* logo3.gif (702 bytes)

arrow7.gif (1098 bytes)


ජගත් පරිසර විමසුම 62
ධනේෂ් විසුම්පෙරුම

වර්ෂාව හා ගංවතුර දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ කිරීම

මිනිසුන් විසින් පරිසරයට විමෝචනය කරනු ලබන හරිතාගාර වායු නිසා ඇති වන උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයක්‌ ලෙස අධික වැසි හා ගංවතුර වැනි ආන්තික කාලගුණ තත්ත්ව සැලකේ. උෂ්ණත්වය ඉහළ යැම නිසා අධික වැසි ඇතිවීමට ඇති හැකියාව විද්‍යාත්මකව ඉතා පැහැදිලි ය. වැඩිවන උෂ්ණත්වය නිසා ජලය වාෂ්පීකරණය ඉහළ යන අතර, වැඩි ජලවාෂ්ප ප්‍රමාණයක්‌ ඇති විට වැඩි වර්ෂාපතනයක්‌ ඇති වීම සිදුවිය හැකි ය.

කෙසේ වෙතත් මේ සඳහා ස්‌වභාවික තත්ත්වවලින් ඇතිවන බලපෑමට අමතරව මිනිසුන් විසින් ඇති කරන ලද වෙනස්‌වීම් නිසා සිදුවිය හැකි බලපෑම් වෙන්කර අධ්‍යයනය කළ පර්යේෂණ දෙකක්‌ පසුගිය මාසයේ දී ප්‍රකාශයට පත්විය. ඒ අධික වැසි හා ගංවතුර සඳහා මිනිසුන් විසින් ඇති කර තිබෙන දේශගුණ වෙනස්‌වීම පැහැදිලිව සම්බන්ධ බව පෙන්වන පර්යේෂණ දෙකකි.

බ්‍රිතාන්‍යයේ ගංවතුරට හරිතාගාර වායු බලපා තිබේ

මින් පළමු අධ්‍යයනයේ දී 2000 වර්ෂයේ දී බ්‍රිතාන්‍යයේ ඇති වූ අධික වැසි හා දරුණු ගංවතුර තත්ත්වයට දේශගුණ වෙනස්‌වීමේ සම්බන්ධයක්‌ තිබීද යන්න ගැන අවධානය යොමු කර ඇත. ඒ වර්ෂයේ ඔක්‌තෝබර් හා නොවැම්බර් මාසවල එංගලන්තයේ හා වේල්සයේ පැවැතියේ වර්ෂාපතන දත්ත රැස්‌ කිරීම ආරම්භ වූ පසු ඇති වූ වැඩිම වර්ෂාපතනයයි. ඉන් විශාල හානියක්‌ ඇති විය. මේ අධ්‍යයනයේ දී වායුගෝලයේ පැවැති තත්ත්වය පිළිබඳ ආකාර දෙකක ආකෘති පරිගණක දහස්‌ ගණනක ධාවනය වීමට සලස්‌වා ඇත. ඉන් එක්‌ ආකෘතියක වායුගෝලයේ පැවැති සත්‍ය තත්ත්වය වූ එනම් මිනිසුන් විසින් නිපදවන ලද හරිතාගාර වායු විමෝචන සහිතව විය. අනෙක්‌ ආකෘතිය හරිතාගාර වායු විමෝචන නොමැති වායුගෝලයක්‌ පිළිබඳ ආකෘතියකි. ඒ ආකෘති මගින් ජනනය කරන ලද වර්ෂාපතන දත්ත හා එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය නිරීක්‌ෂණය කර ඇත.

අධ්‍යයනයේ ප්‍රතිඵල අනුව පෙනී ගොස්‌ ඇත්තේ මිනිසුන් විසින් නිපදවන ලද හරිතාගාර වායු විමෝචන සහිත තත්ත්වය යටතේ ඉහත කී ගංවතුර ඇතිවීම වඩා පැහැදිලි කළ හැකි බව ය. අධික වැසි හා ගංවතුර ඇති වීමේ අවදානම අවස්‌ථා තුනකින් දෙකක දී දෙගුණයකින් (සියයට 90කින්) තරම් ඉහළ නැංවීම සඳහා මේ තත්ත්වය හේතු වන බව පැහැදිලි වී තිබේ. ඒ අනුව ඔවුන්ගේ නිගමනය වන්නේ ඉහත කී ගංවතුර අවදානම සැලකිය යුතු තරමින් ඉහළ නැංවීම සඳහා මානව හරිතාගාර වායු විමෝචන හේතු වී ඇති බව "ඉතා වියහැකි" (Very likely) සිදුවීමක බව ය. (මූලාශ්‍රය( Nature, DOI- 10.1038/nature09762)

