logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ශක්‌තිමත් පාරිභෝගික සන්ධානයක අවශ්‍යතාව

ජනවාරි මාසයේ දී ඇති වූ මහා ගංවතුර නිසා ඉදිරියේ දී සහල් මිල ඉහළ යැමේ අවදානමක්‌ ඇති බවක්‌ මෙ රට බොහෝ දෙනාට අසන්නට ලැබිණි. ඇතැම් සහල් තොග වෙළෙන්දන් පිරිසක්‌ පවසා තිබුණේ සහල් පාලන මිලට ලබා දීම අපහසු විය හැකි බව ය. ඒ සමඟ ම බොහෝ නාගරික ප්‍රදේශවල සහල් මිල පාලන මිල දක්‌වා ඉහළ ගොස්‌ ය. (ලංකා සතොස ඇතුළු රජයේ ආයතනවල මිල, පාලන මිලට වඩා මඳක්‌ හෝ පහත තත්ත්වයක පවතී.) මෙහි දී ඉතා සරල ප්‍රශ්නයක්‌ අපට මතු වේ. එනම්, ඒ වන විටත් වී ගබඩාවල ඇති පසුගිය යල කන්නයේ වී මිල ගංවතුර නිසා ඉහළ ගොස්‌ ඇත්තේ කෙසේ ද යන්න ය. මෙය හුදෙක්‌ සහල් මිල ඉහළ නංවා ගැනීම සඳහා යොදාගැනීමට අදහස්‌ කළ තවත් වෙළෙඳ උපක්‍රමයක්‌ බව ඕනෑ ම අයකුට පැහැදිලි ය.

මේ සිදුවීම් අපට සිහිපත් කරන්නේ ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා වගේ යන කියමන ය. මේ වන විට අධික ලෙස ඉහළ ගොස්‌ ඇති පොල් මිල හා එළවළු මිල නිසාවෙන් දැඩි සේ පීඩාවට පත් වී ඇති පාරිභෝගිකයා මෙවැනි තත්ත්වයක්‌ ඇති වුව හොත් වැටෙන්නේ කබලෙන් ලිපට ය. මේ අතරමැදියන් විසින් පාලනය කෙරෙන වෙළෙඳ මාෆියාවේ අණසකට යටත් ව ඇති බත් කන ජනතාව එවැන්නකින් ගලවා ගැනීමට හැක්‌කේ කාට ද යන්න අයකුට ඇති වන පැනයයි.

මේ තත්ත්වය උග්‍ර කරන තවත් පුවතක්‌ අපට කණින් කොනෙන් අසන්නට ලැබිණි. එනම් මහ කන්නයේ වී මිල දී ගැනීමේ දී ගංවතුර නිසා විනාශ නො වූ සෙසු ප්‍රදේශවල තමන්ට වැඩි මිලක්‌ ලැබෙනු ඇතැයි ඇතැම් ගොවීන් අපේක්‌ෂා කරන බව ය. ඇතැම් ප්‍රදේශවල ගොවීන් ගේ අපේක්‌ෂාව වී කිලෝවක මිල රුපියල් 50-60 අතර මිලකට අලෙවි කර ගැනීමට බව අසන්නට ලැබිණි. මේ තත්ත්වය "අහිංසක බලාපොරොත්තුවක්‌" සේ පෙනෙන්නට හැකි වුවත් ඉන් අගතියට පත් වන්නේ පාරිභෝගිකයා ය. වැඩි වශයෙන් නාගරික හා අර්ධ නාගරික පාරිභෝගිකයා ය. නිදසුනක්‌ ලෙස අතීතයේ වී කිලෝව රුපියල් 12ට-13ට පමණ අලෙවි වූ කාලයේ දී පාරිභෝගිකයාට සහල් මිල දී ගත හැකි වූයේ එමෙන් තුන් ගුණයක්‌ පමණ මුදලකට ය. ඉදින් වී කිලෝවක්‌ රුපියල් 60ක්‌ වුව හොත් සහල් කිලෝවක්‌ පාරිභෝගිකයාට ලැබෙන්නේ රුපියල් 150කට පමණ විය හැකි ය.

