණු අප කීප වතාවක්‌ ම සඳහන් කර ඇති නමුත් ඒ බව නැවත නැවතත් මතක්‌ කිරීමේ වරදක්‌ නැත.

දැන් අපි තුන්වැනි කරුණ ගැන වැඩිදුරටත් සාකච්ජා කරමු. මෙය ක්‌වොන්ටම් භෞතිකයෙහි මෙන් ම නිව්ටෝනීය හා සාපේක්‍ෂතාවාදී භෞතිකයේදීත්, එනම් සම්භාව්‍ය භෞතිකයේත් වැදගත් වෙයි. එහි දී ඊනියා යථාර්ථවාදී විවරණයෙන් කියෑවෙන්නේ අප අද මනින අගය පමණක්‌ නො ව අංශු ද ලෝක නිර්මාණයේ සිට හෝ විකාශනයේ ඒ අංශු ඇති වූ දිනයේ සිට හෝ සැම දා මත් ලෝකයේ (විශ්වයේ) පැවැති බව ය. අප වැනි සවිඥනික නිරීක්‍ෂකයන් කරන්නේ මේ අංශු සහ ගුණ සොයා ගැනීම ය. එමෙන් ම ඒ ගුණවල අගය ද මැන ගැනීම ය.

අපට මෙහි දී පැහැදිලි කිරීම සඳහා සම්භාව්‍ය භෞතිකය යොදාගත හැකි ය. විශේෂයෙන් ම නිව්ටෝනීය යාන්ත්‍රිකය යොදාගත හැකි ය. එසේ කරන්නේ එය කා හටත් පාහේ තේරුම් ගත හැකි සරල පද්ධතියක්‌ වන බැවිනි. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි අංශුවක හෝ වස්‌තුවක හෝ ගම්‍යතාව මෙන් ම පිහිටීම ගැන ද එක්‌ විට කියෑවෙයි. ඒ ගුණ ප්‍රතිබද්ධ ගුණ වුවත් නිව්ටෝනීය යාන්ත්‍රිකයට එහි ගැටලුවක්‌ නැත. ඒ ගුණවල අගය එකවිට පවතින අතර ඒවා එක විට මැනගත හැකි ද වෙයි. එපමණක්‌ නො වේ. මැනගත්තත් නැතත් නිරීක්‍ෂණය කළත් නැතත් ඒ අගය මෙන් ම අංශු හා වස්‌තු ද පවතියි.

කෝපන්හේගන් විවරණයට ද නිව්ටෝනීය අංශූ හා වස්‌තු සම්බන්ධයෙන් ගැටලුවක්‌ නැත. එයට අනුව ද නිව්ටෝනීය අංශු හා වස්‌තු පවතියි. අප නිරීක්‍ෂණය කළත් නැතත් ඒ අංශු හා වස්‌තු පවතියි. එසේ නම් වර්තමානයේ දී මෙන් ම ඉතා ඈත අතීතයේ දී ද ඒ අංශු හා වස්‌තු ද එහි ගුණ ද අපෙන් තොර ව, එනම් නිරීක්‍ෂකයා ගෙන් තොර ව පැවැතිය යුතු ව ඇත. නිව්ටෝනීය අංශු හා වස්‌තු නිරීක්‍ෂකයා ගෙන් තොර ව පවතින්නේ යෑයි කෝපන්හේගන් විවරණයෙහි කියන්නේ යෑයි අප සඳහන් කරන්නේ එයට පටහැනි වන්නක්‌ එහි කියා නැති බැවිනි. එහෙත් මෙහි ගැටලුවක්‌ ඇතැයි යමකුට සිතෙන්නට හැකි ය. ඉන්ද්‍රියානුභූතවාදයට අනුව නිරීක්‍ෂණය කළ නො හැකි දේ ගැන කිසිවක්‌ කිව නො හැකි ය. ඈත අතීතයේ යමක්‌ පැවැතියේ යෑයි ඉන්ද්‍රියානුභූතවාදයට අනුව අප තීරණය කරන්නේ කෙසේ ද? මෙහි දී ද අතීතයට බලපාන පරිදි නිරීක්‍ෂකයා තම සංකල්ප නිර්මාණය කරගන්නේ ය යන්න යොදා ගැනීමට සිදු වෙයි. ඉන්ද්‍රියානුභූතවාදයට ප්‍රශ්නයක්‌ වන්නේ වර්තමානයේ දී ද යමක්‌ නිරීක්‍ෂණය කිරීමට නො හැකි වූ විට ඒ සම්බන්ධයෙන් නිගමනවලට පැමිණීමේ දී ය. ක්‌වොන්ටම් අංශුවක හෝ පද්ධතියක හෝ ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ගැන ද වර්තමානයේ දී ද ඒ නිරීක්‍ෂණය කරන තෙක්‌ කිසිවක්‌ කිව නො හැකි ය.