වර්ෂාපතනය ජගත් මට්‌ටමෙන් ඉහළ යයි

අපේ අවධානයට ලක්‌ වූ දෙවැනි අධ්‍යයනයේ දී ලෝකයේ උතුරු අර්ධගෝලයේ 1951-1999 අතර කාලයේ දී අධික වර්ෂාපතන තත්ත්වය ඉහළ ගොස්‌ ඇති ආකාරය විශ්ලේෂණය කර ඇත. එහි දී ලෝකය පුරා කාලගුණ මධ්‍යස්‌ථාන 6000කට අධික ප්‍රමාණයකින් රැස්‌කරන ලද දත්ත (වර්ෂාව, හිම හා වෙනත්) භාවිත කර ඇත. ඒ කාලයේ දී ඇති වූ ආන්තික තත්ත්ව ද ඔවුන් විසින් සැලකිල්ලට ගෙන තිබේ. මේ දත්ත භාවිත කරමින් පරිගණක මගින් සකස්‌ කරන ලද ආකෘති මගින් වර්ෂාපතන දත්ත ලබා ගෙන ඇත. ඒ අනුව ලෝකයේ උතුරු අර්ධගෝලයේ තුනෙන් දෙකක්‌ පමණ ප්‍රදේශයක දැකිය හැකි වර්ෂාපතන තීව්‍රතාවයේ ඉහළ යැම ස්‌වභාවික දේශගුණික විචල්‍යතාවලින් පැහැදිලි කළ නො හැකි ය. එය පැහැදිලි කළ හැක්‌කේ මිනිසුන් විසින් නිපදවන ලද හරිතාගාර වායු විමෝචන නිසා ක්‍රමයෙන් එහෙත් අඛණ්‌ඩව ඉහළ යන උෂ්ණත්වය මගින් පමණි.

මේ අධ්‍යයනයන් පෙන්වා දෙන ඉතා වැදගත් කරුණක්‌ වන්නේ උෂ්ණත්වය ඉහළ යැම සමඟ ඇති වන වර්ෂාපතනයේ ඉහළ යාම, මේ වන විට භාවිතයේ ඇති දේශගුණ ආකෘතිවල අඩුවෙන් තක්‌සේරු කර ඇති බව ය. ඒ නිසා අනාගතය පිළිබඳව ඇති පුරෝකථන ද අඩු තක්‌සේරුවකින් යුක්‌ත විය හැකි වේ. (මූලාශ්‍රය( Nature, DOI-
10.1038/nature09763)

අනාගතයට ඇති වැදගත්කම

වර්ෂාපතනය ඉහළ යැම හා ගංවතුර ඇතිවීම හා දේශගුණ වෙනස්‌වීම අතර ඇති සම්බන්ධය තහවුරු කිරීමට ගත් උත්සාහයක්‌ වන මේ අධ්‍යයනවල යම් යම් අඩුපාඩු තිබිය හැකි ය. නිදසුනක්‌ ලෙස මුල් අධ්‍යයනයේ දී භාවිත කර ඇති ක්‍රමවේදය තවමත් දියුණු වෙමින් පවත්නා එකකි. එහෙත් තවදුරටත් සිදුකරනු ලබන අධ්‍යයනවලින් ඉදිරියේ දී මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කිරීමට හැකිවනු ඇත.

මිනිසුන් විසින් සිදුකරන ලද කටයුතු නිසා ලෝකය වෙනස්‌ වෙමින් පවතී. එසේ නම් වර්තමාන අවශ්‍යතාවය කුමක්‌ ද? අනාගතයේ දී අප මුහුණ දීමට සූදානම් වන්නේ කුමන ආකාරයේ තත්ත්වයකට ද යන්නට ය. මේ අධ්‍යයනවලින් අනාවරණය වන කරුණු වැදගත් වන්නේ අදට නොව අනාගතයට ය. ඒ ඉහළ යන තීව්‍ර වර්ෂාපතනයට මුහුණ දීමට හා තත්ත්වය පාලනය කිරීමට - හරිතාගාර වායු විමෝචන පාලනයට හා දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමට - පියවර ගැනීම සඳහා ය.

ආහාර හා ඉන්ධන සඳහා බෝග එක්‌ව වගා කිරීම

ලෝක බලශක්‌ති අර්බුදයට මෙන්ම හරිතාගාර වායු විමෝචන අවම කිරීම සඳහා ද යෝග්‍ය උපාය මාර්ගයක්‌ ලෙස ඉන්ධන භෝග වගා කිරීම දැක්‌විය හැකි ය. ජෛව ඉන්ධන මීට නිදසුනකි. එහෙත් ඊට ඇති බාධකයක්‌ වන්නේ ඉන් ආහාර නිෂ්පාදනය හා සම්බන්ධ ගැටලූ ඇති විය හැකි වීම ය. නිදසුනක්‌ ලෙස ජෛව ඉන්ධන වගාව සඳහා ඉඩම් යොදා ගැනීමෙන් ආහාර භෝග වගා කිරීම සඳහා ඉඩම් අඩු වී ආහාර සුරක්‌ෂිතතාවය අහිමි විය හැකි ය. එහෙත් තවමත් ජෛව ස්‌කන්ධයෙන් ලබාගන්නා ඉන්ධන ලෝකයේ සැලකිය යුතු ජනතාවක ගේ ප්‍රධාන ඉන්ධන ප්‍රභවය වේ.