මෙවැනි සිදුවීම් අපේ රටේ එතරම් දුර්ලභ නො වේ. මින් පෙනෙන්නේ වෙළෙන්දන් හා අතරමැදියන් විසින් සිදු කෙරෙන සූරාකෑමට පාරිභෝගිකයා නිරන්තරව ලක්‌ වන බව ය. (ඊට නිෂ්පාදකයා වන ගොවියා ද ලක්‌ වන බව අප අමතක නො කළ යුතු ය. - එහෙත් ඉහත දැක්‌වූ පරිදි බොහෝ නිෂ්පාදකයන්ට අවශ්‍ය වන්නේ ද ඉහළ ම මිලට තම භාණ්‌ඩ අලෙවි කිරීම මිස තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක්‌ ලබා ගැනීම නො වීම කණගාටුදායක ය. මේ සාමාන්‍ය මනුෂ්‍ය ස්‌වභාවයය.) පාරිභෝගිකයා ගේ භාණ්‌ඩ මිල දී ගැනීමේ හැකියාව පිළිබඳව මේ වෙළෙන්දෝ කිසිසේත් උනන්දුවක්‌ නො දක්‌වති. හැකිතාක්‌ පාරිභෝගිකයා සූරාකෑම ඔවුන් ගේ අරමුණ බව පෙනේ. ඉන් පීඩාවට පත් වන්නේ පාරිභෝගිකයන් අතර වඩා පීඩාවට පත් ව සිටින ජනතාව ය.

බඩු මිල හා දේශපාලනය

මේ පාරිභෝගික අර්බුදය විසඳීමට යම් දේශපාලන මැදිහත්වීමක්‌ අවශ්‍ය බව සක්‌සුදක්‌ සේ පැහැදිලි ය. මෙවැනි අවස්‌ථාවල දී ජනතාව අපහසුතාවට පත් වීම වැළැක්‌වීම ඕනෑ ම රටක වගකිවයුතු රජයක වගකීම වේ. ඒ පියවර අතර මිල පාලනය මෙන්ම භාණ්‌ඩ සුලබ කිරීම වැනි දේ වේ. වර්තමාන රජය ද කිසියම් ආකාරයකට එවැනි පියවර ගෙන ඇති බව පෙනේ. ලංකා සතොස, ගොවිජනසේවා මධ්‍යස්‌ථාන මෙන්ම ආරක්‌ෂක අංශ හරහා සිදු කෙරෙන සහල්, එළවළු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලබා දීම එවැනි පියවරකි. මෙය යම් පමණකට සාර්ථක වී ඇති බව පෙනේ.

එහෙත් විමසිල්ලෙන් බලන විට එය එසේ ම සිදු වේ ද? නිදසුනක්‌ ලෙස වර්තමාන ඇමැතිතුමා බලයට පත් වූ වහාම සහල් මිල පාලනය ඉවත් කළේ ලාභය පමණක්‌ අරමුණු කරගත් මෙරට ව්‍යාපාරිකයන් ගේ "දැක්‌ම" නො දත් බව පැහැදිලි කරමිනි. වැඩි දවසක්‌ යැමට පළමුව යළිත් සහල් මිල පාලනය ඇති කිරීමට ඔහුට ම සිදු විය. ඒ සහල් මිල කඩිනමින් ඉහළ යැමට පටන් ගත් බැවිනි. ඉහළ යන බඩු මිලෙන් පාරිභෝගිකයන් පීඩා විඳින ආකාරය පිළිබඳව අදාළ විෂය සම්බන්ධ අමාත්‍යවරයා හා පාලක පක්‌ෂයේ සෙසු දේශපාලන නායකයන් කතා කරනු අපට අනන්තවත් අසන්නට ලැබී ඇත. ඔවුහු අතරමැදියා ගෙන් ජනතාව ආරක්‌ෂා කරන ආකාරය ගැන ද කතා කරති. එහෙත් ඇතැම් සිදුවීම්වල දී දේශපාලන නායකයන් ගේ සැබෑ අරමුණ කුමක්‌ ද යන්න ගැන අපට ගැටලූ ඇති වේ. නිදසුනක්‌ ලෙස එක්‌ අමාත්‍යවරයකු පැවසූ අපූරු දේශපාලන කථාවක්‌ (ප්‍රහසන රංගනයක්‌?) දක්‌වමු. එළවළු මිල අඩු කරන්නැයි ඇතැම් පක්‌ෂ පවසන බව අඟුණකොළපැලැස්‌සේ ගොවීන් අමතමින් පැවසූ ඔහු අසා සිටියේ එසේ ගමේ නිපදවන එළවළු, කෙසෙල් ආදියේ මිල අඩු කරන්නට ගැමියන් කැමැති වනවා ද යන්න ය. ඔහු ම පවසන්නේ ඊට ගැමියන් කැමැති නො වන බව ය. මේ අපේ රටේ පාරිභෝගිකයා ගැන දේශපාලකයන් සිතන ආකාරය පිළිබඳ යථාර්ථය ද? නැත හොත් ද්විත්ව රංගනයක යෙදීමට ගත් උත්සාහයක්‌ ද?