එහෙත් වර්තමානයේ දී නිව්ටෝනීය අංශුවක පිහිටීම හා ගම්‍යතාව ගැන යමක්‌ කීම කෝපන්හේගන් විවරණයට ප්‍රශ්නයක්‌ නො වන්නේ ඒවා සමගාමී ව නිරීක්‍ෂණය කළ හැකි බැවිනි. එබැවින් ඒ ගුණ නිරීක්‍ෂකයා ගෙන් තොර ව පවතින්නේ යෑයි කීම කෝපන්හේගන් විවරණයට ගැටලුවක්‌ නො වෙයි. එයින් පෙනී යන්නේ නිව්ටෝනීය ඉන්ද්‍රිය ගෝචර අංශු හා පද්ධති හා සාධාරණ වශයෙන් ඉන්ද්‍රිය ගෝචර සංකල්ප සම්බන්ධයෙන් කෝපන්හේගන් විවරණය ද ඊනියා යථාර්ථවාදී විවරණයක්‌ බවට පත් වන බව ය.

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි හා සංකල්ප සම්බන්ධයෙන් ඊනියා යථාර්ථවාදී විවරණයක්‌ බවට පත් වීමටත් ඉන්ද්‍රිය ගෝචර නො වන සංසිද්ධි සම්බන්ධයෙන් වෙනත් ස්‌ථාවරයකටත් යොමු වන්නේ ඉන්ද්‍රියානුභූතවාදයේ ආභාසයෙනි. එකී ඉන්ද්‍රියානුභූතවාදයේ පුරෝගාමියෙකු වූ අර්නස්‌ට්‌ මාක්‌ විද්වතා භෞතික විද්‍යාවේ පැහැදිලි කිරීම් ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලින් පමණක්‌ කළ යුතු බව ප්‍රකාශ කෙළේ ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලට විශේෂිත වැදගත්කමක්‌ ආරෝපණය කිරීමෙන් ය.

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රිය ගෝචර සංකල්ප සම්බන්ධයෙන් එතරම් වැදගත්කමක්‌ දැක්‌වූයේ මාක්‌ විද්වතා වැන්නන් ඉන්ද්‍රියානුභූතවාදයේ දී ද එලෙස ම ක්‍රියා කර ඇති බැවින් යෑයි සිතිය හැකි ය. මාක්‌ විද්වතා බුදුදහම ගැන ද උනන්දුවක්‌ දැක්‌වූවෙක්‌ විය. ඔහු බුදුදහමේ ප්‍රත්‍යක්‍ෂය ගැන කියන දේ ඇතැම් විට වැරැදියට අවබෝධ කරගත්තා විය හැකි ය. බුදුදහමේ ප්‍රත්‍යක්‍ෂය යනු පංෙච්න්ද්‍රිය ගැන කතා කරන ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකට වඩා බටහිර අර්ථයෙන් නම් ඉන්ද්‍රිය ගෝචර නො වන ප්‍රත්‍යක්‍ෂයකි. එය ඉන්ද්‍රියක්‌ වූ ද එහෙත් බටහිරයන් ගේ පංෙච්න්ද්‍රියන්ට අයත් නො වන්නා වූ ද මනසට ඇති වන ප්‍රත්‍යක්‍ෂයකි.

මාක්‌ විද්වතාට මේ ගැන එතරම් නිරවුල් වැටහීමක්‌ නොවූ බව පැහැදිලි ය. ඔහුට පමණක්‌ නො ව බුදුදහම ගැන ලියන කියන බොහෝ බටහිර පඬුවන්ට බුදුදහමේ සංකල්ප ගැන එතරම් අවබෝධයක්‌ නැත. එහෙත් අපේ බෞද්ධ විද්වත්තු බොහෝ විට බුදුදහමේ එන ධර්ම කරුණු ද පැහැදිලි කර ගැනීම සඳහා බටහිර පඬුවන් වෙත ඇදී යන්නේ පහනට ආකර්ෂණය වන ඇතැම් කෘමීන් මෙනි. ඔවුහු විනාශය කරා ඇඳී යති.

ඒ කෙසේ වෙතත් ඉන්ද්‍රියානුභූතවාදය අනුසාරයෙන් ගොඩනැඟුණු කෝපන්හේගන් විවරණයෙන් බටහිර දර්ශනයේ ඇතැම් අංශවලට පහර වැදිණි. විශේෂයෙන් ම වාස්‌තවික දැනුමට හා අඩු ම තරමින් ඉන්ද්‍රිය ගෝචර නො වන වස්‌තු සම්බන්ධ දැනුම සම්බන්ධයෙන් නිරීක්‍ෂකයා ගේ ස්‌වායත්ත වීමට දරුණු ප්‍රහාරයක්‌ එල්ල විණි. ඉන්ද්‍රිය ගෝචර නො වන, එනම් පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වන සංකල්ප ඉන්ද්‍රිය ගෝචර වීමේ දී නිරීක්‍ෂකයා ගේ මැදිහත් වීම මෙහි දී අපේ විශේෂ අවධානයට යොමු වෙයි.