ආහාර භෝග මෙන් ම ඉන්ධන භෝග ද එකට හා ඒකාබද්ධව වගා කළ හැකි ක්‍රමවේදයක්‌ වන ඒකාබද්ධ ආහාර බලශක්‌ති පද්ධති (Integrated Food Energy Systems - IFES) පිළිබඳව පසුගියදා නිකුත් වූ වාර්තාවක්‌ පෙන්වා දෙන්නේ ඒ පද්ධති ආහාර හා බලශක්‌ති අවශ්‍යතා යන දෙක ම ලබා ගැනීම සඳහා යෝග්‍ය බව ය. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් නිකුත් කර ඇති මේ වාර්තාව අනුව පරිසර පද්ධති ප්‍රවේශයක්‌ තුළින් සිදුකරන තිරසර භෝග තීව්‍රකරණය මගින් ආහාර අවශ්‍යතා මෙන් ම බලශක්‌ති අවශ්‍යතා ද ලබා ගත හැකි ය. මේ පද්ධති නව සංකල්පයක්‌ නො වන අතර ලෝකයේ දැනටමත් පවත්නා ක්‍රමවේදයකි.

මේ පද්ධති වර්ග දෙකකි. ඉන් පළමුවැන්න ආහාර මෙන් ම ඉන්ධන සඳහා වන භෝග ද එකම වගා භූමියක වගා කිරීම ය. ඒ සඳහා විවිධ ක්‍රම යොදාගත හැකි ය. බහු භෝග පද්ධති හා වාර්ෂික හා බහුවාර්ෂික භෝග මිශ්‍රකිරීම මෙන් ම කෘෂි වන වගා ද මේ සඳහා නිදසුන් වේ. එහි දී දැව සඳහා වගා කරන භෝග ද එක ම වගා බිමේ පවතී. මේ සමඟ පශු පාලනය ද ඒකාබද්ධ කළ හැකි ය. දෙවැනි වර්ගය ලෙස දක්‌වා ඇත්තේ ආහාර භෝග පශු සම්පත් හා පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභව වැනි අංශ අතර සහක්‍රියාවකට අවස්‌ථාව ලබා දීම ය. මේ සඳහා කෘෂි-කාර්මික තාක්‌ෂණය මගින් අතුරුඵලවල උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම හා අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව අවධානය යොමු කර ඇත. ජීව වායු ජනනය මීට නිදසුනකි. එසේම මේ සමඟ වෙනත් ජෛවීය නො වන පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභව (සූර්ය, සුළං බලය වැනි) ද සම්බන්ධ කර ගත හැකි ය. මේ වර්ග දෙක ම සුළු පරිමාණයෙන් මෙන් ම මහා පරිමාණයෙන් ද ක්‍රියාත්මක කළ හැකි බව මේ වාර්තාව පෙන්වා දෙයි.

මේ ක්‍රමවේදයේ තවත් බොහෝ වාසි තිබේ. නිදසුනක්‌ ලෙස ග්‍රාමීය දරිද්‍රතාවය අවසන් කිරීම සඳහා මෙමගින් යෝග්‍ය තත්ත්ව සැලසේ. ඒ විශේෂයෙන් කුඩා පරිමාණ ගොවීන් ආශ්‍රයෙන් ක්‍රියාත්මක වීම මගිනි. එසේම සාමාන්‍යයෙන් ඉන්ධන සෙවීම සිදුකරන්නේ කාන්තාවන් හට මේ ක්‍රමයේ දී වැඩි කාලයක්‌ ඉතිරි වේ. ඒ තම වගාබිම තුළින් ම අවශ්‍ය ඉන්ධන සපයා ගත හැකි නිසා ය. (මූලාශ්‍රය : Making Integrated Food-Energy Systems (IFES) Work for People
and Climate An Overview -www.fao.org/docrep/013/i2044e/i2044e.pdf )

පුවත් සැකෙවින්

සාගර දූෂණයට අවධානය අවශ්‍යයි

එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහනේ 2011 වාර්ෂික වාර්තාවේ දක්‌වා ඇති ලෝක පරිසරයේ වර්ධනය වෙමින් පවත්නා ගැටලූ අතර සඳහන් සාගර දූෂණය අපේ වැඩි අවධානයක්‌ අවශ්‍ය අංශයකි. (මූලාශ්‍රය( UNEP Year Book 2011: Emerging issues
in our global environment,
www.unep.org/yearbook/2011)