අප අද දකින බඩු මිල පාලනය කිරීමේ හා පහත දැමීමේ රාජ්‍ය මැදිහත්වීම තවත් කෙතරම් දිනක්‌ පවතී ද යන්න මේ අනුව ඇති වන ගැටලූවයි. මෙරට මැතිවරණ ඉතිහාසය දෙස බැලු විට අපට පෙනෙන්නේ මැතිවරණ ඉලක්‌ක කර ගනිමින් බඩු මිල ඉතා කෘත්‍රිම ලෙසින් පහත දැමූ අවස්‌ථා ඇති බව ය. එවැනි ක්‍රියාවලියක අවසානයේ සිදු වන්නේ මැතිවරණය අවසන් වූ පසු බඩු මිල ඉහළ දැමීම ය. නැත හොත් ඉහළ නැංවීමට ඉඩ ලබා දී නිහඬව සිටීම ය. මේ මාර්තු 17 දායින් පසුව ද එවැන්නක්‌ සිදු විය නොහැක්‌කේ නො වේ. ඇතැම් මාධ්‍ය මගින් මෙවැන්නක්‌ සිදු වීමේ අවස්‌ථාවක්‌ ඇති බව පෙන්වා දෙන ආකාරය පෙනේ.

සංකීර්ණ පාරිභෝගික ගැටලූ

මේ අප දැක්‌වූයේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍යයක්‌ වන ආහාර පිළිබඳ ඇති ගැටලූවකි. එසේම වෙනත් පාරිභෝගික භාණ්‌ඩ මෙන්ම සේවා සම්බන්ධව ද අපේ රටේ දැකිය හැක්‌කේ මේ හා සමාන තත්ත්වයකි. තවත් බොහෝ අවස්‌ථාවල දී පාරිභෝගිකයා බොහෝ සේ අපහසුතාවට පත් වේ. එය අධික මිල ගණන් නිසා පමණක්‌ නො ව, අඩු ප්‍රමිතියක්‌ ඇති ද්‍රව්‍ය නිසා ද සිදු වේ. ඒ ගැන බලධාරින් ගන්නා පියවර ගැන කිසිසේත් සෑහීමකට පත් විය හැකි නො වේ.

නිදසුනක්‌ ලෙස හෝටල් හා ආපනශාලා ආදියේ ඇති ආහාරවල ප්‍රමිතිය පාරිභෝගිකයා අපහසුතාවකට ලක්‌ කරන කරුණකි. මෑත කාලයේ භෝජනශාලාවල ආහාරවල සනීපාරක්‌ෂාව පිළිබඳව කළ පරීක්‌ෂා කිරීම් කෙටි කාලයක්‌ එක දිගට ක්‍රියාත්මක වූ ආකාරය අසන්නට ලැබිණි. එහෙත් දැන් එවැන්නක්‌ අසන්නට ලැබෙන්නේ නැත. එකල අපට ආරංචි වූ පරිදි එය සිදු කරන ලද්දේ කිසියම් ව්‍යාපෘතියක කොටසක්‌ ලෙස ය. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය අවසන් වූ පසු ඒ උත්සාහය අවසන් වූ බවක්‌ පෙනේ. අවාසනාවකට මෙන් එහි පීඩාව අත්විඳින්නේ සාමාන්‍ය ජනතාව හෙවත් පාරිභෝගිකයා ය.