ක්‌වොන්ටම් අංශුවක ප්‍රතිබද්ධ ගුණය ගැන කිසිවක්‌ කිව නො හැකි බවත් එහි දී ඒ ප්‍රතිබද්ධ ගුණයේ අගය ලබා දෙන්නේ නිරීක්‍ෂකයා ය යන බවත් ප්‍රකාශ කිරීමෙන් කෝපන්හේගන් විවරණය විසින් නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂණය අතර සම්බන්ධය එළි දැක්‌විණි. මෙය අඩු ම තරමෙන් ක්‌වොන්ටම් අංශු වැනි ඉන්ද්‍රිය ගෝචර නො වන පද්ධතීන් සම්බන්ධයෙන් වාස්‌තවිකත්වයට හා යථාර්ථයට එල්ල කරන ලද මරු පහරක්‌ විය.

1982 දී ඇස්‌පෙ විද්වතා විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසු කෝපන්හේගන් විවරණය තහවුරු විය. ඒ සමඟ නිරීක්‍ෂකයා හා නිරීCෂ්‍යය වෙන් කරනු ලැබූ කාටිසීය තාප්පය ද කඩා වැටිණි. කාටිසීය තාප්පය යන්නෙන් නිරීක්‍ෂකයා හා නිරීක්ෂ්‍යය තාප්පයකින් හෝ බිත්තියකින් හෝ මෙන් වෙන් කෙරී ඇති බවත් තාප්පයේ එක්‌ පැත්තක ඇති නිරීක්‍ෂකයා තාප්පයේ අනෙක්‌ පැත්තේ ඇති නිරීක්ෂ්‍යය නිරීක්‍ෂණය කරන්නේ නිරීක්ෂ්‍යය වාස්‌තවිකව පවත්නා එකක්‌ ලෙස ගැනීමෙන් හා ඒ සම්බන්ධයෙන් බලපෑමක්‌ නො කර බවත් ආදී වශයෙන් කෙරෙන උපකල්පනය හැඳින්වෙයි.

අඩු ම තරමෙන් ක්‌වොන්ටම් අංශු සම්බන්ධයෙන් නිරීක්‍ෂකයා සක්‍රීය වශයෙන් නිරීක්‍ෂණයේ දී මැදිහත් වන බව කෝපන්හේගන් විවරණයෙන් කියෑවිණි. ක්‌වොන්ටම් අංශුවක ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ලබා දෙන්නේ නිරීක්‍ෂකයා බව කීමෙන් මේ මැදිහත් වීම ප්‍රකාශ විණි. ඇස්‌පෙ විද්වතා ගේ පරීක්‍ෂණවලින් පසුව අසූවේ දශකයේ මුල් භාගයේ දී මේ අදහස්‌ අපට ද බලපෑවේ ය. කෝපන්හේගන් විවරණයෙන් අඩු ම තරමෙන් ක්‌වොන්ටම් අංශු සම්බන්ධයෙන් වාස්‌තවිකත්වයක්‌ නැති බවට අපට ඒත්තු ගැන්විණි. එහෙත් නිව්ටෝනීය පද්ධති සම්බන්ධයෙන් එයින් කිසිවක්‌ නො කියෑවෙන බව අපට කල් යැමේ දී අවබෝධ විය. ඉන්ද්‍රිය ගෝචර සංකල්ප හා ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප පිළිබඳව දෙයාකාරයකින් සැලකීම අපට ප්‍රශ්නයක්‌ විය.

අංශු හා පද්ධති යනු මොනවා ද? අපේ මූලික ප්‍රශ්නය වනුයේ එයයි. ඊනියා යථාර්ථවාදී විවරණයටත් කෝපන්හේගන් විවරණයටත් මෙය ප්‍රශ්නයක්‌ නො වේ. පුටුව, පෑන ආදී පංෙච්න්ද්‍රියන්ට ගෝචර වන දෑ අපෙන්, එනම් නිරීක්‍ෂකයා ගෙන් තොර ව පවතින බව ඒ විවරණ දෙකෙහි ම උපකල්පනය වෙයි. කෝපන්හේගන් විවරණයෙහි දී ඉන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප සම්බන්ධයෙන් නම් නිරීක්‍ෂකයා යම් මැදිහත් වීමක්‌ කරන බව කියෑවෙයි. එහෙත් ඒ ඊනියා මැදිහත් වීම් ඒ කියන ආකාරයේ මැදිහත් වීමක්‌ නො වන බවත් වඩා ගැඹුරු මැදිහත් වීමක්‌ නිරීක්‍ෂකයා විසින් කෙරෙන බවත් අපට අවබෝධ විය. අපට ඒ අවබෝධය ලැබුණේ බුදුදහමෙනි.

මහාචාර්ය නලින් ද සිල්වා