කෘෂිකර්මය සඳහා යොදා ගන්නා පොස්‌පරස්‌ පොහොර අධික ලෙස සාගරයට එකතු වීම සාගර දූෂණයට හේතු වී ඇති එක්‌ ප්‍රධාන දූෂකයකි. පොස්‌පරස්‌ අධික ලෙස භාවිතය හා අපජලය ප්‍රතිචක්‍රීකරණය නො කිරීම නිසා සාගරයට එක්‌වේ. තවත් වැදගත් සාගර දූෂකයක්‌ වන්නේ ප්ලාස්‌ටික්‌ ය. ප්ලාස්‌ටික්‌ සාගරයට එක්‌වන්නේ අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා ය. මේවායේ ඇතුළත් විවිධ රසායන ද්‍රව්‍ය සාගර පරිසර පද්ධතියේ විවිධ මට්‌ටම්වල දී බලපෑම් කළ හැකි ය. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා අපද්‍රව්‍ය කළමනාකරණය වඩා විධිමත් විය යුතු බව උක්‌ත වාර්තාවේ සඳහන් වේ.

සෙරින්ගෙටි වන උයන බේරෙයි?

ටැන්සානියාවේ සෙරින්ගෙටි වනෝද්‍යානයේ එක්‌ කොටසක්‌ හරහා මහා මාර්ගයක්‌ ඉදිකිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව බොහෝ මතභේදවලට හේතු වී තිබේ. මේ යෝර්ත මාර්ගය වැටී ඇත්තේ වනසතුන් වාර්ෂිකව වියළි කාලයේ දී පර්යටනය කරන මාර්ගය හරහා ය. යෝජිත මාර්ගය මගින් මේ වාර්ෂික පර්යටනයට බලපෑමක්‌ ඇති විය හැකි බැවින් එරට හා විදේශීය පරිසරවේදීහු හා පරිසර සංවිධාන ඊට විරෝධය පළ කළ හ. එහෙත් මේ මාර්ගයේ අවශ්‍යතාවය දිගින් දිගට ම අවධාරණය කළ එරට රජය එය ඉදිරියට ගෙන යා යුතු බව කියයි.

යෝජිත මහා මාර්ගය වෙනුවට වෙනත් විකල්ප මාර්ගයක්‌ සඳහා සහයෝගය ලබා දීමට ලෝක බැංකුව ඉදිරිපත්වී තිබේ. එරට රජය මේ යෝජනාව පිළිගතහොත් උක්‌ත ගැටලූවට යම් විසඳුමක්‌ ලැබිය හැකි බව පෙනේ.

දේශගුණ සටනේ වේගය ප්‍රමාණවත් නොවේ

දේශගුණ වෙනස්‌වීම වැළැක්‌වීමට ක්‍රියාත්මකව ඇති උත්සාහය තුළ මේ වන විට පැහැදිලිව දැකිය හැකි එක්‌ ලක්‌ෂණයක්‌ ව ඇත්තේ එහි ඇති කැපී පෙනෙන ප්‍රමාදයයි. නිදසුනක්‌ ලෙස පසුගිය වර්ෂයේ මෙක්‌සිකෝවේ පැවැති දේශගුණ සමුළුවේ දී දියුණුවන රටවලට සහයෝගය ලබා දීම සඳහා පිහිටුවීමට එකඟ වූ හරිත අරමුදලේ පළමු රැස්‌වීම මාර්තු මාසයේ මැද භාගයට නියමිතව තිබූන ද එය අප්‍රේල් මාසය කල්දමා තිබේ. මීට සහභාගිවීමට නියමිත රටවල් 40ක්‌ අතරින් ඇතැම් රටවල් තම නියෝජනය තවමත් අවසන් වශයෙන් තීරණය කර නො තිබීම ද මීට බලපා තිබේ. මේ සමුළුවේ දී අදාළ අරමුදල ගැන මූලික එකඟතා ඇතිකර ගැනීමට නියමිත විය.

මේ අතර නුදුරු අනාගතයේ දේශගුණ වෙනස්‌වීම සම්බන්ධව නව ගිවිසුමක්‌ ඇති කර ගත නො හැකි වුවහොත් 2012 දී කාලය අවසන් වන කියෝටෝ සන්ධානයේ දෙවන අදියරක්‌ හෝ නව පියවරක්‌ වෙත යැමට ගන්නා උත්සාහය ද මේ වන විටත් ක්‍රියාත්මක වේ. සන්ධානය දිගු කරගැනීමට එකඟ වී නොමැති ජපානය වැනි රටවල් කැමැති කර ගැනීමට ද ඇතැම් රටවල් උත්සාහ දරයි.