එදිනෙදා අප බොහෝ දෙනා භාවිත කරන පොදු ප්‍රවාහන සේවාවල දී ද පාරිභෝගිකයන් පත් වන්නේ ගැටලූ සහගත තත්ත්වයකට ය. නිදසුනක්‌ ලෙස නිවැරැදි බස්‌ ටිකට්‌ පතක්‌ තබා ඇතැම් විට වැරැදි බස්‌ ටිකට්‌ පතක්‌ වත් පෞද්ගලික අංශයේ බස්‌ රථවලින් තවමත් නො ලැබේ. එසේ ම බස්‌ ටිකට්‌ පතට අදාළ ඉතිරි මුදල් නො ලැබෙන අවස්‌ථා බොහෝ ය. සිටගෙන යන මගීන් සීමා කර ඇති අර්ධ සුඛෝපභෝගී බස්‌ රථ තරම් අධික ලෙස මගීන් පටවා ගන්නා බස්‌රථ තවත් දැකිය නොහැකි ය. (මේවා ඉංග්‍රීසියෙන් "සෙමි ලක්‌ෂරි" කියා හැඳින්වුවත් ඇතැම් මාර්ගවල දී "හාෆ් බොයිල්" ලෙස හැඳින්වෙන්නේ ද ඒ නිසා ය.) අනෙක්‌ අතට ඉතිරි මුදල් ඉල්ලා සිටීම නිසා අනතුරට පත් වූ බස්‌ මගීන් ගැන ද අපේ රටෙන් වාර්තා වී තිබේ. මෙවැනි තත්ත්ව පාලනය කිරීම සඳහා මහා ප්‍රචාරයක්‌ සහිතව ඇතැම් අවස්‌ථාවල දී බලධාරීන් කටයුතු කළත් ඒ පියවර එක්‌ සතියකට හෝ වැඩි ම වුව හොත් දෙකකට හෝ පමණක්‌ සීමා වේ. පාරිභෝගිකයාට යළිත් සිය අයිතිය අහිමි වේ.

ඉහත දැක්‌වූයේ අසරණ පාරිභෝගිකයා අමාරුවේ වැටෙන අවස්‌ථා දෙකක්‌ පමණි. මේ තත්ත්වය තවත් බොහෝ අංශ කර යොමු වේ. ඖෂධ ඇතුළු තවත් බොහෝ පාරිභෝගික භාණ්‌ඩ සම්බන්ධව ගැටලූ තිබේ. අවාසනාවකට මෙන් මෙරට පාරිභෝගිකයා පසු වන්නේ බඩු මිල කෙරේ බලපෑමක්‌ කළ නොහැකි හෝ තම අයිතිය ආරක්‌ෂා කර ගත නොහැකි තත්ත්වයක ය.

ශක්‌තිමත් පාරිභෝගික ව්‍යාපාරයක අවශ්‍යතාව

මේ බොහෝ ගැටලූවලට හේතුව රට තුළ ශක්‌තිමත් පාරිභෝගික ව්‍යාපාරයක්‌ නොමැති වීම බව අපට සිතේ. මෙරට පාරිභෝගිකයා ශක්‌තිමත් නොමැත. ඒ නිසා භාණ්‌ඩ හා සේවා මිල ඉහළ යන අවස්‌ථාවල දී මෙන්ම නිසි ප්‍රමිතියක්‌ ඇති විට දී නිහඬ ව කරබාගෙන සිටිනු හැර පාරිභෝගිකයා වෙනුවෙන් ශක්‌තිමක්‌ හඬක්‌ නංවන බවක්‌ පෙනෙන්නට නොමැත. ඇතැම් අවස්‌ථාවල දී විවිධ ආයතන හා සංවිධාන එවැන උත්සාහයක්‌ දරා ඇතත් එය ශක්‌තිමත් ව්‍යාපාරයක්‌ බවට පත් ව ඇති බවක්‌ පෙනෙන්නට ද නැත. එහෙත් එවැන්නක්‌ සඳහා ගත හැකි බොහෝ පියවර තිබේ.

මෙවැනි ශක්‌තිමත් පාරිභෝගික ව්‍යාපාරයක්‌ මගින් සාධාරණ මිලට භාණ්‌ඩ ලබා ගැනීමට හැකි ආකාරයේ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම අපහසු නො වේ. නිදසුනක්‌ ලෙස විධිමත් කුඩා කණ්‌ඩායම් ලෙස සංවිධානය වී සෘජුව නිෂ්පාදකයන් හා ගොවීන් වෙතින් භාණ්‌ඩ මිල දී ගැනීම එක්‌ උපක්‍රමයකි. එය ප්‍රාදේශීයව සංවිධානය කළ හැකි අතර එ මගින් අතරමැදියා ගෙන් සිදු වන බලපෑම අවම වේ. මේ වන විට රජය ගෙන ඇති පෙර කී පියවර මගින් පෙනෙන්නේ එවැනි කටයුතු රජයේ මැදිහත්වීම මගින් පවා කළ හැකි බව ය. එහෙත් රාජ්‍ය අංශයේ මැදිහත්වීම්වලට වඩා එහි ප්‍රතිලාභ ලබන පාරිභෝගිකයා ම සිදු කරන මැදිහත්වීම් වඩා සාර්ථක හා කල් පවතින්නක්‌ වනු ඇත.

පාරිභෝගිකයා නිසි පරිදි දැනුවත් වීම තවත් වැදගත් කරුණකි. භාණ්‌ඩ තෝරාගැනීමේ දී එහි ප්‍රමිතිය හා ඇසුරුම් හා කල් ඉකුත්වීම් දිනය වැනි කරුණු පිළිබඳව සැලකිය යුතු බව අධ්‍යාපන විෂයමාලාව තුළින් ද උගන්වා තිබේ. එහෙත් පාරිභෝගිකයන් මේ පිළිබඳව දැඩි සැලකිල්ලක්‌ නො දක්‌වන බවක්‌ පෙනෙන්නේ පසුගිය දා පොළොන්නරුවේ දී වූ සිද්ධිය වැනි සිදුවීම් වල දී ය. ඇත්තෙන් ම සිසිල් බීම පානය කරන්නට පෙර එහි කල් ඉකුත් වීමේ දිනය බලන්නේ කීයෙන් කී දෙනෙක්‌ ද යන්න අප අපෙන් ම අසා බැලිය යුතු පැනයකි.

මෙවැනි ව්‍යාපාරයක්‌ හුදු මධ්‍යගත ව්‍යqහයක්‌ ලෙස නො ව ශක්‌තිමත් ප්‍රජා ජාලයක්‌ ලෙස ක්‍රියාත්මක වීමේ වැදගත්කමක්‌ පවතී. එය වඩා ප්‍රායෝගික වන්නේ පාරිභෝගික ගැටලූ වඩාත් ප්‍රාදේශීය ස්‌වභාවයක්‌ ගත හැකි බැවිනි. නිෂ්පාදනකයන් අධික ප්‍රදේශවල ඇති ගැටලූ මෙන්ම පාරිභෝගිකයන් බහුල ප්‍රදේශවල ඇති ගැටලූ එකිනෙකට වෙනස්‌ විය හැකි ය. අනෙක්‌ අතට මධ්‍යගත හෙවත් කේන්ද්‍රීය පාරිභෝගික ව්‍යාපාරයක්‌ මගින් පාරිභෝගිකයාට සාධාරණයක්‌ සිදු වන විට විවෘත කළ ඉස්‌තාලයෙන් අශ්වයා පැන ගොස්‌ බොහෝ කල් ගත වී තිබිය හැකි ය.

ඒ අනුව අපේ රටට කිසියම් ශක්‌තිමත් පාරිභෝගික ව්‍යාපාරයක්‌ - සැබැවින් ම පාරිභෝගික අයිතිය වෙනුවෙන් ම වෙන් වූ ජනතා ව්‍යාපාරයක්‌ - අවශ්‍ය වී ඇති බව පැහැදිලි ය. එය පාරිභෝගික භාණ්‌ඩවල මිල ඉහළ යැමේ සරල උද්ඝෝෂණවලින් ඔබ්බට ගිය දේශපාලනයෙන් තොර ශක්‌තිමත් පාරිභෝගික ව්‍යාපාරයක්‌ විය යුතු ය. එහි අරමුණ හුදෙක්‌ ආණ්‌ඩු පෙරැළීම නො ව පාරිභෝගිකයාට සැබෑ සාධාරණය ඉටු කර ගැනීම විය යුතු ය. එසේ නො වුව හොත් සිදු වන්නේ මැතිවරණයකින් පසුව හෝ මැතිවරණයක්‌ ජය ගත් පසු අදාළ දේශපාලන ව්‍යාපාරය විසින් පාරිභෝගික අයිතිය රැකගැනීමේ ව්‍යාපාරය අතරමං කර දැමීම ය.

වයි. සමන්ත ලක්‌විජය